top of page

8.5. සෝණදණ්ඩ බමුණා ඇසූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ

මේ සෝණදණ්ඩ බමුණා ද බිම්බිසාර රජු ගෙන් ලත් නින්දගම් ඇත්තේ, ඒ රාජ්‍ය දායාදය වූ චම්පා නුවර වාසය කළේ ය. භාග්‍යවතුන් වහන්සේ 2.2 වන පරිච්ඡේදයේ දැක්වෙන පරිදි මහා කරුණා ඇසින් සෝණදණ්ඩ බමුණා ගේ උපනිශ්‍රය සම්පත් දැක චම්පා නුවරට වැඩම කළ සේක. 8.2 වන පරිච්ඡේදයේ දැක් වූ පරිදි ම මේ නුවරත් භාග්‍යවතුන් වහන්සේ ගේ මහත් වූ කීර්ති ඝෝෂාවක් පැන නැංගේ ය. චම්පා නුවර වැසියෝ මේ මහත් වූ කීර්ති ශබ්දය අසා ඒ ඒ තැන් වලින් බොහෝ පිරිස් එකතුව භාග්‍යවතුන් වහන්සේ දැකීමට ගග්ගරා පොකුණු තීරය වෙත ගියෝ ය. එදින සෝණදණ්ඩ බ්‍රාහ්මණයා තමන් ගේ උඩුමහලට වී දිවා කාලය ගෙවමින් සිටියේ ය. ඔහු කවුළුවෙන් එළිය බලනුයේ චම්පාවෙන් නික්මී බොහෝ පිරිසක් ගග්ගරා පොකුණු තීරය දෙසට යන බව දුටුවේ ය. එය දැක තමන් ගේ මහා ඇමති කැඳවා “චම්පාවේ වැසියන් කාර්ය දෙකක් පමණක් සඳහා එක් රැස් වෙති. නමුත් අද ඒ යඥය අනුභව ද නො කරයි. මන්ත්‍ර සජ්ඣායනාව ද නො කරයි. කුමක් හෙයින් මෙසේ බොහෝ පිරිසක් ගග්ගරා පොකුණ කරා යන්නේ දැ?”යි විමසී ය. ඔහු ගේ ඇමති විසින් කාරණාව සැල කරන ලදී. “ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් චම්පා නුවරට පැමිණ තිබේ. හෙතෙම ගග්ගරා පොකුණු තීරය අභියස වැඩ වෙසෙයි. ඔහු ගැන මහත් කීර්ති ශබ්දයක් පැන නැඟ ඇත්තේ ය. මොවුහු ඒ භවත් ගෞතමයා දැකීම පිණිස එහි යති”යි යනුවෙනි.


එය ඇසීමෙන් පසු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා “එසේ නම් ඒ චම්පාවාසී වැසියන්ට මා එනතුරු රැඳී සිටින්නට කියව. මම ද භවත් ගෞතමයන් දැකීම පිණිස එහි යන්නෙමි” කීවේ ය. මෙය ඇසීමෙන් මේ අමාත්‍යවරුන් ද. සෙසු බමුණන් ද බියට පත් වූයේ ය. ඔවුහු ‘බොහෝ විට අනිත් බමුණෝ මේ ගෞතමයා ගේ සරණ ගියාහු ය. මේ සෝණදණ්ඩ බමුණා ද උසස් බමුණෙකි. මොහු එහි ගිය හොත් ඒකාන්තයෙන් ගෞතමයා ගේ මායාවෙහි පැටලී ඔහු සරණ යන්නේ ය. ඉන්පසු ඔහු ගේ ගෙදර බමුණන්ට පැවත්මක් නො වන්නේ ය. ඔහු ගේ ගමනට අන්තරා කළ යුතු යැ’යි සිතුවේ ය. නොයෙක් දෙසින් පැමිනි පන්සියයක් පමණ බමුණන් සෝණදණ්ඩ බමුණා වෙත එළැඹ “භවත් සෝණදණ්ඩ. ඔබ ශ්‍රමණ ගෞතමයා හමුවන්නට යන්නේ ය කාරණාව සැබෑවක් දැ?යි විමසී ය. සෝණදණ්ඩ විසින් “එසේ ය” යන්නෙන් පිළිතුරු දුන්නේ ය.


