top of page

ජාතිවාත්සල්‍යය හා ජාතිවාදය

තමාගේ ජාතිය ඇසුරින් මිනිසෙකු තුළ පහළ වන තම ජාතිය පිළිබඳ ගෞරවය හා භක්තිය ජාතිවාත්සල්‍යය යන නමින් හඳුන්වනු ලැබේ. එම ජාතිවාත්සල්‍යය උසස් ඉතිහාසයක් ඇති සෑම ජාතිකයෙකු තුළම ස්වභාවික වශයෙන් පහළ වන්නකි. තම ජාතිය මුල්කොට පැන නැගෙන ඒ අහංකාරය ගැබ් කොට ඇති ජාතික භක්තිය හොඳට මෙන් ම ඇතැම් විට නරකටද හේතු වෙයි. නරකට හේතු වන විට එම ජාතිවාත්සල්‍යය ජාතිවාදය යන නමින් හඳුන්වනු ලැබේ.


දැනට සම්මතව ඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම අනුව ලංකාවේ ජාතිවාදයට තැනක් නැති බව එහි කියනු ලැබේ. එය රටේ ව්‍යවස්ථාව තුළ ද මනාව දක්නට ද ඇත. නිදහස් ඇදහිලි, නිදහස් රැස්වීම්, නිදහස් ආගමික චින්තන ඒ බව අපට පෙන්වාදෙයි. අපට එහි ගැටලුවක් ද නැත.

ලංකාවේ එය එසේ වූවද දකුණු අප්‍රිකාවේ හා රොඩේෂියාවේ කළු මිනිසුන්ට දක්වන බලවත් පිළිකුල හා ඔවුන්ට කරන වෙනස්කම් ලෝකයේ ශිෂ්ඨ මිනිසුන්ගේ ගර්හාවට ලක් වන තරම මෙපමණකැයි කිව නොහැක. එය එසේ වූවත් දැන් දැන් මේ ඊනියා මහා ප්‍රජාතන්ත්‍රවාදීහු ලංකාව වැනි උසස් ඉතිහාසයක් ඇත් රටක එහි වසනවුන්ට ජාතිවාත්සල්‍යය මුල් කොට පහළ වන අදහස් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ භේදකර හැඟීම් ලෙස හුවා දක්වමින් අපට බණ කියති. අනුන්ට අනුශාසනා කරන බොහෝ මිනිසුන්ට ඇති තම වරද නොදක්නා සුලු ගතිය ඒ උගතුන් අතරද ඇතැයි කිව හැක්කේ මේවා දිහා විචාරශීලිව බලන විට ය.


ඔවුන් ඒ දක්වන ජාති භේදය මේ රටේ සිංහලයන් අතර දක්නට ලැබෙන්නක් නොවේ. අපේ ඉතිහාසය අනුවද එබඳු ජාතිභේදයක් පැවති බවට සාධක දැක්විය නොහැකි ය. අපේ පැරණි රජවරු දෙමළ මිනිසුන් හා යුද්ධ කළහ. ඒ අනෙකක් නිසා නොව, ඔවුන් අපේ මේ රට පැහැර ගැනීමට කළ දුෂ්ඨ ප්‍රයන්තයන්ට දඬුවම් කිරීමක් වශයෙනි. එනමුත්, පුද්ගලයන් වශයෙන් ඔවුන් වර්ජනය කළ බවට හෝ පිළිකුල් කළ බවට නිදසුන් කිසිසේත් දැක්විය නොහැකි ය. විජයබා රජ දරුණු ලෙස දෙමළ මිනිසුන් සමග සටන් කළ රජෙකි. නමුත් ඔහුගෙන් පසු රජ වූ පැරකුම්බා රජුගේ රාජ සභාවෙහි උසස් තනතුරු ලබා සිටි අය අතර ද්‍රවිඩ නිළධාරීහු ද සිටියාහ. මේ සෞම්‍ය ගතිය අපේ සිංහලයන් තුළ සෑම අවධියක පැවති බවට සාධක මහත් රාශියක් ඇත.


