top of page

06. ඉරියාපථ භාවනාවෙන් නිවනට

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් එක් තැනක හිඳි දිවියෙක් ගොදුරක් ගන්නා සේ යෝගාවචරයාට හුදකලාවේ ගත යුතු ගොදුරක් සේ සලකා කායානුපස්සනාවට අයත් ආනාපානසති කර්මස්ථානය වදාරා, කායානුපස්සනාව ස්වභායෙන් ම මන්ද ප්‍රාඥයන්ට අයත් කර්මස්ථානයක් බැවිනුත්, එම කය අනුව විමසා බැලූ විට නොයෙක් ආරම්මණයන් ගේ පෙනෙන්නට ඇති විච්චූරණ භාවයත් සලකා කයෙහි සිහිය පවත්වා ගත හැකි තවත් ක්‍රමයක් දක්වනු වස්,


“පුන ච පරං භික්‌ඛවෙ භික්‌ඛු ගච්‌ඡන්‌තො වා ගච්‌ඡාමීති පජානාති, ඨිතො වා ඨිතොම්‌හීති පජානාති, නිසින්‌නො වා නිසින්‌නොම්‌හීති පජානාති, සයානො වා සයානොම්‌හීති පජානාති, යථා යථා වා පනස්‌ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති.”


යනුවෙන් ඉරියව් පැවැත්වීම් වශයෙන් සත්ත්ව පුද්ගල ශූන්‍ය බව සාක්ෂාත් කර ගැනීමේ පහසුව ද, බොහෝ සත්ත්වයන් නිතර ඉරියව් පරිහරණය කරන බැවින් එය සප්පාය වේ යැයි මනා ව දැන ද “නැවත ද මහණෙනි, කායානුපස්සනාවට අදාළ කර්මස්ථානයක් තොප වෙත දේශනා කරමි” යි පවසමින් ඉරියාපථ පබ්බය දේශනා කොට වදාළ සේක.


මෙහි ප්‍රධාන ඉරියව් සතරක් ගැන කරුණු දක්වා තිබේ. එනම්, ගමනේ යෑම, යම් තැනක සිට ගෙන සිටීම, යම් තැනක හිඳ ගෙන සිටීම, සයනය කිරීමේ ඉරියව්ව යන ඉරියව් සතර යි.


මීට අමතර ව “යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති” වශයෙන් යම් කිසි ආකාරයක ඕනෑ ම ඉරියව්වක් භාවිත කරන්නෙක් විසින් මේ සිහිය උපදවා ගැනීම කළ යුතු යැයි දක්වා තිබේ.


මේ කර්මස්ථානය ද පෙර කර්මස්ථානයේ කී ලෙස ම සමාජය අතින් දූෂණය වී ඇති බවක් දක්නට ලැබේ. සමහරු යන විට “දැන් යන්නේ ය, දැන් නිදන්නේ ය” ආදී වශයෙන් පරිහරණය කරන ඉරියව්ව ගැන සිහියක් පැවැත්වීමක් පිළිබඳ ව දක්නට ලැබේ. එය හාස්‍යජනක සහ ඉතා සාවද්‍ය කරුණකි.


පූසන්, බල්ලන් පවා තමන් ගේ ඉරියව් පැවැත්ම ගැන දනී. මෙය ඒ සඳහා දේශනා නො කරන ලදී. ඒ සිහි මාත්‍රයෙන් සත්ත්ව දෘෂ්ඨිය නො හරී. යම් දැනීමක් ආත්ම දෘෂ්ඨිය නො හරින්නේ නම් එය සතිපට්ඨානය නොවේ. එය අටුවාවේ “අත්තසඤ්ඤං න උග්ඝාටෙති, කම්මට්ඨානං වා සතිපට්ඨානභාවනා වා න හොති” යනුවෙන් දැක්වී ය. එබඳු දැනීම කර්මස්ථානයක් හෝ සතිපට්ඨානයක් නො වන බව එයින් දත යුතු ය.


ඉරියව් පිළිබඳ සතිය නිවැරදි ව වඩන භික්ෂුව ගේ ආත්ම සංඥාව ඉගිලෙයි. සත්ත්ව දෘෂ්ඨිය දුරින් ම දුරු වෙයි. එය ම කර්මස්ථානය ද, සතිපට්ඨානය ද වෙයි.