මෙය අසා ඒ බමුණන් මොහු ගේ ගමන වැළක්වීම පිණිස සිතන්නේ ‘දැන් මොහු ගේ ගුණ කිව යුතු ය. තමන් ගේ ගුණ කියන විට තමා ඔසවා නො සිතන සත්ත්වයෙක් නම් නැත්තේ ය’ යැයි සිතා “භවත් සෝණ දණ්ඩ නුඹ මහණ ගොයුමන් දක්නට නො යේ වා. ඔබ එයට නිසි නොවේ. එයින් ඔබ ගේ යශස පිරිහෙනු ඇත. ගෞතමයා ගේ යශස වැඩි වෙනු ඇත. එබැවින් ඔබ නො යේවා. ඔහු ම ඔබව හමුවීමට ඒම සුදුසු ය.


ඔබ මවුපසින් ද, පියපසින් ද අතිජාත ය. සත්වන මී මුතු යුවළ තෙක් ම පිරිසිදු බමුණු මුතුන් මිත්තන් ඇත්තේ ය. ඔබ ජාතිය අතින් පිරිසිදු බැවින් කිසිවෙක් ගෙන් ගර්හාවක් නො ලබන ලද්දේ ය. ශ්‍රමණ ගෞතමයා මහණෙක් බැවින් ජාතියෙන් හීන ය. මහා බ්‍රහ්මයා ගේ පිටි පතුලෙන් උපත ලදි. එබැවින් ඔබ එහි යෑමට නිසි නොවේ. ඔහු ම ඔබව හමුවීමට ඒම සුදුසු ය.


ඔබ ගේ නිවසේ පස් මෙන් වැලි මෙන් බොහෝ ධනය ඇත. ගෞතම තෙමේ නිර්ධන ය. භික්‍ෂාවෙන් බඩ පුරවා ගෙන යැපෙයි.


ඔබ වේදය දන්නෙකි. ත්‍රිවේදයේ පරතෙර පැමිණියෙකි. විශිෂ්ඨ රූප සොභාවෙන් ද යුක්ත අයෙකි. දැකුම් කළු ය. ප්‍රසාදය එළවන සුළු ය. උතුම් රන්වන් පැහැ ඇත්තෙකි. ආරෝහපරිණාහ සම්පත්තියෙන් යුක්ත ය. ශරීර ප්‍රභා ඇත්තෙකි.


ඔබ සිල්වත් ය. වැඩුණු සිල් ඇත්තෙකි. (මෙය පංචශිල මාත්‍රය සඳහා කීවේ ය.) කළ්‍යාණ වචන ඇත්තේ ය. මිහිරි බස් කියන්නේ ය. කී දෙයෙහි අරුත අඟවනු සමත් වචන ඇත්තේ ය. සිලිටි බසින් යුක්ත ය. කෙලතොලු ද නොවේ. (සමහරු කථා කරන විට සෙම ගලයි. කෙල වැගිරෙයි. කෙල බිඳු හෝ වැගිරෙයි. මෙයින් ඒවා ගෙන් තොර බව කීවේ ය.)


ඔබ බොහො දෙනක් ගේ ආචාර්යවරයා ය. තුන්සියයක් වූ මාණවකයන්ට වේදයන් කියවයි. වේදයෙන් ප්‍රයෝජන ඇති බොහෝ මාණවකයෝ නන් දෙසින්, නන් රටින් භාවත් සෝණ දණ්ඩ වෙත එළැඹෙයි.


ඔබ වයෝවෘද්ධ ය. මහලු ය. බොහෝ කල් ඉක්මවා ඇත්තේ ය. මහන ගොයුම් තෙමේ තවමත් තරුණ ය. බොහෝ කල් ගෙවා නැත්තේ ය. පැවිද්දට ද තරුණ ය.


මගධාධිපති සේනිය බිම්බිසාර රජු ගෙන් සත්කර ලබන ලද්දෙකි. බුහුමන් ලබන ලද්දෙකි. පුදනු ලැබූවෙකි. යටත් පැවතුම් දක්වනු ලැබූවෙකි.


ත්‍රිවේද පරප්ප්‍රාත්ත පොක්ඛරසාති බමුණා විසින් ද සත්කාර කරනු ලැබූවෙකි. ගුරුකෘත ද, මානිත ද, පූජිත ද, අපචිත ද වේ.


තව ද භවත් සෝණදණ්ඩ තෙමේ වූ කලී බොහෝ ජනයාගෙන් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජු ගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු ඇති, බිම්බිසාර මහ රජු විසින් දුන් ශේෂ්්‍රඨ ත්‍යාගය වූ චම්පා නුවරට අධිපති ව වාසය කරයි.


