Sujatha Puthra Meditation Center
Your Membership ID
17. බොජ්ඣංග භාවනාවෙන් නිවනට
එහි පාලිය මෙසේ ය.
“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.
ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගොති පජානාති.
යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”
මේ එම පාලියේ කෙටි අදහස ය.
“නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. සසර භය දැක විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම සත් වැදෑරුම් බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි සත්ත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කරයි.
මහණෙනි! යෝගී පුද්ගල තෙම සත් වැදෑරුම් බොජ්ඣංග ධර්මයන් කෙරෙහි සත්ත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයි ද?
මහණෙනි! මේ බුදු සසුනෙහි යෝගී තෙම තමා තුළ සති සම්බොජ්ඣංගය ඇති ව පවත්නා කල්හි දැන් මා තුළ සති සම්බොජ්ඣංගය ඇති ව පවතී ය යි දැන ගන්නේ ය. තමා තුළ සති සම්බොජ්ඣංගය නැතහොත් දැන් මා තුළ සති සම්බොජ්ඣංගය නැතැ යි දැන ගන්නේ ය.
යම් යෝනිසෝමනසිකාරයක් නිසා නූපන් සති සම්බොජ්ඣංගය උපදී නම් ඒ යෝනිසෝමනසිකාරයත් දැන ගන්නේ ය. එසේ ම උපන්නා වූ සති සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පුර්ණ වීම යම් මාර්ගයකින් සිදු වෙයි නම් ඒ අර්හත් මාර්ගයත් දැන ගන්නේ ය.”
මෙහි දැක්වූයේ සති සම්බොජ්ඣංගය පමණි. මේ ආකාරයෙන් මේ කර්මස්ථානය පුරා ම සති සම්බොජ්ඣංගය ද සමඟ බොජ්ඣංග ධර්ම සතක් විස්තර කොට ඇත.
ඒ බොජ්ඣංග ධර්ම සත මෙසේ දත යුත්තේ ය.
01. සති සම්බොජ්ඣංගය
02. ධම්මවිචය සම්බොජ්ඣංගය
03. විරිය සම්බොජ්ඣංගය
04. පීති සම්බොජ්ඣංගය
05. පස්සද්ධි සම්බොජ්ඣංගය
06. සමාධි සම්බොජ්ඣංගය
07. උපෙක්ඛා සම්බොජ්ඣංගය වශයෙනි.
මේ සූත්‍ර පාඨය අනුව යෝගාවචරයා විසින් (1) බොජ්ඣංග ධර්මයන් උගත යුතු ය. (2) තමන් තුළ ඒ බොජ්ඣංග පවතී ද? නැත් ද? යන්න දත යුතු ය. (3) නැති බොජ්ඣංගයන් ගේ ඉපදීමට කරුණු දත යුතු ය. (4) උපන්නා වූ බොජ්ඣංගයන් ගේ පරිපූර්ණ වීම කෙසේ වන්නේ දැයි දැන ගත යුතු ය.
සම්බෝධි + අංග යන වචන වල එකතුවෙන් සම්බොජ්ඣංග යන වචනය සෑදී තිබේ. මෙහි සම්බෝධි යනු චතුරාර්ය සත්‍යය ධර්මය හොඳින් අවබෝධ කරන පුද්ගලයා හෝ අවබෝධයට ඉවහල් වන ධර්ම සමූහය යන්න යි. ඒ ධර්ම සමූහයේ එක් එක් අවයවයක් අංගයක් නම් වේ.
උදයව්‍ය ඥානයෙහි පටන් විදර්ශනා අවස්ථාවෙහි සහ මාර්ග අවස්ථාවෙහි ද චතුරාර්ය සත්‍යය මැනවින් අවබෝධ කර ගැනීමට ඉවහල් වන ගුණාංග සියල්ල බොජ්ඣංග නම් වේ.
ඒ බොජ්ඣංග වල විස්තරය මෙසේ දත යුතු ය.
සති සම්බොජ්ඣංගය
සති නැමැති සිහිය ම සත්‍යාවබෝධයට ඒකාන්තයෙන් උපකාර වන බැවින් ද, සත්‍යාවබෝධයට උපකාර වන ධර්ම සමුදායයෙහි අංගයක් වන බැවින් ද සති සම්බොජ්ඣංග යැයි කියනු ලැබේ.
සිහිය උපදවා ගන්නේ මැ යි මෙනෙහි කිරීම ද, කර්මස්ථානයේ පළමු මෙනෙහි කිරීමේ දී හට ගත් සිහිය ද යෝනිසෝමනසිකාරය නම් වන්නේ ය. ඒ දෙ වැදෑරුම් වූ යෝනිසෝමනසිකාරය නිසා, එයින් පසු යෝගී පුද්ගලයා හට සති සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.
සිය සන්තානයේ උපන් සති සම්බොජ්ඣංගය භාවනාවෙන් වැඩි දියුණු වීම රහත් මගට පැමිණීමෙන් සම්පුර්ණ වන්නේ ය. ඊට පසු සතිය පිළිබඳ වැඩි දියුණු කිරීමේ වුවමනාවක් නැත.
උදයව්‍ය ඥානයේ පටන් සිහිය පිරිසිදු වූ කල්හි සෑම සිහි කිරීමක් පාසා ම, සිහි කරන ලද අරමුණෙහි ඇලී පවතින්නාක් මෙන් වැටහෙන සිහිය ඒ විදර්ශනා ඥානයේ තියුණු භාවයෙන් ම ප්‍රකට වන්නේ ය.
එකල්හි ඇති වෙමින් නැති වෙමින් පවත්නා නාම - රූප අරමුණු මෙනෙහි කරන සිතට ඉබේට ම වැටහී එන්නාක් මෙන් වෙති. එක් අරමුණක් මෙනෙහි කොට අවසාන වීමත් සමඟ ම වෙන අරමුණක් සුදුසු පරිදි වැටහෙන්නේ ය. මෙනෙහි කරන සිත ද අරමුණ තුළට කා වැදී පවතින්නාක් මෙන් වන්නේ ය. එහෙයින් “අපිලාපනලක්ඛණා සති”යි අටුවායෙහි කීහ. සතිය හා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන් ද අරමුණ කෙරෙන් වෙන් නො කොට සිහි කරනු ලබන අරමුණ ද සමඟ සිහියෙන් වෙන් නොවී පැවැත්ම ය යනු එහි අදහස යි. මෙසේ තියුණු වෙමින් ප්‍රකට වන සිහිය මාර්ග ඥානය උපදවන බැවින් සති සම්බොජ්ඣංග නම් වේ.
තව ද සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වන ධර්ම සතරක් ඇත. එනම්,
1. සතිසම්පජඤ්ඤය
2. මුට්ඨස්සතිපුග්ගලපරිවර්ජනතා
3. උපට්ඨිතසතිපුග්ගලසේවනතා
4. තදධිමුත්තතා යන මේ සතර ය.
එහි සතිසම්පජඤ්ඤය නම්, ඉදිරියට යෑම හා ආපසු ඒම ය, ඉදිරිපස බැලීම හා අනු දිසාවන් බැලීම ය, අත් පා හැකිළීම හා දිග හැරීම ය යන මේ හැම ක්‍රියාවක දී ම එහි නුවණින් යුක්ත ව වාසය කිරීම යි. එම වාසය කළ යුතු නුවණ සම්පජඤ්ඤ පබ්බයේ දී දක්වනු ලැබී ය.
