Sujatha Puthra Meditation Center
Your Membership ID
ප්‍රස්ථාවනාව..
ප්‍රස්ථාවනා..
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
ඉමක් කොණක් නො පැණෙන සංසාර වෘත්තයේ හට ගැනීම් වශයෙන් පහළ වන ස්කන්ධ ධර්මයන් ගේ වේගවත් ක්‍රියාකාරීත්වය සත්ත්වයා වශයෙන් සම්මුතියෙන් කථා කිරීමට සමාජය පුරුදු ව ඇත. එහි වරදක් ද පෙනෙන්නට නැත. අනවරාග්‍ර සංසාරයක් පුරා ආත්ම දෘෂ්ඨිය තදින් ගෙන සත්ත්ව පුද්ගල ශූන්‍ය ලෝකය ආත්ම ලෙසත්, සුව ලෙසත්, සුභ ලෙසත්, නිත්‍ය ලෙසත් සත්ත්වයාට වැටහෙන්නේ ම අවිද්‍යා අන්ධකාරය ඔවුන් ගේ ප්‍රඥාව වසා ගෙන ම පවතින බැවිනි.
මෙය වටහා ගන්නා තාක් සත්ත්වයාට යතාර්ථය හසුවන්නේ නැත. යතාර්ථය හසු වන තුරු ම ස්කන්ධ කෙරෙහි කළකිරීමක් ඇති වන්නේ නැත. කළකිරීමක් ඇති වන තුරු ම සංසාරයෙන් විමුක්තියක් ලබන්නේ නැත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එබැවින් ම නොයෙක් සූත්‍ර දේශනා වල දී “එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වේදනායපි -පෙ- සඤ්ඤායපි -පෙ- සංඛාරෙසුපි -පෙ- විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති.” වශයෙන් දේශනා කොට වදාළ සේක.
මේ ග්‍රන්ථය කරන බුද්ධ වර්ෂ 2567ක් වන මේ කාලයේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාව බොහෝ දෙනෙක් විසින් සාකච්ඡාවට බඳුන් කර ඇති බව දක්නට ලැබේ. අප විසින් වසර ගණනක් ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස බුදු සසුන කෙරෙහි පැහැදිලි සිතින් සත්ත්වයාට මේ විමුක්ති මාර්ගය එළි පෙහෙලි කරනු වස් නොයෙක් ගම් දනව් නගර රාජ්‍යය වල මේ වන විටත් සිදු කර ඇති ධර්ම ශාසනික සේවාවේ දී වටහා ගත් සෘජු කරුණක් නම් පිරිසිදු බුද්ධ වචනය ලොව ඇතත්, ඒ බුද්ධ වචනයෙන් එළි පෙහෙලි වන පූර්ව භාග ප්‍රතිපදාව නොහොත් රහත් ඵලය ලබා ගනු පිණිස යෙදිය යුතු ප්‍රතිපත්තිය නියමාකාරයෙන් සමාජගත නො වීමක් දක්නට ලැබෙන බව යි. එය බරපතල කරුණකි.
විනය ගැන කොතරම් වාද විවාද පැමිණියත් බුද්ධ ශාසනය නො පිරිහෙන බවත්, යම් දිනක මාර්ගය හෝ ප්‍රතිපදාව ගැන විවාද පැමිණිය හොත් එයින් බුද්ධ ශාසනයේ පිරිහීම ආරම්භ වන බවත් බුද්ධ වචනය ය. එනිසා මේ ප්‍රතිපදාව ගැන කථා කරන සෑම අවස්ථාවක ම එයට අසාධාරණයක් නො කරන්නට සෑම ගිහි පැවිදි ශ්‍රාවකයෙක් ම වග බලා ගත යුතු ව ඇත.
නොයෙක් වර එවැනි විකෘති මත පටිභාහනය කොට ධර්ම මතය ඉස්මතු කිරීම අප විසින් සිදු කළ ද, අලුත් පැදුරක් දිග හරින්නේ යම් සේ ද, එක් පැත්තකින් දිග හරින විට අනෙක් පසින් නැවත හැකිලෙන්නාක් මෙන් ගණනය කළ නො හැකි තරම් විකෘතීන් අප ගේ දේශනාවන් යට කරමින් සමාජගත වන බව පෙනෙන්නට ඇත. ඒ අප ගේ දේශනාවන් වල ඇති අඩුවක් නිසා නොව, ශ්‍රාවකයා ගේ ප්‍රඥාවේ ඇති මදිකමක් නිසා ය.
