top of page

සිංහල බෞද්ධයා ජාතිවාදියෙක් ද?

අවුරුදු දෙදහසකට වැඩි කාලයක් සිංහලයන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කර ගෙන ආ සිංහලකමත්, බෞද්ධකමත් මත්තට රැක ගත හැකිවේද යන්න තරම් සැකයට භාජනය වන පමණට පිරිහී ඇති සමාජයක් මෙකළ වන විට අපට දක්නට ඇත. රටක වැසියන්ගේ ආධ්‍යාත්මික පිරීහීමේ කෙළවර ඉතාම භයානක ප්‍රතිඵල සලසා දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. එම පිරිහීමේ අන්තයට වැටුණු රටක වැසියන් නැවත යහපත් තැනකට ගැනීමට තැත් කිරීම කන්දක් මුදුනට ගලක් තල්ලු කිරීම වැනි ඉතා ම දුෂ්කර ක්‍රියාවකි. ඔවුහු අලස කම නිසා වැඩ නො කරති. දූෂණය, හොරකම, වංචාව වැනි පැත්තට බර වෙති. පව් පින් හෝ හොඳ නරක ගැන නො සලකති. ශ්‍රද්ධාවෙන් තොර වෙති. කර්ම ඵල නො අදහති. මේ හැම ලකුණක්ම අද අපගේ සමාජය තුළ දක්නට ඇත. වහාම පිළියම් නො කළහොත් අපේ රට වැසියන්ගේ අනාගතය ඉතාම බියජනක එකක් වනු ඇත.


එකි පිළියම් සඳහා පළමුව ජාතියක් වශයෙන් අපි අපේ වටිනාකම දත යුතු ව ඇත. ඊට පළමුව මෙසේ සිතා බැලිය යුතු ය. අපට ජාතියක් ඇත. භාෂාවක් ඇත. අදහන ධර්මයක් ඇත. ඒ ධර්මයට අනුව සකස් වුණු කලාවක් සහ සභ්‍යත්වයක් ඇත. එයට අනුව හැඩ ගැසුනු සංස්කෘතියක් ඇත. මිල කළ නොහැකි වටිනාකමක් ඇති ඒ අමූල්‍ය ධනය ආරක්‍ෂා කර ගැනීම පිණිස සිංහල බෞද්ධයන් විසින් දිවි පරදුවට තබා හෝ කටයුතු කළ යුතු ය. යුතු ම ය.


නමුත් කාලානුරූපව රටක ඇතිවන ආර්ථික පරිවර්ථන හේතුවෙන් සභ්‍යත්වයක් ඇති රටක නම් එම පරිවර්ථන එහි සංස්කෘතියට විශාල වශයෙන් එය හානි ගෙන දෙන්නක් වන නිසා බෞද්ධ අපේ රටට ද එවැනි අනිසි පරිවර්ථන නිසා අද වන විට විශාල හානියක් සිදු ව ඇත.

ඒ අර්ථසංරක්‍ෂණ ක්‍රමෝපායන් වල බෞද්ධ ජන සමාජයට හානි කර තැන් බොහෝමයක් ඇති බව නොරහසකි. ඒවා දැන් ඉවත් කිරීමට නොහැකි තරම් උඩුදුවා ඇති බවද නොරහසකි. ඒවා ඉවත් කිරීමේදී ආර්ථික වශයෙන් රටට පාඩු සිදු විය හැකි බව ද සත්‍යයකි. එනමුත්, ජාතියකට හිමි පාරම්පරික ආධ්‍යාත්මීය ගුණධර්ම ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම ගැන සලකන විට එය පාඩුවක් හැටියට සැලකීම අප වැනි ජාතියකට කිසිසේත් සුදුසු නොවේ.