කෙසේ එම සිහිය වර්ධනය කර ගත යුතු ද යත්, ප්‍රශ්න තුනක් දක්වා එයට පිළිතුරු වශයෙන් සිහිය දැක්වීම සිද්ධ කරන්නෙමි.


01. කවරෙක් යයි ද?

02. කාගේ ගමනක් ද?

03. කෙසේ යයි ද?


කවරෙක් යයි ද? යන්නට පිළිතුර මෙසේ දත යුතු ය. මෙහි කිසියම් සත්ත්වයෙක් පුද්ගලයෙක් නො යයි. කාගේ ගමනක් ද? කිසි යම් සත්ත්වයෙක් ගේ හෝ පුද්ගලයෙක් ගේ ගමනක් නො වෙයි. චිත්ත කිරිය වායෝ ධාතුවේ පැතිරීමෙන් ම යයි යන්න පිළිතුර යි. කෙසේ යයි ද? යත්, කාරණාවක් එළැඹ සිටි කල්හි පළමු ව යන්නෙමි යි සිතක් උපදී. එම සිත නිසා වායෝ ධාතුවක් ඇති වේ. එය චිත්ත කිරිය වායෝ ධාතුව නම් වේ. එම වායෝ ධාතුවෙන් කාය විඥප්ති රූපය බලවත් වන්නේ වායෝ ධාතුව සුදුසු ප්‍රදේශ වලට තල්ලු කිරීම් වශයෙන් ගමනාදී ඉරියව් පවත්වයි.


යම් සේ නැව වාත වේගයෙන් ඉදිරියට යේ ද, හීය දුනු දියෙහි වේගයෙන් ඉදිරියට යේ ද එපරිද්දෙන් වාතයේ පහස ලත් මේ කය ගමනාදී ඉරියව් පවත්වන බව දත යුතු ය.


රූප කය නම් අජීවි වස්තුවකි. එය චිත්තයේ උපකාරය නැති තැන බිමට ඇද වැටී පවතී. චිත්තය පහ වූ කල රූපය පමණක් දකින මිනිසුන් එය මළේ යැ යි සලකා සොහොනට වීසි කර දමන්නේ එබැවිනි. චිත්තය ම රූපයේ මෙහෙයවන්නා වෙයි.

චිත්තයෙන් සිතනු ලැබූ පමණින් ම කය ක්‍රියාත්මක වන්නේ ද නොවේ. අංශභාග රෝගාදිය සෑදුණු රෝගීන් කොතෙක් උත්සහ කොට සිතුව ද තමන් ගේ කය වුවමනා පරිදි ක්‍රියාත්මක නො වන්නේ එබැවිනි. යම් සැත්කමකට පෙර හිරි ඇති කිරීමෙන් ද මේ දෙය ම සිදු වන බව දැන ගත යුතු ය. චිත්තයට රූපයේ උපකාරයක් ද අවශ්‍යය ය. ඒ අවශ්‍යය උපකාරය සිදු කරදෙන්නා චිත්ත කිරිය වායෝ ධාතුව නම් වේ. සිතින් යම් කාරණයක් අරමුණු කළ පසු එම චිත්තයෙන් උපන් වායෝ ධාතුව කාය විඥප්ති රූපයේ උපකාර ලැබ ගමනාදී ක්‍රියා සිදු කරන බව කල්පනා කොට හොඳින් තේරුම් ගත යුත්තේ ය.


කාය විඥප්ති රූපය යනු මේ ඉරියව් පැවැත්වීම සඳහා සිත හා පැවති වායෝ ධාතුව සමඟ එක් ව හට ගන්නා රූප විශේෂයකි. මෙය චිත්තජ වූ වායෝ ධාතුව නිසා හට ගනී. එයත් සමඟ ම හට ගනී. අනතුරුව තමා සමඟ උපන් එම චිත්තජ වායෝ ධාතුව සුදුසු දිශාවන් වලට යොමු කිරීම මේ විඥප්ති රූපය විසින් සිදු කරයි. සිත නිරුද්ධ වන විට ම නිරුද්ධ වේ. මේ විඥප්ති රූපය වාහනයක සුක්කානම මෙන් චිත්තජ වායෝ ධාතුව ඒ ඒ දිශාවන් වලට යොමු කරයි. අනතුරුව නිරුද්ධ වී යයි.


එක් ගමනාදී ක්‍රියාවක් සිද්ධ කිරීමට මේ ලෙස සිත් ගණනාවක ගේ උපකාරය ලැබ ගත යුතු ය. එක සිතකින් පමණක් කිසිදු ක්‍රියාවක් නොවේ. මෙසේ සිත් ගණනාවක, රූප කලාප ගණනාවක විකෘතිය, ඉරියව් පැවැත්වීම වශයෙන් අපට පෙනේ.