මුට්ඨස්සතිපුග්ගලපරිවර්ජනතා යනු සිහි මුලා වූ (සිහිය නැති) පුද්ගලයන් ඇසුරු නො කොට ඔවුන් දුරු කිරීම ය. සිහි මුලා වූ පුද්ගලයා බත් සඟවන කපුටෙක් මෙන් බව දක්වා තිබේ. කපුටාට බත් ගොඩක් හමු වූ විට එයින් බත් කටක් පුරවා එය තැනක සඟවා තබයි. මෙසේ වරින් වර ඒ බත් ගොඩ ඉවර වන තෙක් තැනින් තැන සඟවා තබන නමුත් නැවත ඒ බත් කෑමට අමතක වීමෙන් ඒ ඒ තැන් වල ම කුණු වී යයි. එවැන්නවුන් ඇසුරු කිරීමෙන් තමනුත් සිහිය නැති උන්මත්තකයෙකු මෙන් විය හැකි බැවින් සිහි මුලා වූ පුද්ගලයා දුරු කළ යුතු ම වේ.
උපට්ඨිතසතිපුග්ගලසේවනතා යනු සතිපට්ඨාන භාවනාවේ යෙදෙමින් නිතර යහපත් සිහියෙන් යුක්ත වූ කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය. එවැනි කළණ මිතුරන් ඇසුරු කිරීම ද සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වෙයි.
තදධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී සෑම ඉරියව්වක දී ම සිහිය උපදවා ගන්නට ඕනෑ ය යි සිතමින් සිත එයට නැඹුරු කර තබා ගැනීම ය.
ධම්මවිචය සම්බොජ්ඣංගය
ධම්මවිචය නම්, නාම රූප ධර්මයන් ගේ ඇති තතු සොයා පරීක්ෂා කොට දැන ගන්නා ඥානය යි.
නාම - රූප ධර්මයන් විදර්ශනා වශයෙන් මෙනෙහි කරන යෝගාවචරයා ගේ මෙනෙහි කිරීමක් පාසා ම එක් එක් නාම - රූප අරමුණු වල විශේෂයෙන් ප්‍රකට ව පවත්නා ලක්ෂණය පෙර කර්මස්ථාන වල දී විවර කළ ආකාරයෙන් ම ඒ ඒ නාම හෝ රූපයන් ගේ ඉපදීම ද, නිරුද්ධ වීම ද පිරිසිඳ දැන ගන්නේ ය.
එසේ ම ස්ථිර නො වන අනිත්‍ය ලක්ෂණය ද, දුක් හිරිහැර පීඩා උපදවන ආකාරය වූ දුක්ඛ ලක්ෂණය ද, මම යැ යි කියා ගත යුතු ආත්ම සාරයක් හෝ ආනුභාවයක් නැති ආකාර යැ යි කියන ලද අනාත්ම ලක්ෂණය ද යන මේ ත්‍රිලක්ෂණයන් ම ප්‍රකට කොට දැන ගන්නේ ය. මේ දැන ගැනීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයට ඉවහල් වන බැවින් එයට ධම්මවිචය සම්බොජ්ඣංගය යැයි කියනු ලැබේ.
මේ ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපිද වීම පිණිස යෝනිසෝමනසිකාරය පමණක් නොව, තවත් කරුණු සතක් උපකාර වෙයි. එනම්,
1. පරිපුච්ඡකථා
2. වත්ථුවිසදකිරියතා
3. ඉන්ද්‍රියසමත්තපටිපාදනතා
4. දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනතා
5. පඤ්ඤාවන්තපුග්ගලසෙවනතා
6. ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණතා
7. තදාධිමුත්තතා වශයෙනි.
එහි පරිපුච්ඡකථා යනු ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගාංග, ධ්‍යානාංග, සමථ, විදර්ශනා යන මේ ධර්මයන් පිළිබඳ ගැටළු තැන් හි අර්ථ අදහස් දැන ගැනීම පිණිස ප්‍රශ්න කිරීම ය.
වත්ථුවිසදකිරියතා යනු ආධ්‍යාත්මික, බාහිර වස්තූන් පිරිසිදු කර ගැනීම ය. එනම් යෝගී පුද්ගලයා ගේ කෙස්, නිය, ලොම් ආදිය දික් ව තිබේ නම්, ශරීරයේ හෝ වා, සෙම් ආදී දොස් කෝප ව පවතී නම්, දහදිය, කුණු ආදියෙන් අපිරිසිදු වී තිබේ නම් ඒවා පිළිවෙලකට, පිරිසිදුවට තබා ගැනීම ය.
ඇඳ සිටින සිවුරු හෝ වස්ත්‍ර කිලිටි ව දුගඳ හමයි නම්, සෙනසුන හෝ කුණු කසලින් අපිරිසිදු ව තිබේ නම් ඒ බාහිර වස්තු අපිරිසිදු වීම ය.
මෙසේ ඇති විට කෙස් නිය සිඳීම ය, විරේචනාදී බේත් ගැනීම ය, ස්නානය කිරීම ය යන මේ ආදියෙන් අධ්‍යාත්මික වස්තූන් සහ සිවුරු හෝ ඇඳුම් සේදීම් ආදී වශයෙන් බාහිර වස්තූන් ද පිරිසිදු කර ගත යුතු ය. අධ්‍යාත්මික, බාහිර වස්තූන් පිරිසිදු වූ කල්හි යෝගී පුද්ගලයාගේ ඥානය ද පිරිසිදු වෙයි. එවිට ධම්මවිචය සම්බොජ්ඣංගය පහසුවෙන් උපදවා ගත හැකි වෙයි.
ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා යනු සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්ම පස සම සම ව පවත්වා ගැනීම ය. අශ්‍රද්ධාව ය, කුසීත බව ය, සිහි මුලාව ය, උද්ධච්ච ය, අවිද්‍යාව ය යන මොවුන් මැඩ පවත්වා භාවනා සිතෙහි ප්‍රධානත්වය උසුලන සද්ධින්ද්‍රිය ය ආදිය සම සම ව පවත්වා ගත යුතු ය. එසේ නොමැති වුවහොත් භාවනාව සමබර නො වන්නේ ය. ප්‍රඥාව පමණක් වැඩි ව ශ්‍රද්ධාව අඩු වන යෝගාවචරයා එකල්හි කෛරාටිකයෙක් වන්නේ ය. ශ්‍රද්ධාව පමණක් වැඩි පුද්ගලයා මෝඩයෙක් වන්නේ ය. මෙසේ වීර්යයාදිය සම ව නො පැවැත්වීමෙන් භාවනාවේ උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාවක් නො ලැබෙන්නේ ය.
එහෙයින් වක්කලී තෙරුන් මෙන් අධික ශ්‍රද්ධාව මැඩ පවත්වා, අනික් සමාධි ප්‍රඥා ආදී ධර්මයන් හා සම තත්ත්වයෙහි පවත්වා ගත යුතු ය. වක්කලී තෙරුන් ගේ සිතෙහි ශ්‍රද්ධාව අධික ව විදර්ශනා අරමුණෙහි සිත යොදවා ගත නො හැකිව සිටින කල්හි ඒ බව දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන්ට ඉන්ද්‍රිය ධර්මයන් සම සම ව පවත්නා අයුරින් කමටහන් අරමුණ පැහැදිලි කර දුන් සේක. ඉක්බිති ශාස්තෘන් වහන්සේ දුන් නය ක්‍රමයෙහි එල්බ ගෙන විදර්ශනා වඩා මාර්ග පිළිවෙලින් රහත් බව ලබා ගත්තේ ය.
යමෙක් ගේ විරියින්ද්‍රිය ය බලවත් වුවහොත් එවිට සද්ධින්ද්‍රිය ආදියට අයත් කටයුතු සිදු නො කළ හැකි ය. එහෙයින් ඒවා ඒ ඒ භාවනාවන් වැඩීමෙන් මේරවිය යුතු ය.
සෝණ ස්ථවිරයන් වහන්සේ මීට කදිම නිදසුනකි.
