top of page

නමෝ තස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස..

බුදු රජාණන් වහන්සේ ගේ දේශණාව ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි දුක්ඛිත තත්වයන්ගෙන් යුත් සසර කෙළවර කොට ලබන නොනිමෙන සැනසීිම දක්වා දිවෙන මාර්ගය පැහැදිලි කළ අති උත්තරීතර දහමකි. එය නුවණින් පිරික්සන්නෙකුට මේ ලෝකය බොහෝ දුක් සහිත බවත් ඒ සියලු දුක් මනුෂ්‍ය ලෝකයට පමණක් සීමා නො වූවක් බවත් භව ගාමී ගමන තුළ 1කාම භූමියක වේවා, රූප භූමියක වේවා, අරූප භූමියක වේවා 2 ලබන්නා වූ උත්පත්තියක් ඇත්නම් එය සංස්කාරයන් පෝෂණය කිරීමේ පීඩාව ඇති වෙහෙසකර ස්ථානයක් බවත් එම ලෝක ධාතු තුළ කුමන ආකාරයේ උත්පත්තියක් ලැබූවත් එය දුකක් පීඩාවක්ම වන සැටිත් මොනවට තේරුම් ගත හැකි ය. මෙම පීඩාව සැබවින්ම පීඩාවක් බවට තේරුම් ගත් අයෙක් එම දුකෙහි කලකිරෙන බව භාග්‍යවතුන් වහන්සේ විසින්

සබ්බේ සංඛාරා දුක්ඛාති - යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා


(සියලු සංස්කාරයෝ දුක යැයි යමෙක් නුවණින් දකීද ඔහු එම දුකෙහි කළකිරෙන බවත් එම කලකිරීමම විශුද්ධියට මාර්ගය වන බවත් මෙහි අර්ථය යි.)


යන දේශණාවෙන් දේශණා කොට වදාළ සේක.


මේ අනුව ඔබ පළමුව කළ යුත්තේ මේ සසර ජීවිතය දුකක් බව වටහා ගැනීමයි. එය මේ පොත් පිංචකින් ලියා නිම කළ හැක්කක් නම් නොව, පිරික්ස පිරික්සා ඔබේ නුවණින්ම වටහා ගත යුත්තකි. මේ ජීවිතය සැබවින්ම පුදුමාකාර දුකකි. පීඩාවකි. මොන තරම් සැප

පහසුකම් දුන්නත් මේ ශරීරයම අපට කරන්නේ අසත්පුරුෂ කම් ය. කොතරම් සැලකුවත් දිනෙන් දින දිර දිරා යයි. ඒ ද නිකන් දිරන්නේ නැත. දිරන අතර තුර පුදුමාකාර ලෙඩ දුක් සෑදී ඒ දුකින් ද පීඩා කරයි. වරෙක පිළිකා සෑදේ. තවත් වරෙක වකුගඩු දිය වේ. තවත් වරෙක මොළයේ නහර හිර වේ. මූත්‍රා මාර්ග හිරවේ. මෙසේ මේවා ලෙඩවීම ද දුකකි. ඒ අතර තුර දිර දිරා යෑම ද දුකකි. ඒ ලෙඩ දුක් වලට බේත් හේත් ගන්නට ගිය විට ඒවාට බට දමා ශරීරයට කටු ගසා ලේ ආදීය ගැනීමද දුකකි. මහා පීඩාවකි. ලියන විටත් හිරිකිතක් දැනේ. ජීවිතයම පුරාම ලෙඩ වෙවි දිර දිරා යන ශරීරය කෙතරම් බේත් හේත් ආදිය දී පවත්වා ගන්නට උත්සහ කළ ද අවසානයේ අප පරාජය වී මෙය මරණයට පත් වීම ඊටත් වඩා දුකකි. ජීවිත කාලයම හරි හම්බ කළ යාන වාහන, ගෙවල් දොරවල් ආදී භෞතික වස්තූන් ද දිවියම කැප කර හැදූ දරු පැටවුන්ද නැත්තටම නැතිවී මරණය අපිව තනිකර දමන බව සිතීමත් බියකරු කරුණක් ය. ඒ සියල්ලන්ම පසෙක තැබේවා මරණයෙන් මතු උප්පත්තිය ගැන සිතීමේදී නැවතත් සියල්ල හැර දැමීමට සිතේ. තිරිසන් අපාය, නිරය, ප්‍රේත ලෝකය ආදී තැනක උත්පත්තිය ලද හොත් කාල සීමාවක් නැතිව විඳින්නට වන දුක සිහිපත් වන විට ඇග පත හිරි වැටී යයි. සියල්ල කීමට තැන නොවන බැවින් ඉතිරිවා කල්පනා කොට හෝ ධර්ම ශ්‍රවණය කොට හෝ පොත් පත් කියවා වටහා ගත යුතු ය.


