top of page

05. ආනාපානසති භාවනාවෙන් නිවනට

එහි පාලිය භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වමින්,


“කථඤ්ච භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලකං ආභුජිත්වා උජු කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා,


(1) සො සතො ව අස්‌සසති, සතො ව පස්‌සසති

.

(2) දීඝං වා අස්‌සසන්‌තො දීඝං අස්‌සසාමීති පජානාති, දීඝං වා පස්‌සසන්‌තො දීඝං පස්‌සසාමීති පජානාති. රස්‌සං වා අස්‌සසන්‌තො රස්‌සං අස්‌සසාමීති පජානාති, රස්‌සං වා පස්‌සසන්‌තො රස්‌සං පස්‌සසාමීති පජානාති.


(3) සබ්‌බකායපටිසංවෙදී අස්‌සසිස්‌සාමීති සික්‌ඛති, සබ්‌බකායපටිසංවෙදී පස්‌සසිස්‌සාමීති සික්‌ඛති.


(4) පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං අස්‌සසිස්‌සාමීති සික්‌ඛති, පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං පස්‌සසිස්‌සාමීති සික්‌ඛති”


යනුවෙන් දේශනා කොට වදාළ සේක.


ආනාපානසති භාවනාවේ ප්‍රධාන පියවර සතරකි. ඉහත අංක වලින් වෙන් කර දැක් වූ ඒ පියවර සතරෙන් අනතුරුව ධ්‍යාන ලැබීම සිදු වේ. එය යෝගාවචරයා ගේ රුචිය සහ හැකියාව අනුව ප්‍රථම ධ්‍යානය හෝ ක්‍රමයෙන් දෙවැනි, තුන්වැනි, සතරවැනි ධ්‍යානය දක්වා වර්ධනය කර එයින් නැගී සිට උපචාරයට පැමිණ විදර්ශනා කළ යුතු ය.


මේ භාවනාවේ පියවර සතර දේශනා කිරීමට පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් යෝගාවචරයා වෙත උපදෙස් කිහිපයක් ලබා දී ඇත. ඒ උපදෙස් සහ පියවර සතර සරල භාෂාවෙන් ලියතොත් ඒ පිළිවෙල මෙසේ දත යුතු ය.


01. පළමු ව භාවනාවට සුදුසු ස්ථානයක් සොයා ගත යුතු ය. අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා යන්නෙන් ඒ භාවනාවට සුදුසු ස්ථානයන් දක්වනු ලැබී ය.


02. අනතුරුව භාවනාව ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සූදානම් විය යුතු ය. නිසීදති පල්ලකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා යන්නෙන් එය දක්වනු ලැබී ය.


03. අනතුරුව භාවනාව වැඩීම ආරම්භ කළ යුතු ය. එය අංක කර ඇති පාලි පිළිවෙලින් අර්ථය පහත දක්වන සේ දැන ගත යුතු ය.


01 වන පියවර - සිහියෙන් හුස්ම ගැනීම සහ හෙළීම.


02 වන පියවර - දිග කෙටි භාවයෙන් තොර ඒකාකාරී රටාවක් හඳුනා ගැනීම.


03 වන පියවර - ආශ්වාස ප්‍රාශ්වාස කය හඳුනා ගැනීම.


04 වන පියවර - එම ආශ්වාස ප්‍රාශ්වාස කය සංසිඳවමින් භාවනා කිරීම වශයෙනි.


මේ පියවර සතර දැක්වීමෙන් අනතුරුව මේ ආනාපානසතිය වැඩීම ගැන උපමාවක් ද පෙලෙහි “සෙය්‍යථාපි භික්ඛවෙ, දක්ඛො භමකාරො වා” යන පාලි පාඨයකින් දක්වා ඇතත්, භාවනාවේ පියවර අතර එය වැටහෙන ආකාරයෙන් විස්තර කරනු ලැබෙනු ඇති නිසා එය මෙහි ග්‍රන්ථය දීර්ඝ කිරීම වළකනු වස් නො දක්වා ඇත.


මෙම පියවර සතර වැඩිය යුතු ආකාරය මෙසේ දත යුතු ය.


භාවනාවට සුදුසු ස්ථානයක් යනු භාවනාවට ප්‍රථම නිස්කලංක නිහඬ පරිසරයක් සොයා ගැනීම ය. මෙය ආනාපානසති භාවනාව බැවින්, ඒ සඳහා බිත්ති ආදියෙන් කොටු වූ කාමර ආදියක් භාවිතා නො කර සිහිල් සුළං ගැවසෙන එළිමහන් පරිසරයක් නම් වඩාත් උචිත බව දැන ගත යුතු ය.


කාමරයක් තුළ සිදු කරන්නේ නම් වෙනත් ගෘහ භාණ්ඩාදිය පුරවා නැති, මනසට නිදහසක් දැනෙන සේ අල්ප වූ භාණ්ඩ ප්‍රමාණයක් පවතින තැනක් නම් වඩාත් සුදුසු බව දැන ගත යුතු ය. බිත්තියක් ආසන්නයේ බිත්තිය දෙසට හැරී භාවනා කිරීම අත් හැර, බිත්තිය පසෙට වී විවෘත අවකාශය දෙස බලා භාවනා කිරීමට උත්සහ කරනු.


භාවනාවට පෙර දහදිය ආදිය දමා ඇත්නම්, ස්නානය කර හෝ එයින් පිරිසිදු විය යුතු ය. ඒ භාවනාව කයට සංවේදී වන විට දහදිය දුර්ගන්ධය ආදිය දැනීමෙන් අර්පණා ලැබීමට බාධාවක් විය හැකි බැවිනි. එනිසා වස්තු විශද ක්‍රියාව හෙවත් අභ්‍යන්තරික බාහිර පිරිසිදු බව මෙම භාවනාවට ඉතා වැදගත් බව සැලකිය යුතු ය.


එහි අභ්‍යන්තරික පිරිසිදු බව යනු කෙස්, රැවුල් සුදුසු පරිදි කපා නියපොතු ආදිය ශුද්ධ පවිත්‍ර කොට, ජලස්නානය වැනි කටයුතු වලින් ලබන කායික පිරිසිදු සහ පිළිවෙල බව යි.


බාහිර පිරිසිදු බව යනු තමන් වැඩ වාසය කරන කුටිය හෝ කාමරය, එහි මිදුල ආදියේ ඇති පිරිසිදු බව යි. එය සමාධිය ලැබීම පිණිස ප්‍රබල හේතුවක් වේ.


අනතුරුව තමන් ගේ කයට අපහසු නැති ආකාරයකට එරමිණිය ගොතා ගෙන හෝ තරමක් උස බංකුවක් භාවිතා කර හෝ අපහසු ම අයෙක් නම් පමණක් පුටුවක් භාවිතා කර හෝ පර්යංකයක් බැඳ හිඳ ගත යුතු ය.


මෙහි දී කාන්තාවන් විසින් හිඳ ගන්නා බවට මෙකල දක්නට ලැබෙන අර්ධ පර්යංක ක්‍රමය සුදුසු නැති බව විශේෂයෙන් දැක්විය යුතු ය. මන්ද මේ පර්යංක ඉරියව්වේ දී පිට කොන්ද සෘජු ව තබා ගැනීම ඉතා වැදගත් කරුණක් බැවිනි. මෙය අටුවාවන් වල පිට කටු එකිනෙක මත පිහිටන සේ හිඳ ගත යුතු යැයි දක්වා තිබේ. පුටු ආදියක වාඩි වන යෝගාවචරයන් විසින් එයට හේත්තු නොවී සිටීමට වග බලා ගත යුතු ය.


මෙහි දී බිම හිඳ ගැනීම ඉතා ම සුදුසු අතර ක්‍රම ක්‍රමයෙන් දැක් වූ විකල්ප ඉරියව් වලට යෑමේ දී භාවනාවේ බලය අඩු වන බව දත යුතු ය. මේ ග්‍රන්ථය පුරා ම මා යෝග්‍ය ම ඉරියව්වේ සිට එසේ කිරීමට දුෂ්කර අය වෙනුවෙන් විකල්ප ඉරියව් ආදිය දැක්වීම සිදු කරනු ලැබෙනු ඇත. එහි දී පළමුවෙන් දක්වන කරුණ ගැන වැඩි අවධානයක් දිය යුතු ය. එය ම සුදුසු සහ පහසු ම දේ වනු ඇත. සෙසු සියලු කරුණු විකල්ප පමණි. ඒ විකල්ප භාවිතා කිරීමේ දී භාවනා බලය ක්‍රමයෙන් අඩු වන බව සිහි තබා ගත යුතු ය.


