Sujatha Puthra Meditation Center
Your Membership ID
12. චිත්තානුපස්සනා කර්මස්ථාන විවරණය
තෘෂ්ණා චරිතය ඉලක්ක කරමින් තෘෂ්ණාව උපදින ආරම්මණ වශයෙන් ද, ඒ ආරම්මණ වලින් උපදින වේදනාව වශයෙන් ද හසු කරමින් කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව පිළිවෙලින් දේශනා කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ විසින් දැන් ආත්ම දෘෂ්ඨිය තදින් ගෙන ඇති, එකී ආරම්මණ සහ වේදනාවන් සත්ත්වයෙක් විඳී ය යන මුලාව ඇති දිට්ඨි චරිතයා හට සප්පාය කථාව උපද්දවමින්, එහි ද බොහෝ ප්‍රභේද කල්පනා කළ නො හැකි මන්ද ප්‍රාඥයන් වෙත සුදුසු පරිදි කරුණු මුහු කොට චිත්තානුපස්සනා කර්මස්ථාන නිර්දේශය දේශනා කොට වදාළ සේක.
එහි පාලිය මෙසේ ය.
“කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති? ඉධ භික්ඛවෙ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති,
වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති,
සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති,
වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති,
සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති,
වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති,
සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති,
වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති,
මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති,
අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති,
සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති,
අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති,
සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති,
අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති,
විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති,
අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.”
මෙම පාලි පාඨයෙන් සිත් දහසයක් (16) නම් කර දක්වා ඇත. ඒ ඉගෙන ගත යුතු චිත්තයේ ආකාර දහසයක් වශයෙනි.
පළමු ව ඒ සිත් යුගල යුගල වශයෙන් දක්වා ඒවා විස්තර කරමි.
ඒ සිත් දහසය මෙසේ ය.
01. සරාග චිත්තය - වීතරාග චිත්තය
02. සදෝස චිත්තය - වීතදෝස චිත්තය
03. සමෝහ චිත්තය - වීතමෝහ චිත්තය
04. සංඛිත්ත චිත්තය - වික්ඛිත්ත චිත්තය
05. මහග්ගත චිත්තය - අමහග්ගත චිත්තය
06. සඋත්තර චිත්තය - අනුත්තර චිත්තය
07. සමාහිත චිත්තය - අසමාහිත චිත්තය
08. විමුත්ත චිත්තය - අවිමුත්ත චිත්තය
එහි විස්තරය මෙසේ දත යුතු ය.
යම් කිසිවෙක් හට ලෝභ මූලික සිත් අටෙන් යම් කිසි සිතක් ඇති වූයේ ද, එය රාග සිත හෙවත් ලෝභය සහිත සිතක් වේ. එය ම සරාගී චිත්තය ද වේ. යම් කිසි දෙයකට ආශා කිරීමේ දී, ලෝභ කිරීමේ දී, ප්‍රේමය ආදී නම් වලින් වුවමනා කම් ඇති වන්නේ මේ සරාගී චිත්තය සන්තානයේ ප්‍රකට ව ඇති විටක ය. එසේ ලෝභාදිය නැති අවස්ථාවන් වීතරාගී චිත්තය ප්‍රකට වන අවස්ථා නම් වේ.
මේ ආකාරයෙන් ම බියක්, තැති ගැනීමක්, පිළිකුල් කිරීමක්, තරහවක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, ගැටීමක් ඇති වන සිත සදෝස චිත්තය නම් වේ. නැති අවස්ථාවන් වීතදෝස නම් වේ.
පංචස්කන්ධයේ තත්ත්වාකාරය නො දැන මෝහයෙන් ඇති වන්නා වූ අකුසල් සිත් සමෝහ සිත් නම් වේ. මෝහයන් ගෙන් තොර කුසල සිත් ආදිය පවතින අවස්ථාව වීතමෝහ වේ.
