top of page

03. සමනුභාෂන කර්මය

යම් භික්‍ෂුන් වහන්සේ නමක් විනය ශික්‍ෂා පද ඉක්මවන විට සංඝයා විසින් ධාර්මිකව ඒ කරුණු අපට නුසුදුසු ය, එය නො කරන්න යැයි කියන විට අදාළ භික්ෂුව විසින් තමවා නො කිය යුත්තෙක් සේ කියයි ද, එවැනි අකීකරු දුර්වච නො හික්මෙන සුලු භික්‍ෂුවට මේ සමනුභාෂණ කර්මය සිදු කරයි.


ප්‍රාතිමෝක්‍ෂයේ ඇතුලත් ශික්‍ෂාපද වලින් අවවාද අනුශාසනා කරන විට “ඔබ වහන්සේලා මට අනුශාසණා නො කරන්න, මම ද ඔබ වහන්සේලාට කිසිවක් නො කියමි’ යි හෝ “ඇවත්නි මාගේ හොඳ නරකින් ඔබලාට වැඩක් නැත, ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ වැඩක් බලාගන්න” ආදී වශයෙන් කියන්නේ නම් ඒ භික්‍ෂුවට එසේ නො කිය යුතු බවට අවවාද කළ යුතු ය. දෙවනුව ද, තෙවනුව ද එසේ අවවාද කළ යුතු ය. අවවාද කරන විට ඒ තාක් ද නො පිළිගන්නාට දුකුළා ඇවත් ය.


අවවාද දිගටම නො පිළිගන්නේනම් සමනුභාෂණ කර්මය සිදු කළ යුතු ය. කර්ම වාක්‍යයේ ඤත්තිය තබන විට දුකුළා ද, කර්ම වාක්‍යය දෙවරක් කියන විට ථුලැසි ද, තුන්වර අවසන් වන විට සංඝාදිසේසාපත්තියක් ද එම භික්‍ෂුවට සිදු වෙයි.


01. තමාට අවවාද නොදිය යුතයැයි පැවසීම,

02. ධාර්මික සමනුභාෂණය,

03. කර්ම වාක්‍යය තුන් වරක් දක්වා කීම,

04. අදාළ භික්‍ෂුව ඒ තාක් අදහස අත් නො හැරීම


යන කරුණු හතර නිසා කර්මය සම්පූර්ණ වී සංඝාදිසේසාපත්තිය සිදු වෙයි.


මේ දුර්වච භික්‍ෂුවගේ දුර්වච ස්වභාවයන් අනුමාන සූත්‍රයේ දක්වා ඇති ආකාරයෙන් දත යුතු ය.


01. ලාමක ආසා ඇති බව,

02. තමා උසස් කොට අනුන් පහත් කොට තැබීම,

03. ක්‍රෝධ කරන සුලු බව සහ වෛර කරන බව,

04. චෝදකයා හට ගැරහීම,

05. චෝදකයාට නැවත චෝදනා කිරීම,

06. ගුණමකු බව,

07. මසුරු බව සහ පරසම්පත්ති නො ඉවසීම,

08. නැති ගුණ පහළ කිරීම,

09. අධික මාන්නක්කාර ස්වභාවය,

10. තමන්ගේ දෘෂ්ඨිය දැඩිව ගැනීම,

11. යුතු කරුණ දැකමුත් තමන්ගේ දෘෂ්ඨිය නො හැරීම


වැනි දුර්වච ස්වභාවය නිසා පෙන්වන විනය කරුණ දෙස බලනවාට වඩා කියන්නේ කවුද ? ඔහුගේ සවස් කීයද ? යන්න සොයන දුර්වච ගති පැවතුම් ඇති අකීකරු භික්‍ෂුන්ට මෙම විනය කර්මය කළ යුතු ය. මේවායින් ම ශාසණ පැවත්ම පවතින්නේ ය. මේවාගේ ලිහිල් භාවය සමග ප්‍රතිපත්ති ශාසණයද ලිහිල් වන බැවින් එයින්ම පටිවේධයද ලිහිල් වන බව දත යුතු ය.



Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page