top of page

03. කර්මස්ථාන ප්‍රභේද


මෙහි පාලිය මෙසේ ය.


“කතමෙ චත්තාරො? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපි සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං,


වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං,


චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපි සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං,


ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපි සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.”


එහි විස්තරය -


එහි සියලු ම ආකාරයෙන් සතිපට්ඨාන සතරකි. එය චත්තාරො යන වචනයෙන් දක්වනු ලැබී ය. එම සතරෙහි සිහිය පිහිටුවා ගත යුතු ය. නැතහොත් සිහිය එළඹවා ගත යුතු ය. එනිසා සිහියේ පිහිටුවීම යන අර්ථයෙන් “සතිපට්ඨානා” යනුවෙන් දේශනා කොට වදාළ සේක.

මෙහි පෙර දැක් වූ එක ම මාර්ගයකි යන්න අදහස් කළ මග්ගො යන වචනය ඒක වචන ය. නමුත් මෙහි දැක් වූ සතිපට්ඨානා යන වචනය බහු වචන ය.


එහි මාර්ගය එකක් බැවින් එය ඒක වචනයෙන් තැබී ය. සිහිය පිහිටුවා ගත යුතු ආරම්මණ බොහෝ වන බැවින් එය බහු වචනයෙන් තැබී ය. එහි සිහිය පිහිටුවා ගත යුතු ආකාර සතරක් වූ නමුත් මාර්ගය එකක් ම වන බැවින් එසේ පද බෙදීම සිදු කොට ඇත. එනිසා මේ සතර ම එක ම මාර්ගයක් බව දත යුතු ය.


භාග්‍යවතුන් වහන්සේ විසින් සතිපට්ඨාන සතරක් ම දේශනා කොට වදාළ සේක. ඒ තෘෂ්ණා චරිත, දිට්ඨි චරිත වශයෙන් චරිතානුරූපී වන සේ ද සමථයානික, විපස්සනායානික යන යෝගාවචරයන් ගේ මන්ද ප්‍රාඥ සහ තියුණු ප්‍රාඥ වශයෙන් ද ප්‍රභේද කොට කර්මස්ථානය වදාළ බැවිනි. ඒ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා වශයෙනි.


එහි මඳ නුවණැති තෘෂ්ණා චරිතය ඇත්තා හට ද, මඳ නුවණැති සමථයානිකයා හට ද අපහසුවකින් තොර ව අවබෝධ වීම පිණිස කායානුපස්සනාව දේශනා කොට වදාළ සේක.

තියුණු නුවණැති තෘෂ්ණා චරිතය ඇත්තා හට ද, තියුණු නුවණැති සමථයානිකයා හට ද අපහසුවකින් තොර ව අවබෝධ වීම පිණිස වේදනානුපස්සනාව දේශනා කොට වදාළ සේක.


මඳ නුවණැති දෘෂ්ඨි චරිතය ඇත්තා හට ද, මඳ නුවණැති විපස්සනායානිකයා හට ද අපහසුවකින් තොර ව අවබෝධ වීම පිණිස චිත්තානුපස්සනාව දේශනා කොට වදාළ සේක.


තියුණු නුවණැති දෘෂ්ඨි චරිතය ඇත්තා හට ද, තියුණු නුවණැති විපස්සනායානිකයා හට ද අපහසුවකින් තොර ව අවබෝධ වීම පිණිස ධම්මානුපස්සනාව දේශනා කොට වදාළ සේක.

මෙසේ හික්මවිය යුතු පුද්ගලයන් ගේ භේදයෙන් මෙම කර්මස්ථානය ශීර්ෂ සතරක් කොට දේශනා කළ සේක් යැයි එයින් දත යුතු ය.


