top of page

15. ස්කන්ධ භාවනාවෙන් නිවනට

මෙහි දෙවනුව දේශනා කළ ඛන්ධ පබ්බය උපාදාන ස්කන්ධ පස අරඹයා දේශනා කොට වදාළ සේක.


එහි පාලිය මෙසේ ය.


“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු? ඉධ භික්ඛවෙ භික්ඛු ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති.


ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති . එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු.”


එහි විස්තරය මෙසේ ය.


එහි රූප උපාදාන ස්කන්ධ, වේදනා උපාදාන ස්කන්ධ, සංඥා උපාදාන ස්කන්ධ, සංස්කාර උපාදාන ස්කන්ධ, විඥාන උපාදාන ස්කන්ධ වශයෙන් උපාදාන ස්කන්ධ පසකි.


ලෝකයා සත්ත්වයා යැයි ව්‍යවහාර කරන්නේ මේ උපාදාන ස්කන්ධ පසෙහි ක්‍රියාකාරීත්වයට ය. එම ස්කන්ධයන් පිළිබඳ වෙන් වෙන් නුවණ නැත්තේ, එම පස ම එකක් කොට සලකා එහි මුලා වෙති. එයින් මිදෙනු පිණිස එය විදර්ශනා කිරීමට භාග්‍යවතුන් වහන්සේ විසින් ඛන්ධ පබ්බය දේශනා කොට වදාළ සේක.


මෙහි එක් එක් තැනක දී (1) රූපය කුමක් ද? (2) රූපය හට ගන්නා ප්‍රත්‍යය මොනවා ද? සහ එහි හට ගන්නා ආකාරය, (3) එහි නැති වීම යන කරුණු තුන බැගින් දක්වා ඇත. “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො” යන පද තුනෙන් දැක්වූයේ එය ය.


වේදනා, සංඥා, සංස්කාර සහ විඥාන ආදියේ ද එසේ ම කල්පනා කළ යුතු ය.


එහි විස්තර මෙසේ දත යුතු ය.


ශීත - උෂ්ණාදී විරුද්ධ ප්‍ර‍ත්‍යය නිසා විපරීත භාවයට පැමිණෙන යම් පමණ ධර්‍ම සමූහයක් වේ නම් ඒ සියල්ල එක් කොට රූප ස්කන්‍ධය යි දත යුතු යි. (විරුද්ධ ධර්‍මයන් නිසා විකාර වීම් අරූප ධර්‍මයන්හි ද ඇතත්, ප්‍ර‍කට ව විපරීත වීමක් එහි නැති හෙයින් ඒවා රූප විෂයෙහි නො ගැනේ.) එහෙයින් “රුප්පතිති බො භික්ඛු තස්මා රූපන්ති වුච්චති” යැයි වදාළ සේක.


බ්‍ර‍හ්ම ලෝකයෙහි ශීත - උෂ්ණාදී විරුද්ධ ප්‍ර‍ත්‍යය නැත ද අනුග්‍රාහක වන ශීතෝෂ්ණාදිය ඇති බැවින් එහි ද රුප්පන භාවය ඇති හෙයින් රූප යන්නෙන් ම ව්‍යවහාර වේ. මෙසේ රුප්පන ලක්‍ෂණයෙන් සියලු‍ රූපය එකක් වූව ද, රූපය ප්‍රධාන වශයෙන් මහා භූත රූප සහ උපාදාය රූප වශයෙන් ද්විවිධ වේ.


එහි පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන ප්‍රධාන රූප සතර මහා භූත රූප නම් වේ.


පඨවි ධාතුව ආපෝ ධාතුවෙන් සංගෘහිත ව, තේජෝ ධාතුවෙන් පාලනය කරන ලදු ව, වායෝ ධාතුවෙන් පුරන ලදු ව පවතී. මෙසේ පඨවි ධාතුව සෙසු භූතත්‍ර‍ය ආසන්න කාරණා කොට පවතී. සෙසු ධාතූහු ද, අවශේෂ භූතයන් ආසන්න කාරණා කොට පවතින බව එයින් දත යුතු ය. එය ධාතු මනසිකාර පබ්බයේ දී පැහැදිලි බසින් ලියා ඇත්තේ ය.


උපාදාය රූප විසිහතරකි.


(1) චක්ෂුඃ ප්‍රසාදය (2) ශෝත්‍ර ප්‍රසාදය (3) ඝාණ ප්‍රසාදය (4) ජිව්හා ප්‍රසාදය (5) කාය ප්‍රසාදය (6) රූපය (7) ශබ්දය (8) ගන්‍ධය (9) රසය (10) ස්ත්‍රී ඉන්ද්‍රිය (11) පුරුෂ ඉන්ද්‍රිය (12) ජීවිතින්‍ද්‍රිය (13) හෘදය වස්තු රූපය (14) කාය විඥප්ති රූපය (15) වචී විඥප්ති රූපය (16) ආකාස ධාතුව (17) ලහුතාව (18) මුදුතාව (19) කම්මඤ්ඤතාව (20) උපචය (21) සන්තති (22) ජරතා (23) අනිච්චතා (24) කබලීකාර ආහාරය යනුවෙනි.


මේ රූපයන් ගේ විස්තරය තරමක් ගැඹුරු ය. ඉගෙනීම පහසු නොවේ. ඒවා ගේ විස්තරය පහත ඇති අයුරින් දත යුතු වූවත් වැඩි විස්තර සඳහා අභිධර්ම පොත් පත් වලින් කරුණු උගත යුතු ය. මේ භාවනා පොතක් බැවින් වඩාත් සංකීර්ණ විස්තර ඉදිරිපත් නො කරමි.


(1) චක්ෂුඃ ප්‍රසාදය


ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපය චක්ෂුඃ ප්‍ර‍සාදය ය. එය ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන, තවත් මතයකින් මුං පියැල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවි තට්ටු හතක පුළුන් වල පැතිර ඇති තෙලක් සේ පිහිටා තිබේ ය යන්න එහි විස්තරය යි.

මේ චක්‍ෂු ප්‍ර‍සාදය රූපාරම්මණයේ ගැටීමට සුදුසු සේ රූප දැකීමෙහි කැමැත්ත මුල් කොට ඇති තෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් දෙයක් ය.


ඇස ඉදිරියට පැමිණෙන වස්තූන් ගේ ඡායාව එම ප්‍රසාදයට වැටුණු කල එහි චක්ඛු විඥාන චිත්තය උපදී. පෙනීම ය කියනුයේ ඒ චක්ඛු විඥානය පහළ වීමට ය. චක්ෂුඃ ප්‍ර‍සාදය කියන මේ ඔපය මහා භූතයන් ගේ ම ඔපයෙකි. එය මහා භූතයන් ගේ ම පිහිටියෙකි. අනික් ප්‍ර‍සාදයෝ ද එසේ ම මහා භූතයන් ගේ ම ඔපයන් බව දත යුතු ය.

එය මහා භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණය කොට ඇත්තේ ය. රූපාලම්බනයෙහි විඥානය ඇද ගැනීම එහි කෘත්‍යය ය.


ලක්ෂණය යනු හඳුනා ගැනීමට හැකි වන ආකාරය ය. කෘත්‍යය යනු ඒ අදාළ ධර්මය සිදු කරන ඔහුගේ කාර්යය ය. මේ ධර්ම සත්ත්ව පුද්ගල භාවයෙන් තොර බැවින් මේවා හඳුනා ගත යුත්තේ මෙකී ලක්ෂණ සහ රස හෙවත් කෘත්‍යය අනුව ය. තව දුරටත් මේවා විස්තර කර ගත යුතු අයෙක් වේ නම්, ඔහුට මෙහි පදට්ඨාන හෙවත් පිහිටා ඇති ස්ථාන ද, පච්චුපට්ඨානය හෙවත් ඒවා ඇති වූ කල වැටහෙන ආකාරය ද යන්නත් අභිධර්ම පොත් පත් ඇසුරෙන් උගත හැකි ය. ඒවා ඉගෙනීමෙන් ඒ ඒ ධර්මතා වල ඇති සත්ත්ව පුද්ගල ශූන්‍ය බව වඩාත් ප්‍රකට කර ගත හැකි වේ.


