top of page

18. චතුරාර්ය සත්‍යය භාවනාවෙන් නිවනට

“මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ” යැයි භාග්‍යවතුන් වහන්සේ ධම්මානුපස්සනාවේ අන්තිම කර්මස්ථානය විවර කරන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය විස්තර කරමින් සච්ච පබ්බය දේශනා කොට වදාළ සේක.


එහි පාලිය දත යුතු ප්‍රමාණයෙන් මෙසේ ය.


“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චේසු? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛ නිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති.”


එහි සාමාන්‍ය අර්ථය මෙසේ ය.


“මහණෙනි! නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. භාවනානුයෝගී පුද්ගල තෙම සිව් වැදෑරුම් ආර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි සත්ත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කරයි. යෝගී පුද්ගල තෙම එම ස්වභාව ධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයි ද?


මහණෙනි! මේ බුදු සසුනෙහි විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම දුක මේ යැයි ඇති සැටියෙන් දැන ගන්නේ ය. දුක ඉපදවීමේ හේතුව මෙය යැයි ඇති සැටියෙන් දැන ගන්නේ ය. සියලු‍ දුක් නැති ව යන තැන මෙය යැයි ඇති සැටියෙන් දැන ගන්නේ ය. මෙය දුක් නැති නිවනට පමුණුවන ප්‍රතිපදාව ය යි ඇති සැටියෙන් දැන ගන්නේ ය.”


මේ එහි සරල අර්ථය යි. එහි වැඩි විස්තර කරුණු ඉගෙනීමෙන් මෙසේ දත යුතු ය.


එහි සඳහන් වන සත්‍යය සතරකි. ඒ දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, මාර්ග ආර්ය සත්‍යය වශයෙනි.


යෝගාවචරයා විසින් මේ ආර්ය සත්‍යයන් සතර දැන ගත යුත්තේ ය. එයින් මේ ධර්මතා ගැන සිහිය ඇති වන්නේ, සංසාර දුකින් අත මිදීම සිදු වන්නේ ය.


මේ ආර්ය සත්‍ය සතර ඉගෙනීම පහසු කටයුත්තක් නොවේ. නමුත් ශක්ති පමණින් පහසු කර කරුණු සියල්ල ම මෙන් ගොනු කිරීමට අපේක්ෂා කරන නිසා, වීර්යයෙන් යුක්ත ව මේවා ඉගෙන භාවනාවට ගත යුතු ය.


මේ ආර්ය සත්‍යයන් හරි හැටි අවබෝධ කර ගන්නේ පෘතග්ජනයා නොව ආර්ය පුද්ගලයා ය. එහෙයින් මෙයට දුක්ඛ ආර්ය සත්‍යය යැයි කියන ලදී. එය ‘අරියා ඉමානි සච්චානීති වුච්චන්ති’ යැයි අටුවාවේ කියන ලදී. එහි තවත් අර්ථ කිහිපයක් ම ඇත.


මේවා අවබෝධ කළ විට ආර්ය භාවයට පැමිණේ. එනිසා ද ආර්ය සත්‍යයෝ යැයි කියයි. තව ද, මේ ආර්ය සත්‍යය, සත්‍යයක් ම මිස කිසි ලෙසකින් අසත්‍ය නොවේ. එබැවින් ද ආර්ය සත්‍යය නම් වන්නේ ය. මේ එහි ආර්ය සත්‍යය යන වචනයේ නිර්වචනය යි.


මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් මේ නාම රූප සංඛ්‍යාත සත්ත්වයා ගේ සංසාර පැවැත්ම සහේතුක ව ද, උපාය සහිත නැවැත්ම ද කියන ලද්දේ ය.


මේ දේශනාව මේ දුක ය, එම දුකට හේතුව ය, එහි නැති කිරීම ය, නැති කිරීමේ මාර්ගය ය යන පිළිවෙලට ම දේශනා කළේ මන්ද යත්,


තාවකාලික ආශ්වාදය සහිත සැපයෙහි ඇලුණු සත්ත්වයන්ට සංවේග දැනවීම පිණිස පළමු ව දුක්ඛ සත්‍යය දේශනා කළ බව දත යුතු ය. මෙය ඊශ්වරයෙක් ගේ නිර්මාණයක් නො වන බවත්, මෙයින් සිදු වීය යන්න දැක්වීමටත් එහි හේතුව දේශනා කරන්නේ, සමුදය සත්‍යය දේශනා කොට වදාළ සේක.


මේ සත්‍යය දෙක අසා සත්‍යයයක් මැ යි වටහා ගෙන මේ සංසාර පැවැත්ම දුකින් මැඩ ගෙන ඇත්තේ යැයි කළකිරුණු සිත් ඇති ව, එම දුකින් ඉවත් වීම ගවේෂණය කරන්නාට ගැලවීම දක්වනු පිණිසත්, එහි ඇති සැනසීම දක්වනු පිණිසත් නිරෝධ සත්‍යය දේශනා කරන ලද්දේ ය.


අනතුරුව එම නිරෝධය අධිගමනය කරන මාර්ගය දේශනා කොට දක්වන ලදී.


ඉහත කර්මස්ථාන විවරණ වල නාම රූපයන් ගේ තතු ඇති සැටියෙන් විස්තර කර ඇති නිසා මේ තැන දී මනසට නැගෙන මේ සත්‍යය ගැන කිව යුත්තක් ම තිබේ.


බොහෝ දෙනා හට මේ චතුරාර්ය සත්‍යය ධර්මය එක්තරා න්‍යායක් ලෙස පමණක් වැටහෙයි. මේ සත්‍යය වටහා ගැනීමෙන් පමණක් නිවන් දැකිය නො හැකි ය, මේ සත්‍යයන් වටහා ගැනීමට අන් භාවනාවක් කළ යුතු ය යන්න ඔවුන් ගේ අවබෝධය ය. නමුත් එය ඉතා සාවද්‍ය බව කිව යුතු ය. ඒ ඔවුන් ගේ නො දන්නා කම ය. මේ සත්‍යය සතර පමණක් ම අවබෝධ කරන්නා ද සංසාර දුක්ඛයෙන් ගැලවෙයි.


මේ සත්‍යය සතරෙන් දුක්ඛය පිළිබඳ ව දැන ගන්නා ගේ දුක්ඛ ඥානය නිසා සක්කාය දිට්ඨිය නවතියි. සමුදය දැන ගන්නා ඥානය නිසා උච්ඡේද සහ ශාස්වත දෘෂ්ඨි නවතියි. මෙසේ දුක්ඛ ඥානයෙන් නිත්‍ය, සැප, ආත්ම වශයෙන් ගන්නා සංඥාව වළකන්නේ, එයින් ම වැරදි ප්‍රතිපත්තියේ යෙදීම නවතයි. සමුදය ඥානයෙන් ඊශ්වරාදී මැවුම් සංකල්ප නවතයි.


නිරෝධ ඥානය වනාහී මේ ලෝකය දුකක් වූව ද, අරූප ආදී ලෝක වල මිදීම ඇතැ යි යන වැරදි දැනීම නවතයි. දුකින් මිදීම පිණිස කාමසුඛල්ලිකානු හෝ අත්ථකිලමතානු යෝග වල යෙදීම මාර්ග ඥානයෙන් වළකයි.


මෙසේ මෙය මේ සත්‍යය ලෞකික ව කරන භාවිතයේ දී පවා සත්ත්වයා ව නිර්වාණය වෙත ක්‍රමයෙන් කැඳවා ගෙන යන බව දත යුතු ය.


මේ ආකාරයෙන් මේ ආර්ය සත්‍යය සතර තේරුම් ගන්නා වෙත සමස්ථ ධර්මය ම වැටහෙන බව දත යුතු ය.


දුක්ඛ සත්‍යය නිවැරදි ව තේරුම් ගන්නා යෝගාවචරයා ලෝභ චෛතසිකය සහ අනාශ්‍රව ධර්මයන් හැර සෙසු සියලු නාම රූප ධර්ම සමූහය තේරුම් ගනියි. එහි ලෝභ චෛතසික ධර්මය දුක්ඛ සත්‍යයට අයත් ධර්මයක් ලෙස නො ගැනෙන්නේ, එය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අයත් වන නිසා ය.

සමුදය සත්‍යය යනු තණ්හාව ය. ඒ ලෝභ චෛතසිකය යි. ඇත්ත වශයෙන් හැම දුකක් ම උපදවන්නී මේ තණ්හාව ය. එහෙයින් එය දුක්ඛ සමුදය සත්‍යය නම් වන්නී ය.


නිරෝධ සත්‍යය අසම්මිශ්‍ර ය. එය තණ්හාව සමඟ දුක් නිරුද්ධ වන - දුක් නැති වන - දුක් සංසිඳුවන තැන ය. එනම් නිර්වාණය යි. ඇත්ත වශයෙන් දුක් නැති තැන එතැන ය. එහෙයින් එය දුක්ඛ නිරෝධ සත්‍යය නම් වේ.


මාර්ග සත්‍යයෙහි දක්වා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. ඒ අංග අට වෙන වෙන ම පහතින් විස්තර කොට දක්වා තිබේ. එහි සඳහන් සම්‍යක් දෘෂ්ඨි මුඛයෙන් විමංසා ඉද්ධිපාදය, පඤ්ඤා ඉන්‍ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය යන මේ ධර්ම කල්පනාවට හසු වේ.


