Sujatha Puthra Meditation Center
Your Membership ID
06. නේවසඤ්ඤානාසඤ්ඤායතනය
දැන් නේවසඤ්ඤානාසඤ්ඤායතන වර්ණනාවට පැමිණ තිබේ.
ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි පෙර සේ ම පස් ආකාර වශී බවට පැමිණීමෙන් අනතුරුව “ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට ළං වූ විඤ්ඤාණඤ්චායතන නමැති සතුරෙකු ඇත්තේ ය. නේවසඤ්ඤානාසඤ්ඤායතනය සේ සංස්කාරයන් ගේ සියුම් බවට පැමිණීමෙන් සන්සුන් වූවක්මත් නොවේ යි” ආකිඤ්චඤ්ඤායතනයෙහි දොස් දැක එහි ආශා දුරු කොට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙහි ආනිශංසද බලා එය ශාන්ත වශයෙන්, ප්‍රණීත වශයෙන් මෙනෙහි කොට ප්‍රථම අරූප්‍ය විඥානයා ගේ අභාවය අරමුණු කොට පැවැති ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ම (ඒ සමාපත්තියෙන් ලත් ශාන්ත බව) “ශාන්තයැ, ශාන්තයැ” යි නැ වත නැවත මෙනෙහි කරන, ආවර්ජනා කරන, ප්‍රත්‍යවෙක්ෂා කරන, තර්ක කරන, විතර්ක කරන, (එහි ම සිත) නැවත නැවත පිහිටු වන ඒ යෝගවචරයා ගේ සිත්හි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාර ධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ධ්‍යාන නිමිත්ත නැවත නැවත වඩයි. ඒ වඩන්නාහට නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් මනාව උපදී.
“සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති” යි දේශනා පාලියෙහි කීවේ එබැවිනි.
මෙහිදී කර්මස්ථානය වඩන විට විශේෂයෙන් දත යුත්තේ ආකිඤ්චඤ්චායතනය අංග ශාන්ත භාවයෙන් මෙනෙහි කළහොත් වෙනසක් සිදු න ො වන බැවින් ( එම ධ්‍යානයෙන් ඉක්මීම නො වන හෙයින් ) එම සමාපත්තිය ම ශාන්ත භාවයෙන් ම මෙනෙහි කිරීම සිදු කරන බව ය.
එහි තෘතිය ධ්‍යානය ද ශාන්ත වශයෙන් ම මනසිකාරය වෙත්. එසේ නම් ශාන්ත වශයෙන් මෙනෙහි කරත් ම ආදීනව දැක්මෙක් කෙසේ වේදැ යි ධ්‍යානයට සමවදිනු නො කැමති බැවින් එම අංග ශාන්ත භාවයෙන් ඉක්මීම සිදුව සමාපත්තිය ම අරමුණු කොට ගෙන සතර වෙනි අරූප ධ්‍යානය උපදින බව දත යුතු ය. (වැඩි දුරටත් භාවනා කරන විට කර්මස්ථානාචාර්යවරයෙකු ගෙන් උපදසේ ලබා ගැනීම කළ යුතු ම ය)
මෙහි නම කෙලෙස ලැබුණේද යත්, ඖදාරික සංඥා නැති හෙයින් නේවසඤ්ඤා යයි ද සර්වප්‍රකාරයෙන් සං ඥාවගේ අභාවය නුවූ හෙයින්, ඉතා සියුම් සංඥා ඇති හෙයින් න අසඤ්ඤා යැයි ද නම ලැබී ඇත. වැටහීම පිණිස විශුද්ධි මාර්ගයේ එන නිදර්ශනයක් තබමි.
සාමණේර නමක් පළමු දිනයෙහි පාත්‍රයෙහි තෙල් ගල්වා තුබුයේ ය. පසුදා උදය කැඳ වළඳනු පිණිස තෙරුන්නාන්සේ පාත්‍රය ගේන්නයි කී කල ස්වාමීනි! පාත්‍රයෙහි තෙල් යැයි කී ය. එසේ වන්නේ නම් ඒ තෙල් ගුලාවෙහි වැක් කිරීමට ගේන්නයි තෙරුන් කී කල ස්වාමීනි! එලෙස දැමීමට තරම් තෙල් නැතැයි හෙරණ කීය. මේ උපමායෙන් කී සේ ඒ සංඥාව ද ඖදාරික සංඥා කෘත්‍යය කිරීමට අසමර්ථ හෙයින් නේවසඤ්ඤා නම් වුව ද, සූක්ෂම භාවයෙන් ඇති හෙයින් නාසඤ්ඤා නම් වන බවද දත යුතු ය.