සෝණ හිමි ඉතා සියුමැලි වූයෙකි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙන් කමටහන් ලබා ගෙන සීත වනයෙහි වෙසෙමින් මාගේ ශරීරය ඉතා සියුමැලි වෙයි. සැප විඳිමින් සැප ලබා ගත නො හැකි ය. කයට දුක් දී භාවනා කළ යුතු ය යි සිතා, සිටිමින් හා සක්මන් කරමින් භාවනායෙහි වෑයම් කරන කල්හි යටි පතුල් වල දිය බුබුළු මතු වූහ. එවිට එයින් හට ගත් දුක්ඛ වේදනාව ද ගණනකට නො ගෙන දැඩි සේ වෑයම් කරනුයේ, පටන් ගත් වීර්යය ඉතා අධික වූ බැවින් බලාපොරොත්තු වූ හැටියට මාර්ග ඵල ලබා ගත නො හැකි විය.
ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඒ බව දැක එහි පැමිණ වීණා උපමාවෙන් අවවාද දී වීර්යය අනික් ඉන්ද්‍රියයන් හා සම කොට යොදවන ආකාරය දක්වමින් කර්මස්ථානය සුද්ධ කර දී ගිජ්ඣකූට පර්වතයට වැඩි සේක. සෝණ හිමි ද ශාස්තෘන් වහන්සේ දී වදාළ නය ක්‍රමයෙන්, වීර්යය අනික් ඉන්ද්‍රියයන් හා සම කොට යොදා භාවනා කරනුයේ, විදර්ශනා ඥානය දියුණු කොට රහත් ඵලයෙහි පිහිටියේ ය.
එසේ ම සෙසු ඉන්ද්‍රියයන් අතුරෙන් ද එක් එක් ඉන්ද්‍රියයක් බලවත් වූ කල්හි අනික් ඉන්ද්‍රියයෝ තම තමන් ගේ කෘත්‍යයෙහි අසමර්ථ වන බව දැන මොවුන් අතුරෙන් ද විශේෂයෙන් ශ්‍රද්ධා - ප්‍රඥාවන් ගේ හා සමාධි - වීර්යයන් ගේ සම භාවය සිදු කළ යුතු ය යැයි දැන ගත යුතු ය.
ශ්‍රද්ධාව බලවත් ව ප්‍රඥාව අඩු පුද්ගලයා නො පැහැදිය යුතු තැන පැහැදීම ඇත්තෙක් වෙයි. හෙතෙම ගුණ දැන පහදින්නෙක් නො ව, වෙනත් ශාසන වල මිථ්‍යා දෘෂ්ඨි ඇති ශ්‍රාවකයන් මෙන් නො පැහැදිය යුත්තෙහි පවා පහදින්නේ ය. එනිසා ඔහු මෝඩයෙක් වන බව ඉහත කියන ලදී.
ප්‍රඥාව බලවත් ව ශ්‍රද්ධාව අඩු පුද්ගලයා කෛරාටිකයෙක් වන බව කීවේ ඒ තැනැත්තා සීමාව ඉක්මවා කල්පනා කරමින් දන් දීම් ආදී කුසල් සිදු නො කොට නිරයෙහි ඉපදීමට ඇති අවකාශය නිසා ය.
එනිසා මේ ශ්‍රද්ධාව හා ප්‍රඥාව සම කොට උපදවා ගත් තැනැත්තා පැහැදිය යුත්තෙහි ම පහදින බව එයින් දත යුත්තේ ය.
සමාධිය බලවත් නමුත් වීර්යය අඩු පුද්ගලයා කුසීත කමට බර වන බැවින් කුසීත බව ඔහු ව යටපත් කරයි. එසේ ම වීර්යය බලවත් ව ඇති සමාධිය අඩු පුද්ගලයා ගේ වීර්යය උද්ධච්චයට බර වනු ඇති වන බැවින් උද්ධච්චය ඔහු ව යටපත් කරයි. සමාධිය වනාහි වීර්යය හා එකට යොදා ගත් කල්හි කුසීත බවෙහි ඇද නො වැටෙන්නේ ය. වීර්යය හා සමාධිය එකට යොදා ගත් කල්හි උද්ධච්චයෙහි නො වැටෙන්නේ ය. ඒ නිසා ඒ දෙක සම ව තබා ගත යුතු යැයි කීවේ ය.
දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනතා යනු ස්කන්ධ ආයතන ආදිය නූගත් දුස්ප්‍රාඥ පුද්ගලයන් ඇසුරු නො කොට දුරින් ම දුරු කිරීම ය.
පඤ්ඤාවන්තපුග්ගලසේවනතා යනු ප්‍රඥාව ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය. බහුශ්‍රැත පුද්ගලයා ද ශ්‍රැතමය ඥානයෙන් යුක්ත බැවින් ප්‍රඥාව ඇත්තෙකි. යම් කෙනෙක් උදයව්‍ය ඥානයේ පටන් ඇති සෙසු විදර්ශනා ඥාන උපදවා ඇත්තේ නම් හෙතෙම ඒකාන්තයෙන් ම ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වන්නේ ය.
ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණතා යනු ගැඹුරු වූ ස්කන්ධාදිය අරමුණු කොට පවත්නා ප්‍රඥාවේ විවිධ ප්‍රභේදයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.
තදාධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය උපදවනු පිණිස එයට නැඹුරු වූ එයට අදාළ වූ සිත් ඇති බව ය.
උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය අවසාන වශයෙන් භාවනාවෙන් සම්පූර්ණ කිරීම සිදු වන්නේ අර්හත් මාර්ගයෙන් ම ය.
වීර්යය සම්බොජ්ඣංගය
මෙය ප්‍රකට ධර්මයකි. රහත් බව දක්වා වූ භාවනාවට උපකාරී වන ලෙස පහළ වන වීර්යය මෙයින් හැඳින්වේ.
විරිය සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු එකොළොසෙක් ඇත. එනම්,
1. අපායභයපච්චවෙක්ඛණතා
2. ආනිසංසදස්සාවිතා
3. ගමනවීථිපච්චවෙක්ඛණතා
4. පිණ්ඩපාතඅපචායනතා
5. දායජ්ජමහත්තපච්චවෙක්ඛණතා
6. සත්ථුමහත්තපච්චවෙක්ඛණතා
7. ජාතිමහත්තපච්චවෙක්ඛණතා
8. සබ්‍රහ්මචාරීමහත්තපච්චවෙක්ඛණතා
9. කුසීතපුග්ගලපරිවජ්ජනතා
10. ආරද්ධවිරියපුද්ගලසේවනතා
11. තදාධිමුත්තතා යනු යි.
එහි අපාය භය පච්චවෙක්ඛණතා යනු අපායෙහි පවත්නා භයානක දුක් කම්කටොළු නුවණින් සලකා බැලීම ය. ඒවා ගේ දී කළ හැකි වීර්යයක් නොවේ. අතරක් නැති දුක් පමණි. ඒවාට යන්නට වීම ම දුකකි. එනිසා මිනිස් ලොව ඉපදී සිටින මේ කාලය එයට සුදුසු යැ යි ප්‍රත්‍යවේක්ෂා කරන්නා හට ද මේ විරිය සම්බොජ්ඣංගය උපදනේ ය.
ආනිසංස දස්සාවිතා යනු වීර්යයෙහි අනුසස් දන්නා බව ය. සතර මග - සතර ඵල නිර්වාණ යන මේ නව ලෝකෝත්තර ධර්මය ලැබිය හැක්කේ පටන් ගන්නා ලද වීර්යයෙන් ය. වීර්යය නො කරන කුසීතයා හට එකී ධර්මයන් තියා කිසිවකින් කිසි ම දෙයක් නො ලැබිය හැකි ය.
ගමන වීථි පච්චවෙක්ඛණතා යනු මෙහි ගමන වීථිය නම් මාර්ගයා ගේ පුර්ව භාගය වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව යි. තවත් ආකාරයකින් කිවහොත් විදර්ශනාව සහිත ආර්ය මාර්ග පටිපාටිය යි. වැඩිය යුතු සප්ත විශුද්ධි ආදී මාර්ගය යි. සංසාර දුක්ඛයෙන් එතෙර වීම සඳහා එහි ගමන් කළ යුතු බැවින් එයට ගමන වීථි යැ යි කියනු ලැබේ.