මෙසේ මේ හැම දුකක් ලෙස දකින්නා ඊළගට කල්පනා කරන්නේ මේ දුකට හේතුව කුමක්ද යන්න ය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සියලු දුකට හේතුව ඉපදීම බවයි. අහෝ එය ඒකාන්ත සත්‍යයක් ය. ඉදින් ඉපදීමක් නැති තැන දුකක් විඳින්නට අයෙක් නැත. උපදින තුරා දුක් විඳීමට 3පංචස්කන්ධයක් සකස් වෙයි.


එසේ නම් මේ සියලු දුක මේ ස්කන්ධ පංචකයේ පහළ වීම නැති නම් ඉපදීම නිසි සිදු වේ. එසේ නම් මේ සියලු දුකෙහි කෙළවර දකින්න නම් නැති කළ යුතු එකම කරුණ ඉපදීම බවට විවාදයක් නැත. ඊළග ගැටලුව නම් ඉපදීම කුමක් නිසා සිදුවන්නේ ද යන්නයි. භාග්‍යවතුන් වහන්සේ ඉපදීම ඉපදීමට තැනක් නැතිනම් සිදු නොවන බව නුවණින් අවබෝධ කොට ගෙන ඉපදීමට හේතුව භවය හෙවත් ඉපදීමට ස්ථානයක් සකස් වීම බව පෙන්වා දුන් සේක. අනතුරුව පැමිණිනෙන ගැටලුව භවය සකස් වන්නේ ඇයිදැයි යන්න ය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ උපාදානය නිසා භවය සකස් වන බවත් උපාදානය සකස් වන්නේ තණ්හාව නිසා බවත් දේශණා කොට වදාළ අතර දුකට ප්‍රධානතම හේතුව ලෙස තණ්හාව බව පෙන්වා දුන් සේක. මෙය පුදුමකාර විශ්ව දහමකි. නුවණින් පිරික්සා බැලූ කල මෙය කෙතරම් ප්‍රායෝගිකද යන්න පසක් කර ගැනීමට ඕනෑම නුවණැත්තෙකුට හැකියාවක් ඇත.


පංචස්කන්ධය පිළිබඳව තණ්හාව ඇති වීම නිසා ඒ ඒ උපාදානීය වස්තුන් විෂයෙහි උපාදානයන් ඇති වේ. එකම වස්තුවකට නැවත නැවත තණ්හා කිරීම හේතුවෙන් ඒ වස්තූන් උපාදාන වස්තූන් බවට පත්වේ. මෙය නිදසුනකින් තේරුම් ගන්නේ නම් අපි පාරක යන විට මීට පෙර කිසි දිනක දැක නැති රූපයක් දැක්කා යැයි සිතමු. එය සම්මතයේ හැටියට අලංකාර යැයි ව්‍යවහාර වෙන රූපයක් නම් අපේ ඇස හරහා අපි එම රූපයේ සතුටු වෙයි. එම රූපය නිසා සිතේ ඇතිවන සැප වේදනාව කෙරෙහි තණ්හා කරන අපි නැවත නැවත එම රූපය දිහා බලා සතුටු වන්නට උත්සහ කරති. ඒ නිසාම එම සැප වේදනාව අපිට උපාදානය වේ. සැප වේදනාව ලබා දෙන්නට උපයෝග වුණු වස්තුවද අපට උපාදානීය වස්තුවක් ගණයට වැටේ. තණ්හාව හා උපාදානයේ


වෙනස මෙලෙසින් දැන ගත යුතු ය. එලෙස ඇතිවන උපාදානයන් නිසා භවය සකස් වන බවත් එයින්ම ජාති, ජරා, මරණ ආදී දුක්ඛිත තත්වයන් වලටත් මුහුණ පෑමට සිදු වන බව බුද්ධ දේශණාව වෙයි. එය බුද්ධ දේශණාව පමණක් නොව ලෝක සත්‍යයද එයම ය. නිවැරදි ලෝක නීතිය ද එයම ය. එය නුවණැත්තෝ දනිති.


