top of page

06. තජ්ජනීය කර්මය

මේ කර්මය පළමුව පැණවූයේ පණ්ඩුක, ලෝහිතක යන භික්‍ෂුන් වහන්සේලා දෙනම අරඹයා ය. මේ ඡබ්බග්ගිය භික්‍ෂුන් වහන්සේලාගෙන් දෙනමකි. උන්වහන්සේලා දෙනම නිතර ඔවුනොවුන් දෙදෙනා රණ්ඩු කරන්නේ ය. අනිත් තැන් වලටත් ගොස් තමන්ගේ සතුරු භික්‍ෂුව ගැන කේලම් කියා තවත් භික්‍ෂුන් වහන්සේලා එම රණ්ඩුවට පටලවා ගන්නට උත්සහ කරන්නේ ය. ඒ කරුණ ගරහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ දෙනමට තජ්ජනීය කර්මය කරන ලෙස වදාරා මේ දඬුවම් ක්‍රමය ශාසණයට හඳුන්වා දුන් සේක.


යම් භික්‍ෂුන් වහන්සේලා දෙදෙනෙක් නිතර තමන්ගේ පිරිකර නිසා, පන්සල නිසා, කුටි නිසා චීවර වලින් අල්ලාගෙන ඔවුනොවුන් රණ්ඩු වෙනවානම්, ඒ භික්‍ෂුන් වහන්සේලාට මේ තජ්ජනීය කර්මය කළ යුතු ය.


ඒ විනය කර්මය කරන පිළිවෙල ද විනය පිටකයේ මනාව දක්වා ඇත. පළමුව චෝදනා කළ යුතු ය. දෙවනුව වරද සිහිකරවිය යුතු ය. අනතුරුව ඇවත නැංවිය යුතු ය. අවසානයේ දී ව්‍යක්ත මහණෙකු විසින් කර්ම වාක්‍යය කිව යුතු ය. එයින් එම දඬුවම පණවන ලද්දේම වේ.


පෙර උක්ඛේපනීය කර්මයේ කී සේ ම චෝදනා කරන විට තිබිය යුතු අංග 12න් යුක්ත විය යුතු අතර එසේ නොමැතිනම් එය අධර්ම කර්මයක් බවට පත්වෙයි.


කර්මය සංසිඳුවන වත් 18 මනා සේ පුරත් නම් මේ විනය කර්මය සංසිඳවිය යුතු ය.


මේ කම්මක්ඛන්ධකයේ ම ඇති සියලු වත් වල දඬුවමට යටත් විය යුත්තේ අවම දින පහකුත් සංඝයාගේ කැමැත්ත පරිදි දින දහයකුත් වශයෙනි. කම්මක්ඛන්ධකයේ එන සියලු දඬුවම් වල කාලය එය ය.


මූලාශ්‍ර - කම්මක්ඛන්ධකය

bottom of page