Sujatha Puthra Meditation Center
Your Membership ID
02. පළමු විමෝක්ෂ තුන
එහි පළමු විමෝක්ෂය “රූපී රූපානි පස්සති” වශයෙන් දක්වා ඇත්තේ ආධ්‍යාත්මික පරිකර්ම භාවනා සිදු කර රූපාවචර ධ්‍යාන ලබන්නා පිළිබඳ ව ය. මෙහි ‘රූපී’ යන්නෙන් රූපාවචර ධ්‍යාන ලාභියාව හඳුන්වා ඇත. ඒ බව “රූපී රූපානි පස්සතීති එත්ථ අජ්ඣත්තකෙසාදීසු නීලකසිණාදිවසෙන උප්පාදිතං රූපජ්ඣානං රූපං, තදස්ස අත්ථීති රූපී” (අටුවාව) යනුවෙන් දක්වා ඇත. එහි රූපාවචර ධ්‍යානය රූප නම් වන බවත් ඒ ධ්‍යානය මොහුට ඇත්තේනුයි රූපී නම් වන බවත් දක්වා ඇත.
කෙලෙසද යත්; “දණ්ඩො අස්ස අත්ථීති දණ්ඩී” ආදි තැන් වල මෙනි. එහි දණ්ඩාදිතො ඉකඊ සූත්‍රයෙන් වන අස්ථ්‍යාර්ථ (ඇත යනාර්ථ) ඊ ප්‍රත්‍යයයි.
එය ද ආධ්‍යාත්මික වශයෙන් ඇති කෙස් ආදියෙහි පරිකර්ම සිදු කර උපදවා ගත් පටිභාග නිමිත්ත ඇති ව බව “රූපීති යේනායං සසන්තතිපරියාපන්නේන රූපෙන සමන්නාගතො” යන ටීකා පාඨ වලින් දක්වා ඇත.
මීළඟට දක්වා ඇති “රූපානි” යන පදයෙන් අදහස් කරන්නේ ‘පටිභාග නිමිත්ත යන රූපය’ යන්නයි. එය එම වාක්‍යයේ ක ර්ම පදය වෙයි. මෙහි විශේෂයෙන් ම සැලකිය යුත්තක් නම් එම කර්ම පදය “රූපානි” වශයෙන් බහු වචනයෙන් දක්වා තිබීමයි.
මෙහි දී යෝගාවචරයෙක් විසින් කෙසේ නම් එක් ධ්‍යානයක් ලබා රූප රාශියක් මනසිකාරය වෙත් දැයි සැකයක් ඉපද විය හැකි ය. මෙය බහු වචනයෙන් තබා ඇත්තේ කසිණ වශයෙන් ගත් කළ වර්ණ කසිණ වූව ද සතරක් ඇති බැවිනි. නැති ව රූප රාශියක් මනසිකාරය වෙනවා යන අර්ථයෙන් නොවේ. අර්පණාවකට එකවර ඇත්තේ එක අරමුණක් පමණි. මෙය බහුවචනයෙන් දක්වා ඇත්තේ නිමිති කිහිපයක් ඇති බැවින් එයින් එකක් යන කරුණ මුල් කර ගෙන ය. මේ බව මහාලී සූත්‍රයෙන් එන පාඨයකින් දක්වමි.
“පුරත්ථිමාය දිසාය දිබ්බානි රූපානි පස්සති පිරූපානි කාමූපසංහිතානි රකලගනීයානි, නො ච ඛෝ දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි” වශයෙන් “සද්දානි සුණාති” යැයි කී තැන කර්ම පදය බහු වචනයෙනුත් ක්‍රියා පදය ඒක වචනයෙනුත් යොදා තිබුණත් එහි දී ඒ නොයෙකුත් ශබ්ද එකවර ඇසීමක් ගැන අදහස් නො කරනවා මෙන් ම “රූපානි පස්සති” යැයි කී තැන ද අර්ථය එසේ ගත යුතු ය.
