Sujatha Puthra Meditation Center
Your Membership ID
16. ආයතන භාවනාවෙන් නිවනට
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් සෑම ආකාරයකින් ම ස්කන්ධයන් ගැන ඛන්ධ පබ්බයෙන් දේශනා කොට, ආයතන ක්‍රියාවලිය හරි හැටි තේරුම් නො ගෙන එහි සත්ත්ව පුද්ගල භාවයක් පනවා ගන්නා සත්ත්වයන් යැයි සම්මත මේ ස්කන්ධයන් ගේ ම ක්‍රියාවලියේ ඒ පිළිබඳ ව ඇති වැරදි දෘෂ්ඨිය නිවාරණය පිණිස ආයතන පබ්බය දක්වනු ලැබී ය.
එහි පාලිය මෙසේ ය.
“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්සසංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
සොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති. යථා ච - පෙ - තඤ්ච පජානාති. ඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, - පෙ - ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති - පෙ - කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, - පෙ - මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යථා ච - පෙ - අනුප්පාදො හොති තඤ්ච පජානාති.”
එහි විස්තරය මෙසේ ය.
මෙම පාලි පාඨයේ දැක්වෙන සියලු ආයතන දොළොසකි. එහි අභ්‍යන්තර ආයතන සයකි. බාහිර ආයතන සයකි. යෝගාවචරයා විසින් මේ ආයතන දොළොස පළමු ව දත යුතු ය.
එමෙන් ම මේ ආයතනයන් හේතුවෙන් හට ගන්නා සසර බැඳ තබන සංයෝජන ධර්මයන් ද දත යුතු ය.
යම් සංයෝජනයක් සත්ත්ව සන්තානය තුළ නො වන්නේ නම්, ඒවා උපදින ආකාරය ද දත යුතු ය. යම් සංයෝජනයක් සත්ත්වයා තුළ හට ගන්නේ වේ ද, ඒවා ප්‍රහාණය වන ආකාරය ගැන ද දත යුතු ය. යම් සංයෝජනයක් එසේ ප්‍රහාණය වන්නේ ඒවා නැවත නූපදින තැන ගැන ද දත යුතු ය.
මේ එහි සාමාන්‍ය අර්ථය යි. විස්තරය පහත දක්වා ඇති පරිදි දත යුතු ය.
ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන අභ්‍යන්තර ආයතන වේ. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම යන ඒවා බාහිර ආයතන වේ.
මේ ඇස ආදී දේවල් ඉහත ඛන්ධ පබ්බයේ දී විවරණය කළ චක්ෂු, රූපාදී ධර්මතා ම වේ. කිසිදු වෙනසක් නැත. එනිසා මේ ආයතන හඳුනා ගැනීම ඛන්ධ පබ්බයේ දී විස්තර කොට දැක් වූ පරිදි දත යුතු ය.
මේවා ඇති සැටියෙන් නො දන්නා පෘතග්ජනයා මේවා ස්කන්ධ පබ්බයේ ඇති ආකාරයට විදර්ශනා නො කළ හොත් ඒ ස්කන්ධ ක්‍රියාවලියට යට වේ. ඉන් පසු සිද්ධ වෙන ක්‍රියාවලිය ආයතන පබ්බයේ දී විස්තර කොට දක්වා ඇත. එයින් හෝ මේ සසරට සත්ත්වයා ව බැඳ තබන සංයෝජන බැමි ලිහා ගත යුතු ය.
මහා කාරුණිකයන් වහන්සේ නම් පුදුම ය. ස්කන්ධ ධර්මයන් පිළිබඳ ව ද අඩු නැති ව දේශනා කළ සේක. එයින් අවබෝධ නො වන්නා හට ඒවා ගේ ක්‍රියාවලියෙන් ඇති වන සංයෝජනයන් ගැන ද දේශනා කොට වදාළ සේක. යමෙක් ස්කන්ධයන් ගෙන් හෝ මෙය අවබෝධ කරන්නේ නම් එය යෙහෙකි. නමුත් යමෙක් එයින් පමණක් අවබෝධ නො කරන්නේ නම්, හෙතෙම මේ ආයතන පබ්බයට පැමිණ හෝ කාරණාව ඇති සැටියෙන් අවබෝධ කරයි. ඒ බව දත් මහා කාරුණිකයන් වහන්සේ විසින් ධම්මානුපස්සනාවට පැමිණ ආයතන භාවනාව ද දේශනා කොට විවරණය කරන ලදී.