ඒ කරුණු එසේ හෙයින් මා මේ දක්වන්නට අදහස් කරන්නේ අයුතුකම් වලට දඬුවම් දුන් නමුත් සිංහලයා පෞද්ගලික වශයෙන් සුළු ජාතික මිනිසුන් කිසිදා වර්ජනය නො කළ බව ය. අපි ජාතිවාත්සල්‍යයෙන් යුක්ත වෙමු. එනමුත් නමුත් ඔය කියන නීච ජාතිවාදය අපි කවදාවත් අනුගමනය නො කළ පහත් ක්‍රියාවකි. අන්තයට ගිය ජාතිවාත්සල්‍යයකින් අපි වෙනත් ජාතිකයන් සතු අයිතිවාසිකම් උදුරා ගත්තෝ නො වෙමු. ස්වජාතිකයන් තුළ පාරම්පරිකව පැවතෙන ජාතික ගුණ දහම් හා ස්වකීය සංස්කෘතියට අයත් සිරිත් විරිත් මෙන් ම ආගමික ප්‍රතිපත්තිය දුර්වල වන විට ඒවා පුනරුත්ථාපනයට පත් කිරීම සඳහා සිංහලයන් තුළ අභිමානයක් ඇති කරනු පිණිස අපි සෑම විටකම ඔවුන්ගේ ජාතිවාත්සල්‍යය උලූප්පා දැමීමට තැත් කරන්නේමු. එය කාටවත් හිරිහැර කිරීම පිණිස කරන්නක් නොවන අතර අපේ ආරක්ෂාව සඳහා අපිම කරන වැට බැඳ ගැනීමකි. අද වුවත් අපි ගැමුණු යුගය මෙන්ම පැරකුම් යුගය ද සිහියට නඟමින් සිංහල මිනිසුන් තුළ ජාතිවාත්සල්‍යය පහළ කිරීමට උත්සාහ දරන්නෙමු. එබඳු තෙද ගැන්වීමක් අර අයහපත් ජාතිවාදය ලෙස සළකා අපට චෝදනා කිරීම කිසිවෙකුට යුතු නොවේ.


නමුත් එසේ අපට ජාතිවාදියෝ කියන්නෝම උග්‍ර ජාතිවාදියෝ බව ඔවුන්ගේ ක්‍රියාවලින් හෙළි වේ. එය අප කලින් දැක්වූ ජාතිවාත්සල්‍යයක් නොව භේදකර උග්‍ර ජාතිවාදයකි. එහි ඇතුළත සැඟවී ඇත්තේ රටේ මහ ජාතිය වූ සිංහලයන් සතු අයිතිවාසිකම් පාගා දමා රට දෙකට බෙදා ගැනීම හෝ සහමුලින් අත්කර ගැනීම ය. දෙවන ජාතියක් ප්‍රධාන ජාතියට මෙබඳු අසාධාරණයක් කිරීමට කැසපට කවද්දී එය නිහඬව විඳ දරාගෙන සිටින්නට ඒ ප්‍රධාන ජාතියට හැකියාවක් නැති බව විශේෂයෙන් කිව යුත්තක් නොවේ. දෙව්දත් තෙරුන් සම්බුදු රජුන් ඇතුළු ශ්‍රාවක පිරිසට විරුද්ධව රජගහනුවර ප්‍රචාරක ක්‍රියා කරගෙන යන විට ඊට විරුද්ධව ඒ තෙරුන් ගත් මග හා ඔහුගේ ප්‍රතිපත්තිය මහජනයා ඉදිරියේ විවෘත කරන ලෙස සැරියුත් මහ තෙරුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ විසින් නියම කළේ මෙබඳු අවස්ථාවක දී බව සිහි කරන විට සිංහලයන් වශයෙන් ආත්මාරක්ෂාව සඳහා අප නැගී සිටීම වරදකැයි කිසිවෙකුට කිව නො හැක. අජාසත් රජුගේ බලය උඩ එදා දෙව්දත් තෙරුන් ගෙන ගිය ඒ කටයුතු වලට විරුද්ධව බුදුරදුන් ඇතුළු ශ්‍රාවක සංඝයා ක්‍රියා නො කළේ නම් සිදු වන්නට තිබුණේ ඔහුගේ බලය නිසා තථාගතයාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝයාට රජගහ නුවර අතහැර යන්නට ය. මොවුන් කරගෙන යන මේ ව්‍යසනකාරී ව්‍යාපාරයට එරෙහිව අප යම් කිසි පියවරක් නොගෙන සිටීමෙන් සිදුවන්නේ ද සිංහලයන්ට ලංකාව හැර යන්නට හෝ ඔවුන්ට යටත් වීමට සිදු වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.