එය සියලු බුදු, පසේ බුදු, මහ සව්වන් විසින් නිවනට ගිය ඒකායන මාර්ගය වේ. ඔබ ද ඒ මාර්ගයේ යා යුතු ය. කුසීතයා විසින් එහි නො යා හැකි යැ යි ප්‍රත්‍යවේක්ෂා කිරීම ගමන වීථි පච්චවෙක්ඛණතාව නම් වේ.
පිණ්ඩපාත අපචායනතා යනු තමාට පුදනු ලබන පිණ්ඩපාතයට ගරු සැලකිලි දැක්වීම ය. ඒ මෙසේ ය : ඔබට මේ සිවුපසය පුදන මනුෂ්‍යයෝ ඔබ ගේ නෑයෝ ද නො වෙති. දාසයෝ ද නො වෙති. ඔවුහු ඔබ ඇසුරෙන් ජීවත් වන්නෙමු යි සිතා මේ ප්‍රණීත පිණ්ඩපාතාදිය නො දෙති. හුදෙක් තමන් ගේ දාන කුශලය මහත් ඵල කර ගන්නෙමු යි සිතා දෙන්නාහු ය. ශාස්තෘන් වහන්සේ විසින් ද භෝජන ආදී ප්‍රත්‍යය අනුදැන වදාළේ මේ භික්ෂුව මේවා අනුභව කොට කය තර කර ගනිමින් සුවසේ වෙසේවා යන අදහසින් නොවේ. හුදෙක් මේ භික්ෂු තෙම මේ සිවුපසය පරිභෝග කරමින් ම විදර්ශනා භාවනා කොට සංසාර වට්ට දුක්ඛයෙන් මිදෙන්නේ යැ යි සිතා ය. ඒ නිසා දැන් ඔබ කුසීත ව විසුව හොත් ඒ පිණ්ඩයට නො පුදන්නෙහි ය. ගරු නො කරන්නෙහි ය. මෙසේ පටන් ගන්නා ලද වීර්යය ඇත්තහුට පිණ්ඩපාත අපචායනය සිදු කළ හැකි ය. මෙසේ පිණ්ඩපාත අපචායනය ප්‍රත්‍යවේක්ෂා කරන්නා හට ද විරිය සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.
දායජ්ජ මහන්ත පච්චවෙක්ඛණතා යනු ශාස්තෘන් වහන්සේ වෙතින් ලැබෙන්නට තිබෙන උතුම් ආර්ය ධනය සංඛ්‍යාත දෑවැද්ද ය. ශාස්තෘන් වහන්සේ ගේ ඒ ආර්ය ධනය රන්, රිදී, මුතු මැණික් ආදියට වඩා ඉතා උතුම් ය. උසස් ය. ඒ ආර්ය ධනය කුසීත ව විසීමෙන් නො ලැබිය හැකි ය. මවු පිය දෙදෙනාට අකීකරු ව, හිතුවක්කාරයෙක් ව වාසය කරන පුත්‍රයා මොහු අප ගේ පුත්‍රයෙක් නොවේ යැ යි පුත්‍ර භාවයෙන් ඉවත් කළ කල්හි, ඔහුට මවුපියන් ගේ වස්තුව දෑවැද්ද වශයෙන් අයිති නො වන්නාක් මෙන් කුසීත ව, කම්මැලි ව විදර්ශනාවෙන් තොර ව වාසය කරන තැනැත්තා ද, ශාස්තෘන් වහන්සේ ගේ මේ ආර්ය ධනය නැමැති දෑවැද්ද නො ලබන්නේ ය. භාවනායෙහි ආරම්භ කර ඇති වීර්යය ඇති පුද්ගලයා ම මේ ශාසනික වූ දෑවැද්ද පිළිබඳ ව උතුම් බව නුවණින් සලකා බලන්නේ ය. එයින් විරිය සම්බොජ්ඣංගය උපදනේ ය.
සත්ථු මහත්ත පච්චවෙක්ඛණතා යනු ශාස්තෘන් වහන්සේ ගේ උතුම් බව නුවණින් සලකා බැලීම ය. මහා ගුණයෙන් යුත් මෙබඳු ශාස්තෘ ශාසනයක පැවිදි ව තා හට කුසීත වන්නට වටනේ දැ යි මෙසේ ශාස්තෘන් වහන්සේ ගේ උතුම් බව, උසස් බව මෙනෙහි කිරීමෙනුත් විරිය සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.
ජාති මහත්ත පච්චවෙක්ඛණතා යනු ශාස්තෘන් වහන්සේ ගේ ජාතියේ උතුම් බව හෝ උසස් බව සැලකීම ය. තොප දැන් ජාතියෙනුත් පහත් ජාති ඇත්තෙක් නො වන්නෙහි ය. කලවම් නොවූ මහා සම්මත පරම්පරාවෙන් පැවත ආ ඔක්කාක රාජ වංශයෙහි උපන්නෙහි ය. සිරි සුදොවුන් මහ රජහු ගේ සහ මහාමායා දේවිය ගේ ද මුණුබුරෙක් වූයෙහි ය. උතුම් රාහුල තෙරුන් ගේ සහෝදරයෙක් වුයෙහි ය. මෙවැනි බුද්ධ පුත්‍ර වූ තා විසින් කුසීත ව විසීම නුසුදුසු ය යැයි මෙසේ ජාතියේ උසස් බව මෙනෙහි කිරීමෙනුත් විරිය සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.
සබ්‍රහ්මචාරී මහත්ත පච්චවෙක්ඛණතා යනු තමා ගේ පරම්පරාවේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගේ උතුම් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ය. ඒ මෙසේ ය. සැරියුත් මුගලන් දෙනම සහ මහා ශ්‍රාවකයන් වහන්සේලා ද වීර්යය හේතු කොට ගෙන ම ලෝකෝත්තර ධර්‍මය ප්‍රතිවේධ කළාහු ය. තොප ඒ උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගිය මාර්ගයෙහි ගමන් කරන්නෙහි ද, ගමන් නො කරන්නෙහි දැ යි නුවණින් සැලකීමෙන් ද මේ විරිය සම්බොජ්ඣංගය උපදින්නේ ය.
කුසීත පුග්ගල පරිවජ්ජනතා නම් අලස පුද්ගලයන් සේවනය - භජනය - පයිරුපාසනය නො කොට දුරින් ම දුරු කිරීම ය. එනම්, භාවනා නො කර - භාවනා යන නාම මාත්‍රයක් වත් නො දැන, වැඩකට නැති නිෂ්ඵල වචන කථා කරන - කය තර කර ගැනීමට බඩ පිරෙන තෙක් ආහාර අනුභව කොට කායික චෛතසික වීර්යයෙන් තොර ව පිඹුරන් සේ නින්දෙහි ඇලුම් කරන කම්මැලියන් ඇසුරු නො කිරීම ය.
ආරද්ධ විරිය පුග්ගල සේවනතා යනු භාවනාවෙහි පටන් ගත් වීර්යය ඇත්තවුන් ඇසුරු කිරීම ය. එනම්, දවස මුළුල්ලෙහි ම සක්මන් කිරීම හා හිඳීම යන ඉරියව් දෙකින් යුක්ත ව ජීවිත පරිත්‍යාගයෙන් නිවන් පිණිස මෙහෙයවන ලද සිත් ඇති ව දැඩි උත්සාහයෙන් භාවනා කරන උතුමන් ඇසුරු කිරීම ය.
තදාධිමුත්තතා යනු ථීන මිද්ධය දුරු කිරීමෙන් වීර්යයට නැමුණු සිත් ඇති බව ය.
මෙසේ උපන් විරිය සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වන්නේ රහත් මාර්ගයෙන් බව දැන ගත යුතු ය.