මෙතැන දී උපදින සංයෝජන ධර්ම දහයකි. ඒ මෙසේ ය.
1. අභ්‍යන්තර - බාහිර කාම වස්තූන් ගැන ආසා කිරීම කාමරාග සංයෝජනය යි.
2. කාම - රූප - අරූප භවයන් ගැන ආසා කිරීම භවරාග සංයෝජනය යි.
3. ද්වේෂය, ක්‍රෝධය, බද්ධ වෛරය, තරහය යන මෙය පටිඝ සංයෝජනය යි.
4. තමා ම උතුමෙකැ යි හෝ උසස් ය යි සිතා උඩඟු වීම මාන සංයෝජනය යි.
5. ශරීරය තුළ නිතර පවත්නා ආත්ම සාරයක් හෝ මම ය යි කිව යුත්තෙක් ඇතැ යි දන්නා වැරදි හැඟීම දිට්ඨි සංයෝජනය යි.
6. බුද්ධාදී ඒකාන්ත සත්‍ය කරුණු විනිශ්චය කර ගත නො හැකිව සැක කිරීම විචිකිච්ඡා සංයෝජනය යි.
7. ගව - බලු ආදීන් සේ හැසිරීමෙන් සසර දුකින් එතෙර විය හැකි ය යි ගන්නා වැරදි මතය සීලබ්බතපරාමාස සංයෝජනය යි.
8. අනුන් තමාට වඩා සුවපත් ව සිටිනු අසන්නට, දකින්නට ලැබීම නුරුස්නා බව ඉස්සා සංයෝජනය යි.
9. තමා සතු සම්පත් හෝ ගුණය අනුන්ට නො ලැබේවා! යි සිතන මසුරු කම මච්ඡරිය සංයෝජනය යි.
10. නාම රූපයන් ගේ ස්වභාව ලක්ෂණය නො දැනීම හෝ එය වරදවා සිතා ගැනීම අවිජ්ජා සංයෝජනය යි. මේ අවිද්‍යාව, කාමරාගය ආදී සංයෝජන නවය හා සමඟ ද නිතර එකට යෙදී පවතින්නේ යැ යි ද දත යුතු ය.
මේ සංයෝජන දහයෙන් බැඳී සිටින තැනැත්තා පරණ භවයෙන් චුත වූ වහා ම අලුත් භවයක පිළිසිඳ ගන්නේ ය. මෙසේ භවයෙන් භවය වෙන් විය නො දී සත්ත්වයා භවයෙහි බැඳ තබන මේ කාමරාගය ආදී කෙලෙස් බැමි සංයෝජන නම් වේ.
එහි විස්තරය මෙසේ දත යුතු ය.
රූප දක්නා කල්හි ඇසෙහි පවත්නා සියුම් ඔපය චක්ඛුඃ ප්‍රසාදය නම් වන බව ඉහත කර්මස්ථාන විවරණ වල දී ලියා දැක්වූයේ ය. එය ම චක්ඛායතන - චක්ඛු ධාතු නමින් ද හැඳින් වේ. එයින් දකිනු ලබන්නේ වර්ණ රූපය යි. එයට රූපායතන යැයි ද, රූප ධාතු යැයි ද කියනු ලැබේ.
මේ දැකීම සිදු කරන සිත් රැස මනායතනය නමින් හැඳින් වේ. එයිනුත් දැකීම් මාත්‍රය සිදු කරන්නේ චක්ඛු විඥාන ධාතුව යි. චක්ඛු විඥානයට පූර්ව භාගයෙහි මේ කුමක් දැ යි කල්පනා කරන්නාක් මෙන් උපදනා ආවර්ජන සිත සහ චක්ඛු විඥානයට අනතුරුව එම චක්ඛු විඥානයෙන් දක්නා ලද අරමුණ පිළිගන්නා ආකාරයෙන් උපදනා සම්පටිච්ඡන සිත ද යන මේ දෙ සිත මනෝ ධාතු නම් වේ.