(2) ශෝත්‍ර ප්‍රසාදය


ශබ්දය දැන ගැනීමට හෙවත් ඇසීමට උපකාර වන කනෙහි පිහිටි ඔපය ශෝත්‍ර‍ ප්‍ර‍සාදය ය. එය කන් අඩියේ සියුම් තඹ වන් ලොම් සහිත මුද්දකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. එය ශබ්ද ඇසීමේ කැමැත්ත නිදාන කොට පැවැති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ශබ්දාලම්බනයෙහි විඥානය ඇද ගැනීම කෘත්‍යය ය.


ශබ්දයේ ඡායාව එහි වැදුණු කල්හි එහි ම සෝත විඥානය උපදී. ඇසීම ය යි කියනුයේ සෝත විඥානය ඉපදීමට ය. එහි ශබ්ද ඡායාව මිස රූප ඡායාව වැද නො ගනී.


(3) ඝාණ ප්‍රසාදය


ගඳ සුවඳ දැන ගැනීමට උපකාර වන නාසයෙහි පිහිටි ඔපය ඝාණ ප්‍ර‍සාදය ය. එය නාසය ඇතුළෙහි එළු කුරයකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ගන්‍ධාලම්බනයා ගේ ගැටීමට සුදුසු ඔපයක් සේ පිහිටා ඇති මෙය ගන්‍ධාඝ්‍රාණය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ගන්‍ධාලම්බනයෙහි විඥානය ඇද ගැනීම එහි කෘත්‍යය ය. ගන්ධය දැන ගන්නා වූ ඝාන විඥානය එහි උපදී.


(4) ජිව්හා ප්‍රසාදය


මෙය රසාලම්බනයෙහි ගැටීමට යෝග්‍ය ඔපයක් ය. රසය ආස්වාදනය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්‍මයෙන් නිපන් භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. රසාලම්බනයෙහි විඥානය ඇද ගැනීම එහි කෘත්‍යය ය.


එය දිව මතුයෙහි මානෙල් මල් පෙත්තක අග කොටසට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ආහාර පානාදිය එහි ගැටුණු කල්හි රසය දැන ගන්නා වූ ජිව්හා විඥානය එහි උපදී.


(5) කාය ප්‍රසාදය


පෙර කී සේ ම ස්පර්‍ශාලම්බනයා ගේ ගැටීමට සුදුසු සේ සකස් වී ඇති ඔපයක් ය. ස්පර්ශ තෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මජ භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ ය. ස්පර්‍ශාලම්බනයෙහි විඥානය ඇද ගැනීම එහි කෘත්‍යය ය.


මෙය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස්, ලොම්, නිය, වියළි සම් හැර සකල ශරීරයේ ම පැතිර ඇත්තේ ය. ඒ ඒ දේවල් කයෙහි සැපීම දැන ගන්නා වූ කාය විඥානය ඒ ඔපය ඇසුරු කර ගෙන සැපුණු සැපුණු තැන් වල උපදී. ශරීරය ඇතුළත ඇති වන වේදනා හට ගන්නේ ශරීරය තුළ ඇති දේවල් ම එකිනෙකට ගැටීමෙන් බව දත යුතු ය.


(6) රූපය


මෙහි රූපය යි කියනුයේ චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි සැපෙන එයට හසු වන වර්ණයට ය. එයට වර්ණ රූපය යි ද කියනු ලැබේ. චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටෙන්නේ එයට හසු වන්නේ මේ වර්ණ රූපය පමණෙකි. වර්ණය හැර අතට හසු වන වස්තූන් ඇසට නො පෙනේ.


මෙහි දැන ගත යුත්තක් තිබේ. මේ රූප විසිඅට ම එකතු කොට “රූපස්කන්ධය” යැයි කියති. නමුත් මෙහි රූප යන වචනයෙන් කියැවෙන්නේ ඒ සම්පූර්ණ රූපස්කන්ධය ම නොවේ.


මේ වර්ණ රූපය ලෙස හඳුන්වන රූපය ද ඒ රූපස්කන්ධය හෙවත් රූප විසිඅටට ම අයත් එක් රූපයෙකි.


එනිසා ගෝචර රූප කියන තැන දී රූප යන වචනයෙන් කියැවෙන්නේ වර්ණ ධාතුව පමණක් බව සිහියෙන් උගත යුතු ය.


එහි රූපස්කන්ධයේ ඇති රූප සියල්ලට ම රූප යන නම කියනුයේ ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන දෙය ය යන අර්ථයෙනි. නමුත් වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ ඇසට ගෝචර වන, පෙනෙන දෙය ය යන අර්ථයෙනි. රූප විසිඅටෙන් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපය පමණෙකි. අනික් රූප ඇසට නො පෙනෙන බවත් මෙහි දී දත යුතු ය.


මෙම වර්ණ ධාතු සංඛ්‍යාත රූපය චක්‍ෂුඃ ප්‍ර‍සාද රූපයෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. චක්‍ෂු විඥානයට ආරම්මණ වීමේ ගුණය කෘත්‍යය කොට ඇත්තේ ය.


(7) ශබ්දය


ශෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ශෝත්‍ර‍ ප්‍ර‍සාදය කරණ කොට ගෙන දැනෙන දෙය ශබ්දය ය. එය ගැටීම් පිපිරීම් වලින් හට ගෙන ඉක්මනින් නැති වන රූපයකි. ඉක්මනින් නැතිවීම ය යි කියනුයේ අනික් රූප වලට වඩා ආයුෂ අඩු බවක් නොව, පරම්පරාව කල් නො පවතින බව ය. එහි ශෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි ගැටීම ලක්‍ෂණය ය. ශෝත්‍ර‍ විඥානයට විෂය වීම කෘත්‍යය ය.


(8) ගන්‍ධය


පෙර කී රූප සේ ම ඝාණ ප්‍ර‍සාදයෙහි ගැටෙන, ඝාණ ප්‍ර‍සාදය කරණ කොට ගෙන දැනෙන රූපය ගන්ධ රූපය ය. ධාතු සතර පවතින සෑම වස්තුවක ම යම් කිසි ප්‍ර‍මාණයකින් ගන්ධය ඇත ද සමහර වස්තු වල ඇති ගන්ධය ඉතා සියුම් බැවින් නො දැනේ. එනිසා එය සමහර වස්තු වල අධිකවත් සමහර වස්තු වල මඳවත් ඇති බව දැන ගත යුතු ය. එය ගන්ධාඝ්‍රාණය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්මජ භූතයන් ගේ ප්‍රසාදය ලක්ෂණය කොට ඇත්තේ ය. ගන්ධාලම්බනයෙහි විඥානය ඇද ගැනීම එහි කෘත්‍යය ය.


(9) රසය


ජිහ්වා ප්‍ර‍සාදයෙහි ගැටෙන, දිව කරණ කොට ගෙන දැනෙන රූපය රසය ය. එය මහා භූත ධාතූන් ගේ වෙනස්කම් අනුව වෙනස් වෙනස් රසයන් ගනී. එය ජිහ්වා ප්‍ර‍සාදයෙහි හැපීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. ජිහ්වා විඥානයට ගෝචර වීම කෘත්‍යය කොට ඇත්තේ ය.


■ ස්පර්‍ශාලම්බනය :- කාය ප්‍ර‍සාදයෙහි ගැටීම ලක්‍ෂණය ය. කාය විඥානයට විෂය වීම කෘත්‍යය ය. මෙය පඨවි, තේජෝ, වායෝ ධාතූන් ම මිසක් වෙනත් අමුතු රූපයක් නොවේ. එහෙයින් රූප ගණනය කිරීමේ දී මෙය විශේෂයෙන් ගණන් නො කරන බව දත යුතු ය.


(10) ස්ත්‍රී ඉන්ද්‍රිය


සත්ත්ව ශරීරය ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපය ස්ත්‍රී භාව රූපය ය. මේ භාව රූප සත්ත්වයනට ඇති වන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම ය. කාගේත් ශරීර නිර්මිත වී ඇත්තේ සතර මහා භූතයන් ගෙනි. ඒවායේ ස්ත්‍රී - පුරුෂ භේදයක් නැත. මහා භූතයන් ගෙන් ශරීරය හැදෙන කල්හි ස්ත්‍රී භාව රූපය ඇති ශරීරය එම භාව රූපයේ ආනුභාවයෙන් ස්ත්‍රී ආකාරයෙන් සෑදේ.


