top of page

14. නීවරණ භාවනාවෙන් නිවනට

මෙම කර්මස්ථානයට අදාළ පාලිය මෙසේ ය.


“කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති? ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු? ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.”


එහි විස්තරය මෙසේ ය.


මෙම කර්මස්ථානයේ දේශිත නීවරණ ධර්ම පහකි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන - මිද්ධය, උද්ධච්ච - කුක්කුච්චය, විචිකිච්ඡාව වශයෙනි.


පෙර කථා කළ කාය, වේදනා, චිත්ත යන කර්මස්ථාන නිර්දේශ වල දැක් වූ සියලු කර්මස්ථාන සහ මේ ධම්මානුපස්සනා කර්මස්ථානය අතර සැලකිය යුතු පැහැදිලි වෙනසක් ඇත්තේ ය.


පෙර කී ඒ සියලු ම භාවනාවන් කාය වශයෙන් පවතින ස්වකීය කය හෝ බාහිර ආරම්මණයන් ද, ඇති වන වේදනාවන් හෝ චිත්තයන් ගේ ස්වභාවය ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් ද කල්පනා කරමින් පවතින යතාර්ථය කල්පනා කිරීම පිණිස දේශනා කරන ලද්දේ ය.


එනිසා ඉහත දැක් වූ සියලු ම කර්මස්ථාන විවරණ වල දී, ඒ කර්මස්ථාන පාලිය දක්වා, එම නාම - රූප ධර්මයන් ගේ පවතින යතාර්ථය දැක්වීම සිදු කරන ලදී. අනතුරුව එය අවබෝධ කර ගන්නා යෝගාවචරයා විසින් කළ යුතු විදර්ශනාව දක්වා, එයින් ඇති කර ගන්නා සිහියෙන් නිවන් මග දක්වා ම කර්මස්ථානය ලියා දක්වා ඇත්තේ ය. එය විදර්ශනා කරන ආකාරය මෙසේ ය යන්න කිසිදු අනු මාතෘකාවක් නො තබා පිළිවෙලින් කර්මස්ථානයේ ගලා යෑම නිවන් මග තෙක් ම දක්වන ලදී.


ධම්මානුපස්සනාව එසේ රූප කොටසක් හෝ නාම කොටසක් වෙන වෙන ම විදර්ශනා කළ හැකි භාවනාවක් නොවේ. මෙය නාම රූප මිශ්‍ර ව වැඩෙන භාවනාවක් බැවින් පළමු ව කර්මස්ථානයේ අවශ්‍යයතාවය පාලියේ දැක්වෙන ආකාරයට ම හඳුනා ගත යුතු ව ඇත. අනතුරුව ඒවාට අවශ්‍යය විස්තර සපයා ගත යුතු ය. අනතුරුව විදර්ශනාව දැක්විය යුතු ය. මෙය බොහෝ කරුණු සහිත භාවනා කර්මස්ථාන නිර්දේශයකි. දාෂ්ඨි ඇති ප්‍රඥාවන්තයාට විදර්ශනා කරනු වස් දේශනා කොට වදාළ ලදී. එනිසා ධම්මානුපස්සනාව විස්තර කරන මේ විවරණ වල දී පළමු ව පාලියේ අර්ථය සැකෙවින් දක්වා, දෙවනු ව ඒවාට අදාළ විස්තර දක්වා තෙවනු ව විදර්ශනාව විස්තර කිරීම සිදු කරමි.


ඒ අනුව ඉහත දැක් වූ පාලියේ විස්තරය සුමට බසින් මෙසේ දත යුතු ය.


“කෙසේ නම් යෝගාවචරයා විසින් ධම්මානුපස්සනාවේ යෙදෙත් ද යත්, පංච නීවරණ ගැන මනසිකාරය කරමින් වාසය කරයි. කෙසේ නම් පංච නීවරණ ගැන මනසිකාරය කරමින් වාසය කරයි ද යත්,


තමන් තුළ කාමච්ඡන්දයක් ඇති විට කාමච්ඡන්දයක් ඇතැ යි යැයි දැන ගනී. කාමච්ඡන්දයක් නැති විට කාමච්ඡන්දයක් නැතැ යි යැයි දැන ගනී. යම් කිසි ආකාරයක නූපන් කාමච්ඡන්දයෝ වෙත් ද, ඒවා ඉපදීමට හේතු දැන ගනී. එසේ උපන්නා වූ කාමච්ඡන්දයක් යම් සේ ප්‍රහාණය වේ ද, ඒ ප්‍රහාණය වන ආකාරය දැන ගනී. යම් කිසි ආකාරයකින් නැවත කාමච්ඡන්දයෝ කිසි ම විටක නූපදින අවස්ථාවක් වේ ද, එය ද දැන ගනී.”


මේ එම පාලියේ සරල බසින් සිදු කර ඇති විවරණයකි. ඒ අනුව යෝගාවචරයා විසින් පළමු ව කාමච්ඡන්දය කුමක් දැ යි දැන ගත යුතු ය.


මෙහි කාමච්ඡන්දය යනු බලවත් ලෝභය යි. කාම අරමුණු හෝ කාම වස්තූන් ලබා ගැනීම පිණිස සිතේ ඇති වන බලාපොරොත්තුව ය, එය ආශ්වාද කිරීම ය, එහි සිත් ඇලවීම ය, එයට ආදරය කිරීම ය, ප්‍රිය වීම ය යන මේ බලවත් කාමරාගය හෙවත් කාම ආශාව කාමච්ඡන්දය නම් වේ.


එම කාමච්ඡන්ද නීවරණය විදර්ශනා කරන ආකාරය -


මේ වැනි කාමච්ඡන්ද සිතක් යම් අවස්ථාවක යෝගාවචරයෙක් ළඟ ඇති වුව හොත් ඒවාට යට වී ඒ ආශාවන් සිද්ධ කර ගැනීම විදර්ශනා වඩන යෝගාවචරයන් විසින් නො කළ යුත්තකි. එවිට තමන් සන්තානයේ මේ ආකාරයේ සිතක් හේතූන්ට අනුරූපී ව පහළ වූයේ යැයි දත යුතු ය. ඒ සඳහා “සන්තං වා අජ්ඣත්තං කාමාච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති” යැයි දේශනා කොට වදාළ සේක.


එවන් සිතක් නැති අවස්ථාවක එවැනි චෛතසික මිශ්‍රණයක් එම අවස්ථාවේ දී සිතට යෙදී නැති බැවින් එවන් සිතක් පහළ වී නැතැ යි දත යුතු ය. ඒ සඳහා “අසන්තං වා අජ්ඣත්තං කාමාච්ඡන්දං නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති” යන පදය දේශනා කොට වදාළ සේක.


