Sujatha Puthra Meditation Center
Your Membership ID
11. වේදනානුපස්සනා කර්මස්ථාන විවරණය
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ තුදුස් ආකාරයකින් කායානුපස්සනා කර්මස්ථාන නිර්දේශය දේශනා කොට වදාරා නව (09) ආකාරයකින් වේදනානුපස්සනා කර්මස්ථානය දේශනා කරන ලදී.
යම් කිසිවෙක් ප්‍රඥාව මඳ අයෙක් වී නම්, ඔහුට මෙම වේදනානුපස්සනාවේ සිහිය පවත්වා ගැනීම පහසු කාරණයක් නො වන්නේ ය. ලෝකයේ ඇති විවිධ ආරම්මණ භේදයෙන් ඇති වන සැප, දුක්, උපේක්ෂා වේදනාවේ යම් කෙනෙක්ට සිහිය පිහිටුවා ගත හැක්කේ නම්, කායානුපස්සනාවේ කී ආරම්මණයන් ගේ කළකිරීම පසෙක ලා සත්ත්ව සන්තානයේ ඇති වන වේදනාව ගැන සිහි උපදවා ගෙන එයින් ද කෙලෙස් ධර්මයන් දුරු කළ හැකි ය.
භාග්‍යවතුන් වහන්සේ ගේ සතර සතිපට්ඨාන දේශනාව වතුර පිරිසිදු කරන උපකරණයක සවි කර ඇති පෙරහන් සතරක් මෙනි. උඩ ම පෙරහන වූ කායානුපස්සනාවෙන් යමෙක් හට මේ අරමුණු සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වූවක් යැයි පෙරා ගත හැකි නම් එය ම ප්‍රමාණවත් ය. ඉදින් යමෙක් තුළ ඇති ආරම්මණ යථාකාරයෙන් හඳුනා ගැනීමේ දුර්වලතාවය නිසා එයින් නො පෙරේ නම්, දෙවනු ව සවි කර ඇති වේදනානුපස්සනා නම් වූ පෙරහනෙන් හෝ පෙරා ගත යුතු වේ. එහෙයින් කායානුපස්සනාවට අනතුරුව වේදනානුපස්සනාව කර්මස්ථානයක් වශයෙන් දේශනා කොට වදාළ සේක.
එහි දේශනා පාලිය මෙසේ ය.
“කථඤ්ච භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති? ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති, දුක්ඛං වා වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. අදුක්ඛමසුඛං වා වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො සාමිසං සුඛං වෙදනං වෙදියාමීති පජානාති, නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානො නිරාමිසං සුඛං වෙදනං වෙදියාමීති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො සාමිසං දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති, නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො නිරාමිසං දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති.”
ඉහත දේශනා පාලියෙන් දැක් වූ පරිදි සත්ත්වයා තුළ ඇති වන වේදනා ආකාර නවයකි. ඒ මෙසේ ය.
01. සැප වේදනා
02. දුක් වේදනා
03. උපේක්ෂා වේදනා
04. ආමිස සහිත සැප වේදනා
05. ආමිස සහිත දුක් වේදනා
06. ආමිස සහිත උපේක්ෂා වේදනා
07. ආමිස රහිත සැප වේදනා
08. ආමිස රහිත දුක් වේදනා
09. ආමිස රහිත උපේක්ෂා වේදනා
පළමු ව මේ වේදනාවන් කොයි ආකාරයේ ඒවා දැ යි වටහා ගැනීම කළ යුතු වේ.
යම් කිසිවෙක් ගේ කයට හෝ සිතට යම් සැපයක්, සුවයක් දැනෙන වේදනාවක් වේ නම් එය සැප වේදනාවක් නම් වේ.
යම් කිසිවෙක් ගේ කයට හෝ සිතට යම් දුක් වේදනාවක් දැනෙන්නේ නම් එය දුක් වේදනාවක් නම් වේ. කයෙහි පවතින දැවිල්ල, අධික උණුසුම, අධික සීතල, කැසිල්ල, වෙහෙස මේ සියල්ල කායික දුක් වේදනා වන්නේ ය. තරහා ඇති වීම, බිය ඇති වීම, අසතුටු වීම, ක්‍රෝධ කිරීම, සිතේ දැවිල්ල, ශෝක කිරීම, සිත කළකිරීම ආදී මේ සියල්ල සිතේ ඇති වන දුක් වේදනා වන්නේ ය.
