top of page

01. නිස්සාරණ කර්මය

මේ නිස්සාරණ කර්මය පණවනු ලබන්නේ සාමණේර හිමිවරුන්ට ය. යම් කිසි සාමණේරයෙක් විසින්,


01. බුදුන්ගේ අගුණ කියත් ද,

02. දහම්හි අගුණ කියත් ද,

03. සඟුන්ගේ අගුණ කියත් ද,

04. අකැප දේ කැප යැයි කියත් ද,

05. මිසදුටු ගත්තේ වේ ද


එවැන් සාමණේරවරුන් හට තුන් වරක් යනතුරු අවවාද දිය යුතු ය. එසේ කළ මුත් තමන්ගේ දෘෂ්ඨිය නො හැර සිටී නම් සංඝයා රැස් කළ යුතු ය. සංඝයා රැස් කොට සඟ මැද තබාගෙන නැවත වතාවක් ඒ දෘෂ්ඨිය හරින ලෙස කිව යුතු ය. එතැන හැරියේ නම් යහපත් ය. තව දුරටත් නො හැර සිටිත් නම් කර්ම වාක්‍යය කියා විනය කර්මය කොට සාමණේරයා බැහැර කළ යුතු ය. එසේ බැහැර කොට “නො හික්මුණු සාමණේරය, යව ගොස් විනාශ වෙව”යි සාමණේරයාට කිව යුතු ය.


මේ කර්මයට භාජනය වූ සාමණේරයාව සියලුම භික්‍ෂුන් වහන්සේලා විසින් වර්ජනය කළ යුතු ය. යම් උපසම්පදා භික්‍ෂුවක් මෙසේ බැහැර කරන ලද සාමණේරයාගෙන් උපස්ථාන පිළිගන්නේ ද, ඔහුට සංග්‍රහ කරන්නේ ද, ඔහු හා ධර්මාමිෂ සම්භෝග කරන්නේ ද, එක් අවාසයක සැතපෙන්නේ ද එම භික්‍ෂුවට පචිති ඇවත් වන බව දත යුතු ය.


සාමණේරයා නැවත හික්මෙන තුරු එලෙස සංඝයාගෙන් ඉවත් කර බැහැර කර තබා එයින් හික්මී ආයේ නම්, සංඝයාගෙන් සමාව අයැද තමන්ගේ දෘෂ්ඨි බැහැර කළේ නම් එම නිස්සාරණ කර්මය ඉවත් කිරීම කළ යුතු ය. එයට ඕසාරණ කර්මය යැයි කියති.


මෙකළ ඇති පමණක් දෘෂ්ඨිගත සාමණේරවරුන් එක පෙළට තබා හෝ මේ කර්ම කළ ඔවුන් හික්මවිය හැකි නම් එය ඔවුන්ට ද, සමස්ථ සමාජයකට ද බොහෝ යහපතක් වනු ඇත.


මේවා පොතට පමණක් සීමා නො කර ක්‍රියාත්මක භාවයට ගන්නට සංඝයා වහන්සේලා ඉදිරිපත් වනවා නම් සංගායනාවකින් තොරව වූව ද මේ භික්‍ෂු සමාජය නැවත පිරිසිදු කර ගැනීමට හැකි වනු ඇතැයි අප සිතමු. සසුන චිරාත් කාලයක් පවතීවා යැයි සිතිවිල්ලෙන් ඒ දඬුවම් ක්‍රම විස්තර වර්ණනා කළෙමු.

bottom of page