top of page

07. සම්පජඤ්ඤ භාවනාවෙන් නිවනට

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් යෝගාවචරයා කරන කුදු මහත් කටයුතු වල සිහිය පැවැත්වීම පිණිස සම්පජඤ්ඤ භාවනාව දේශනා කොට වදාළ සේක.


එහි පාලිය මෙසේ ය.


“පුන ච පරං භික්‍ඛවෙ, භික්‍ඛු අභික්‍කfන්‍ත පටික්‍කfන්‍ත සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත‍්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස‍්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසිfන්‍න සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම්පජානකාරී හොති.”


එහි විස්තරය මෙසේ දත යුතු ය.


එහි සම්පජඤ්ඤ යන වචනයේ තේරුම මනා ප්‍රඥාව ඇති බව ය, විමසන නුවණ ඇති බව ය යන්න යි.


මෙහි විමසන නුවණ සතරාකාරයක් වේ.


01. සාත්ථක සම්පජඤ්ඤය

02. සප්පාය සම්පජඤ්ඤය

03. ගෝචර සම්පජඤ්ඤය

04. අසම්මෝහ සම්පජඤ්ඤය යනුවෙනි.


මෙහි දැක් වූ සතරවැනි සම්පජඤ්ඤයෙන් ඇති කර ගන්නා ප්‍රඥාව මනා ප්‍රඥාව නම් වේ. එය ම සම්පජඤ්ඤය නම් ද වේ.


මේ විමසන නුවණ ඇති කර ගත යුතු කුදු මහත් ඉරියව් දක්වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සෑම වශයෙන් ම දේශනා කළ ඉරියව් පහළොවකි. ඒ සෑම ඉරියව්වක දී ම ඉහත ඉරියාපථ පබ්බයේ දී දේශනා කළ කරුණු ඇසුරින් ම සම්පජඤ්ඤ භාවනාවට අනුව සිහිය පවත්වා ගත යුතු ය.


ඒ ඉරියව් පහළොව මෙසේ ය.


01. ඉදිරියට යෑම - නැවතීම - ආපසු ඒම

02. ඉදිරිය බැලීම - වෙනත් දිශාවන් බැලීම

03. අත පය දිග හැරීම

04. අත පය හැකිළීම

05. සිවුරු දැරීම

06. පාත්‍රය ගැනීම

07. ආහාර ගැනීම

08. පැන් ආදිය වැළඳීම

09. කැවිලි ආදිය වැළඳීම

10. මී පැණි ආදී දේවල් දිවෙන් රස විඳීම

11. වැසිකිළි කැසිකිළි ආදී ශරීර කෘත්‍යයන් කිරීම

12. ගමනෙහි යෙදීම - යම් තැනක සිටීම - හිඳගෙන සිටීම - සයනය

13. නිදි වැරීම

14. කථා කිරීම

15. නිහඬ ව සිටීම


මේ දැක් වූ සෑම කුදු මහත් ඉරියව්වන් ගේ පැවැත්ම ගැන සිහිය පිහිටුවා ගත යුතු යැයි ඉහත පාලියේ දේශනා කරන ලදී. මෙහි පළමු ව විමසන නුවණ ගැන කී කරුණු සාකච්ඡාවට ගත යුතු ය.


එහි සාත්ථක යනු යමක් කිරීම සාර්ථක ද, අසාර්ථක ද වශයෙන් කල්පනා කිරීම ය. එනම් මෙයින් මට අර්ථයක් වේ ද, අනර්ථයක් වේ ද යනුවෙන් කරන කල්පනාව ය. සප්පාය යනු එය මා හට සුදුසු වේ ද, නුසුදුසු වේ ද යනුවෙන් කල්පනා කිරීම ය.


ඉහත දැක් වූ කුදු මහත් ඉරියව් පවත්වමින් වාසය කරන යෝගාවචරයා විසින් ඒවා සිදු කිරීමට පළමු ව ඒවා සිදු කිරීම සාර්ථක ද, අසාර්ථක ද යන්න කල්පනා කළ යුතු ය. සිතිවිලි මාත්‍රයෙන් පමණක් ම ක්‍රියාවන් නො කළ යුතු ය.


මේ භාවනාව කළ යුතු ආකාරය උපමාවක් ඇසුරින් දක්වමි.


යමෙක් හට චෛත්‍යය හෝ බුදුන් හෝ කර්මස්ථානාචාර්යවරයා හෝ දැකීමට කැමැත්තක් පහළ වන්නේ ය. නිදසුනක් ලෙස කර්මස්ථානාචාර්යවරයා දැකීම ගන්නෙමි.


එය සැබැවින් ම අර්ථ සහිත ය. අනර්ථයක් නම් නොවේ ය. එබැවින් එය සාර්ථක ය. අසාර්ථක නම් නොවේ. ඉදින් යමෙක් වෙත කඩ සාප්පු ඇති සන්ධියට ගොස් එන්නට නිකමට මෙන් සිතේ නම් එයින් වන අර්ථයක් නම් නැත. එයින් අනර්ථය ම ජනනය වේ. එය නො කළ යුත්තක් ය.