අනතුරුව යෝගාවචරයා භාවනාවට උත්සහ කළ යුතු ය. තමන් හොඳින් කර්මස්ථාන පරිමුඛ විය යුතු අතර තමන් කරන්නට යන කාර්යයේ බැරෑරුම් කම සහ එහි ප්‍රතිඵලයේ ඇති උසස් බව මොහොතක් සැලකිය යුතු ය. මේ ප්‍රතිපත්තිය පුරා ගැනීමෙන් සංසාර දුකට ස්ථිර පිළියමක් ලබා ගත හැකි බැවින් ඒ ගැන සිහි තබා ගෙන භාවනාවට එළැඹිය යුතු ය. එය ම භාවනාවේ පූර්ව කෘත්‍යය වෙයි. වෙනත් අමුතුවෙන් යමක් කරන්නට එහි නැත. වර්තමානයේ මේවාට විවිධ විප්‍රකාර ක්‍රම භාවිතා කරන බව දක්නට ලැබෙයි. ඒවායින් යෝගාවචරයා ගේ සිත තවත් විසිරෙන බවක් මිස, ඒකාග්‍ර වීමට උපකාරයක් වන සෙයක් නම් දක්නට නො ලැබේ.


එසේ පරිසරය සහ ඉරියව්ව සුදුසු සේ සකස් කර ගත් පසු භාවනාවේ පළමු පියවර සතර වැඩීමට ආරම්භ කළ යුතු ය.


භාවනාවේ පළමු පියවර සිහියෙන් හුස්ම ගැනීම සහ සිහියෙන් හුස්ම හෙළීම යි. එය සිදු කරන්නේ මෙසේ ය.


සාමාන්‍යයෙන් මිනිසෙක් ගේ හුස්ම කෙනෙක් ගේ බලපෑමකින් තොර ව ක්‍රියාත්මක වේ. යෝගාවචරයා විසින් කළ යුත්තේ ඒ වැටෙන හුස්ම දෙස බලා සිටීම ය. බලහත්කාරයෙන් හුස්ම ගැනීමට උත්සහ නො කළ යුතු ය. දෑස් පියන විට බෙල්ල නැවීමෙන් වැළකී, මෘදු ඉරියව්වක මුහුණ පැවැත්විය යුතු ය. දෑස් තදින් නො පියවිය යුතු අතර මෘදු ලෙස වසා ගත යුත්තේ ය.


අනතුරුව නාසිකා අග්‍රය හෙවත් නාස් පුඬු අසලට අවධානය දෙමින් හුස්මේ ගමන ගැන අවධානය වැඩි කළ යුතු ය. ආශ්වාස වන විට එය දෙස සිතින් බලා සිටිය යුතු ය. ප්‍රාශ්වාස කරන විට එය දෙස සිතින් බලා සිටිය යුතු ය.


කිසි විටකත් ආශ්වාස ප්‍රාශ්වාස සමඟ සිතින් ‘දැන් හුස්ම උඩට ගියෝ ය, දැන් පහළට ගියෝ ය’ ආදී වශයෙන් කථා නො කළ යුත්තේ ය. හුදු ඉහළ පහළ යන හුස්ම දෙස සිහියෙන් බලා සිටීම පමණක් ම කළ යුත්තේ ය. එහෙයින් සිහියෙන් හුස්ම ගනියි, සිහියෙන් හුස්ම හෙළයි යනුවෙන් දේශනා කරන ලද සේක. මෙය ඕනෑවට වඩා සිතන්න යෑමෙන් ද භාවනාව අත් හැරෙන බව දැන ගත යුතු ය. ප්‍රකෘතියෙන් දැනෙන තැන හැර වෙනත් යමක් අමුතුවෙන් නො සෙවිය යුත්තේ ය.


දෙවැනි පියවර දීර්ඝ ව හුස්ම ගැනීම, හෙළීම සහ කෙටියෙන් හුස්ම ගැනීම, හෙළීම ගැන අවධානය යොමු කිරීම යි.


මෙය ද කිසිසේත් ම බලහත්කාරයෙන් දිග හුස්මවල් ගැනීමක් ගැන හෝ කෙටි හුස්මවල් ගැනීමක් ගැන නො වදාරණ ලදී. මේ හුස්ම රටාව ඒකාකාරී කර ගැනීම පිණිස වදාරණ ලද උපක්‍රමයකි. එනිසා විනයට්ඨකථාවේ දී එය තත්‍රමජ්ඣත්තුපේක්‍ඛාව පිහිටයි යනුවෙන් දක්වන ලදී.


එනම් යමෙක් ආශ්වාස ප්‍රාශ්වාස කරන විට කලබල අවස්ථාවක දී නම් වේගයෙන් එම ක්‍රියාව සිදු කරයි. එලෙස ම මලානික ව සෙමින් සිදු වන අවස්ථාවන් ද ඇත. නමුත් සිත ඒකාග්‍ර වීමත් සමඟ මේ වේගවත් සහ මලානික ව සිදු වන ආශ්වාස ප්‍රාශ්වාසයන් එසේ වෙනසක් නැති ව ඒකාකාරී ව, එක රටාවකට වැටෙන්නට පටන් ගනී. එම ඒකාකාරී රටාවෙන් හුස්ම ගැනීම සිදු කරන තෙක් වැටෙන වෙනස් ආශ්වාස ප්‍රාශ්වාසයන් ගැන අවධානය යොමු කර එය ඒකාකාරී රටාවකට එන තුරු පුරුදු කර ගැනීම මේ පියවරෙන් දක්වන ලද්දේ ය.


පළමු පියවර ටික කාලයක් වඩන යෝගාවචරයා හට මුල් කාලයේ දී තරමක් සිත වෙනත් අරමුණු ඔස්සේ ගිය ද, ප්‍රතිපත්තියේ සිත් අලවා දවසේ වැඩි කාලයක් භාවනාවේ නිරත වන විට හෝ වැඩි වාර ගණනක් භාවනාවේ නිරත වන විට පහසුවෙන් හුස්ම දෙස බලා සිටින්නට හැකියාව ලැබේ.


එහි දී යෝගාවචරයා ගේ භාවනා වාර ගණන සහ කාලය ගැන වෙනස ද සැලකිය යුත්තක් ය. මේ අවස්ථාවේ දී කාලයෙන් ඒකාග්‍ර බවත්, වාර ගණනින් වීර්යයත් තීරණය වේ. එසේ වීර්යයෙන් යුක්ත ව ඒකාග්‍ර බව පුරුදු කරන යෝගාවචරයා හට නොබෝ කලකින් ම හෝ නොබෝ වේලාවකින් ම පහසුවෙන් සිත ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහි බඳින්නට හැකියාව ලැබේ.


එසේ පහසුවෙන් අරමුණෙහි සිත පවත්වන්නට හැකියාව ලැබෙන විට, එම ඒකාග්‍ර භාවය වැඩි කර ගැනීමට දෙවැනි පියවර වෙත සිත පැවැත්විය යුතු ය. දැන් යෝගාවචරයා සිටින්නේ දෙවැනි පියවරේ ය. ආශ්වාස ප්‍රාශ්වාස දෙස තවමත් සිහියෙන් බලා ගෙන සිටියි. එපමණක් නොව එහි රටාව ද එම සිතින් ම ග්‍රහණය කරයි. නොබෝ කලකින් මේ ආශ්වාස ප්‍රාශ්වාසයන් ගේ දීර්ඝ කෙටි ආදී වෙනසක් නො ලැබ ඒකාකාරී රටාවක් යෝගාවචරයා වෙත හසු වෙයි. එය කලක් පුරුදු කර ගත යුතු ය. මනසට එම රටාව මතක සිටින තාක් පුරුදු කර ගත යුතු ය.


අනතුරුව තුන්වැනි පියවර වෙත එළැඹිය හැකි වන අතර එහි සිහිපත් කළ සබ්බකාය පටිසංවේදී යන වචනයෙන් හුස්ම සමඟ චලනය සිද්ධ වන කාය කොටස අරමුණු කර ගත යුතු ය. මෙතෙක් වේලාවක් නාසිකාව අග්‍රයේ සිත තබා ගෙන සිටි යෝගාවචරයා දැන් හුස්මත් සමඟ චලනය වන උරහිස් ප්‍රදේශය ද අරමුණු කරන්නට පටන් ගනියි.