සත්ත්ව සන්තානයේ මෙවන් සිතිවිල්ලක් ජනනය වූ පසු සත්ත්වයා තමන් තුළ සිදු වන මේ චිත්ත චෛතසිකයන් ගේ ක්‍රියාකාරීත්වය වරදවා ගෙන තමන්ට මෙසේ සිතී ඇත ය, දැන් එය කළ යුතු ය යැයි සිතා කය උපකාරී කර ගෙන එම කාර්යයේ යෙදෙති. අන්ධ බාල පෘතග්ජනයා ගේ ස්වභාවය එය ය. ඔවුන් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නො හැකි ය.


නමුත් ධර්මය දත් ප්‍රඥාවන්තයෝ එසේ නො කරති. ඔවුහු තමන් සන්තානයේ සිදු වූ චිත්ත විපර්යාසය දනිති. දැන ඒ චිත්තයේ ස්වභාවය නිරීක්ෂණය කරති. පිරිසිදු බවින් යුත් චිත්තය යම් ආරම්මණයක වැටී, එහි වේදනාව, වේදනා චෛතසිකය විසින් මිහිරි ආකාරයකින් විඳ, දැන් චිත්ත නියාම ධර්මයට අනුව ජවන චිත්තයන් පහළ වන්නේ, එයට ආශා කරමින් පහළ වන බව දත යුතු ය. එසේ දැන ඒ ආරම්මණයේ ලෝභ චෛතසිකය වැඩිමනක් මිශ්‍ර වී ඇති බැවින් ලෝභනීය ආකාරයෙන් වැටී ඇති මේ සිත දැන් කාමච්ඡන්දය සහිත සිතක් බව දැන ගත යුතු ය.


වේදනාවේ අනිත්‍ය නො දැන, ආරම්මණයේ යථාකාරය නො දැන පවතින අයෝනිසෝමනසිකාරය නිසා සුභ නිමිත්තේ මුලාවට පත් ව එම කාමච්ඡන්දය ඇති වී ඇති බව දත යුතු ය. එහි යම් සත්ත්වයෙක් විසින් තමන් සන්තානයේ ලෝභය ඇති කර ගත්තා නොවේ. ප්‍රසාදය ඉදිරියේ ආපාථ ගත වූ රූපාරම්මණය ලෝකයේ සුභ වශයෙන් සම්මත වූ එකක් නිසා, එය දැන ගන්නා විඥානයෙන් අරමුණ දැන ගත් (දැක ගත්) පසු, සංඥා චෛතසිකයෙන් එය පැරණි අත්දැකීම් හෝ අත්විඳීම් ඇසුරෙන් සුභාරම්මණයක් ලෙස හඳුනා ගෙන, එම ආරම්මණයේ මිහිර වේදනා චෛතසිකයෙන් විඳ, ජවන් වල උපකාර ලැබ අරමුණ කෙරෙහි සිත කය පවත්වන්නේ ය. එහි සත්ත්ව පුද්ගල භාවයෙන් ක්‍රියාත්මක වන ආත්ම ස්වභාවයක් නැත. චිත්ත චෛතසිකයන් ගේ කෘත්‍යය සන්තතියක් පමණක් ඇත.


සංඥාව අරමුණ හඳුනා ගන්නේ අතීත අත්දැකීම මතින් ය. අලුතින් ම එන ආරම්මණයක් නම්, එය ලෝකයේ සම්මතාකාරයෙන් හඳුනා ගනී. මෙයට උපමාවක් වශයෙන් ඇතැම් විදේශ රට වල ආහාරයට ගන්නා සර්පයින් ගැන කල්පනා කළ යුතු ය. ඔවුන් අතීතයේ දුර්භික්‍ෂ සමයක දී ජීවිතය ගැට ගසා ගැනීමට සර්පයන් ආහාරයට ගැනීමට පුරුදු විය. ඔවුන් ගේ අලුතින් උපදින දරුවන් හට, උපදින විට ම ලැබී ඇත්තේ එය ආහාරයට ගත හැකි ආහාර වර්ගයක් ය යන සංඥාව යි. නමුත් ලක්දිව ජීවත් වන අපට වැටී ඇති පැරණි සංඥාව නිසා, වෙනත් මාංශ ආහාරයට ගත්තත්, අප සර්ප මස් කෑමට පුරුදු ව නැත. එය එම සතා ගේ මාංශය සම්බන්ධ ව ඇති ගැටළුවක් නොවේ ය, හුදු රටවල් දෙකක ජීවත් වන මිනිසුන් සතු ව ඇති සංඥා දෙකක ගැටළුවක් බව එයින් දත යුතු ය.


මෙසේ කාමච්ඡන්දය හෙවත් බලවත් ලෝභය සන්තානයේ ඇති වන ආකාරය චිත්ත චෛතසිකයන් ගේ ක්‍රියාකාරීත්වය වශයෙන් පිරිසිඳ බැලිය යුතු ය. එය “යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති” යන්නෙන් දේශනා කළ කර්මස්ථාන පාඨයේ දැක් වූ කාරණාව යි. හුදු සත්ත්ව පුද්ගල භාවයකින් තොර ව හේතූන්ට අනුරූපී ව හට ගන්නා බව, චිත්ත චෛතසිකයන් ගේ ක්‍රියාකාරීත්වයක් පමණක් ඇති බව දැන ගැනීම පිණිස යි.


මෙය ධර්මයේ දකින්නට ඇති අපූරු ගාථාවකින් වඩාත් පැහැදිලි වන ආකාරයට දක්වා ඇත. ඒ මෙසේ ය.


කම්මස්ස කාරකො නත්ථි - විපාකස්සච වේදකො

සුද්ධ ධම්මා පවත්තන්ති - එවෙතං සම්ම දස්සනං


එහි සරල අර්ථය -


ක්‍රියාවන් කරන්නෙක් නමින් වෙන් කොට හඳුනා ගත හැකි සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. විපාකය විඳින පුද්ගලයෙක් යැයි පැනවිය හැකි ආත්ම ස්වභාවයක් නැත. ශුද්ධ වූ ස්කන්ධ ධර්ම රාශියක ගේ පැවැත්මක් පමණක් වන්නා හ. මෙසේ දක්නා විදසුන් නුවණ ම යහපත් දැකීම වෙයි.


යමෙක් මේ ධර්මතාවයන් ගේ ක්‍රියාවලිය මෙසේ නො දකින්නේ අයෝනිසෝමනසිකාරය නිසාවෙනි. අයෝනිසෝමනසිකාරය නම් වැරදි කල්පනා ක්‍රමය යි. වැරදි ආකාරයෙන් කල්පනා කිරීම යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ සංස්කාරයෝ ඔස්සේ පහළ වන වැරදි කල්පනාවෝ එම සංස්කාරයන් ගේ යතාර්ථය නො දක්වා, ඒවා ගේ සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය වසා ඒවා මිහිරි ලෙස පෙන්වයි. සාර ලෙස පෙන්වයි. සැප ලෙස පෙන්වයි. පවත්වා ගැනීමට යොමු කරයි. එයින් මේ කාමච්ඡන්දය උපදින බව පළමු ව දත යුතු ය.