තව ද එහි නුවණ මඳ වීම නිසා නව (09) ආකාරයක් පමණක් ඇති සියුම් වේදනාවේ අනුපස්සනාවෙන් පමණක් ආරම්මණය මැඩ ගත නො හැකි නිසා කායානුපස්සනාව ද, තියුණු නුවණැති බැවින් ඕලාරික ආරම්මණයේ සිත පිහිටුවීම අපහසු බව දැනෙන යෝගාවචරයන් වෙත නවයක් පමණක් වූ ආකාර ඇති වේදනානුපස්සනාව ද ඒකාග්‍ර සිතින් ප්‍රයෝජන ගත හැකි වන පරිදි දක්වා, නැවත දෘෂ්ඨි චරිතයා ගේ සක්කාය දිට්ඨිය බිඳීමට පහසු වන පරිදි චිත්තයේ ක්‍රියාකාරීත්වය අනුපස්සනා කිරීමට මඳ නුවණැත්තාට අවකාශ තබා චිත්තානුපස්සනාව ද, තියුණු නුවණැති විපස්සනායානිකයා වෙත පහසුවෙන් ආත්ම දෘෂ්ඨිය සිඳ දැමීම පිණිස අතිශය ප්‍රභේද ගත ධම්මානුපස්සනාව ද දේශනා කොට වදාළ සේක් යැයි දැන ගත යුතු ය.


එසේ ප්‍රධාන ප්‍රභේද සතරක් දක්වා ඇති සතිපට්ඨාන භාවනාව කර්මස්ථාන වශයෙන් ගත් කල ප්‍රධාන කර්මස්ථාන විසිඑකක් වන්නේ ය.


කායානුපස්සනාවට අයත් ආනාපාන පබ්බය, ඉරියාපථ පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, පටික්කූල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය යන කර්මස්ථාන පහ සමඟ සීවථික නවය හෙවත් නව සීවථිකය ගත් කල එහි කර්මස්ථාන තුදුසක් (14ක්) වේ.


වේදනානුපස්සනාව එක් කර්මස්ථානයක් වන අතර එහි සිහිය පිහිටුවා ගත යුතු වේදනා ආකාර නවයකි.


චිත්තානුපස්සනාව ද එක් කර්මස්ථානක් වන නුමුදු සිහිය පිහිටුවා ගත යුතු චිත්තයේ වශයෙන් අකාර දහසයකි.


ධම්මානුපස්සනාවට අයත් කර්මස්ථාන පහකි. ඒවා නීවරණ පබ්බය, ඛන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ඣංග පබ්බය, සච්ච පබ්බය වශයෙන් බෙදා දක්වා ඇත.


මේ භාවනා අතුරින් ආනාපානසතිය සහ පටික්කූල මනසිකාර භාවනාව පමණක් අර්පණා ප්‍රාප්ත වන බව හෙවත් ධ්‍යාන ගෙන දෙන බව සිහි තබා ගත යුතු ය. සෙසු සියලු දහනවයක් වූ කර්මස්ථාන ධ්‍යාන ගෙන නො දෙන බැවින් උපචාර ප්‍රාප්ත පමණක් වන බව දත යුතු ය.


දැන් මෙය කියවන්නා හට තමන් ගේ චරිතය කුමක් ද? තමන් කුමනාකාර භාවනාවක් වැඩිය යුතු ද? යන්න ගැටළුවක් මතු විය හැකි බැවින් එය විසඳා ම කර්මස්ථාන විවරණය සිදු කරන්නට බැස ගනිමි.


මෙහි දී සැලකිය යුතු ප්‍රධාන ම කාරණයක් වෙයි. සත්‍යයකි. මේ කර්මස්ථාන විසිඑක අතුරින් කුමන හෝ එක කොටසක් භාවිත කිරීමෙන් ම රහත් විය හැකි යැයි පෙල අටුවාවන් වල පවා දක්වා ඇත්තේ ය.


නමුත් එක් කොටසක් අරමුණු කොට ම භාවනා කිරීමෙන් පමණක් හෝ කොටස් කිහිපයක් අරමුණු කිරීමෙන් ඵලක් නො වනු ඇතැ යි එයින් කිසි විටකත් නො කිව යුත්තේ ය.