දැන් ඔහු අභ්‍යන්තර වැඩ ගොඩක ය. බාහිර අරමුණු වලට ඉඩ ඇත්තේ අඩුවෙන් ය. ඔහු මැනවින් පුරුදු කළ ඒකාකාරී රටාවකට හුස්ම ගන්නා අතර බැලුම් බෝලයක් පුම්බවන විට එම බැලුම පිම්බෙන්නේ යම් සේ ද, මේ කයේ එසේ පිම්බීම හැකිළීම ක්‍රමයෙන් අරමුණු කරන්නට පටන් ගනියි. එය විනයට්ඨකථාවේ “සබ්බම්පි පරිග්ගහෙතුං සක්කොති” යන පාඨයෙන් දක්වා ඇත.


පුරුදු වීමත් සමඟ මේ ආශ්වාස ප්‍රාශ්වාසය ද, ඒකාකාරී රටාව ද, ඒ ආශ්වාස ප්‍රාශ්වාසයන් සමඟ චලනය වන උරහිස් ප්‍රදේශයේ පිම්බීම හැකිළීම ද එක් සිතකින් අරමුණු වෙනවාක් මෙන් දැනෙන තුරු වර්ධනය කර ගත යුතු ය. එහි හුරුව ආ විට ක්‍රමයෙන් බඩ ද, පිට ද, පපු ප්‍රදේශය ද ආදී වශයෙන් ඉනෙන් උඩ හුස්ම සමඟ චලනය වන සියලු කොටස් අත් නො හැර ආරම්මණයේ පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


මෙම පියවර සම්පූර්ණ වන විට යෝගාවචරයා දෙවැනි පියවරෙන් පුරුදු කර ගත් ඒකාකාරී රටාවට, පළවෙනි පියවරෙන් පුරුදු කර ගත් ආශ්වාස ප්‍රාශ්වාස සමඟ දැනෙන, තුන්වැනි පියවරෙන් දැන ගත් හුස්ම සමඟ චලනය වන සියලු ආශ්වාස ප්‍රාශ්වාස කය හෙවත් හුස්ම සමඟ චලනයට ලක්වන කය ගැන දැනීමේ සිහිය පවත්වා ගෙන සිටියි.


මේ තුන්වැනි පියවර බැලුමක උපමාවකින් දත යුත්තේ ය. යමෙක් බැලුම් පුම්බවන විට එහි කටට මුඛය තබා හුළං පිඹියි. එවිට මුළු බැලුම ම එකට ම හුළං පහස විඳින්නේ, බැලුම ම පිම්බෙයි. කයත් ඒ ආකාරයෙන් දත යුතු ය.


බැලුමේ කට මෙන් නාසිකාව අග්‍රය දත යුතු යි. මුඛයෙන් පිඹින හුළං සේ ආශ්වාස ප්‍රාශ්වාසය දත යුතු යි. හුස්ම සමඟ කයේ සිදු වන චලනය හෙවත් පිම්බීම හැකිළීම බැලුම පිම්බෙන කාලය මෙන් දත යුතු යි.


මේ අවස්ථාව වන විට යෝගාවචරයා ගේ නාසිකාව අග්‍රය යන තැන සිත නො පවතී. හුස්ම සමඟ පිම්බීම හැකිළීම වන ඉනෙන් උඩ ශරීර කොටස ම ගැන අරමුණු වෙයි. එම දැනෙන කොටස ආශ්වාස ප්‍රාශ්වාස කය නම් වේ. සබ්බකාය යනුවෙන් මෙතැන් දී මෙම ආශ්වාස ප්‍රාශ්වාස කය සිහිපත් කරන ලදී. පටිසංවේදී යන වචනයෙන් එය පිළිබඳ ව දැන ගනිමින් වාසය කරයි යන දේශනාව සිදු කොට ඇත.


භාවනාවක පියවරයන් ලියා දැක්වීම පහසු කාරණයක් නොවේ. එනිසා මේ උපමාදිය හොඳින් කල්පනා කොට, එහි සාරය ගෙන, කර්මස්ථානය වැඩීමට පෙර භාවනා කර්මස්ථානය මැනවින් ලිහා ගත යුත්තේ ය.


මෙසේ දිගින් දිගට ම සම්පූර්ණ ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි සිත පවත්වා ගෙන ඉන්නා යෝගාවචරයා මේ තුන්වැනි පියවරේ දී තීව්‍ර වෙන එම දැනීම තදින් මතකයේ රැඳෙන තුරු ම භාවනාවේ යෙදිය යුත්තේ ය. මේ පියවරේ දී කය නො දැනී යාම්, පා වීම් වැනි දේවල් දැනී භාවනාවෙන් පිට යන්නේ නම් වහා භාවනාව නවතා නැවත ආරම්භ කළ යුතු ය.


බොහෝ යෝගාවචරයන් මේ කයේ සැහැල්ලු බව, නො දැනී යෑම් වැනි උපක්ලේෂ ධර්ම වලට යටත් ව භාවනාව මෙයින් ම නවත්වා ගනිති. මේ අවස්ථාවේ ඔබ කළ යුත්තේ කය නො දැනී යෑම සිද්ධ කිරීම නොව, එය දැන ගැනීම බව පටිසංවේදී යන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ම දේශනා කරනු ලැබූ සේක.


අද කාලයේ දක්නට ලැබෙන ඇතැම් කර්මස්ථාන ආචාර්යවරු යැයි තමන් ම කියා ගන්නා හිමිවරු ද මේ අවස්ථාවන් වල එය නිවැරදි නො කර එය සමාධියක් ය, භාවනාව හොඳින් වැඩී ඇතැ ය යැයි කාරණාව හරි හැටි නො දැන යෝගාවචරයන් ව ද මුලා කරවති.


එයට නො රැවටිය යුතු ය. මේ අවස්ථාවේ මේ ආශ්වාස ප්‍රාශ්වාස කයේ දැනීම ඉතා වැදගත් ය. එයට හේතුව මතුවට දත හැකි වනු ඇත.


මේ ආශ්වාස ප්‍රාශ්වාස කය අරමුණු කරමින් වාසය කරන යෝගාවචරයා ගේ එම හුස්ම කයේ දැනීම තමන් ට හොඳින් ප්‍රකට වූ පසු, භාවනාව වැඩි වේලාවක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණු පසු, සතරවැනි පියවර වෙත පියමං කළ යුත්තේ ය.


මේ තුන්වැනි පියවර වර්ධනය වූ යෝගාවචරයා ක්‍රමයෙන් බාහිර ලෝකයෙන් මිදෙමින් පවතින බැවින් ඔහුට කුඩා කුඩා ශබ්දාදීන් ගෙන් මේ අවස්ථාවේ එතරම් කරදරයක් නැති වන්නේ ය. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි පමණක් චිත්ත විතර්කය පවතින නිසා සිතෙහි ඒකාග්‍ර භාවය වැඩි ව දැනෙන්නේ ය.


මෙම අවස්ථාවේ දී පස්සම්භයං කායසංඛාරං යැයි සතරවෙනි පියවරේ කී ලෙස එම ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි දැනීම සියුම් කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට උත්සහ කළ යුතු ය. එය මේ භාවනාවේ සතරවැනි පියවර වන්නේ ය.


මෙය බලහත්කාරයෙන් ම කළ යුත්තක් නො වන බව ද මෙහි දී සැලකිය යුතු ය. භාවනාවේ අදාළ පියවරට යෑමෙන් පසු යෝගාවචරයාට මෙය කරන ක්‍රමය නිවැරදි ව හසුවන්නේ ය.


ආශ්වාස ප්‍රාශ්වාස කය දැනෙමින් ම සැහැල්ලු බවක් දැනෙන්නට පටන් ගන්නේ ය. හුස්මක් හුස්මක් පාසා එම සැනසිලිදායක සැහැල්ලුව පස්සද්ධියක් සේ දැනෙන්නට පටන් ගන්නා අතර තුන්වැනි පියවරේ පුරුදු කළ ආශ්වාස ප්‍රාශ්වාස කය, දෙවැනි පියවරේ පුරුදු කළ ඒකාකාරී රටාවේ ම දැනෙමින් ම, එම දැනීම සියුම් වන බවක් දැනෙන්නට පටන් ගන්නේ ය. ක්‍රමයෙන් සියුම් වන ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි දැනීම බින්දුවට ම නො දැනී යන ප්‍රමාණයට සංසිඳී යන්නේ ය.