යෝනිසෝමනසිකාරය හෙවත් කාරණාවන් පිළිබඳ ව ඇති ඒ ඒ ස්වභාවය, ලක්ෂණය, කෘත්‍යාදිය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නිවැරදි ව එහි ඇති ආකාරයෙන් ම අවබෝධ කිරීම් වශයෙන් උපදින ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදය හේතු වී යම් හෙයකින් සන්තානගත ව කාමච්ඡන්දය නැති අවස්ථාවක එය සත්ත්ව පුද්ගල භාවයෙන් ‘මා තුළ දැන් කාමච්ඡන්දයක් නැතැ’යි යන වැරදි ආත්ම දෘෂ්ඨියෙන් නො ගෙන ආරම්මණය ගැන ඇති යෝනිසෝමනසිකාරය නිසා මෝහ, ලෝභ ආදී චෛතසිකයන් ගේ පැවැත්මක් නැති ව එවන් ආකාරයේ බලවත් ලෝභයක් තමන් සන්තානයේ හට ගෙන නැතැ යි චෛතසිකයන් ගේ ක්‍රියාකාරීත්වය වශයෙන් ම දත යුතු ය.


සත්‍යයකි. එහි සත්ත්ව පුද්ගල භාවයක් නම් පැණෙන්නේ නැත. හුදු චිත්ත චෛතසිකයන් ගේ ක්‍රියාකාරීත්වයක් පමණි. එම ක්‍රියාකාරීත්වයේ ඇති වේගවත් බව නිසා, එහි ප්‍රඥාව නො යෙදෙන්නේ, එම ක්‍රියාකාරීත්වය හසු නොවී එය සත්ත්ව පුද්ගල භාවයෙන් ගනී. තමන්ට අවශ්‍යයතාවයක් පැන නැගී ඇතැ යි සිතමින් එම අවශ්‍යයතාවය දුරු කර ගැනීමට දුවයි. ක්‍රියාකාරීත්වය දකින්නා එහි සිනහවක් පමණක් පහළ කොට, එහි ම නවතියි.


වර්තමානයේ කර්මස්ථානාචාර්යවරුන් අතින් දූෂිතව ඇති තවත් පදයක් ලෙස මෙයත් හැඳින්විය හැකි ය. ඇතැමුන් මේ පරියාය නො දැන තමන්ට කාම සිතිවිල්ලක් ආවේ යැ යි හඳුනා ගෙන, ‘ආවා, ආවා’ යැයි සිතමින් කල් මරති. ඇතැමුන් කාම සිතිවිල්ලක් නො දැක ‘ගියෝ, ගියෝ’ කියමින් කල් මරති. එයින් සත්ත්ව පුද්ගල භාව දෘෂ්ඨියේ දුරු වීමක් නම් නැත. උපදින සිහියක් ද නැත. මැරෙන තුරු ම ‘ආවෝ ගියෝ’ කියමින් සිට පෘතග්ජන ව ම මියැදෙයි. නැවත සංසාරයේ උපදී. සංසාරයෙන් මිදීම කෙසේ වෙතත්, කාම සිතිවිල්ල යට කර ගැනීමට වත් දක්ෂයෙක් නො වෙයි. එයින් ලැබෙන විමුක්තියක් නම් නැත්තේ ය.


මේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය කල්පනා කරන්නා ම මෙහි නාම රූප පරිච්ඡේදය කර ගනී. ඒවා ගේ යථාකාර පැවැත්ම දකී. එයින් ම සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය දුරු වෙයි. එනිසා ඒ සෑම අවස්ථාවක ම ඒ ඒ ධර්ම වල ක්‍රියාකාරීත්වයන් වෙන වෙන ම අවබෝධ කර ගත යුතු ය. ආරම්මණය, ආරම්මණය ලෙස දත යුතු ය. ප්‍රසාදය, ප්‍රසාදය ලෙස දත යුතු ය. අරමුණ දැන ගන්නා විඥානය, විඥානය ලෙස දත යුතු ය. අරමුණේ මිහිර විඳ ගන්නා වේදනාව, වේදනානුපස්සනාවේ දැක් වූ ආකාරයට චෛතසික වශයෙන් දත යුතු ය. ඒවාට ආශා කරවන ලෝභ ජවනයන්, ජවනයන් ලෙස ම දත යුතු ය. එයින් මේ ධම්මානුපස්සනාවේ බලාපොරොත්තු වන සිහිය උපදී.


යම් හෙයකින් ඉපදී නැති කාමච්ඡන්දයක් වේ ද එය කුමන කරුණු හේතු කොට ගෙන උපදී දැ’යි දත යුතු ය. එය “යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති” යන පාලි පාඨයෙන් දක්වනු ලැබී ය.


එහි විස්තරය මෙසේ ය.


යම් අවස්ථාවක දී චක්ෂු, ශෝත්‍ර ආදී ද්වාර වල ගැටෙන ලෝකයේ සුභ යැයි සම්මත අරමුණත්, එහි පවත්වන අයෝනිසෝමනසිකාරයත් නිසා කාමච්ඡන්දය ඇති වේ යැයි දත යුතු ය. ඒ සඳහා “යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති” යන කර්මස්ථාන පාඨය දේශනා කොට වදාළ සේක.


ප්‍රසාදයෝ, ප්‍රසාදයන් ගේ ආකාරයෙන් ම පවතී. ඒවාට ගෝචර වන අරමුණු කායානුපස්සනාවේ කී සෙයින් කුණු වන, දිරන, නරක් වන ඒවා ම වෙති. අඥාන ලෝකයා ම ඊට නො වටිනා වටිනාකම් දී ඇත්තේ ය. ඊට අනුව එහි මුලා වන අරමුණු දැන ගන්නා විඥානය, සංඥාවේ ද උපකාරය ඇති ව ඒවා ලෝක සම්මත ආකාරයෙන් ම හඳුනා ගනී. එයින් උත්තේජනය ලබන වොත්ථපන නම් විනිශ්චය කරන සිත ඒවා සුභ විදියට ගන්නේ පෙර ඇති වූ අයෝනිසෝමනසිකාරය නිසා ය. සද්ධර්ම ලාභය ලැබී නැති නිසා ය. කළ්‍යාණ මිත්‍රයෙක් ගෙන් කාරණාව හරි හැටි ඉගෙන ගෙන නැති නිසා ය. මෙසේ කාමච්ඡන්දය උපදින බව දත යුතු ය.


යම් ආකාරයකින් උපන්නා වූ කාමච්ඡන්දය නිරුද්ධ වේ ද ඒ ආකාරයත් දත යුතු ය. ඒ සඳහා “යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති” යැයි දේශනා කොට වදාළ සේක.


කාමච්ඡන්දය ඇති වීමට හේතු උපකාර වනවා සේ ම, නැති වීමත් හේතූන් ගෙන් උපකාර ලදු ව ම නැති වෙයි. එය තමන් ගේ ආනුභාවයෙන් නැති කිරීමට සමත් සත්ත්ව පුද්ගල භාවයක් නම් ලෝකයේ නැත. එහි නැති වීමේ හේතු මෙසේ දත යුතු ය.


