Sujatha Puthra Meditation Center
Your Membership ID
පෙරවදන..
මිණිපුර අමා ශාන්ති තපෝවනයේ ගරු සේනාසනාධිපති,
ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී,
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, පණ්ඩිත තපෝවනයේ රතන නායක ස්වාමීන් වහන්සේ විසින් ලියූ පෙරවදන.
පෙරවදන
පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ යනු මෑත කාලයේ මේ ලක් දෙරණේ පහළ වූ ධර්ම දේශක ස්වාමීන් වහන්සේලා අතර සුවිශේෂී ම ධර්ම දේශක භික්ෂූන් වහන්සේ නමකි. ධර්මයේ ඇති ඉතා ම සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම දේශනා කෞෂල්‍යයක් හිමි උන්වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් රචනා වීම බොදු ජනතාව ගේ භාග්‍යය කි.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ පහළ වීමෙන් බොහෝ කලකට පසු ව ලොව පහළ වූ, අප ගේ බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය ධර්මය, පටිච්ච සමුප්පාද ධර්මය, පට්ඨාන ධර්මය වැනි ධර්මතා දේශනා කරමින් හේතු ඵල ධර්මයන් ගේ ක්‍රියාකාරීත්වය සිදු වන ආකාරය නැවතත් ලොවට විවර කර දුන් සේක. නුවණැති පුණ්‍යවන්තයින්ට සසර දුක් නසන්නට මග විවර කර දුන් සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ මේ කාලයේ ත්‍රිහේතුක හේතු සම්පත් ඇති පින්වතුන් විසින් ඒ තථාගත මාර්ගය වඩා මේ ජීවිතයේ දී ම සතර මග, සතර ඵලයන්ට පත් විය යුතු ය. ආර්ය භූමියට පය තැබිය යුතු ය. හේතු සම්පත් දුර්වල ත්‍රිහේතුකයන් සහ ද්විහේතුක, අහේතුක සුගති ලාභීන් ඉක්මන් භවයක දී ම සසර දුක් නසන්නට මේ මාර්ගය ම වැඩිය යුතු ය. එම වඩන මාර්ගය සැබෑ නිවැරදි මාර්ගයක් ම විය යුතු බව ඉතා වැදගත් කරුණකි. හේතු සම්පත් ඇති අයට වූවත් වැරදි මාර්ගයේ ගමන් කළ හොත් ප්‍රතිඵල නො ලැබී යයි.
ලෝකයේ කුමන තැනකින් මහ මුහුදට බැස ගත්ත ද මුහුදු වතුරේ රසය ලුණු රස ම වන්නා සේ කුමන භාවනා කර්මස්ථානයකින් විදර්ශනා භාවනාව සඳහා යොමු වූවත්, යා යුත්තේ එක ම මාර්ගයක ය. හමු වන්නේ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීය, නීවරණ, චතුරාර්ය සත්‍යය ආදී එක ම ධර්මතා සමුදාය කි. අවබෝධ කර ගත යුත්තේ චතුරාර්ය සත්‍යය, පට ිච්ච සමුප්පාද ධර්මය, පට්ඨාන ධර්මයන්ට අදාළ හේතු ඵල ධර්මයන් ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා වැඩ පිළිවෙලකි. ඒ සඳහා වැඩිය යුත්තේ බෝධිපාක්ෂික ධර්ම තිස්හත ය. ඒ සඳහා ඇති එක ම මාර්ගය මහා සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ලොවට අඩුවක් නැති ව විවර කර දුන් සේක.
ඒ මාර්ගය නිවැරදි ව වැඩුව හොත් මෙකල ද මග ඵල ලාභීන් බිහි වේ. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් ම මහා පරිනිබ්බාන සූත්‍රයේ දී දේශනා කළ සේක.
ඒ මාර්ගය නිවැරදි ව දැන ගන්නට නිවැරදි ගුරු උපදේශයක් යනු ඉතා ම අත්‍යවශ්‍ය කරුණකි. මෙම ග්‍රන්ථ රත්නය රචනා කළ විචිත්‍ර ධර්ම කථික, අභිධර්මය පිළිබඳ ව සියුම් කියවීමක් ඇති, අභිධර්ම විශාර ද, ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්ය, කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ මෙකල වසන ජනතාවට එවැනි නිවැරදි ගුරූපදේශයන් ලබා දෙන දුර්ලභ කර්මස්ථාන ආචාර්යවරයෙකි. විකෘති මත පටිභාහනය කරමින්, සෑම අවශ්‍යය තැනක දී ම තථාගත ධර්මය ලොවට ඉස්මතු කරන උන්වහන්සේ සම්බුදු සසුනේ උන්නතියට මහා කැපවීමක් කරන ස්වාමීන් වහන්සේ නමකි. එවන් ධර්ම සම්පත්තියකින් යුතු උන්වහන්සේ විසින් මෙවැනි භාවනා කර්මස්ථාන ග්‍රන්ථ රත්නයක් රචනා කර සමාජයට දායාද කිරීම පිළිබඳ ව අපි උන්වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා පූර්වක වන්නෙමු.
මෙවැනි විදර්ශනා භාවනා කරුණු ඇතුළත් ග්‍රන්ථයක් රචනා කිරීම පහසු කටයුත්තක් නො වන බව ධර්මය දන්නා කා හටත් මැනවින් වැටහෙන කාරණයකි. නමුත් කර්මස්ථාන විසිඑකක්, නිර්වාණය තෙක් ම විස්තර කොට, මෙවැනි දුර්ලභ ග්‍රන්ථයක් දින හතරක් වැනි කෙටි කාලයක් ඇතුළත කිසි ම කරුණක් අත් නො හැර රචනා කිරීමෙන් ම ධර්ම දේශනාවට උන්වහන්සේ සතු ව ඇති අද්විතීය දේශනා කෞෂල්‍යය මෙන් ම රචනාවට ඇති රචනා කෞෂල්‍යයත් මනා ව පිළිබිඹු කර ඇත. එයින් ම උන්වහන්සේ ගේ භාවනා භාවිතාව, ධර්මය පිළිබඳ දැනුම සහ එයින් ලබා ඇති ජීවිතාවබෝධය ද ප්‍රකට වෙයි.
වසර ගණනක් ම වන ලැහැබක භාවනානුයෝගී ව වැඩ සිට, එතැනින් නික්ම සමාජයට පැමිණ විදර්ශනා භාවනාවන් මෙන් ම වෙනත් සියලු ම භාවනාවන් ගැන කර්මස්ථාන දේශනා පවත්වමින් යන අතරතුර, සම්බුදු සසුනේ අනාගතය ගැන තවත් සිතමින් රචනා කර ඇති මේ මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය නැමැති ග්‍රන්ථය නිවන් දකිනු රිසි සෑම බෞද්ධයෙක් විසින් ම නිතර පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් බව අප ගේ කියවීම යි.
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඇතුළත් කමටහන් සියල්ල ම මැනවින් විස්තර කර ඇති මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීමෙන් ශාසනික වශයෙන් මාහැඟි කර්තව්‍යයක් සිදු කළ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට තවත් ධර්ම දේශනා කරමින්, මෙවැනි අමිල ග්‍රන්ථ රචනා කරමින් චිරාත් කාලයක් සම්බුදු සසුන බබළවන්නට නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ම ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.
මෙයට,
සාසන ලැදි,
තපෝවනයේ රතන නායක ස්වාමීන් වහන්සේ.
(ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී,
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක, පණ්ඩිත)
මිණිපුර අමා ශාන්ති තපෝවනය.
පැල්වාඩිය, රත්නපුර.
2023 - 05 - 23 වන දින.