top of page

මිනිසාට ඇති බය සතර..

'චත්තාරිමානි භික්ඛවේ භයානි කතමානි චත්තාරි? අත්තානුවාදභයං, පරානුවාදභයං, දණ්ඩභයං, දුග්ගති භයන්ති.’


මේ සූත්‍රයට අනුව මිනිසාට ඇති බය සතරෙකි.


01. අත්තානුවාද භය

02. පරානුවාද භය

03. දණ්ඩ භය

04. දුග්ගති භය


මෙහි අත්තානුවාද භය යන්න 'ඔත්තප්ප' හෙවත් 'බය' යන ලෝක පාලක ධර්මය සන්තානගත ව ඇති පුද්ගලයා වරදෙහි බිය වන ස්වභාවය පෙන්වයි.


ආගම ධර්මය සදාචාරයට විරුද්ධව යෑමේ දී තමන් ගේ සිතෙන් නැගෙන චෝදනාවට බිය වීම යි.


පරානුවාද භය යනු අන් අය කරන අපකීර්තියට බිය වීම හෙවත් 'හිරි' යන ලෝක පාලක ධර්මය ඇති වීම යි.


පෙර සේ ම ආගම ධර්මය සදාචාරයට විරුද්ධව යෑමේ දී බාහිර සමාජය විසින් නඟන චෝදනාවට බිය වීම යි.


දණ්ඩ බිය යනු රටේ නීති විරෝධි වැඩ කරමින් සදාචාරය ඉක්මවන තැනත්තා හට රජය මගින් දඬුවම් පැමිණවීම යි.


හිස ගසා දැමීම, උල සිටුවීම, අත් පා කපා දැමීම, හිස් කබල ගලවා එහි බොරළු දමා කෙටීම, සුනඛයන් ලවා කැවීම ආදී කෲර දඬුවම් පනවා තිබුණි.


මේ නිසාම එකල මහජනතාව මේ දණ්ඩ භය දැන වරදින් මිදුනි. දුසිරිතෙහි යෙදී සිටි අය මේ දණ්ඩ භයින් බියපත් වී වරදට පෙළඹීමට අකමැති විය. සුචරිතයෙහි යෙදුනි.


බුදුදහම නීති පනවන, දඬුවම් කරන දහමක් නොවේ. මෙහි ඇත්තේ ස්වයං විනයකි. මේ නිසාම සමහර බෞද්ධයෝ දහම අදහම කරගෙන විවිධ අකුසල ක්‍රියා, අපරාධ සිදු කරති. සමහරු සිය නිල බලය, ධන බලය නිසා නොමඟ ගොස් සමාජද්‍රෝහී අපරාධකරති. නීතියේ හිදැස්වලින් පැන සැඟ වී කටයුතු කරති. මේ නිසාම සමාජ අපරාධ මං කොල්ලකෑම් වර්ධනය වෙමින් පවතියි. සොරමැරකම් ආදී දූෂණ ක්‍රියා සමාජගත වී ඇත.


එනිසා ආගම ධර්මයෙන් ස්වයං විනයක් නො ලබන හිරි ඔත්තප්ප නැති මිනිසුන් වෙත වරදට අදාළව නිසි දඬුවම් ද තිබිය යුතු ය. නැතිනම් ඔවුන් සමාජයට ඉතා විශාල පිළලයක් වන බැවිනි.


දුග්ගති බය යනු අපාය භය යි. මෙයින් නුවණ ඇති බව සිහිපත් කරයි.


මේ හිරි ඔත්තප්ප වැනි දෑ සත්වයා තුල වර්ධනය කර ගත යුතු ය. නැතහොත් නීතිය ඔබට දණ්ඩ භය ඇති කරනු ඇත.


Author: Ven.Kirulapana Dhammawijaya Thero

Date: 27.05.23

1,060 views

4 Comments


මෙතරම් පවිත්‍රව පැහැදිලි ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ නමක් මං මෑත කාලීනව දැක හෝ අසා නෑ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සුජාත පුත්‍ර වාසි සියලුම ස්වාමීන් වහන්සේලාට නීරෝගී දීර්ඝායූෂ ම වේවා 🙏 බුදු දහම වෙනුවෙන් ඔබ වහන්සේලා කරන මේ මෙහෙවර උතුම් නිවනටම හේතුවේවා 🙏🌸🙏🌸🙏🌸

Like

රූප වේදනා සංඥා සංඛාර තුළ තිබෙන සංඛාර කියන දෙයයි සංස්කාර කියන එකයි දෙකක්ද එකක්ද

Like

🙏🙏

Like

An excellent explanation

Like
bottom of page