කාමච්ඡන්දය නැති වීමට බලපාන කරුණු හයකි.


01. කායානුපස්සනාවේ දැක් වූ නව සීවථිකය ද, පටික්කූල මනසිකාරයේ දැක් වූ කේසාදීන් ගේ පිළිකුල ද වශයෙන් අසුභ අරමුණු ඉගෙන ගැනීමෙන් කාමච්ඡන්දය දුරු වේ.


02. පටික්කූල මනසිකාර භාවනාවේ යෙදී එයින් උපචාර හෝ අර්පණා සමාධිය උපදින සේ මනා ව සිදු කරන අසුභ භාවනාවේ යෙදීමෙන් ද කාමච්ඡන්දය දුරු වේ.


03. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රීයයන් ගෙන් ඇතුළු වන රූප, ශබ්දාදියේ කෙලෙස් ඇති නො වන සේ සිහි එළවා ගෙන වාසය කිරීම හෙවත් ඉන්ද්‍රීය සංවරය ඇති බැවින් ද කාමච්ඡන්දය දුරු වේ. මේ ගැන වැඩි විස්තර අප විසින් මතු සම්පාදනය කරන කෙලෙස් තවන්නා ගේ අංග යන ග්‍රන්ථයෙන් දත යුතු ය.


04. ආහාරයේ පටික්කූල සංඥාව වැනි භාවනාවන් ගේ යෙදී ඇති කර ගන්නා භෝජනයේ පමණ දැන ගැනීමෙන් ද කාමච්ඡන්ද නීවරණය දුරු වේ. මේ ගැන වැඩි විස්තර මේ කර්මස්ථාන විවරණයේ ම ඇති ථීන - මිද්ධ කොටසේ දී විවරණය කර ඇති ආකාරයෙන් දත යුතු ය. අප විසින් සම්පාදනය කර ඇති ආහාරයේ පටික්කූල සංඥාව නැමැති ග්‍රන්ථයෙන් ද වැඩි විස්තර දත යුතු ය. එම භාවනාව වැඩීමෙන් ද දත යුතු ය

.

05. අසුභ භාවනාවන් හි ඇලුණු, අසුභ කථාවෙන් දවස පෝෂණය කරන කළ්‍යාණ මිත්‍ර සේවනයෙන් ද කාමච්ඡන්දය දුරු වේ.


06. පවත්වන සෑම ඉරියව්වක ම, ගත කරන සෑම මොහොතක ම මේ කුණු කය ආදිය ගැන අසුභ බව හෝ පිළිකුල් බව ආදිය ප්‍රකට වන සප්පාය කථා හෙවත් කාමච්ඡන්දය දුරු වීමට උපකාර වන කථා ලැබීමෙන් ද කාමච්ඡන්දය දුරු වේ.


මේ හේතු හය ලබන්නේ, එයින් කාමච්ඡන්දයට සන්තානයේ ඉඩක් නැති බව ද, ඉදින් ඉපදී ඇත්නම් ඒවා දුරු වන බව ද දැන, ඇති වන කාමච්ඡන්දයට ඉඩ නො තබා, සුදුසු හේතු සම්පාදනයේ යෙදී ඒවා වළක්වා ගත යුතු ය. එය තමන් ගේ ආනුභාවයෙන් පමණක් කළ හැකි සත්ත්වයෙක් ලෝකයේ නැත. ඒ සත්ත්ව පුද්ගල ශූන්‍ය බව නිසා ය. හේතූන් ට අනුව සකස් වන, හේතු නැති වන විට නිරුද්ධ වන ධර්මතා රාශියක ගේ ක්‍රියාකාරීත්වයක් පමණක් පැණෙයි. එය කල්පනා කොට ඒ ආත්ම දෘෂ්ඨිය ද දුරු කර ගත යුත්තේ ය. මේ සඳහා “යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති” යන දේශනා පාඨය දක්වන ලදී.


මේ කාමච්ඡන්දය සම්පූර්ණයෙන් විනාශ වී යන්නේ රහත් මගින් ය. අනාගාමී අවස්ථාවේ දී ද කාමරාග දුරු වන නමුත්, ලෝකය පිළිබඳ ඇති තණ්හාව සම්පූර්ණයෙන් ම විනාශ වී යන්නේ රහත් මගට පැමිණ බව දත යුතු ය. එය ද යෝගාවචරයා දැන සිටිය යුතු බව “යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.” යන දේශනා පාඨයෙන් දක්වන ලදී. කුමක් හෙයින් මෙසේ දැන සිටිය යුතු ද යත්, විෂ්කම්භණ ප්‍රහාණයේ මුලා නො වීම පිණිස ය. හේතු ඇති වූ කල ඇති වේ යැ යි ද, නැති වූ කල නැති වේ යැ යි ද දැන සිටීම උදෙසා ය. තමන් ගේ වසඟයේ පැවැත්විය නො හැකි සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවයක් ඇති බව පසක් කර ගැනීම උදෙසා ය.


ව්‍යාපාද, ථීන මිද්ධ ආදී තැන් වල ද මේ නය ම වේ. පාලිය ද වෙනසක් නොවේ. හුදු කාමච්ඡන්දය යන වචනය වෙනුවට අදාළ නීවරණයේ නම පමණක් යෙදී වෙනස් වෙයි.


පෙර කාමච්ඡන්ද නීවරණයේ කී ලෙස ම අනෙක් සියලු ම නීවරණයන් ද සන්තානගත ව ඇති වී ඇති විටක ඒ ධර්මතාවයන් ගේ ක්‍රියාකාරීත්වය සත්ත්ව පුද්ගල භාවයෙන් මිදී ඇතැ යි ද, නැති විට ඒ ලෙස ම නැතැ යි ද, ඇති වන හේතු ද, නැති වන හේතු ද,


නැවත නූපදින ලෙස සම්පූර්ණයෙන් ම නැති වී යන අවස්ථාව ද යෝගාවචරයා විසින් දත යුත්තේ ය.


මෙතැන් පටන් මේ නීවරණ පබ්බයේ පාලිය හෝ විදර්ශනාකාරය නො දක්වා මේවා කල්පනා කිරීමට අවශ්‍යය වන කරුණු පමණක් පහත දක්වමි. ඒ අනුව කල්පනා කරන න්‍යාය කාමච්ඡන්දයේ දැක් වූ පරිදි ම දත යුතු ය.


ව්‍යාපාද නීවරණය


ව්‍යාපාදය පටිඝ නිමිත්තත්, අයෝනිසෝමනසිකාරයත් නිසා හට ගනී. පටිඝ නිමිත්ත යනු හැප්පීමට සමත් අරමුණු ය. එවැනි අරමුණු හැප්පීමෙන් බය, ක්‍රෝධය, තරහව ආදිය උපදී.