මෙසේ සම්මා සංකප්පයේ නෙක්ඛම්මාදී කල්පනා තුනත්, සම්මා වාචා හි වචී සුචරිත සතරත්, සම්මා කම්මන්ත වල කාය සුචරිත තුනත්, සම්මා ආජීවයෙන් අපිස් සතොස් බවත්, ඒවා ඇතුළත් ආර්ය සීලයත්, සද්ධින්‍ද්‍රියත්, සද්ධා බලයත්, ඡන්‍දිද්ධිපාදයත් සම්මා වායාම වශයෙන් සම්මප්පධාන වීර්යයත්, විරියින්‍ද්‍රියත්, විරිය බලයත්, විරිය සම්බොජ්ඣංගයත් සම්මා සති වලින් සතර සතිපට්ඨානයත්, සතින්‍ද්‍රියත්, සති බලයත්, සති සම්බොජ්ඣංගයත් සම්මා සමාධියෙන් විතක්ක, විචාරාදී සමාධි තුනත්, චිත්ත සමාධියත්, සමාධින්‍ද්‍රියත්, සමාධි බලයත්, පීති - පස්සද්ධි - සමාධි සහ උපෙක්ඛා සම්බොජ්ඣංගයත් ඇතුළත් වේ. මෙසේ මේ ධර්මයන් ගේ මේ ප්‍රභේද ඇතුළත් වන බව දත යුතු ය.


මේ ආර්ය සත්‍යයන් උපමා වශයෙන් ද කල්පනා කොට තේරුම් ගත යුත්තේ ය. එහි දී දුක්ඛ සත්‍යය බරක් නම්, සමුදය සත්‍යය ඒ බර දෙන්නා ලෙස ද, නිරෝධ සත්‍යය යනු ඒ බර බහා තැබීම මෙන් ද, මාර්ග සත්‍යය ඒ බර බහා තබන උපාය මෙන් ද දත යුතු ය.


තවත් කියතොත්, දුක්ඛ සත්‍යය රෝගයක් නම්, සමුදය සත්‍යය රෝග නිදානය මෙන් ද, නිරෝධ සත්‍යය රෝග වූපසමනය මෙන් ද, මාර්ග සත්‍යය බෙහෙත් මෙන් ද දත යුතු ය.


තව ද දුක්ඛ සත්‍යය දුර්භික්‍ෂයක් නම්, සමුදය සත්‍යය නියඟය මෙන් ද, නිරෝධ සත්‍යය සුභික්‍ෂය මෙන් ද, මාර්ග සත්‍යය වර්ෂාව මෙන් ද දත යුතු ය.


මෙසේ මේ සියල්ල දැන, දැන් මේ චතුරාර්ය සත්‍යය යන වචනයේ ඇති සත්‍යය යන වචනය කුමන හෙයින් යෙදුණේ ද යන්න ඉගෙන ගත යුතු වේ. ඔවුන් ගේ සත්‍ය ස්වභාවය නම් වූ තථ, අවිතථ, අනඤ්ඤථ වශයෙන් ම ඒ සත්‍යය යන වචනය මෙහි යෙදුණේ ය. එනම්,


දුඃඛාදීන් ඒ දුඃඛාදී ස්වභාවයන් ගෙන් යුක්ත වීම නොහොත් දුඃඛාදී ස්වභාවය කිසිසේත් ම නො ඉක්ම වීම එහි ඇති තථ (සත්‍ය) ස්වභාවය යි.

එසේ ම දුඃඛාදිය කිසි සේත් ම සුඛාදියක් නො වීම එහි ඇති අවතථ (නිබොරු) භාවය යි.


දුඃඛාදිය කිසි විටකත් දුඃඛ සමුදයාදී අන්‍ය සත්‍යයකට නො පැමිණීම එහි ඇති අනඤ්ඤථ (නොවෙනස්) භාවය යි. සමුදයාදියෙහි ද මෙසේ ම ය.


ආර්ය සත්‍ය සතර ගැන ඉහත දැක් වූ විස්තර ඉගෙනීමෙන් පසු මේ සත්‍යයන් සතරෙහි ඇතුළත් විස්තර පහත දැක්වෙන අයුරින් දත යුතු ය.


දුක්ඛ සත්‍යය


දුක යැයි කී කල එය නානාප්‍රකාර ආකාරයෙන් වන්නේ ය. එය දුක්ඛ දුක්ඛ ය, විපරිණාම දුක්ඛ ය, සඞ්ඛාර දුක්ඛ ය, පටිච්ඡන්න දුක්ඛ ය, අපටිච්ඡන්න දුක්ඛ ය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ ය යැයි සත් වැදෑරුම් වේ.


එහි දුක්ඛ දුක්ඛය නම් කයේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම්, කැක්කුම් හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම් - කැක්කුම් සියල්ල ය. මෙය ඉවසීමට ඉතා දුෂ්කර බැවින් බලවත් දුකකි.


විපරිණාම දුක්ඛය නම්, හොඳයි, සැපයි යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලබන කයේ හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් මිහිරි සැප වේදනාව පවත්නා කල්හි ම සතුටු වී එය නිරුද්ධ ව අතුරුදහන් වූ කල්හි උන්හිටි තැන් අමතක වන තරමේ දුකට, වෙහෙසට පත් කරවන දුක ය.


මේ සුඛ වේදනාව නන් වැදෑරුම් ප්‍රිය අරමුණු මවා පාමින් සිත් වසඟ කරවන, උමතු කරවන යක්ෂණියක් මෙන් දත යුතු ය. ඇත්ත වශයෙන් ම සුඛ වේදනාව ඒ යක්ෂණියටත් වඩා ඉතා භයානක වෙයි. එයට වසඟ වූ තැනැත්තා අප්‍රමාණ වූ සසර දුකට හා අපාය දුකට භාජනය වන බැවිනි. එහෙයින් සුඛ වේදනාවේ අනිත්‍ය බව, වෙනස් වන බව සලකා එයට විපරිණාම දුක්ඛ ය යි කියන ලදී. මෙයින් වෙනස් වීම දක්වනු ලැබෙයි.


සංඛාර දුක්ඛ නම්, ලෝභය හැර ඇති ව නැති වන සියලු‍ නාම රූප ධර්ම නිත්‍ය නො වන බැවින් සංඛාර දුක්ඛ ය යි. මෙය දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් සියලු‍‍ ස්වභාව ධර්මයන් කෙරෙහි පැතිර පවතින්නේ ය. සුඛ දුක්ඛ සහ උපේක්ෂා වේදනා තුන ද සංඛාර දුක්ඛයෙහි ම ඇතුළත් වෙයි.


එහෙත් සුඛ වේදනාව සාමාන්‍ය සංඛාර දුක්ඛයට වඩා විශේෂ වෙයි. ඒ එය නිරුද්ධ වූ කල්හි ප්‍රකෘති ස්වභාවය වෙනස් ව ගොස් දුකට පෙරළෙන බැවිනි. එහෙයින් ඒ වේදනා දෙක සංඛාර දුක්ඛය කෙරෙන් වෙන් කොට විපරිණාම දුක්ඛ ය යි ද, දුක්ඛ දුක්ඛ ය යි ද අටුවාවෙහි කියා ඇත.


එහෙයින් විදර්ශනා වඩන යෝගාවචරයා විසින් දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් මේ සංඛාර දුක්ඛය භාවනා කාලයේ දී පිරිසිඳ දත යුතු ය.


පටිච්ඡන්න දුක්ඛය යනු හිසේ ඇති වන කැක්කුම ය, කනේ ඇති වන කැක්කුම ය, දතේ ඇති වන කැක්කුම ය, යන මේ ආදී කායික දුක්ඛය ද, රාගය නිසා සිත උණුසුම් වීම ය, ක්‍රෝධය නිසා සිත උණුසුම් වීම ය, සිත අසතුටු වීම ය යන මේ ආදී චේතසික දුක්ඛය ය. මේ කී කාය චිත්ත යන දෙකෙහි ඇති වන දුක් හැම එකක් ම විඳින තැනැත්තා විසින් අනුන්ට නො කිවහොත් දැන ගත නො හැකි ව සැඟවී පවත්නා බැවින් පටිච්ඡන්න දුක්ඛ නම් වේ.


අප්පටිච්ඡන්න දුක්ඛය දඬු, මුගුරු, අවි ආයුධ ආදියෙන් තුවාල වීමෙන් ඇති වන දුක නො සැඟවී ප්‍රකට ව පවත්නා බැවින් අප්පටිච්ඡන්න දුක්ඛ නම් වේ.


නිප්පරියාය දුක්ඛය යනු දුක්ඛ වේදනාව යි. එය ම ඒකාන්ත දුක්ඛ ය වන බැවිනි.


පරියාය දුක්ඛය යනු දුක්ඛ වේදනාවෙන් අන්‍ය වූ ජාති දුක්ඛ ආදිය පරියාය දුක්ඛ නම් වේ. ප්‍රකෘතියෙන් ම ඉවසිය නො හැකි ස්වභාවයක් නැත්තේ වී නමුත්, එය නොයෙක් කාය චිත්ත දුක්ඛ පීඩා වලට මුල් වන බැවින් පරියාය (අප්‍රධාන) වශයෙන් දුක යැ යි කියනු ලැබේ.