ඉහත කී රාග, ද්වේෂ සිත් වල ද මෝහය ඇත්තේ ම ය. මෙයින් ඒවා ද මනසිකාරය කළ හැකි ය. යම් කිසිවෙක් හට ද්වේෂ සිතක් ඇති වූ කල එය මෝහ සිතක් වශයෙන් ද, ද්වේෂ සිතක් වශයෙන් ද මනසිකාරය කළ හැකි ය. නමුත් එහි වඩාත් ප්‍රකට වන්නේ ද්වේෂය නිසා ඒ ආකාරයේ සිත් පහළ වීම් ද්වේෂ සිතක් වශයෙන් ම මනසිකාරය කළ යුතු ය. මෙසේ මේ සිත් තුන, දොළොසක් වූ අකුසල සිත් ඇතුළත් කොට දේශනා කරන ලදී.
යම් සිතක් ථීනයෙන් සහ මිද්ධයෙන් බැට කන ලද්දේ නම් එම සිත හැකිළෙයි. එය සංඛිත්ත චිත්තය නම් වේ. මේ ථීන - මිද්ධ දෙක ගැන ධම්මානුපස්සනාවේ එන නීවරණ පබ්බයේ වඩාත් විස්තර කර ඇත්තේ ය. එනිසා එයින් වැඩි විස්තර දැන ගත යුතු ය.
නො සන්සුන් කම හෙවත් උද්ධච්චයෙන් බැට කෑ සිත විසිරී යයි. එය එක් තැනක නැවැත්වීම ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ. එසේ උද්ධච්චයෙන් මිරිකී විසිරුණු සිත වික්ඛිත්ත චිත්තය නම් වේ. එහි චංචල භාවය, වික්ෂිප්ත භාවය සලකා මෙසේ කියන ලදී. මෙයත් නීවරණ පබ්බයේ දී වැඩි වශයෙන් විස්තර කර ඇත.
කාමාවචර භූමියේ වැඩිමනක් පහළ වන සිත් අමහග්ගත චිත්තයන් නම් වේ. රූපාවචර සහ අරූපාවචර භූමියේ පහළ වන සිත් මහග්ගත චිත්තයන් නම් වේ.
කාමාවචර සිත් සියල්ල ම සඋත්තර ය. මහග්ගත සිත් සියල්ල ම අනුත්තර ය. තව ද සඋත්තර සහ අනුත්තර චිත්තය පහත ප්‍රභේදයෙන් ද දත යුතු ය.
යම් යෝගාවචරයෙක් රූපාවචර ධ්‍යාන ලාභී වේ ද ඔහුට කාමාවචර සිත් සියල්ල සඋත්තර ය. රූපාවචර හා අරූපාවචර සිත් අනුත්තර ය.
යම් යෝගාවචරයෙක් අරූපාවචර ධ්‍යාන ලාභී වේ ද, එවිට ඔහුට කාමාවචර සිත් ද, රූපාවචර සිත් ද යන දෙක ම සඋත්තර ය. අරූපාවචරය අනුත්තර වෙයි. මෙය ඒ ආකාරයෙන් ද දත යුතු ය.
එහි නිතර ම උසස් චිත්තය අනුත්තර වෙයි. එයට වඩා පහත් චිත්තයන් සඋත්තර වෙයි. ඒ නයින් මෙය දත යුතු ය.
ලෝකෝත්තර චිත්තය ම සැබෑවට ම අනුත්තර චිත්තය වූවත් විදර්ශනාවට ලෝකෝත්තර සිත් ගැනීමෙන් ඇති ඵලක් නැත. එනිසා එය මෙහි දී අනුත්තර චිත්තයක් වශයෙන් නො ගනියි. මේ සඋත්තර සහ අනුත්තර චිත්තයන් ප්‍රවේසමෙන් තේරුම් ගත යුතු ය.
උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් එකඟ වූ සිත සමාහිත චිත්තය නම් වේ. මේ උපචාර සමාධිලාභියා ගේ හෝ ධ්‍යානලාභියා ගේ සිතේ ආකාරය දැක්වීම ය. එකී උභය සමාධීන් විරහිත වූ සිත අසමාහිත චිත්තය නම් වේ.
තදංග හෝ විෂ්කම්භණ වශයෙන් කෙලෙස් ප්‍රහීණ සිත විමුත්ත චිත්තය නම් වෙයි. උභය විමුක්තීන් විරහිත වූ සිත අවිමුත්ත චිත්තය නම් වෙයි.