එසේ ව්‍යාපාදය ඇති වූ විට අනුන්ට හිංසා කිරීමට සිතීම, සිතේ තරහ ඇති වීම, සිත නරක් වීම, අනුන් විනාශ කරනු කැමැත්ත ආදිය ඇති වෙයි. එය එයින් දත යුතු ය. එය අනාගාමී මාර්ගයට පැමිණ සහමුලින් ම පහව යයි.


ව්‍යාපාදය දුරු කිරීමට උපකාරී වන ගුණ ධර්ම සයකි.


01. මෛත්‍රී නිමිත්ත ඉගෙනීම - එනම් අන් අය කෙරෙහි පවතින හිතාධ්‍යාශය ය. හිත අහිත සත්ත්වයන් ගේ වශයෙන් වෙනසක් නැති ව මෛත්‍රිය පැතිරෙන තරම් මෛත්‍රී භාවනාවේ වර්ධිත තත්ත්වයකි. එයින් ව්‍යාපාදය දුරු වේ.


02. නිතර ම මෛත්‍රී භාවනාවේ යෙදීම - මෙයින් ද ව්‍යාපාදය දුරු වේ.


03. කර්මය ප්‍රත්‍යවේක්ෂා කිරීම - තමාට හෝ සතුරාට ඇති කර්මය පිළිබඳ සිහි නුවණින් සිතා බැලීම යි. තමන් මේ පටිඝ නිමිත්තෙහි කිපීම නිසා තමන්ටත් අකුසල් වන බවත්, අන් අය ගේ කෝපය ඔවුන්ට ම අහිත වන කර්මයක් මිසක් එයින් අපට වන අයහපතක් නැති බවත්, ඔවුන් ගේ සැනසීම උදුරන කර්ම විපාකයක් ම බවත් සිහියෙන් සලකා ගත යුතු ය. එයින් ද ව්‍යාපාදය දුරු වේ.


04. තව ද අපගේ ශාස්තෘන් වහන්සේ පාරමී පුරන කාලයේ ප්‍රගුණ කළ ඉවසීම සීලව, කන්තිවාදී, චූළධම්මපාල, ඡද්දන්ත, මහා කපි, භූරිදත්ත, සංඛපාල, මාතුපෝසක වැනි ජාතක කතා වලින් කතා වස්තූන් ඉගෙන, උන්වහන්සේ විසින් ආශ්චර්යයක් කළා සේ ක්‍රෝධයට වසඟ නොවී මෛත්‍රියෙන් ක්‍රිියා කළ ආකාරය ද නුවණින් සැලකිය යුතු ය. එය පටිසඞ්ඛානබහුල බව නම් වන අතර එයින් ද ව්‍යාපාදය දුරු වේ.


තව ද මේ අනවරාඝ්‍ර සංසාරයේ මා හට මවක් නො වූ, පියෙක් නො වූ, සහෝදර, සහෝදරියක් නො වූ අයෙක් නම් නැත්තේ ය. මේ තැනැත්තෝ මාගේ අතීත කාලයේ ඥාතීන් විය හැකි යැ යි නුවණින් සලකා හෝ සිත දූෂ්‍ය කර ගැනීමෙන් වැළකිය යුතු ය. එයත් පටිසඞ්ඛානබහුල බව ම වන අතර එයින් ද ව්‍යාපාදය දුරු වේ.


05. මෙත් වඩන කළ්‍යාණ මිත්‍රයන් ඇති බව ද ව්‍යාපාදය දුරු වීමට හේතුවක් ය.


06. මෛත්‍රියේ ආනිශංස වැනි දේවල් ගැන සුදුසු කථා ලැබීමෙන් ද ව්‍යාපාදය දුරු වන්නේ ය. එය සප්පාය කථා නම් වේ.


මෙසේ ව්‍යාපාද නීවරණය ගැන දැන එය ධර්මතා වශයෙන් ම ඇති නැති බව, හට ගැනීම්, නැති වීම් ආදිය කාමච්ඡන්දයේ දී කී නයින් කල්පනා කළ යුතු ය. එයින් මේ සිතේ ඇති වන ධර්මතා ගැන වූ නිවැරදි සිහිය ධම්මානුපස්සනාවෙන් උපදී.


ථීන - මිද්ධ නීවරණය


ථීනය සහ මිද්ධය යනු චෛතසික ධර්ම දෙකකි. ථීනය සිත හකුළුවයි. මිද්ධය චෛතසිකයන් හකුළුවයි. එයින් හැකිළෙන ලද්දේ මලානික ගතියට පැමිණ එයට යට වෙයි.


මේ චෛතසික දෙකක් වූවත් මෙය එකට ම දක්වා තිබෙන්නේ කෘත්‍ය, උත්පත්ති හේතු, විරුද්ධ ධර්මයන් ගේ ඇති සමානකම් යන දේවල් සලකා බව දත යුතු ය.


ථීන මිද්ධ චෛතසික දෙකෙහි ම කෘත්‍ය හෙවත් එය සිදු කරන්නේ සිත හැකිළවීම ය. මේ දෙකට ම හේතු වන්නේ අලස බව සහ කයේ නො සොල්වන බව ය. මේ දෙක ම වීර්යයට විරුද්ධ ය. එබැවින් ඒවා එකට දක්වා තිබේ.


අරති, තන්දි, විජම්භිතා, භත්තසම්මදය, චේතසො ලීනත්තං යන මේවා ගැන ඇති වන අයෝනිසෝමනසිකාරය නිසා ථීන මිද්ධ හට ගන්නේ ය.


අරතිය යනු කම්මැලිකම යි. තන්දිය යනු ද කයේ කම්මැලි භාවය යි. විජම්භිතා යනු ඇඟ මැලි කැඩීම් ආදිය සිදු කිරීමේ ස්වභාවය යි. භත්තසම්මදය යනු බත් මත ය. බත් මත කී කල එහි බඩගින්න නිසා ඇති වන බඩේ දැවිල්ල ද, ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නිසා ඇති වන බත් මතය ද යන දෙක ම ඇතුළත් වේ. චේතසෝ ලීනත්ත භාවය යනු කුසල ධර්මයන් ගේ සිත පසු බැස හැකිළීම යි. මේ තැන් වල ධර්මතාවන් ගේ ක්‍රියාකාරීත්ව වශයෙන් නො දැන, සත්ත්ව පුද්ගල භාවයෙන් ගන්නේ එය අයෝනිසෝමනසිකාරය නම් වේ. එම නිසා ථීන මිද්ධය ඇති වී වැඩෙයි.


ථීන මිද්ධය නැති වීම පිණිස වඩන යෝනිසෝමනසිකාරය සඳහා පළමු ව ආරම්භ ධාතු, නික්ඛම ධාතු සහ පරක්කම ධාතු යන ධාතූන් ගේ වැඩීම සිද්ධ කළ යුතු ය.


