Sujatha Puthra Meditation Center
Your Membership ID
02. සතිපට්ඨානය වැඩීමට පෙර දත යුතු කරුණු
මෙම සූත්‍ර දේශනාව ආරම්භ වන්නේ හඳුන්වා දීමකින් ය. එය මේ සතිපට්ඨානය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් ම සිදු කළ හැඳින්වීමකි. එහි පාලිය මෙසේ ය.
“එකායනො අයං භික්ඛවෙ මග්ගො, සත්තානං විසුද්ධියා, සොකපරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා.”
එහි විස්තරය මෙසේ දත යුතු ය.
මෙහි ඇති “සත්තානං විසුද්ධියා” යන පාලි පාඨයේ අදහස සත්ත්වයන් ගේ පිරිසිදු බව සඳහා යන්න යි.
කුමනාකාරයේ පිරිසිදු බවක් ද යත්, රාග, ද්වේෂ, මෝහ ආදීන් ගේ කිළුටෙන් ද, අභිධ්‍යාදී විෂම ලෝභයන් ගෙන් ද, විවිධ උපක්ලේෂයන් ගෙන් ද පිරිසිදු බව සඳහා ය. තව ද තණ්හංකරාදී බුදුවරුන් ගේ පටන් ශාක්‍ය මුණින්ද්‍රයන් වහන්සේ දක්වා ම වූ බුදුවරුන් ද, නොයෙක් පසේ බුදුවරුන් ද, ශ්‍රාවක උතුමන් වහන්සේලා ද, මේ මාර්ගයෙන් ම සිත් වල ඇති සියලු කෙලෙස් සෝදා හැර පරම පවිත්‍රත්වයට පත් වූ සේක යන්න ද මෙයින් අදහස් කරන ලදී.
කුමන මාර්ගයෙන් ද යත්, “එකායනො අයං භික්ඛවෙ මග්ගො” යන්නෙන් විස්තර කරන ලද ඒකායන මාර්ගයෙන් ය. මේ ගැන විස්තර පසු ව දක්වනු ලැබේ. මෙයින් හුදෙක් සිතේ පිරිසිදු බව ම අදහස් කරන ලදී.
“සොකපරිද්දවානං සමතික්කමාය” යනු ශෝකයේ ද පරිදේවයේ ද ඉක්ම වීම පිණිස පවතින්නේ ය යන අදහස යි. එය එසේ මැ යි. මෙම මාර්ගය භාවිත කරන්නන් ගේ ශෝකය ද, පරිදේවය ද ඉක්මෙයි. එහි ශෝකය සන්තති ආදී මහාමාත්‍යයන් ගේ කතා වස්තු වලින් ද, පරිදේවය පටාචාරා වැනි කතා වස්තු වලින් ද දත යුත්තේ ය.
අවශ්‍යයතාවය සලකා මඳක් විස්තර කළ හොත්, ශෝකය යනු සිතේ දැවීම යි. තමන් සතු ජීවී අජීවී සම්පත්තීන් ගේ විනාශයෙන් පපුවට ගිනියම් හුලකින් ඇන්නාක් මෙන් දැනෙන්නේ ශෝකය යි. ලේ වමනය පවා විය හැකි තරමට ම මේ දැවීම සිදු විය හැකි ය. මේ ශෝකය කෙතරම් භයානක ද යත්, ශෝක වන සමහරු එයින් ම උමතු වේ. ශෝකය දරා ගත නො හැකි ව දුම්රියට හෝ පනිති. ගෙල වැල ලා ගෙන මැරෙති. වස ආදිය පානය කරති. දියට පැන හෝ මියෙති. එක් ප්‍රිය වස්තුවක් නැති වූ කලෙක වූවත් සිය දිවි නසා ගන්නා සත්ත්වයන් විශාල කම්පනයක් කෙසේ දරා ගන්නේ දැ යි සිතා බැලිය යුතු ය. මේ ශෝකය යි.
පරිදේවය යනු එම ශෝකයෙන් දැවී තබන විලාපයන් ය. ‘අනේ නුඹ අපි ව දමා කොයි ගියේ දෝ’යි ශබ්ද කරමින් වැළපීම පරිදේවය නම් වේ. මෙසේ නන් දෙඩීම මෙන් ම සුසුම් හෙළමින්, කඳුළු සලමින්, කෙළ පෙරමින්, ශබ්ද පිට කිරීම ද පරිදේවය ම වෙයි.