යම් කිසි යෝගාවචරයෙක් සීල හෝ වීර්යයාදී බලයකින් ස්වසන්තානගත කෙලෙස් යටපත් කරයි ද, එය තදංග කෙලෙස් ප්‍රහාණය නම් වේ. යමෙක් අර්පණා ප්‍රාප්ත වීම් වශයෙන් කාමච්ඡන්දාදී කෙලෙස් තාවකාලික ව යටපත් ම කරයි ද, එය විෂ්කම්භණ ප්‍රහාණය නම් වේ.
මෙලෙස සිත් වල ප්‍රභේද දැන ගත් යෝගාවචරයා විසින් දැන් චිත්තයේ යථාකාරය අවබෝධ කර ගැනීමට විදර්ශනා කිරීම ආරම්භ කළ යුතු ය.
චිත්තය කිසිසේත් ම තනි ව ක්‍රියාත්මක වන්නක් නොවේ. එයට හට ගැනීමට අරමුණක් තිබීම අනිවාර්ය ය. කිසිදු බාහිර අරමුණක් නැති නින්ද වැනි අවස්ථාවන් වල පවා පවතින භවංග චිත්තය ද ප්‍රතිසන්ධිය ගත් අරමුණ ම තබා ගෙන හැසිරෙයි. වෙනත් අරමුණක් ආ කල භවංග සන්තතියෙන් මිදී අරමුණු දැන ගැනීමේ කෘත්‍යය සිදු කරමින් පහළ වෙයි.
ඒ සිතට තනියෙන් අරමුණ සමඟ කළ හැකි කිසි ම ගණුදෙනුවක් නැත. මිනිසා ගේ ක්‍රියාත්මක භාවය යනු සිත සහ ඒ සමඟ මුසු වන චෛතසිකයන් ගේ ද, රූපයන් ගේ ද විකාරයකි. යම් සිතකට මෝහය සමඟ වැඩිපුර ලෝභය යන චෛතසිකය යෙදී ඇත්නම් එම චිත්තය සරාගී චිත්තය නමින් හැඳින්වෙයි. එසේ ම ද්වේෂ චෛතසිකය යෙදුණු විට එම චිත්තය සදෝස චිත්තය නමින් වෙනස් හැඳින්වීමක් ගනී.
සත්ත්වයාට මෙහි ආධිපත්‍යයක් පැතිර විය නො හැක. සිත ඒ ඒ අරමුණු වල ඒ ඒ ආකාරයන් ගෙන් හට ගනී. චිත්තය තමන් ගේ දැන ගැනීමේ කෘත්‍යය සිදු කර ගැනීමට ඇස කන ආදී තැන් වල ඇති ප්‍රසාද රූපය උපකාරයට ගනියි.
සාමාන්‍ය පෘතග්ජනයින් බොහෝ සේ කා බී ජීවත් විය යුත්තේ ය යැයි කියන්නේ මෙකී රූප ප්‍රසාද, විඥානයට හට ගැනීමට සුදුසු වන සේ තබා ගැනීමට යි. එය උපකාර කොට තබා ගෙන සිත හට ගනියි. වේදනාව ද හට ගනියි. සත්ත්වයා එම ක්‍රියාවලියට තමන් ගේ රූපකාය බදු දී එයින් පසෙකට වී වින්දනයක් ලබයි. එය තමන් සිදු කළේ යැයි සිතයි. සිත තමන් ගේ යැයි සිතයි. රූපය තමන් ගේ යැයි සිතයි. ආත්ම දෘෂ්ඨියේ බසින්නේ නිත්‍යාදී සංඥාවන් ගෙන් විපරීත ව නිසරු ලෝකය පස්සේ කාම පිපාසාවෙන් හඹා යයි. එයින් සාරවත් ප්‍රතිඵලයක් නො ලද හැකි බව ඔහුට වටහා ගැනීමට නො හැකි තරම් ය.
