top of page

01. සතිපට්ඨාන නිදානය

නිදානය යනු මෙම දේශනාවට හේතු වූ කරුණු, දේශනාව සිදු කර ඇති ස්ථාන ගැන කරුණු වැනි දෑ ගැන විස්තර ය. මේ ගැන අටුවාවන් මනා ව කරුණු කියා ඇති හෙයින් මෙහි වඩාත් විස්තර නො කොට අවශ්‍යය ම දෑ පමණක් සඳහන් කරන්නෙමි.


එහි පාලිය දැක්වෙන්නේ මෙසේ ය.


“එවං මෙ සුතං එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.”


එහි විස්තරය -


මෙම දේශනාව සිදු කරනු ලැබුවේ කුරු නම් වූ ජනපද වාසී මනුෂ්‍යයන් අභියස ය. කුමක් හෙයින් එහි ම දේශනා කරනු ලැබුවේ ද යත්, එම ජනපදවාසීන් ගේ ගැඹුරු දහම් පිළිගැනීමේ සමත් කම නිසා ය. ඔවුන් සතු ව තිබූ සෘතු - ප්‍රත්‍යයන් ගේ සප්පාය සහ සශ්‍රීකත්වය හේතු කොට ගෙන ඔවුන් කායික අපහසුතා අඩු මිනිසුන් විය. එබැවින් ම මනා සිත් ඇත්තෝ විය. ඒ සෘතු ප්‍රත්‍යයන් ගෙන් අනුග්‍රහ කරනු ලැබූ ප්‍රඥා බලයෙන් ගැඹුරු දහම් කථාවන් පවා පිළිගැනීමට සමර්ථ කම් ඇත්තෝ විය.


මෙම සූත්‍ර දේශනාව ගැඹුරු ය. බොහෝ ප්‍රභේද සහිත ය. ශ්‍රවණය කරන්නා වෙත කායානුපස්සනාවෙන් ආරම්භ කරන ලද කර්මස්ථානය ධම්මානුපස්සනාව වෙත බසින විට ධර්ම රසය අඩුවක් නැත ද, ගතේ සහ පිළිගන්නා ගේ සිතේ විඩාව නිසා කරුණු සියල්ල ධාරණය කර ගැනීමට පහසු නොවේ. මුල අසා සිතෙහි තැන්පත් කර ගෙන යන්නාට පවා අවසානය වන විට මුල අමතක වී තිබීම විය හැකි ය. අධික ඌෂ්ණ - සීතලෙන් පෙළෙන කයවල් ඇති අය ගේ සිත් මෘදු නැත. මෙවන් සූත්‍රයක් දරා ගැනීමත් පහසු කටයුත්තක් නොවේ.


කුරු රට වාසී භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා යන සිවුවනක් පිරිස ම මනා වූ සෘතු සම්පත්තිය ද, සශ්‍රීක ප්‍රත්‍ය සම්පත්තිය ද නිසා මෙවන් බාධා වලින් දුරු වූවෝ ම වෙත්.

භාග්‍යවතුන් වහන්සේ ද සතිපට්ඨානය නැමැති මැණික ගෙන රන් කරඬුවක තැන්පත් කරනු කැමැත්තේ, කුරු ජනපද වාසී පිරිස ලැබ එහි ම මේ දේශනාව සිදු කළ සේක. මේ ජනපද වාසීන් වෙත ම මහා නිදාන, සාරෝපම, රුක්ඛූපම, රට්ඨපාල, මාගන්ධිය, ආනෙඤ්ජ සප්පාය වැනි ගැඹුරු අරුත් ඇති තවත් සූත්‍ර ද දේශනා කොට වදාරා ඇත.


තව ද ඔවුන් ගේ වීර්යය කෙසේ ද යන්න දක්වත හොත්, ඒ ජනපදයේ සිවුවනක් පිරිස ම ස්වභාවයෙන් ම සතිපට්ඨාන භාවනාවේ යෙදී වාසය කරන පිරිසක් විය. යටත් පිරිසෙයින් දැසි දස්සන්, කම්කරුවන් පවා සතිපට්ඨාන සංයුක්ත කථාවේ ම යෙදී සිටිති. දිය තොටෙහි ද, නූල් කටින ස්ථානයෙහි ද වෙනත් කිසිදු නිරර්ථක කථා නො පවත්වති.