භාග්‍යවතුන් වහන්සේ ගෙන් කමටහන් ඉල්ලූ උත්තිය නැමැති භික්ෂුව වෙත “චත්තාරො සතිපට්ඨානා භාවෙය්‍යාසි” යි “සතර සතිපට්ඨානය ම වඩනු” යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ම දේශනා කොට වදාළ සේක.


එහෙයින් මේ කුමක් හෝ එක් කර්මස්ථානයක් මූල කර්මස්ථානය වශයෙන් තබා ගත යුතු ය. අන්‍ය වූ කර්මස්ථානයන් ගෙන් යම් ධර්මයක් සත්ත්ව පුද්ගල බව හැර පියා නාම - රූප වශයෙන් යම් අවස්ථාවක දී ප්‍රකට වෙතොත් එය ද මනසිකාරය කළ යුතු ය.


එනිසා මේ පූර්ව භාග ප්‍රතිපදාව ඉගෙන ගන්නා යෝගාවචරයා විසින් සතර සතිපට්ඨානය ම උගත යුතු ය. කර්මස්ථාන විසිඑකෙහි ම දක්ෂයෙක් විය යුතු ය. එයින් එළැඹෙන එළැඹෙන ආරම්මණයන් අනුව අත් නො හළ සිහියක් පුරුදු කළ යුතු ය. මූල කර්මස්ථානයක් තමන්ට ගැලපෙන ආකාරයකින් තබා ගත යුතු ය.


මෙකල භාවනා කරන්නන් ගෙන් අසවලා හට අසවල් කර්මස්ථානය සුදුසු යැයි තීරණය කිරීම ග්‍රන්ථයකින් පමණක් කළ හැක්කක් නොවේ. එයට ගුරුවරයෙකු ගේ සෙවණ ඉතා වැදගත් ය. නමුත් ග්‍රන්ථයකින් පමණක් මෙය භාවිත කරන්නා වෙත කිව යුත්තේ ‘ඔබ විසින් මෙය කියවීමෙන් අනතුරුව ඔබට වැටහෙන, දිනයේ වැඩි කාලයක් භාවිතාවට ගත හැකි, වඩාත් සිහිය තීව්‍ර ලෙස තබා ගත හැකි කර්මස්ථානය මූල කර්මස්ථානය ලෙස තබා ගෙන, සෙසු කර්මස්ථාන වල ඇති වටිනාකම සලකා ඒවා ද ඉගෙන දිනය පුරා ම භාවිතාවට ගැනීම යෙහෙකි’ යන්න යි.

එසේ සිහිය පිහිටුවා ගෙන භාවනා කරන මන්ද ප්‍රාඥ හෝ තික්ඛ ප්‍රාඥ යෝගාවචරයෙක් වෙත අවම සත් දිනක් ගත වන විට හෝ උපරිම අවුරුදු සතක් ගත වන විට අනාගාමී හෝ අරිහත් ඵලය යන උත්තරීතර ඵලයන් ගෙන් එකක් සාක්ෂාත් වීම නියත ය.


මෙහි සෝවාන් සහ සකදාගාමී යන ඵලයන් නො දැක්වූයේ කුමන හෙයින් ද යත් ඒවා එක් දිනක් තුළ දී වූවත් සාක්ෂාත් වීමට අවකාශ ඇති හෙයිනි. සතිපට්ඨානයේ යෙදෙන තියුණු ප්‍රාඥයා උදෑසන පටන් සවස් යාමය වන තෙක් සතිපට්ඨානය වැඩුව හොත්, සවස් යාමය වන විට සෝවාන්, සකදාගාමී යන ඵලයන් ගේ අධිගමයට පැමිණෙයි.


ඒ දෙදෙනා ගේ වශයෙන් සත් අවුරුදු කාලයක් වෙතැ යි දේශනා කොට ඇත. හීන ප්‍රාඥයෙක් වේ නම් ඊට වඩා කාලයක් වූවත් ගත විය හැකි ය යන්න එයින් අර්ථ ගැන්වෙන බවත් දැන ගත යුතු ව ඇත.