නමුත් ඔබ විසින් වටහා ගත යුතු යතාර්ථය නම්, ඒ සිත නැමැති ආයතනයේ ක්‍රියාවලිය කාලයක් තිස්සේ ම සිදු වී බැරි කලක දී ශරීරයෙන් වෙන් වී යන බව යි. එවිට සත්ත්වයා මළේ යැයි කියයි. ශරීරයට තව දුරටත් විඥානයා ගෙන් වැඩ ගැනීමට නො හැකි වූ තැන එය සොහොනට වීසි කොට දමයි. නව සීවථිකයේ කී ලෙස රූප කය කුණු වී දිරාපත් වී යයි. සිත තවත් අලුත් රූපයක් තුළ බැස ගනියි. එයට ප්‍රතිසන්ධිය යැයි කියති. නැවත පුරුදු ක්‍රියාවලිය ම සිදු වෙමින්, චිත්තය සහිත ස්කන්ධයන් ගේ ක්‍රියාවලිය හරි හැටි නො දැන එහි ආත්ම දෘෂ්ඨියේ බැස ගනී. එයින් ලැබෙන සැප වේදනාවේ හෝ මුලා වෙයි. ආරම්මණයේ හෝ මුලා වෙයි. එවැන්නන්ට කිසිදාක සංසාරයෙන් නම් මිදීමක් නො වන්නේ ය. ස්කන්ධ සමඟ සංසාර වෘත්තයේ පොර බදිමින් සසර නැමැති කාන්තාරයේ අතරමං වන්නේ ම වෙයි.
මේ සියල්ල ම සත්ත්වයා සත්ත්ව පුද්ගල දෘෂ්ඨියෙන් මත් වීම නිසා සිදු වන ව්‍යසනයන් ය. එනිසා මේ කරුණු ඉගෙන ගෙන, විදර්ශනා කොට ඒවා ඒ ඒ ආකාර සිත් වල හට ගැනීමක් පමණක් ඇති බව දත යුතු ය. සිත් ඒ ඒ ආකාරයෙන් ප්‍රසාදයන් ගේ හට ගන්නා බවත්, ඒවා ගේ එකතුවේ ක්‍රියාකාරීත්වය පෘතග්ජනයා විසින් සත්ත්ව පුද්ගල භාවයෙන් ගන්නා බවත් වටහා ගත යුතු ය. එයින් ආත්ම දිට්ඨිය හෙවත් සක්කාය දිට්ඨිය දුරු වේ. හුදු ඇති වෙවී නැති වෙන ක්‍රියාවක් පමණක් පවතින බවත් සත්ත්ව පුද්ගලාදී ආත්ම ස්වභාවයක් නැති බවත් එයින් වටහා ගනී. සිත් වල ක්‍රියාකාරීත්වයක් පමණක් ම ඇති බව වටහා ගනී.
ඉහත චිත්තයේ ප්‍රභේද දැක් වූ අවස්ථාවන් හොඳින් ඉගෙන ගෙන, ඒ ඒ අවස්ථාවන් වල තමන්ට නිදිමත ආවේ ය, තමන් ධ්‍යාන ලැබුවේ ය, තමන් ගේ කෙලෙස් ප්‍රහීණ වූයේ ය, තමන්ට ආශාවක්, තරහවක් ඇති වුණේ ය, තමන් ගේ සිත විසිරුණේ ය යනුවෙන් ප්‍රමාද වන්නා සත්ත්ව දෘෂ්ඨියේ ද ගැලෙයි. සාංසාරික ව ද ප්‍රමාද වූයේ ම වෙයි.
එනිසා චිත්තයේ ක්‍රියාවන් එසේ නො ගෙන, ඒ ඒ චිත්තයේ හැඩතලයන්, චිත්තයේ ම විපරීතාකාරයන් ම බව මනසිකාරය කළ යුතු ය. පෙර කර්මස්ථාන වල කී ලෙස ම තමන් ගේ ද, අනුන් ගේ ද, තමන් ගේ සහ අනුන් ගේ ද වශයෙන් මනසිකාරය කළ යුතු ය. චිත්තයේ ඇති වීමට බලපාන හේතු කල්පනා කළ යුතු ය. අවිද්‍යා - තෘෂ්ණා - කර්මයන් ගෙන් නිපන් චිත්තය නාම - රූපයන් ආසන්න ප්‍රත්‍යය කර ගෙන හට ගනී. ඒවාගේ නැති වීමෙන් නිරුද්ධ වේ. එය භාවනා මනසිකාරයෙන් කල්පනා කළ යුතු ය.
එයින් මේ භාවනාවේ අවශ්‍යය සත්ත්ව පුද්ගල ශූන්‍ය සිහිය උපදී. සත්ත්ව පුද්ගල ශූන්‍ය චිත්තයේ ක්‍රියාකාරීත්වය දිගින් දිගට ම කල්පනා කරන්නේ, එයින් ලැබෙන ඥාන ප්‍රතිලාභයෙන් ආත්ම දෘෂ්ඨියෙන් මිදෙයි. එනිසා ම ලෝක විෂයෙහි අනිශ්‍රිත ව උපාදාන විරහිත වන්නේ, සංසාරය නැමැති මඩ ගොහොරුවෙන් මිදී යන්නේ ය.