මේ අවස්ථාවේ යෝගාවචරයා ගේ සිත අවධියෙන් ය. නින්දකට වැටුණා නම් නොවේ. නමුත් දැනෙමින් තිබුණු හුස්ම කයෙහි දැනීම සංසිඳී ඇත. මනසේ හිස් ස්වභාවයක් මෙන් එම අවස්ථාව වැටහේ.


වෙනත් කර්මස්ථාන ඒවා වැඩියෙන් භාවිත කරන විට එම කර්මස්ථානයේ කරුණු වඩාත් විස්තර සහිත ව වැටහේ. විභූත වේ. මේ භාවනාව එසේ නොවේ. ක්‍රමයෙන් සියුම් වේ. නො දැනෙන ප්‍රමාණයට ම යන්නේ වෙයි.


පෙර කී ආශ්වාස ප්‍රාශ්වාස කය අරමුණු කරන්නේ ද, එය එක ම සිතින් කරන්නේ නොවේ. නමුත් ආරම්මණ පහසුව නිසා එය එම අවස්ථාවේ දී විශේෂයෙන් දැනෙන්නේ නැත.


එනිසා මේ අවස්ථාව කිහිප වාරයක් පුරුදු කර ගත යුතු වේ. මෙයින් සතරවැනි පියවර මස්තකප්‍රාප්ත වන්නේ ය. අනතුරුව මේ සංසිඳීමට ආ පසු මනෝ නිමිත්ත ගැන අවධානය දීමට සුදුස්සෙක් වන්නේ ය.


මේ ආනාපානසති භාවනාවේ දැක් වූ සතරවැනි පියවරෙන් පසු පාලියක් හෝ විස්තරයක් පෙලෙහි දක්වා නැත. එය භාවනා භාවිත කළ ගුරුවරුන් ගෙන් අසා දැන ගත යුතු ය. මේ සතරවැනි පියවරෙන් පසු භාග්‍යවතුන් වහන්සේ,


“ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති.” යන පාලි පාඨය දක්වනු ලැබී ය.


එම පාලි පාඨයෙන් සතරවැනි පියවරෙන් පසු යෝගාවචරයා වෙත අභිධ්‍යා, දෝමනස්සයන් පහ කළ හැකි ආකාරයේ කය අනුව ගිය සිහියක් උපදී ය, එය තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් විදර්ශනා කර බැලිය යුතු ය යන අදහස දෙයි.


මේ විදර්ශනා කළ යුතු යැයි කියන, අන් අය කෙරෙහි ද පැවැත්විය යුතු යැයි කියන විදර්ශනා සිහිය කුමක් ද? මෙය විසඳා ගත යුත්තේ ය.


එය මෙසේ දත යුතු ය.


සතරවැනි පියවරෙන් පසු කාය සංස්කාරය සංසිඳෙන යෝගාවචරයා විසින් ‘තමන් ගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නැවතී නැති බැවින් එය දැන් මා හට කාය සංස්කාරයන් ගේ සංසිඳවීම නිසා සිතට අරමුණු නොවී තිබුණත් එම හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තවමත් සිදු වෙමින් පවතී’ යැයි එම අවස්ථාවේ දී සිහි එළවා ගත යුතු ය.


එසේ සිහි එළවා ගෙන තුන්වැනි පියවරේ තමන් පුරුදු කළ ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි නිමිත්ත මනසින් එළවා ගත යුතු ය. එනම් තුන්වැනි පියවරේ දී බැලුමක් මෙන් සම්පූර්ණ කය ම ගැන මතක තබා ගත්, සම්පූර්ණ කයේ දැනීම ම ආශ්වාස ප්‍රාශ්වාසයෙන් දැන ගත්, හුස්ම රටාව, හුස්ම විලාශය මනසින් අරමුණු කළ යුතු ය.


යම් විටක එම හුස්ම විලාශය පෙර පුරුදු කළ රටාවට ම මනසින් අරමුණු කරන්නේ වෙයි ද, එම අවස්ථාවේ පවතින මනෝ නිමිත්තට උග්ගහ නිමිත්ත යැයි කියනු ලැබේ.


ඇතැම්හු මේ අවස්ථාවේ එන අලෝක සංඥාවක් උග්ගහ නිමිත්ත වශයෙන් ගන්නා බවක් ද වර්තමානයේ දක්නට ඇත. එය ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමට හොඳ උපක්‍රමයක් නමුත් සතිපට්ඨාන භාවනාවට එයින් ලැබෙන උපකාරයක් නැත.


යමෙක් එම ආලෝක ආදී සංඥාවන් ඔස්සේ ධ්‍යාන ලබන්නේ නම් ඔහුට හුස්ම කය පිළිබඳ ව ආනාපානසතිය ඔස්සේ කී සෙයින් ඇති වන අලුත් සිහියක් නැති බැවින්, ඔහු විසින් කසිණ ධ්‍යාන වලින් පසු විදර්ශනා කරනාකාරය දැන ඒ අනුව ධ්‍යානාංග විදර්ශනා කළ යුතු ය. සැරියුත් මහ රහතන් වහන්සේ විසින් අරිහත් ඵලය සාක්ෂාත් කර ගත් අනුපද විපස්සනා සූත්‍රයේ මේ ධ්‍යානාංග විදර්ශනා කරනාකාරය විස්තර වශයෙන් දක්වා ඇත. විශුද්ධි මාර්ගය නැමැති ග්‍රන්ථය ද ඊට බෙහෙවින් උපකාර වෙන ග්‍රන්ථ රත්නයකි.


එනිසා ආනාපානසතියේ කී මනෝ නිමිත්ත නම් අප සඳහන් කළ ආකාරය ම බව දත යුතු ය. මේ භාවනාවන් අප විසින් පුරුදු නො කරන ලද ඒවා නොවේ. එනිසා මේ ග්‍රන්ථයෙන් හෙළි කරන මාර්ගය අන්ධයෙක් කියන මාර්ගයක් සේ නො ගත යුතු ය. අපගේ ශිෂ්‍ය පුතුන් වහන්සේලා ද මේ ආනාපානසති භාවනාවේ නොයෙක් වර සමෘද්ධ ව ඇත්තේ ය. එනිසා විශ්වාසයෙන් මෙය භාවිතා කරනු.


ඒ නිමිත්ත අප සඳහන් කළ ආකාරය ම බව විනයට්ඨකථාවේ එන තුන්වැනි පාරාජිකා විස්තරයේ සඳහන් ආනාපානසති සමාධි වර්ණනාවේ පැහැදිලි ව සඳහන් කොට ඇත. එම විස්තරය කෙටි කර මෙසේ තබන්නෙමි.


‘යම් කිසි ලෝහ බඳුනකට පහරක් ගැසූ කල එහි විශාල ශබ්දයක් ඇති වේ. එය ක්‍රමයෙන් සියුම් වන අතර ශබ්දයේ නිමිත්ත මනා ව ගත් සිතකට එම ශබ්දය නිරුද්ධ ව ගියත් ශබ්දයා ගේ නිමිත්තාරම්මණතාවෙන් හෙවත් නිමිත්ත අරමුණු කරමින් සිත පවතියි’ යනුවෙනි.


මේ සතරවැනි පියවරත් ඒ උපමාව අනුව දත යුතු ය. එය ම එම අට්ඨකථාවේ ‘සියුම් ආශ්වාස ප්‍රාශ්වාසයන් ගේ නිමිත්ත මැනවින් සිතෙහි පවතින බැවින්, එය කලින් මැනවින් විමසූ බැවින් ආශ්වාස ප්‍රාශ්වාසයන් නිරුද්ධ ව ගිය ද නිමිත්තාරම්මණතාවෙන් සිත වික්ෂේපයට නො පැමිණේ’ යනුවෙන් පැහැදිලි ව සඳහන් කර ඇති නිසා ආලෝක සංඥාදියට මුලා නො වනු.


මේ උග්ගහ නිමිත්ත මුල් කාලයේ දී එතරම් ප්‍රකට ව නො දැනේ. නමුත් නැවත කාලයක් භාවිතා කරන විට වළා ගැබින් නික්මුණ පුන් සඳ යම් සේ පැහැදිලි ව පෙනේ ද, එලෙස ම තදින් අරමුණු වන්නට පටන් ගනී. එය පටිභාග නිමිත්ත නම් වේ. එය ම උපචාර සමාධිය නම් ද වේ.