මෙහි සංඥාවන් ගේ ඖදා රික සුඛුම භාවය ඒ ඒ භව වශයෙන් දත යුතු. පඤ්චවෝකාර භවයෙහි සංඥාවට වඩා චතුවෝකාර භවයෙහි සංඥාව සියුම් වේ. එලෙස ආකාසානඤ්චායතනයට වඩා විඤ්ඤාණඤ්චායතනයේ සියුම් ය. සෙස්ස ද මේ නයින් ම දත යුතු ය.
ඉහත කී භාවනා කරන කළ “අනන්තො ආකාසො, අනන්තං විඤ්ඤාණං, නත්ථි කිඤ්චි”යි, ඒ ඒ තැන කීවා සේ මෙහි භාවනාකාරයක් නො කීවේ මන්ද යත්, නේවසඤ්ඤා නාසඤ්ඤායතන භාවය ආරම්මණික නො වන බැවිනි. මේ මෙහි අකාරණය ය.
මේ අරූප සමාපත්තීන්හි උපෙක්ඛා සහ ඒකග්ගතා යැයි අඞ්ග දෙකෙකි. පඤ්චම ධ්‍යානයේ ම මෙනි. එහෙත් මොවුන් අතුරින් පසුව වූ සමාපත්තීහු අතිශයින් ප්‍රණීතතර වන බව දත යුතු ය.
එහි අර්පණා චිත්ත වීථී මෙසේ දත යුතු ය. පළමු ධ්‍යාන චිත්ත වීථීය දක්වනු ලැබේ.
න - ද - ම - ප - උ - අ - ගෝ - ප්ර.ධ සිත - භ
මෙය මන්ද ප්‍රාඥයාගේ චිත්ත වීථීය ය. මෙහි තියුණු පැණැත්තන්ට පරිකර්මය හැර පිළිවෙලින් අනුලෝම ආදියෙන් පසු ධ්‍යානය උපදි. ඒ මෙසේ ය.
න - ද - ම - උ - අ - ගෝ - ප්ර.ධ සිත - භ
මේ ආදි කාර්මිකයා ගේ හෙවත් පළමුවරට ධ්‍යානය ලබන්නා ගේ චිත්ත වීථීය ය. නැවත ධ්‍යානයට සමවදිනු කැමත්තහුට මේ ලෙස ම චිත්ත වීථී දෙක යන අතර ධ්‍යාන චිත්තය පමණක් බොහෝ වාර ගණනක් ඇති වේ.
සෙසු ධ්‍යාන වලත් මෙලෙස ම ය. වෙනස ඇත්තේ ඒ ඒ ධ්‍යාන සිත් වල ද්වීතීය ධ්‍යාන , තෘතිය ධ්‍යානාදී වශයෙන් ඇති වීම පමණි.
මෙහි ප්‍රත්‍යවේක්ෂා වශයෙන් ද චිත්ත වීථී කොටසක් ඇති අතර එයත් කරුණු සම්පූර්ණ වීම පිණිස සටහන් කර තබමි.
ප්‍රත් යවේක්ෂා වීථි.
ධ්‍යාන ලැබීමෙන් පසුත්, ධ්‍යාන සමාපත්තියෙන් නැගිටීමෙන් පසුත් ධ්‍යානලාභීහු තමන් ලැබූ, සම වැදුණු ධ්‍යානයෙහි ඇති ධ්‍යානාඞ්ගයන් ප්‍රත්‍යවේක්ෂා කෙරෙති. එය කරන්නේ ආවර්ජන වශීභාවය හා ප්‍රත්‍යවේක්ෂා වශීභාවය ඇති කරගනු පිණිස ය. ඒ ඒ ධ්‍යානයන්හි ඇති ධ්‍යානාඞ්ග ගණන වශයෙන් එහි චිත්ත වීථි ඇති වීම සිදු වේ.
ප්‍රත්‍යවේක්ෂා වීථි වල ඇති වන්නේ කාමාවචර ජවනයන් පමණෙකි. ධ්‍යානයට සම නො වදින නිසා රූපාවචර ජවනයෝ ඇති නොවෙත්.
ප්රත්යවේක්ෂ ා වීථිය
න - ද - ම - ජ - ජ- ජ- ජ- ජ- ජ- ජ - භ
වශීභාවය ඇතියවුන්ට ප්‍රාතිහාර්ය කිරීම් ආදිය සඳහා ඉක්මනින් ධ්‍යානාඞ්ග මෙනෙහි කරන අවස්ථාවන්හි කාමාවචර ජවන පසකින් හෝ සතරකින් ද වීථිය කෙළවර වන බව ද දත යුතු ය.
මෙයින් අරූප ධ්‍යාන වර්ණනාව නිමි ය.