දෙ අත් බිත්ති වල හප්පා ගනිමින් කරන මේ පරිදේවය ද, පෙර කී ශෝකය ද සංසාරයේ වැටී ඇති සත්ත්වයන්ට දුලභ නොවේ. මිල, මුදල්, ධනය, නම්බු නාම, නිලතල ආදී කිසිවෙක් ඉහත කී ශෝක පරිදේවයන්ට අදාළ නොවේ. ඒවා ඇත ද, නැත ද මේවා ගෙන් අඩුවක් සංසාරයේ නොවේ. යමෙක් හට මේ ශෝක පරිදේවයන් ඉක්ම වීම කැමැත්තේ නම් ඔහු මේ මාර්ගය ම වැඩිය යුතු ය. වෙනත් මාර්ගයක් නම් ලොව නැත. ඒ මාර්ගය ඒකායන මාර්ගය නම් වෙයි. එය එක ම මාර්ගය ද වෙයි. මෙම මාර්ගය පසු ව විස්තර කර දක්වනු ලැබේ.
“දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය” යනු කායික සහ මානසික දුක්ඛයන් ගේ සහ දෝමනස්සයන් ගේ නිරෝධය පිණිස යන්න අර්ථය වෙයි. එහි කායික දුක්ඛය දුක් යන නමිනුත්, මානසික දුක්ඛය දෝමනස්ස යන නමිනුත් දක්වා ඇත. යමෙක් වෙත ඒවා දුරු කිරීම කළ යුතු නම් ඔහු ද මේ මාර්ගය ම වැඩිය යුතු ය. අන් විකල්ප මාර්ගයන් නැත යන්න එහි අර්ථය යි.
ශරීරයේ හට ගන්නා නොයෙක් ආකාරයේ දුක් ඇත්තේ ය. විවිධාකාර රිදීම්, දැවීම් ආදිය ඒ දුක් ගොඩට අයත් ය. ශරීරයේ ධාතු කිපීමෙන් ද, බාහිර උපද්‍රවයන් නිසා ද හට ගන්නා දුක්ඛ වේදනාවෝ බොහෝ ය. එම වේදනාව දුකක් වන අතර ම එය මානසික දුක්ඛයටත් ප්‍රබල හේතුවක් වෙයි.
වාතය පමණක් ම කිපීමෙන් වූවත් හිසෙහි ද, ඇස්, කන්, දත් ආදී තැන් වල ද ඉවසීමට පවා දුෂ්කර ඉතා තද දුක් හට ගන්නේ ය. ඇතැමුන් ගේ මල මූත්‍රා මාර්ග අවහිර වන්නේ ය. ඒවා ගේ ගල් හෝ වන්නේ ය. එයින් ඇති වන කායික දුක්ඛය ඉවසීම නම් ලෙහෙසි කටයුත්තක් නොවේ. ස්ත්‍රීන් හට දරුවන් ප්‍රසූත කිරීමේ දී ද, කොයි කාටත් වණ, දද, කුෂ්ඨ ආදිය සෑදුණු කල ද, ඒවාට පණුවන් ගැසූ කල ද ඉවසීමට දුෂ්කර දුක්ඛ වේදනාවන් කොතෙකුත් හට ගන්නේ ය. මේ අභ්‍යන්තරයේ හට ගන්නා දුක් පමණකි. බාහිරෙන් සිදු වන දුක් මීටත් අන්ත ය.