සිත විසින් දැන ගනු ලැබූ අරමුණ විමසන සුලු සන්තීරණ සිත ද, දකිනු ලැබුවේ හොඳ හෝ නරක අරමුණක් යැයි නියම වශයෙන් විනිශ්චය කරන වොත්ථපන සිත ද, අරමුණු රසය කරා වේගයෙන් දුවන්නා සේ පවත්නා ජවන් සිත් ද, ජවනය අනුව ගොස් ඒ අරමුණ සියුම් ලෙස ගන්නා තදාරම්මණ සිත ද යන මෙකී සිත් රැස මනෝ විඥාන ධාතු නම් වේ.
ප්‍රසාද වල පහළ වන සිත බැගින් තිබේ. චක්ෂුඃ ප්‍රසාදයේ චක්ඛු විඥානය ය. ශෝත්‍ර ප්‍රසාදයේ ශෝත්‍ර විඥානය ද වශයෙන් සෙසු ප්‍රසාද රූප වලත් ඒ ඒ සිත බැගින් ඇති වේ. ඒ හැර සෙසු සියලු ම සිත් හෘදය වස්තු රූපය ඇසුරු කර ගෙන හට ගන්නා අතර ඒ ද මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු වශයෙන් කොටස් දෙකකින් යුක්ත ය. ඒ කොටස් දෙක ඉහත දැක් වූ විස්තරයෙන් දත යුතු ය. එකී සිත් ගැන වැඩි විස්තර උගත හැක්කේ මෙවැන් භාවනා පොතකින් නොව, අභිධර්ම පොත් පත් වලින් බව දත යුතු ය. මෙවැන් පොතකින් උගත යුත්තේ ඒවා භාවනාවට යොදා ගන්නේ කෙසේ ද? යන්න යි.
අරමුණේ හැපෙන ඵස්සය ද අරමුණු රසය භුක්ති විඳින වේදනාව ද, අරමුණ හැඳින ගන්නා සංඥාව ද, මෙහෙයවන චේතනාව ද අරමුණෙහි සිත අලවන ලෝභය ද සිත දූෂ්‍ය කරවන ද්වේෂය ද, යහපත් අරමුණෙහි සිත පහදවන ශ්‍රද්ධාව ද යන මේ ආදී චෛතසික සමූහය ධම්මායතන නම් වේ. එය ම ධම්ම ධාතු නම් ද වේ. මේවා ගේ විස්තර ඉහත කර්මස්ථාන වල දී ඇති තරම් ලියා දක්වා ඇති බැවින් ග්‍රන්ථය පිළිවෙලින් කියවා ඒවා අවබෝධ කර ගත යුතු ය.
අරමුණට නැඹුරු ව පවත්නා බැවින් චිත්ත චෛතසික සමූහය නාම නම් වේ. චක්ෂු ප්‍රසාදය සහ දකිනු ලබන රූපය ද ශීත - උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් ගෙන් විකාරයට පත් වන බැවින් රූප නම් වේ.
දකින වාරයක් පාසා එහි ක්‍රියාකාරීත්වය සහ හැසිරීම නිවැරදි ව මෙනෙහි කරන යෝගී තෙම ඒ අවස්ථාවෙහි ප්‍රකට ව පවත්නා මෙකී ආයතන, ධාතු , නාම රූප යන මොවුන් පවතින යතාර්ථ පරිද්දෙන් ම දැන ගන්නේ ය.
මෙහි සෙසු විස්තර වල ද වෙනසක් නැත්තේ ය.
ශබ්ද ඇසෙන කල්හි කනෙහි ඇත්තේ ශෝත්‍ර ප්‍රසාද රූපය යි. එය සෝතායතන - සෝත ධාතු යන නම් ඇති රූප ධර්මයකි. ඇසෙන ශබ්දය ද රූප ධර්මයක් ම වේ.
ගඳ හෝ සුවඳ දැනෙන කල්හි නාසයෙහි පවතින්නේ ඝාණ ප්‍රසාද රූපය යි. එය ඝාණායතන - ඝාණ ධාතු යන මේ නම් ඇති රූප ධර්මයකි. ගඳ හෝ සුවඳ ද ගන්ධායතන - ගන්ධ ධාතු නම් වූ රූප ධර්මයකි.
මේ ආකාරයෙන් ඉහත දැක් වූ කරුණු උපයෝගී කර ගෙන රස, ස්පර්ශ, ධම්ම යන ආරම්මණයන් ගේ දැනීම ගැන කල්පනා කළ යුතු ය.