සත් වැදෑරුම් දුක්ඛයන් අතුරෙන් ජාති, ජරා, මරණයෝ පරියාය දුක්ඛයන් වන බව දත යුතු ය.


මේ මෙහි නිශ්චය ය. දැන් විස්තර උගත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛ සත්‍යය හැඳින්වීම පිණිස තැබූ දේශනාව මෙසේ ය.


“තත්‍ථ කතමං දුක්‍ඛං අරියසච්චං : ජාතිපි දුක්‍ඛා, ජරාපි දුක්‍ඛා, මරණම්පි දුක්‍ඛං, සොකපරිදෙව දුක්‍ඛදොමනස‍්සුපායාසාපි දුක්‍ඛා, අප‍්පියෙහි සම්පයොගො දුfක්‍ඛා, පියෙහි විප‍්පයොගො දුfක්‍ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක්‍ඛන්‍ධා දුක්ඛා.” යන්න එහි දේශනා පාලිය යි.


මෙහි තේරුම මෙසේය :-


“එහි දුක්ඛාර්ය සත්‍යය කවරේ ද යත් : ජාතිය ද දුකකි, ජරාව ද දුකකි, මරණය ද දුකකි, සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයෝ ද දුක් වෙති, අප්‍රිය සම්ප්‍රයෝගය ද දුකකි, ප්‍රිය විප්‍රයෝගය ද දුකකි, කැමැති දේවල් නො ලබා නම් එය ද දුකකි, සැකෙවින් පංචෝපාදානස්කන්‍ධයෝ ම දුඃඛයෝ යි.”


මෙහි වචනයෙන් වචනය විස්තර කිරීම පහසු කටයුත්තක් නොවේ. ග්‍රන්ථය කියවන්නාට එය වෙහෙසක් වන නමුත් මේ පබ්බය අවසාන පබ්බය බැවිනුත්, මෙයින් එහා ග්‍රන්ථයේ අමුතු වෙහෙසක් නැති බැවිනුත්, මේ භාවනාව වඩන යෝගාවචරයා ගැන කරුණාවෙන් එම සම්පූර්ණ විස්තරය ම මෙහි දක්වමි. මේවා නො වැටහේ නම් අප විසින් මතු ලියන පටිච්චසමුප්පාද විස්තරය නැමැති ග්‍රන්ථයේ ඇති ජාති ජරා මරණ කොටස කියවා ගත යුතු ය.


ඉහත පාලියේ දැක් වූ ජාති, ජරා, මරණ යන වචන වලට වෙන වෙන ම තේරුම් පෙල අටුවා වල දක්වා ඇත්තේ ය. ඒවා මෙසේ වෙන වෙන ම දත යුතු ය.


“තත්‍ථ කතමා ජාති : යා තෙසං තෙසං සත‍්තානං තම්හි තම්හි සත‍්තනිකායෙ ජාති සඤ‍්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති ජාති.”


යා තෙසං තෙසං සත්තානං යනු සංක්‍ෂේපයෙන් නොයෙක් සත්ත්වයින්ට සාධාරණ බව දැක් වූ නිර්දේශය වෙයි. යම් ඒ දේවදත්තයා ගේ ජාතිය සෝමදත්තයා ගේ ජාතිය ය ආදී වශයෙන් මුළු දවස ම කියන කල්හි ද සත්ත්වයින් ගේ සම්පූර්ණ ගණන් ගැනීමක් සිදු නොවේ. මෙම දෙ පදයෙන් කිසි ම සත්ත්වයෙක් ගණන් නො ගන්නා ලද්දේ නොවේ.


තම්හි තම්හි සත්තනිකායෙ යනු මෙය සියලු සත්ත්ව කොටස්හි, සත්ත්ව රාශියෙහි, සත්ත්ව සමූහයන්හි පැවතුම්, හට ගැනීම් වශයෙන් සියලු ම සත්ත්ව කොටස් වලට සාධාරණ නිර්දේශය යි.


ජාති යනු ඉපදීම් වශයෙන් වූ ස්වභාවය යි. ඉපදීම් අර්ථයෙන් ජාති නම් වේ. නො පිරිපුන් ආයතන ඇත්තවුන් ගේ වශයෙන් කියන ලදී.


සඤ්ජාති යනු හට ගැනීම් වශයෙන්, මනා ව ඉපදීම් අර්ථයෙන් සඤ්ජාති නම් වේ. පිරිපුන් අවයව ඇත්තවුන් ගේ වශයෙන් මෙය කියන ලදී.


ඔක්කන්ති යනු බැස ගැනීම් වශයෙන් ය. එය අණ්ඩජ ජලාබුජ වශයෙන් අණ්ඩ කෝෂයට, වස්ති කෝෂයට බසිති. බසින්නාහු ප්‍රතිසන්ධිය ගනිති. මව් කුසට පිවිසීම් අර්ථයෙන් ඔක්කන්ති නම් වේ.


ඉපදීම් අර්ථයෙන් අභිනිබ්බත්ති නම් වේ. එය සංසේදජ, ඕපපාතික වශයෙන් කීවේ ය. ඒවා ප්‍රකට ව ම හට ගනිති. ප්‍රකට වූ ඉපදීම ය යන අර්ථයෙන් අභිනිබ්බත්ති නම් වන්නේ ය.


මේ එහි සම්මුති කථාව යි. අනතුරුව “ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො” යනුවෙන් පරමාර්ථ කථාව දක්වා ඇත.


පරමාර්ථ වශයෙන් ස්කන්ධයෝ ම පහළ වෙති. සත්ත්වයෙක් පහළ නො වෙයි. මෙහි ද ඛන්‍ධානං යනු එක් ස්කන්ධයක් ඇති භවයෙහි එකක් ද, සිව් ස්කන්ධයක් ඇති භවයෙහි සතරක් ද, පංච ස්කන්ධයක් ඇති භවයෙහි පහක් ද වශයෙන් ගැනීම බව දත යුතු ය.


පාතුභාවො යනු පහළ වීම යි.


ආයතනානං යනු ඒ ඒ තන්හි උපදිනු ලබන ආයතන වශයෙන් කළ සංග්‍රහය යැයි දත යුතු ය.


පටිලාභො යනු පැවැත්මෙහි පහළ වීම යි. පහළ වන්නා හා ම ඒවා ලදුයේ නම් වෙති.


අයං වුච්චති ජාති යනු මෙය ජාතිය නම් වේ යි කියනු ලැබේ. මේ පදයෙන් ව්‍යවහාර වශයෙන්ද, පරමාර්ථ වශයෙන් ද දෙසූ ජාතිය නිගමනය කෙරෙති.


ජාතිය දුකක් වන්නේ කෙසේ ද යත්? පළමු ව අපායික දුක දත යුතු ය. නමුත් අපායික උත්පත්තියේ දුක ප්‍රකට බැවින් එය හැර සෙස්ස මෙහි දක්වමි.


ගර්‍භාවක්‍රානතී මූලක දුඃඛ ය

ගර්භ පරිහරණ මූලක දුඃඛ ය

ගර්‍භ විපත්ති මූලක දුඃඛ ය

විජායන මූලක දුඃඛ ය

ආත්මොපක්‍ර‍ම මූලක දුඃඛ ය

පරොපක්‍ර‍ම මූලක දුඃඛ ය යැයි සුගතියේ ද මනුෂ්‍ය ලෝකයේ ද ජාතියට අදාළ දුක් කිහිපයකි.


මේ සත්ත්‍ව තෙමේ මව් කුස උපදනේ මහනෙල් පියුම් ආදියෙහි නූපදී. ආමාසයට යට, පක්වාසයට උඩ උදර පටල කොඳු ඇට මැද ඉතා ගැහැට ඇති ඝනාන්‍ධකාර වූ පිත් - සෙම් - මල - මුත්‍රාදි කුණප ගඳින් පරිභාවිත වූ ඉතා දුගඳ වාතය හමන්නා වූ මව විසි හැවිරිදි නම් එතෙක් පැරැණි වැසිකිළියක් බඳු වූ හෙයින් අතිශයින් පිළිකුල් වූ කුක්‍ෂි ප්‍රදේශයෙහි කුණු මස්, කුණු කොමු සමඟ හැදී වැඩී, ගම්‍ දොර ඇති ගවර වළ ආදියෙහි පණුවන් මෙන් උපදී.


හෙතෙමේ එහි ඉපිද දස මසක් මුළුල්ලෙහි මව් කුස හට ගත් තේජෝ ධාතුවෙහි උෂ්ණයෙන් භාජනයක පිසින බෙහෙතක් සේ පැසෙන්නේ, යටි හක්කෙහි තබා හකුළා ගත් අත් හා උක්කුටුකයෙන් හිඳින හෙයින් හකුළා ගත් අත් පා ඇති ව අධිමාත්‍ර‍ දුකක් අනුභව කෙරේ.


මෙසේ මව් කුස වසන සත්ත්‍වයා මව පය පැකිල වැටීම ය, යාම ය, හිඳීම ය, නැඟිටීම ය, පෙරැළීම ය යනාදීන් රා සොඬකු අතට පැමිණි එළුවකු සේ ද, අහිකුණ්ඨකයෙකු අතට පත් නයි පැටවෙකු සේ ද, ඉදිරියට ඇදීම්, ඔබි නොබ ඇදීම්, යටි මුව කොට සෙලවීම් ආදී උපක්‍ර‍ම වලින් අධිමාත්‍ර‍ දුඃඛයට පැමිණේ.


