top of page

10. නව සීවථික භාවනාවන් ගෙන් නිවනට

දැන් කායානුපස්සාවේ අවසන් කර්මස්ථාන නවයේ විවරණය වෙත එළැඹ ඇත. මේ කර්මස්ථාන නවය ම සීවථික ලෙස හඳුන්වයි. සීවථික යනු සොහොන යන්න යි.


මේ භාවනාවේ දී කිරීමට ඇත්තේ මියැදුණු ශරීරයක් සොහොනකට ගොස් අත හැරියාට පසු කුමක් වේ ද? යන්න කල්පනා කිරීමෙන් උපදින සිහියෙන් තමන් ගේ රූපකායයට ද ඒ ඉරණම ම නොවේ දැ යි කල්පනා කිරීම ය. සත්‍ය වශයෙන් ම මියැදුණු ශරීරයක් ලෙස මෙහි ලියා තිබුණාට මේ ඇත්තේ විඥාන ධාතුව පහ වූ රූපය ම ය. එයින් දැන් මෙලොවට ඵලක් නැත. එය සොහොනකට වීසි කර දැමිය යුතු ය.


එහි දේශනා පාලිය ආරම්භ වන්නේ මෙසේ ය.


“පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බක ජාතං, සො ඉමමෙව කායං උපසංහරති, අයම්පි ඛො කායො එවං ධම්මො, එවං භාවී, එතං අනතීතො’ති.


ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති. සමුදයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, සමුදයවය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.


අත්‌ථි කායො’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති, යාවදෙව ඤාණමත්‌තාය පතිස්‌සතිමත්‌තාය අනිස්‌සිතො ච විහරති. න ච කිඤ්‌චි ලොකෙ උපාදියති. එවම්‌පි ඛො භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති.”


මෙසේ තාවකාලික රූපයක් ලැබ එයින් මත් වන මිනිසුන්ට තම තමන් ගේ ඉරණමේ සත්‍යය පෙන්වා දීමටත්, මිනිසුන් උද්දාමයෙන් පරිහරණය කරමින් මුලා වන තම තමන් ගේ ශරීර වල යතාර්ථය පෙන්වා දීමටත්, එයින් සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය ගැන මනසිකාරය ලැබ මේ තාවකාලික වූ ද, ශෝකාන්තයක් ඇත්තා වූ ද ස්කන්ධයන් ගෙන් මිදීම පිණිස ද වෑයම් කරවීමේ උත්සහය ජනිත කරවීමටත් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ආකාරයේ සීවථික නවයක් ම දේශනා කොට වදාරණ ලදී.


පළමු ව මේ සීවථික නවය කුමක් දැ යි උගත යුතු ය.


01. මියැදුණු පසු සොහොනෙහි දමන ලද මළකුණ දින එකක්, දෙකක්, තුනක් ගත වන විට ඉදිමෙන්නට පටන් ගනී. නිල් වන්නට පටන් ගනී. ඇස්, කන්, නාස්, මල, මුත්‍රා ආදී සිදුරු වලින් සැරව ගලන්නට පටන් ගනී.


මේ පළමුවෙන් දැක් වූ දේශනා පාඨයේ සඳහන් වන අර්ථය දැක් වූ පළමු සීවථිකය යි. මෙයින් මතු මේ වැනි ම ආකාරයේ තවත් සීවථික අටක් දක්වා ඇති අතර ග්‍රන්ථය දීර්ඝ වනු වැළකීම සඳහා පාලිය නො දක්වා ඒ සීවථික නවයෙන් දිග හැරෙන අර්ථය පමණක් සුමට කර මෙහි දක්වමි. සෑම දේශනා පාඨයකින් ම වෙන ම සීවථිකයක් දේශනා කර ඇති නමුත් කර්මස්ථාන භාවිතයේ දී එහි ගලා යෑමේ වෙනසක් නො වන බව ද දත යුතු ය.


මේ එහි සෙසු සීවථිකයන් ගේ අර්ථ යි.


02. තවත් කිහිප දිනක් ගිය පසු උකුස්සන්, ගිජුලිහිණියන්, බල්ලන්, සිවලුන් සහ වෙනත් බොහෝ සත්ත්වයන් විසින් ඇස්, මස් ආදිය උගුලුවා ගෙන කයි. ඇතැමෙක් ඇස් උගුලුවා ගෙන කයි. ඇතැමෙක් බඩ බොකු උගුලුවා ගෙන කයි. ඇතැමෙක් ඇඟිලි ගලවා ගෙන කයි. මේ දෙවැනි සීවථිකය යි.