මෙසේ කර්මස්ථානාචාර්යවරයා දැකීමට යෑම සාර්ථක බැවින් එපමණකින් ම ද පිටත් නො විය යුතු ය. එය සප්පාය ද, අසප්පාය ද යන්නත් විමසීම සිද්ධ කළ යුතු ය.


යම් හෙයකින් කර්මස්ථානාචාර්යවරයා වැඩ වෙසෙන පන්සලේ පින්කමක් වේ නම්, බාල, තරුණ, මහලු, කාන්තාවන් සහ පිරිමින් එයට පැමිණෙනු ඇත්නම්, ගමන සාර්ථක වූවත් යෝගාවචරයා ගේ ඉන්ද්‍රීය අසවංර වීමට ඉඩ ඇති බැවින් එය අසප්පාය ය. එනිසා සප්පාය කාලය එළැඹෙන තුරු සිටිය යුතු ය. ඉදින් යම් විටක ඒ ගමන සාර්ථක වේ ද, සප්පාය ද වේ ද දැන් එයට සුදුසු කාලය බැවින් පිටත් විය හැකි ය.


ඒ පිටත් වූ ගමන යන්නේ ද ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය ඊට භාවිතා කළ යුතු ය.


ගෝචර සම්පජඤ්ඤය යනු තමන් ගේ කර්මස්ථානය අත් නො හරිමින් මනසිකාරය පවත්වා ගැනීම ය. එහි පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යාමාන වෙති.


01. යමෙක් පිටත් වන්නේ කර්මස්ථානය රැගෙන යයි. අතර මැද දකින විච්චූරණයන් නිසා කර්මස්ථානය අමතක වේ.


02. තවකෙක්ට කර්මස්ථානයක් ගෙන යන්නට අමතක වේ. නමුත් ඇතුල් ගමේ දී දකින අසුභාදී ආරම්මණයක් හෝ අට්ඨිකාදී ආරම්මණයක් නිසා නැවත එන විට කමටහන රැගෙන එන්නේ වේ.


03. තවකෙක් ගේ කමටහනෙහි ගෙන යෑමක් ද නැත. ගෙන ඒමක් ද නැත.


04. තවකෙක් කර්මස්ථානය සිහියෙන් ගෙන යයි. අතර මැද නො හළා නැවත එන විට ගෙන එයි.


මෙසේ මේ සතර පුද්ගලයන් ගැන දැන ගත යුතු ය. එයින් සතරවෙනියා ම ගෝචර සම්පජඤ්ඤය නියම ලෙස වඩන බව ද දත යුතු ය.


අසම්මෝහ සම්පජඤ්ඤය යනු යෑම ය, හිඳීම ය, කෑම ය, බීම ය යන සියලු ඉරියව් වල සත්ත්ව පුද්ගල ශූන්‍ය බව කල්පනා කරමින් වාසය කරයි යන අර්ථය යි.


මේ සඳහා පෙර විවරණය කළ ඉරියාපථයෙන් කරුණු ගත යුතු ය. මේ කිසිවක සත්ත්ව පුද්ගල භාවයක් නම් නොම වේ. ඉදින් යමක් රස විඳින විට, චිත්තයෙන් උපදවන ලද වායෝ ධාතුව විඥප්තියේ ද සහය ලැබ අතින් ආහාරය දිව මත තබවන්නේ වේ. එහි ඇති ජිව්හා ප්‍රසාද රූපයන් ගේ ස්පර්ශ වන එම රසාරම්මණය හෙවත් රස රූපය නිසා ජිව්හා විඥානය උපදී. එයින් හට ගන්නා චිත්ත වීථියෙන් රසාකාරයන් දැන ගන්නා සංඥාවෝ ද, මිහිර විඳ ගන්නා වේදනාවෝ ද, ඇලුම් කරනා ලෝභාදී සංස්කාරයන් ද උපදී. හුදු රූප ධර්මයන් ගේ සහ නාම ධර්මයන් ගේ එක් වීමක්, පැවැත්මක් පමණක් එහි දක්නට ඇත. ආත්ම සංකල්පයක් නම් එබ්බවිය නො හැකි ය. මේ රූපයන් ගැන විස්තර ධම්මානුපස්සනාවේ එන ඛන්ධ පබ්බයේ දී වඩාත් විස්තර කර දක්වා ඇත්තේ ය.


යමෙක් කැසිකිළි කෘත්‍ය පිණිස යන්නේ වේ නම්, එය ඒකාන්තයෙන් සාර්ථක ය. එයින් කය පවත්වා ගැනීම පිණිස අර්ථයක් ම සිදු වේ. නමුත් එහි සප්පාය විමසා බැලිය යුතු වේ.