මේ කී සියලු කාරණා එක් තැනකට කැටි කර ගත් විට අපිට මෙලෙස නිගමනයකට ආ හැකි ය. තණ්හාව නිසා දුක ඇති වේ. එසේනම් දුක නැති කර ගැනීමට කළ යුත්තේ තණ්හාව නැති කර ගැනීමයි. එය සරල න්‍යායකි. තෙල් සහ පහන් තිර ඇති තාක් ගින්න පහන පත්තු වේ. ඉදින් තෙල් හා තිර නැත්නම් පත්තු වන පහනකුත් නැත. එමෙන්ම තණ්හාව ඇති තාක් දුක ඇත. තණ්හාව නැති තැන ඇති දුකක් නැත. එසේ නම් දුක නැති කරගැනීමට නොව උත්සහ කළ යුත්තේ තණ්හාව නැති කර ගැනිමට ය. එවිට දුක නිකන්ම නිරෝධ වී යනු ඇත. දැන් ඔබෙන් විමසීමට ප්‍රශ්ණයක් තිබේ. ඉදින් ඔබ දුක නැති කර ගැනීමට කැමති නම් ඔබට තණ්හාව නැති කර ගැනීමට සිදු වේ. එනම් ඔබේ දරු පැටියා කෙරෙහි ඇති ආදරය, ජීවත් වීමේ බලාපොරොත්තු ආදි සියලු භෞතිකයන් පිලිබඳ තියෙන බලාපොරොත්තු ආදිය අතහැර දැමීමට සිදු වේ. ඔබ මෙයට කැමති ද? එනම් එසේ එම බලාපොරොත්තු හා කැමත්තවල් නැති කර ගැනීමට ඔබට හැකි ද? ඔබ එයට කැමති ද?


දැන් ඔබේ හිත දෙපැත්තකට අර අදිනවා ඇත. දුක නැති කර ගැනීමටත් අවශ්‍යය. බැඳීම් නැති කර ගැනීමටත් නොහැකි ය. රැවුලත් කැඳත් දෙකම ඕනෑ වී ඇත. සත්‍යම කථාව ඔබට දුක නැති කර ගැනීමට අවශ්‍ය බැඳීමුත් ඉතිරි කරන් ය. ඔබට බැඳීම් අත්හැර ගැනීමට නොහැක. අනික් අතට මා ඔබට කීවෝත් සියලු බැඳීම් අත්හරින්න යැයි එය ඔබට කිරීමටත් නො හැක. නැත ඔබ බැඳීම් අත්හැරිය යුතු නැත. මේ පෙන්වන මාර්ගය නිවැරදිව කල්පනා කර බැලිය යුතු ය. එවිට ඔබට මේ මාර්ගය විනිවිද පෙනෙනු ඇත. ඔබ බැඳීම් අත්හැර දැමීමට කලබල විය යුතු නැත. නමුත් ඔබ විසින් කළ යුත්තක් තිබේ. ඒ මේ ලෝකය තුළ ඇති සියලු බැඳීම් අස්ථීර බවත් තාවකාලික බවත් සිහි කර තබා ගැනීම යි. එසේ ඒ බැඳීම් තාවකාලික බවත් අනිත්‍ය බවත් දැනගෙන වාසය කිරීම නිසා ඔබට ඒ බැඳිච්ච වස්තු වෙනස් වීම තුළ, නැති වීම තුළ දුකක් හට නොගනියි. එය චිත්තය හා බැඳිච්ච හේතු ඵල දහමයි.


බුදු රජාණන් වහන්සේ මේ ගැන දේශණා කලේ අංගුත්තර පඤ්චක නිපාතයේ ඨාන නම් වූ සූත්‍ර දේශණාවේ ය. එහි දී උන් වහන්සේ විසින් “පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?”


(1) ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.


(2) ව්‍යාධිධම්මොම්හි ව්‍යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.


(3) මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.


(4) සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.


(5) කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධූ කම්මපටිසරණො, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.


යනුවෙන් ගිහියන් විසින් පැවිද්දන් විසින් නිතර නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක් පිළිබඳව දේශණා කර වදාළ සේක. එහි සිංහල සරළ අර්ථය පහත පරිදි දත යුතු ය.


මහණෙනි, මේ කරුණු පස ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය. කවර කරුණු පසෙක් ද යත්?


(1) මම දිරන ස්වභාව ඇත්තේ වෙමි. ජරාව නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද පුරුෂයා විසින් ද ගිහියා විසින් ද පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.


