Sujatha Puthra Meditation Center
Your Membership ID
07. නිරෝධ සමාපත්තිය
දැන් නිරෝධ සමාපත්ති වර්ණනාවට පැමිණියෙමි.
ත්‍රිවිධ සංස්කාර පිළිවෙලින් නිරුද්ධ වූ කාලයෙහි චිත්ත - චෛතසික ධර්මයන් ගේ නො පැවැත්ම නිරෝධ සමාපත්තිය නම් වේ.
මෙයට අෂ්ටසමාපත්තිලාභී අනාගාමීහු හා ක්‍ෂීණාශ්‍රවයෝ ම පමණක් ම සමවදිති.
කවර හෙයින් සමවදිත් ද යත් සංස්කාර ධර්මයන් ගේ ක්‍ෂණ මාත්‍ර ඉපදීමෙහි ද, බිඳීමෙහි ද, උකටලිව “මේ ආත්මයෙහි ම අචිත්තකව නිරෝධයට (අනුපාදිශෙෂ පරිනිර්වාණයට) පැමිණියවුන් මෙන් සුවසේ වසම්හ” යි සමවදිත්.
කෙසේ සමවදිත් ද යත්, පිළිවෙලින් රූපාවචර අරූපාවචර ධ්‍යානයන්ට සමවැද ආකිඤ්චඤ්ඤායතනය දක්වා ම සමවැද එයින් නැගී,
(අ) නානා බද්ධ අවිකොපනය
(ඉ) සංඝ පතිමානනය
(උ) සත්ථු පක්කෝසනය
(එ) අද්ධාන පරිච්ඡේදය යන මේ සතර පූර්ව කෘත්‍යයන් සිදු කළ යුතු ය.
(අ) එහි නානාබද්ධ අවිකෝපනය නම්:- ඒ භික්ෂුව ගේ ශරීරයේ ඇති සිවුරු පිරිකර හැර වෙන් ව ඇති පා සිවුරු ආදිය හෝ ඇඳ - පුටු හෝ වසන ගෙය හෝ අන් කිස පරිෂ්කාර ජාතියක් හෝ වේ නම් ඒ නොයෙකුත් පරිෂ්කාරයන් ගින්නෙන්, දියෙන්, වාතයෙන්, සොරුන් ගෙන් මීයන් ආදී සතුන් ගෙන් විනාශ නො වන සේ අධිෂ්ඨාන කළ යුතු බව ය.
එය “මේ මේ දෑ මේ සත් දින ඇතුළත ගින්නෙන් නො දැවේවා, ජලයෙන් නො ඉල්පේවා. වාතයෙන් නො නැසේවා. සොරුන් පැහැර නො ගැනේවා. මීයන් නො කනු ලැබේවා” යි ඉටිය යුතු ය. එසේ අධිෂ්ඨාන කළ පසු ඒ සත් දවස ඇතුළත ඒ යෝගියා හට කිසිම උපද්‍රවයක් නොවේ. එහෙත් නො ඉටන ලද්ද ගිනි ආදියෙන් නසී. නමුත් භික්ෂුව ගේ සිරුරේ ඇති සිවුරු ආදිය හෝ වැඩහුන් අසුන හෝ ඉටීම අවශ්‍ය නොවේ. ඒවා සමාපත්ති වශයෙන් ම රැකේ.
(ඉ) සංඝපතිමානනය නම්:- සංඝයා ගේ බුහුමන ආවර්ජනා කිරීමයි. ඒ මෙසේ ය:- “මා සත් දිනක් නිරෝධයට සමවැදී හුන් කල සංඝයා යම් කිසි විනය කර්මයක් කරනු කැමැති වේ නම් කිසි භික්ෂුවක් අවුත් මා කැඳවත් ම නැගී සිටීමි” යි අධිෂ්ඨාන කළ යුතු ය.
එහෙත් එසේ නො ඉටා සමවන් කලක වූවත් සංඝයා රැස් වී ඒ භික්ෂුව නො දැක “කොහි දැයි” විමසා “නිරෝධනයට සමවැදීය” යි කී කල එහින් “අසුවල් භික්ෂුව සංඝයා ගේ වචනයෙන් කැඳව” යි කිසියම් භික්ෂුවක් යැවී නම් ඒ භික්ෂුව නිරෝධනයට සමවැදී ඇති තැනට ගොස් ශ්‍රවණොපචාරයෙහි සිට “ඇවැත්නි! සංඝයා ඔබට බුහුමන් කෙරේය” යි කී පමණින් ම සමාපත්තියෙන් නැගීම සිදු වේ. මෙසේ සංඝාඥාව ඉතා ගරු ය. එහෙයින් ඒ ආවර්ජනා කොට තමා ම නැගිටිනා සේ ඉටා ගෙන ම සමවැදිය යුතු.