එහි දෙවැනි විමෝක්ෂයේ දී ස්වකීය ආධ්‍යාත්මික කෙස් ආදියෙහි පරිකර්ම නො කොට බාහිර කෙස් ආදියෙහි පමණක් පරිකර්ම කොට උපදවා ගත් පටිභාග නිමිති ඇති යෝගීන් වහන්සේ දක්වා ඇත. එය “අත්තනො කෙසාදීසු අනුප්පාදිතරූපාවචරජ්ඣානො ති අත්ථො. ඉමිනා බහිද්ධා පරිකම්මං කත්වා බහිද්ධාච උප්පාදිතජ්ඣානස්ස රූපාවරජ්ඣානානි දස්සිතානි” යි අටුවාව පැහැදිලි කොට ඇත.
එනිසා ම එම විමෝක්ෂය දක්වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දෙවැනි විමෝක්ෂය ලෙස “අජ්ඣත්තං අරූප සඤ්ඤී බහිද්ධා රූපානි පස්සති” වශයෙන් දේශනා කොට වදාළ සේක. එහි “බහිද්ධා රූපානි පස්සතීති බහිද්ධාපි නීලකසිණාදීනි රූපානි ඣානචක්ඛුනා පස්සති” යි පටිභාග නිමිත්ත බාහිරින් උපදවා ගත් එකක් බව සිහි කොට ඇත.
මෙය බහිද්ධ රූපයක් ලෙස සලකන්නේ එම පටිභාග නිමිත්ත ස්වකීය ආධ්‍යාත්මික රූප සන්තතියට ඇතුළත් නොවන නිසා බව “සසන්තතිපරියාපන්නං න හොතීති බහිද්ධා” යන ටීකා පාඨයෙන් දක්වා ඇත.
තුන්වැනි විමෝක්ෂය වනාහී “සුභන්තෙව අධිමුත්තො හොතී” යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක.
මෙයින් ශරීර කොටස් වලින් නොව කසිණ මණ්ඩල, වෙනත් වර්ණවත් මල් ආදියෙන් පරිකර්ම සිදු කර පටිභාග නිමිති උපදවා ගත් යෝගීන් වහන්සේ ව දක්වා ඇත. ඒ බව “සුභන්තෙව අධිමුත්තො හොතීති ඉමිනා සුවිසුද්ධෙසු නීලාදීසු වණ්ණකසිණෙසු ඣානානි දස්සිතානි” යි අටුවාව දක්වා ඇත.
විශේෂයෙන් කිව යුත්තක් නම් පටිසම්භිදාමග්ගයේ දී බ්‍රහ්මවිහාරයන් ගෙන් ලැබූ ධ්‍යාන ද, මේ තෙවැනි විමෝක්ෂයෙහි ලා ගත යුතු බව සිහිපත් කොට තිබේ.
මෙහි අධිමුත්ත යනු අධික ලෙස යෙදුණු වැනි අර්ථයක යෙදේ. සුභ යැයි කුමක නම් යෙදත් ද? කුමට නම් සුභ යැයි යෙදෙත් ද යත්, කේසාදීන් ගෙන් නූපදවා ගත් අතිශයින් පවිත්‍ර වූ පීත, ලෝහිතාදී කසිණ සංඛ්‍යාත වූ පටිභාග නිමිති සුභ යැයි ව්‍යවහාර කෙරෙත්. පටික්කූල නොවූ කසිණ නිමිත්තෙහි ම සුභ යැයි යෙදීම නිසා නීවරණ ධර්මයන් ගෙන් මිදුණු විමෝක්ෂය ලැබුවා නම් වෙත්.
මේ විමෝක්ෂ තුන ගැන හඟවන අටුවාව මෙය “ඉමිනා අජ්ඣත්ත බහිද්ධාවත්ථුකෙසු කසිණෙසු උප්පාදිතජ්ඣානස්ස පුග්ගලස්ස චත්තාරිපි රූපාවචරජ්ඣානානි දස්සිතානි” වශයෙන් මේ ආධ්‍යාත්මික බාහිර කසිණයන්හි උපදවා ගත් රූපාවචර ධ්‍යාන ඇතියන් ගැන කියා ඇති බව සඳහන් කොට ඇත.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මෙලස රූපාවචර ධ්‍යාන ලාභීන් ව මේ පළමු විමෝක්ෂ තුනෙන් පෙන්වා දී ඇති බව සලකා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ සමවත් සුවයන් මේ අත්භවයේදී ම විඳීමට කවුරුත් විසින් අධිෂ්ඨාන ඇති කර ගත යුතු ය.