(2) මම රෝග හටගන්නා ස්වභාව ඇත්තේ වෙමි. රෝගය නො ඉක්ම වූයේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතුය.


(3) මම මැරෙන ස්වභාව ඇත්තේ වෙමි. මරණය නො ඉක්ම වූයෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.


(4) ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන් මාගේ වෙන්වීම සිදුවේ යයි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.


(5) මම කර්මය අයත් දෙය කොට ඇත්තේ වෙමි. කර්මය උරුම කොට ඇත්තේ වෙමි. කර්මය සුව දුක් ලැබීමේ හේතුව කොට ඇත්තේ වෙමි. කර්මය පිහිට කොට ඇත්තේ වෙමි යි ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද, පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය.


මෙලෙස මෙනෙහි කරන්නෙකුට ක්‍රමයෙන් ලෝකය තුළ ඇති සියල්ල වෙනස් වන බවත්, නැතිවන බවත් දැනෙන්න සිහිවෙනේනට පටන් ගනී. එය වරක් දෙවරක් පොතක් කියෙව්වාට ලැබෙන අවබෝධයක් නොව, නැවත නැවත මනසිකාරය කිරීම නිසා ඇතිවන අවබෝධයක් ය. අඩුම දිනකට දෙවරක් තුන්වරක්වත් විවේකීව මේ බව කල්පනා කළ යුතු ය. එවිට ඔබ බැඳීම් අත්හැරිය යුතු නැත. නමුත් බැඳීම් වලට ඇති අනිසි තණ්හාව නම් ඔබත් නොදැනුවත්වම ඔබෙන් ගිලිහෙනු ඇත. ඒ තාවකාලික දේවල් ස්ථීර යැයි සිතන ලාමක මානසිකත්වයක් ඔබට නොමැති බැවිනි. ඒ කරන මනසිකාරයට භාවනාව යැයි ව්‍යවහාර කරයි. යෝනිසෝ මනසිකාරය යැයිද කියයි. වචනය කුමක් හෝ වේවා කළ යුත්තේ ලෝකය පිළිබඳව නිවැරදිව කල්පනා කිරීමයි. තථාගත දේශණාව නම් මෙයයි. ඒ සඳහා පියවර වශයෙන් පළමුව ලෝකයේ ඇති සියලු දේ දිරන සුලු හා නැති වන සුලු බව කල්පනා කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහ රහත් උතුමන්ද පිරිනිුවුණේ නම් අප ගැන කවර කථාද යන්න කල්පනා කර දෙවනුව අපත් කෙදිනකෝ මැරෙනවා නේද යැයි කල්පනා කර බැලිය යුතු ය. තමන්ගේ මරණය මරණ ගෙදර මනසින් අත්දැකිය යුතු ය. එවිට අපිට අහෝ අපත් ඒකාන්තයෙන් දිනක


මැරෙනවා නේද යැයි සිතිවිලි එන්නට පටන් ගනී. එවිට අප පමණක් නොව අපේ දරුවන් දෙමව්පියන් ද මරණයට පත්වන බව සිතන්නට පෙළඹිය හැක. මෙලෙස මනසිකාරයේ යෙදෙන ඔබට ක්‍රමාණූකූලව බැඳීම් වලට තියෙන තණ්හාව නැති වීමට පටන් ගනී. රහත් භාවය දක්වාම ක්‍රමාණූකූලව තණ්හාව ක්‍ෂය වීමට පටන් ගනී. අවසානයේ කුමන ආකාරයේ බැඳීමක් ඔබට තිබ්බද එම බැඳීම් අනිත්‍ය බව, අස්ථීර බව දන්නා නිසා ඒ බැඳීම්වල කලකිරීමක් ඇති වනු මිසක, අත්හැරීමක් ඇතිවනු මිසක, නො ඇලීමක් ඇති වනු මිසක කිසිම විටක අල්ලාගැනීමක් හෙවත් උපාදානයක් නම් ඇති නොවනු ඇත. උපාදානයන් නිරුද්ධ වීම තුළ භවය ඒ අනුසාරයෙන් ජාතිය හෙවත් ඉපදීමද නිරුද්ධ වනු ඇත. මේ තථාගත ධර්මයේ හරය නෙලා ගැනීමට මාර්ගය වේ. වීර්්‍යවන්තයො නිවන කෙරෙහි ඡන්දය උපදවා ගෙන භව දුක් නිමා කර ගැනීමට වෙර දරත්වායි පතමින් නවතිමි. තෙරුවන් සරණයි.


bottom of page