top of page

04. උක්ඛේපනීය කර්මය

ශාසණයේ උක්ඛේපනීය කර්ම තුනක් දක්නට ලැබෙයි. ඒ මෙසේ ය.


01. ඇවත් නො පිළිගන්නා භික්‍ෂුවට සිදු කරන උක්ඛේපනීය කර්මය.

02. ඇවතට පිළියම් නො කරන භික්‍ෂුවට සිදු කරන උක්ඛේපනීය කර්මය.

03. පාප දෘෂ්ඨීය නො හරින භික්‍ෂුවට සිදු කරන උක්ඛේපනීය කර්මය.


මේ උක්ඛේපනීය කර්මය ඉතා වැදගත් විනය කර්මයකි. මෙය මහත් වූ ඕනෑ කමකින් කියවා ගෙන තේරුම් ගත යුතු ය.


මේ ශික්‍ෂාපදය මුලින්ම පැණවූයේ ඡන්න භික්‍ෂුන් වහන්සේ අරඹයා ය. උන්වහන්සේ විසින් යම් කිසි ඇවතකට පැමිණ භික්‍ෂුන් වහන්සේලා විසින් ඒ ඇවතට පැමිණි බව කී පසු තමන් වහන්සේ විසින් ඇවතට පැමිණි බව පිළිගැනීමට අකමැති වූහ. ඒ බව තථාගතයාණන් වහන්සේට සැලකිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේට මේ ‘ඇවත් නො දැකීමේ උක්ඛේපනීය කර්මය’ සිදු කරන ලෙසට අනුදැන වදාළ සේක.


මේ උක්ඛේපනීය කර්මයට ලක් වන භික්ෂුව භික්‍ෂු සංඝයාගෙන් ආමිෂ සම්භෝග, ධර්ම සම්භෝග නො ලැබ වෙන් වූවෙක් බවට පත් වෙයි. කොන් වූවෙක් බවට පත් වෙයි.


මෙහි ආමිෂ සම්භෝග, ධර්ම සම්භෝග වශයෙන් කරුණු දෙකක් දක්වා ඇත. එහි යමෙකුට තමා සතු ආහාරාදි වස්තුවක් දීම හා අනුන් දෙන වස්තුවක් ගැනීම ආමිෂ සම්භෝගය ය.


ධර්මය කියවීම හා කියවා ගැනීම ධර්ම සම්භෝගය ය. ප්‍රකෘති සංඝයා වහන්සේලා උක්ඛිත්තක භික්ෂුව හෙවත් උක්ඛේපනීය කර්මයට ලක් වූ භික්‍ෂුව හා එම සම්භෝගයන්ගෙන් වෙන් වෙයි.


යම් භික්‍ෂුවක් ඒවායන් කවරක් හෝ කළ හොත් උන්වහන්සේට පචිති ඇවතක් වේ. උපෝසථපවාරණාදි විනය කර්මයක් කළ හොත් පචිති ඇවතක් වේ. අවම වශයෙන් එක් පියැස්සක් යට උක්ඛිත්තකයා ශයනය කළ කල්හි භික්ෂුව ශයනය කළ ද භික්ෂුව ශයනය කළ පසු උක්ඛිත්තකයා ශයනය කළ ද දෙදෙනා විසින් එකවර ශයනය කළ ද එසේ කරන ප්‍රකෘති භික්ෂුවට පචිති ඇවතක් වේ.


විනය කර්මය කරන විට අදාළ භික්‍ෂුව සඟ මැදට ගෙන පළමුව චෝදනා කළ යුතු ය. සිහි කර යුතු ය. පසුව ඇවත නැංවිය යුතු ය. අනතුරුව කර්ම වාක්‍යය කිව යුතු ය.


මෙලෙස උක්ඛේපනීය කර්මයට භාජනය වූ භික්‍ෂුන් වහන්සේ පිළිබඳව සෙසු ආරාම වලටත් දැනුවත් කළ යුතු ය.


යම් තැනක මේ විනය කර්මය කරන්නේ එහි දී මේ අංග අනිවාර්ය විය යුතු ය.


01. චෝදනාවට ලක්වන භික්‍ෂුව හමුවේ සිටිය යුතු ය.

02. වරද ගැන පළමුව විමසා කළ යුතු ය.

03. වරද පිළිගැනීමෙන් පසුව කළ යුතු ය.

04. ඇවතකම කළ යුතු ය.

05. දේශණාගාමී ඇවතකම විය යුතු ය.

06. නො දෙසූ ඇවතකම විය යුතු ය.

07. චෝදනා කරම සිදු කළ යුතු ය.

08. සිහිපත් කරම සිදු කළ යුතු ය.

09. ඇවත නංවාම සිදු කළ යුතු ය.

10. සම්මුඛව සිදු කළ යුතු ය.

11. ධර්මයෙන් සිදු කළ යුතු ය.

12. සමගි වූ සංඝයා විසින්ම සිදු කළ යුතු ය.