මව සිහිල් පැන් බොන කල සීත නරකයෙහි උපන්නකු සේ ද, උණු කැඳ - බත් අනුභව කරන කල අඟුරු වැස්සෙන් වට වූවකු සේ ද, තීව්‍ර‍ වූ දුකක් අනුභව කෙරේ. මේ ගර්භ පරිහරණ මූලක දුඃඛ ය නම් වන්නේ ය.


මුඪ ගර්‍භ වූ මව ගේ මිත්‍රාමාත්‍ය සුහෘද්ජනයා විසින් පවා නුදුටු ව මනා රහස් පියෙස්හි සැත්කම් ආදීන් ගෙන් ඒ උපදින සත්ත්‍වයා හට යම් දුකෙක් උපදී නම් ඒ ගර්‍භ විපත්ති මූලක දුඃඛ ය නම් වන්නේ ය.


වදන්නා වූ මව ගේ කර්‍මජ වාතයෙන් හිස පහතට තබන සේ පෙරළා, නරක ප්‍ර‍පාතයක් බඳු වූ ඉතා භය ජනක යෝනි මාර්‍ගයට පමුණුවන සත්ත්‍වයාට අතිශයින් සම්බාධ වූ යෝනි මුඛයෙන් යතුරු සිදුරකින් ඇද ගන්නා හස්ති රාජයෙකුට සෙයින් ද, සඞ්ඝාත පර්‍වතයෙන් සුණු කරනු ලබන නිරි සතෙකුට සේ ද, යම් දුකක් උපදී නම් ඒ විජායන මූලක දුඃඛ ය නම් වන්නේ ය.


ඉන් පසු ව ශෝක කිරීම්, පරිදේවනා කිරීම් ආදීන් ගෙන් තෙමේ ම තමා හට වධ බන්‍ධන කර ගන්නා කල ද, අචේලකව (නිර්‍වස්ත්‍ර‍) ආදී ව්‍ර‍ත සමාදානයෙන් ගිනි පෑගීමෙන් හෝ ක්‍රෝධයෙන් ආහාර නො ගැනීම්, ගෙල වැල් දැමීම් ආදීන් ගෙන් යම් දුකෙක් උපදී නම් ඒ ආත්මොපක්‍ර‍ම මූලක දුඃඛ ය නම් වන්නේ ය.


මෙරමා අතින් මැරීම් - බැඳීම් ආදී යම් දුකෙක් වේ නම් එය පරොපක්‍ර‍ම මූලක දුඃඛ ය නම් වන්නේ ය.


මෙසේ ජාති දුක දත යුතු ය. ඉපදීම යනු වෙනස් කළ නො හැකි ආකාරයේ දුකකි යි මේ සියල්ලන් ගෙන් ම දත යුත්තේ ය.


“තත්‍ථ කතමා ජරා : යා තෙසං තෙසං සත‍්තානං තම්හි තම්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච්චං පාලිච්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච්චති ජරා.”


ජරා යනු පත් වන ස්වභාවය යි. ජීරණතා යනු පත් වන ආකාරය දැක්වීම යි.


ඛණ්ඩිචචං යන මෙයින් කාලයා ගේ ඇවෑමෙන් දත් නිය ආදීන් ගේ කැඩුණු බව කරන කෘත්‍ය සඳහන් කරන ලදී.


පාලිච්චං මෙයින් කෙස් ලොම් ආදීන් ගේ පැසුණු බව කරන කෘත්‍ය සඳහන් කරන ලදී.


වලිත්තචතා යන මෙයින් මාංශ මැල වී හම රැලි වැටීම් භාවය කරන කෘත්‍යය සඳහන් කරන ලදී.

මෙම තුනෙන් කල් ඉක්මීමෙහි දී සිදු වන කෘත්‍යය නිර්දේශය සිදු කර ඇත. එයින් මෙම විකෘතීන් ගේ දර්ශන වශයෙන් ප්‍රකට වූ ජරාව දක්වන ලදී. ජරාව දත් ආදීන්හි කැඩුණු ආදී ස්වභාවයෙන් ප්‍රකට ය. කැඩුණු බව ආදිය ම ජරාව නොවේ. ජරාව චක්ඛු විඤ්ඤෙය්‍ය නොම වෙති. එනම් ජරාව ඇසට පෙනෙන්නේ නැත. එය ඉහත කී ලක්ෂණ වලින් ම දත යුත්තේ ය යනු යි.


ආයුනො සංහානි යනු ආයුෂ පිරිහීම ය. යම් හෙයකින් ජරාවට පත් වූවහු ගේ ආයුෂ පිරිහේ ද? එහෙයින් ජරාව ආයුනො සංහානි යි ආසන්නයේ ලැබෙන ඵලය වශයෙන් කියන ලදී.


ඉන්‍ද්‍රියානං පරිපාකො යනු චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් ගේ මුහුකුරා යෑම දැක්වීම ය. බාල වියෙහි තමා ගේ අරමුණු පහසුවෙන් ගැනීමට සමත් වූ, සියුම් වූ, චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් ජරාවට පත් කල්හි මෝරා ගියේ, කැළඹුණේ, පිරිසිදු නො වූයේ තමා ගේ අරමුණ ගන්නට අසමත් වෙයි. එහෙයින් ඉන්‍ද්‍රියානං පරිපාකො යැයි ද ආසන්න ඵලය වශයෙන් කී සේක.


මෙම පදයන් ගෙන් වනාහි කාලය ඉක්ම යාමෙන් ම අතිශයින් ප්‍රකට වූ ජරාව දක්වන ලද්දේ ය. මෙසේ දක්වන ලද සියලු‍ ම ජරා තොමෝ ප්‍රකට ජරා ය, පටිච්ඡන්න ජරා ය යයි ද්විවිධ වෙයි.


ඔවුනතුරෙහි දන්තාදීන් ගේ ඛණ්ඩභාව ආදිය දක්නා ලබන හෙයින් රූප ධර්මයන් ප්‍රකට ජරා නම් වේ.


එතකුදු වුවත් අරූප ධර්මයන්හි ජරා තොමෝ එබඳු විකාරයක් නො දක්වන බැවින් පටිච්ඡන්න ජරා නම් වේ.


එහි යම් ඒ කැඩුණු ආදී බවක් පෙනේ ද? එය ඇසින් දැක, මනෝද්වාරයෙන් සිතා, මේ දත් ජරාවෙන් පහරන ලදැ යි දැන ගත යුතු ය.


නැවත අවීචි සවීචි (වර්ණාදී විපර්යාසයෙන් ප්‍රකට වන ජරාව, ප්‍රකට නො වන ජරාව) යනුවෙන් ජරාව ද්විවිධ වන්නී ය.


එහි මැණික්, රන්, රිදී, පබළු, චන්ද්‍ර සූර්යයාදීන් ගේ ද, මල්, ගෙඩි, දළු ආදීන් ගේ ද, අතරතුර වර්ණ වෙනස් වීම් දැන ගැනීම දුෂ්කර හෙයින් එම ජරාව අවීචි (අතරක් නොමැති) ජරාව නම් වේ.


එයින් අන්‍යයන්හි, වනාහි කියන ලද අයුරින් අතරතුර වර්ණ වෙනස් වීම් ආදීන් දැන ගැනීම පහසු හෙයින් එම ජරාව සවීචි ජරාව නම් වේ.


එම සවීචි ජරාව මෙසේ දත යුතු ය.


ළදරු කුමරුවන්ට පළමු ව ම කිරි දත් හට ගනී. ඒවා ස්ථිර නැත. ඒවා වැටුණු කල්හි නැවත දත් පැන නගී. ඒවා පළමු ව සුදු වෙයි. ජරා වාතයෙන් පහරනු ලැබූ කල්හි කාළ වර්ණ වෙයි. කෙස් පළමු ව තඹ වන් වෙයි. ඉන්පසු කාළ වර්ණ යි. ඉන් පසු සුදු ය. සම (සිවිය) ලේ සහිත ය. වැඩෙන වැඩෙන කල්හි සුදු අය ගේ සුදු බව ද, කළු අය ගේ කළු බව ද ප්‍රකට වේ. ජරා වාතයෙන් පහර ලත් කල්හි රැලි ගනී.


මෙසේ ශරීර අවයවයන් ගේ ලිහිල් භාවයෙන් ද, ඉන්‍ද්‍රියයන් ගේ වෙනස් වීමෙන් ද, යෞවනත්වය විනාශ වීමෙන් ද, බල නාසනයෙන් ද, සිහිය ආදීන් ගේ ඉවත් ව යෑමෙන් ද, තම අඹු දරුවන් ගේ නො පැහැදීම් තත්ත්වයට පත් වීමෙන් ද, බොහෝ සේ කුඩා දරුවකු ගේ තත්ත්වයට හෙවත් බුද්ධි හීනතාවයට පත් වීමෙන් ද, අන්‍යයන් ගේ පරිභවයන්ට භාජනය වීම් වශයෙන් ද යම් මිනිසෙක් කායික - මානසික දුකකට පත්වේ ද? ඒ සියල්ල ජරා හේතුවෙන් වේ. එහෙයින් ඒ ජරාව දුක ය.