පෙර කී වේදනානුපස්සනාවේ වේදනාව ආකාර නවයක් වූවත්, ඒවා දැන ගන්නා චිත්තය එකක් ම වේ. චිත්තයේ ස්වරූප පමණක් ම වෙනස් වේ. එනිසා වේදනාවන් කොපමණ ආවත් චිත්තයේ සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය දකින්නා කිසිදු වේදනාවක තත්පර නොවී චිත්තයේ ඇති නිස්සාර වූ අනාත්ම භාවය මැනවින් සලකා ගෙන ම සංසාර චක්‍රයෙන් මිදී යන්නේ ය. එය ම මේ විපස්සකයාට චිත්තානුපස්සනාවෙන් රහත් මග වන්නේ ය.
චිත්තයේ වැඩි විස්තර දැන ගැනීමට කැමැති යෝගාවචරයන් විසින් අප විසින් මතු සම්පාදනය කරන නාම රූප පරිච්ඡේද ඥානය නැමැති ග්‍රන්ථය පරිහරණය කළ යුතු ය.
මේ සියලු භාවනාවන් වඩන යෝගාවචරයන් විසින් දත යුතු විශේෂ කාරණාවක් ගැන සටහනක් මෙහි තබන්නෙමි. මේ සෑම භාවනාවක් ම අවසානයේ උපදවා ගන්නා සිහිය විදර්ශනා ඥාන තෙක් පැතිර විය යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ විසින් සෑම කර්මස්ථානයක් අවසානයේ දී ම දේශනා කොට වදාළ සේක.
මා විසින් එය ආනාපානසති භාවනාව විවරණය කළ කොටසේ විස්තර අඩු නො කර දැක්වීම සිදු කරන ලද නමුත් මෙහි දී නැවත එය යෝගාවචරයන් ගේ පහසුව පිණිස විස්තර කරන්නෙමි.
මේ භාවනාවන් ගෙන් අවශ්‍යය සිහිය උපදවා ගත් පසු එය තමන් ගේ වශයෙන් පළමු ව කල්පනා කළ යුතු ය. දෙවනු ව අනුන් ගේ වශයෙන් කල්පනා කළ යුතු ය. තෙවනු ව තමන් ගේ සහ අනුන් ගේ යන දෙපැත්ත ම වශයෙන් කල්පනා කළ යුතු ය.
අනතුරුව සමුදය හෙවත් හට ගැනීමට හේතු කල්පනා කළ යුතු ය. ඉන් පසු වය හෙවත් නැති වීමට හේතුව කල්පනා කළ යුතු ය. ඉන් පසු ඇති වීමට හා නැති වීමට යන දෙකට ම හේතු එකට ම කල්පනා කළ යුතු ය. එහි වැඩීම උදයව්‍ය ඥානය නම් වන්නේ ය. මේ ඇති වීම සහ නැති වීම යන දෙක ම කල්පනා කරන්නා හට ඇති වීමටත් වඩා ප්‍රකට ව සංස්කාරයන් ගේ නැති වීම දැනෙන්නට පටන් ගන්නේ ය. එය භංගය දැකීම හෙවත් භංගානුපස්සනා නම් වූ විදර්ශනා ඥානය ඇති වීම වන්නේ ය. එයින් පසු රහත් වන ආකාරය ගැන ග්‍රන්ථයේ ඉහළ කොටසේ වර්ණනා කර ඇත්තේ ය. එය මේ සෑම කර්මස්ථානයක් ම අවසානයේ දී තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් කී තැන් වලට අදාළ බව යෝගාවරයන් විසින් තදින් මනසේ ධාරණය කර ගත යුතු ය.
එය චිත්තානුපස්සනා භාවනාවේ අවසානයේ දී ද “ඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. අත්ථි චිත්තන්ති වා පනස්සසති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති.” යනුවෙන් නිවන් මග දක්වා දේශනා කොට වදාළ සේක.
මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශිත චිත්තානුපස්සනා කර්මස්ථාන විවරණය මෙයින් නිමියේ ය.