03. තවත් කිහිප දිනක් ගිය පසු එලෙස සොහොනට වීසි කළ මළ සිරුරේ පෙනුම වෙනස් වෙයි. දැන් සත්ත්වයන් විසින් කා දමා ඇති මේ මළකුණ දෙස බලන්නෙක් හට ලේ ද පෙනෙයි. මස් ද පෙනෙයි. නහර ද පෙනෙයි. ඇට සැකිල්ල ද තැනින් තැන පෙනෙයි. මේ තුන්වැනි සීවථිකය යි


04. තවත් දින කිහිපයක් පසු වෙයි. දැන් මේ මළකුණේ පෙනෙන්නට ඇති මසක් නම් නැත. ඒවා දිය වී ගොස් ය. විවිධ සත්ත්වයන් විසින් කා දමා ඇත්තේ ය. දැන් පෙනෙන්නට ඇත්තේ තැනින් තැන ඉතිරි වූ ලේ ටිකකුත්, නහර වලින් වෙලී ගිය ඇට සැකිල්ලකුත් පමණි. මේ සතරවෙනි සීවථිකය යි.


05. තවත් කිහිප දිනක් පසු වෙයි. දැන් එහි මස් පමණක් නොව, ලේ ද පෙනෙන්නට නැත. ඇත්තේ ඇට සැකිල්ලක් පමණි. එය නහර වැල් වලින් තවමත් බැඳී ඇත්තේ ය. මේ පස්වැනි සීවථිකය යි.


06. තවත් කිහිප දිනක් පසු වෙයි. දැන් නම් එහි පෙනෙන්නට නහර බැඳුමක් වත් නැත. ඇට සැකිල්ල ද තැනින් තැන විසිරී ගොස් ඇත. අත් වල සැකිල්ල එක් දිශාවක ද, පිට කටු අනෙක් දිශාවක ද, කකුල් කටු ආදිය වෙනත් දිශාවක ද විසිරී ඇත. මේ සයවැනි සීවථිකය යි.


07. දැන් එහි මිනියක් නැත. විසිරුණු ඇට කටු එක් තැනකට එකතු කළ ද, සුදු පාට හක් ගෙඩියක් එකතු කළා සේ ඇට කටු කන්දක් පමණක් පෙනෙන්නට ඇත. හුදු ඇට සංඥාව පමණි. මේ සත්වැනි සීවථිකය යි.


08. දැන් මළ කඳ සොහොනට හැර පියා අවුරුද්දක් පමණ ගත වී ඇත. ඇත්තේ තැන තැන විසිරී ගිය ඇට කටු ගොඩක් පමණි. ඒවා තැන තැන ගොඩ ගැසී ඇත. කාගේ දැ යි වත් සොයන්නට නො හැකි ය. සොහොනට වීසි කළ තැන දැන් වීසි කළ ආකාරයේ මිනියක් නැත. ඇත්තේ සොහොන පුරා විසිරී ඇති ඇට කටු කිහිපයක් පමණි. සොහොනේ ඇති වෙනත් ඇට කටු ද සමඟ මුසු වී ඇත්තේ ය. මේ අටවැනි සීවථිකය යි.


09. දැන් අවුරුදු කිහිපයක් ම ගෙවී ගොස් ඇත. ඇට සැකිලි වල ද කැබලි කොටස් කැඩී විසිරී ගොස් ඇත. හිස් කටුවේ කොටස් කිහිපයක් පමණක් තැනින් තැන විසිරී ඇත. ඇට කැබලි සුන් වී ඇත්තේ ය. සමහරක් පොළවට දිරා ගොස් ය. සමහරක් පස යට වැළලී ගොස් ය. සමහරක් සුණු විසුණු වී ගොස් ය. සමහරක් ගින්නට හසු වී ඇත. මේ නවවැනි සීවථිකය යි.