මේවා මෙසේ කීමේදී අපට එල්ල වන පළවෙනි සහ භයානකම චෝදනාව නම් ජාතිවාදී චෝදනාව ය. පුදුමය නම් එය එල්ල කරන්නේ අපේම සිංහල බෞද්ධයන්ම වීම ය. නමුත් ඔවුහු සිංහලකමවත්, බෞද්ධකමවත් නිසි ලෙස නො ගත් අහින්සකයෝ ම වෙති. වැරදි තැනින් අල්ලාගත්තෝ ම වෙති. එනිසා එවැනි හිස් මිනිසුන්ගේ හඬට බිය වී නුවණැත්තෝ සහ සවි ඇත්තෝ නිහඬව සිටිය යුතු නොවේ. යමෙක් එසේ ඒවාට බයෙන් නිහඬව සිටීනම් එයම ජාතික අපරාධයකි.


සිංහල බෞද්ධයන් හැටියට කවරදාකවත් අපි කිසිම ජාතියක අයිතිවාසිකම් නැති කිරීමට උගුල් ඇද්දෝ හෝ උගුල් අදින්නෝ නො වෙමු. වෙනත් ආගමක් විනාශ කිරීමට හෝ ඒ ආගම අදහන්නන්ට හිංසා කිරීමට ක්‍රියා කළ හෝ ක්‍රියා කරන්නෝ නො වෙමු. වෙනත් ජාතියක් සතු භාෂාවක් හෝ සාහිත්‍යයක් හෝ පිටු දැකීමට තරම් අදුරදර්ශී නො වෙමු. එබඳු නිහීන කටයුතු වලට සිංහල බෞද්ධයන් කිසිකලක සහභාගි වූ බවට ඉතිහාසයේ වත් කිසිම නිදසුනක් වත් දැක්විය නො හැකිය. එනමුත් නුදුරු අතීතයේ මෙරට පාලනය කළ කිසිදු ජාතියකට එබඳු නිර්භීත ප්‍රකාශයක් කිරීමට ශක්තියක් නැත. ලෝකයේ යම් යම් රටවල සිදු වූ දේ පැත්තක තබත්වා, ඔවුන් මේ රටේ ගෙනගිය ව්‍යාපාර දෙස බලන විටම සිංහල ජාතියත්, බුදු සමයත් නැති කිරීමට ගත් සාපරාධී උත්සාහයත්, කර ඇති සාපරාධී ක්‍රියාත් ශිෂ්ඨ සම්පන්න ලෝකයා නම් පිළිකුලෙන් යුතු ව හෙළා දකිනු ඇත. ඔවුන්ගේ ආගම ඉගැන්වීම පිණිස ඔවුහු දහස් ගණනින් මිනීමැරුම් කළහ. කුඩා දරුවන් රැගෙන උඩ දමා හෙල්ලූ ඔසවා එහි අමුණා මරා දැමූහ. අපේ භාෂාව ව්‍යවහරයෙන් ඉවත් කර දමනු පිණිස නීච උපක්‍රම යෙදූහ. ඒ අතින් බලන විට ඉහත කී සෑම ජාතියක්ම යටත් විජිත පාලනයෙන් පරාජය වූ බව පෙනෙන්නට ඇත.