නැවත නැවත එම උපචාර සමාධියේ පටිභාග නිමිත්ත පුරුදු කරන යෝගාවචරයා විසින් අනතුරුව ප්‍රථම ධ්‍යානයට පත් වේ.


ප්‍රථම ධ්‍යාන අවස්ථාව යෝගාවචරයා ගේ සිතට දැනෙන්නේ මෙසේ ය. මෙතෙක් වේලාවක් අප සිත ආරම්මණයේ බලෙන් රඳවා ගෙන සිටියේ ය. නමුත් ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ දී එය අප ගේ පාලනයෙන් මිදී විතර්ක චෛතසිකයේ ක්‍රියාත්මක භාවයෙන් අරමුණු විතර්ක කිරීම අප ගේ යෙදීමකින් තොර ව ක්‍රියාත්මක වේ. විචාර චෛතසිකයේ ක්‍රියාත්මක භාවයෙන් විතර්ක කරන අරමුණේ ම කලබලයකින් හෝ වෙන් වීමකින් තොර ව හැසිරේ.


සිත ස්වයංක්‍රීය ව වැඩ කරන්නාක් මෙන් අප ගේ බලයකින් තොර ව මෙතෙක් උපචාර සමාධියේ පුරුදු කළ ආරම්මණයේ නිරුත්සහයෙන් හැසිරේ. මේ අවස්ථාවේ යෝගාවචරයාට ශබ්ද වලින් හෝ බාහිර පරිසරයෙන් හෝ අභ්‍යන්තරික ව හෝ, මදුරුවන් ආදී සපා කෑම් වලින් හෝ ඇති වන වේදනාවන් ගැන කිසිදු දැනීමක් නැත.


ධ්‍යාන අවස්ථාවේ යෝගාවචරයාට මේ සිත ස්වයංක්‍රීය ව වැඩ කරන්නේ යැයි දැනීමක් වත් නැත. සිතට එය අරමුණු කරන්නට අවකාශයක් එහි නො ලැබෙන බැවිනි. මේ සියල්ල යෝගාවචරයා දැන ගන්නේ ප්‍රථම ධ්‍යානයෙන් මිදුණු පසු ව ය. එවිට සිදු වූ සිද්ධිය ගැන නැවත කල්පනා කරන්නේ, විතර්ක, විචාරයන් ගේ ක්‍රියාකාරීත්වය දැන එම චෛතසිකයන් ගෙන් යුක්ත ප්‍රථම ධ්‍යානය එය යැයි එයින් දැන ගනී. ඒ සමඟ ඇති වන පීති, සුඛ, ඒකග්ගතා යන චෛතසිකයන් ගේ ආකාරය ද දැන ගනී. ඒ චෛතසික ධර්ම පස ප්‍රථම ධ්‍යානයා ගේ අංග වේ.


මා මෙය උපමා කරන්නේ රෝද දෙකේ ට්‍රැක්ටරයක් මෙන් යනුවෙනි. එහි එන්ජිම ක්‍රියාත්මක කරන විට පළමු ව අපි එය අතින් බල ගැන්විය යුතු වන්නෙමු. මඳක් බල ගැන්වීමෙන් පසු එය ස්වයංක්‍රීය ව වැඩ කිරීමට ආරම්භ වේ.


ධ්‍යානයත් ඒ ලෙස ම ය. පළමු ව රෝද දෙකේ ට්‍රැක්ටරය අප අතින් බල ගැන්විය යුතුවාක් මෙන් සිතින් භාවනාව බල ගැන්විය යුතු අතර එය සිතින් ම ස්වයංක්‍රීය ව අරමුණු කරන්නට ආරම්භ වන අවස්ථාව ස්වයංක්‍රීය ව වැඩ කිරීමට ආරම්භ වූ ධ්‍යාන අවස්ථාව නම් වේ.


මෙයින් ආනාපානසතියේ ප්‍රථම ධ්‍යානය දක්වා වූ කර්මස්ථානය විවර කොට තැබූවෙමි. දැන් මෙතනින් මතුවට ඇත්තේ විදර්ශනා කිරීම ය. එහි දී දත යුතු තවත් විශේෂ කරුණු කිහිපයක් දක්වන්නට මේ අවකාශය ගනිමි.


මේ ආනාපානසති භාවනාවේ ප්‍රථම ධ්‍යානයට පත් වීමෙන් පසු ව ම විදර්ශනා කිරීම ගැන සතිපට්ඨානයේ දක්වා තිබේ. යම් කෙනෙක් ප්‍රථම ධ්‍යානය ලබා ගැනීමට ප්‍රථම, එහි දුෂ්කර භාවය සලකා හෝ උපචාර අවස්ථාවට පමණක් හෝ පැමිණ විදර්ශනා කරන්නේ නම් ඒ ආකාරයේ ක්‍රමයකුත් මේ ශාසනයේ ඇත. නමුත් එවිට එය සතිපට්ඨාන යන ශීර්ෂයට නො වැටේ. එය එවිට ශුෂ්ක විපස්සනා භාවනාව යන ශීර්ෂයෙහි වැටෙන බව දත යුතු ය.


එනිසා සතිපට්ඨාන කථාවේ ඇති ආනාපානසති භාවනාව ධ්‍යාන ලබා විදර්ශනා කරන්නා වෙත ම දක්වා ඇති බව දත යුතු ය. එය ද පඨම ධ්‍යාන - දුතිය ධ්‍යාන - තතිය ධ්‍යාන - චතුර්ථ ධ්‍යාන වශයෙන් ම දත යුතු ය. අභිධර්ම ක්‍රමයේ දී චෛතසික අනුව එය පහක් වන බව ද දැන ගත යුතු ය.


මෙහි ප්‍රථම ධ්‍යානයෙන් නැගිට කරන විදර්ශනාව පමණක් දක්වන්නේ ග්‍රන්ථය කියවන්නා වෙහෙස නො කිරීම අරමුණු කර ගෙන ය. සෙසු ධ්‍යාන වැඩීම ගැන වැඩි විස්තර දැන ගැනීමට රුචි නම් අප විසින් මතු සම්පාදනය කරන ධ්‍යාන සහ විමෝක්ෂ යන ග්‍රන්ථය කියවා ගත යුතු ය. යම් හෙයකින් ධ්‍යාන ආදියේ උත්සහ කළත්, නො ලැබෙන්නේ නම් අප විසින් මතු ලියන කෙලෙස් තවන්නා ගේ අංග යන ග්‍රන්ථය කියවා ගත යුතු ය. එයින් කරුණු ජීවිතයට එකතු කරගන්නා හට එයින් අනතුරුව එම භාවනාවන් සමෘද්ධ වනු ඇත.


ප්‍රථම ධ්‍යානයට පත්වන්නා ගේ චිත්ත වීථියේ භවංග චලනයෙන් අනතුරුව භවංග උපච්ඡේදය සිදු වී අනතුරුව භාවනාරම්මණය අරමුණු කොට මනෝද්වාරාවජ්ජනයක් ඇති වෙයි. ඉන් පසු ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර ජවනයන් අතුරින් එක් ජවනයක් එම භාවනාරම්මණය ම ගෙන පරිකර්ම - උපචාර - අනුලෝම - ගෝත්‍රභූ යන නම් වලින් සතර වාරයක් ඉපිද ප්‍රථම ධ්‍යාන චිත්තය එක් වරක් ඉපිද නිරුද්ධ වී භවංග පතනය සිද්ධ වේ.


මේ ආදිකර්මික හෙවත් පළමු ව ධ්‍යාන ලබන්නෙක් ගේ චිත්තයේ වීථිය ය. මෙහි පුද්ගල භේද වශයෙන් දන්ධාභිඥ, ඛිප්පාභිඥ වශයෙන් වෙනස් වන තැන් ඇතත් එය ධ්‍යාන සහ විමෝක්ෂ යන ග්‍රන්ථයේ දැක්වීමට නියමිත බැවින් මෙහි විස්තර නො කරමි.