මේ සිද්ධියෙහි ඇතුළත සැඟවී ඇති බිය ගෙන දෙන අනිත් පැතිකඩ නම් දේශපාලන වාසිය පතා දැනට සිටින සිංහල රාජ්‍ය පාලකයන් ගෙන ඇති බියගුළු අවදානම් පියවරයි. ඔවුහු ඒ මිනිස්සුන්ට විරුද්ධව කතා කරන අයට තර්ජනය කරති. ජාතිවාදයක් නැංවීමට ක්‍රියා කරන්න උන් ලෙස චෝදනා නගති. දඬුවමකට නංවන බවට ඇඟිල්ල ඔසවති. මෙහෙම රටක් ලෝකයේ තවත් ඇත්දැයි බැලීම පාඨකයන්ට භාර ය. ආත්ම ලාභය තකා ජාතියක් පාවාදීමේ නිහීන මගක ගමන් කරන මෙබඳු හිස් මිනිස්සුන්ට දිය යුතු දඬුවම රටවැසියා විසින් තීරණය කළ යුතු ය. ඔවුන්ගේ ජාතික සමගිය නම් මෙරටින් සිංහලයා නෙරපා දමා මුස්ලිම් හෝ වෙනත් සුලු ජාතිකයන්ට රට පාවා දීම බව සියල්ලන්ගෙන් පෙනෙන්නට ඇත.


එනිසා ජාතිවාත්සල්‍යය ඓතිහාසික වටිනාකමින් යුත් ජාතියකට අවශ්‍ය වූවක් බව මම කලින් දැක්වීමි. එය සෙසු ජාතීන් සතු අයිතිවාසිකම් පාගා දැමීමට දරණ උත්සාහයක් නොව, ජාතියට අයත් අප දැක්වූ මිල කළ නොහැකි ජාතික ධනය රැක ගැනීමේ උත්සාහයකි. දෙවන පරමාර්ථයක් එහි නැත.


”සිංහලයා නැති කළ බුදු දහම ද, බුදු දහම නැති තැන සිංහලයෙක් ද නැත” යැයි කීම අප අතර කලක සිට භාවිතා වන්නේ මෙබඳු තෙද ගැන්වීම පිණිස බව අපි දනිමු. මේ කීමට කන් දෙන සෑම සිංහලයෙක් තුළම පහළ වන හැඟීම කෙබඳු ද යනු මා විසින් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය යනු ආගම ඇසුරු කළ උපාංග දෙකකි. සිංහල කලාව හැඩ ගැසී ඇත්තේ ද බෞද්ධ සංස්කෘතිය අනුව ය. අප සතු මේ සම්පත් රැකගැනීම සඳහාම සිංහලයන් තුළ උතුම් බුදු දහම රැක ගැනීම පිණිස දැඩි උනන්දුවක් පහළ කළ යුතුම ය. ඒ උනන්දුව සිංහලකම උඩ නැංවෙන අභිමානයකි. එය කිසිදාක සුලු ජාතියකට ගත නොහැක.


ජාතිවාත්සල්‍යය පමණක් නොව කවර වාත්සල්‍යයක් වූවත් අන්තයට ගිය අනර්ථයට හේතු වේ. ආගම මිනිසාගේ ගුණ නුවණ දියුණු කිරීමට හේතුවකි. එනමුත් අන්තග්‍රාහී ආගමික හැඟීම අනර්ථයට හේතුවේ. අල් කුරාණයට අනුව එහි තිබ්බා යැයි කියා මේ නටන විගඩම් දැක්කාම එයට තවත් උපමා අවශ්‍ය නොවේ. මධ්‍යම ප්‍රතිපදාව බුදුදහමින් අනුමත වී ඇත්තේ මේ අන්තයන්හි ඇති වරද නිසා ය. ජාතික සමගියට අසතුටු කිසිම බුද්ධි සම්පන්න සිංහලයෙක් මේ රටේ ඇතැයි අපි නො සිතමු. එනමුත් සතුරන්ට බෙල්ල කපන්නට ඉඩදී නිහඬව සිටින සුළු ජාතික සමගියක් සිංහලයා අනුමත නො කරන බවද අපි දනිමු.