දුකත් නොවී සැපත් නො වන වේදනා වන්නේ නම් ඒ උපේක්ෂා වේදනාව ය. මෙය ප්‍රකට නැත. ඉතා අප්‍රකට ය. අවිද්‍යාව මෙනි. අවිද්‍යාවත් අප්‍රකට ය. සුඛ - දුක් වේදනා ප්‍රකට ය. උපේක්ෂා වේදනාව අන්ධකාරයක් මෙනි. භාවනාමය ඥානයෙන් ද දුෂ්කර සේ දත යුත්තකි. යම් තැනක පහසු - අපහසු ආදී දෙක ම නැති විටක ඒ උපේක්ෂා වේදනාව ය. මැදිහත් ගතියක් ය. එහි දැනෙන සුවයකුත් නැත. දැනෙන දුකකුත් නැත. එවන් වේදනා උපේක්ෂා වේදනා නම් වන්නේ ය.
මෙකී සැප, දුක්, උපේක්ෂා වේදනාවන් යම් කිසි කාලයක පංච කාම රසයන් නිසා වන්නේ නම්, එය ඒ ඒ තැන් වල දී ආමිසය සහිත සැප වේදනා නම් වේ.
ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රීයයන් පිනවන රූප, ශබ්ද, ගන්ධාදිය නිසා සත්ත්වයා යම් කිසි වෙලාවක සුව පහසුවක් ලබන්නේ නම් එය ආමිසය සහිත සැප වේදනාවකි. දූ පුතුන්, අඹු දරුවන්, ඇඳුම් පැළඳුම්, ගේ දොර, යාන වාහන, ඉඩ කඩම්, රන් රිදී, මුතු මැණික්, ඇත්, අස්, ගව ආදී සම්පත්තීන් වලට සත්ත්වයා මෙතරම් ආශා කරන්නේ ඒවා ගේ ඇති වටිනාකම සලකා නොවේ. ඒවායින් ලැබෙන සැප වේදනාවේ මුලා වීම නිසා ය. ඒ සැප වේදනාව ඉහත කී ආකාරයේ යම් කිසි හෝ කාම වස්තුවක් පදනම් කොට ගෙන ලැබෙන නිසා, එය ආමිස සහිත සැප වේදනාවක් නම් වන්නේ ය.
ඒවා නිසා සත්ත්වයාට ලැබෙන්නේ සැප ම පමණක් නොවේ. ඒවා වෙනස් වීමෙන්, නැති වීමෙන් සත්ත්වයා ඔලුවේ අත් ගසා ගෙන වැළපෙයි. ඒ ඒවායින් ලැබෙන දුක් වේදනාව නිසා ය. එය ආමිස සහිත දුක් වේදනාව නම් වන්නේ ය.
ඇතැම් අවස්ථාවන් වල සත්ත්වයාට එන අරමුණු වල මහා කැමැත්තක් හෝ සුවයක් නො දැනේ. නමුත් සත්ත්වයාට ඒවා අත හරින්නට ඕනෑ කමකුත් නැත. එහි ඇති මහා මිහිරකුත් නැත. අමිහිරකුත් නැත.
නිදසුනක් ලෙස සුනඛයෙක් ගනු. සුනඛයන්ට ආශා ඇති කෙනෙක්ට සුනඛාරම්මණය සැප එලවන්නේ ය. අකමැති කෙනෙක්ට බය හෝ දුක හෝ අකමැත්ත එලවන්නේ ය. ඒ ගැන වැඩි අදහසක් නැති මධ්‍යස්ථ පුද්ගලයෝ ද ලෝකයේ දක්නට ලැබෙයි. ඔවුන් සුනඛයන්ට ආශා ද නැත. අමිහිරක් ද නැත. ඒ වැනි අවස්ථා වල පහළ වන්නේ මේ උපේක්ෂා වේදනාව යි. එය ලෝකයේ ඇති දේවල් පදනම් ව ලැබෙන බැවින් ආමිස සහිත උපේක්ෂාව නම් වන්නේ ය. මෙයට ගේහසිත උපේක්ෂාව යැයි ද කියනු ලැබේ. ඒ ආමිසය පදනම් වූ බැවිනි. අඥාන උපේක්ෂාව යැයි ද කියනු ලැබේ. ඒ එය විදර්ශනාවෙන් නො ලත්, මෝහය සමඟ මුසු වී ඇති උපේක්ෂාවක් බැවිනි.