(උ) සත්ථුපක්කොසනය නම්:- ශාස්තෘන් වහන්සේගේ ආමන්ත්‍රණය ආවර්ජනා කිරීමයි. ඒ මෙසේ ය:- “මා නිරෝධයට සමවැද සිටිනා සත් දවස තුළ භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද හෝ පණවත් නම් එබඳු කරුණක දහම් හෝ දෙසත් නම් කිසිවකු අවුත් මා කැඳ වූ කෙණෙහි ම නැගී සිටිමි” යි මෙසේ අධිෂ්ඨාන කළ යුතු ය.
එහෙත් එසේ නො ඉටා සමවන් කලක වූවත් බුදුහු සංඝයා රැස් වී ඒ භික්ෂුව නො දැක “කොහිදැයි” විමසා “නිරෝධනයට සමවැදීය” යි කී කල එහින් “අසුවල් භික්ෂුව මාගේ වචනයෙන් කැඳව“යි කිසියම් භික්ෂුවක් යැවී නම් ඒ භික්ෂුව නිරෝධනයට සමවැදී ඇති තැනට ගොස් ශ්‍රවණෝපචාරයෙහි සිට “බුදුහු ආයුෂ්මතුන්ට ආමන්ත්‍රණය කෙරෙතැ”යි කී පමණින් ම සමාපත්තියෙන් නැගීම සිදු වේ. මෙසේ බුද්ධ නිමන්ත්‍රණය ඉතා ම ගරු ය. එහෙයින් ඒ ආවර්ජනා කොට තමා ම නැගිටිනා සේ ඉටා ගෙන ම සමවැදිය යුතු.
(එ) අද්ධාන පරිච්ඡෙද නම්:- ජීවිතය පවත්නා කාලය පිරිසිඳීම යි. ඒ මෙසේ ය:-
මේ භික්ෂුව කාලය පිරිසිඳීමෙහි මනා සේ දක්ෂ විය යුතු ය. තමා ගේ ආයු සංස්කාරය සතියක් පවතීදෝ නො පවතීදෝ යි ආවර්ජනා කොට ම සමවැදිය යුතු ය. එසේ ආවර්ජනා නො කොට සමවැදුණ ද නිරෝධ සමාපත්තිය ඒ භික්ෂුව ගේ මරණය වැළකීමට සමර්ථ නො වේ. නිරෝධය ඇතුළත මරණය ද නොවන හෙයින් අතර ම සමාපත්තියෙන් නැගිටීම වේ. එහෙයින් මේ අද්ධාන පරිච්ඡෙදය ආවර්ජනා කොට ම සමවැදිය යුතු ය. සෙසු කී දේ ආවර්ජනා නො කළ ද මේ අද්ධාන පරිච්ඡේදය නම් ආවර්ජනා කළ යුතු ම ය.
ඒ යෝගී තෙමේ පෙර කී සේ ආකිඤ්චඤ්ඤායතනයට සමවැද එයින් නැගී මේ පූර්ව කෘත්‍යයන් සිදු කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී. එකල සිත එක් වරක් හෝ දෙ වරක් හෝ ඉක්ම අචිත්තක වේ. නිරෝධයට සමවදී. නිරෝධ නම් වූ නිර්වාණය ස්පර්ශ කෙරේ.
යම් භික්ෂුවක් ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගී මේ පූර්ව කෘත්‍යයන් නො කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදී නම් ඔහු සමාපත්තියට සම නො වදියි. පෙරළා ආකිඤ්චඤ්ඤායතනයෙහි ම පිහිටයි. (නැවත ආකිඤ්චඤ්ඤායතනයට සමවැද එයින් නැගී පූර්ව කෘත්‍යයන් කළ යුතු බැවිනි.) පූර්ව කෘත්‍යයන් කළ මහණහු ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැද මත්තෙහි නිරෝධයට සමවැද වෙසේ.
එයින් නැගිටින්නේ අනාගාමීහු ගේ අනාගාමී ඵලොත්පත්තියෙන් ද, රහත්හු ගේ අර්හත් ඵලොත්පත්තියෙන් ද නැගීම සිදු වන බව දත යුතු ය.
නිරෝධ සමාපත්ති වීථිය පහතින් දක්වනු ලැබේ.
න - ද - ම - ප - උ - අ - ගෝ - ධ්‍යා - ධ්‍යා - අචිත්තක කාලය - ඵ - භ.
තීක්ෂණ ප්‍රඥයාට මේ වීථිය පරිකර්ම ජවනය නැති ව ඇති වන්නේ ය.
නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට සමවදිනා කල්හි, අනික් සමාපත්ති වීථි වල දී මෙන් ධ්‍යාන චිත්තය දිගට ම ඇති නො වී, දෙවරක් පමණක් ඇති වී සිඳී යන්නේ, සිත් ඉපදීම වැළැක්වීම සඳහා කළ පරිකර්මයේ බලයෙනි. ප්‍රථම ධ්‍යානයෙහි පටන් පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදීම හා ඒවායේ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මය ය. එම පරිකර්ම ක්‍රමය පහත දක්වා ඇත.
අෂ්ට සමාපත්තිලාභීන් වුවද පෘථග්ජනයන්ට හා සෝවාන් සකෘදාගාමි පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවැදිය නොහැක්කේ, ඔවුන්ට සමාධියට බාධාවක් වන කාමරාගය අප්‍රහීණ බැවිනි. නිරෝධ සමාපත්තියට සමවැදීම ඇත්තේ කාම ලෝක - රූපලෝක දෙක්හි පමණක් වන අතර අරූප ලෝකයෙහි එලෙස සමවැදීමක් නැත. රූපාවචර සමාපත්තීන් එහි නැති බව අරූප ලෝකයේ නිරෝධ සමාපත්තිය නැති වීමේ හේතුව ලෙස දත යුතු ය.
මෙහි මළ අයෙක්ගේ ද, නිරෝධ සමාපත්තියට සමවන්නහු ගේ ද වෙනස කුමක් ද යත්, කළුරිය කළහු ගේ කාය සංස්කාරයෝ නිරුද්ධ ය. සංසිඳුණහ. වාක් සංස්කාරයෝ ද, චිත්ත සංස්කාරයෝ ද, නිරුද්ධ ය. සංසිඳුණහ. ආයුෂ (ජීවිතන්ද්‍රි) ය ක්‍ෂය වී උෂ්මාව ද (කර්මජතෙජො ධාතුව) සන්සිඳී ඇත. චක්ෂුරාදි ඉන්ද්‍රියයෝ ද බිඳී ඇත.
සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් භික්ෂුව ගේ ද කායසංඛාරයෝ නිරුද්ධ ය. සංසිඳුණහ. වාක් චිත්ත සංඛාරයෝ ද නිරුද්ධ ය. සංසිඳුණහ. ආයුෂය ක්‍ෂය නො වීය, උෂ්මාව ද නො සන්සිඳිණි. ඉන්ද්‍රියෝ ද නො බිඳුණාහ. (මේ යැ ඔහු දෙදෙනා ගේ වෙනස වේ)
නිරෝධ සමාපත්තියාගේ පරිකර්ම ක්‍රමය
මේ සසුනෙහි නිරෝධ සමාපත්තියට සමවදිනු කැමති භික්ෂුව විවේක තැනෙක මනාව පැන වූ අසුනක පළඟක් බැඳ කය සෘජු කොට පිහිටුවා සිහිය කර්මස්ථානාභිමුඛ කොට වැඩ හිඳී. ඒ භික්ෂුව ක්‍රමයෙන් ප්‍රථම ධ්‍යානයට සමවැදි එයින් නැගි ඒ ධ්‍යානයෙහි වූ සංස්කාරයන් අනිත්‍ය - දුඃඛ - අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් විදර්ශනා වඩයි.
මේ විදර්ශනාව සංස්කාර පරිග්‍රාහක ය, ඵල සමාපත්ති ය, නිරෝධ සමාපත්ති ය වශයෙන් ත්‍රිවිධ වේ. මොවුනතුරින් සංස්කාර පරිග්‍රාහක විදර්ශනාව මන්ද වූයේ හෝ තීක්ෂණ වූයේ හෝ මාර්ගයට ආසන්න කාරණාව වේ. ඵල සමාපත්ති විදර්ශනාව තීක්ෂණ වූයේ ම මාර්ග භාවනාව හා සදෘශ වූවා ම වේ. නිරෝධ සමාපත්ති විදර්ශනාව ඉතා මන්ද නො වූයේ ද, ඉතා තියුණු නො වූයේ ද වටී. එහෙයින් මේ අනාගාමී හෝ රහත් වූ හෝ ආර්ය තෙමේ ඉතා මඳ නොවූ ද, ඉතා තියුණු නො වූද විදර්ශනාවෙන් ඒ ප්‍රථම ධ්‍යාන සංස්කාරයන් විදර්ශනා කෙරේ.
අෂ්ඨ විමෝක්ෂයන් පිළිබද ව වූ වර්ණනාව මෙතැකින් නිමියේ ය..