ජාතිවාත්සල්‍යය ගැන කරුණු දක්වන විට සිහියට නැගෙන තවත් කරුණු ස්වල්පයක් ඇත. නුදුරු අතීතයේ මේ රටේ ඇති වූ මරක්කල කෝලාහලය හා බන්ඩාරණායක යුගය තුළ ඇතිවූ ඇති වූ දෙමළ කෝලාහලයන් අපට අමතක නොවන සිදුවීම් දෙකකි. මරක්කල කෝලාහලය ආගමික ය. දෙමළ කෝලාහලය ජාතික ය. මේ අරගල දෙකේදීම සිංහලයා තුළ පහළ වූ උද්වේගය ඉක්මනින් නැංගා සේ ම ඉක්මණින් බැස්සේය. වේගය බැස ගිය පසු සිත තබාගත් වෛරයකින් ඒ විජාතිකයන් කොන් කරන්නට තරම් ඕනෑකමක් සිංහලයන් තුළ එකළ ද නොපැවති බව හොඳින්ම පෙනෙන්නට තිබුණි. එයින් සිංහලයන් ගේ මානසිකත්වය පැහැදිලි වෙයි. සිංහලයන් ජාතිවාදයෙන් අන්තයට නොපැමිණෙන්නන් බව පෙනෙන්නේ කොළඹ නගරයේ ඇතුළු ලංකාවේ නොයෙක් පෙදෙස් වල වෙළෙඳ ව්‍යාපාරයේ යෙදී සිටින දෙමළ මුස්ලිම් මිනිසුන් සමග ඔවුන් ගණුදෙනු කරන විදිය ගැන සලකා බලන විට ය. ගැටීමෙන් පසු සිංහල ක්‍රියා කළේ කවදාවත් එවැනි ගැටීමක් ඇති නොවුණු ලෙස ය. ඊළාම් යුද්ධය ද ඊට කදිම නිදසුනකි. ඔවුන් තුළ අර පරණ කෝපය සහමුලින් ම අමතක වී තිබුණි. සිත යට සඟවා ගත් වෛරයකින් ඔවුහු කිසිදාක ක්‍රියා නො කළහ. මේ ගතිය සිංහලයා තුළ පවතින දුර්වලකමක් සැටියට සමහරුන් සිතතත් අප එහි යථාර්ථය දනිමු. එය දුර්වල කමක් නොවේ හැදුණු කමකි. තමන් මරණු පිණිස තමන් හා යුධ වැදුණු එළාර රජුව පවා ඉතා ගෞරවයෙන් ආදාහනය කළ ගැමුණු රජු දිහා බලා ඇති කරගත් අපටම ආවේණික සභ්‍යත්වයකි.


එක් අතකට බලන කල සුලු ජාතිකයන් හා සිංහල මිනිසුන් අතර ඇත්ත වශයෙන්ම දැනටත් ගැටුමක් නැත. දැනට ඇති වී තිබෙන මේ ගැටුම සාමාන්‍ය මුස්ලිම් හෝ දෙමළ හෝ කතෝලික මිනිසුන් විසින් ඇති කරන ලද්දක් නොවේ. පෙර කී සේ ම අහිංසක ඒ මිනිසුන් උසිගන්වා ඔවුන්ගේ කර පිටින් පාර්ලිමේන්තුවට රිංගා ගනු කැමති දමිළ හා මුසල්මානු නායකයන් යැයි කියාගන්නා මිනිසුන් ටික දෙනෙකුගේ සිවල් ඝෝෂාව මේ භේද පිණිස සෘජුවම හේතු වී ඇත.


අවසාන වශයෙන් කිව යුත්තේ මෙය ය. ලෝකයේ වෙනත් රටවල මිනිසුන් ලංකාව දෙස බලන්නේ මේ රටේ ඇති ආර්ථික සම්පත් නිසා හෝ බුද්ධිමතුන් නිසා හෝ කෙරෙන නව නිපැයුම් නිසා හෝ නොවෙති. එබඳු කරුණු අතින් ලෝ වැසියන්ගේ සිත් අප රට කෙරෙහි යොමු කරවිය හැකි විශේෂත්වයක් කවදාක නම් පහළ වේ දැයි නම් මම නොදනිමි. නමුත් ඔවුහු බුදු දහම නිසා මේ රට ගැන දක්වන සැලකිල්ල කොතරම් ද යනු අපට වරින් වර නිදසුන්වලින් ප්‍රත්‍යක්ෂ වී ඇත. බුදු දහම ග්‍රන්ථාරූඪ වී සිංහල අකුරෙන් මුද්‍රණය වී තිබීම බුදුදහම මේ රටේ ස්ථාවර වීමකි. මෙරටට ගොඩබසින විදේශකයින් අපේ පැරැණි නටඹුන් දෙස බලා සිංහලයන් සතු පෞරාණික ප්‍රෞඩත්වය ගැන මවිත වන බව අපි දනිමු. එය පැරණ්නන් කෙරෙහි දක්වනු ලබන සම්භාවනාවක් මිස වර්තමාන සිංහලයන් කෙරෙහි ආරෝපණය වන්නක් නම් නොවේ. වර්තමානයේ සිංහලයෝ බෝක්කු උඩට වී පෞරාණිකත්වය ගැන උදම් අනනු දැක එදා සහ අද අතර ප්‍රකටව පෙනෙන අපේ වෙනස දෙස බලා ඔවුහු යටි සිතින් අපට සිනාසෙනු ඇත. අපට ලෝ වැසියන් අතර යම් තැනක් ලැබේ නම් එය බුදු දහම මුල් කොට ගෙනම ලැබුණකි. එනිසා බෞද්ධ සංස්කෘතිය ඔප් නැගුණු චරිතයක් හා බෞද්ධ ප්‍රතිපදාවක් මෙරට වැසියා තුළ නැවත වරක් පහළ කර ගත හැකි වුවොත් දැනට ටිකෙන් ටික බුදු දහමින් ඉගැන්වෙන ආධ්‍යාත්මික පාරිශුද්ධිය දෙස යොමුවන අවරදිග මිනිසුන්ගේ සිත් මේ රට දෙසට නැවත සෞම්‍යව යොමුවන බව පැහැදිලිව දක්නට ඇත. එනිසා රටේ ආර්ථික දියුණුව සමග මෙන් ම සංස්කෘතික දියුණුව ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දැක්විය යුතු බව අප කියන්නේ කරුණු සහිතව ය.


