top of page

08. පටික්කූල මනසිකාර භාවනාවෙන් නිවනට

මෙය අසුභ භාවනාව භාවිතා කිරීම සහ එම භාවනාවෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටත්, නිතර මුලා විය හැකි ජීවී රූපාරම්මණයන් ගේ අසුභය කල්පනා කිරීමෙන් උපදින අර්පණාවේ සිට විදර්ශනා කිරීම පිණිසත් වන්නේ ය.


එහි පාලිය මෙසේ ය.


“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති.


අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලු‍ඞ්ගං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති.”


එහි දැක්වෙන කුණප කොටස් තිස්දෙකකි. එනම්,


කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිඳුලු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩ දිව, පපුමස, අතුනු වැටිය, අතුනු බහන, නොදිරූ ආහාරය, අසූචි, හිස් මොළය, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කඳුලු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳ මිඳුලු, මූත්‍රා වශයෙනි.


මේ කුණප කොටස් වල වර්ණය වශයෙන් ද, සටහන් වශයෙන් ද, ගන්ධය වශයෙන් ද, ආශ්‍රය කර ගෙන ඇති දේවල් වශයෙන් ද, පිහිටා ඇති අවකාශය වශයෙන් ද පිළිකුල මෙනෙහි කළ යුතු ය.


එය වටහා ගැනීම පහසු වීම පිණිස එක් කුණප කොටසක් පමණක් ගෙන මෙහි විස්තර කරන්නෙමි.

දත් යනු කුණපයකි. එය වර්ණ වශයෙන් ද අව පැහැ ඇති කසට වර්ණයෙන් යුක්ත ය. සටහන් වශයෙන් ද දත් කුට්ටමක් දුටු විට පවා, එහි සටහනක් දැකීමෙන් පවා පිළිකුලක් ම ජනනය වන්නේ ය. ගන්ධ වශයෙන් ගත් කල දත් ඉතා තද දුර්ගන්ධයකින් යුක්ත ය. ආශ්‍රය වශයෙන් මුඛයේ ඇති කෙළ, සම්, මස් වැනි තවත් කුණප ම ඇසුරු කර ගෙන පවත්නේ ය. පිහිටා ඇත්තේ ද ඒ කී ආකාරයේ කුණපයන් ගෙන් සැදුම් ලත් මුඛයේ ම ය.


මෙලෙස කෙස් වල පටන් මූත්‍රා වන තෙක් ම පිළිකුල ජනනය වන සේ කරුණු යොදා, තමන් ගේ ද අත්දැකීම් භාවිතයෙන් කල්පනා කළ යුතු ය. එවිට යෝගාවචරයාට ක්‍රමයෙන් කෙස්, ලොම් ආදී වචන අත් හැරී මේ කුණප කොට්ඨාශයන් ගේ පිළිකුල පමණක් ම ‘පිළිකුල්’ වශයෙන් මනසිකාරය වන්නට පටන් ගනී.


මෙසේ මෙය භාවිතා කරන යෝගාවචරයා වෙත මේ කෙස් හෝ ලොම් හෝ ආදී වශයෙන් එක් එක් කොටසක පමණක් තනි ව ම පිළිකුල් හැඟීම ‘දත් පිළිකුල් ය’ ආදී වශයෙන් ජනනය වන්නේ නම් ඒ හැඟීම එහි උග්ගහ නිමිත්ත බව දත යුතු ය.


යමෙකුට වර්ණ සටහන් ගන්ධාදිය නිසා එක් කුණප කොට්ඨාශයක් ගැන පමණක් පිළිකුල ජනනය නොවී, කුණප කොට්ඨාශ තිස්දෙක ම ගැන පොදුවේ පිළිකුල් හැඟීමක් ‘කය ම පිළිකුල්’ ආදී වශයෙන් ජනනය වන්නේ නම් එය ද එහි උග්ගහ නිමිත්ත බව ම දත යුතු ය.


