top of page

04. විඤ්ඤාණඤ්චායතනය

දැන් විඤ්ඤාණඤ්චායතනය වර්ණනාවට පැමිණ ඇත.


දෙවැනි අරූප ධ්‍යානය වන විඤ්ඤාණඤ්චායතනයට පැමිණීමට පෙර ආකාසානඤ්චායතනය ආවර්ජන - සමාපජ්ජන - අදිට්ඨාන - වුට්ඨාන - පච්චවෙක්ඛණ යන පංචවිධ වශීභාවයෙන් සමාපත්තිය පුරුදු කොට වශී බවට පැමිණි පසු අකාසානඤ්චායතනයෙහි ආදීනව කල්පනා කොට ඒ පිළිබඳ ව වූ කැමැත්ත සිඳ විඤ්ඤාණඤ්චායතනය පිණිස මෙනෙහි කළ යුතු ය.


ආකාසානඤ්චායතනයෙහි ආදීනව මොනවාද යත්, රූපාවචර පඤ්චමධ්‍යානය නැමැති සතුරෙකු ආසන්නයේ ඇති බව ය, ඒ පෙර කසිණාලෝකය පැතිර අහසෙහි ම ලබා ඇති බව ය, විඤ්ඤාණඤ්චායතනය මෙන් සන්සුන් නොවන බව ය ආදී වශයෙන් සලකා ‘අනන්තං විඤ්ඤාණං‘ ආදී වශයෙන් හෝ ‘විඤ්ඤාණං’ වශයෙන් කල්පනා කොට මෙනෙහි කළ යුතු ය. විතර්ක කළ යුතු ය. ආවර්ජනා කළ යුතු ය.


දේශනා පාලියෙහි වනාහි “සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනත්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති” දේශනා කොට ඇත.


එහි “සබ්බසො අකාසානඤ්චායතනං සමතික්කම්ම” යනු එම ධ්‍යානයත් පෙර කී සේ ම ආරම්මණයත් ය. මෙසේ එම ධ්‍යානය අපවත් කර අරමුණ ද මෙනෙහි නො කිරීමෙන් ලැබිය යුතු බැවින් සමතික්කම්ම යැයි කීහ.


“අනන්තං විඤ්ඤාණං” යනු පෙර ඒ අනන්ත අවකාශය පුරා පැතිර තිබූ විඤ්ඤාණය ය. විඤ්ඤාණය වනාහි උප්පාද - වය යන අන්ත දෙකින් යුක්ත වූවද අනන්ත අවකාශය අරමුණු කොට පවතින බැවින් අනන්ත යැයි මෙනෙහි කරයි. මේ විඤ්ඤාණඤ්චායතනයයි. අර්පණාවට පැමිණීම පෙර සේ ම සිදු වෙයි.

bottom of page