top of page

01. හැඳින්වීම

අෂ්ඨ විමෝක්ෂ පිළිබඳ ව ශාසනයේ නොයෙකුත් තැන් වල සඳහන් වී ඇත. නමුත් වර්ථමානයේ වන විට විවිධ සංකර අරමුණු වලින් සත්වයන් ගේ චිත්ත සන්තාන දුර්වල වී ඇති බැවින් අද අද මේවා ගැන කථා කිරීම, මේ ධර්මතා වල යෙදීම දක්නට ඇත්තේ ඉතා ම අඩුවෙනි. නමුත් සර්වඥ ශාසනය වනාහී හිස් වූවක් නොව. එනිසා ම මතු මතු ප්‍රයෝජන සලකා ගෙන ශාසන ධර්මතාවයන් ගේ වෘද්ධිය පිණිස මේ ගැන ලියන්න ට කල්පනා කළෙමි.


අෂ්ඨ විමෝක්ෂ පිළිබඳ ව ත්‍රිපිටකයේ නොයෙකුත් තැන් වල සඳහන් වුණද මා මේ පිළිබඳ ව කරුණු දක්වන්නේ මහා සකුලුදායී සූත්‍රයේ සඳහන් වන විමෝක්ෂ සටහන මුල් කරගෙන ය.


එහි සූත්‍ර පාඨය මෙසේ ය.


“පුන ච පරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අට්ඨ විමොක්ඛෙ භාවෙන්ති.


රූපී රූපානි පස්සති, අයං පඨමො විමොක්ඛො; අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, අයං දුතියො විමොක්ඛො; සුභන්තෙව අධිමුත්තො හොති, අයං තතියො විමොක්ඛො; සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං චතුත්ථො විමොක්ඛො; සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං පඤ්චමො විමොක්ඛො; සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං ඡට්ඨො විමොක්ඛො; සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං සත්තමො විමොක්ඛො; සබ්බසො නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤා වෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, අයං අට්ඨමො විමොක්ඛො.


තත්‍ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසාන පාරමිප්පත්තා විහරන්ති”


මේ විමෝක්ෂ ගැන දක්වා ඇති සූත්‍ර පාඨය ය.


මෙහි කුමන හෙයින් මේවාට විමෝක්ෂ යැයි කියයි ද යත්, අධිමුච්චන අර්ථයෙනි. එනම් නීවරණාදී විරුද්ධ ධර්මයන් ගෙන් මනා සේ මිදෙන අර්ථයෙනි.


එහි පළවෙනි විමෝක්ෂ තුන ම රූපාවචර ධ්‍යාන පිළිබඳ ව ඉලක්ක කර දක්වා ඇත. සෙසු විමෝක්ෂ පහ වනාහී අරූපාවචර ධ්‍යාන සතර සහ සඤ්ඤා වේදයිත නිරෝධය හෙවත් නිරෝධ සමාපත්තියට සමවැද වාසය කිරීම වශයෙන් පෙන්වා දේශනා කොට ඇත.


මේ එහි විමෝක්ෂ පිළිබඳ ව වූ වර්ණනාවයි.

bottom of page