නමුත් එවැනි ආකාරයේ කිසිම චෝදනාවක් අප කරා නැංවීමට කිසිවෙක්ට නොහැක. බුරුම රට යටත් කළ නමුත් නැවතත් එරට පාලනය ඔවුන්ටම පැවරූ පැරකුම්බාවන් පඬිරට ජයගෙන ඔවුන්ගේම රජ කුමරෙක් එහි සිංහාසනාරූඪ කර පිරිසිදු සිතින් සිය සෙන් ආපසු කැඳවූ හැටි අප ඉතිහාසයෙන් දනිමු. ඒ අපේ සිංහල බෞද්ධ හැදියාව ය. කතෝලිකයන් සොය සොයා මැරූ ඕලන්දයන්ගෙන් ඔවුන් බේරා ගනු පිණිස පළමුවන රාජසිංහ රජු විසින් ගන්නා ලද කාරුණික වෑයම මේ වන තුරු අපේ රටේ කරදරයක් නැතිව ජීවත්වන කතෝලිකයන් නිසා ස්ඵුට වෙයි. එම නිසා සිංහලයන්ට විරුද්ධව එබඳු නින්දිත චෝදනා නැගීම හෝ ඒ වෙනුවෙන් ඇඟිල්ලක් එසවීමට වත් කිසිවෙක්ට ඉඩක් නැත. බෞද්ධ සභ්‍යත්වය හා ආත්මාර්ථකාමී බවින් තොර පිරිසිදු හිතක් ඇති පැරණි සිංහලයන් තුළ පැවති උදාර සංස්කෘතිය දිනෙන් දින පිරිහී යන විට ඒ ජාතික ධනයට හානි වන හැටි නො දැක වර්ථමාන සිහලුන් නිදි ගත් දෙනෙතින් සිටිනු දකින ශාසනමාමක, ජාතිමාමක සිංහලයන් තුළ පහළ වෙන ධර්ම සංවේගය වචනයෙන් නම් ප්‍රකාශ කළ හැකි නොවේ. එලෙස මේවා නොදැන, නොදැක සිටින්නේ පැහැදිලිවම නිදි ගත් සිහලුන් ය. ඔවුන්ව ඒ නින්දෙන් අවදි කිරීමට වෑයම් කරනා උතුමෝ අද ජාතිවාදියෝ යැයි හංවඩු ගැසීමට බෞද්ධ සමාජයම පුරුදු වී සිටිති. නමුත් එවැනි උතුමන්ට ජාතිවාදියො කියන්නෝම ජාතියේ වධකයෝ වන බව කවුරුත් සිහි තබා ගත යුතු ය.


දෙමළ, මුස්ලිම්, කතෝලික මිනිසුන් පාගා දැමීමටත් ඔවුන්ගේ භාෂාව ආදිය නැති කිරීමටත් සිංහලයන් ක්‍රියාකරමින් යන බවට අද චෝදනා නගනු ලැබේ. මා දන්නා හැටියට පාරම්පරික අයිතිවාසිකමක් ඇති උතුරේ දෙමළ මිනිසුන් සතු අයිතිවාසිකම් නැති කර දැමීමට හෝ දෙමළ භාෂාව මෙරටින් ඉවත්කර දැමීමට හෝ අදහසක් ඇති එකදු සිංහලයෙක් වත් මේ රටේ නැත. අරගලය ඇත්තේ එතැන නොවේ. අපට එහි කිසිදු අරගලයක් නැත. ඔවුහුද මේ රටේ ජීවත් විය යුත්තේ ය. ඔවුහු ඔවුන්ගේ භාෂාවන් සංස්කෘතීන් ආගම් ඇදහීම අපට කිසිමාකාරයකින් ගැටලුවක් නොවේ.