සත්ත්වයාට නොයෙක් අවස්ථාවන් වල සතුරන් ගෙන් පොලු පහරවල් කන්නට සිදු වේ. වෙඩි කන්නට සිදු වේ. පොරව පහරවල් කන්නට සිදු වේ. පිහි ඇනුම් වලට ලක් වන්නට සිදු වේ. එළු, ගවයන් විසින් අනින ලදු ව එයින් පෙළෙන්නට සිදු වේ. උකුණන්, මැක්කන්, මදුරුවන් ගෙන් පීඩා වේ. පත්තෑයන්, ගෝනුස්සන්, සර්පයන්, බල්ලන් විසින් සපා කනු දක්නට ලැබේ. අලි ඇතුන් ගෙන් පීඩාවට පත් වන්නට සිදු වේ. කරනු ලැබූ, නො කරනු ලැබූ වැරදි වලට හසු ව කස පහරවල් කන්නට සිදු වේ. හිරේ විලංගුවේ වැටී ඒ දණ්ඩනයන්ට භාජනය වන්නට සිදු වේ. අත පය කැපේ. ලියතොත් පොතක් පුරාවට ලිවිය හැකි නමුත් මෙයින් කාරණාව වැටහේ යැයි සිතමින් මෙකරුණ ලිවීම මෙයින් අවසන් කරමි. මේ කායික දුක්ඛය එසේ දත යුතු වේ.
සිතෙහි හට ගන්නා දුක, දෝමනස්සය නම් වන අතර දරුවන් ගේ අකීකරු වීම්, ස්වාමී භාර්යාවන් ගේ වංචාවන්, මහලු වියට එළැඹුණු පසු දරුවන් නො සැලකීම්, විවිධ අවමන් විඳින්නට සිදු වීම්, හීන මානයන් වැනි දෑ නිසා මානසික දුක්ඛයන් සත්ත්වයාට එළැඹෙනු දකින්නට ඇත. එවැනි මානසික දුක්ඛයන් දෝමනස්ස යන වචනයෙන් සංගෘහිත කොට ඇත්තේ ය.
මේවා ගෙන් නික්මීමක්, මේවා ගේ දුරු කිරීමක් බලාපොරොත්තු වන සත්ත්වයාට ද මේ ඒකායන මාර්ගය හෝ එක ම මාර්ගය භාවිත කිරීමෙන් තොර ව ලෝකයේ පිහිටා පිළිසරණක් ලැබිය නො හැකි ය. හුදු එක ම මාර්ගයක් වේ. එය “ඒකායනො අයං භික්ඛවෙ මග්ගො” යනුවෙන් දැක්වී ය.
එහි අර්ථය එක ම මාර්ගය යන්න යි. මාර්ග දෙකක් නොවේ. එනිසා ඒකායන මාර්ගය යැයි කියන ලදී. තවත් ලෙසකින් ගත හොත් එක් අයෙක් විසින් පිළිපැදිය යුතු බැවින් ද ඒකායන මාර්ගය යැයි දේශනා කරන ලදී. පිරිස් හා එක් වීම හැර විවේක සිත් ඇත්තෙක් විසින් පිළිපැදිය යුත්තේ ය යන්න එහි අර්ථය වෙයි.
මෙහි ඇති “අයන” යන පදය පවතී වැනි අර්ථයක වෙයි. එවිට එක මාර්ගයක් නිවනට පවතී, එක මාර්ගයකින් නිවනට යන්නේ ය වැනි අර්ථයක් එයින් ගම්‍ය වේ. මේ ශාසනයේ පමණක් ඇති බැවින් ද, වෙනත් දර්ශන වලට සාධාරණ නැති බැවින් ද, මේ අයනය හෙවත් නිර්වාණය පිණිස පවතින මාර්ගයේ පැවතීම අයන නමින් හැඳින් වේ. මේවා ගැන උද්ධෘත අවශ්‍යය තරම් අටුවා වලින් දැක්විය හැකි නමුත් කියවන්නා ගේ විඩාව සලකා අවශ්‍යය දේ පමණක් ම ලියා දක්වා ඇත්තේ ය.
පූර්ව භාග හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පත් වීමට කැමැති යෝගාවචරයන් විසින් පූර්වයෙහි පිළිපැදිය යුතු මාර්ගය මෙලෙස තදින් සහ විශ්වාසයෙන් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පදය දේශනා කොට වදාළ සේක.
මෙම පදයේ විවරණය සරල ව ගත් කල නිර්වාණය සාක්ෂාත් කරනු කැමැති සුධීන් විසින් අනුගමනය කළ යුතු, කළ හොත් ඒකාන්තයෙන් ම ප්‍රතිඵල ලැබෙන, සම්බුද්ධ ශාසනයක පමණක් පවතින මාර්ගය යැයි එය ගත හැකි ය.