මේ මන්ද ප්‍රාඥ හෝ තික්ඛ ප්‍රාඥ යෝගාවචරයා ගේ තුළ ඇති ශ්‍රද්ධාව ද, නීරෝගී බව ද, අසඨ හෙවත් කපටි නැති බව ද, දෘඪතර වීර්යය ද, උදයව්‍ය ඥානය ද ප්‍රමාණවත් තරම් වේ නම් හෙතෙම මේ මග ඵල ප්‍රතිලාභයට සුදුස්සෙක් වන්නේ ය.


එහි රතනත්‍රය ගැන ද, කර්මස්ථානාචාර්යවරයා කෙරෙහි ද, කර්මස්ථානය කෙරෙහි ද සැක නො කිරීම ශ්‍රද්ධාව නම් වේ.


අනුභව කරන ආහාරය සම සේ පැසවිය හැකි ශක්තිය නීරෝගී භාවය නම් වේ. මෙය සම්පූර්ණ කයෙහි ම නීරෝගී බව යැයි වැරදියට නො ගත යුතු ය. අසනීප මාත්‍රයකින් පමණක් ම සතිපට්ඨානයේ උකටලී නො විය යුතු ය. කය නම් ව්‍යාධියක් ම ය. අනුභව කළ දේ දිරවන ප්‍රමාණයට වත් නීරෝගී නම් මෙයින් එය ම අදහස් කරන ලදැ යි දත යුතු ය.


තමා තුළ නැති ගුණ නො දැක්වීම, ඇති වරදක් වෙතොත් කර්මස්ථානාචාර්යවරයා වෙත නො වළහා එය දැක්වීම මෙහි අසඨ බව හෙවත් කපටි නැති බව යන්නෙන් දක්වා ඇත.


මාර්ග ඵල විශේෂයක් ලැබෙන තුරු භාවනා කර්මස්ථානය අත් නො හැර වාසය කිරීමේ වීර්යය මෙහි වීර්යය යන ශීර්ෂයෙන් දක්වනු ලැබී ය. එය ‘ලේ මස් ඇට නහර වියළී ගිය ද, මාර්ග ඵලයක් අවබෝධ වන තුරු භාවනා කරමි’යි යන සිතින් යෝග කර්මයේ යෙදෙන දෘඩතර වීර්යය යි.


නාම රූප ස්කන්ධයන් ගේ ඇති වීම, බිඳී යෑම දැකීම උදයව්‍ය ඥානය නම් වේ. එය ක්‍රමානුකූල ව උපදවා ගත යුතු ය.


විහරති යනු වාසය කරයි යන අදහස යි. සෑම ඉරියව් පැවැත්මක දී ම ඒ සිහිය නො හෙළා භාවිත කරයි යන අර්ථය යි. මෙසේ දේශනා කොට, කෙසේ වාසය කරයි ද යන්න දැක්වීම පිණිස ආතාපි, සම්පජානො, සතිමා වශයෙන් දේශනා පාඨය තබන ලදී.


ආතාපි, සම්පජානො, සතිමා යන මේ පද තුනෙන් කායානුපස්සනාවට උපකාර වන ධර්මයන් ස්වරූප වශයෙන් උදුරා දක්වා තිබේ.


කෙලෙස් තවන වීර්යය ඔහුට ඇත්තේ ආතාපි නම් වෙයි. සම්පජඤ්ඤ නම් වූ ඥානයෙන් යුක්ත වූයේ සම්පජානො නම් වෙයි. කාය පරිගෘහිත සිහියෙන් හෙවත් කය අරමුණු කොට ඇති යථාභූතාකාර ලක්ෂණ පිළිබඳ ව යතාර්ථවාදී දැනීම අත් නො හළ සිහියෙන් යුක්ත වූයේ සතිමා නම් වෙයි. මේ දැනීම පෙර කී අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදියෙන් සංගෘහිත විය යුතු ය. සම්පජානය සම්පජඤ්ඤ පබ්බයේ දී විශේෂයෙන් දත හැකි ය. ඒ ඥානයෙන් යුක්ත විය යුතු ය යන්න එහි අර්ථය යි.