මේ සියල්ල නිසා ඔබ විසින් එහි යෑම නු සුදුසු ය. ඔහු ගේ ම ඒම සුදුසු යැ”යි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා වෙත පැවසී ය.


මෙය අසා සෝණ දණ්ඩ බ්‍රහ්මණයා විසින් ඒ බමුණන් වෙතට හැරී “භවත් ගෞතමයන් අපි දක්නට ඒම නුසුදුසු ය. අපි ම එහි යෑම වටී. මන් ද යත්; ඔබලා ඔය පැවසූ ආකාරයට ම භවත් ගෞතමයෝ ද මවුපිය පසින් අතිජාත ය. ඒ ජාති සම්පත්තියේ අතීත සම්භවයේ පිරිසිදු බව සලකා බලන විට මම කවරෙක් ද ? (මේ භාග්‍යවතුන් වහන්සේ ගේ ජාති සම්පත්තිය 4.2 වන පරිච්ඡේදයේ දී දක්වනු ලැබී ය. සෝණදණ්ඩ බමුණා එය සලකා මේ වචනය කියනු ලැබුවේ ය.)


ඔබලා ගුණයන් නිසා මා එළැඹිය යුතු නොවේ. ශ්‍රමණ ගෞතමයන් ම මෙහි එළැඹිය යුතු යයි හඟින්නේ නම් ඒ ශ්‍රමණ ගෞතමයන් ගේ ඔබලා කියූ ගුණ සමඟ මා සැසඳීමේ දී ම මහා සමුද්‍රයට ගවයෙක් ගේ පාදයෙන් හැදිච්ච වලක ඇති වතුර උපමා කළාක් මෙනි. සප්ත මහා විල් වල අති ජලයට පිණි බිඳුවක් උපමා කළාක් මෙනි. මහා මේරුව සමඟ අබ ඇටයක් සසඳා බැලුවාක් මෙනි. ශ්‍රමණ ගෞතමයන් ගේ ගුණ ම මහත් වේ.


ඔබලා මාගේ පරිවාර සම්පත්තිය ගැන කථා කරති. භවත් ශ්‍රමණ ගෞතමයෝ මවු පසින් පමණක් කුල අසූදාහක් අත් හැර පැවිදි වූයේ ය. පිය පසින් ද කුල අසූදාහකි. ඔහු බොහෝ නෑයන් හැර පියා පැවිදි වූවා මිස අනාථ ව පැවිදි නො වූවේ ය.


ඔබ මාගේ ධනය ගැන කථා කරති. භවත් ශ්‍රමණ ගෞතමයෝ උපන් දවසේ ම සංඛ, ඵල, උත්පල, පුණ්ඩරීක යන යන සතර මහා නිධාන පහළ වූවේ ය. ඔවුන් ගෙන් සංඛය පමණක් ගවුවක් පමණ වේ. ඵලය අඩ යොදුනකි. උත්පලය ගවු තුනක් පමණ වේ. පුණ්ඩරීකය යොදුනක් පමණ වේ. කොපමණ ප්‍රයෝජනයට ගත්ත ද අඩුවක් නොවේ. ගත් තැන පිරේ ම ය. රාජාංගනයේ ද, උයනේ ද පොකුණු පවා සත් රුවනින් පුරවා ඇත්තේ ය. ප්‍රසාද කුළුණු පවා ධනයන් ගෙන් පුරවා ඇත්තේ ය. පොළව යට ද, පොළව මත්තෙහි ද වූ මේ මහත් ධනය හැර පියා පැවිදි වූවේ ය. අසරණ ව නොවේ.


ශ්‍රමණ ගෞතමයෝ නැති බැරි කලෙක ජරා ජීර්ණ ව පැවිදි වූවා නොවේ. මවුපියන් හඬා වැටෙන විට එය නො තකා වයසෙහි පළමු කොටසේ දී ම පැවිදි වූවෙකි. කළු කෙස් ඇති කල්හි ම අභිනිෂ්ක්‍රමණය කළ අයෙක් වෙයි.