දැන් මේ යෝගාවචරයා ප්‍රථම ධ්‍යාන ලාභී ය. නැවත එයට සමවැදීම පිණිස නැවත නැවතත් එම භාවනාවේ යෙදුණු විට කී ලෙස ම චිත්ත වීථිය ලැබ, ප්‍රථම ධ්‍යාන චිත්තය පමණක් බොහෝ වාර ගණනක් ඇති ව භවංග පතනයට වැටේ.


මේ වන විට යෝගාවචරයා ප්‍රථම ධ්‍යාන ලාභී බැවින් එහි සමවැදීම බහුල කළ යුතු ය. අංග ප්‍රත්‍යවේක්ෂා කරමින් ප්‍රමාද නො විය යුතු ය. එහි ආශා ඇති කර ගෙන සිත සිතා නො සිටිය යුතු ය. සමවැදීම ම බහුල කළ යුතු ය.


එසේ නොමැති වුවහොත් එය ඕදාරික ව ප්‍රගුණ භාවයට නො පැමිණෙන බැවින් දුබල ව වැටහෙන්නට පටන් ගන්නේ ය. එය මතු ලැබිය යුතු විදර්ශනාවට ද, ද්විතීය ධ්‍යාන අපේක්ෂා කරන්නාට ද බාධාවක් ම වන්නේ ය.


හේ අප්‍රගුණ වූ ධ්‍යානයේ උත්සහවත් වෙමින් ප්‍රමාද වන්නේ, තමන් ලත් ප්‍රථම ධ්‍යානයෙන් ද පිරිහෙන බව දත යුතු ය.


මෙසේ ප්‍රථම ධ්‍යානයට නැවත නැවත සමවැදී එය පුරුදු කර ගන්නා යෝගාවචරයා දෙවැනි ධ්‍යානාදියට යනු කැමැත්තේ නම් මෙතැන දී විදර්ශනා නො කර ධ්‍යාන සහ විමෝක්ෂ ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි සෙසු ධ්‍යාන ද වශී කර ගත යුතු ය.


අනතුරුව සෙසු ධ්‍යාන වලට සමවැදිය යුතු ය. යමෙක් එලෙස ධ්‍යානයෙන් ධ්‍යානයට සමවදින්නේ, එයින් විදර්ශනාව තව තවත් පහසු වන බවත්, විදර්ශනා කරන කරුණු හසු වීම ලෙහෙසියෙන් සිදු වන බවත් ඔබ විසින් මනා ව සිහි තබා ගත යුත්තේ ය. ඒ ඒ තැන් වල දී විදර්ශනා කරනාකාරය ද ධ්‍යානය අනුව මඳක් වෙනස් වන අතර ඒවා ගුරුවරුන් ඇසුරින් ක්‍රමානුකූල ව දත යුත්තේ ය.


මෙහි ප්‍රථම ධ්‍යානලාභියා ගේ විදර්ශනාව පමණක් දක්වන්නෙමි.

ධ්‍යාන චිත්ත වීථීන් ගෙන් අනතුරුව ඔහු ධ්‍යානයෙන් නැගී සිටියේ වෙයි. ධ්‍යානයෙන් නැගී සිටි හෙතෙම විදර්ශනාව ආරම්භ කරන්නේ ය.


මෙහි යමෙක් ධ්‍යාන ලාභී නො වී උපචාර මාත්‍රයෙන් ම විදර්ශනාව ආරම්භ කරන්නේ නම්, ඔහු පළමු ව රූප කොටසත්, දෙවනු ව නාම කොටසත් වශයෙන් විදර්ශනා කිරීම ආරම්භ කළ යුත්තේ ය. එය ශුෂ්ක විපස්සනා කර්මස්ථාන දේශනා මාලාවේ දී සහ නාම රූප පරිච්ඡේද ඥානය නැමැති ග්‍රන්ථයෙන් ආරම්භ කොට ලියා ඇති ශුෂ්ක විපස්සනා භාවනා ග්‍රන්ථ මාලාවෙන් ද පැහැදිලි ව අප විසින් විවරණය කර ඇත්තේ ය.


නමුත් මෙහි ප්‍රථම ධ්‍යානලාභියා විදර්ශනා කරන විට ධ්‍යාන අංග ගැන කල්පනා කරමින් විදර්ශනාව නාම කොටසින් ම ආරම්භ කරයි. කෙසේ ද යත්,


මේ ආශ්වාස ප්‍රාශ්වාසයෝ නම් නාම ධර්ම බව ද, කය ඇසුරු කර ගනිමින් පවතින බව රූපයන් ගේ විදර්ශනාවෙන් ද වටහා ගත යුතු වේ.


චිත්තයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයෝ අරමුණු වන බවත් ස්පර්ශයෙන් දැනෙන බවත්, විඳීම වේදනාවෙන් සිදු වන බවත්, විතර්ක ආදියෝ නම් සංස්කාරයෝ ම බවත් දැන, ඒ නාම ධර්ම සතර, රූපය ඇසුරු කර ගනිමින් පවතින බවත්, හුදු නාම සහ රූපයන් ගේ පැවැත්මක්, ආකාරයක්, ක්‍රියාවක් පමණක් ඇති බවත් යෝගාවචරයා විසින් කාලය සමඟ වටහා ගන්නේ ය.


මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් ගේ ද, අනුන් ගේ ද වශයෙන් විදර්ශනා කර බැලිය යුතු යැ යි පැවසූ විදර්ශනා සිහිය නම් වෙයි.


එය “ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌තබහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති.” වශයෙන් සත්ත්ව පුද්ගල භාවයෙන් තොර නාම රූපයන් ගේ පැවැත්මක් පමණක් ඇතැ යි යන්න ධ්‍යානයෙන් පසු කරන විදර්ශනාවෙන් වටහා ගන්නා යෝගාවචරයා එම අවබෝධයෙන් ලෝකය ම පිරික්සයි යනුවෙන් අර්ථ සහිත කොට දේශනා කර වදාළ සේක.


මේ විදර්ශනා කොටස වනාහි මෙතැන දැක්වීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. එය ධම්මවිචය ආදී බොජ්ඣංග වලින් උකහා ගත් දැනුමින් පෝෂණය විය යුත්තේ ය. අප විසින් දේශනා කර ඇති ශුෂ්ක විපස්සනා කර්මස්ථානාදිය ඇසීමෙන් එය වඩාත් දියුණු කර ගත හැකි ය. මතු ඒ ඇසුරින් සම්පාදනය වන ග්‍රන්ථ පරිහරණයෙන් ද අවබෝධ කර ගත හැකි වනු ඇත.


මෙසේ නාම රූපයා ගේ පැවැත්මක් මිසක් ආත්ම වශයෙන් සාරවත් ව ගැනීමට සත්ත්ව පුද්ගල භාවයක් ස්වකීය සන්තානයේ නොමැති යැයි දැන ගැනීමෙන් අනතුරුව, බාහිර ලෝකයේ සත්ත්වයා යැයි සම්මත සියලු සන්තාන වල ද ඒ ආකාරය ම මිසක්, වෙනත් යමක් නොවේ යන්න මනසිකාරයෙන් දකිමින් විදර්ශනා කළ යුතු වේ.


මෙසේ කලෙක තමන් ගේ ද, බාහිර ලෝකයේ ද පැවැත්ම සත්ත්ව පුද්ගල ශූන්‍ය ධර්මතා වශයෙන් කල්පනා කරන යෝගාවචරයා, නැවත තමන් ගේ සහ අනුන් ගේ යන සන්තාන වල සත්ත්ව පුද්ගල ශූන්‍ය ස්වභාව පැවැත්ම ගැන එක්වර ම විදර්ශනා කළ යුතු වේ. ඉහත දැක් වූ පාලි පාඨයේ අදහස එය ම වෙයි.


ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් “සමුදයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, සමුදය වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.” යන පාලිය දේශනා කරන ලදී.


එහි සරල අර්ථය මේ නාම රූපයන් ගේ හට ගැනීමේ හේතුව ද, නිරුද්ධ වීමේ හේතුව ද, නැවත හට ගැනීම සහ නිරුද්ධ වීමේ හේතු දෙක ම ද එක්වර ම විදර්ශනා කළ යුතු යි යන්න යි.


මේ පාලි පාඨයෙන් යෝගාවචරයා පළමු ව සත්ත්ව පුද්ගල ශූන්‍ය බව නාම රූප පරිච්ඡේද ඥානයෙන් වටහා ගත්තත්, එය තහවුරු කර ගැනීමට කංඛාවිතරණ විශුද්ධිය ඇති කර ගැනීම පිණිස වැඩිය යුතු පටිච්චසමුප්පාද භාවනාව දක්වනු ලැබී ය.