ආරම්භ ධාතුව යනු යම් කිසි යහපත් කටයුත්තක පළමු ආරම්භ වීර්යය යි. යමක් කළ යුතු යැයි සිතා එය ආරම්භ කිරීම යි. එය කර ගෙන යන විට කම්මැලි නොවී දිගට ම කර ගෙන යෑමට වීර්යය ඇති වීම නික්ඛම ධාතුව යි. මෙය පසු පසින් උපදින නිසා මතු මතු ලබා ගත යුතු විශේෂ ප්‍රතිඵලයන්ට මෙය වඩාත් උපකාරී වේ. එනිසා මෙය තරමක් බලවත් වීර්යයකි.


එසේ ම යමක් කර ගෙන යන විට එන බාධා ආදිය නුවණින් මඩිමින් තවත් ස්ථාන ආක්‍රමණය කරමින් කෙළවරක් දක්වා ම එම කාර්යය සිදු කර ගන්නා වීර්යය පරක්කම ධාතුව නම් වේ. මෙය වඩාත් බලවත් ව උපදී.


මෙයට අමතර ව සිය අරමුණ තුළ සිත දැඩි ව තබා ගන්නා වීර්යයක් ඇති අතර එය ථාම ධාතු නම් වේ. තමන් ගේ අරමුණ කරා යෑමට ඝන පර්වතයක් සේ නො සැලී වීර්යය කරන ස්වභාවය ඨිති ධාතු නම් වේ. උපක්‍රමශීලී ව තමන් ගේ අරමුණ දක්වා කටයුතු මනා ව කළමණාකරණය කර ගැනීමේ හැකියාව උපක්කම ධාතු නම් වේ. මෙසේ ද ධාතු ආකාරයක් පවතින බව දත යුතු ය.


තව ද කායික වීර්යය - චෛතසික වීර්යය නමින් වීර්යය දෙකකි. එහි කායික වීර්යය යනු දිනය පුරා ම භාවනා ආදිය කරමින් ගත කිරීම ය. කයින් දිනය පුරා ම සක්මන් ආදිය කරමින් වෑයම් කිරීම ය.


චෛතසික වීර්යය යනු ‘මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන තාක් මේ විවේක ස්ථානයෙන් නො යන්නේ මැ’යි ස්ථානය හෝ භාවනා පර්යංක ඉරියව්ව පිරිසිඳ දැන අරමුණෙහි සිත තදින් බැඳ තබා ගෙන වෑයම් කිරීම යි. මේ දෙ වැදෑරුම් වීර්යයෙන් ද ථීන මිද්ධය නූපදී. ඉපදුන ද පහ ව යයි.


තව ද ථීන මිද්ධය දුරු කිරීමට උපකාරී වන කරුණු සයක් ඇත. එනම්,


01. අති භෝජනයේ නිමිති දැන ගැනීම

02. ඉරියාපථ සම්පරිවත්තනතාව

03. ආලෝක සංඥා මනසිකාරය

04. අබ්භෝකාසවාසය

05. කළ්‍යාණ මිත්‍ර සේවනය

06. සප්පාය කථා යන මේ කරුණු සයයි.


මෙහි අති භෝජනයේ නිමිති දැනීම යනු යැපෙන පමණ දැන ආහාර ගැනීම ය.


මේ ආහාර ගන්නා පුද්ගලයන් ආහාරහත්ථක, තත්‍රවට්ටක, අලංසාටක, කාකමාසක, භුත්තවම්මික වශයෙන් පස් (05) ආකාරයකින් දත යුතු ය.


එහි යමෙක් ආහාර ගත් පසු උගුරේ ඇති ආහාර පවා අතින් ගැනීමට හැකි වන සේ ප්‍රමාණයටත් වඩා ආහාර ගන්නේ නම් ඔහු ආහාරහත්ථක නම් වේ.


යමෙක් ආහාර ගැනීමෙන් පසු හිඳ ගත් ආසනයෙන් නැගිටිනු නො හැක්කේ එහි ම වැටේ නම් ඔහු තත්‍රවට්ටක නම් වේ.


කෑ පසු ඇඟේ ඇති වස්ත්‍ර තිබුණු විදියට රඳවා ගැනීමටවත් නො හැකි වන සේ ආහාර ගෙන ඒවා නැවත බුරුල් කර ගැනීම සිදු කර ගන්නා තෙක් ආහාර අනුභව කරන්නා අලංසාටක නම් වේ.


කාකමාසක නම් උගුර තෙක් ම ආහාර ගන්නෙක් ගේ උගුරෙන් කපුටක් හට හොට දමා ආහාර ගැනීමට හැකි වන සේ වළඳන්නා ය.

භුත්තවම්මික නම් කෑ දේ වමනය වන තරම් ආහාර අනුභවයට ගන්නා ය.


මේ අයුරින් ප්‍රමාණය ඉක්මවා ආහාර ගෙන යෝග කර්මයේ යෙදෙන්නා වෙත ථීන මිද්ධය හස්ති රාජයෙක් සේ පැමිණෙයි. ඔහුට වැඩිය හැකි වීර්යයක් නොවේ.


යම් ඉරියව්වක දී ථීන මිද්ධය උපදී නම් එම ඉරියව්ව වෙනස් කිරීම ඉරියාපථ සම්පරිවත්තනතාව නම් වේ. හිඳ ගෙන සිටිද්දී ථීන මිද්ධය නැග ආවේ නම් එම ඉරියව්ව වෙනස් කළ යුතු ය. එයින් ථීන මිද්ධය දුරු වේ.


අලෝක සංඥා මනසිකාරය නම් රාත්‍රී කාලයේ දී ථීන මිද්ධය නැග එන්නා හට චන්ද්‍රයා ගේ ආලෝකය ද, පහන් ආලෝකය ද, දැල් වූ ගිනි සුලවල් වශයෙන් ද, දහවල් කාලයේ නම් සූර්යයා ගේ ආලෝකය ද මනසිකාරය කිරීම ය. එයින් ද ථීන මිද්ධය දුරු වේ.


අබ්භෝකාසවාසය යනු එළිමහන් තැනක විසීම යි. කුටියක් ආදී තැනක ඇතුළත ථීන මිද්ධය නැග එන්නේ නම් එළිමහනකට ගොස් මඳ වේලාවක් විසීමෙන් ථීන මිද්ධය දුරු වෙයි.


කළ්‍යාණමිත්තතාව යනු ධූතාංග ආදිය පුරන ථීන මිද්ධය වැනි දේවල් නැති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය. එයින් ද ථීන මිද්ධය දුරු වේ.


සප්පාය කථා යනු වීර්යය, ධූතාංග ආදිය ගැන සිදු කරන ථීන මිද්ධය පහ කරනාකාරයේ කථා ලබන බවයි. එයින් ද ථීන මිද්ධය දුරු වේ. මේ ථීන මිද්ධය රහත් මගින් සම්පූර්ණයෙන් පහ ව යයි.


උද්ධච්ච - කුක්කුච්ච නීවරණය


උද්ධච්ච කුක්කුච්ච යනු ද චෛතසික ධර්ම දෙකකි. උද්ධච්චය යනු සිතේ ඇති වන නො සන්සුන් කම ය. කුක්කුච්චය යනු කළ පව් ගැනත්, නො කළ පින් ගැනත් සිතමින් පසුතැවිලි වන බව ය.