මැය ස්ත්‍රියක් යැයි දැනීමට හා ස්ත්‍රිය යන නාමය ඇති වීමට හේතු වූ බව ලක්‍ෂණය කොට ඇත්තේ ය. මේ ස්ත්‍රී යැ යි ප්‍ර‍කාශ වීම කෘත්‍යය ය.


වට වූ උකුළු හා මෘදු අත් - පා ආදිය ඇති බව හෝ ස්ත්‍රීන් ගේ මූත්‍ර‍ කරණය හෝ ලිංග නම් වේ. ස්ත්‍රී බැව් දැක්වෙන ලකුණු ස්ත්‍රී නිමිත්ත නම් වේ.


(11) පුරුෂ ඉන්ද්‍රිය


ඉහත ආකාරයෙන් ම පුරුෂ ස්වභාවය ගන්වන රූපය පුරුෂ භාව රූපය නම් වේ. පුරුෂ භාව රූපය ඇති ශරීරය එහි ආනුභාවයෙන් පුරුෂාකාරයෙන් සෑදේ. මේ භාව රූප ශරීරයේ සෑම තැන ම පැතිර ඇති බව දත යුතු ය.


මේ පුරුෂයා යැයි කීමට කාරණා බව එහි ලක්‍ෂණය ය. පුරුෂයා යැ යි ප්‍ර‍කාශ වීම කෘත්‍යය ය.


මේ රූප දෙක එක ම සත්ව සන්තානයක එකවර නො පවත්නේ ය. එහි ස්ත්‍රීන්‍ද්‍රිය උපන්නහුට පුරිසින්‍ද්‍රිය නූපදනා බව පැවසේ. එහෙයින් උභතෝබයඤ්ජනකයාට පවා එක ලිංගයක් අතුරුදහන් වූ පසු අන්‍ය ලිංගය පහළ වන බව දත යුතු ය.


(12) ජීවිතින්‍ද්‍රිය


තමා හා බැඳී උපදනා රූපයන් පරම්පරා වශයෙන් චිර කාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරවන රූපය ජීවිතින්ද්‍රිය නම් වේ.


එහි තමා හා එක් ව උපන් රූපයන් පාලනය කිරීම ලක්‍ෂණය ය. ඒ සහජාත රූප පැවැත්වීම කෘත්‍යය ය.


ජීවිතින්‍ද්‍රිය කර්‍මජ හෙයින් තමා අයත් ක්‍ෂණ මාත්‍ර‍යක් පවතින සහජාත කර්‍මජ රූපයන්ට ජීවත් වීමට හේතු වීමෙන් පාලනය කිරීම ජීවිතින්‍ද්‍රියයේ ලක්‍ෂණය වේ.


ආහාරජ රූපයනට ආහාරය මෙන් කර්‍මජ රූපයනට කර්‍මය ම පැවැත්මට හේතු විය යුතු නොවේ දැ යි ගැටළුවක් මෙහි දී මතු විය හැකි ය.


එයට පිළිතුර මෙසේ දත යුතු ය.


ආහාරාදීහු තම තමා ඇති ක්‍ෂණයෙහි රූප උපදවා ඒවායේ පැවැත්මට ද හේතුවෙත්. ජලය උපුල් ආදිය රක්නාක් මෙන් අනු පාලනය කළ යුතු රූප ඇති කල්හි ම ජීවිතින්‍ද්‍රිය සහජාත රූප පාලනය කරන්නේ ය. කිරි මවක් විසින් වෙනත් කෙනෙක් ප්‍ර‍සව කළ රජ කුමරුවකු රක්නා සේ තමා අයිති යම් යම් කර්‍මයෙන් හට ගත් කර්‍මජ රූපයන් ජීවිතින්‍ද්‍රිය විසින් ආරක්ෂා කරන්නේ ය.


(13) හෘදය වස්තු රූපය


චක්ඛු විඥානාදීන්ට ඇති වීමට ස්ථාන වන්නේ ඉහත කී ප්‍ර‍සාද රූප පස ය. ඒ කී පංච - විඥානයන් හැර ඉතිරි සිත් ඇති වීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපය ලෙස දත යුතු ය. එය පවත්නේ හෘදය කෝෂයේ ඇති ලේ වල ය.


මනෝ ධාතු, මනෝ විඥාන ධාතූන්ට නිඃශ්‍ර‍ය වීම මෙහි ලක්‍ෂණය ය. ඒ ධාතු ද්වයට ආධාර වීම කෘත්‍යය ය.


(14) කාය විඥප්ති රූපය


ඉදිරියට යාම, ආපසු ඒම, අත් පා දිග හැරීම, හැකිළීමාදී කායික ක්‍රියාවන් පවත්වන්නා වූ සිත නිසා පැවැති වායෝ ධාතුව හා එක් ව හට ගන්නා වූ රූප කායයට රුකුල් දීමෙන් සැලීම් - පිහිටුවීම් ආදී ඒ ඒ ක්‍රියාවන් උපදවන්නා වූ ආකාර විශේෂය කාය විඥප්ති නම් වේ.


ඉහත ඉරියාපථ පබ්බයේ දී මේ ගැන ලිහිල් බසින් විස්තර කර ඇත්තේ ය.


(15) වචී විඥප්ති රූපය


අර්‍ථයන් අවබෝධ කිරීමට සමර්ථ වූ වාග් භේදය පවත්වන චිත්ත සමුට්ඨාන පඨවි ධාතුව, කර්‍මජ පඨවි ධාතුවෙහි (අක්‍ෂර උත්පත්ති ස්ථානයෙහි) ගැටීමට උපකාරී කාරණ වූ ආකාර විශේෂය වාග් විඥප්ති නම් වේ. අදහස ප්‍ර‍කාශ කිරීම එහි කෘත්‍යය යි.


(16) ආකාශ ධාතුව


මේ ආකාශ ධාතුව නමින් දැක්වෙන්නේ රූප පරිච්ඡේදාකාශය මිසක් අජටාකාශය නොවේ. සියලු‍ ම වස්තූන් ගේ හා පුද්ගලයන් ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ. මෙයින් එය නො දක්වන ලදී.


ඝනබද්ධ වස්තූන්හි ඇති රූප කලාප ඔවුනොවුන් ගෙන් වෙන් කරන ආකාශය හෙවත් හිස් තැන පරිච්ඡේද ආකාශ නම් වේ. අටවිසි රූපයෙන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශය ය. මේ ආකාශ ධාතුව වෙන ම පැවැත්මක් ඇති පරමාර්ථ ධර්මයක් නොවේ. එහෙත් රූප කලාප වල අමිශ්‍ර‍ පැවැත්මට ඒවා අතරට ආකාශයත් වුවමනා බැවින් එය එක් රූපයක් සැටියට ගණන් ගෙන ඇත.


එනිසා චක්‍ෂුර්දශකාදී ඒ ඒ කලාපයෙහි රූප පිරිසිඳීනුයි හෝ ඔවුන් ගෙන් තමා මැ පිරිසිඳීම් ලබා ගනුයි හෝ රූපයන් ගේ පිරිසිඳීම් මාත්‍ර‍ය හෝ යි කියා මේ ආකාශ ධාතුව දැන ගත යුතු ය. මෙසේ මෙය රූප පරිච්ඡේදය (රූප කෙළවර) ලක්‍ෂණය කොට ඇත්තේ ය. රූප කලාපයන් ගේ දැක්වීම එහි කෘත්‍යය ය. මේ විස්තරයෙන් මෙය රූපයන් අතර පවතින හිස් අවකාශය බව දත යුතු ය.


(17) ලහුතාව


ලහුතා රූපය, රූපයා ගේ නො බර බව ලක්‍ෂණය කොට ඇත්තේ ය. රූපයන් ගේ බර බව දුරු කිරීම එහි කෘත්‍යය ය.


(18) මුදුතාව


නො තද බව මුදුතා රූපයා ගේ ලක්‍ෂණය ය. රූපයන් ගේ තද බව දුරු කිරීම මෙහි කෘත්‍යය ය.


(19) කම්මඤ්ඤතාව


ශාරීරික සියලු‍ ක්‍රියාවන්ට සුදුසු බව යැයි කියන ලද කර්‍මණ්‍ය බව ලක්‍ෂණය ය. ශාරීරික ක්‍රියාවන්හි අයහපත් බව දුරු කිරීම එහි කෘත්‍යය ය.


මේ රූප තුනෙහි විස්තරය මෙසේ දත යුතු ය.