ප්‍රීති සම්බොජ්ඣංගය
මේ ප්‍රීතිය ප්‍රකට ධර්මතාවයක් ය. තමා ගේ සන්තානයෙහි ප්‍රීති සම්බොජ්ඣංගය විද්‍යමාන ව පවත්නා කල්හි එය දත හැකි ය.
විදර්ශනා කමටහන් අරමුණ මෙනෙහි කරන කල්හි ඒ විදර්ශනා අරමුණෙහි සිත පිනවමින් භාවනාවෙහි සිත උකටලී කරවන, අරතිය දුරු කොට කුශලයෙහි සිත අලවන ධර්ම රතිය දියුණු කරවමින් සිතේ ඇති වන ප්‍රීතිය මාර්ග ඥානයට උපකාර වන බැවින් ප්‍රීති සම්බොජ්ඣංගය යැයි කියනු ලැබේ.
ප්‍රීතිය වනාහි,
1. ඛුද්දිකා පීති ය
2. ඛණිකා පීති ය
3. ඔක්කන්තිකා පීති ය
4. උබ්බේගා පීති ය
5. ඵරණා පීති ය යි පස් වැදෑරුම් වේ.
එහි ඛුද්දිකා පීති නම්, ශරීරයෙහි ලොමු දැහැ ගැනීම පමණක් සිදු කොට නැවත නූපදින ප්‍රීතිය යි.
ඛණිකා පීති නම්, විදුලියක් සේ ක්ෂණයක් පාසා උපදනා ප්‍රීතිය යි. එය බහුල වශයෙන් උපදී.
ඔක්කන්තිකා පීති නම්, නිතර කය සෑම තැන ම පැතිර යමින් නැගි නැගී බසින ප්‍රීතිය යි.
උබ්බේගා පීති යනු ශරීරය අහසට නැංවීමට තරම් වේගවත් ප්‍රීතිය යි. එය මේ කථා පුවතින් දත හැකි ය.
ගිරිකණ්ඩ විහාරයට නුදුරු වත්තකාල ගමෙහි එක් තරුණ කුල දියණියක ගේ මවු පිය දෙදෙන සවස බණ ඇසීමට විහාරයට යන්නාහු “දුවේ! ගර්භනී ව සිටින ඔබට නො කල්හි ඇවිදීම සුදුසු නැත, අපි ඔබටත් පින් සඳහා බණ අසන්නෙමු යැ”යි කියා විහාරයට ගිය හ. බලවත් ශ්‍රද්ධාව ඇති ඕ තොමෝ යනු කැමැති වුවත් මවු පිය දෙදෙනා ගේ වචනයට කීකරු ව ගෙදර නැවතුණා ය. ගෙමිදුලේ සිට බලන කල්හි සඳ එළිය නිසා ගිරිකණ්ඩයේ කඳු මුදුනේ පිහිටි චෛත්‍යය බලන ඇයට පහන් පූජාව පෙනුණි. සෑය වැඳ ප්‍රදක්ෂිණා කරන සැදැහැවතුන් ද දකින්ට ලැබුණි. “මෙවැනි චෛත්‍යයක් ළඟට පැමිණ මල් පහන් ආදිය පුදමින් හැසිරෙන්නට ලබන්නෝ ද, මිහිරි බණ අසන්නට ලබන්නෝ ද ඒකාන්තයෙන් භාග්‍යවන්තයෝ ම වෙති යැ”යි සිතන ඇයට උබ්බේගා පීතීය උපන්නී ය. ඒ ප්‍රීති වේගය නිසා ම අහසට නැගුණු ඕ තොමෝ මවුපියන් එහි පැමිණෙන්නට පෙර ම චෛත්‍යය මලුවට අහසින් බැස චෛත්‍යය වැඳ බණ අසමින් උන්නා ය. මවු පිය දෙදෙන එතැනට අවුත් ඇය දැක, “ආවේ කොයි මගින් දැ” යි විචාරණ ලද්දී, “අහසින් ආවෙමි”ය යි කීවා ය. “දුවණියනි! අහසින් ගමන් කරන්නේ රහතන් වහන්සේලා ය, නුඹ කෙසේ ආවෙහි දැ”යි ඇසූ විට සිදු වූ සැටි විස්තර කොට කීවා ය. මෙසේ උබ්බේගා පීතිය පුළුන් පොදක් සේ ශරීරය ආකාශයෙහි පා කර හැරීමෙහි සමර්ථ වන්නී ය.
ඵරණා ප්‍රීතිය නම් සුළං පිර වූ රබර් කොට්ටයක මෙන් සකල ශරීරය තුළ ම පැතිරී ගිය ප්‍රීතියකි.
මේ අයුරින් මෙහි බෝධි සංඛ්‍යාත මාර්ග ඥානයට උපකාර වන විදර්ශනා ඥානය හා යෙදෙන ප්‍රීතිය ද, මාර්ග ඥානය හා යෙදෙන ප්‍රීතිය ද පීති සම්බොජ්ඣංගය යැයි කියනු ලැබේ.
ප්‍රීති සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු ද එකොළොසක් ඇත. එනම්,
1. බුද්ධානුස්සති
2. ධම්මානුස්සති
3. සංඝානුස්සති
4. සීලානුස්සති
5. චාගානුස්සති
6. දේවතානුස්සති
7. උපසමානුස්සති
8. ලූඛපුග්ගලපරිවජ්ජනතා
9. සිනිද්ධපුග්ගලසේවනතා
10. පසාදනීයසුත්තන්තපච්වෙක්ඛණතා
11. තදාධිමුත්තතා යනු යි.
එහි බුද්ධානුස්සති යනු බුදු ගුණ සිහි කිරීම ය. ධම්මානුස්සති යනු ත්‍රිපිටක පර්යාප්තිය හා මාර්ග ඵල නිර්වාණ යන දහම් ගුණ නැවත නැවතත් සිහි කිරීම ය. සංඝානුස්සති යනු ආර්ය සංඝයා ගේ ගුණ නැවත නැවතත් සිහි කිරීම ය.
සීලානුස්සති යනු තමා විසින් රක්නා ලද පිරිසිදු සීලය නැවත නැවතත් සිහි කිරීම ය. චාගානුස්සති යනු තමා ගේ ත්‍යාග ගුණය හෙවත් තමා විසින් දුන් දානයන් පිළිබඳ ව මසුරු මල දුරු කිරීම් වශයෙන් පැවැති පිරිසිදු ත්‍යාග ගුණය නැවත නැවතත් සිහි කිරීම ය.
දේවතානුස්සති යනු දේවතාවෝ ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා, හිරි, ඔත්තප්ප යන යම් සත්පුරුෂ ධර්මයකින් යුක්ත ව දේවත්වයට ගියාහු ද, එවැනි ගුණ ධර්ම මා තුළ ද ඇතැ යි ඒ හා සසඳා තමා තුළ පවත්නා ශ්‍රද්ධා - ශීල ආදී ගුණයන් නැවත නැවතත් සිහි කිරීම ය, සිහි කරමින් ඒවා දියුණු කිරීම ය.
උපසමානුස්සති යනු නිර්වාණයේ පවත්නා දුක් සංසිඳවීමේ ගුණය නැවත නැවතත් සිහි කිරීම ය.
ලූඛපුග්ගල පරිවජ්ජනතා යනු පැහැදිය යුතු බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ආදියෙහි ප්‍රසාද ස්නේහයක් නොමැති තද හිත් ඇති පුද්ගලයන් ඇසුරු නො කොට දුරින් ම දුරු කිරීම ය.
සිනිද්ධ පුග්ගල සේවනතා යනු බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදය බහුල කොට ඇති මෘදු මොළොක් සිනිඳු සිත් ඇති පුද්ගලයන් ඇසුරු කිරීම ය.
පසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛණතා යනු රතනත්‍රයේ ගුණ සහ ගැඹුරු ධර්මයන් ප්‍රකාශ කොට ඇති සූත්‍ර ධර්මයන් ඉගෙන එහි අර්ථ අදහස් විමසා බැලීම ය. එයින් ද ප්‍රීතිය උපදී.
තදාධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියව් පවත්වන සෑම අවස්ථාවක දී ම විදර්ශනා ප්‍රීතිය උපදවා ගන්නට ඕනෑ ය යි එයට නැමුණු සිත් ඇති බව ය.
මෙසේ සිල්වත් ගුණවත් පැවිදි උතුමන් කෙරෙහි ගරු සැලකිලි නො දක්වන කටුක - රළු පුද්ගලයන් දුරු කොට, බුද්ධාදී උතුම් වස්තූන්හි ප්‍රසාදය බහුල කොට ඇති මෘදු මොළොක් උතුමන් සේවනය කරමින්, ප්‍රසාදය වැඩි දියුණු කරවන දහම් කොටස් භාවිතා කරමින්, නිතර භාවනා ප්‍රීතියට නැමුණු සිත් ඇති ව වාසය කරන්නා හට පහසුවෙන් ම ප්‍රීති සම්බොජ්ඣංගය පහළ වන්නේ ය.
මෙසේ යෝගාවචරයා හට උපන් ප්‍රීතිය අවසාන වශයෙන් මස්තකප්‍රාප්ත වන්නේ රහත් මාර්ගයෙන් බව ද දත යුතු ය.
පස්සද්ධි සම්බොජ්ඣංගය
කමටහන් අරමුණ මෙනෙහි කිරීමෙන් ප්‍රීතිය ඇති වූ පසු නිරුත්සාහයෙන් ම සිතේ ඇති වන සන්සුන් කම හෝ සැනසිල්ල පස්සද්ධි සම්බොජ්ඣංගය නම් වේ.
මේ ප්‍රීතිය හා පස්සද්ධිය උදයව්‍ය ඥානය පහළ වීමේ පටන් අතිශයින් ප්‍රකට වන්නේ ය. එකල්හි පෙර නූපන් විරූ සතුට හා සැනසිල්ල ඇති වන බැවින් ඒ සතුට හා සැනසිල්ල මෙතෙකැ යි ප්‍රමාණ නො කළ හැකි ය. ස්ත්‍රීන් කෙරෙහි ද, දූ පුතුන් කෙරෙහි ද, රන් රිදී, මුතු මැණික් ආදිය කෙරෙහි ද, නැටුම් ගැයුම් ආදිය කෙරෙහි ද, පවත්නා අනේක ප්‍රකාර වූ රතියක් ඇලීමක් - ප්‍රීතියක් වෙයි නම්, ඒ හැම රතියකට වඩා, ඒ හැම ප්‍රීතියකට වඩා ධර්ම රතිය ම - ධර්ම ප්‍රීතිය ම උතුම් වෙයි. එය “සබ්බ රතිං ධම්මරතී ජිනාති” යැ යි වදාළ පරිදි දත යුතු ය. යතාර්ථය පෙන්වන බැවින් ද, එහි සිත් අලවන බැවින් ද, සංසාර වට්ට දුක්ඛය අවසන් කොට නිවන් දැකීමට උපකාර වන බැවින් ද ධර්ම ප්‍රීතිය උතුම් වේ.
මේ පස්සද්ධිය ලැබූ යෝගාවචරයාට යෑම්, සිටීම්, ඉඳීම්, හොවීම්, අතපය හැකිළීම්, දිග හැරීම්, සිතින් මෙනෙහි කිරීම් ආදී හැම කාය චිත්ත ක්‍රියාවක දී ම සුඛ වේදනාවෙන් තොර නො වන බැවින් හැම විට ම සුව සේ විසිය හැකි බව දැනෙන්නේ ය. කාය චිත්ත දාහය සංසිඳෙන්නේ ය. පස්සද්ධිය දියුණු වූ කල්හි භාවනා අරමුණ මෙනෙහි නො කොට වූවත් සන්සුන් බව දැනෙන්නට පටන් ගන්නේ ය. සංස්කාර උපේක්ෂා ඥාන අවස්ථාවේ වැඩි කාල වේලාවක් මේ පස්සද්ධිය ප්‍රකට ව පවතින බව ද දත යුතු ය.
මෙසේ විපස්සනා කමටහන් අරමුණ මෙනෙහි කිරීමේ දී විශේෂ උත්සාහයක් නැති ව ම යෝගාවචරයා ගේ කයේ හා සිතෙහි දැවිල්ලක් හෝ වෙහෙසීමක් නොමැති ව පහළ වී එන සන්සුන් සැප සහිත ගතිය පස්සද්ධි සම්බොජ්ඣංගය යි.
පස්සද්ධි සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වන කරුණු ද සතකි.
එනම්,
1. පණීතභෝජනසේවනතා
2. උතුසුඛසේවනතා
3. ඉරියාපථසුඛසේවනතා
4. මජ්ඣත්තපයෝගතා
5. සාරද්ධකායපුග්ගලපරිවජ්ජනතා
6. පස්සද්ධකායපුග්ගලසේවනතා
7. තදාධිමුත්තතා යනු යි.
එහි පණීත භෝජන සේවනතා යනු රසවත් වූ, මිහිරි සප්පාය භෝජනය අනුභව කිරීම යි.
උතු සුඛ සේවනතා යනු ශීත - උෂ්ණ ගුණයන් අතුරෙන් තමා ගේ ශරීරයට ගැළපෙන - සැපවත් ඍතු ගුණයක් සේවනය කිරීම ය.
ඉරියාපථ සුඛ සේවනතා යනු යෑම ය, සිටීම ය, ඉඳ ගැනීම ය, හොවීම ය යන සතර ඉරියව් වලින් යම් ඉරියව්වක් සුව සේ පැවැත්විය හැකි නම් එම ඉරියව්වෙන් භාවනා කිරීම ය.
මජ්ඣත්ත පයෝගතා යනු තමා ගේ හා මෙරමා ගේ ස්වකීය වස්තුව කුශලාකුශල කර්මය බව සැලකීමෙන් හැම අවස්ථාවක දී ම මැදහත් පැවතුම් ඇති බව ය.
සාරද්ධ කාය පුග්ගල පරිවජ්ජනතා යනු ගල් කැට, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පීඩා කරමින් හැසිරෙන - නො සන්සුන් පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.
පස්සද්ධ කාය පුග්ගල සේවනතා යනු අත පය හික්මවා ගත් සන්සුන් පුද්ගලයන් ඇසුරු කිරීම ය.
තදාධිමුත්තතා යනු පස්සද්ධිය උපදවනු පිණිස එයට නැමුණු සිත් ඇති බව ය.
මෙකී කරුණු වලින් උපදවා ගත් පස්සද්ධිය භාවනාවෙන් ඉහළට ම සම්පුර්ණ වන්නේ රහත් මගින් යැයි දැන ගත යුතු ය.
සමාධි සම්බොජ්ඣංගය
කමටහන් අරමුණ මෙනෙහි කිරීමක් - මෙනෙහි කිරීමක් පාසා මෙනෙහි කරනු ලබන අරමුණෙහි ම සිත පිහිටුවා ගෙන එහි ම සිත ඇලී ගැලී පවත්නා සේ වෙන අරමුණකට සිත නො යන සේ තැන්පත් ව ඇති වන සිතේ ඒකාග්‍රතාවය සමාධිය නම් වේ.
සිතේ තැන්පත් කම දියුණු වූ කල්හි මෙනෙහි කරනු ලබන නාම රූපයන් ගේ ස්වභාව ලක්ෂණ ආදිය සහ ඇති වන, නැති වන අනිත්‍ය ලක්ෂණය ආදී සාමාන්‍ය ලක්ෂණය ද ඇති සැටියෙන් දැන ගත හැකි වන්නේ ය. විදර්ශනා භාවනාව කරන යෝගාවචරයෙක් වෙත ඒ භාවනා කරුණු මෙනෙහි කරන අවස්ථාවෙහි තීක්ෂණ ව පහළ වී එන ඛණික සමාධිය ම සමාධි සම්බොජ්ඣංගය යි.
