Sujatha Puthra Meditation Center
Your Membership ID
09. ධාතු මනසිකාර භාවනාවෙන් නිවනට.
මෙසේ පටික්කූල මනසිකාර පබ්බයෙන් එක් ආකාරයකින් කය පිළිකුල් ලෙස මෙනෙහි කිරීමක් වදාළ භාග්‍යවතුන් වහන්සේ විසින් දැන් එය ධාතු වශයෙන් මනසිකාරය කරන්නට අවකාශ සලසා දෙමින් ධාතු මනසිකාර පබ්බය දේශනා කොට වදාළ සේක.
එහි පාලිය මෙසේ ය.
“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ ති.”
එහි විස්තරය මෙසේ ය.
එහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් ධාතු සතරකි. එය “අත්ථි ඉමස්මිං කායෙ පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ ති” යන්නෙන් දේශනා කොට වදාළ සේක. ඒ ධාතු සතර ඔස්සේ කල්පනා කළ යුතු බව එම කර්මස්ථාන පෙලෙන් දේශිත යි.
එහි පඨවි නම් තද ගතිය යි. කර්කශ ස්වභාවය යැයි ද කියනු ලැබේ. මෙය තද දේවල් වලට ව්‍යවහාර කරන්නක් යැයි වරදවා ගැනීමක් දැන් ලෝකයේ දක්නට ලැබේ. එය වැරදි ය. ව්‍යවහාර තද ස්වභාවය ම පඨවි නම් වෙයි. සත්ත්ව පුද්ගල ශූන්‍ය යන අර්ථයෙන් ධාතු නම් වෙයි.
මෙය ලෝකයේ ඇති රූප නිර්මාණය වී ඇති ප්‍රධාන රූප කොටසකි. එනිසා ම මහා භූත රූපයක් ලෙස ද නම් වී ඇත. ලෝකයේ රූප නිර්මාණය වීමට දායක වන අනිත් මහා භූතයෝ නම් ආපෝ, තේජෝ, වායෝ යන ධාතු තුන ය. මේ නිසා ම මේවා සතර මහා භූතයෝ නමින් ද ව්‍යවහාර වේ.
රූප කලාපයක මූලික සැකැස්මේ මෙම ධාතු සතර අනිවාර්යයෙන් දක්නට ලැබේ. රූප කලාපයක උපදින සෙසු රූප සියල්ල පඨවි ධාතුව උපකාරී කොට පිහිටයි. ඒවා වෙන් නොවී බැඳ තබා ගැනීමේ ශක්තිය ආපෝ ධාතුව සතු ය. එම රූපයන් මිහි කරන්නේ හෙවත් මෝරවන්නේ තේජෝ ධාතුව විසිනි. ඒවා පිම්බවීම හෙවත් සුදුසු පරිදි පිරවීම සිදු කරන්නේ වායෝ ධාතුව විසින් ය.
රූපය සත්ත්ව පුද්ගල භාවයෙන් ගන්නෝ ධර්ම චක්ෂුව නැති අන්ධයෝ ය. සත්‍ය වශයෙන් ම අපට පෙනෙන්නට ඇති රූප ලෝකය එක ම සන්තතියක් වශයෙන් ලෝකයා අරමුණු කළත්, එහි ඇත්තේ රූප කලාප රාශියක එකතුවක් පමණි. එම එක් එක් රූප කලාපයන් ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් ගේ එකතුවෙන් පෙනෙන විකාරයකි. මේ ධාතු හෙවත් ශක්ති සතර යම් තැනක එකතු වේ ද, එහි රූප කලාපයක් පැණෙයි. එයින් වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී අනිත් උපාදාය රූපයෝ සකස් වෙති. මේ ගැන වැඩි විස්තර දැන ගැනීම පිණිස අප විසින් ඉදිරියේ සකස් කරන නාම රූප පරිච්ඡේද ඥානය නැමැති ග්‍රන්ථය පරිහරණය කළ යුතු ය.
මේ මහා භූත රූපයන් ගේ සුසංයෝගය අනුව යම් කොටසක පඨවි ගතිය වැඩියෙන් ඇත්තේ නම් එය පඨවි ධාතුව අධික රූප කලාපයක් ලෙස හඳුන්වයි. සෙසු ධාතූන් ගැන කතාවත් ඒ ලෙස ම ය. යම් රූපයක වැඩියෙන් මිශ්‍ර වී ඇති ධාතුව සලකා, එම රූපය එම ධාතුව අධික රූප කලාප වලින් නිර්මිත රූප කොටසක් ලෙස හඳුන්වයි.