(1) අවිද්‍යා - (2) තෘෂ්ණා - (3) කර්ම සහ ආසන්න ප්‍රත්‍යයෝ යන මේවා නිසා හට ගන්නා නාම රූප ධර්මයෝ, ඒවා නිරුද්ධ වන තැන නිරුද්ධ වන බව යෝගාවචරයා මේ අවස්ථාවේ විදර්ශනා කළ යුත්තේ ය. මේ විදර්ශනා අවස්ථාව සඳහා අවශ්‍යය ධර්ම දැනුම ඇති කර ගැනීම පිණිස අප විසින් දේශනා කර ඇති පටිච්චසමුප්පාද දේශනා මාලාව හෝ ශ්‍රවණය කළ යුතු ය. ලියා ඇති පටිච්චසමුප්පාද විස්තරය නැමැති ග්‍රන්ථය හෝ කියවා ගත යුතු ය. එයින් මේ අවිද්‍යා - තෘෂ්ණා - කර්ම වලින් කෙසේ නම් නාම රූපයෝ උපදිත් දැ යි සැක හැර දැන ගත හැකි ය.


එයින් අනාත්ම වූ මේ නාම රූපයන් ගේ පහළ වීමත්, ඒවා සංසාරයේ සැරි සරන ආකාරයත්, ඒවා නිරුද්ධ කළ හැකි ද යන්නත්, නිරුද්ධ කරන ආකාරයත් ගැන යෝගාවචරයා විදර්ශනාවෙන් මනා ව අවබෝධ කර දැන ගන්නේ ය.


ඉන් අනතුරුව හේතූන් ට අනුව ම ඇති වන නාම රූප ධර්මයන් ගේ ත්‍රිලක්ෂණය මග්ගාමග්ග ඥාන දර්ශනයෙන් පිරිසිදු කොට ගෙන ක්‍රමයෙන් විදර්ශනා ඥානයන් ගේ වැඩීම සිද්ධ කළ යුතු ය. ඊට අවශ්‍යය ධර්ම දැනුම ඇති කර ගැනීම පිණිස අප විසින් දේශනා කර ඇති සම්මර්ශන ඥානය පිළිබඳ ව වූ දේශනා මාලාව ශ්‍රවණය කළ යුතු ය. ලියා ඇති සම්මර්ශන ඥානය නැමැති ග්‍රන්ථය හෝ කියවා ගත යුතු ය.


ඉහත ග්‍රන්ථ වල සහ දේශනා වල විදර්ශනා ඥානයන් ඇති කර ගන්නා ආකාරය ශුෂ්ක විපස්සනා භාවනාව යටතේ ලියා ඇති බැවින්, ඒ විදර්ශනා ඥානයන් ම, මේ සතිපට්ඨාන භාවනාවේ දී ඇති කර ගන්නා ආකාරය පිළිබඳවත් යම් දැනුමක් තිබීම සතිපට්ඨාන යෝගාවචරයන් ගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත. එනිසා මේ විදර්ශනා ඥානයන් වඩන්නේ කෙසේ ද? යන්න පිළිබඳ ව ද මෙතැන දී උගත යුතු වන්නේ ය.


මේ පිළිබඳ ව සෑම කර්මස්ථානයක දී ම දැක්වීම කළ යුතු වූවත් ග්‍රන්ථය දීර්ඝ වීම වළක්වා ගැනීමට මේ විස්තරය මෙතැන දී පමණක් ලියා තබන බව සිහිපත් කළ යුතු ය. නැවත ග්‍රන්ථයේ අවසන් කොටසක, අවශ්‍යය තැනක දී පමණක් මෙය දැක්වීම සිද්ධ කර ඇති නිසා සියලු කර්මස්ථාන වල දී මේ නය දත යුත්තේ ය.


සතිපට්ඨානයෙන් විදර්ශනා ඥාන ඇති වන ආකාරය.


“සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති” ආදී තැන් වල දේශනා කළ දේශනා පාඨය සම්පූර්ණ වන තැන උදය - වය දැකීම ද ඇත්තේ ය. එයින් උදයව්‍ය ඥානය ඒ ඒ තරමින් ස්පර්ශ වූවා ම වෙයි.


නාම රූපයන් ගේ හේතුව පටිච්චසමුප්පාදයෙන් සොයන විපස්සකයා විසින් ඒ නාම රූපයන් ගේ ඇති වීමේ හේතූන් ද, නැති වීමේ හේතූන් ද දකින්නේ, එයින් අනතුරුව අවිද්‍යාදිය නිරුද්ධ වීමෙන් රූපයා ගේ ද, නාමයා ගේ ද නැසීම දකින්නේ ය. ඉන් අනතුරුව නැවත නැවතත් රූපයා ගේ අනිත්‍ය බව සහ නාමයා ගේ අනිත්‍ය බව ද, එහෙයින් ම දුක්ඛයක් වන සැටි ද, අනාත්ම වන සැටි ද සම්මර්ශන ඥානය ඔස්සේ විදර්ශනාවෙන් දකින්නේ එයින් අනතුරුව මේ ස්කන්ධයන් ගේ ඇති වීම සහ නැති වීම දකින උද්‍යවය ඥානයා ගේ පහළ වීම සිදු වෙයි. එය සමුදයවයධම්මානුපස්සී වශයෙන් දේශිත ය.


එය තරුණ විදර්ශනා ඥානය වශයෙන් ද හඳුන්වන අතර යම් කෙනෙක් විදර්ශනාව ආරම්භ කරන්නේ මේ ස්ථානයෙන් යැයි ද මූලාශ්‍ර වල දක්වා තිබේ. එතෙක් යෝගාවචරයෙක් තමන් විපස්සකයෙක් ය යන්න කියා ගැනීම කෙතරම් උචිත ද? යන්නත් මේ අවස්ථාවේ දී ම කල්පනා කර බැලීම ඔබේ භාවනාවට නිසැක ව ම මහත් උපකාරයක් වනු ඇත.


මෙකී (1) උදයව්‍ය ඥානය නිතර භාවිත කරන යෝගාවචරයන්ට ටික කලෙකින් මේ ධර්මයන් ගේ ඇති වීම මෙන් ම නැති වීමත් ප්‍රකට ව පෙනෙයි. අනතුරුව නැති වීම ම තදින් දැනෙන්නට, අරමුණු වන්නට පටන් ගනියි. එය (2) භංගානුපස්සනාව වෙයි. ඒ භංගය පෙනෙන සිහිය නිසා සංස්කාරයන් ගේ බලාපොරොත්තු වීම් ගැන ඇති කර ගන්නා සාධාරණ බිය (3) භයතුපට්ඨානය නම් වෙයි. අනතුරුව කල්පනා වන සංස්කාරයන් ගේ ආදීනවය (4) ආදීනවානුපස්සනාව වෙයි. එයින් ක්‍රමයෙන් ඇති වන කළකිරීමත්, මේ කටුක වූ දුක්ඛිත සංස්කාරයන් ගෙන් යුක්ත ලෝකයෙන් මිදීමේ අවශ්‍යයතාවයත් (5) නිබ්බිදානුපස්සනාවත්, (6) මුඤ්චිතුකම්‍යතාවත් නම් වෙයි. ඒ අවස්ථාවේ මිදීමේ අපේක්ෂාව ඇති ව සංස්කාර ගැන කරන ත්‍රිලක්ෂණය මුසු විපස්සනාව (7) පටිසංඛානුපස්සනාව වෙයි. එයින් සියලු සංස්කාර ගැන වූ ඇලීම් ගැටීම් තොර කරන (8) සංඛා‍රෝපේක්ඛාව ඇති වෙයි.


එම සංස්කාර උපේක්ෂාවේ නැවත නැවතත් යෙදෙන්නේ ලෝකය ගැන ඇති තෘෂ්ණා දෘෂ්ඨි හැර පියා මාර්ග චිත්ත වීථිය පහළ ව (9) සච්චානුලෝම ඥානයට අනතුරුව සංස්කාර අරමුණු කර ගත් සිතක් නැවත පහළ නොවී, ගෝත්‍රභූ සිතෙන් පසු ලෝකෝත්තර භාවයට පත් වෙයි. එයින් ම උපාදාන රහිත ව වාසය කරයි.