ජරා දුකට, අනතුරුව ව්‍යාධි දුක කිව යුතු වුවත්, කායික දුක් ග්‍රහණයෙන් ම ව්‍යාධි දුකත් ඇතුළත් වූ හෙයින් මෙහි ව්‍යාධි යන අමුතු වචනයක් නො කියන ලදැ යි දත යුතු ය.


අයං හි ජරා යන මේ පදයෙන් ස්වභාවය දක්වන ලදී.


මේ ජරාව ස්කන්‍ධයන් ගේ පුරාණ බව ලක්‍ෂණය කොට ඇත්තේ ය. මරණය කරා පැමිණ වීම එහි කෘත්‍යය ය. යෞවනය නැසීම යන ආකාරයෙන් එය වැටහෙයි.


මේ ජරාව පිළිබඳ විස්තරය යි.


“තත්‍ථ කතමං මරණං : යා තෙසං තෙසං සත‍්තානං තම්හි තම්හි සත‍්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්‍ධානං භෙදො කලෙබරස‍්ස නික්ඛෙපො ජීවිතින්‍ද්‍රියස‍්ස උපච්ඡෙදො, ඉදං වුච්චති මරණං.”


චුති යනු චුත වීම් වශයෙන් කියන ලදී. ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර යන සියලු ම තැන් වලට මෙය පොදු බව දත යුතු ය.


චවනතා යනු භාව මැරෙන බව යන ලක්‍ෂණ නිර්දේශනය යි.


භෙදො යනු ස්කන්ධයන් ගේ භංගය දැක්වීම යි.


අන්තරධානං යනු කළය බිඳුනාක් මෙන්, බිඳුණු චුති ස්කන්ධයන් ගේ යම් කිසි හෝ පරියායකින් නො පැවැත්ම දැක්වීම යි.


මච්චු මරණං යනු මරණය යි. මේ ස්කන්ධයන් ගේ සිදු වන ක්‍ෂණික මරණය ගැන කී කථාවක් නොවේ.


කාල නම් මාරයා ය. ඔහු ගේ කිරියාව, කාලකිරියා යි. මෙතෙකින් සම්මුතියෙන් වන මරණය දක්වන ලදී.


දැන් පරමාර්ථ වශයෙන් දක්වන්නට, ඛන්‍ධානං භෙදො ආදිය වදාළහ. පරමාර්ථ වශයෙන් වනාහි ස්කන්ධයෝ තුමූ ම බිඳෙති. කිසි සත්ත්වයෙක් නම් නො මැරෙයි. ස්කන්ධයන් බිඳෙන කල්හි සත්ත්වයා මැරෙයි කියා ද බිඳුණු කල මළේ යැයි කියා ද ව්‍යවහාර වෙයි.


ශරීරයා ගේ බහා තැබීමේ කරුණෙන් ම මරණය තෙමේ කලෙබරස්ස නික්ඛෙපො යැයි කියන ලදී. මෙයින් ස්කන්ධයන් ගේ බිඳීම ඒ ඒ කරුණෙන් දත යුතු ය. යම් හෙයකින් චාතූර්මහාරාජිකාදීන්හි ස්කන්ධයෝ බිඳෙන්නාහු ම කිසිත් හැර නො දමති. චතුවෝකාර භවයා ගේ වශයෙන් ද ඒ ස්කන්ධයන් ගේ බිඳීම පෙනෙන්නට ඇත.


එක් ස්කන්ධයක කලේබරයා ගේ හැර දැමීම කලෙබරස්ස නික්ඛෙපො වෙයි. ස්කන්ධ සතරෙහි වශයෙන් හෝ දැක්විය හැකි ය.


ජීවිතින්‍ද්‍රියස්ස උපච්ඡෙදො යන මෙයින් ඉන්‍ද්‍රිය බද්ධ වූයේ ම මරණය නම් වෙයි. ඉන්‍ද්‍රිය බද්ධ නො වූ කල්හි මරණයක් නැතැ යි දක්වයි. ශෂ්‍ය මළේ ය. වෘක්‍ෂය මළේ ය යන මෙය වනාහි ව්‍යවහාර මාත්‍රයක් ම ය. අර්ථ වශයෙන් වනාහි මෙබඳු වචන ශෂ්‍යාදීන් ගේ ක්‍ෂය වීම් හා විනාශ වීම් ස්වභාවය ම දක්වති.


තව ද මේ ජරා මරණ මේ සත්ත්වයින් ගේ මාරක සතුරෙකු මෙන් දොසක් සොයමින් හැසිරෙයි. යම් සේ පුරුෂයෙකුට පස මිතුරන් තිදෙනෙකු දෝෂාපේක්‍ෂාවෙන් හැසිරෙන කල්හි එක් අයෙක් මම අසවල් ස්ථානය පිළිබඳ ව වර්ණනා කොට මොහු රැගෙන එහි යන්නෙමි, එහි මට අපහසුවක් නැතැ යි කියන්නේ ය. දෙවැන්නා, මම ඔහු ගෙන ගිය කල්හි, තලා දුර්වල කරන්නෙමි. එහි මට අපහසුවක් නැතැ යි කියන්නේ ය. තෙවැන්නා නුඹ ඔහු තලා පෙලා දුර්වල කළ කල්හි තියුණු කඩුවකින් හිස සිඳීම මට භාර වේවා යැයි කියන්නේ ය. ඔවුහු මෙසේ කියා එසේ කරන්නා හ.


එහි පළමු සතුරා ගේ ස්ථානය පිළිබඳ ව කරුණු කියා ඔහු රැගෙන ගිය කල මෙන් සිටිනා ඥාති මඩුල්ලෙන් ඇද දමා යම් කිසි තැනක ඉපදවීම නම් වූ ජාතියෙහි කෘත්‍යය යි. දෙවැන්නා ගේ තලා දුර්වල කිරීම මෙන් උපන් ස්කන්ධයන්හි ජරාව ගේ කෘත්‍යය දත යුතු යි. තෙවැන්නා ගේ තියුණු කඩුවෙන් හිස සිඳීම මෙන් ජීවිතක්‍ෂයට පමුණුවන මරණයෙහි කෘත්‍යය ය දත යුතු යි.


තව ද මෙහි උපත දුක දොස් සහිත මහා කාන්තාරයකට පිවිසීම මෙනැ යි දත යුතුය. ජරා දුක එහි ආහාර පාන රහිතයා ගේ දුර්වලත්වය මෙනි. මරණ දුක, ඒ දුර්වලයා ගේ ඉරියව් පැවැත්වීමෙහි පහ වූ බලය ඇත්තේ ව්‍යාඝ්‍රාදීන් ගෙන් විනාශයට පත් වන්නාක් මෙනැ යි දත යුතු ය.


මරණය චුතිය ලක්‍ෂණ කොට ඇත්තේ ය. සත්ත්‍ව සංස්කාර කෙරෙන් වෙන් කිරීම එහි කෘත්‍යය ය. උපන් ගතියෙන් වෙන් වීම වැටහෙන ආකාරය ය. මේ මරණය ද දුකට වස්තු වන බැවින් දුක යැයි දත යුතු ය.


ක්‍ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය යි යන මෙම බෙදීම් ද මෙහි දී විස්තර වශයෙන් දත යුතු ය.


ප්‍රවෘත්තියෙහි රූපාරූප ධර්මයන් ගේ බිඳීම ක්‍ෂණික මරණය නම් වේ.


තිස්ස මළේ ය, ඵුස්ස මළේ ය යන මේ ව්‍යවහාරයේ දී මෙහි පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නොමැති හෙයින් සම්මුති මරණ නම් වේ.


ක්‍ෂීණාශ්‍රවයා ගේ ප්‍රතිසන්ධි රහිත කාල ක්‍රියාව සමුච්ඡේද මරණය නම් වේ.


මරණයේ විස්තරය මේ කී සෙයින් දත යුතු වේ.


“තත්‍ථ කතමො සොකො : ඤාතිව්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස රොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස සීලව්‍යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක්‍ඛ ධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත‍්තං අන්තො සොකො අන්තො පරිසොකො චෙතසො පරිජ්ඣායනා දොමනස‍්සං සොකසල‍්ලං, අයං වුච්චති සොකො.”


සෝකය නම් :- ඥාති ව්‍යසනාදියෙන් ස්පර්‍ශ වූවහු ගේ සිතෙහි තැවීම ය.


සීලබ්‍යසනං දුසිල් බවට මේ නාමයකි.


සම්‍යග් දෘෂ්ඨිය විනාශ කරමින් උපන් දෘෂ්ඨිය ම ව්‍යසනයක් වූයේ යන අර්ථයෙන් දිට්ඨිබ්‍යසන යි.


අඤ්ඤතරඤ්ඤතරෙන යනු ඥාති සම්බන්ධතා ඇති හෝ නොමැති මිත්‍රාමාත්‍ය ව්‍යසනාදී යම් කිසිවකින්, සමන්නාගතස්ස යනු ඒ හා බැඳි එයින් නො මිදෙනු ලබන්නහුට අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛ ධම්මෙන යනු යම් කිසි සෝ දුක් ඉපදීමට හේතු වන යනු යි.


සොකො යනු ශෝක කිරීම් වශයෙන් ශෝකය යි. මෙය ඒ කරුණු වලින් උපදනා ශෝකයෙහි සමානතාවයත්, වෙන් වෙන් වූ ස්වභාවයත් දක්වයි.