මෙසේ දැන ගත් යෝගාවචරයා විසින් ශබ්දයක් ඇසෙන කල්හි එම ක්‍රියාකාරීත්වය මෙනෙහි කළ යුතු ය. එසේ ම දුර්ගන්ධයක් දැනෙන විට, දිවට මිහිරි රසයක් දැනෙන විට, ස්පර්ශයක් දැනෙන විට ඒ යතාර්ථවාදී ක්‍රියාවලිය මෙනෙහි කළ යුතු ය.
මෙසේ මෙනෙහි කරන යෝගී පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ දී ප්‍රකට වන ආයතන, ධාතු, නාම රූප යන මෙකී සියලු ම ස්වභාව ධර්මයන් ගේ ඒ සත්ත්ව පුද්ගල ශූන්‍ය ක්‍රියාවලිය ඇති පරිද්දෙන් ම දැන ගන්නේ ය.
සිතින් අරමුණු සිතන කල්හි අරමුණු ගන්නා ස්වභාවය වූ සිත් රැස මනායතන - මනෝ විඥාන ධාතුව ලෙස හඳුන්වයි.
මෙය විදර්ශනාවේ අරමුණු දක්වන ස්ථානයක් වූ බැවින් මෙතැන්හි ගත යුත්තේ ලෞකික ධම්මායතන ධම්ම ධාතු කොටස පමණ යි.
සිත අරමුණේ හැපෙන ඵස්ස ය, අරමුණු රසය විඳින වේදනාව ය, අරමුණු හඳුනන සඤ්ඤාව ය, සිත ඇතුළු අනික් චෛතසිකයන් මෙහෙයවන චේතනාව ය. සිත එකඟ කරවන ඒකග්ගතාව ය. තමා හා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන් ජීවත් කරවන ජීවිතීන්ද්‍රිය ය, අරමුණු මෙනෙහි කරන මනසිකාරය යන මේ සියල්ල සබ්බ චිත්ත සාධාරණ චෛතසික ය.
සිත අරමුණට නංවන විතක්ක ය, සිත අරමුණෙහි ඔබා තබන විචාර ය, අරමුණු විනිශ්චය කරන අධිමොක්ඛ ය, වීර්යය භාවය සිදු කරන වීරිය ය, පිනවන ප්‍රීති ය, කළ යුත්ත කිරීමෙහි කැමති ඡන්දය ය යන මේවා ප්‍රකීර්ණක චෛතසික නම් වේ.
නො දන්නා ගතිය වූ මෝහ ය, දුසිරිතෙහි පිළිකුල් නො කරන අහිරික ය, දුසිරිතෙහි භය නො වන අනොත්තප්ප ය, සිත චංචල කරන උද්ධච්චය, අරමුණෙහි ඇලුම් කරන ලෝභය, වැරදි දෘෂ්ඨිය වූ දිට්ඨිය, උඩඟු ගතිය වූ මාන ය, සිතෙහි සැඩ පරුෂ ගතිය වූ දෝස ය, අනුන් ගේ සම්පත් නො රුස්සන ඉරිසියාව ය, තමා ගේ සම්පත් සඟවන මසුරු ගතිය වූ මච්ඡරිය ය, කළ නො කළ දුසිරිත් සුසිරිත් වෙනුවෙන් පසුතැවෙන කුක්කුච්ච ය, සිත කුසලයෙහි මැලි කරවන ථීන ය, චෛතසිකයන් කුසලයෙහි මැලි කරවන මිද්ධ ය, සැක නො කළ යුතු අරමුණෙහි සැක කරවන විචිකිච්ඡාවය යන මේවා අකුසල චෛතසිකයන් ය.