මේ ආකාරයෙන් එකින් එක වෙන ම හෝ ගෙන, නවය ම එකට හෝ ගෙන යෝගාවචරයා රූපය ගැන කල්පනා කරයි. නවය වෙන වෙන ම ගැනීම ද නො වටින්නේ නොවේ. අවශ්‍යය නම් එසේ වෙන වෙන ම ගැනීම ද සුදුසු බව පෙලෙහි ඇති සුත්‍රයට ද ගැලපෙයි. කොටස් නවය ම එකට ගැනීමෙන් ද ප්‍රබල සිහියක් උපදවා ගත හැකි අතර එසේ කොටස් නවය ම එක් ව ගෙන භාවනා කරන යෝගාවචරයා විසින් පසු ව වඩාත් ප්‍රකට ව දැනෙන කොටස සමඟ භාවනාවේ උපචාර අවස්ථාවට පැමිණ එතැන් පටන් විදර්ශනාව ආරම්භ කළ හැකි ය.


විඥානය පහ වූ කල කාගෙත් කයට වන්නේ මේ සෙතේ ය. මින් එහා ලැබීමක් අප කාටත් නැත. මේ ආකාරයෙන් සොහොනට හැර දැමීමෙන් අනතුරුව පත් වන්නට වන නොයෙක් දුක්ඛයන් සහිත රූප සන්තතියේ තාවකාලික පැවැත්මට ආශා ඉපදවීමෙන් අර්ථයක් කා හටත් වන්නේ නැත. එය මේ භාවනාව ඔස්සේ මනසිකාරය කරමින් වටහා ගත යුතු ය.


යෝගාවචරයා මේ සියලු සංඥාවන් වඩා ගෙන තමන්ටත් එම ඉරණම ම අත් වන බව භාවනාවෙන් දකී. “සො ඉමමෙව කායං උපසංහරති” යනුවෙන් සෑම සීවථිකයක් අවසානයේ ම දැක්වූයේ එම කරුණයි. සත්ත්ව පුද්ගල භාවයෙන් තොර ලේ, මස්, ඇට ආදී සංඥාවන් උපදවා ගනී. ලේ මස් ආදී වශයෙන් ගෙන ඉහත කර්මස්ථාන නිර්දේශ වල දී දැක් වූ සේ කරුණු ගෙන, ලේ, මස්, ඇට ආදී වශයෙන් කී මේවා ද රූප කලාපයන් ගේ එකතුවෙන් ම සෑදී ඇති බවට රූපයේ ව්‍යවස්ථාපනය සිදු කර ගනී. පහ වූ විඥාන ධාතුවේ ව්‍යවස්ථාපනය වෙන ම සිදු කර ගනී.

එම ස්වභාවයට පත් වීම සහ නාම රූප ව්‍යවස්ථාපනයන් ආදිය පෙර කී ලෙස ම තමන් ගේ වශයෙන් ද, අනුන් ගේ වශයෙන් ද, තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් ද දැන, ඒවා ගේ සමුදය, වය ආදීන් ද දකිමින් පෙර කර්මස්ථාන වල කී නයින් ම විපස්සනාවේ යෙදෙමින් වාසය කරයි. අවිද්‍යාදී ධර්මයන් ගෙන් සමුදය වන බවත්, අවිද්‍යා ආදිය නැති වීමෙන් නැති වන බවත් දනී. එයින් පෙර කර්මස්ථාන වල දී කී ආකාරයෙන් ම මේ භාවනාවට අනුරූපී ව සිහිය උපදී. සත්ත්ව පුද්ගල ශූන්‍ය නාම රූපයන් ගේ තාවකාලික පැවැත්ම දකී. එයින් මතු ඉහත ආනාපානසති කර්මස්ථාන නිර්දේශයේ දැක් වූ පරිදි මේ භාවනාරම්මණය සමඟ විදර්ශනා ඥානයන් ගේ පහස විඳින්නේ අනිශ්‍රිත ව වාසය කර උපාදාන විරහිත ව සංසාර දුකින් අත මිදෙයි.


එය “ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති” යැයි කී ඉතිරි දේශනා පාඨයෙන් විවරිත ය.


මේ නව සීවථික විවරණය සමඟින් ම කායානුපස්සනා කර්මස්ථාන නිර්දේශයේ විවරණය ද මෙයින් අවසන් වන්නේ ය.


මෙසේ මේ කායානුපස්සනාවේ දැක් වූ කර්මස්ථාන සියල්ල ඉගෙන, වැඩි විස්තර ද ශක්ති පමණින් සපයා ගෙන කායානුපස්සනා භාවනාවේ යෙදෙනු. සාන්දෘෂ්ඨික දහමේ ප්‍රතිඵල ලබා ගත් මිනිසත් භවයක් එයින් ලැබෙනු ඇත.


නව සීවථික පබ්බයේ කර්මස්ථාන විවරණය

මෙයින් නිමියේ ය.


bottom of page