යම් කිසි කෙනෙක් භාවනාවේ යෙදී වාසය කරන විට, මෙකී ආකාරයේ සය වැදෑරුම් බාහිර ආරම්මණ සතිපට්ඨානයේ ආ ලෙස මෙනෙහි කරන්නේ නම්, එවිට එහි ඇති අනිත්‍යාදී ලක්ෂණ දකියි. එසේ දකින්නාට එම යතාර්ථය වැටහීමෙන් සතුටක් උපදී. සුවයක් උපදී. එය ආමිස රහිත සැප වේදනාව නම් වන්නේ ය. එය ආමිස රසයෙන් වියුක්ත වූ බැවින් එයට නෙක්ඛම්මස්සිත සෝමනස්සය යැයි ද කියනු ලැබේ. ඒ විදර්ශනාව හා සම්බන්ධ බැවිනි. කාමයන් ගෙන් නික්මීම නිසා ලැබුණු සුවයක් බැවිනි. උදයව්‍ය ඥානාදිය ලැබූ යෝගාවචරයා කෙරෙහි මෙය වඩාත් ප්‍රකට වේ.
මේ උදයව්‍ය ඥානාදිය ලැබූ යෝගාවචරයා භාවනාවේ යෙදී වාසය කරන විට ‘ආර්යයන් විසින් උපදවන රහත් ඵලය මට තව දුර වේ දෝ’යි ආදී වශයෙන් සිතන කාලයක් වේ නම්, එවිට ඇති වන දුක්ඛ වේදනාව ආමිසයෙන් තොර බැවින් ආමිස රහිත දුක් වේදනාවක් නම් වන්නේ ය. එයට නිරාමිස දුක්ඛ වේදනාව යැයි ද කියනු ලැබේ. පෙර සේ ම නෙක්ඛම්මස්සිත දෝමනස්සය යැයි ද ව්‍යවහාර වේ.
මෙය ද යෝගාවචරයන් වෙත නිතර දක්නට ලැබෙන වේදනා විශේෂයකි. පහත කර්මස්ථානය දක්වා ඇති අයුරින් කල්පනා කොට මෙහි මුලා වීම වළක්වා ගත යුතු ය. යමෙක් මුලා වන්නේ නම්, ඔහු මේ ධර්මතා කිහිපයකට රැවටී බුද්ධ ශාසනය පවා අහිමි කර ගත්තෙක් වීමට වැඩි අවකාශයක් ඇත්තෙක් වන්නේ ය.
තවත් යෝගාවචරයෙක් දිගින් දිගට ම විදර්ශනා කරන්නේ උපක්ලේෂයන් ගෙන් ක්‍රමයෙන් පිරිසිදු ව විදර්ශනා ඥාන ලැබ ගන්නේ ය. ඒ සමඟ මේ මැදිහත් විඳීම පහළ විය හැකි ය. භංගානුපස්සනාව දියුණු කරන කාලයේ පටන් වඩාත් තීව්‍ර ලෙස දැනෙන මේ මැදිහත් බව සංඛාර උපේක්ෂා ඥානයන් ගේ දී අතිශයින් ම ප්‍රකට ව ඇති වේ. මේ මැදිහත් විඳීම ආමිස රහිත උපේක්ෂා වේදනාව නම් වන්නේ ය. නිරාමිස උපෙක්ඛාව යනු ද එහි ම ව්‍යවහාරයකි. එයට නෙක්ඛම්මස්සිත උපෙක්ඛාව යැයි ද කියති. එය නැවත මෙනෙහි කිරීමෙන් හෙවත් පටිවිපස්සනාවෙන් ඒ ආකාරයේ සිතක් පහළ වුණේ යැයි දැන ගත හැකි ය. දැන ගත යුතු ය.
මෙතෙක් දැක් වූ සියලු ම වේදනාවන් කවරෙක් විසින් විඳී ද? කාගේ වේදනාවක් ද? වේදනාවට හේතු මොනවා දැ? යි විපස්සකයා විසින් දැන ගත යුතු ය.
එයට පිළිතුරු මෙසේ දත යුතු ය.
වේදනාව යනු චෛතසිකයක් ය. ඇසට රූපයක් ආපාථ ගත වූ කල එහි දැන ගැනීමේ කෘත්‍යය විඥානය විසින් සිදු කරනු ලැබෙයි. නමුත් විඥානයට ආරම්මණ මිහිර විඳ ගැනීමක් සිදු කළ නො හැකි ය. එය හුදු දැන ගැනීම පමණක් සිදු කරන්නේ ය. මේ බව ධාතු මනසිකාර පබ්බයේ දී ද පැහැදිලි කරනු ලැබුවේ ය. ආරම්මණ මිහිර විඳින්නී වේදනා තොමෝ නම් වන්නී ය. වේදනාව නැමැති චෛතසික ධර්මය සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක් බැවින් සියලු ම සිත් සමඟ හට ගන්නේ ය. හට ගෙන වේදනාව විඳ ගන්නී ය. ඒ ආකාරයෙන් පහළ වන වේදනා චෛතසිකයන් මිස, ලොව වේදනාවන් විඳින සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නම් නො වන්නේ ය. මේ ස්කන්ධ ධර්මයන් ගේ ක්‍රියාකාරීත්වය ආත්ම ස්වභාවයෙන් තොර ය.
