top of page

04. කායානුපස්සනා කර්මස්ථාන විවරණය

මේ සතර සතිපට්ඨානයට ම අයත් කර්මස්ථාන විවරණයට පළමු ව කිව යුත්තක් තිබේ. මෙම සතර සතිපට්ඨානය පුරාවට ඇති සිහිය පිහිටුවා ගැනීම, සිහිය උපදවා ගැනීම, සිහියෙන් ජීවත් වීම යන වචන ගැඹුරු අර්ථයක් ගන්නේ ය. සුළුවෙන් නො සැලකිය යුත්තේ ය. පරම ගම්භීර අර්ථයක් ඇති බව සලකා ගත යුතු ය.


මා එම වචනයේ විස්තරය එහි ගම්භීර බව සහ නියම අර්ථය මෙම කායානුපස්සනා කර්මස්ථාන නිර්දේශයේ ඇති ආනාපාන පබ්බයේ හෙවත් ආනාපානසති භාවනාවේ දී විස්තර කොට ලියනු ලැබේ. අනෙක් තැන් වල දී ඒ බව සිහිපත් කරනු ලැබේ.


එනිසා කවර කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයෙක් වූවත් මෙම ආනාපානසති භාවනාව ගැන විවරණය කර ඇති කර්මස්ථාන කොටස හොඳින් කියවා එහි ඇති මේ සිහිය ගැන විස්තරය මනා ව මනසේ ධාරණය කොට ගෙන ම ඉතිරි කර්මස්ථාන ඉගෙනීම ආරම්භ කළ යුතු ය.


තව ද යම් කිසි යෝගාවචරයෙක් හට මෙම ග්‍රන්ථය මුල් කොටසේ සිට ම පිළිවෙලට කියවා ගත හැකි නම් එය ද ඔහු ගේ ඕනෑ ම කර්මස්ථානයක සාර්ථක බවට හේතු විය හැකි පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ඒ බවත් සිහියේ තබා ගෙන ම මෙම ග්‍රන්ථය පළමු කොටසේ පටන් ම කියවා ගත හැකි අයවලුන් විසින් එය එසේ ම කළ යුතු ය. ඒ උපදේශයත් සිතේ තබා ගෙන ම මේ සියලු ම කර්මස්ථානයන් ඉගෙනීමට ආරම්භ කළ යුතු ය.


දැන් භාග්‍යවතුන් වහන්සේ කායානුපස්සනා කර්මස්ථානය විවරණය කරන්නේ නැවත,


“කථඤ්ච භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති? ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යනුවෙන් දේශනා කරමින් කායානුපස්සනා කර්මස්ථානය ආරම්භ කරන ලදී.


මේ සූත්‍රයේ දී පළමු ව සූත්‍ර නිදානය පාලියෙන් දැක්වූයේ ය. අනතුරුව ඒකායන මාර්ගයක් ඇති බවත්, එම මාර්ගය වැඩීමෙන් ශෝක, පරිදේවාදිය ඉක්මෙන බවත්, එය සතර සතිපට්ඨානය බවත් පාලියෙන් දක්වනු ලැබී ය. ඉන් අනතුරුව සතිපට්ඨාන සතර කුමක් දැ යි පාලියෙන් දක්වා, එය වැඩීම පිණිස යෙදිය යුතු ධර්මයන් ආතාපි ආදී වශයෙන් දක්වනු ලැබී ය. අනතුරුව භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං යන පද වලින් දක්වනු ලැබී ය.


ඉන් පසු කර්මස්ථාන විවරණයට පැමිණෙන භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කායානුපස්සනාව වඩන්නේ දැ යි විස්තර කරමින් කථඤ්ච භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති යන දේශනා පාඨය දේශනා කරන ලදී.


bottom of page