එසේ උපදවා ගත් උග්ගහ නිමිත්ත නැවත නැවත භාවිත කරත් ම පෙර ආනාපානසතියේ කී නයින් ම පිළිකුල් යන හැඟීම මුල් කොට අර්පණා පටිභාග නිමිත්ත ඉපිද, උපචාර සමාධිය උපදින අතර එයින් පසු එය අර්පණා ප්‍රාප්ත වන්නේ ය.


මෙසේ විවරණය කළ පටික්කූල මනසිකාර භාවනාවේ ධ්‍යාන උපදින ආකාර දෙකක් බව ඉහත කී විස්තර වලින් දැන ගත යුතු ය. සමස්ථ කුණපය ම අරමුණු කොට ගත් පිළිකුල් යන හැඟීමෙන් ද, එක් කුණප කොට්ඨාශයක් පමණක් අරමුණු කොට ගත් පිළිකුල් යන හැඟීමෙන් ද මෙම භාවනාවේ ධ්‍යාන උපදී.


මේ ආකාරයෙන් එක් එක් කොටසක ධ්‍යාන උපදවන්නේ නම්, ඒ යෝගාවචරයා වෙත කුණප කොටස් තිස්දෙක වෙනුවෙන් ධ්‍යාන තිස්දෙකක් මෙහි උපදවා ගත හැකි බව එයින් දත යුතු ය.


මේ ආකාරයෙන් ධ්‍යානයෙන් නැගිට උපචාරය වෙත පැමිණි යෝගාවචරයා සෙසු තැන් වල “ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති” යැයි කී ක්‍රමයෙන් තමන් ගේ සහ අනුන් ගේ වශයෙන් සිහි පවත්වා ගනිමින් කටයුතු කරන්නේ, නැවත රූපාදිය පෙර කී සේ ම සත්ත්ව පුද්ගල ශූන්‍ය බවත් හුදු කුණපයන් ගේ එකතුවක් බවත් කල්පනා කොට කුණපයන් ගෙන් නිර්මිත රූප සන්තතිය සත්ත්ව පුද්ගල භාවයෙන් ගැනෙන බවත්, අවිද්‍යාදී ධර්ම නිසා ම මේ කුණපයන් ගේ විවිධාකාර පැවැත්ම වෙන බවත් වටහා ගන්නේ ය. ඒවාගේ නැති වීමෙන් නැති වන බව ද දැන ගන්නේ ය. එය එහි සමුදය වය දැන ගැනීම ය.


එයින් පෙර කී ලෙස ම නිවන් මාර්ගය යළි මෙහි උපදින බව දත යුතු ය.


ඇත්තෙන් ම මේ සෑම සතිපට්ඨාන කර්මස්ථානයක දී ම නාම රූප පරිච්ඡේදය ද පැණෙයි. ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය ද පැණෙයි. උදයව්‍ය ඥානය ද පැණෙයි. එයින් ම පෙර ආනාපානසති කර්මස්ථාන විවරණයේ කී ලෙසින් විදර්ශනා ඥාන වලට අනුග්‍රහ ලබන්නේ එයින් සියලු කෙලෙස් දවයි.


සියලු ම සතිපට්ඨානයන් වල මෙය මේ ආකාරයෙන් ම වන බව දත යුතු ය. කෙසේ කොයි තැන් වල කුමන ස්වරූපයෙන් මේ විදර්ශනා ඥාන උපදී ද යන්න කෙනෙක් හට දැන ගැනීම රුචි නම් ගුරුවරුන් ඇසුරේ ඒවා තවත් විස්තර සහිත ව උගත යුතු ය.


මෙතෙකින් කායානුපස්සනාවට අයත් පටික්කූල මනසිකාර පබ්බයේ කර්මස්ථාන විවරණය නිමියේ ය.


Designed by Sujatha Puthra Meditation Center

bottom of page