නමුත් ඒ ඒ ජාතීන්ගේ දේශපාලන නායකයන් ගේ ඉගැන්වීම් නිසා භේදකර ක්‍රියා මාර්ගයන්ට යොමු වී ඇති ඒ ජාතීන්ගේ ආගමික පූජකවරු මෙන් ම සාමාන්‍ය මිනිසුන්ගේ කටයුතු කෙරෙහි හටගත් බලවත් අප්‍රසාදයත්, භයත් මුල්කොට සිංහලයා ඔවුන්ට විරුද්ධව නැගී සිටින බව නම් ඇත්තකි. එය හුදු ආත්මාරක්ෂාව පිණිස ඔවුන් ගත් ක්‍රියාමාර්ගයකි. එහි වරද පෙර කී කිසිදු ජාතියක අසරණ මිනිසුන්ගේ හෝ සිංහලයන්ගේ හෝ නොවේ. බලකාමී අදූරදර්ශී දෙමළ, මුස්ලිම් ආදී දේශපාලනඥයන්ගේ ය. අද මෙරට සිටින ඒ සුලු ජාතික මිනිස්සුන්ගේ හිතුවක්කාර වැඩවලට සිංහල මිනිසුන් ම මෙතරම් දුරට ඔරොත්තු දී සිටිනවා මිස වෙනත් රටක ප්‍රධාන ජාතියකට එරෙහිව දෙවැනි ජාතියක් මෙබඳු හිතුවක්කාර, සාම විරෝධී ව්‍යාපාර ගෙන ගියේ නම් රට ඇතුලත බලවත් අරගල ඇති වනු නො වැළැක්විය හැකි ය. ලංකාව වැනි සුළු දිවයිනක රට බෙදීමේ යෝජනා, අයිතිවාසිකම් වෙන වෙනම ඉල්ලීමේ යෝජනා, ශරියා ආදී නීති වලට ඉල්ලීම් කරන යෝජනා ආදි භේදකර ඉල්ලීම් ඉදිරිපත් කරමින් ෆෙඩරල් පක්ෂ ආදී ගෙන යන මේ දේශද්‍රෝහී ක්‍රියා මාර්ග ඇත්ත වශයෙන්ම නීතියෙන් ම තහනම් කළ යුතු ය. මන්ද එය මහජාතිය යටත්කර ගැනීමේ කුමන්ත්‍රණයක් වන බැවිනි. එය එසේ වූවද, අප ඒ පිළිබඳව කෙතරම් කරුණු දැක්වූව ද තමාගේ දේශපාලන බලය රැක ගැනීමේ චේතනාව උඩ රටේ වර්ථමාන වගකිව යුත්තෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂ විසින් එවැනි සුලු ජාතීන්ට විරුද්ධව කිසිම පියවරක් නොගැනීම මෙහි ඇති අනෙක් බිය ගෙන දෙන පැත්ත ය. එනිසා සිංහල බෞද්ධයෝ විසින් ජාතිවාත්සල්‍යය ඇති කර ගත යුතු යුගය නැවත උදා වී ඇත. එය විය යුත්තක් ම ය. මන්ද යත් දැන් මේ වන විට මේ රටේ බෞද්ධත්වය නතර වී ඇත්තේ එළිපත්තක් උඩ ය. ඊළගට තබන අඩිය නිසා එක්කෝ පාතාලය කරා ඇදගෙන වැටෙනු ඇත. නැතිනම් නැවත පුනරුත්ථාපනයක් කරා ගමන් කරනු ඇත. අප සියල්ලෝම ඉතා පරෙස්සමින් ක්‍රියා කළ යුතු අවදානම් මොහොතක සිටින බව කිසිවෙක් අමතක නො කළ යුතු ය.

දැනට පත්ව සිටිනා නායකයන් ගැන නම් අපට කිසිදු බලාපොරොත්තුවක් තැබිය නො හැකි ය. ඔවුන්ගෙන් අප ඉල්ලන්නේ සුලු ජාතීන්ගේ හිස සිඳිනු මැනවි කියා නොවේ. ඔවුන් විසින් මහා ජාතිගේ බොටුව සිඳීමට මුවහත් කරන ආයුධ අරගෙන ඈතකට විසික් කරනු කියා ය. එහෙත් එබඳු ශක්තියක් ඇති නායකයෙක් දැනට පේන්නට නැත. ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රතිඵලයක් නැති බව කීවේ එහෙයිනි.


ඉහත මා විසින් සියලු සිංහල බෞද්ධයෝ ජාතිවාත්සල්‍යයක් ඇති කර ගත යුතුයැයි කීවේ ය. මේ ජාතිවාත්සල්‍යය යනු කුමක්දැයි අප විසින් දැන ගත යුතු ය. එය ජාතිවාදයට විරුද්ධ වචනයකි. අප විසින් ඇති කර ගත යුත්තේ ජාතිවාදී හැඟීම් නොව, ජාතිවාත්සල්‍යයෙන් යුත් හැඟීම් ය. ඒ වචන දෙකෙහි වෙනස පහත දක්වනු ලැබේ.


bottom of page