top of page

03. ආකාසානඤ්චායතනය

දැන් පැමිණ ඇත්තේ අරූපාවචර ධ්‍යාන පිළිබඳ ව වූ වර්ණනාවට ය. මේ ගැන නම් තොරතුරු ඉතා අප්‍රකට නැති බැවින් වඩා සංකීර්ණ ව නො තබා කළ යුතු කිසට පමණක් ඇවැසි කරුණු ලියා තබන්නට කල්පනා කරමි.


එහි සතර වන විමොක්ෂය නම් ආකාසානඤ්චායතනයයි. මෙය පළමු වන අරූප ධ්‍යානයයි.


“සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං” යන්න දේශනා පාලිය බැවින් එය ම විස්තර කරමි.


එහි “සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා” යනු සියලු ආකාරයෙන් වූ රූප සඤ්ඤායි. මෙහි රූප සඤ්ඤා යනුවෙන් රූපාවචර ධ්‍යානත්, ධ්‍යාන වලට අරමුණු වූ කසිණාදී රූපාරම්මණයනුත් ඉක්ම වීමෙන් ද යන්නත්,


“පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා” යනුවෙන් සියලු ආකාරයෙන් වූ වස්තු ප්‍රසාදාදී පසත් සහ රූපාදී පංචාරම්මණයනුත් ගැටීමෙන් උපදින සඤ්ඤා හඳුන්වනු ලැබේ. අභිධර්මානූකූලව ගත් කල කුසාලාකුසල විපාක විඤ්ඤාණ දශය ද, ඒ සමඟ උපදනා චෛතසිකයන්ට ද පටිඝ සඤ්ඤා කියනු ලැබේ. ඒවා ද්වාරයන්ට අරමුණු වශයෙන් ගැටීමෙන් උපදනා බැවිනි.


විශේෂයෙන් කිව යුත්තකි. පටිඝ සඤ්ඤා වනාහී ප්‍රථම ධ්‍යානයට සමවැදුණහුට ද නැත්තේ ම ය. එසේ ඇති කල්හි නැවත අරූපාවචරයේ දී කුමන හෙයින් කියන ලද්දේ ද යත්, උත්සහය දනවනු පිණිසය. අරූපාවචර සමාපත්තිය ප්‍රශංසා කිරීම පිණිස ය.


එසේ නැතත් ප්‍රථම ධ්‍යානයේ දී බලවත් ශබ්දයන් ගැටීමෙන් සමවතෙන් අවදි වෙත්. අරූප ධ්‍යානයේ දී එසේ නොවෙත්. ආළාරකාලාම තමන් ළඟින් මහත් චක්‍ර නද දෙමින් ගිය ගැල් පන්සියය ද නො දිටී. ශබ්දය ද නො ඇසී. ශබ්දය අසා අරූපාවචර ධ්‍යානයන් ගෙන් නො නැගිටින බවට මේ සාධකයි.


තවත් කාරණාවක් ඇත. රූපාවචර ධ්‍යානය රූප විරාගය පිණිස නො පවතී. ඒ පටිඝ සඤ්ඤා අරූප ධර්ම වූව ද, ඔවුන් ගේ පැවැත්ම රූපායතන ම වෙත්. රූපය අයත් කොට ම පවතී. නමුත් අරූපාවචර ධ්‍යානය රූප විරාගය පිණිස ම පවතී.


“නානත්ත සඤ්ඤානං අමනසිකාරා” යනු නොයෙක් අරමුණෙහි පැවති නානාවිධ සඤ්ඤා මෙනෙහි නො කිරීමෙන් යන අර්ථය යි.


මේ කරුණු තුනෙන් ම අකාසානඤ්චායතන සමාපත්තිය වර්ණනා කරන ලදී. ඒ එහි ප්‍රණීත බව පෙන්වා එහි උත්සහ දනවනු පිණිස ය.


“අනන්තො ආකාසො” යන්නෙන් අනන්ත වූ අවකාශ පරිච්ඡේදය පෙන්වනු ලැබී ය. මෙහිදී බොහෝ දෙනෙක් විසින් මේ අරමුණ ලෙස අජටාකාශය හෙවත් සම්මුති අහසෙහි යෝග කරනු දක්නට ලැබේ. මෙයින් එය අදහස් නො කරන ලදී. රූප නැති තැන ඇති “අවකාශ ධාතුව” නමින් හඳුන්වන නිමිත්තකි. පෙර රූපාවචර ධ්‍යානයෙන් උපදවා ගත් ආලෝක ආදී කසිණ නිමිත්ත මෙනෙහි නො කොට එම අරමුණ උගුළුවා ඒ ආලෝකය පැතිරි පැවති අවකාශ මාත්‍රය ම නිමිත්ත වශයෙන් ගනී. එහි ඉපදීමේ හෝ නැතිවීමේ අන්තයක් නැති බැවින් එය අනන්ත ය. එයින් ම රූපායතන ඉක්මෙනු ඇත. එය කසිණුග්ඝාටිම අකාශය නමින් ඉගිලු කසිණ ඇති ආකාශ මාත්‍රය ම බව කියා ඇත.


කර්මස්ථානය වඩන්නේ කෙසේ ද යත්, පළමු ව රූපාවචර ධ්‍යාන උපදවා (ආකාස කසිණය හැර අනෙක් කසිණයකින්) ඒවා පංචවිධ වශීභාවයෙන් වශී කොට, අනතුරුව ඉෂ්ඨානිෂ්ඨ රූපයන් ගේ කලකිරීම පිණිස, විරාගය පිණිස නිරෝධය පිණිස පැමිණ කරජ රූපයෙහි දොස් දැක එය බැහැර කිරීම පිණිස ආකාස කසිණය හැර වෙනත් කසිණයකින් චතුර්ථ ධ්‍යානය උපදවයි. ඒ යෝගී තෙම සතර වන ධ්‍යානයේදී ම කරජ රූපය ඉක්මවූයේ වූව ද කසිණ රූපය ද, පටිභාග නිමිත්ත ද කරජ රූපය සමඟ ම සදෘශ වන බැවින් එය ඉක්මවීමට කැමති ව සන්ත විමෝක්ඛ නම් වූ අරූප ධ්‍යානය උපදවනු කැමති ව එම චතුර්ථ ධ්‍යාන නිකාන්තිය හෙවත් එම ධ්‍යාන සැපයට සියුම් ලෙස ඇලුම් කරන තෘෂ්ණාව දුරු කොට ‘අන්තොකාසො’ හෝ ‘ආකාසො’ යන්න මෙනෙහි කරමින් කසිණාලෝකය උගුළුවයි.


මෙහි ඉගිලිවීම යනු එම කසිණාලෝකය මෙනෙහි නො කොට පැතිර ඇති අවකාශය ම මෙනහි කිරීමයි. එවිට කසිණාරම්මණය පහව යයි. නීවරණ විෂ්කම්භණය වෙයි. සිහිය ආකාස නිමිත්තෙහි මනාව පිහිටයි. උපචාර සමාධියෙන් එකඟ වන සිත නැවත නැවත ආසේවනය කිරීමෙන්, වැඩීමෙන් රූපාවචර ධ්‍යානයේ දී කසිණාරම්මණයෙහි යෙදුණා මෙන් ම නිමිත්ත ඉගිලූ අහසෙහි ධ්‍යාන චිත්තය පිහිටයි. එය ම අරූපාවචර වූ අකාසානඤ්චායතනය ලැබුවා නම් වෙයි.

bottom of page