සොචනා යනු ශෝක කරන ආකාරය යි.


සොචිතත්තං යනු ශෝක කරන ස්වභාවය යි.


අන්තො සොකො යනු අභ්‍යන්තර ශෝකය යි. දෙවන පදය උපසර්ගයෙන් වෘද්ධියට පත් කරන ලදී. එය අභ්‍යන්තරය වියළවන්නාක් මෙන් උපදීනු යි. ඇතුළත ශෝකය අන්තො පරිසොකො යි.


චෙතසො පරිජ්ඣායනා යනු සිතෙහි හාත්පසින් දවනාකාරය යි. ශෝකය උපදිනු ලබන්නේ ගින්නක් මෙන් සිත පුළුස්සයි. දවයි. මාගේ සිත දැවුණේ ය. මට කිසිවක් නො වැටහේ යැයි හෙතෙම කියවයි.


දුකට පත් මනස, දුම්මන යි. එහි ස්වභාවය, දොමනස්ස යි.


අභ්‍යන්තරයට පිවිසීම අර්ථයෙන් ශෝකය ම හුලක් වූයේ නු යි සොකසල්ලං යි.


එසේ ඇත්තේ ද ඇතුළත සිතිවිලි සිතීමේ ලක්‍ෂණය ය. සිත දැවීම එහි කෘත්‍යය ය. කාරණාව අනුව සෝක කිරීම වැටහෙන ආකාරය යි.


කළ නො කළ දුශ්චරිත - සුචරිත විෂයක විපිළිසර බැවින් පවත්නා අනුශෝචනය කුක්කුච්චය යි. ඥාති ව්‍යසනාදී විෂයක වූ හුදෙකලා චිත්තයා ගේ තැවීම ශෝකය යි. මේ දෙකෙහි ද වෙනස එයින් දත යුතු ය.


“තත්‍ථ කතමො පරිදෙවො : ඤාතිව්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස රොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස සීලව්‍යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක්‍ඛ ධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං වාචාපලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තං, අයං වුච්චති පරිදෙවො.”


නෑයන් ගේ විනාශාදීන් ස්පර්‍ශ කළාහු ගේ වාක් ප්‍ර‍ලාපය පරිදේවය යි. නොහොත් ඥාති ව්‍යසනාදියෙන් පෙලු‍ණහු ගේ කටින් පිට වන හිස් වචන යි.


ඔවුන් මගේ දුව, මගේ පුතා යැයි මෙසේ අසවලා යැයි පෙන්වා වැළපෙති. හඬති. එය කරණ කොට ගෙන යන අර්ථයෙනි. එසේ ආදෙවො යි.


ඒ වර්ණනාව ම වර්ණනා කරමින්, වර්ණනා කරමින් වැළපෙයි. මෙයින් පරිදෙවො යි.


වාචා යනු වචන යි. පලාපො යනු හිස් ප්‍රලාප වචන යි.


අඩක් කීම, අනිකක් කීම ආදී වශයෙන් විරූප ප්‍රලාපයන් දැක්වීම විප්පලාපො යි.


ලාලප්පො යනු නැවත නැවත කථා කිරීම යි.


නැවත නැවත කථා කිරීම ලාලප්පනා යි. (මේ දෙක ආකාරය සහ ස්වභාව වශයෙන් දත යුතු ය.)


නැවත නැවත දොඩවන්නා ගේ ස්වභාවය ලාලප්පිතත්තං ය.


මෙහි වැලපීම ලක්‍ෂණය ය. ගුණ දොස් කීම එහි කෘත්‍යය වන්නේ ය.


“තත්‍ථ කතමං දුක්ඛං : යං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස‍්සජං අසාතං දුක්ඛං වෙදයිතං, කායසම්ඵස‍්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛං.”


ශරීරය ඇසුරු කොට පවත්නා හෙයින් කායිකං නම් වේ. කයෙහි හට ගන්නා දුක ය.


අමිහිරි අර්ථයෙන් අසාතං නම් වේ.


දුකට පත්වේනු යි - දුක්ඛං නම් වේ. යමෙකුට මෙය උපදී ද ඔහු දුක්ඛිතයෙකු කෙරේ යැයි යන අර්ථ යි.


කායසම්ඵස්සජං යනු ශරීර ස්පර්ශයෙන් හට ගත් යනු යි.


අසාතං දුක්ඛං වෙදයිතං යනු යම් කායික අමිහිරි දුක් වින්දනයක් වේ ද? මෙය දුක යැයි කියනු ලැබේ.


එහි කය පෙළීම ලක්‍ෂණය ය. ප්‍රාඥයනට දොම්නස් ඉපදවීම කෘත්‍යය ය. කායික ආබාධ වැටහෙන ආකාරය ය.


“තත්‍ථ කතමං දොමනස‍්සං : යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස‍්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස‍්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස‍්සං.”


නො මනා මනස යි දුම්මනො යි. පහත් විඳීම බැවින් හෝ පිළිකුල් මනස යනු දුම්මනො නම් වෙයි. නො මනා මනසෙහි ස්වභාවය දොමනස්සං නම් වේ. නොහොත් මානසික දුක දොම්නස යි.


සිත ඇසුරු කොට පවත්නා හෙයින් චෙතසිකං නම් වේ.


චෙතොසම්ඵස්සජං යනු සිත හා එකට ගැටීමෙන් හට ගත් යනු යි.


එහි සිත පෙළීම ලක්‍ෂණය ය. ව්‍යාපාදය හා යෙදීමෙන් සිත වෙහෙසීම කෘත්‍යය ය. සිතට ව්‍යාධි එළවන බව වැටහෙන ආකාරය යි.


“තත්‍ථ කතමො උපායාසො : ඤාතිව්‍යසනෙන වා ඵුට්ඨස්ස භොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස රොගව්‍යසනෙන වා ඵුට්ඨස්ස සීලව්‍යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනෙන වා ඵුට්ඨස්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත‍්තං උපායාසිතත‍්තං, අයං වුච්චති උපායාසො.”


පසුබට වීම්, කළකිරීමට පත්වීම් ආදී ආකාරයෙන් පවත්නා වෙහෙසකර භාවයට උපායාසය යැයි කියති.


වෙහෙස වීම් අර්ථයෙන් ආයාසො යි. බලවත් වෙහෙස උපායාසො නම් වෙයි.


වෙහෙසකර භාවය ආයාසිතත්තං යැයි කියති. බලවත් වෙහෙසකර භාවය උපායාසිතත්තං නම් වේ.


එහි සිත දැවීම් ලක්‍ෂණය ය. තැතනුම එහි කෘත්‍යය ය. බැගෑපත් බව වැටහෙන ආකාරය යි.


මෙසේ ඥාති ව්‍යසනාදීන් ස්පර්‍ශ කරන ලද්දහු ගේ අධිමාත්‍ර‍ දුඃඛයෙහි උපදවන ලද ද්වේෂය ම උපායාසය යි දත යුතු ය.


එහි අවසානයේ “සංඛිත්තෙන පඤ්චූපාදනක්ඛන්ධා දුක්ඛා” යැයි සැකෙවින් පංචෝපාදානස්කන්ධය ම දුකක් යැයි මේ දේශනාවෙන් දක්වන ලදී.


මේ උපාදාන ස්කන්ධයෝ යනු උපාදානයට ගෝචර වන ස්කන්ධයෝ යන අර්ථය යි. එසේ උපාදාන වීමට ලොව ඇත්තේ පංචස්කන්ධයෝ ම පමණි. එනිසා ඒවා දෙකක් නොව, එකක් බව දත යුතු ය. උපාදානය වන ස්කන්ධයන් නිසා ඒවාට උපාදාන ස්කන්ධ යැයි ව්‍යවහාර කරන බව ද දත යුතු ය.


පංචස්කන්ධය යනු :-


රූපස්කන්ධය,

වේදනාස්කන්ධය,

සංඥාස්කන්ධය,

සංස්කාරස්කන්ධය,

විඥානස්කන්ධය යන මොවුහු ය.


මේ පංචස්කන්ධයෝ දුකක් යැයි පැවසූවේ මේ පංචස්කන්ධය නිසා ඇති වන දුක් කන්දරාව සලකා ගෙන ය. එනිසා පංචස්කන්ධය දුකක් යැයි දැන ගැනීමට කැමැති යෝගාවචරයා විසින් මේ පංචස්කන්ධය නිසා ඇති වන ජාති, ජරා, ව්‍යාධි ආදී දුක්ඛිත තත්ත්වයන් පිළිබඳ ව ඉහත කී කරුණු සියල්ල ඉගෙන පිරිසිඳ දත යුත්තේ ය.


මෙයින් දුක්ඛ සත්‍යයට අදාළ විස්තර වර්ණනාව නිම වෙන බව දත යුතු ය. විදර්ශනා කළ යුතු ආකාරය ගැන ආර්ය සත්‍යය සතර විස්තර කොට, අවසානයේ දක්වන්නෙමි.


සමුදය සත්‍යය


“තත්‍ථ කතමං දුක්ඛසමුදයො අරියසච්චං : යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථීදං : කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා.”


එහි සාමාන්‍ය අර්ථය මෙසේ ය.