මේ සඳහා කළ යුතු එක ම දෙය ශ්‍රාවකයන් ශ්‍රැතයෙන් ශක්තිමත් කිරීම යි. එය කය ශක්තිමත් ව ඇති තාක් කළ හැකි මුත් ස්ථීර පිළියමක් නො වන බව අනාගතය පිළිබඳ ව අප ගේ ඇති දැක්ම යි. එයට කළ හැකි ප්‍රතිකාරයක් ලෙස සැලකිය යුතු තරම් කරුණු ගොනු කර ප්‍රතිපදාව පිළිබඳ ග්‍රන්ථ කිහිපයක් කරන්නට සිතේ තැතක් තිබුණත්, කාලයෙන් අවකාශයක් නො ලැබුණු බැවින් මෙතෙක් ප්‍රමාද විය. නමුත් දැන් එයට සුදුසු කාලය එළැඹ ඇති බැවින් එහි තවත් තත්පර නොවී අප ගේ යුතුකමේ නිරත වීමට සිතුවෙමු.
ඉහත කී සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය වටහා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් සූත්‍ර - අභිධර්ම කරුණු පිටකත්‍රය පුරා ම වෛවර්ණ උපමා භාවිතයෙන් ප්‍රකට කර ඇත. ඒවා වටහා ගැනීමට උචිත නුවණක් ඇති පින්වතුන් එයින් ම වූවත් කාරණාව වටහා ගැනීමට සමර්ථ වනු ඇත.
නමුත් බහුතරයක් එලෙස කියවූ හෝ ඇසූ පමණින් ම මේ සූක්‍ෂම ගම්භීර කරුණු ඇතුළත් ධර්මය වටහා ගැනීමට සමත් නොවේ. ඔවුන් විසින් ක්‍රමයෙන් සන්තාන තුළ ඇති වැරදි සංකල්ප දුරු කොට, නිවැරදි සංකල්ප ඔබ්බවා ගත යුතු ය.
එයට මහත් සේ උපකාරී වන්නා කළ්‍යාණ මිත්‍රයා නම් වේ. එම කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නා එයින් උපන් සද්ධර්ම ලාභය ලැබ ගනී. ලොව ඇති තාක් රස අතුරින් අග්‍ර රසය වන එම ධර්ම රසය ලබන්නා, එයින් උපන් යෝනිසෝමනසිකාරය ලැබ, සිහිය සෘජු කර ගනී. එම සිහියෙන් ලෝකය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා හට අවිද්‍යාවට ප්‍රතිපක්‍ෂ ප්‍රඥාව හෙවත් ඥානය එයින් ම පහළ වනු ඇති අතර එයින් අවිද්‍යා අන්ධකාරය දුරු කර, වැරදි සංඥා සන්තානය තුළින් ඉවත් වී නිර්වාණය නැමැති ක්‍ෂේම භූමියට පැමිණ සංසාර දෝෂයට නිසැක පිළියම ලබා ගනු ඇත.
පෙර ඡේදයේ කී කළ්‍යාණ මිත්‍රයා ගෙන් ලැබෙන සද්ධර්ම ලාභය කෙසේ විය යුතු ද යත්, එම ධර්ම රසය ලැබ නිත්‍ය, සුව, සුභ, ආත්ම සංඥාවන් දුරු විය යුතු ය. අනිත්‍යාදී සංඥාවන් මේරිය යුතු ය. එය එම සද්ධර්ම ලාභය ලැබෙන බව හැඳින ගැනීමේ ලක්ෂණය බව දත යුතු වේ.
කවරාකාරයේ කරුණු භාවිතාවෙන් ඉහත සංඥා විපර්යාසය දුරු වේ ද යන්නට පිළිතුර නම්, නොයෙක් කරුණු භාවිතයෙන් දුරු කර ගත හැකි ය යන්න යි.
භාග්‍යවතුන් වහන්සේ වනාහි මහා කරුණාවෙන් උණු කරන ලද, මහා ප්‍රඥාවෙන් පෙරන ලද අමෘතය වැනි සද්ධර්ම සාගරයක් ලෝකයා වෙත පන්සාලිස් වසක් ඇතුළත දායාද කරන ලද්දේ ය. එම ධර්මයේ දායාදය ඇති දූ පුතුන් විසින් ගිරිමානන්ද සූත්‍ර, සමථ කර්මස්ථාන, විපස්සනා කර්මස්ථාන, සතිපට්ඨාන කර්මස්ථාන වැනි නොයෙක් දහම් පරියායන් භාවිතා කොට එම වැරදි සංඥාවන් දුරු කර ගත යුතු වේ.
මේ ග්‍රන්ථය එකී පරියායන් අතර විශිෂ්ට පරියායක් වන, කිසිදු බුදුවරයෙක් විසින් අත් නො හරින, නිර්වාණයට ඒකායන මාර්ගය යැයි පැවසූ සතිපට්ඨාන කර්මස්ථානය පිළිබඳ ව සිදු කර ඇති ප්‍රාමාණික විවරණයකි. කර්මස්ථාන දේශනාවකි. සංසාර දුකින් අත මිදෙනු කැමති පින්වතුන් ගේ කළ්‍යාණ මිත්‍රයෙකි.