සමාධි සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු එකොළොසක් ඇත. එනම්,
1. වත්ථුවිසදකිරියතා
2. ඉන්ද්‍රියසමත්තපටිපාදනතා
3. නිමිත්තකුසලතා
4. සමයෙචිත්තස්සපග්ගණ්හනතා
5. සමයෙචිත්තස්සනිග්ගණ්හනතා
6. සමයෙසම්පහංසනතා
7. සමයෙඅජ්ඣුපෙක්ඛණතා
8. අසමාහිතපුග්ගලපරිවජ්ජනතා
9. සමාහිතපුග්ගලසේවනතා
10. ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා
11. තදාධිමුක්තතා යනු යි.
ඒ කරුණු අතුරෙන් වත්ථුවිසදකිරියතා යනු ඉහත දැක් වූ පරිදි අධ්‍යාත්මික බාහිර වස්තූන් පිරිසිදු කර ගැනීම ය.
ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා යනු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් සම බවට පමුණුවා ගැනීම ය. මේ අංග දෙක ම ධම්මවිචය සම්බොජ්ඣංගයෙහි පැහැදිලි කළෙමි.
නිමිත්ත කුසලතා යනු ධ්‍යාන ඉපදවීමට උපකාරී වන කසිණ නිමිති, අසුභ නිමිති ආදිය අරමුණු කොට භාවනා කිරීම ය, එයින් උපදවා ගත් උග්ගහ නිමිති, පටිභාග නිමිති ආරක්ෂා කර ගැනීම ය යන මේවා ගේ පළපුරුද්ද හෝ දක්‍ෂතාවය ඇති කර ගැනීම ය.
සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා යනු යම් කලෙක්හි ඉතා ලිහිල් වූ වීර්යය ආදිය නිසා සිත මැලි වූයේ හෝ හැකිළී ගියේ නම් එකල්හි ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය ද උපදවාලීමෙන් ඒ සිතට රුකුල් දීම යි.
සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා යනු යම් කලෙක්හි වැඩියෙන් ඇරඹූ වීර්යය ඇති බව යන ආදියෙන් සිත උදහස් වූයේ හෝ විසිර ගියේ වේ නම් එකල්හි පස්සද්ධි සම්බොජ්ඣංගය හා සමාධි සම්බොජ්ඣංය ද උපෙක්ඛා සම්බොජ්ඣංගය ද උපදවා ගැනීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීම ය.
සමයෙ සම්පහංසනතා යනු යම් කලෙක්හි සිත, ප්‍රඥාව හා යෙදීමේ අඩු කම නිසා හෝ සන්සුන් බව හා සුවය නො ලැබීම නිසා හෝ ඒ සිත ආස්වාද රහිත වේ නම්, එකල්හි සංවේග වස්තු අට ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් සිත සංවේගයට පමුණුවා ගෙන රත්නත්‍රය පිළිබඳ ගුණ සිහි කිරීමෙන් සිත සතුටු කර ගැනීම ය.
එහි සංවේග වස්තු අට නම් :- ජාතිය ය, ජරාව ය, මරණය ය, සතර අපාය දුකය ය, අතීත වූ සසර දුකය ය, අනාගත සසර දුකය ය, දැන් පවත්නා සසර දුකය ය, ආහාර සෙවීමේ දුකය ය යන මේ කරුණු අට ය.
සමයෙ අජ්ඣුපෙක්ඛණතා යනු යම් කලෙක්හි සම්‍යක් ප්‍රතිපත්තිය කරුණු කොට ගෙන මැලි නො වූයේ හෝ සන්සුන් වූයේ ද, ආස්වාද සහිත ව අරමුණෙහි සම ව පැවති භාවනා චිත්තය සමථ මාර්ගයට පිළිපන්නේ වෙයි ද, එකල්හි යෝගාවචර තෙම චිත්තයට අනුබල දීම ය, නිග්‍රහ කිරීම ය, සිත සතුටු කරවීම ය යන මේ කෘත්‍යයන්හි උත්සාහ නො කොට මධ්‍යස්ථ වීම ය. සම වේගයෙන් ගමන් කරන අශ්වයන් කෙරෙහි සම ව, මධ්‍යස්ථ ව බලන රියදුරෙකු මෙනි.
අසමාහිත පුග්ගල පරිවජ්ජනතා යනු උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය ලබා නො ගත් සිත හික්මවා ගත නො හැකි - නොයෙක් බාහිර අරමුණෙහි දුවන සිත් ඇති පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.
සමාහිත පුග්ගලසේවනතා යනු උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් එකඟ වූ සිත් ඇති උතුමන් සේවනය - භජනය - පයිරුපාසනය කිරීම ය.
ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා යනු ධ්‍යාන, මාර්ග, ඵල ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම ය.
තදාධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි සමාධිය ඉපදවීමට ම නැමුණු සිත් ඇති බව ය.
මෙසේ උපදනා සමාධිය අවසාන වශයෙන් භාවනාවෙන් වැඩි දියුණු වන්නේ රහත් මගින් බව දත යුත්තේ ය.
උපේක්ඛා සම්බොජ්ඣංගය
කමටහන් අරමුණ මෙනෙහි කිරීමේ දී භාවනාව දියුණු වන විට මෙනෙහි කිරීමක් පාසා ම සිතේ සම ව පැවැත්ම ප්‍රකට වන්නේ ය. එය තත්‍රමජ්ඣත්තතාව යි. එය ම උපෙක්ඛා සම්බොජ්ඣංගය නම් ද වේ.
මේ උපේක්ෂාව තමාට ද පහසුවෙන් වටහා ගත නො හැකිය. තේරෙන හැටියට අනුන්ට කියා දීමත් අපහසු ය.
එහෙත් උදයව්‍ය ඥානය ආදී විදර්ශනා ඥානයන් ලබා ගත් යෝගාවචරයා හට මෙය ස්වකීය සන්තානයේ ප්‍රකට ව පහළ වන බැවින් පහසුවෙන් දත හැකි වෙයි.
මේ උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වන කරුණු ද පසක් ඇත්තේ ය.
එනම්,
1. සත්තමජ්ඣත්තතා
2. සඞ්ඛාරමජ්ඣත්තතා
3. සත්තසඞ්ඛාරකේලායනපුග්ගලපරිවජ්ජනතා
4. සත්තසංඛාරමජ්ඣත්තපුග්ගලසේවනතා
5. තදාධිමුත්තතා යනු යි.
එහි සත්ත මජ්ඣත්තතා යනු සත්ත්වයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීම ය. එය වනාහි කර්මය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් හා සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැති බව ප්රත්යවේක්ෂා කිරීමෙන් ද යන ආකාර දෙකින් උපදවා ගත යුතු ය.
සත්ත්වයන් සියල්ලෝ ම කර්මයෙන් ම මෙලොවට අවුත් තමා ගේ කර්මයෙන් ම පරලොව යන්නෙහි ය. එසේ ඇති කල අපි කවරෙකුට ආසාව හෝ ආලය කරන්නෙහි දැ? යි වශයෙන් සියල්ලෝ ම තමන් ගේ කර්මය ස්වකීය වස්තුව කොට ඇති බව ප්රත්යවේක්ෂා කිරීමෙන් මැදහත් බව ඇති වෙයි.
එසේ ම පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් ඇත්තේ ම නැත. එසේ නම් තෝ කවරෙකුට ආසාව හෝ ආලය කරන්නෙහි ද? වශයෙන් සත්ත්වයෙක් නැති බව ප්රත්යවේක්ෂා කිරීමෙන් ද මැදහත් වූ බව ඇති වෙයි.