“මහණෙනි! දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කවරේ ද? යම් මේ තෘෂ්ණාවක් තොමෝ නැවත නැවත අලු‍ත් භවයක් උපදවයි නම්, ඇලීම වූ නන්දි රාගය හා එක් ව පවතී නම්, තමාට හමු වන තාක් ඒ ඒ ආත්ම භාවයන් කෙරෙහි රූප ශබ්ද ආදී ඒ ඒ ආරම්මණයන් කෙරෙහි තද ආසාව හෝ ඇල්ම ඇති කරයි නම් ඒ තෘෂ්ණාව කවරේ ද? රැහැනකින් බඳින්නාක් මෙන් පංච කාමයෙහි බැඳ තබන කාම තණ්හාව ද, භවයෙහි ආසා කරන භව තණ්හාව ද භවය සිඳී යෑමෙහි ආසා කරන විභව තණ්හාව ද යන මේ තණ්හා තුන ය.”


එහි විස්තරය මෙසේ දත යුතු ය.


පංච කාම ගුණයෙහි පැවති තණ්හා තොමෝ කාම තණ්හා නම් වන්නේ ය.


භවය කෙරෙහි පැවැති තණ්හා තොමෝ භව තණ්හා නම් වන්නේ ය. කාම භවය ප්‍රාර්ථනා කිරීම් වශයෙන් උපන් රාගයට ද, ශාස්වත දෘෂ්ඨිය හා එක් ව පැවති රාගයට ද, රූප භව අරූප භවයන් කෙරෙහි පැවති රාගයට ද, රූප ධ්‍යාන, අරූප ධ්‍යානයන් කෙරෙහි පැවති තණ්හාවට ද මෙය නමකි.


මේ අටුවා කියමන අනුව භව තණ්හාවේ කොටස් සතරක් ඇති බව සලකා ගත යුතු ය.


විභව තණ්හා යනු මරණයෙන් පසු නැවත ඉපදීමක් නැතැ යි වරදවා වටහා ගන්නා දිට්ඨිය අනුව කල්පනා කොට නැවත උපතක් නැති වීම ගැන ආසා කරන රාගය යි.


ඒ තෘෂ්ණාව උපදනී කොහි උපදී ද? පිහිටා සිටින්නී කොහි පිහිටා සිටී ද යත් : ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ ද උපදනා වූ තෘෂ්ණාව එහි ම උපදී.


ලෝකයෙහි ප්‍රිය ස්වභාවය ඇත්තා වූ ආස්වාද කළ යුතු යම් මිහිරි අරමුණක් වෙයි නම් තණ්හාව ඒ මිහිරි අරමුණෙහි උපදී. එහි ඇතුල් ව පිහිටා සිටී.


සංස්කාර ලෝකයෙහි තණ්හාව ගේ අරමුණ වූ ප්‍රිය ස්වභාවය ඇති ඒ මිහිරි අරමුණ කුමක් ද යත්, සංස්කාර ලෝකයෙහි ඇසට ප්‍රිය වූ මිහිරි අරමුණකි. මේ තණ්හාව ඒ ඇස අරමුණු කොට එහි උපදී. එහි ඇතුල් ව සිටී. කන, නාසය දිව, කය, මනස අරමුණු කොට එහි උපදී. එහි ඇතුල් ව සිටී.


සංස්කාර ලෝකයෙහි රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ඨබ්බ අරමුණු ස්වභාව ධර්ම අරමුණු, ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ස්වභාව ධර්ම යන මොවුන් අරමුණු කොට එහි උපදී. එහි ඇතුළත් ව පවතින්නී ය, සිටින්නී ය.


දැකීම් ඇසීම් ආදී වශයෙන් නිරතුරු ව නොකඩවා ඇති වෙමින් පවතින්නේ ද උපාදාන ස්කන්ධ සමූහයකි. එය ද දුක් ම ය. මේ ඒකාන්ත දුක් රැස ඇති වූයේ කුමක් නිසා ද? කර්මය නිසා ය. කර්ම කුමක් හෙයින් හට ගන්නේ ද? එය කුමක් හෙයින් විපාක උපදවනේ ද? උපාදාන ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය ඇති කරන තණ්හා නිසා ය. තණ්හාව නැති තැනැත්තාට අලු‍ත් කර්මයක් ද ඇති නො විය හැකි ය. ඇති ව තිබෙන පුරාණ කර්ම ද අලු‍ත් භවයක් විපාක වශයෙන් නූපදවයි. එහෙයින් භවයක් භවයක් පාසා පළමුවෙන් ඇති ව පවත්නා උපාදාන ස්කන්ධයන් ගේ පටන් හැම දුකක ගේ ම මූල හේතුව නම් තණ්හාව ම යි. එහෙයින් දැකීම් ආදියෙහි දී ප්‍රකට ව පවත්නා උපාදාන ස්කන්ධ රැස ම හොඳ ය, යහපත් ය යි වටහා ගෙන ආස්වාදය උපදවන එය ම ප්‍රාර්ථනා කරන තණ්හාව සමුදය සත්‍යය යි. “යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා” යනුවෙන් වදාළේ ඒ නිසා ය.


මෙසේ මේ දුකට සම්පූර්ණ හේතුව තෘෂ්ණාව බව මෙයින් දත යුතු ය. තවත් වටහා ගැනීමට පටිච්චසමුප්පාද විස්තරය ද උගත යුතු වේ.


නිරෝධ සත්‍යය


“මහණෙනි! දුක් නැති කිරීමේ ආර්ය සත්‍යය කවරේ ද? සමුදය සත්‍යය සංඛ්‍යාත වූ ඒ තණ්හාව ගේ ම යම් සම්පුර්ණ නිරෝධයක් වෙයි ද, යම් අත් හැරීමක් වෙයි ද, යම් මිදීමක් වෙයි ද, යම් නො ඇලීමක් වෙයි ද මෙය ඒ නිරෝධ ආර්ය සත්‍යය යි.


මහණෙනි! ඒ තණ්හාව පහ ව යන කල්හි කොතැන්හි පහ ව යයි ද? නිරුද්ධ වන කල්හි කොතැන්හි නිරුද්ධ වෙයි ද? සංඛාර ලෝකයෙහි ප්‍රිය වූ මිහිරි වූ යම් දෙයක් ඇත්නම් මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි ඒ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි පහ ව යයි, ඒ අරමුණෙහි නිරුද්ධ වෙයි. මහණෙනි! ප්‍රිය වූ මිහිරි අරමුණ කුමක් ද?” යත් :


සංඛාර ලෝකයෙහි ඇස ප්‍රිය වූ මිහිරි අරමුණකි. මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි ඇස යැයි කියන ලද මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව යයි. මෙහි ම නිරුද්ධ වෙයි. සංඛාර ලෝකයෙහි කන, නාසය, දිව, කය, මනස යන මෙය ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව පහ ව යන කල්හි, නිරුද්ධ වන කල්හි මෙකී ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව යයි. මෙහි ම නිරුද්ධ වෙයි.


සංඛාර ලෝකයෙහි රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බ, ධම්ම යන මේ සියල්ල ප්‍රිය වූ මිහිරි අරමුණු ය. මේ තණ්හාව පහ ව යන කල්හි නිරුද්ධ වන කල්හි මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව යයි. මෙහි ම නිරුද්ධ වෙයි. කොටින් කියත හොත් ලෞකික ධර්ම සියල්ල ම තණ්හාවට අරමුණු වන ප්‍රිය වූ මිහිරි අරමුණු ය. ඒ තණ්හාව පහ ව යන කල්හි මේ ප්‍රිය වූ මිහිරි අරමුණෙහි ම පහ ව යන්නී ය.


කෙලෙස් ගිනි නිවන මාර්ග ඥානයෙන් අවබෝධ වන කල්හි නාම රූප ස්කන්ධ සියල්ල දුක් රැසක් යැයි කියා ඇත්ත වශයෙන් විනිශ්චය කොට දත හැකි වන්නේ ය. එහෙයින් නාම රූප ස්කන්ධයන් කෙරෙහි ආස්වාදය උපදවන තණ්හාව ඇති නොවේ. තණ්හාව දුරු වී යාමෙන් අලු‍ත් භවයක ගේ පහළ වීම ය යි කියන ලද නාම රූප ස්කන්ධයෝ ද පහළ නො වෙත්. මෙසේ අලු‍ත් භවයක් වූ නාම රූප ධර්මයන් පහළ නො වීම අනුපාදිසේස නිබ්බාන යැයි කියන ලද දුක් සංසිඳී යාම ය. මෙහි සංසිඳීම යනු උපදින්නට තිබෙන ස්කන්ධයා ගේ නො ඉපදීම ය. එහෙයින් අටුවායෙහි එයට අනුප්පාදනිරෝධය යැයි ද කීහ.


එහෙයින් සමුදය සත්‍යය නමැති තණ්හාව සහ දුක්ඛ සත්‍යය නම් වූ නාම රූප ස්කන්ධයන් නැවත නූපදනා පරිදි සංසිඳෙන මාර්ග ඥානයට අරමුණු වන නිර්වාණය නිරෝධ සත්‍යය යි. “යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරොධො” යන ආදිය වදාළේ මේ නිරෝධ සත්‍යය ප්‍රකාශ කිරීමට ය.