ඒ අනුව ශරීරයේ ඇති කෙස්, ලොම්, නිය ආදී වශයෙන් දැක් වූ පළමු රූප කොටස් විස්ස ම ධාතු වශයෙන් ගත් කල පඨවි ධාතුව අධික රූප කලාපයන් ගේ එකතුවෙන් පැනවුණු සම්මුතීන් කිහිපයකි. එහි සත්‍ය වශයෙන් ම පඨවි ධාතුව අධික රූප කලාපයන් රැසක් මිස, කෙස් ආදිය යැයි කියා යමක් නො පවතී.
මෙලෙස පිතේ පටන් මූත්‍රා දක්වා ඇති කොටස් දොළොසෙහි ම ආපෝ ධාතුව වැඩියෙන් සුසංයෝග වී ඇත. එනිසා ඒවා අපෝ ධාතුව අධික රූප කලාප වෙයි.
ශරීරයේ ඇති සන්තාපන, ජිරාපන, පාචක, පරිදහන යන රූපයෝ තේජෝ ධාතුව අධික ව යෙදී ඇති රූප කලාප වෙයි.
උද්ධංගම, අධෝගම, කුච්ඡිසය, කොට්ඨාසය, අංගමංගානුසාරී සහ ආශ්වාස ප්‍රාශ්වාස යන වායු සය ම වායෝ ධාතුව අධික රූප කලාප වෙයි.
මේ සම්මුතියේ ඇති සියලු රූප කොටස් සතර මහා භූතයන් නිසා ම හට ගත්තේ වෙයි. එක් එක් රූප කොටස් වල සංයුතිය සලකා බැලූ කල, මේ මේ රූපයන් ගේ අදාළ ධාතුවේ වැඩි මිශ්‍ර වීමක් දක්නට තිබේ.
නිදසුනක් ලෙස දත් සලකා බැලූ කල එහි පඨවි ගතිය ද ඇත. ආපෝ, තේජෝ, වායෝ යන ධාතූන් ගේ ගතිය ද ඇත. නමුත් එහි පඨවි ධාතුවේ සංයුතිය වැඩි ය. එනිසා එය තද ගතියෙන් ලෝකයාට හසු වෙයි. එම නිසා ම එය පඨවි ධාතුව අධික ව මිශ්‍ර රූපයක් යැයි සැලකේ. එසේ එකට එකතු වූ පඨවි ධාතුව අධික රූප කලාප රැසකට දත් යැ යි ව්‍යවහාර කරති. සෙසු කොටස් වල ද මේ නය මැ යි.
යෝගාවචරයා විසින් මෙලෙස ධාතූන් ගේ වශයෙන් පැවැත්ම කල්පනා කළ යුතු ය. එයින් මේ ධාතු සියල්ලන් ගේ ම එකතුව නිසා පෙනෙන්නට ඇති සම්මුති රූප සන්තතිය සත්ත්ව පුද්ගල භාවයෙන් ගැනීම පසෙක ලා, මෙහි ඇති ධාතූන් ගේ සංයුතිය නිසා ම එළියට පෙනෙන රූපයන් සියල්ල ම රූපාකාරයකින් දක්නට ලැබෙන බව අවබෝධ වන්නට පටන් ගනී.
ගස් ගල් වල ඇති පඨවි ධාතුව ද, ශරීරයේ ඇති පඨවි ධාතුව ද ධාතූ වශයෙන් එකක් ම ය. ගස් ගල් වල ඇති ඒ පඨවි ධාතුවේ ද, ශරීර තුළ ඇත්තා වූ පඨවි ධාතූන් ගේ ද ධාතු වශයෙන් සැලකූ කල කිසිදු වෙනසක් නැත්තේ ය. ගස් ගල් වල ඇති පඨවි ධාතුවේ සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වන්නේ යම් සේ ද, ශරීරයේ ඇති පඨවි ධාතුවත් එලෙස ම සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වන්නේ ය.
මෙසේ මෙහි ධාතු වශයෙන් පැවැත්ම සැලකිය යුතු ය. එය “ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති.” යන්නෙන් දේශනා කොට වදාළ සේක.
සියලු ධාතූන් ගේ කතාව මේ සේ ම ය. සිටින, හිඳින සියලු ඉරියව් වල දී සත්ත්ව පුද්ගල භාවය හැර ධාතූන් ගේ පැවැත්ම ම සැලකිය යුතු බව ඉහත දේශනා පාඨයේ අදහස යි.
විඥානය ද ධාතු මාත්‍රයක් මැ යි ධාතු විභඞ්ග සූත්‍රයේ දී දක්වන ලදී. එහි ද සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය. මේ භාවනාවේ ම ඇති කරුණු සියල්ල ම තේරුම් ගැනීම එතරම් පහසු කටයුත්තක් නො වන අතර දැන ගැනීම් මාත්‍රය පමණක් සිද්ධ කරන විඥාන ධාතුව සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වන්නේ කෙලෙස දැ යි දැන ගැනීම ඊටත් වඩා දුෂ්කර කරුණක් වන්නේ ය.