ශාරීරික රූපයන් ගේ සැහැල්ලු‍ බව ලහුතා නම් වේ. මෘදු බව - තද නැති බව මුදුතා නම් වේ. ක්‍රියාවට යෝග්‍ය බව හෙවත් ඔරොත්තු දෙන බව කම්මඤ්ඤතා නම් වේ.


මේ රූප තුන අන්‍ය රූපයන් ගේ ගුණ තුනෙකි. කාලගුණය නරක් වීම, අයෝග්‍ය ආහාර ගැනීම, පමණට ආහාර නො ලැබීම, නොයෙක් රෝග ඇති වීම යනාදී කරුණු වලින් ශරීරයෙහි ඉක්මනින් වැඩ කළ නො හෙන බර ගතියක් ද, නැවීම් දිග හැරීම් වල දී වේදනා උපදවන තද ගතියක් ද, වුවමනා පරිදි ශරීරය ක්‍රියා කරවන්නට අසමත් ගතියක් ද ඇති වේ.


කාලගුණය හොඳ වීම, සිත හොඳ වීම, යෝග්‍ය ආහාර පාන ලැබීම යනාදිය සිදු වන කල්හි ශරීරයෙහි ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා යන මේ රූප ඇති වේ.


(20) උපචය


නිෂ්පන්න රූපයා ගේ ප්‍ර‍ථම හට ගැනීම නොහොත් මත්තෙහි වර්‍ධනය වීමට පළමු වන හට ගැනීමේ ලක්‍ෂණය ය. පූර්‍වාන්තයෙන් රූපයන් මතු කරවීම එහි කෘත්‍යය ය.


(21) සන්තති


නිෂ්පන්න රූපයාගේ පරම්පරාව පැවැත්ම ලක්‍ෂණය ය. පරම්පරාව නො සිඳීම එහි කෘත්‍යය ය.


(22) ජරතා


නිෂ්පන්න රූපයාගේ මේරීම ලක්‍ෂණය ය. භංගය කරා පැමිණවීම කෘත්‍යය ය.


(23) අනිච්චතා


නිෂ්පන්න රූපයා ගේ සර්‍වප්‍ර‍කාරයෙන් ම විනාශය ලක්‍ෂණය ය. විනාශයට පැමිණීම් වශයෙන් රූපයන් ගේ වැළැක්ම එහි කෘත්‍යය ය.


උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන මේ සතර ලක්ෂණ රූපයෝ නමින් හැඳින් වේ. උපචය - සන්තති යන වචන දෙකෙන් ම කියැවෙන්නේ රූපයන් ගේ උත්පාදය ය. සත්ත්වයෙකුට ඇති විය යුතු රූප සම්පූර්ණ වන්නට කලින් ඇති වන පළමු රූපයන් ගේ උත්පාදය උපචය නම් වේ. රූප සම්පූර්ණ වීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනුවට නැවත නැවත පහළ වන රූපයන් ගේ උත්පාදය සන්තති නම් වේ. රූපයන් ගේ දිරීම ජරතා නම් වේ. බිඳීම අනිච්චතා නම් වේ.


(24) කබලීකාර ආහාරය


ශරීරයෙහි වෙනස් ම රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිර කාලයක් පවත්වන ආහාරයන් ගේ ඇති ඕජාව ආහාර රූපය නම් වෙයි.


ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලු‍ ම වස්තු වල ඇතත්, ඒ සියල්ලෙහි ම ඇත්තා වූ ඕජාව සියලු සත්ත්වයන්ට ම ගැලපෙන්නේ නොවේ. ඒ ඒ සත්ත්වයන් ගේ ශරීර වලට ගැළපෙන ආහාර ඒ ඒ සත්ත්වයෝ අනුභව කරති. ඒවා ගේ ආනුභාවයෙන් ඔවුන් ගේ පැවැත්ම වෙයි. එහි ආහාරයට ගන්නා ආහාරයේ සාරය වූ ඕජාව ලක්‍ෂණය ය. ඒ ඕජා රූපය පැවැත්වීම කෘත්‍යය ය.


මේ සියල්ල රූපස්කන්ධය නම් වේ. මෙහි මෙතරම් විස්තරයක් දැක්වීමට සිදු වූයේ මෙහි ඇති සත්ත්ව පුද්ගල ශූන්‍ය ධර්මතාවයන් ගේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට ය. මේ එක් එක් රූපයන්ට ආවේණික වූ ලක්ෂණයක් සහ කෘත්‍යයක් ඇත. ඒවා වෙන වෙන ම වූ කාරණා ය. මේ සියල්ල ගේ ම එකතුව රූපයක් ලෙස එක පිඬකට ගන්නා සත්ත්වයෝ එහි රූප සංඥාවෙන් මුලා වෙති. නමුත් එහි ඒ ඒ කෘත්‍යය සිදු කරනා රූපයන් ගේ පැවැත්මක් මිස පනවා ගත හැකි සත්ත්ව පුද්ගල ආත්මයක් නම් නොවේ.


යෝගාවචරයා විසින් එය දත යුතු ය. පෙර කීවාක් මෙන් මෙහි පැනවිය හැකි සත්ත්ව පුද්ගල භාවයක් නම් නැත. හුදු මහා භූත රූපයන් ගේ විවිධාකාර පැවැත්ම ම රූපය ලෙස ගනියි. මෙය වෙන් වෙන් වශයෙන් කල්පනා කොට රූපය යථාකාරයෙන් උගත යුතු ය. එයින් එහි මුලා නො වෙති.


වේදනාදී ස්කන්ධයන් ගේ විස්තරය ද දක්වා අනතුරුව ඒවා ගේ ඇති වීමට සහ නැති වීමට හේතු දක්වා භාවනාව විස්තර කරමි.


වේදනාස්කන්ධය


“යංකිඤ්චි වෙදයිත ලක්ඛණං සබ්බන්තං එකතො කත්‍වා වෙදනාක්ඛන්‍ධො වෙදිතබ්බො”යි කී සෙයින් යම් කිසි විඳීම් ලක්‍ෂණයෙක් වේ නම් ඒ සියල්ල එක් කොට සැලකීමෙන් වේදනාස්කන්ධය දත යුතු යැයි කීවේ ය.


එය ආරම්මණ රසය අනුභව කිරීම් ලක්‍ෂණයෙන් ස්වභාවයෙන් එකක් වුව ද,


(1) කුසල

(2) අකුසල

(3) අඛ්‍යාකතය යි ජාති වශයෙන් ත්‍රිවිධ වේ.


එහි කුසල විඥානය හා සම්ප්‍ර‍යුක්ත වූයේ කුසල වේදනා ය. අකුසල විඥානය හා සම්ප්‍ර‍යුක්ත වූයේ අකුසල වේදනා ය. විපාක - ක්‍රියාවන් හා සම්ප්‍ර‍යුක්ත වූයේ අව්‍යාකෘත වේදනා ය යි දත යුතු ය. වේදනාව සර්‍ව චිත්ත සාධාරණ බැවින් එකුන් අනූ (89) වැදෑරුම් වේ. ස්වභාව වශයෙන් සුඛ - දුක්ඛ - සොමනස්ස - දොමනස්ස - උපෙක්ඛා භේදයෙන් පස් වැදෑරුම් වේ.


ඔවුනතුරින් සුඛ වේදනාව ඉෂ්ඨ වූ ස්පර්ශය අනුභව කිරීම් ලක්‍ෂණය ය. දුක්ඛ වේදනා අනිෂ්ඨ වූ ස්පර්ශය අනුභව කිරීම් ලක්ෂණය ය. සෝමනස්සය ඉෂ්ඨානුභවන ලක්‍ෂණය ය. දෝමනස්සය අනිෂ්ඨානුභවන ලක්‍ෂණය ය. උපේක්ෂා වේදනාව මධ්‍යස්ථානුභවන ලක්‍ෂණය ය. මේ සියල්ලේ ම වැඩි විස්තර අභිධර්ම පොත් පත් වලින් දත යුතු ය.


හුදු වේදනා චෛතසිකය විසින් මේ අරමුණු විඳ ගන්නා සැටියට මේ සුඛ - දුක්ඛ ආදී ප්‍රභේදයක් දක්වා ඇත. ඒවා වේදනා චෛතසිකයේ ක්‍රියාකාරීත්වය ම මිස එහි පනවා ගත හැකි සත්ත්ව පුද්ගල ආත්ම භාවයක් නම් නැත.