එම සංස්කෘතිය රැකෙන්නට නම් බෞද්ධකම රැකිය යුතු ය. බෞද්ධකම රකින්නට නම් සිංහලකම රැකිය යුතුය. එනිසා ඒ පිළිබඳව සිතනා සෑම සිංහලයෙකු තුළම ජාතියේ පාරම්පරික ගුණදහම් පිළිබඳව තමාගේ ජාතිය ඇසුරින් මිනිසෙකු තුළ පහළ වන ඒ අහංකාර ජාතිවාත්සල්‍යය තිබිය යුතුම ය. නැතිවුන් කෙරෙහි ඇති කිරීමට උත්සහ ගත යුතු ය. එසේ නැති උන් කෙරෙහි ජාතිවාත්සල්‍යය ඇති කිරීමට උත්සාහ ගන්නා සිංහලයා ජාතිවාදියෙක් නොව, ජාති හිතවාදියෙකි. එවැන්නන්ට ජාතිවාදියෝ කියන්නෝ පෙර කී ලෙස ම ජාතියේ වධකයෝ වෙති.


එනිසා මේ පරිසරය තුළ ජාතියේ වධකයෙක් වෙනවාද ජාති හිතවාදියෙක් වෙනවාදැයි ඔබ විසින්ම තීරණය කළ යුතු ය. සියල්ල සාරාංශ කර නැවත බැලූ කළ සිංහළ බෞද්ධයා කිසි විටක ජාතිවාදයෙක් වීමට උත්සහ දරාවත් නැති බව මනාව පෙනෙන්නට තියෙන අතර හුදු ස්වකීය සංස්කෘතිය පිළිබඳ ඇති කර ගත් ජාතිවාත්සල්‍යය ඔවුන්ගේ ලේ තුළ දුවන බව දක්නට ලැබේ. එනිසා සිංහල බෞද්ධයා ජාතිවාදියෙක් කීමට කිසිවෙකුටත් නො හැක. ඔවුහු හුදු ජාතිවාත්සල්‍යය කාරයෝ ය. එනිසා දැනට නිදිගත් ජාතිය නිසැකවම අවදි විය යුතු ය. බෞද්ධ සාරධර්ම රැකෙන රටක් බවට පත් කර ගැනීමට නම් එවැනි නායකයන් රටට පත් කර ගත යුතු ය. ඒ සඳහා ඉදිරි වැඩපිළිවෙලක්ද අප විසින් මේ වන විටත් සම්පාදනය කර අවසන් ය. මිනිසුන්ගේ එක් තැනකට ඒම පමණක් තවමත් ප්‍රමාද වී ඇත්තේ ය. ඔබේ යුතුකම ඔබ විසින් කළ යුතු ය. සඳහන් කර ඇති වෙබ් අඩවිය හා දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කර ගැනීමට ඔබ කාටත් හැකි ය. එවිට ඉදිරි වැඩ පිළිවෙල ගැන අප විසින් ඔබව දැනුවත් කරන්නෙමු. ඔබ සැමට සුවසේ ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයම වේවා යි පතමින් නවතිමි. සැමට තෙරුවන් සරණයි.


bottom of page