සත්ත්වයා මේ බව නො දැන වේදනා තොමෝ විඳින වේදනාව මා හට වේදනාවක් දැනෙන්නේ ය යන සත්ත්ව පුද්ගල භාවයෙන් වැළඳ ගනී. හුදු එය චිත්තක්ෂණ එකක චෛතසිකයක ක්‍රියාවක් ලෙස නො දනී. එවැන් චිත්තක්ෂණ ගණනාවක් ඉක්ම ගිය පසු පහළ වන වේදනා චෛතසික සන්තතිය සත්ත්ව පුද්ගල භාවයෙන් වරදවා ගෙන ‘මා මෙතරම් වේලාවක් සැප වේදනාවක් වින්දේ ය’ යනුවෙන් මුලාවෙන් දොඩවයි. නමුත් එය එසේ නොවේ. එය හුදු චෛතසික ධර්මයක ගේ සන්තතියක් පමණි. එය ඒ මොහොතේ ම ඇති වී, ඒ මොහොතේ ම නැති වී යයි. නැවත එම වේදනා මිහිර විඳ ගැනීමට නම් අදාළ ආරම්මණය ද්වාර ඉදිරියේ යාවත්කාලීන කළ යුතු වේ.
සත්ත්වයා තමන්ට මිහිර දෙන ස්වාමී, භාර්යා, දූ දරුවන්, යාන වාහන ආදිය තාප්ප බැඳ ගෙන රකින්නේ ඒවාට ආදරයෙන් නොවේ. ඒවා නිසා තමන්ට ලැබෙන සැප වේදනාවට ඇති වහල් භාවය නිසා ය. එය ද සත්ත්වයා ගේ වරදක් ලෙස නො ගත යුතු ය. මෝහ චෛතසිකයෙන් ආරම්මණයේ යතාර්ථය වසන විට මේ සැප වේදනාවන් වලට මුලා වීම අරුමයක් නොවේ. එසේ මුලා වන එම සැප වේදනාව නිතර ම ලබා ගැනීම පිණිස, ඒවා ලබා දෙන සම්පත්තීන් ජීවිතය මෙන් ම රකින්නට සත්ත්වයා නිතර උත්සහ කරන්නේ ය. ඒ එම සම්පත්තීන් නැති වීමෙන් තමන් ගේ සැප වේදනාව ද නැති ව යන බැවිනි. සත්‍යය නම් මෙය ය. එය වටහා ගන්නෝ සුලභ නැත. සත්ත්වයාට තමන් ගේ ජීවිතයට අනතුරුව ලොව ඇති වටිනා ම දේ තමන්ට සැප එලවන මේ ආරම්මණයෝ වන්නේ ය.
එම නිසා වැඩියෙන් උත්සහ කර මේ සැප වේදනාව ඇති කර ගැනීමට වෙහෙස විය යුතු ආකාරයත්, ලබා ගත් දේවල් පරිස්සම් කිරීමට විය යුතු වෙහෙසත්, ඒවා ගෙන් සැප වේදනාව ලබා ගැනීමට විය යුතු වෙහෙසත්, එලෙස ලබා ගත් සැප වේදනාව පවතින්නේ කොයි තරම් සුළු මොහොතක් ද? යන කාරණාවත් භාවනාමය මනසිකාරයෙන් සලකා එහි ඇති නිසරු භාවය මැනවින් වටහා ගත යුතු ය.ඒවා පසුපස හඹා නො යා යුතු ය.
සංසාරය පුරා ම මේ ඒක චිත්තක්ෂණික සැප වේදනාවේ මුලා වී විඳි දුක් කන්දරාවේ ප්‍රමාණය ගණනකින් දැක්වීමට නො හැකි ය. දැන් මුලා වුවහොත් අනාගතයේ විඳින්නට ලැබෙන දුක් වේදනාවන් ගේ ප්‍රමාණයක දැක්වීමක් කරන්නට ද සමතෙක් ලෝකයේ නැත.