මේ දැක්වූයේ සතිපට්ඨානය වැඩීමෙන් සංසාර දුක් ගිනි නිවීමේ උපාය මාර්ගය යි. මේ ගැන අප විසින් මතු සම්පාදනය කරන විදර්ශනා ඥාන නැමැති ග්‍රන්ථයෙන් වඩාත් විස්තර පැහැදිලි ව දැන ගත හැකි වනු ඇත.


කර්මස්ථාන සියල්ලන් ගේ ම විදර්ශනා ඥානයන් වැඩීම සිද්ධ වෙයි යනුවෙන් දක්වා ඇති සෑම තැනක දී ම මේ නය ම යෙදෙන බව දත යුතු ය.


මේ ආකාරයෙන් ආනාපානසති භාවනාව වඩන යෝගාවචරයා විදර්ශනා ඥානයන් ගේ වැඩීමට පළමු ව තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් ඇති කර ගන්නා උදයව්‍ය ඥානය මිශ්‍රිත සිහිය “අත්ථි කායොති වා පනස්ස සති” යන තැන සති හෙවත් සිහිය යන්නෙන් දැක් වූ සේක.


මා මේ කර්මස්ථාන විවරණයට පෙර සිහිය යනු ගැඹුරු අර්ථයක් සහිත වචනයක් යැයි කීවේ මේ සත්ත්ව පුද්ගල ශූන්‍ය නාම රූප ධර්මයන් ගේ හේතු ඵල ආකාරය ආදිය පටිච්චසමුප්පාද භාවනාව, උදයව්‍ය ඥානාදී විදර්ශනාවන් ගෙන් දුටු විපස්සනා යෝගාවචරයා ගේ සන්තානගත ව උපදින සිහිය දැක්වීමට ය.


එය භාග්‍යවතුන් වහන්සේ විසින් පාලියේ දී “අත්‌ථි කායො’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති, යාවදෙව ඤාණමත්‌තාය පතිස්‌සතිමත්‌තාය. අනිස්‌සිතො ච විහරති, න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.” යන්නෙන් දේශනා කොට දැක් වූ සේක.


පටිච්චසමුප්පාද ආදී විදර්ශනාවෙන් පසු ව ඇති කර ගන්නා උදයව්‍ය ඥාන මිශ්‍රිත සත්ත්ව පුද්ගල ශූන්‍ය නාම රූපාකාරය දැන ගැනීම “අත්ථි කායො’ති වා පනස්ස සති” යන තැන සිහිය යන වචනයෙන් දැක්වීම සිදු කරන ලද බව එයින් දත යුතු ය.


එහි සිහිය යනු හේතූන්ට අනුව හට ගෙන, හේතු නිරුද්ධ වන කල නිරුද්ධ වන සත්ත්ව පුද්ගල ශූන්‍ය ධර්මතාවයන් ගැන මනසිකාරයෙන් උදයව්‍ය ඥානයට පැමිණි යෝගාවචරයා සතු ව ඇති සිහිය ම බව දත යුතු ය. කාර්යයන් කිරීමේ දී ඒ කාර්යයන් ගේ ඉරියව් ගැන පවත්වන සිහියක් ගැන මෙහි නො වදාරණ ලදී. එය යෝගාවචරයා විසින් මනා ව තේරුම් ගත යුත්තේ ය.


මෙකල ඇතැම් කර්මස්ථාන ආචාර්යවරුන් යැයි කියාගන්නා ගිහි - පැවිදි අය ගේ කර්මස්ථාන ලැබ, ගිහියන් විසින් සතිමත් ව විසීම, සතිය භාවිත කිරීම වැනි වචන එදිනෙදා කරන වැඩ සිහියෙන් කිරීම යැයි වරදවා ගෙන සිටිති. එය ඉතා සාවද්‍ය එකක් බව දත යුතු ය.


මේ සිහියෙන් තේ සෑදීම්, මළුව අතුගෑම් වැනි දේ ‘දැන් අතුගාන්නේ ය, දැන් තේ කලවම් කරන්නේ ය’ වැනි සිහියක් උදෙසා නො වදාරණ ලද්දේ ය. මේ ඊට එහායින් ඇති ගැඹුරු සිහියක් ගැන කථාවක් ය. ඒ පිළිබඳ ඥානය කර්මස්ථාන භාවිතයෙන්, කළ්‍යාණ මිත්‍රයන් ගේ ඇසුරෙන් මනා ව ශුද්ධ කර ගත යුත්තේ ය.


මෙසේ පළමු ව ධ්‍යානයෙන් පසු ඇති කර ගන්නා නාම රූප පරිච්ජේද ඥානය තමන් ගේ ද, අනුන් ගේ ද වශයෙන් මේ ක්‍රියාවලිය පවතින්නේ ය යන්න විදර්ශනා කරන යෝගාවචරයා තවත් මේ සිහිය වැඩි කරනු වස් පටිච්චසමුප්පාද, සම්මර්ශන ඥානාදිය පිණිස වන භාවනාවන් ද වඩා, ඒ ධර්ම න්‍යාය ද කලෙක තමන් ගේ ද, කලෙක අනුන් ගේ ද, කලෙක තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් ද විදර්ශනා කළ යුතු බවත්, එය මතු මතු ලැබිය යුතු විශේෂ විදර්ශනා ඥානයන් ගේ ලැබීම පිණිස හේතු වන බවත් “යාවදේව ඤාණමත්තාය” යන්නෙන් ද දක්වා විස්තර කරන ලදී. එයින් ලැබෙන සිහිය නැවත නො වැටෙන බැවින් “පතිස්සතිමත්තාය” යන්නෙන් මතු ලබන ප්‍රබල සිහිය ද දක්වා, ඒ අවසාන වශයෙන් “එළැඹ සිටි සිහිය” ලැබ ගත් අයෙක් ලෝකය හෝ ලෝකයේ පවතින දේවල් පිළිබඳ ව තණ්හාවෙන්, දිට්ඨියෙන් නො ගන්නා බව “අනිස්සිතො ච විහරති” යන්නෙන් දැක්වීම සිදු කොට ඇත. බලාපොරොත්තු රහිත ව, නිශ්‍රය කර ගැනීමකින් තොර ව වාසය කරයි යන්න එහි විස්තර සහිත අර්ථය යි.


මේ සති සම්පජඤ්ඤය ඉපද වූ යෝගාවචරයා කෙරෙහි නැවත උපාදානයක් නම් නැත, කෙලෙස් ප්‍රහීණ කර ඇත්තේ ය යන අර්ථය දැක්වීමට “න ච කිඤ්චි ලොකෙ උපාදියති” යන්න දැක්වීම සිද්ධ කර ආනාපානසති භාවනාවෙන් පටන් ගෙන රහත් බව දක්වා වූ ඒකාන්ත මාර්ගයක් මේ ආනාපාන පබ්බයෙන් දැක්වීම මහා කාරුණිකයන් වහන්සේ විසින් සිදු කළ සේක.


“එවම්‌පි ඛො භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති” මෙසේ ද කායානුපස්සනාවට අයත් මේ භාවනාව වැඩිය හැකි යැයි දේශනා කරමින් ආනාපානසති භාවනා කර්මස්ථානය දේශනා කොට වදාරා අවසන් කරන ලදී. මේ පද පේළියෙන් ම කායානුපස්සනාවට අයත් තවත් භාවනා ක්‍රම ද ඇති බවත්, කායානුපස්සනාව වඩනු කැමැති යෝගාවචරයෙක් විසින් ඒවා ද වැඩීම ඵල සහිත වන බවත් ඒත්තු ගන්වා ඇත.


මෙම ආනාපානසති කර්මස්ථානය අතිශය සියුම් බැවින් සිහි මොට පුද්ගලයා හට මෙය දේශනා නො කරමි යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ම “ආනාපානසති භික්ඛවෙ මුට්ඨ සතිස්ස න වදාමි” යන්නෙන් දේශනා කොට ඇති නිසා, ඒ ගැන සිහි ඇති කර ගෙන මේ භාවනාවේ යෙදිය යුතු ය. කර්මස්ථානය ද උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලියා දැක්වීම සිද්ධ කර ඇති බැවින් සුධීන් සිහියෙන් සහ වුවමනාවෙන් කියවා මෙයින් ඵල නෙළා ගත යුතු ව ඇත.


ආනාපාන පබ්බයට අදාළ කර්මස්ථාන විවරණය මෙයින් නිමියේ ය.

bottom of page