සංඥාස්කන්ධය


“යං කිඤ්චි සඤ්ජානන ලක්ඛණං සබ්බං තං එකතො කත්‍වා සඤ්ඤාක්කන්‍ධො වෙදිතබ්බො”යි කී සෙයින් යම් කිසි හැඳිනීම් ලක්‍ෂණයෙක් වේ නම් ඒ සියල්ල පිඬු කොට සංඥාස්කන්ධය දත යුතු ය.


“සඤ්ජානාති ඛො ආවුසො තස්මා සඤ්ඤාති වුච්චති”යි නීල පීතාදී අරමුණ සලකුණු කොට නැවත නැවත හැඳිනීමෙක් වේ නම් එය සංඥා නමින් කියනු ලැබේ ය යි වදාළහ.


ඒ සංඥාව ද හැඳිනීම් ලක්‍ෂණ (ස්වභාව) යෙන් එකක් වුව ද, ජාති වශයෙන් කුශලය, අකුශලය, අව්‍යාකෘත යැයි ත්‍රිවිධ වේ.


ඔවුනතුරින් කුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ කුශල සංඥා ය, අකුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ අකුසල සංඥා ය, අව්‍යාකෘත විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ අව්‍යාකෘත සංඥා යි. සංඥාවෙන් වෙන් වූ විඥානයෙක් නම් නැත්තේ යැයි කී හෙයින් සංඥාව සියලු‍ චිත්තයෙහි ම යෙදේ. එහෙයින් විඥාන භේද යම් පමණ නම් සංඥා භේදය ද එපමණ ම වන බව දත යුතු ය.


සංස්කාරස්කන්‍ධය


“යං කිඤ්චි අභිසඞ්ඛරණ ලක්ඛණං සබ්බන්තං එකතො කත්‍වා සඞ්ඛාරක්ඛන්‍ධො”යි සංඥාස්කන්ධයට අනතුරුව කුශලාකුශල කර්‍මයන් රැස් කිරීම ලක්‍ෂණ කොට ඇති ධර්‍ම සමූහය එක් කොට සංස්කාරස්කන්ධ වේ යැයි දේශනා කොට වදාළ සේක.


ඒ වචනයෙහි, අභිසංස්කරණ ලක්‍ෂණය නම් රැස් කිරීම් ලක්‍ෂණය යි. ඒ නම් සංස්කාර ධර්‍ම ම යි. එහෙයින් “සසඞ්ඛතමහිසඞ්ඛරොන්තී ති ඛො භික්ඛවෙ තස්මා සඞ්ඛාරාති වුච්චන්ති”යි “මහණෙනි! තමන් ගේ හේතු ධර්‍මයෙන් සිද්ධ කළ යුතු ඵල ධර්‍මය සකස් කරන හෙයින් සංස්කාරයෝ යැ”යි කියනු ලැබෙත් යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.


ඔහු රැස් කිරීම් ලක්‍ෂණ ඇත්තාහ. එක් රැස් කොට ගැනීම් කෘත්‍යය ඇත්තාහ. මෙසේ ලක්‍ෂණාදීන් ගෙන් ඒකවිධ වුවද කුශල, අකුශල, අව්‍යාකෘත භේදයෙන් ජාති තුනකි.


ඔවුනතුරින් කුශල විඥාන සම්ප්‍ර‍යුක්ත වූයේ කුශල ය. අකුශල සම්ප්‍ර‍යුක්ත වූයේ අකුශල ය. අව්‍යාකෘත සම්ප්‍ර‍යුක්ත වූයේ අව්‍යාකෘත නම් වෙයි.


එහි වේදනා සහ සංඥා චෛතසික දෙක වේදනාස්කන්ධයේ සහ සංඥාස්කන්ධයේ දී ඇතුළත් කර දැක් වූ හෙයින්, ඒ දෙක හැර සෙසු චෛතසික පනසක් මේ සංඛාරස්කන්ධයේ ඇතුළත් කොට දැක්වීම සිදු කරන ලදී.


ඒ චෛතසික පනස ඵස්ස ය, චේතනාව ය, ඒකග්ගතාව ය, ජීවිතින්ද්‍රිය ය, මනසිකාර ය, විතක්කය ය, විචාරය ය, අධිමොක්ඛය ය, වීරිය ය, පීතිය ය, ඡන්දය ය, මෝහය ය, අහිරිකය ය, අනොත්තප්පය ය, උද්ධච්චය ය, ලෝභය ය, දිට්ඨිය ය, මානය ය, දෝසය ය, ඉස්සාවය ය, මච්ඡරිය ය, කුක්කුච්චය ය, ථීනය ය, මිද්ධය ය, විචිකිච්ඡාව ය, සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, අමෝහ, තත්‍ර‍මජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා වශයෙන් වෙයි.


මේ චෛතසික ගැන කෙටි විස්තරයක් පහතින් දක්වමි. දැනට භාවනාවට එය වටහා ගැනීම ප්‍රමාණවත් ය. තවත් විස්තර දනු කැමැත්තන් විසින් තවත් විස්තර සහිත අභිධර්ම පොත් පත් පරිහරණය කළ යුතු ය.


01. ඵස්ස :- අරමුණෙහි හැප්පෙන ස්වභාවය ඵස්ස නම් වේ. මේ ස්පර්ශය වස්තු දෙකක් එකිනෙකට සැපීම බඳු සැපීමක් නොවන අතර එක්තරා සූක්ෂම ස්වභාවයක් බව දත යුතු ය. රූප කොටසේ දැක් වූ ප්‍රසාද රූපත්, වර්ණ රූපයත් අරඹයා විඥානස්කන්ධයේ දක්වා ඇති විඥානයේ පහළ වීමත් යන මේ කාරණා තුනත් සමඟ ම ඵස්සය උපදී.


02. චේතනාව :- ශරීරය කරණ කොට ගෙන සිදු කරන ක්‍රියාවන් සිදු කිරීමේ උත්සාහය චේතනාව නම් වේ. සැම සිතක ම චේතනාවක් ඇත්තේ ය. අරමුණ ගැනීමේ දී සිත ප්‍ර‍ධාන වූවත් ක්‍රියාවන් සිදු කිරීමේ දී ප්‍රධාන වන්නේ චේතනාව ය. “කර්මය” යි කියනුයේ ද මේ චේතනා චෛතසිකයට ය. සංස්කාරස්කන්ධයේ දී කී කර්ම රැස් කිරීම නම් ඒ ඒ සිත් වල විවිධාකාරයෙන් යෙදෙන චේතනාව ම බව එයින් දත යුතු ය.


03. ඒකග්ගතාව :- නො සැලෙන පරිදි සිත අරමුණෙහි මනා කොට පිහිටවන ස්වභාවය ඒකග්ගතා නම් වේ. අරමුණු වල අනේකාකාර ඇති බැවින් ඒකග්ගතාවය නැති ව සිතකට අරමුණක් ගත නො හැකි ය. එබැවින් ඒකග්ගතාවය සෑම සිතකට ම වුවමනා ය. “සමාධිය” යනු ද ඒකග්ගතා චෛතසිකයට ම කියන තවත් නමෙකි. බොහෝ සෙයින් සමාධිය යන ඒ නම ව්‍යවහාර වන්නේ උපචාර හෝ අර්පණා වශයෙන් දියුණු වූ ඒකග්ගතාවට ය.


04. ජීවිතින්ද්‍රිය :- චිත්ත චෛතසිකයන් ගේ ජීවන බලය - ජීවත් වීමේ ශක්තිය “ජීවිතින්ද්‍රිය” නම් වේ. ශරීරය ආහාර පානයන් ගේ උපස්තම්භනයෙන් චිර කාලයක් ඇද නො වැටී පවතින නමුත් සිතේ පැවැත්මට උපකාර වන, පිටතින් ගන්නා දෙයක් නැත. ඒ ආකාරයෙන් නිවනට පැමිණීම දක්වා සත්ත්වයා ගේ චිත්ත පරම්පරාව පැවැත්මට උපකාර වන, එය පාලනය කරන දෙය, මේ ජීවිතින්ද්‍රිය චෛතසිකය ය. එයින් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මරණයෙනුදු නො සිඳී පරිනිර්වාණය තෙක් පවතී.