කිසිදු සත්ත්වයෙක්ට තමන් ගේ ආනුභාවයෙන් උපදවා ගත හැකි සැප වේදනාවක් නැත්තේ ය. හේතූන්ට අනුරූපී ව ම සැප වේදනාවන් ගේ ලැබීම සිදු වන්නේ ය. ඒ ද එම ධර්මතාවයන් ගේ පැවැත්මේ ධර්මතාවය නිසා ම ය. සත්ත්වයෙක් පුද්ගලයෙක් පැනවිය නො හැකි සන්තානයේ ඇති වන සැප වේදනාව වැනි පුංචි දෙයක මුලා වී දුක් ගින්නකට නො පැන, එහි ධර්මතා ස්වභාවය වටහා ගෙන, නිසරු බව අවබෝධ කොට ගෙන, එය සන්තානගත ව ඇති වී දෙන අනේකාකාර වධ හිංසනය නුවණින් වටහා ගත යුත්තේ ය. එය එක්තරා චෛතසික ධර්මයක ක්‍රියාවක් පමණි. එය මනා ව තේරුම් ගත යුතු ව ඇත.
මේ වේදනාවන් සියල්ල අවිද්‍යාවෙන් හට ගන්නේ ය. නාම රූපයන් නිසා පවත්නේ ය. එම නාම රූපයන් නිසා ඇති වන වේදනාවන් ගේ නැවතත් අවිද්‍යාවෙන් මුලා වන්නේ, නැවත නැවතත් වේදනා චෛතසිකයන් ගේ පහළ වීමට සුදුසුකම් ඇති ලෝකයට අවකාශයක් එයින් සත්ත්වයා තබන්නේ ය. සංසාරයෙන් කිසිදා විමුක්තියක් නො ලබන්නේ ය.
මේවා භාවනාවෙන් අවබෝධ කර ගත යුතු කරුණු ය. කායානුපස්සනා නිර්දේශයේ දැක් වූ සේ ම වේදනානුපස්සනාව ද විදර්ශනා වශයෙන් භාවිත කළ යුත්තේ ය. එය “ඉති අජ්ඣත්තං වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, වයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. අත්ථි වෙදනා ති වා පනස්සසති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති.” යන දේශනා පාඨයෙන් කර්මස්ථානයට අනතුරුව දක්වන ලදී.
ඒ දේශනා පාඨයට අනුව මෙසේ වේදනානුපස්සනාවෙන් උපදවා ගන්නා පළමු සිහිය තමන් ගේ වශයෙන් යොදවා කල්පනා කළ යුතු ය. අනුන් ගේ වශයෙන් ද යොදවා කල්පනා කළ යුතු ය.
තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් ද කල්පනා කළ යුතු ය. ඇති වීම් වශයෙන් ද කල්පනා කළ යුතු ය. නැති වීම් වශයෙන් ද කල්පනා කළ යුතු ය. ඇති වීම් සහ නැති වීම් වශයෙන් ද කල්පනා කළ යුතු ය. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම යන අතීත හේතූන් ගෙන් ද, ආයතන හරහා සිදු වන වර්තමාන ස්පර්ශයන් ගේ ද පහස ලබන්නේ, එයින් වේදනා නම් චෛතසිකයේ හට ගැනීම සිදු වන්නේ ය. ඒ හේතු නැති වීමෙන් වය භාවයට පත් වීම ද එයින් අනතුරුව කල්පනා කළ යුතු ය. එයින් පසු පෙර කී උදයව්‍ය ඥාන මිශ්‍රිත සිහිය උපදී.
මෙවර එය වේදනානුපස්සනාවේ ආකාරය බලමින් උපදින බැවින් එය එම වේදනාවේ යථා ස්වභාවය ම දැන ගන්නා ඥානයක් ම වන්නේ ය. සත්ත්ව පුද්ගල ශූන්‍ය නිස්සාර වේදනාවේ කළකිරීම එයින් සිදු වන්නේ ය. මොන තරම් සුභ, සුව ආරම්මණ ද්වාර වලට ආපාථ ගත වූයේ ද, වේදනාවේ නිස්සාර භාවය ම සලකා එහි කළකිරීම ඇති කර ගන්නේ ය. ක්‍රමයෙන් පෙර ආනාපානසති කර්මස්ථාන විවරණයේ දී දැක් වූ පරිදි ම විදර්ශනා ඥාන උපදවන්නේ ලෝකය තණ්හා දිටිඨියෙන් මමායනය නො කරමින් උපාදාන විරහිත ව සංසාර විමුක්තිය ලබා ගන්නේ ය.
මහා සතිපට්ඨාන සූත්‍රයේ රහත් බව දක්වා දේශනා කොට වදාළ වේදනානුපස්සනා කර්මස්ථාන විවරණය මෙයින් නිමි යේ ය.