යම් බලයකින් යෝගාවචරයා ගේ කර්මස්ථානය සමෘද්ධ වේ ද, එම බලයන් දැක්වීම පිණිස ඇතුළත හැකිළීමේ අනතුරුදායක බව සලකා වීර්යය ද, කර්මස්ථානය නො හරින සහ අනතුරුදායක වීම් සැලකීමේ සම්පජානය ද, සිහි මුලා වීම වැළැක්වීම පිණිස සිහිය ද යන ධර්මයන් දැක්වීමට මෙම දේශනා පාඨය තබන ලදී.


‘මෙසේ ඔහු ලෝකයේ ඇලීම් ගැටීම් දුරු කරමින් වාසය කරයි’ යන්න ඉන් අනතුරුව විනෙය්‍ය ලොකෙ අභිඣාදොමනස්සං යන්නෙන් දක්වන ලදී.


විනෙය්‍ය ලොකෙ අභිඣාදොමනස්සං යන වචනයෙන් භාවනාවේ ඵලය දක්වා ඇත. ඒ කෙසේ ද යත්?


කාය, වේදනාදිය පිළිබඳ ව පහත විවරණය කර ඇති කර්මස්ථානයන් අනුව මෙනෙහි නො කරන තැනැත්තෙක් හට රූප - ක්‍රියා සියල්ල නිතර පවත්නා ආත්මයක් ය, සත්ත්වයෙක් ය යන සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය වර්ධනය වී, එය වරදවා වටහා ගැනීමෙන්, අභිජ්ඣා නම් වූ දැඩි ලෝභය තව තවත් ඇති වේ. පීඩා ඇති වීමෙන් තරහ, ක්‍රෝධ ආදිය ඇති වෙයි.


සත්ත්වයන් තුළ ලෝභ දෝෂයන් ඇති වීම සිද්ධ වන්නේ මේ ආත්ම දෘෂ්ඨිය නිසා ම ය.


ඒ වැරදි දෘෂ්ඨියට බැස නො ගැනීම පිණිස අනිත්‍යාදී වශයෙන් ඇති සැටියෙන් දැක, අනුපස්සනා ඥානයෙන් තදංග හෝ විෂ්කම්භණ වශයෙන් ලෝභ දෝෂයන් පහ ව යන ආකාරය මේ දේශනා පාඨයෙන් දක්වන ලදී.


මෙසේ මේ ඵලය ලැබෙන තෙක් කායානුපස්සනාව අත් නො හැර වැඩිය යුතු යැ යි එයින් දත යුතු ය. වේදනානුපස්සනා ආදියෙහි ද මේ ක්‍රමය මැ යි.


මේවා හුදු කායානුපස්සනාවට පමණක් නොව වේදනා - චිත්ත - ධම්මානුපස්සනා යන කර්මස්ථානයන්ට ද එක සේ පොදු බව දැන ගෙන ම ඉතිරි කර්මස්ථාන උගත යුතු ය. ඒ තැන් වල දී ඒ තැන් වලට අවශ්‍යය කාරණා පමණක් නැවත සිහි කරන බැවින් මේවා නැවත නැවත ලියා දැක්වීම අර්ථයක් නැත්තක් සේ සලකා මෙයින් ම මේ පද වර්ණනාව අවසන් කරන බැවින් නැවත නැවත හෝ කියවා මේවා පිළිබඳ ව වූ ප්‍රභේදගත ඥානය සුවිශුද්ධ කර ගත යුතු ය.


එහි කායානුපස්සනාවේ උත්පත්තිය කායෙ කායානුපස්සී විහරති යන පාලි පාඨය වේ. මෙහි සරල අර්ථය ‘කයෙහි කය අනුව බලමින් වාසය කරයි’ යන්න යි.


එහි කායෙ යනු කේසාදීන් ගේ උත්පත්ති ස්ථානය වන රූප කයෙහි යන අර්ථය යි. නැවත කය යන වචනය යොදා කායානුපස්සී විහරති යනුවෙන් කුමකට කීවේ ද යත්, කය අනුව මිසක් කයෙහි පහළ වන වේදනාව හෝ චිත්තාදිය අරමුණු කරමින් නොවේ යන්න පැහැදිලි ව වෙන් කර දැක්වීමට යි.