එය මෙසේ දත යුතු ය.
සිතට තනි ව ම ක්‍රියා කිරීමට නො හැක. සිත වැඩ කිරීමට නම් අරමුණක් අවශ්‍යය ම ය. සිත සමඟ උපදින චෛතසිකයන් අවශ්‍යය ම ය. යම් ආරම්මණයක් චක්ෂු ආදී ද්වාර ගත වූ තැන එය දැන ගැනීම් වශයෙන් විඥානය උපදී. එසේ ආරම්මණයක් ආපාථ ගත වූ තැන විඥානයේ පහළ වීම තමන් ගේ ආනුභාවයෙන් වැළැක්විය හැකි කෙනෙක් ලෝකයේ කිසි ම තැනක නැත. එම ධාතුවේ ක්‍රියාකාරීත්වය ම එය ය. එය සත්ත්ව පුද්ගල භාවයෙන් තොර ව තමන් ගේ කෘත්‍යය වන ආරම්මණය දැන ගැනීමේ කෘත්‍යය කරමින් පහළ වන බව දත යුතු ය.
එම දැන ගන්නා ආරම්මණයේ මිහිර හෝ අමිහිර විඳ ගැනීමේ හැකියාව වත් සිතට නැත. එම ආරම්මණ මිහිර විඳ ගන්නේ වේදනාව ය. හඳුනා ගැනීම සිද්ධ කරන්නේ සංඥාව යි. මෙලෙස සිතත්, ඒ සමඟ ඇති වන චෛතසිකයනුත් තමන් ගේ කෘත්‍යය සිද්ධ කරමින් ඇති වෙමින් නැති ව යයි. ඒවා සත්ත්ව පුද්ගල භාවයෙන් තොර, සත්ත්වයාට තමන් ගේ ආනුභාවයෙන් පාලනය කළ නො හැකි, හේතු ඇති කල ඇති වන ධාතු මාත්‍ර පමණි.
මෙලෙස සිතත්, රූපයත් ගැන ධාතු වශයෙන් කල්පනා කළ යුතු ය. වැඩි විස්තර සඳහා නාම රූප පරිච්ඡේද ඥානය නැමැති ග්‍රන්ථය කියවීම වටනේ ය. එයින් මේ ගැන පැතිරුණු විස්තරයක් දත හැකි ය.
මේ ආකාරයෙන් තමන් ගේ සෑම ඉරියව් පැවැත්මක දී ම මේ ධාතු වශයෙන් පමණක් පැවැත්මක් ඇති බව මිසක් සත්ත්ව පුද්ගල භාවයක් නැති බවත් කල්පනා කළ යුතු ය. ධාතූන් ගේ විපරීතාකාර පැවැත්මට ම සත්ත්ව ව්‍යවහාරය යෙදෙන බව භාවනා මනසිකාරයෙන් වටහා ගත යුතු ය.
මෙලෙස උපදින අවබෝධාත්මක සිහිය තමන් ගේ වශයෙන් ද, අනුන් ගේ වශයෙන් ද යොදවා කල්පනා කළ යුතු ය. තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් ද කල්පනා කළ යුතු ය. සමුදය වශයෙන් පෙර කී ලෙස ම අවිද්‍යා, තෘෂ්ණා, කර්ම යන ධර්මයන් නිසා මේ ධාතූන් ගේ පැවැත්ම ඇති වන බව සැලකිය යුතු ය. ආහාරය රූපයා ගේ ආසන්න කාරණාව බව සැලකිය යුතු ය. වය වශයෙන් ඒවා ගේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන බව සැලකිය යුතු ය. විඥානය වර්තමානයේ ආරම්මණ අභිමුඛ ව ඉපදෙමින් පහළ වන බව සැලකිය යුතු ය.
කලක් තිස්සේ මේ ආකාරයෙන් සමුදය - වය බලමින් වාසය කරන යෝගාවචරයා හට පෙර කී ලෙස ම ධාතූන් ගේ විපරීතයක් පමණක් ඇත, සත්ත්වයෙක් පුද්ගලයෙක් නම් නැත යන සිහිය තමා තුළ ම උපදී. උදයව්‍ය ඥානයත් සමඟ උපදින මේ සිහිය මතු මතුත් විදර්ශනා ඥානයන් ලැබ, රහත් බව ලබනු පිණිස ම දේශනා කර ඇති නිසා, මේ ධාතු මනසිකාර කර්මස්ථානය එම රහත් බවින් ම මස්තකප්‍රාප්ත වන බව දත යුතු ය.
එය පාලියේ “අත්ථි කායොති වා පනස්ස සති” යන දේශනා පාඨයෙන් නැවත මේ කර්මස්ථානයේ දක්වා ඇත්තේ ය.
ධාතු මනසිකාර පබ්බයේ කර්මස්ථාන විවරණය
මෙයින් නිමියේ ය.