05. මනසිකාරය :- සිතට අරමුණෙන් ඉවත් වන්නට නො දී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මනසිකාරය නම් වේ. ප්‍ර‍තිසන්ධියෙහි පටන් ම ක්ෂණයක් පාසා ම බිඳෙමින් එළැඹෙන එළැඹෙන අරමුණෙන් ඉවත් වන සත්ත්වයා ගේ චිත්ත පරම්පරාව, මේ චෛතසිකය නිසා නැවත නැවතත් ඉපිද අරමුණු ගැනීමෙහි යෙදෙන බව දත යුතු වේ.


06. විතක්කය :- අරමුණ කරා යන, අරමුණට නැංවෙන ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය සමඟ උපදනා චිත්ත චෛතසිකයෝ ද එය අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කය ලෙස කියනු ලැබේ.


07. විචාරය :- විතර්කයෙන් පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ.


08. අධිමොක්ඛය :- අරමුණේ සැටි විනිශ්චය කර ගන්නා ස්වභාවය අධිමොක්ඛ නම් වේ. මේ චෛතසිකය නිසා එසේ ද? මෙසේ ද? කියා දෙතුන් පැත්තකට නො ගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම් කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේ ය. මේ චෛතසිකය නැති නම්, සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නො සමත් වෙයි.


09. විරිය :- කටයුත්තෙහි නො පසු බස්නා ස්වභාවය, පටන් ගත් දෙය සිදු වන තුරු ඉදිරියට යන ස්වභාවය වීර්යය නම් වේ.


10. පීතිය :- සිත පිනා යන ස්වභාවය පීති නම් වේ.


11. ඡන්දය :- ඒ ඒ දේවල් කරනු කැමැත්ත, කිරීමේ ඕනෑකම ඡන්දය නම් වේ. මෙය ලෝභයට මඳක් සමාන සේ පෙනුනත්, ලෝභයෙහි මෙන් ඇලෙන ස්වභාවයක් ඡන්‍දයෙහි නැත. ඡන්දය ඇලීමෙන් තොර වූ ඕනෑකමෙකි.


12. මෝහය :- අරමුණෙහි සැබෑ තත්ත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. අවිද්‍යාව යයි කියනුයේ ද මේ මෝහයට ය.


13. අහිරිකය :- පාපය පිළිකුල් නො කරන ස්වභාවය අහිරික නමි. මෙයට පාපයට ලැජ්ජා නො වන ස්වභාවය යැයි ද කියනු ලැබේ.


14. අනොත්තප්පය :- පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්පය නමි.


15. උද්ධච්චය :- සිත සැලෙන ස්වභාවය, ආරම්මණයෙහි මැනවින් නො පිහිටන ස්වභාවය උද්ධච්ච නමි. මෙය සමාධියට විරුද්ධ ස්වභාවයෙකි.


16. ලෝභය :- අරමුණ හොඳ දෙයක් සැටියට ගෙන, එහි ඇලෙන ස්වභාවය ලෝභ නම් වේ. එය අරමුණට ඇලු‍ම් කරන ස්වභාවය යැයි ද කිය යුතු ය. රාගය - ප්‍රේමය - ආලය - ආදරය - ආශාව - ඕනෑකම යන වචන වලින් කියැවෙන්නේ ද මේ ලෝභය ම ය.


17. දිට්ඨිය :- වරදවා දකින ස්වභාවය, කාරණය වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. මේ අකුශල චෛතසිකයන්හි දිට්ඨි යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨිය ය.


18. මානය :- මම ලෝකයෙහි එක්තරා උසස් කෙනෙක්මි ය යනාදී වශයෙන් තමා ගේ තත්ත්වය තමා විසින් ම මැන ගන්නා ස්වභාවය මාන නම් වේ. සෙය්‍ය මානය - සදිස මානය - හීන මානය කියා මානය තෙවැදෑරුම් වේ.


19. දෝසය :- අරමුණට විරුද්ධ ස්වභාවය දෝසය ය. ද්වේෂය යනු ද එයට ම නමෙකි. ක්‍රෝධය - කෝපය - භය - නො සතුට - පිළිකුල - ශෝකය - අප්‍ර‍සාදය යන නම් වලින් කියැවෙන්නේ ද ඒ ඒ ආකාරයෙන් ඇති වන්නා වූ ද්වේෂය ය.


20. ඉස්සාව :- අනුන් ගේ සැපයට - අනුන් ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නම් වේ. ඊර්ෂ්‍යා යනු ද එයට ම නමෙකි.


21. මච්ඡරිය :- තමා අයත් දෙයක් වෙනත් අයෙකුට අයිති වීම නො ඉවසන්නා වූ ද, තමා අයත් දෙයකින් අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නො ඉවසන්නා වූ ද, තමා ගේ සම්පත්තිය වැනි සම්පත්තියක් වෙනත් අයෙකුට ලැබීම නො ඉවසන්නා වූ ද, තමා ගේ සම්පත්තිය සඟවන්නා වූ ද ස්වභාවය මච්ඡරිය නම් වේ.


22. කුක්කුච්ච :- කළ පව් කම් ගැන හා නො කළ පින් කම් ගැනත් පසු තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ.


23. ථීනය

24. මිද්ධය :-


සිතෙහි දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව ථීන නම් වේ. චෛතසිකයන් ගේ දුබල බව, අලස බව මිද්ධ නම් වේ.


25. විචිකිච්ඡාව :- අරමුණ පිළිබඳ වූ සැකය, විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ.


26. සද්ධා :- බුද්ධාදීන් කෙරහි විශ්වාසය, බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය සද්ධා නම් වේ. එයට ශ්‍ර‍ද්ධාව යැයි ද කියනු ලැබේ.


27. සති :- සිහිය සති නම් වේ. අකුශල පක්ෂයෙහි ම ගමන් කිරීම - පැවතීම සත්ත්වයා ගේ සිතෙහි ස්වභාවය ය. මේ චෛතසිකයෙන් සත්ත්වයා ගේ සිතට අකුශල පක්ෂයෙහි ම ගමන් කරන්නට නො දී, කුශල පක්ෂයෙහි පිහිටුවීම සිදු කරනු ලැබේ.


28. හිරි

29. ඔත්තප්ප :-


පාපය පිළිකුල් කරන පාපයට ලැජ්ජා වන ස්වභාවය හිරි නම් වේ. පවට බිය වන ස්වභාවය ඔත්තප්ප නම් වේ.


30. අලෝභ :- අරමුණෙහි නො ඇලෙන ස්වභාවය අලෝභ නම් වේ.

31. අදෝස :- අදෝස යනු මෛත්‍රිය ය. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවය ය.


32. අමෝහ :- වඩා පිරිසිදු ලෙස - වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය අමෝහ නම් වේ. එයට ම ප්‍රඥා චෛතසිකය යැයි ද කියනු ලැබේ.


33. තත්‍ර‍මජ්ඣත්තතා :- එකට බැඳී උපදනා චිත්ත - චෛතසික ධර්මයන් ගේ වේගයන් අඩු වැඩි වන්නට නො දී, සම ව පවත්වන ස්වභාවය “තත්‍ර‍මජ්ඣත්තතා” නම් වේ.


34. කායපස්සද්ධි

35. චිත්තපස්සද්ධි :-


චෛතසිකයන් ගේ සන්සුන් බව “කායපස්සද්ධි” නම් වේ. චිත්තයා ගේ සන්සුන් බව “චිත්තපස්සද්ධි” නම් වේ. මේ ධර්ම දෙක චිත්ත - චෛතසිකයන් නො සන්සුන් කරන උද්ධච්ච ආදී ක්ලේශයන්ට විපක්ෂ ධර්ම දෙකකි.


36. කායලහුතා

37. චිත්තලහුතා :-


චෛතසිකයන් ගේ සැහැල්ලු‍ බව “කායලහුතා” නම් වේ. සිතෙහි සැහැල්ලු‍ බව “චිත්තලහුතා” නම් වේ.


38. කායමුදුතා

39. චිත්තමුදුතා :-


චෛතසිකයන් ගේ මොළොක් බව “කායමුදුතා” නම් වේ. සිතෙහි මොළොක් බව “චිත්තමුදුතා” නම් වේ.


40. කායකම්මඤ්ඤතා

41. චිත්තකම්මඤ්ඤතා :-


චෛතසිකයන් ගේ කර්මණ්‍ය භාවය “කායකම්මඤ්ඤතා” නම් වේ. සිතෙහි කර්මණ්‍ය භාවය “චිත්තකම්මඤ්ඤතා” නම් වේ. කර්මණ්‍යතාව යනු ඕනෑ ම කුසල ක්‍රියාවකට ඔරොත්තු දෙන ස්වභාවය ය.


