top of page

05. ආකිඤ්චඤ්ඤායතනය

තෙවනු ව ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය වඩනු කැමති යෝගාවචර තෙමේ පස් ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනයෙහි වසඟ බවට පළමු ව පැමිණිය යුතු ය. අනතුරුව “මේ විඤ්ඤාණඤ්චායතනය සමීපයෙහි ආකාසානඤ්චායතන නමැති සතුරකු ඇත්තේ ය. ආකිඤ්චඤ්ඤායතනය සේ ශාන්ත ද නො වේය” යි විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එහි කැමැත්ත සිඳ ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත සේ මෙනෙහි කොට ඒ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන විඤ්ඤාණයාගේ අභාවය, ශුන්‍යත්වය මෙනෙහි කළ යුතු ය. ඒ විඤ්ඤාණය මෙනෙහි නො කොට “නැතැයි” “නැතැයි” හෝ “ශුණ්‍යය ය” “ශුණ්‍යය ය” (නත්ථි කිඤ්චි) යි හෝ වශයෙන් අභාව මාත්‍රයම සිහි කළ යුතුය. නැවත නැවත මෙනෙහි කළ යුතු ය. එසේ මෙනෙහි කරන ඒ යෝගාවචරයා ගේ සිතෙහි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාර වශයෙන් සිත සමාධි වෙයි. හෙතෙම ඒ නිමිත්ත නැවත නැවත වඩන්නේ වෙයි. එකල ඕ හට පෙර ආකාශයෙහි පහළ වූ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය මෙන් ඒ විඤ්ඤාණඤ්චායතනයාගේ ශූන්‍ය භාව සංඛ්‍යාත අරමුණෙහි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සිත පිහිටයි.


“සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති” යි යන්න දේශනා පාලියයි.


මෙහි කර්මස්ථානය කෙසේ වඩන්නේ ද යත්, පෙර කී සේ විඤ්ඤාණඤ්චායතනයට අරමුණු වූ ආකාසානඤ්චායතන ධ්‍යානය අරමුණු කරගත් චිත්තය මෙනෙහි නො කිරීමෙන් අපවත් කොට හුදෙක් ඒ අභාවය ම “ශුන්‍යයි” වශයෙන් මෙනෙහි කළ යුතු ය.


පෙර අරූප ධ්‍යාන ආරම්මණය හා ධ්‍යානය ඉක්මවීමෙන් “සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි මනසිකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය උපදවා වාසය කෙරේ” යැයි දේශනා පාලියේ අර්ථය ය.

bottom of page