ඉදින් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙත ආමන්ත්‍රණය කොට “මව්නි, ඔබ කිනම් සතිපට්ඨානයේ අද යෙදෙහි දැ”යි විමසූ කල “කිසිවෙක් නැතැය” කිව හොත් ඇයට ගරහන්නේ “තට නින්දා වේවා. තී ජීවත් විය ද මළ එකියක් මෙනි”යි නින්දා කරන්නේ ය. එසේ නො කරන ලෙස අවවාද කරන්නේ ය. සතිපට්ඨානයක් උගන්වා එහි යොදවන්නේ ය.


යමෙක් එසේ විමසූ කල “මම මෙනම් සතිපට්ඨානයෙහි නිරත වෙමි”යි කීවේ නම් ඇයට පසසන්නේ “සාධු සාධු යහපත් ය. ඔබ මිනිසත් බවෙහි ඵලය නෙළන්නේ ය. ඔබ සඳහා සම්බුදුරදුන් ලොව පහළ වුණේ ය” යැයි සාධුකාර දෙන්නේ ය.


හුදෙක් මිනිසුන් පමණක් නොව, කුරු රට වැසි තිරිසනුන් පවා සතිපට්ඨානය භාවිත කර ඇති බවට කතා වස්තුවක් අටුවාවෙහි එන්නේ ය. මේ එම කතා වස්තුව කෙටියෙනි.


භික්ෂුණී ආරාමයක පෝෂණය වන ගිරා පෝතකයෙක් විය. ඌ නමින් බුද්ධරක්ඛිත නම් විය. දිනක් මහ තෙරණියක් විසින් “බුද්ධරක්ඛිතය, ඔබ කිසියම් භාවනාවක් මෙනෙහි කරන්නේ දැ”යි විමසී ය. “නැතැ”යි කී පසු ආරාමයක පෝෂණය වන නුඹ වැන්නෙක් එසේ විසිරුණු සිත් ඇති ආත්ම භාවයක් පරිහරණය කිරීම තරම් නො වන බව පවසා, වෙනත් දුෂ්කර කර්මස්ථාන පසෙක ලා අට්ඨික සංඥාව වත් පුරුදු කර ගත යුතු යැයි පවසා ‘අට්ඨී අට්ඨි’ වශයෙන් මෙනෙහි කරන්නට අවවාද කළා ය.


හෙතෙම එම අවවාදයේ පිහිටා එය සජ්ඣායනා කරමින් හැසිරෙන්නේ දිනක් විශාල පක්ෂියෙක් විසින් ඩැහැ ගන්නා ලදි. උගේ ශබ්දය ඇසුණු තෙරණිවරු ගල් අහසට වීසි කොට ඌව මුදා ගත් අතර පසු ව ඔහු ගෙන් “උඹ ව පක්ෂියා ගෙන යන අවස්ථාවේ උඹට කුමක් සිතුණේ දැ”යි විමසූ හ. “ආර්යයෙනි, වෙනත් යමක් නො සිතුණි. ඇට සැකිල්ලක් විසින් තවත් ඇට සැකිල්ලක් ඔසවා ගෙන යතැ යි සිතුවෙමි”යි පැවසී ය. එය අසා සාධුකාර දුන් තෙරණිවරු “මෙය නුඹ ගේ අනාගත භව ක්ෂය ය සඳහා හේතු වනු ඇතැ”යි පැවසූ හ.


මෙසේ එම ජනපද වාසී තිරිසනුන් පවා සතිපට්ඨානයේ යෙදී වාසය කළේ යැයි දත යුතු ය. එහෙයින් ම භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව මෙම ජනපදයේ දී දේශනා කළ සේක් යැයි දත යුතු ය. එහි කම්මාසදම්ම නම් නියම් ගම යනු භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි රමණීය වන ලැහැබ පිහිටි ප්‍රදේශය ය.



bottom of page