අන්ධබාල පෘතග්ජනයා මෙහි සත්ත්ව සංඥාව උපදවා, ඒ ක්‍රියා සමූහය ඒකත්වයෙන් ගෙන ‘එකෙක් එක් දෙයක් කළා’ය වශයෙන් ගනියි. එයින් ඔවුන් ගේ සත්ත්ව පුද්ගල සංඥාව වැඩෙයි.


ඉරියාපථ භාවනාවේ යෙදෙන යෝගාවචරයා මේ සෑම ඉරියව් පැවැත්මක දී ම සත්ත්ව පුද්ගල ශූන්‍ය භාවය සලකමින් වාසය කරන්නේ, මේ ලෝකයෙහි යම් සත්ත්වයෙක් තමන් ගේ ආනුභාවයෙන් නො සිටියි, හේතු ප්‍රත්‍යයන් නිසා යෑම්, ඊම්, හිඳීම්, සිටීම්, නිදීම් වන්නේ වේ යැයි දැන ගනී. සිටින්නා හෝ යන්නා හෝ නිදන්නා හෝ හිඳින්නා හෝ සත්ත්වයෙක් පුද්ගලයෙක් නම් නැත යන්න මනා ව පසක් කර ගනියි. සෑම ඉරියව්වක දී ම ඒ ගැන අත් නො හළ සිහියක් පවත්වන්නේ වෙයි.


මෙසේ ඇති කර ගන්නා විදර්ශනා අවබෝධය නිසා උපදින පළමු සිහිය පෙර ආනාපානසති කර්මස්ථානයේ දී කී ලෙසින් ම විදර්ශනා ඥාන දක්වා දිවෙන බව දත යුතු ය.


එය “ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති, අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති. සමුදයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති, සමුදයවය ධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.


අත්‌ථි කායො’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති, යාවදෙව ඤාණමත්‌තාය පතිස්‌සතිමත්‌තාය අනිස්‌සිතො ච විහරති, න ච කිඤ්‌චි ලොකෙ උපාදියති. එවම්‌පි ඛො භික්‌ඛවෙ භික්‌ඛු කායෙ කායානුපස්‌සී විහරති.” යනුවෙන් එහි දී දක්වනු ලැබී ය.


එහි තමන් ගේ ද, අනුන් ගේ ද, කලෙක තමන් ගේ සහ අනුන් ගේ ද වශයෙන් බලමින් ඇති කර ගත් සිහිය වර්ධනය කර ගනු ලබන්නේ, නැවත “සමුදයධම්මානුපස්සී” ආදී තැන් වල දී අවිද්‍යා - තෘෂ්ණා - කර්ම සහ වර්තමාන ආසන්න ප්‍රත්‍යය වන ආහාරයන් යන මේවා නිසා රූපය ඇති වන බවත්, ඒවා නැති වීමෙන් වය හෙවත් නිරුද්ධ වන බවත්, පටිච්චසමුප්පාද භාවනාවන් හරහා දත යුතු ය.


එයින් ඇති වන උදයව්‍ය ඥාන මිශ්‍රිත සිහිය ගැන “අත්ථි කායො’ති වා පනස්ස සති” ආදී වශයෙන් ආනාපානසති කර්මස්ථාන විවරණයේ විස්තර කළ ලෙසින් ම දැන ගත යුතු ය. එයින් ලැබෙන ප්‍රබල සිහිය ඇත්තේ, එයින් ලෝකය පිළිබඳ ව අනිශ්‍රිත ව, උපාදාන විරහිත ව ලබන නිර්වාණයේ සාක්ෂාත් වීම කායානුපස්සනා නිර්දේශයේ ඉරියාපථ පබ්බයෙන් ද මහා කාරුණිකයන් වහන්සේ විසින් මෙසේ දක්වන ලදී.


මෙසේ “එවම්පි ඛො භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති” යනුවෙන් “මෙසේ ද මහණෙනි මේ ඉරියාපථ භාවනාව අනුව කායානුපස්සනාව වැඩිය යුතු යැ”යි දේශනා කොට වදාළ සේක.


ඉරියාපථ පබ්බයේ කර්මස්ථාන විවරණය මෙයින් නිමියේ ය.



bottom of page