මාර්ග සත්‍යය


“මහණෙනි! දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කවරේ ද? මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය ම යි. එනම්, සම්මා දිට්ඨි ය, සම්මා සඞ්කප්ප ය, සම්මා වාචා ය, සම්මා කම්මන්ත ය, සම්මා ආජීව ය, සම්මා වායාම ය, සම්මා සති ය, සම්මා සමාධි ය යන මෙය යි. නිවන අරමුණු කරමින් ඒ නිවන ප්‍රත්‍යක්ෂ ව දන්නා මෙකී සම්මා දිට්ඨි ආදී මාර්ග අට මාර්ග සත්‍යය යි.


සම්මා දිට්ඨි ආදීන් සැකෙවින් මෙසේ දත යුතු ය.


01. සම්මා දිට්ඨි :- චතුස්සත්‍යය ප්‍ර‍තිවේධය පිණිස පූර්‍ව භාග ප්‍ර‍තිපදාව පූර්ණ වශයෙන් පිළිපන්නා වූ යෝගීහු ගේ නිර්‍වාණලම්බන වූ අවිද්‍යානුශය සමුච්ඡේද කරන (සෘජු ව අවිද්‍යාව නසන) හෙයින් විද්‍යා නම් වූ ප්‍ර‍ඥා චක්‍ෂුව සම්මා දිට්ඨි නමි. එය අවිපරීත දැකීම ලක්‍ෂණය කොට ඇත්තේ ය. චතුස්සත්‍යය ප්‍ර‍කාශ කිරීම එහි කෘත්‍යය ය. අවිද්‍යාන්‍ධකාර විධ්වංසනය කිරීම වැටහෙන ආකාරය යි.


02. සම්මා සඞ්කප්ප :- එසේ මාර්‍ග සම්‍යක් දෘෂ්ඨියෙන් සම්පූර්ණ දෘෂ්ඨි ඇත්තහු ගේ ඒ හා සම්ප්‍ර‍යුක්ත වූ කාම සංකල්පාදී මිථ්‍යා සංකල්ප සමුච්ඡේද කරමින් සිත නිර්‍වාණලම්බනයෙහි අභිරෝපණය (නැංවීම) කරන්නේ සම්මා සඞ්කප්ප නමි. එහි සිත මනා ව නිවන් අරමුණට නැංවීම ලක්‍ෂණය ය. සිත නිවනෙහි ඇලවීම එහි කෘත්‍යය වෙයි. කාම සංකල්පාදී මිථ්‍යා සංකල්ප ප්‍ර‍හාණය වැටහෙන ආකාරය වන්නේ ය.


03. සම්මා වාචා :- එසේ සම්‍යක් දෘෂ්ඨි, සම්‍යක් සංකල්පයෙන් ද යුක්ත වූවහු ගේ ඒ හා සම්ප්‍ර‍යුක්ත වූ චතුර්විධ වාග් දුශ්චරිතය සමුච්ඡේද ප්‍ර‍හාණය කරමින් මිථ්‍යා වචනයෙන් විරමණය සම්මා වාචා නමි. එය සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මනා කොට නුවණින් ගැනීම ලක්‍ෂණය කොට ඇත්තේ ය. මිථ්‍යා වචනයෙන් වෙන් වීම එහි කෘත්‍යය ය. මිථ්‍යා වචනයා ගේ ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.


04. සම්මා කම්මන්ත :- ඒ මිථ්‍යා වචනයෙන් වෙන් වූවහු ගේ ඒ සම්‍යක් වචනය හා සම්ප්‍ර‍යුක්ත වූ ප්‍රාණ වධාදී මිථ්‍යා කර්‍මාන්ත සමුච්ඡේද කරමින් කාය දුශ්චරිතයෙන් විරමණය සම්මා කම්මන්ත නමි. එහි තමා හා සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් මනා ව නගා සිටුවීම ලක්‍ෂණය ය. මිථ්‍යා කර්‍මාන්තයෙන් වැළකීම එහි කෘත්‍යය ය. මිථ්‍යා කර්‍මාන්ත බැහැර කිරීම වැටහෙන ආකාරය යි.


05. සම්මා ආජීව :- ඒ යෝගීහු ගේ ඒ සම්මා වාචා, කර්‍මාන්ත දෙකෙහි විශුද්‍ධිය වූ ඒ හා සම්ප්‍ර‍යුක්ත වූ කුහන - ලපනාදීන් සමුච්ඡේදය කරන මිථ්‍යා ආජීවයෙන් වෙන් වීම වූ යම් විරතියෙක් වේ නම් එය සම්මා ආජීව නමි. එහි සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් පිරිසිදු කිරීම ලක්‍ෂණය ය. මනා ආජීවයා ගේ පැවැත්ම එහි කෘත්‍යය ය. මිථ්‍යා ජීවිකා ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.


06. සම්මා වායාම :- (අනතුරුව ඒ සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව සංඛ්‍යාත සීල භූමියෙහි සිටියහු ගේ) සියලු‍ අකුසල් නසන කුසීත බව සිඳින වීර්යය සම්මා වායාම නමි. එහි උත්සාහ කිරීම ලක්‍ෂණය ය. නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් පහ කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම එහි කෘත්‍යය ය. මිථ්‍යා ව්‍යායාම ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.


07. සම්මා සති :- මෙසේ ව්‍යායාම ඇත්තහු ගේ අශුභාදීන්හි ශුභාදී ආකාරයෙන් වැටහෙන ස්වභාවය බැහැර කරන්නා වූ චිත්තයා ගේ නුමුලා බව සම්මා සති නමි. ආලම්බනයා ගේ යථා ස්වභාවය වැටහීම එහි ලක්‍ෂණය ය. නුමුලා බව කෘත්‍යය ය. මිථ්‍යා ස්මෘති ප්‍ර‍හාණය වැටහෙන ආකාරය යි.


08. සම්මා සමාධි :- ඒ ස්මෘතිය හා සම්ප්‍ර‍යුක්ත වූ මිථ්‍යා සමාධිය නසන චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධි නමි. එහි අවික්‍ෂේපය ලක්‍ෂණය ය. මනා ව පිහිටීම එහි කෘත්‍යය ය. මිථ්‍යා සමාධි ප්‍ර‍හාණය කිරීම (ඵලය) වැටහෙන ආකාරය යි.


මෙපමණකින් ආර්ය සත්‍යය සතරෙහි වර්ණනාව නිමියේ ය.


විස්තර වශයෙන් වනාහි පංචස්කන්ධය දුක් ය. තණ්හාව දුකට හේතුව ය යි සැකෙවින් ද ඉගෙන ගත යුතු ය. නිරෝධය සහ එම නිරෝධයට පත් වන මාර්ගය උගත යුතු ය. අනතුරුව මේ දුක්ඛ සත්‍යය සහ සමුදය සත්‍යය ගැන ඉගෙන ගත් කරුණු අනුව තමන් ගේ වශයෙන් ද, අනුන් ගේ වශයෙන් ද කල්පනා කළ යුතු ය. ඇති වීමේ හේතු සහ නැති වීමේ හේතු දත යුතු ය. එයින් නිරෝධයට සිත නැමෙන්නේ, උපදින විදර්ශනා ඥාන සමඟ මාර්ග සත්‍යය ම තව දුරටත් වැඩෙන්නේ සත්ත්ව පුද්ගල ශූන්‍ය වූ ස්කන්ධයන් ගේ යථා ස්වභාවය නුවණින් දැන, මේ දුක ය, මේ දුකට හේතුව ය. මේ දුකෙහි නැති කිරීම ය, මේ මාර්ගය යැයි ඒකාන්තයෙන් දැන ආර්ය භාවයට පත් වන්නේ, ආර්ය සත්‍යයන් අවබෝධ කළ නිකෙලෙස් උතුමන් වහන්සේ නමක් බවට පත් වන්නේ ය.


මෙයින් සච්ච පබ්බ කර්මස්ථානයේ ද විවරණය අවසන් වන්නේ ය. මේ ධම්මානුපස්සනා පබ්බයේ අවසන් කර්මස්ථානය වන සච්ච පබ්බය විවරණය කිරීම සමඟ මේ සතර සතිපට්ඨාන කර්මස්ථානයන් ගේ ම විවරණය ද අවසන් වන්නේ ය.


සිහි නුවණ සහ මනුෂ්‍ය ප්‍රතිලාභය ඇති මේ බුද්ධෝත්පාද කාලයේ සත්පුරුෂ නුවණැත්තන් විසින් මේ සත්ත්ව පුද්ගල ශූන්‍යතාවය ප්‍රකට කරවන කර්මස්ථාන වර්ෂාවේ තෙමී එයින් නිවී යනු ඇතැ යි හෝ මතු ලබන නිර්වාණයට ප්‍රබල හේතුවක් කර ගනු ඇතැ යි සිතමින් මේ ග්‍රන්ථය අප විසින් සම්පාදනය කරන ලදී. මේ අමිල ග්‍රන්ථය සමීපයෙහි භාවිතා කර සත්පුරුෂයන් මේ සංසාර වට්ට දුකෙන් අත මිදී උතුම් වූ නිර්වාණය අත් පත් කර ගනිත්වා යි මෙත් සිතින් පතමි.


චිරං තිට්ඨන්තු සම්බුද්ධ සාසනං..


නිමි.


Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page