මෙසේ මේ ඒකායන මාර්ගයේ හැසිරෙන පිනැත්තෙක් වේ නම්, ඔහුට පෙර කී ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් දුරු කොට නැවත ලැබෙන ඵල දක්වන්නේ “ඤායස්ස අධිගමාය, නිබ්බාණස්ස සච්ඡිකිරියාය” යැයි පද දෙකක් දේශනා කරන ලදී.
එහි “ඤායස්ස අධිගමාය” යන වචනයෙන් ලෝකෝත්තර වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉපදීම දක්වන ලදී. පූර්ව භාග ප්‍රතිපදාව වශයෙන් ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නා හට එහි යෙදීම් වශයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ, එම ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම ලෝකෝත්තර ව ලැබෙයි. මෙයින් මාර්ග ඵල ලැබීම ගැන දක්වනු ලැබී ය.
එනිසා ම එහි දෙවන පදය ලෙස “නිබ්බාණස්ස සච්ඡිකිරියාය” යනුවෙන් තෘෂ්ණා විරහිත නිර්වාණ නැමැති නම් ඇති අමෘතයා ගේ සාක්ෂාත් වීම දක්වන ලදී. එය එසේ මැ යි. මෙම මාර්ගය භාවිත කරන ලද්දේ පිළිවෙලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සිද්ධ වෙයි.
මෙසේ මේ පද විවරණය අවසන් කොට ඇත්තේ නමුත් සාරාංශ කොට ගත යුතු භාග්‍යවතුන් වහන්සේ ගේ ආධ්‍යාශය මෙපමණකින් පමණක් කරුණු දක්වා නො හළ හැකි බැවින් එය විස්තර කරමි.
මෙහි දී භාග්‍යවතුන් වහන්සේ කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන මේ පද තැබීම සිද්ධ කර ඇති බව දකින්නට ලැබෙයි.
සමහරු මේ ශාසන යුක්තියෙහි හෙවත් බුද්ධ වචනයෙහි දක්ෂයෝ නො වෙති. සත්ත්වයන් ගේ විශුද්ධිය වේ යැයි කී පමණකින් ම එහි ශෝක පරිදේව ආදිය නො වන බව ප්‍රකට අර්ථයක නො පවතී. එනිසා මේ එක ම මාර්ගය භාවිතා කිරීමෙන් සත්ත්වයන් විශුද්ධියට පත් වන බවත්, එයින් පසු ශෝක පරිදේව ආදීන් ගේ පැවැත්මක් නැති බවත් ප්‍රකට කර දැක්වීම පිණිස මෙම පද ගණනාවක් ම තබන්නට මහා කාරුණිකයන් වහන්සේට සිදු ව ඇත.
තව ද යම් කෙනෙක්ට මෙවැන් ගැටළු කිහිපයක් පැවතිය හැකි ය.
කිම? සත්ත්වයා ශෝක පරිදේවයන් සියල්ල ඉක්ම වූ පසු විශුද්ධියට පත් වේ ද? නැතහොත් මේ ඒකායන මාර්ගය
භාවිතාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉපදී, එයින් ශෝක පරිදේව ඉක්මී විශුද්ධියට පත් වේ ද? යන්න යි.
එහි නිවැරදි පිළිවෙල දැක්වීම පිණිස පළමු ව මාර්ගය භාවිත කළ යුතු ය, අනතුරුව ශෝක පරිදේවාදිය ඉක්මෙනු ලැබෙත් ය යන්න ප්‍රකට කිරීම පිණිස ද මෙය දක්වනු ලැබී ය.
තව ද දක්ෂ රෙදි පිළි වෙළෙන්දෙක් විසින් රෙදි පිළි වල ගුණ වයා, ගන්නා හට එය විකුණන්නාක් මෙන් අසන්නාට උත්සහය සහ උනන්දුව දැනවීම පිණිස මේ පාඨය තබා ඒ ප්‍රතිඵල ලබා ගනු කැමැත්තා විසින් කුමක් වැඩිය යුතු ද යන්න දැක්වීම පිණිස “යදිදං චත්තාරො සතිපට්ඨානා” යනුවෙන් දේශනාව ආරම්භ කොට වදාළ සේක.