මේ ග්‍රන්ථය කියවීමට ප්‍රථම විවරණය සහ වර්ණනාව යන වචන වල වෙනස දත යුතු ව ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් උදෙසන ලද පාලිය ගෙන එය වචනයෙන් වචනය විස්තර කරන්නේ, පැතිරුණු අර්ථ දක්වන්නේ යම් ග්‍රන්ථයකින් ද එම ග්‍රන්ථය වර්ණනා ග්‍රන්ථයක් වේ.
මෙම ග්‍රන්ථය කර්මස්ථාන විවරණ ග්‍රන්ථයකි. මෙහි පෙලෙහි ඇති පාලිය සෑම තැනක දී ම ගෙන එය වචනයෙන් වචනය වර්ණනා කරමින් විස්තර කර නැත. ඒ වෙනුවට භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය වන කර්මස්ථානයට යෝග්‍ය පාලිය කර්මස්ථානයට උඩින් දක්වා එහි දැක්වෙන කර්මස්ථාන විවරණය, ඒවා ගේ ඇති සැඟවුණු අර්ථ විස්තර කොට, භාග්‍යවතුන් වහන්සේ කුමන ආධ්‍යාශයකින් මේ කර්මස්ථාන උදෙසා ඇත් ද, එයින් කුමන ප්‍රතිඵලයක් ලබා ගත හැක්කේ ද? යන්න මෙහි විවරණය කොට ඇත.
අවශ්‍යය සෑම තැනක දී ම අවශ්‍යය වන සියලු පාලි පාඨයන් දක්වා අවශ්‍යය ම කරුණ විස්තර කිරීම මේ ග්‍රන්ථය පුරා ම සිදු කර ඇත. එහෙයින් කර්මස්ථානයේ සියලු ම තැන් මෙහි දී ප්‍රකට කර ඇතැයි ද එයින් දත යුතු ය.
මේ පෙලෙහි ඇති වචනයෙන් වචනය වර්ණනා කර ඇති අටුවා ද, විශුද්ධි මාර්ගය ද, තවත් පරිවාර ග්‍රන්ථ ද ඕනෑ තරම් දක්නට ඇත. නමුත් මේ කර්මස්ථාන විවරණය කර ඇති ග්‍රන්ථ ඇත්තේ ඉතා අඩුවෙනි. නැති ම තරම් ය. එම නිසා මෙම ග්‍රන්ථය තවත් ග්‍රන්ථ වර්ණනාවක් නො කොට කර්මස්ථාන විවරණයක් ලෙස ලියන බැවින් ඒ බව සිතෙහි තබා ගෙන ම මෙය කියවිය යුත්තේ ය.
බොහෝ අයගේ පහසුව පිණිස රළු වචනයන් පසෙක දා, ග්‍රන්ථයේ ප්‍රමාද හෝ මහන්සි හෝ නො කෙරෙනු වස් බොහෝ විස්තර නො කොට, ප්‍රතිපත්තියේ යෙදෙනු කැමති පිනැත්තන් වෙත කර්මස්ථානයෙන් කර්මස්ථානය අවශ්‍යය ප්‍රමාණයෙන් විස්තර කරමින්, ග්‍රන්ථය දීර්ඝ වීම වළකාලීම පිණිස අනවශ්‍ය වර්ණනාවන් අත හැර, භාෂා ව්‍යාකරණ නීති මනසින් හැර දා භාවිතයට පහසු වීම පිණිස මෙය රචනා කොට ඇත.
දින හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම ග්‍රන්ථය රචනා කොට අවසන් කළත්, වෙනත් කිසිදු ග්‍රන්ථයක් භාවිතා නො කොට වූවත්, සම්බුදු සසුනේ තෙරුවන් සරණ යන ආධුනික ම ශ්‍රාවකයෙක් හට නමුත් මෙම ග්‍රන්ථය පමණක් ම භාවිතා කර කෙලෙස් සිඳ ලබන නිර්වාණය මේ ග්‍රන්ථයේ උපකාරයෙන් ලබා ගත හැකි වීම පිණිස අවශ්‍යය තරම් කරුණු රාශියක් ඇතුළත් කරමින් මේ ග්‍රන්ථය සිදු කර ඇත.
තව ද මේ ගැන අප විසින් සම්පූර්ණ පාලිය ම විස්තර කරමින් රචනා විලාශයෙන් ඔබ්බට ගොස්, වචන විලාශයෙන් සතිපට්ඨාන දේශනා මාලාවක් අප ගේ කාලයේ සිදු කර ඇති බැවින් මේ ග්‍රන්ථය සමඟ එය ද භාවිතා කිරීමෙන් ප්‍රතිඵල වඩාත් මෘදු ව සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බව මූලාශ්‍ර වල රුචි පින්වතුන් වෙත මෙත් සිතින් සිහිපත් කිරීමට කැමති ය.
මෙයට,
ශාසනස්ථිතිකාමී,
කිරුළපන ධම්මවිජය හිමි නම් වම් හ.
2023 ක් වූ මැයි මස 18 වන දින දී ය.