මේ ද චෛතසික දෙකක් වූවත් මෙය එකට ම දක්වා තිබෙන්නේ කෘත්‍ය, උත්පත්ති හේතු, විරුද්ධ ධර්මයන්ගේ ඇති සමානකම් යන දේවල් සලකා ගෙන ය.


උද්ධච්ච කුක්කුච්ච චෛතසික දෙකෙහි ම කෘත්‍ය හෙවත් එය සිදු කරන්නේ සිත චංචල කිරීම ය. මේ දෙකට ම හේතු වන්නේ ව්‍යසන ආදිය කල්පනා කිරීම ය. මේ දෙක ම සමථයට විරුද්ධ ය. එබැවින් මේ දෙක ද එකට ම දක්වා තිබේ. මේ උද්ධච්චය රහත් මගින් ද, කුක්කුච්චය අනාගාමී මගින් ද සම්පූර්ණයෙන් ම ප්‍රහාණය වන්නේ ය.


කුක්කුච්චය පහ කිරීමට උපකාර වන කරුණු සයකි. ඒ මෙසේ ය.


01. බහුස්සුතතා

02. පරිපුච්ඡකතා

03. විනයෙපකතඤ්ඤුතා

04. වුද්ධසෙවිතා

05. කළ්‍යාණමිත්තතා

06. සප්පාය කථා


එහි බහුස්සුතතා යනු ධර්මය උගත් බව ය. එනම්, දික්සඟිය, මැදුම්සඟිය, සංයුක්තසඟිය, අංගුත්තරසඟිය, කුදුගොත්සඟිය යන මේ නිකාය පොත් වලින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතරක් හෝ පස ම හෝ පාලි වශයෙනුත් අර්ථ වශයෙනුත් ඉගෙන ගත් තැනැත්තා බහුශ්‍රැතයා ය. එවැනි බහුශ්‍රැත භාවයෙන් යුත් තැනැත්තා කාරණාකාරණ දන්නා බැවින් නො සන්සුන් වීමක් නැත. අදාළ කාරණාවේ දී ධර්ම විනය අනුව කටයුතු කරයි. එහි කලබලයක් හෝ නො සන්සුන් වීමක් දක්නට නැත.


පරිපුච්ඡකතා යනු ශික්ෂාකාමී භික්ෂුන්ට බෙහෙවින් කැප - අකැප දෙය පිළිබඳ ව උපදනා සැක කුකුස් දුරු කර ගැනීම සඳහා බහුශ්‍රැතයන් ගෙන් එය අසා දැන ගැනීම ය. එයින් කාරණාකාරණ දන්නා බැවින් එය ද චිත්තයෙහි නො සන්සුන් කම පහ ව යෑමට උපකාර වෙයි.


විනයෙපකතඤ්ඤුතා යනු විනය විනිශ්චය පිළිබඳ ව මනා දැනීමක් ඇති බව ය.


වුද්ධසෙවිතා යනු තමාට වඩා ගුණයෙන් - වයසින් වැඩි වැඩිහිටියන් ඇසුරු කිරීම ය. එසේ ඇසුරු කිරීමෙන් ඒ උතුමන් ගේ ගති ගුණ තමා තුළ ද ඇති විය හැකි බැවින් සිත සන්සුන් වීමෙන් සිතේ නො සන්සුන් කම පහ ව යයි. ඒ උතුමන් ගෙන් අවවාද අනුශාසනා ලැබීමෙන් ද නො සන්සුන් කම පහ ව යයි.


කල්‍යාණමිත්තතා යනු උපාලි ස්ථවිර ස්වාමීන් වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය. ශික්ෂාකාමී පැවිදි උතුමන්ට බෙහෙවින් කැප - අකැප දැයෙහි නිතර ම වාගේ ඇති වන සැක කුකුස් නිසා චිත්තයෙහි නො සන්සුන් කම ඇති විය හැකි බැවින් එය දුරු කර ගැනීමට විනයධර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු ය. ඇසුරු කිරීමෙන් උපදින අත්දැකීම් වලින් ද නො සන්සුන් කම පහ ව යයි.


සප්පාය කථා යනු ඉඳීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි ‘මේ දෙය කැප නිසා එහි ඇවැත් සිදු නොවේ. මේ දෙය අකැප නිසා එහි ඇවැත් සිදු වන්නේ යැ’යි මෙසේ කැප - අකැප දේවල් ඇසුරෙන් පවත්වන කථාවන් ය. එයින් චිත්ත වික්ෂේපය දුරු කළ හැකි බැවින් එය සප්පාය කථාව නම් වේ.


මෙකී කරුණු සය උද්ධච්ච කුක්කුච්චය පහ ව යෑමට උපකාර වන බව දත යුතු ය.


විචිකිච්ඡාව


විචිකිච්ඡාව යනු සැකය යි. එය සෝවාන් මාර්ගය ලැබ සහමුලින් ම පහ ව යයි. ඇතැමුන් සතිපට්ඨානය වැඩිය යුත්තේ ආර්යයන් වහන්සේලා පමණක් ම බව ද කියයි. මේ නීවරණය මෙම සූත්‍රයේ ලැබ ඒ මතය බිඳී යන්නේ ය. විචිකිච්ඡාව පෘතග්ජනයන්ට ම පහළ වන චෛතසිකයක් ය. පෘතග්ජනයා ද මේ භාවනාව වැඩිය යුතු බව මෙයින් ප්‍රකට යි. සෙසු නීවරණයන් ද සලකා බැලූ කල සෝවාන්, සකදාගාමී, අනාගාමී උතුමන් වහන්සේලා විසින් ද මේ සතිපට්ඨානය භාවිත කළ යුතු බව මැනවින් ප්‍රකට වේ.


අරමුණු කරන දෙය පිළිබඳ ව විනිශ්චයක් නැති බව, ආරම්මණය පිළිබඳ සැකය, අවිශ්වාසය විචිකිච්ඡාව නම් වේ. මෙය ශ්‍ර‍ද්ධාවට සහ ඥානයට ප්‍ර‍තිපක්ෂ ය. කුසලය ආවරණය කරන බැවින් ද, ඥානය ආවරණය කරන බැවින් ද එය නීවරණයකි.


සැකය ද නීවරණ වන සැකය, නීවරණ නො වන සැකය යැයි දෙ වැදෑරුම් වේ.


විචිකිච්ඡා චෛතසිකය වශයෙන් ගනු ලබන්නේ නීවරණ විචිකිච්ඡාව ය. නො දන්නා කරුණු පිළිබඳ ව එසේ ද? මෙසේ ද? කෙසේ ද? යනාදීන් වශයෙන් පහළ වන්නා වූ සැකය අනීවරණ විචිකිච්ඡාව ය. එය වෙන් වූ චෛතසික ධර්මයක් නො වන අතර ඒ ආකාරයෙන් පහළ වන්නා වූ නාමස්කන්ධයෝ ම වෙති. ඒ ආකාරයෙන් ශෛක්ෂයන් කෙරෙහි හා පෘතග්ජනයන් කෙරෙහි පහළ වන නාම ධර්මයෝ කුසල් ද වෙන අවස්ථා ඇතග අකුසල් ද වෙන අවස්ථා ඇතග රහතුන් ගේ සන්තානයෙහි පහළ වන්නාහු ක්‍රියා ම වෙති.