කාය සංඛ්‍යාත වස්තුවේ අන් ආකාරයක් නො බලා කායානුපස්සනාකාරය හෙවත් කය අනුව ම දැකීම එයින් දක්වන ලදී.


තවත් අර්ථයක් වෙයි. එය ප්‍රකට නැත. පටිසම්භිදාවෙහි ආදී තැන් වල කයෙහි නියමාකාරය දක්වමින් අනිත්‍යාදී ලක්ෂණ එහි ඇති බව දේශනා කොට තිබේ. ඒ කයෙහි නිවැරදි ආකාරයෙන් ම ගැනීමත්, විපරීත ආකාරයකින් නො ගැනීමත් මෙයින් අර්ථ ගැන්වෙයි. පවතින යතාර්ථාකාරයෙන් ම ගැනීම දක්වන ලදී.


එසේ ම වේදනාවේ වේදනාකාරය ම දැන ගැනීම මිසක් වේදනා දෙන කායාදී තැන් ගැන කථාවක් එහි නැති බව වේදනාසු වේදනානුපස්සී විහරති යන්නෙන් ද,


චිත්තයේ චිත්තාකාරය ම මිසක් එය පහළ වන ස්ථාන ආදිය ගැන කථාවක් එහි නැති බව චිත්තෙ චිත්තානුපස්සී විහරති යන්නෙන් ද,


ධර්මයන් ගේ ධර්මාකාරය ම මිසක් එය පහළ වන ස්ථානාදිය ගැන කථාවක් එහි නැති බව ධම්මෙසු ධම්මානුපස්සී විහරති යන්නෙන් ද කියවෙන බව පැහැදිලි ඇතැ යි සිතමි. විහරති, ආතාපි, සම්පජානො, සතිමා යන වචන වල අර්ථයන් මේ ලෙස ම, මේ සියලු ම කර්මස්ථානයන් වල යෙදෙන බව වටහා ගත යුතු ය.


මෙම සියලු භාවනා කර්මස්ථාන අතුරින් ආනාපානසති භාවනාව සහ පටික්කූල මනසිකාර භාවනාව පමණක් අර්පණා දායක වන්නේ ය. ඒ දෙකින් පමණක් ම ධ්‍යාන ලැබේ ය යන්න එහි අර්ථය යි. සෙසු භාවනා දහනවය ම උපචාර සමාධිය පමණක් දෙන්නේ ය. එයින් නැගිට භාවනා කළ යුතු ය. අර්පණා දායක කර්මස්ථාන දෙකෙහි දී අර්පණාවෙන් නැගිට විදර්ශනා කළ යුතු වන්නේ ය.


ඉහත දැක් වූ කරුණු මනා ව මනසේ ධාරණය කර ගෙන මේ සතිපට්ඨාන කර්මස්ථානය වඩන යෝගාවචරයා සිහිය, නුවණ, වීර්යය ආදිය එළඹවා ගෙන කර්මස්ථානයේ දිගින් දිගට ම නියැලිය යුතු බව එයින් දේශිත ය.


එවැන් සිහිය, නුවණ, වීර්යය සහ පෙර පින් ඇති සත්පුරුෂ වීර්යවන්තයෙක් ගේ බුද්ධෝත්පාද කාලයක ලත් මිනිසත් භවය හිස් නො වන්නේ ය. ඵල ඇත්තක් ම වන්නේ ය. බුදුවරුන් ගේ හිස් වචන නම් නැත්තේ ය. ප්‍රලාප දෙඩවීමක් නම් නැත්තේ ය. එනිසා මේ නියත බුද්ධ වචනය සිත් වල තබා ගෙන ශ්‍රද්ධාව සහ කුසලච්ඡන්දය උපදවා භාවනාවේ යෙදී සසර කතරින් නික්මී යනු.


bottom of page