මෙසේ ම කුසල චෛතසික වන යහපත් අරමුණෙහි සිත පහදවන සද්ධාව ය, යතාර්ථය සිහිපත් කර වන සති ය, දුසිරිතෙහි පිළිකුල් කරවන හිරි ය, දුසිරිතෙහි තැති ගන්වන ඔතප්පය ය, අරමුණෙහි ආශා නො කරන අලෝභ ය, සිත සෞම්‍ය කරවන මෛත්‍රිය වූ අදෝස ය, තමා හා එකට යෙදෙන ස්වභාව ධර්මයන් මධ්‍යස්ථ කරවන තත්‍රමජ්ඣත්තතාව ය, චෛතසිකයන් ගේ දැවිල්ල සංසිඳුවන කායපස්සද්ධි ය, සිතේ දැවිල්ල සංසිඳුවන චිත්තපසද්ධි ය, චෛතසිකයන් සැහැල්ලු කරවන කායලහුතාව ය, සිත සැහැල්ලු කරවන චිත්තලහුතාව ය, චෛතසිකයන් මෘදු කරවන කායමුදුතාව ය, සිත මෘදු කරවන චිත්තමුදුතාව ය, චෛතසිකයන් යහපත් කර්මයට යෝග්‍ය කරවන කායකම්මඤ්ඤතාව ය, සිත යහපත් කර්මයට සුදුසු කරවන චිත්තකම්මඤ්ඤතාව ය, චෛතසිකයන් ප්‍රගුණ කරවන කායපාගුඤ්ඤතාව ය, සිත ප්‍රගුණ කරවන චිත්තපාගුඤ්ඤතාව ය, වාක් දුශ්චරිත සතරින් වළක්වන සම්මා වාචාව ය, කාය දුශ්චරිත තුනෙන් වළක්වන සම්මා කම්මන්ත ය, මිථ්‍යා ආජීවයෙන් වළක්වන සම්මා ආජීව ය, දුකට පැමිණි අනන්ත සත්ත්වයන් ගැන ළය කකියවන කරුණාව ය, සුවපත් නොයෙක් සත්ත්වයන් ගැන සතුටු වන මුදිතාව ය, මෝහාන්ධකාරය දුරු කරමින් සිතේ හට ගන්නා ආලෝකයක් වැනි වූ ප්‍රඥාව ය, යන මේ චෛතසික සමූහය ධම්මායතන - ධම්ම ධාතු නම් වූ නාම ධර්ම රැසක් බව මනා ව දැන ඒ සත්ත්ව පුද්ගල ශූන්‍ය ක්‍රියාවලිය කල්පනා කරන්නේ ම වේ.
සිත ඇසුරු කරන - සිතේ වාසස්ථානය වන හදය රූප ය, ගැහැණු බව වූ ස්ත්‍රී භාව රූප ය, පිරිමි බව වූ පුරිස භාව රූප ය යන මේ ආදී සුඛුම රූප සහ ප්‍රසාද රූප ද ධම්මායතන - ධම්ම ධාතු නම් වූ රූප ධර්ම රැසකි.
එහෙයින් ඒවා ගැන සිතන කල්හි ද එහි සත්ත්ව පුද්ගල ශූන්‍ය බව ද, හේතූන්ට අනුව හට ගෙන හේතු නැති වන කල නිරුද්ධ වන ක්‍රියාකාරීත්වය මෙනෙහි කරන යෝගී පුද්ගලයාට එකෙණෙහි සිතට ඉතා ප්‍රකට ව සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය වැටහෙන්නේ ය.
මේ සත්ත්ව පුද්ගල ශූන්‍ය ක්‍රියාකාරීත්වය විස්තර සහිත ව තේරුම් ගැනීමට රුචි යෝගාවචරයන් විසින් අප මතු සම්පාදනය කරන ශුෂ්ක විපස්සනා භාවනා ග්‍රන්ථ වන (1) කෙලෙස් තවන්නා ගේ අංග, (2) නාම රූප පරිච්ජේද ඥානය, (3) පටිච්චසමුප්පාද විස්තරය, (4) සම්මර්ශන ඥානය, (5) විදර්ශනා ඥාන නැමැති ග්‍රන්ථයන් පරිහරණය කළ යුතු ය.
දැකීම් - ඇසීම් ආදිය සිදු කරන කල්හි ඉහත සඳහන් කළ චක්ඛායතන, රූපායතන ආදී ආයතනයන් එකී යතාර්ථවාදී න්‍යායෙන් ඔබ්බට ගොස් සත්ත්ව පුද්ගල භාවයෙන් මෙනෙහි කළ හොත් මෙකී ආයතනයන් ගේ ඇති සැටිය නො දත හැකි ය. එහෙයින් ඒ පුද්ගලයා හට එම ආයතන සංයෝගයෙන් ඉහත කී සංයෝජන දහය ඇති වන්නේ ය.
මේ කරුණු සියල්ල ධාරණය කොට ගෙන මේ විදර්ශනාව වැඩිය යුත්තේ ය.
මේ විස්තරය සමඟ ආයතන පබ්බයේ
කර්මස්ථාන විවරණය අවසන් වන්නේ ය.