කැලෑ ආදියට යන්නේ නම් සර්පයන් ඇත් ද? අලි ඇතුන් ඇත් ද? නුසුදුසු තැනකට ගොස් අයස වැඩේ ද? ඇවැත් සිදු වේ දැ යි කල්පනා කොට සප්පාය අසප්පාය විමසිය යුතු ය. යන්නේ ද කර්මස්ථානය අත් නො හැර යා යුතු ය. ශරීර කෘත්‍යයේ යෙදෙන්නේ වේ ද, මූත්‍රා මාර්ග වල පිරී ඉතිරෙන අසූචිය ඉවසා සිටිය හැකි නොවේ. ඒවා පිරී ඉතිරේ නම් බැහැර විය යුතු ම ය. නමුත් එහි සත්ත්ව පුද්ගල භාවයකින් වන අමුතු සිදුවීමක් නම් නැත්තේ ය.


ජලය පිරි බඳුනක ඇති ජලය, ප්‍රමාණය ඉක්මවා යන අවස්ථාවක පිරී ඉතිරී යන්නේ එය පිරී ඇති බැවින් මිස එහි සත්ත්ව පුද්ගල භාවයක් ඇති නිසා නොවේ.


එලෙසින් ම මේ මල මූත්‍රා වල ක්‍රියාකාරීත්වය දැන, ඒ ගැන සුදුසු සිහිය එළවා ගෙන, එහි ඇති සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය දැන ගෙන එම කර්තව්‍යයයේ යෙදිය යුතු ය. අභ්‍යන්තරයේ ඇති ආපෝ ධාතුව අධික ව ඇති මේ කුණප කොට්ඨාශයේ ද, බැහැරට යන මුත්‍රා වල ද සත්ත්ව පුද්ගල ශූන්‍ය බව කල්පනා කරමින් එම කටයුත්තේ යෙදිය යුතු ය.


යම් විටක අත පය දිග හරින්නේ හකුළන්නේ වේ ද, දිශා අනුදිශාවන් බලන්නේ වේ ද මේ නය මැ යි. ඒ ක්‍රියාවන් අර්ථයක් දෙන්නේ ද? සප්පාය වේ ද? යනුවෙන් සලකා කර්මස්ථානය අත් නො හැර සත්ත්ව පුද්ගල ශූන්‍ය ක්‍රියාකාරීත්වය මනා ව දත යුතු ය. ගුරුවරුන් ගෙන් තව තවත් විස්තර උගත යුතු ය.


නිහඬ ව සිටීමේ දී පවා එසේ සිටීමෙන් අර්ථයක් වේ ද? එය අවස්ථානුරූපී දැයි කල්පනා කළ යුතු ය. සමහර යෝගාවචරයන් ආචාර්යවරුන් සමීපයේ පවා ප්‍රමාණයට වඩා නිහඬ ව සිටිත්. එයින් අනර්ථය ජනනය වන අතර එය අසප්පාය ම වේ.


ඒ සියලු අවස්ථාවන් වල දී කර්මස්ථානය අත් නො හැර, ඉදින් මෙය මූල කර්මස්ථානය ලෙස වඩන්නේ නම් සත්ත්ව පුද්ගල ශූන්‍ය නාම රූපයන් ගේ ක්‍රියාකාරීත්වය තදින් මනසිකාරය කරමින් භාවනා කළ යුතු ය.


සිවුරු පාත්‍රාදිය පවා භාවිත කිරීමේ දී ද, ඉහත පෙලෙන් උපුටා දැක් වූ සියලු ම ඉරියව් භාවිතයේ දී ද මේ ලෙස ම එහි ඇති සත්ත්ව පුද්ගල ශූන්‍ය ක්‍රියාකාරීත්වය ම මනසිකාරය කරමින් විදර්ශනා කළ යුතු වේ.


මෙසේ සියලු තැන් වල සම්පජානකාරී විය යුතු ය. පෙර කී ලෙස ම තමන් ගේ, අනුන් ගේ වශයෙන් ධර්මයන් ගේ පැවැත්ම ගැන සිහි නුවණින් යුතු විය යුතු ය යන්න දැක්වීම “ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති” යන්නෙන් දක්වන ලදී.


නැවත සමුදය වය ආදිය කල්පනා කරන්නේ රූපාදී ස්කන්ධයා ගේ ඇති වීම ද, නැති වීම ද ඇතුළු සියල්ල පෙර කර්මස්ථානයේ කී ලෙසින් ම දැන ගත යුත්තේ ය. ඒ බව නැවත “සමුදයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, සමුදය වය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති” යන්නෙන් දැක්වීම සිද්ධ කරන ලදී.


ඉන් අනතුරුව දක්වා ඇති “අත්‌ථි කායොති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති, යාවදෙව ඤාණමත්‌තාය පතිස්‌සතිමත්‌තාය අනිස්‌සිතො ච විහරති, න ච කිඤ්‌චි ලොකෙ උපාදියති. එවම්‌පි ඛො භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති. එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති” යන පාලියේ අර්ථ පෙර කර්මස්ථාන වල දී දැක් වූ ආකාරය ම බව දත යුතු ය.

මහා කාරුණිකයන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් නිර්වාණය වෙත ම දිග හැර, ලෝකයා ගේ කුදු මහත් ඉරියව් පැවැත්ම විදර්ශනා කිරීමට අවකාශය විවර කර තබා දුන් සම්පජඤ්ඤ පබ්බ විවරණය මෙයින් නිමියේ ය.


Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page