මේ අංග දොළසෙන් යුක්ත වූ විනය කර්මය ධාර්මික කර්මයක් බවට පත් වෙයි. මෙහි වරද පිළිගැනීම කළ යුතු ය යන්න අංක 03 යටතේ දක්වන ලදි. මේ ලජ්ජීන් සඳහා කීයුවක් ය. යම් අලජ්ජියෙක් සිදුවිම පිළිනොගන්නේ නම්, වස්ථුව සහ ආපත්තිය යන කරුණු දෙක අරඹයා මේ විනය කර්මය කළ හැකි ය. එනම් ව්‍යතික්‍රමණය වූ බවම මේ විනය කර්මයට ප්‍රමාණවත් ය. එය විමති විනෝදනී ටීකාවේ කියා ඇත.


මේ විනය කර්මය සිදුකළ පසු ඒ දඬුවමට යටත් වූ භික්ෂුව විසින්


01. තමන් උපාධ්‍යාය වී හෝ කර්මාචාර්ය වී කිසිවෙක් උපසම්පදා නො කළ යුතු ය.

02. තමන් උපාධ්‍යාය වී කුල දරුවන් පැවිදි නො කළ යුතු ය.

03. නිස නො දිය යුතු ය.

04. භිඛුනෝවාද සම්මුතිය නො පිළිගත යුතු ය.

05. කලින් සම්මුතිය ලබා ඇත්තේ ද අවවාද නො කළ යුතු ය.

06. යම් ඇවතක් සඳහා විනය කර්මය සිදු කළේ ද, ඒ ඇවත නැවත නො කළ යුතු ය.

07. එවැනි වෙනත් ඇවතකටද නොපැමිණිය යුතු ය.

08. එයට කුඩා ඇවතකටවත් නො පැමිණිය යුතු ය.

09. විනය කර්මයට ගර්හා නො කළ යුතු ය.

10. ඒ කර්මය කළ භික්‍ෂුන්ට ගර්හා නොකළ යුතු ය.

11. ප්‍රකෘති භික්‍ෂුවකගේ වැඳීම්, ගරු කිරීම්, උපස්ථාන නො පිළිගත යුතු ය.

12. ප්‍රකෘති භික්‍ෂුවකට ශීල විපත්තියෙන් චෝදනා නො කළ යුතු ය.

13. ආචාර විපත්තියෙන් චෝදනා නො කළ යුතු ය.

14. එක් වහලක් ඇති ආවාසයක නො විසිය යුතු ය.

15. ප්‍රකෘති භික්‍ෂුව දැක අසුනෙන් නැගිටිය යුතු ය.


මේ ආකරයෙන් පිරිය යුතු වත් 43ක් පමණ දක්ණට ඇත. මේ අංග පුරන භික්‍ෂුවකට සංඝයාගේ කැමැත්ත අනුව දින 05ක් හෝ 10ක් හො ඒ අතර කාලයක් මේ වත් මනාව පුරා සංඝයාගේ සිත ගත්තේ නම් නැවත එම විනය කර්මය සංසිඳුවිය යුතු ය. ඉවත් කළ යුතු ය.


මේ ආකාරයෙන් සසුන් පිළිවෙතේ අනුගත නොවන අකීකරු භික්‍ෂුන්ට සංඝයා විසින් ධාර්මික පණවන විනය කර්ම සිදු කළ හැකි ය. වර්ථමානයේ ඇති නිකායෙන් නෙරපීම වැනි දෑ වෙනුවට මේ වැනි විනය කර්ම භාවිතයට ගත හැකි නම් බොහෝ ගැටලු නිරාකරණය වනු ඇත.


උක්ඛේපනීය කර්ම තුනක් ඇති බව කලින් ලිපියෙහි සඳහන් කරන ලදි. එහි දෙවැනි කර්මය නම් ඇවතට පිළියම් නො කරන භික්‍ෂුවට සිදු කරන උක්ඛේපනීය කර්මය ය. එනම් යම් ඇවතකට වැද එම ඇවතින් නැගී සිටිමේ පිළිවෙත සිදු නො කරන භික්‍ෂුවට සිදු කරන කර්මයයි. යම් ඇවතකට වන්නේ ද එයට පිළියම් කර ගත යුතු ය. නො කරන අකීකරු භික්‍ෂුවට මේ විනය කර්මය කළ හැකි ය. මේ කර්මය කරනාකාරය පෙර උක්ඛේපනීය කර්මයේ දී කී ආකාරයටම දත යුතු ය.


තුන්වැනි උක්ඛේපනීය කර්මය නම් පාප දෘෂ්ඨිය නො හරනා භික්‍ෂුවට සිදු කරන උක්ඛේපනීය කර්මයයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් බැහැරව තමන්ගේ දෘෂ්ඨියක් ගෙන යම් භික්‍ෂුවක් ක්‍රියා කරන්නේනම් පෙර සේ ම අනුශාසනා කර සම්භෝගයෙන් බැහැර කිරීමේ උක්ඛේපනීය කර්මය සිදු කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණා කොට ඇත.


පෙර සේ ම වත් 43 ක් පිරිය යුතු අතර අංග 18කින් යුක්ත සංසිඳුවිය යුතු වතෙහි හැසිරෙන්නේ නම් පෙර සේ ම උක්ඛේපනීය කර්මය සංඝයාගේ කැමැත්ත අනුව සංසිඳුවිය හැකි ය.


මූලාශ - උක්ඛේපනීය කර්ම, කම්මක්ඛන්ධකය.


bottom of page