42. කායපාගුඤ්ඤතා

43. චිත්තපාගුඤ්ඤතා :-


චෛතසිකයන් ගේ ඒ ඒ ක්‍රියා විෂයයෙහි හුරු බව “කායපාගුඤ්ඤතා” නම් වේ. සිතෙහි හුරු බව “චිත්තපාගුඤ්ඤතා” නම් වේ.


44.කායුජ්ජුකතා

45.චිත්තුජ්ජුකතා :-


චෛතසිකයන් ගේ සෘජු බව (ඇද නැති බව) “කායුජ්ජුකතා” නම් වේ. සිත්හි සෘජු බව “චිත්තුජ්ජුකතා” නම් වේ.


46. සම්මා වාචා :- බොරු කීම - කේලාම් කීම - පරුෂ වචන කීම - නිෂ්ඵල වචන කීම යන කටින් සිදු වන පව් කම් සතරින් වළක්නා ස්වභාවය, සම්මා වාචා නම් වේ.


47. සම්මා කම්මන්ත :- සතුන් මැරීම - සොරකම් කිරීම - පරදාර සේවනය යන කයින් සිදු වන පව් කම් තුනෙන් වළක්නා ස්වභාවය, සම්මා කම්මන්ත නමි.


48. සම්මා ආජීව :- මිනිසුන් කයින් හා වචනයෙන් කරන පව් කම් තමන් ගේ දිවි පැවැත්වීමේ උපායක් වශයෙන් ද කෙරෙති. අන් කරුණු සඳහා ද කෙරෙති. දිවි පැවැත්වීම සඳහා කරන කාය වාග් දුශ්චරිත වලින් වළක්නා ස්වභාවය, සම්මා ආජීව නමි.


49. කරුණා

50. මුදිතා :-


මේ චෛතසික දෙක අප්‍ර‍මාණ්‍ය නම් වේ. තමාට දුක් ඇති වනවාට නො කැමති වන්නාක් මෙන් ම අනුන් දුක් වීමත් නො කැමති වන, අනුන් දුකින් මුදවනු කැමති ස්වභාවය “කරුණා” නම් වේ.


තමාට යම් සම්පතක් ලැබුණ හොත් ඒ ගැන සතුටු වන්නාක් මෙන්, අනුන් ගේ සම්පත් ගැන සතුටු වන්නා වූ ස්වභාවය “මුදිතා” නම් වේ.


සංඛාරස්කන්ධය ගැන දැන ගත යුතු විස්තර මෙපමණකි.


විඥානස්කන්ධය


මෙසේ රූපස්කන්‍ධයෙන් අන්‍ය වූ සතර නාමස්කන්‍ධයන් අතුරින් ආලම්බන රසානුභවන ලක්‍ෂණ වූ යම් ස්වභාවයෙක් වේ නම් ඒ සියලු‍ ධර්‍ම එක් රැස් කොට වේදනාස්කන්ධය යි ද, නීල වර්‍ණාදී වශයෙන් හැඳිනීම ලක්‍ෂණ කොට ඇති යම් ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියල්ල එක් රැස් කොට සංඥාස්කන්ධය යි ද, සකස් කිරීම හෝ උත්සාහ කිරීම ලක්‍ෂණ කොට ඇති යම් ධර්‍ම කෙනෙක් වෙත් නම් ඒ සියලු‍ ධර්‍ම සමූහය එක් රැස් කොට සංස්කාරස්කන්‍ධය යැයි ද, අරමුණු බැලීම් සංඛ්‍යාත දැනීම ලක්‍ෂණ කොට ඇති සියල්ල නුවණින් එක් රැස් කොට විඥානස්කන්‍ධය යැයි ද දත යුතු වේ.


විජානන හෙවත් දැන ගැනීමේ ලක්‍ෂණය විඥානය ය. එහෙයින් “විජානාති ඛො ආවුසො තස්මා විඤ්ඤාණන්ති වුච්චති” යැයි ඇවැත්නි! අරමුණු දැනගන්නා හෙයින් විඥානය යි කියනු ලැබේ යැයි දේශනා කොට වදාළ සේක.


විඥානය අර්ථ වශයෙන් එකක් වුව ද ජාති වශයෙන්


1. කුශලය

2. අකුශලය

3. අව්‍යාකෘත යැ යි ත්‍රිවිධ වේ.


එහි කුසල් සිත්, අකුසල් සිත්, අව්‍යාකෘත සිත් ගැන අභිධර්මයේ එන ලෙස ඉගෙන ගත යුත්තේ ය. පාඨකයා ගේ වෙහෙස සලකා ඒ විස්තර මෙහි නො දක්වනු ලැබේ.


පංච උපාදන ස්කන්ධයේ ම විස්තරයක් දැන ගත හැකි වනු පරිදි පහතින් කරුණු කිහිපයක් සටහන් කොට තබමි. එය කියවා මෙය තරමක් දුරට හෝ තේරුම් ගත යුතු ය. යෝගාවචරයා ගේ විදර්ශනාව ද එය ම වන්නේ ය.


මනුෂ්‍යයා වශයෙන් ආමන්ත්‍රණය කරන මේ සිත සහ ශරීරයේ එකතුව බුදුරජාණන් වහන්සේ විසින් කොටස් කර මනසින් බලා, මේ එක් එක් කොටසක වත් සත්ත්වයාට තමන් ගේ ආනුභාවයෙන් පැවැත්විය හැකි තැනක් නැති බවත්, සියලු ම කොටස් හේතූ ප්‍රත්‍යයන් ගෙන් හට ගෙන, ඒවා ගෙන් පැවත, ඒවා නිරුද්ධ වූ කල නිරුද්ධ වන බවත් අවබෝධ කොට ගෙන දේශනා කර වදාළ සේක.


මෙය කෙනෙක් විසින් ලෙහෙසියෙන් දැකිය හැක්කක් හෝ දැන ගත හැක්කක් නොවේ. බුද්ධෝත්පාද කාලයක ඇති ප්‍රධාන වටිනාකමෙන් එකක් වන්නේ මේ පංචස්කන්ධ විභාගය දත හැකි වනු වීම ය. එයින් ආත්මයක්, සත්ත්වයෙක් පුද්ගලයෙක් ලෙස ආත්ම දෘෂ්ඨියේ සිර වී අනිත්‍යාදී ධර්මතා නිත්‍ය වශයෙන්, සාර වශයෙන්, සුව වශයෙන් ගැනීම වළකින්නේ, එයින් ම සංසාර වෘත්තයෙන් මිදී යන්නේ ය.


එය දැකීමට සාමාන්‍ය පෘතග්ජනයෙක් ගේ ඥානය සමර්ථ නොවේ. සාමාන්‍ය ප්‍රඥාවකින් පමණක් ද එය වටහා ගත හැකි නොවේ. එබැවින් මහා කාරුණිකයන් වහන්සේ විසින් සතිපට්ඨානයේ දී කරුණු බෙදා දක්වන අතර යම් දිට්ඨි සහගත චරිතයක් වේ ද, හෙතෙම ප්‍රඥාවෙන් යුතු වන්නේ ද, ඔහුට මේ ස්කන්ධ ධර්මයන් වටහා ගෙන යතාර්ථය දැක ගැනීම පිණිස ධම්මානුපස්සනාවට පැමිණ ඛන්ධ පබ්බය දේශනා කොට වදාළ සේක.


පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනු යම් කිසි රූපයක් නොවේ. ඒවා ශක්ති විශේෂයකි. ස්වභාව විශේෂයකි. යමෙක්ට පඨවිය දෑතින් අල්ලනු හැකි නොවේ. යම් තද ගතියක් ලෝකයේ ඇත් ද එය පඨවි යැයි ව්‍යවහාරයි. මේ තද දේවල් ගැන කී දෙයක් නො වන බව දත යුතු ය. තද දේවල් වෙන ය. තද ගතිය වෙන ය. තද දේවල් දෑතට හසු වේ. තද ගතිය එසේ දෑතට හසු නොවේ. තද ගතිය දැක ගත හැක්කේ තද දෙයක් අත ගා බලා ය.