සඞ්ඛාර මජ්ඣත්තතා යනු අවිඥානික සංස්කාරයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීම ය. එය ද සංස්කාර මධ්‍යස්ථ භාවය හා තාවකාලික භාවය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම ද යන දෙයාකාරයෙන් ඇති විය හැකි ය. මේ මැදහත් බව උපදවා ගැනීම සඞ්ඛාරමජ්ඣත්තතා නම් වේ.
සත්ත සඞ්ඛාර කේලායන පුග්ගල පරිවජ්ජනතා යනු, සත්ත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මමායනය කරමින් ආලය කරන පුද්ගලයන් දුරින් ම දුරු කිරීම ය.
එහි සත්ත කේලායනය - සඞ්ඛාර කේලායනය යි කේලායනය දෙ වැදෑරුම් වේ.
සත්ත කේලායනය නම් :- ගිහියා විසින් තමා ගේ දු පුතුන් කෙරෙහි ආදරය හෝ ආලය කිරීම ය. පැවිද්දා විසින් තමා ගේ අතවැසි ශිෂ්‍යයන් කෙරෙහි ආදරය හෝ ආලය කිරීම ය. මොහොතකු දු තමා ගේ දරුවා හෝ ශිෂ්‍යයා දකින්නට නො ලැබුන හොත් අසවල් දරුවා හෝ ශිෂ්‍යයා කොයි දැ යි තැති ගත් මුවෙකු සේ ඔබ මොබ සොයා බලයි. අනිකෙකු විසිනුත් තමා ගේ දරුවා හෝ ශිෂ්‍යයා කටයුත්තකට යොදවා ගනු දුටු කල්හි එයට අසතුට ප්‍රකාශ කරයි නම් එය සත්තසඞ්ඛාරකේලායන ය යි.
සඞ්ඛාර කේලායනය නම් :- තමා ගේ පා සිවුරු හෝ ඇඳුම් පැළඳුම් කෙරෙහි ආලය කිරීම ය. ඒවා අනුන්ට අල්ලන්නටවත් ඉඩ නො දෙයි නම් තාවකාලික ව පරිහරණයට ඉල්ලුවත් “මේවා අපිවත් පරිහරණය නො කරන්නෙමු. ඔබට කෙසේ දෙන්නෙමු දැ”යි පරිස්සම් කර තබයි නම් ඒ ගතිය යි. එය සංඛාරකේලායනය යි.
සත්ත සංඛාර මජ්ඣත්ත පුග්ගල සේවනතා යනු සත්ත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් උතුමන් ඇසුරු කිරීම ය.
තදාධිමුත්තතා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන හැම විටක දී ම උපෙක්ඛා සම්බොජ්ඣංගය උපදවා ගන්නට ඕනෑ ය යි එයට නැමුණු සිත් ඇති බව ය.
මෙසේ උපදවා ගන්නා ලද උපෙක්ඛා සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණ වීම යම් ආර්ය මාර්ගයකින් සිදු වෙයි නම් ඒ අරිහත් මාර්ගය බව ද යෝගාවචරයා විසින් දත යුත්තේ ය.
මෙසේ විස්තර කළ බොජ්ඣංග ධර්මයෝ ඇති සැටියෙන් දැන ගැනීම කළ යුතු ය. මේවා සත්ත්ව පුද්ගල භාවයෙන් මමායනය නො කර ඇති වන ධර්මතා ශීර්ෂයෙන් ම දත යුත්තේ ය.
ඒවා ගේ ඇති වීම ඒ ධර්මයන් ගේ හට ගැනීම වශයෙන් දත යුත්තේ ය. “සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගෝති පජානාති” යනුවෙන් වදාළේ ඒ සඳහා ය. නැති අවස්ථාවන්හි දී ඒ ධර්මයන් ගේ පහළ වී නැති බව සලකා ගත යුතු ය. “අසන්තං වා අජ්ඣත්තං සති සම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගෝති පජානාති” යනුවෙන් වදාළේ ඒ සඳහා ය.
“යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හෝති තඤ්ච පජානාති” යන ආදිය වදාළේ ඒවා ඇති වීමට බලපාන හේතු දැන ගැනීම සඳහා ය.
මේ සියලු ධර්මයන් හේතූන් ගේ සමවායෙන් මිසක් සත්ත්වයා ගේ ආනුභාවයෙන් පහළ නො වන්නේ ය. එසේ සත්ත්වයා ගේ ආනුභාවයෙන් ඒවා පහළ වන්නේ නම් මේ තරම් ධර්ම කරුණු ඉගෙනීමෙන් ඵලක් නැත. ‘මා හට ධම්මවිචය සම්බොජ්ඣංගය පහළ වේවා’ යැයි ප්‍රාර්ථනා කිරීමෙන් ම එය ලද හැකි ය. නමුත් එය එසේ කළ හැකි නොවේ. ඒ මේ සත්ත්ව සන්තානය යැයි සම්මුතියේ සලකන ස්කන්ධයන් ගේ හේතූන්ට අනුරූපී නාම රූප පැවැත්මක් විනා සත්ත්ව පුද්ගල භාවයක් පැනවිය නො හැකි බැවිනි.
“යථා ව උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හෝති තඤ්ච පජානාති” යන ආදී වශයෙන් දැන ගැනීම යනු මේ බෝධ්‍යාංග ධර්ම වැඩීම අරිහත් මාර්ගයෙන් සම්පූර්ණ වන්නේ ය යැයි කී පරිදි රහත් වූවාට පසු භාගයේ දී ම ප්‍රත්‍යවේක්ෂා ඥානයන් පහළ වීමෙන් සම්පූර්ණ වන බව ප්‍රකාශ කිරීමට ය.
“ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති.
අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.”
පෙර කර්මස්ථාන වල මෙන් ම මෙසේ යෝගාවචරයා තමා තුළ පවත්නා බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි ද සත්ව පුද්ගල ශූන්‍ය ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. අනුන් තුළ පවත්නා බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි ද ඒ ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. ඇතැම් විට තමා තුළ පවත්නා බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි ද ඇතැම් විට අනුන් තුළ පවත්නා බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි ද ඒ ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි.
බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම අනුව බලමින් වාසය කරයි. බෝධ්‍යාංග ධර්මයන් නැති ව යාමේ ප්‍රත්‍යය හා නැති වීම අනුව බලමින් වාසය කරයි. බෝධ්‍යාංග ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්‍යය හා ඉපදීම ද නැති ව යාමේ ප්‍රත්‍යය හා නැති වීම ද අනුව බලමින් වාසය කරයි.
සත්ත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මයෝ ම විද්‍යාමාන ව ඇතැ යි ඒ යෝගී පුද්ගලයා හට සිහිය එළඹ සිටියා වෙයි. ඒ සිහිය පිළිවෙළින් විදර්ශනා ඥානය වැඩි දියුණු වීම පිණිස වෙයි.
එයින් යෝගාවචරයා වෙත සිහිය එළඹෙන්නේ වැඩි දියුණු වූ සිහිය හා ඥානය ඇති ඒ යෝගී පුද්ගල තෙම තණ්හා දිට්ඨි දෙක ඇසුරු නො කොට අනිශ්‍රිත ව වාසය කරයි.
එහෙයින් උපාදාන ස්කන්ධය නැමැති ලෝකයෙහි රූප, වේදනා ආදී කිසිදු ස්කන්ධයක් මම ය මාගේ ය යැයි තණ්හා දිට්ඨි දෙකින් තදින් නො ගනී. උපාදාන විරහිත වන්නේ සංසාර වට්ටයෙන් මිදෙයි.
බොජ්ඣංග භාවනාවෙන් රහත් බව දක්වා වූ
කර්මස්ථාන වර්ණනාව මෙතැකින් අවසන් වන්නේ ය.