නීවරණ විචිකිච්ඡාව “සත්ථරි කංඛති විචිකිච්ඡති, ධම්මෙ කංඛති විචිකිච්ඡති, සංඝෙ කංඛති විචිකිච්ඡති, සික්ඛාය කංඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කංඛති විචිකිච්ඡති, අපරන්තෙ කංඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කංඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මේසු කංඛති විචිකිච්ඡති.” යනුවෙන් අෂ්ඨාකාර කොට ධම්මසංගණියේ දක්වා තිබේ.


ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කිරීම ය යනු දෙතිස් මහා පුරිස් ලකුණෙන් යුත් ශරීරයක් ඇති කෙනකු ඇති විය හැකිද? කියා බුදුන් වහන්සේ ගේ ශරීරය ගැන හෝ කාලත්‍ර‍යට අයත් සියල්ල දත හැකි ඥානයක් ඇත් ද? නැත් ද? යනුවෙන් බුද්ධ ඥානය ගැන හෝ ඒ දෙක ම ගැන හෝ සැක කිරීම ය.


ධර්මය ගැන සැක කිරීම ය යනු සතර මාර්ග, සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්මයක් ඇත් ද? නැත් ද? කියා හෝ මේ ධර්මය නෛර්‍යාණික ද? නැත් ද? කියා හෝ සැක කිරීම ය.


සංඝයා කෙරෙහි සැක කිරීම ය යනු මාර්ගස්ථයෝ සතර දෙන ය, ඵලස්ථයෝ සතර දෙන ය යන අෂ්ඨාර්ය පුද්ගල සංඝ රත්නයක් ඇත් ද? නැත් ද? කියා හෝ සංඝ රත්නය සුප්‍ර‍තිපන්න ද? නැත් ද? කියා හෝ මේ සංඝ රත්නයට දීමෙන් ඵලයක් ඇත් ද? නැත් ද? කියා හෝ සැක කිරීම ය.


ශික්ෂාව ගැන සැක කිරීම ය යනු ත්‍රිශික්ෂාවක් ඇත් ද? නැත් ද? කියා හෝ ත්‍රිශික්ෂාවෙන් ඵලක් ඇත් ද? නැත් ද? කියා හෝ සැක කිරීම ය.


පූර්වාන්තය ගැන සැක කිරීම ය යනු මම අතීතයේ වූයෙම් ද? නො වූයෙම් ද? මේ සත්ත්වයෝ අතීතයෙහි වූවාහු ද? නො වූවාහු දැ? යි අතීත භවයන්ට අයත් ස්කන්ධායතන ධාතූන් ගේ ඇති නැති බව පිළිබඳ ව සැක කිරීම ය.


අපරාන්තය ගැන සැක කිරීම ය යනු මම අනාගතයෙහි උපදින්නෙම් ද? නො වෙම්ද? මේ සත්ත්වයෝ අනාගතයෙහි උපදිනාහු ද? නැත් දැ? යි අනාගත ස්කන්ධායතන ධාතූන් පිළිබඳ ව සැක කිරීම ය.


පූර්වාන්තය සහ අපරාන්තය දෙක ගැන සැක කිරීම ය යනු අතීතානාගත දෙ පක්ෂයට ම අයත් ස්කන්ධායතන ධාතූන් ගැන සැක කිරීම ය.


“ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කංඛති” යනුවෙන් දැක්වෙන අට වන විචිකිච්ඡාව නම් පටිච්චසමුප්පාදය පිළිබඳ ව සැක කිරීම ය.


සබ්බාසව සූත්‍ර ආදියේ දී තවත් විචිකිච්ඡා ප්‍රභේදයන් කිහිපයක් දක්වා ඇත.


උද්ධච්ච විචිකිච්ඡා යන චෛතසිකයෝ දෙදෙන ම ආරම්මණයෙහි සැලෙන්නා වූ ධර්මයෝ ය. උද්ධච්චය වෙනත් දෙයක අපේක්ෂාවක් නැති ව එක ආරම්මණයක ම සැලෙන්නේ ය.


විචිකිච්ඡාව එසේ ද? මෙසේ ද? එය ද? මෙය දැ? යි අන්‍යාරම්මණයක් අපේක්ෂා කිරීම් වශයෙන් සැලෙන්නේ ය. මේ ඒ චෛතසික දෙකෙහි වෙනස ය.


මේ සතිපට්ඨාන භාවනාවෙන් දුක් දොම්නස් අවසන් කොට නිවන් දැකිය හැකි දැ? යි ආදිය සිතීමත් විචිකිච්ඡාව ම ය.


මේ චෛතසික ධර්මයන් ගේ නැගීම ආ කල්හි කාමච්ඡන්දයේ දී විස්තර කළ අයුරින් කල්පනා කොට ඒ ඒ ක්‍රියාවන් වටහා ගත යුතු ය.


මෙසේ කල්පනාවේ යෙදෙන්නා හට මේ නාම රූපයන් ගේ ක්‍රියාකාරීත්වය ප්‍රකට වන්නට පටන් ගන්නේ ය. එයින් ම නාම රූප පරිච්ඡේදය වන්නේ තමන් ගේ ද අනුන් ගේ ද වශයෙන් එය ම කල්පනා කරන්නේ ය.


ඉහත දැක් වූ පරිදි ඇති වීමට හේතු සහ නැති වීමට හේතු ද දැන ගන්නේ ය. එයින් සිහිය උපදින්නේ, එය මතු ලබන විදර්ශනා ඥාන සඳහා පෙර කර්මස්ථාන නිර්දේශ වල කී සෙයින් ම උපකාරී වන්නේ ය. එයින් නො සැලෙන සිහියක් ලබන්නේ, තණ්හා දිට්ඨි විරහිත ව ලෝකයේ අනිශ්‍රිත ව වාසය කරන්නේ ය. උපාදාන විරහිත වන්නේ ය.


මේ නීවරණ භාවනාවේ සිට රහත් බව දක්වා වූ නීවරණ පබ්බයේ කර්මස්ථාන විවරණය යි.


යමෙක් මේ නය ක්‍රම නො දන්නේ මේවාට සත්ත්ව පුද්ගල භාවයෙන් මුලා වී යට වී යයි. මේ පරියායන් මැනවින් දන්නා විසින් තමන් සන්තානයේ ම එන මෙවන් ආකාරයේ කළු ධර්ම විදර්ශනා කර එයින් ම නිර්වාණය ලැබ ගන්නේ වෙයි.


ධම්මානුපස්සනාවට අයත් නීවරණ පබ්බයට අදාළ

කර්මස්ථාන විවරණය මෙයින් නිමියේ ය.


bottom of page