ආපෝ, තේජෝ, වායෝ යන ධාතු ද එසේ ම ය. වෙන වෙන ම පවතින කල දෑතට හසු නො වන ශක්ති විශේෂයක් පමණි. යම් තැනක මේ ධාතූන් සතර එකට එකතු වූයේ වෙයි ද, එතැන දෑතට හසු වන දෙයක් හට ගනී. එයට රූප කලාපය යැයි කියනු ලැබේ. රූප කලාපයක් තුළ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපයෝ ම ඇත. එයින් එකක් වත් නැති තැන රූප කලාපයක් කිසි සේත් ම නැත.


රූප කලාපයක් හට ගත් තැන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් නිසා පැණෙන තවත් රූපයන් ඇත. ඒවා උපාදාය රූප නම් වේ. වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී වශයෙන් නම් වන්නේ ඒවා ය. වර්ණ රූපය යනු පෙර විස්තර කළ රූප කොටසේ ඇති රූපාරම්මණය ම වේ. ගන්ධ ආදියත් එහි ප්‍රකට කොට විස්තර කොට ඇත්තේ ය.


මේ එක් එක් රූපයන් තමන්ට ආවේණික ලක්ෂණයන් දරන්නේ ය. ඒවාට අදාළ කෘත්‍යයක් තියෙන්නේ ය. ඒ දෙක ම ඉහත රූප විසිඅට දක්වන තැන දක්වා ඇත්තේ ය. මේවාට අදාළ තවත් කරුණු ඇතත්, ඒවා උගත යුත්තේ භාවනා පොතකින් නො වන නිසා ඒවා මෙහි නො දැක්වුයේ ය. ඒවා අභිධර්ම පොත පතින් උගත යුත්තේ ය.


උදාහරණයක් ලෙස චක්ඛු රූපය සහ රූපාරම්මණය පමණක් ගෙන මෙහි විස්තර කරන්නෙමි.


එහි චක්ඛුව හෙවත් චක්‍ෂු ප්‍ර‍සාදය රූපාරම්මණයේ ගැටීමට සුදුසු සේ රූප දැකීමෙහි කැමැත්ත මුල් කොට ඇති තෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් ඔපයක් වැනි දෙයක් යැයි ඉහත සඳහන් කරන ලදී.


එය සතර මහා භූතයන් ගේ ප්‍ර‍සාදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ යි කීවේ දකින්නට පෙනෙන්නට තියෙන ස්වභාවය කොයි ආකාරයේ ද යන්න ය. රූපාලම්බනයෙහි විඥානය ඇද ගැනීම එහි කෘත්‍යය යැ යි සඳහන් කළේ එම ප්‍රසාදයේ රැකියාව හෙවත් එය සිදු කරන කාර්යය දැක්වීමට ය.


රූපය ද, චක්‍ෂුඃ ප්‍ර‍සාද රූපයෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේ ය, චක්‍ෂු විඥානයට ආලම්බන වීම නොහොත් අරමුණු වීමේ ගුණය කෘත්‍යය කොට ඇත්තේ යැ යි ඉහත පවසන ලදී.


මේ දෙදෙනා, ඒ දෙදෙනාට ම ආවේණික කෘත්‍යයක් කරන්නේ ය. ප්‍රසාදය බාහිර රූපයට උපස්ථම්භනය වේ. රූපය ප්‍රසාදයට අරමුණු වේ.


නමුත් මේ දෙදෙනා ගෙන් එක් අයෙකුටවත් රූපය දැන ගැනීම කළ නො හැක. රූප ධර්මයක් ම තවත් රූප ධර්මයක් දැකීමක් ලොව සිද්ධ වන්නේ නැත. ඒ දැකීම සිද්ධ කරන්නට විඥානය වැඩ ඇල්ලිය යුතු ය. ප්‍රසාද රූපයේ පතිත වෙමින් ආපාථගත වන රූපාරම්මණය දැන ගන්නේ එකී විඥානයෙනි. එහෙයින් එය විජානනය කරන්නේ යැ යි ඉහත කීවේ ය. එය හුදු දැන ගැනීම පමණක් කරති යන්න එහි අර්ථය යි.


නමුත් ඒ විඥානය හෙවත් සිතට පමණක් ම රූපය හැඳිනීමට නො හැක. රූපය දැන ගැනීම හෙවත් අරමුණ ගැනීම පමණක් සිත විසින් සිදු කරයි. සිතේ කෘත්‍යය එය ය. එය හැඳිනීමක් කළ හැක්කේ සංඥාවට ය. එය සංඥාස්කන්ධයේ කාර්යභාරයකි. නමුත් සංඥාවට හැක්කේ හැඳිනීමට පමණි. එහි ආරම්මණ රසය විඳ ගත හැක්කේ වේදනාවට ය. වේදනාවෙන් ම ආරම්මණ රසය සැප, දුක හෝ උපේක්ෂා ආකාරයට විඳී. ඒ වෙනුවෙන් පහළ වන ලෝභ, අලෝභ, ශ්‍රද්ධා ආදී චේතනාවන් පහළ කරවීමට ඒ කාටත් බැරි ය. එය සිදු කරන්නේ සංස්කාර ස්කන්ධයෙනි.


මෙය තරමක් ගැඹුරු ය. වරක්, දෙවරක්, තෙවරක් හෝ කියවා මෙය වටහා ගත යුත්තේ ය.


මෙසේ මේ ස්කන්ධ ක්‍රියාවලිය අවබෝධ කළ යුතු ය. ඒවා ඒ ඒ ධර්මයන් ගේ වශයෙන් පවතිනවා විනා එහි පවතින සත්ත්ව පුද්ගල භාවයක් හෝ පැවැත්විය හැකි ආනුභාවයක් නම් නැත. මේ ස්කන්ධ හට ගන්නා කවර තැනක වූවත් ඒවා ඒවා ගේ කෘත්‍යය සිදු කරමින් සිටිති. තිරිසන් කයක් තුළ වේවා, මිනිස් කයක් තුළ වේවා, දේව බ්‍රහ්ම වේවා, කවරෙක් තුළ වූව ද මේ ක්‍රියාවන් වෙනසක් නැති ව සිදු වෙයි.


සංඛාර යන කොටසේ දැක් වූ චෛතසිකයන් ගේ මිශ්‍රණයෙන් ඒවාට විවිධ හැඩතල ඒ ඒ අවස්ථානුරූපී ව ලැබෙයි. එය ඉහත සඳහන් කළ සියලු විස්තරය ම කල්පනා කොට අවබෝධ කර ගෙන තේරුම් ගත යුත්තේ ය.


එසේ තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් මේ ස්කන්ධ පැවැත්ම තේරුම් ගත යුතු ය. සමුදය වශයෙන් මේ ස්කන්ධ පහට ම අවිද්‍යා - තෘෂ්ණා - කර්ම යන මේ තුන උපකාරී වන අතර වර්තමාන උපස්ථම්භන වශයෙන් රූපයට ආහාරයත්, විඥානයට නාම රූපත්, වේදනා, සංඥා, සංස්කාරයන්ට ස්පර්ශයත් හේතු වන බව මෙයින් දත යුතු ය.


මේවා නැති වීමෙන් මේ ස්කන්ධයන් ගේ නැති වීම සිද්ධ වෙයි. එය පටිච්චසමුප්පාද ධර්මයන් ඉගෙන ගෙන, කල්පනා කර බලා නාම - රූපයා ගේ හේතු ප්‍රත්‍යය ගැන පිරිසිදු ඥානයකට පැමිණිය යුතු ය. එයින් සමුදය සහ වය අවබෝධ වෙයි.


එයින් සත්ත්ව පුද්ගල භාවයෙන් තොර ස්කන්ධයන් ගේ ආත්ම ශූන්‍ය පැවැත්ම තේරුම් ගන්නේ, ස්කන්ධයන් ගැන යථාභූත සිහිය උපදියි. එය ම මතු ලබන විදර්ශනා ඥානයන් ගේ පහස ලබන්නේ, ලෝකයේ තණ්හා දිට්ඨි අනිශ්‍රිත ව වාසය කරයි. උපාදාන විරහිත වන්නේ සංසාර දුක්ඛයෙන් අත මිදෙයි.


මේ ධම්මානුපස්සනාවේ එන ඛන්ධ පබ්බයට අයත් කර්මස්ථාන විවරණය යි.


මේ විස්තරයෙන් පසු මෙම ඛන්ධ පබ්බයට අදාළ

කර්මස්ථාන විවරණය අවසන් වන්නේ ය.


bottom of page