ඔබ මගේ රූප සම්පත්තිය ගැන කථා කරති. ශ්‍රමණ ගෞතමයන් විශිෂ්ඨ රූප සම්පත්තියකින් යුක්ත වේ. දැකුම් කළු වේ. ප්‍රසාද ජනක වේ. උතුම් වර්ණ සෞන්දර්යයෙන් සමන්විත වේ. මහා බඹහු ගේ සේ උතුම් රන් පැහැ ඇත්තේ වේ. උත්තම ශරීර ප්‍රභා ඇත්තේ වේ. භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ දර්ශන අවකාශයකින් යුක්ත වේ. (මේ බව -


ශ්‍රමණ ගෞතමයන් සිල්වත් ය. පිරිසිදු සිල් ඇත්තෝ ය. නි දොස් වූ සිල් ඇත්තෝ ය. එවැනි සීලයකින් සමන්විත ය. කළ්‍යාණ වචන ඇත්තෝ ය. මිහිරි වූත් නිදොස් වූත් බස් ඇත්තෝ ය. කෙලතොලු නො වූවෝ ය. අර්ථ දනවනු සමත් සිලිටි බස් ඇත්තෝ ය.


ඔබ මාගේ ආචාර්ය කමක් ගැන කථා කරති. ශ්‍රමණ ගෞතමයන් ගේ එක් දේශනාවකින් සුවාසූ දහසක් ප්‍රාණීහු ද, අප්‍රමාණ දෙවි මිනිස්සු ද ධර්මාවබෝධය කරති. එනිසා බොහෝ ශ්‍රාවකයන්ට ආචාර්ය වූවෝ ය. ශ්‍රාවකයන් හිකමවීමෙන් ප්‍රාචාර්යයෝ ද වූවෝ ය.


ශ්‍රමණ ගෞතමයෝ පහ කළ කාම රාග ඇත්තෝ ය. (භාග්‍යවතුන් වහන්සේ කාම රාග පමණක් නොව, සියලු කෙලෙසුන් නැසූ සේක. මේ බ්‍රාහ්මණයා ඒ බවක් නො දනී. තමා දන්නා ගුණ ම ගැන පමණක් කියයි.)


හැඩ කළ පාත්‍ර දැරීම්, හැඩ කළ සිවුරු දැරීම්, සෙනසුන් හැඩ ගැන්වීම්, මේ කුණු කය ගැන ආශා කිරීම් ආදී චපල භාවයන්ගෙන් වෙන් වූවෝ ය.


භවත්නි ශ්‍රමණ ගෞතමයෝ කර්මවාදී ද වෙයි. ක්‍රියාවාදී ද වෙයි. ලෝකෝත්තර ධර්මයන් පෙරටු කොට ගෙන හැසිරෙයි. සැරියුත්, මුගලන්, මහා කස්සප ආදී ප්‍රභේද ඇති මේ බ්‍රාහ්මණ ප්‍රජාවට පෙරටුව යන්නේ ය. ඒ බ්‍රාහ්මණ ප්‍රජාව ශ්‍රමණ ගෞතමයන් පෙරටු කොට ගෙන ම හැසිරෙති. තව ද තමන්ට විරුද්ධ වූ බ්‍රාහ්මණ ප්‍රජාවට ද හිත සුව පිණිස පතමින් ම ඔවුන් ගේ යහපත ගැන සිතමින් ම හැසිරෙයි.


උසස් වූ, අමිශ්‍ර වූ ක්‍ෂත්‍රීය කුලයෙන් ම නික්ම පැවිද්දට ආ සේක. මහත් ධන ඇති සමෘද්ධ කුලයෙන් ම නික්ම පැවිදි වූ සේක. ඔබ පිටරටවල් වලින් හා පිට ප්‍රදේශයන් වෙතින් මා වෙත එන මාණවකයෝ ගැන කථා කරති. ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත නොයෙක් දහස් ගණන් දෙවිවරු ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද, ගාන්ධර්ව යෝ ද, ක්‍ෂත්‍රියයෝ ද, පණ්ඩිතයෝ ද එළැඹෙති. එළැඹ දිවි හිමියෙන් සරණ ද යති.


නව අරහාදී ගුණ වලින් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මහත් වූ කීර්ති ශබ්දයක් පැන නඟියි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් පවා සමන්වාගත වෙයි.


පිළිසඳරට දක්ෂයෙක් වෙයි. තමන් වෙත පැමිණෙන අය දැක “එන්න. භික්‍ෂුව ඔබ ගේ සැප දුක් කෙසේ ද?” ආදී වශයෙන් ගමන් විඩාව නිවාලන කථාවන් පවා කර සතුටු සාමීචියේ යෙදෙයි. පිළිගනියි. කිසිවෙක් දැක මුහුණ හකුළුවා නො ගන්නේ ය. පිරිස මැදට පැමිණ සූර්යයා දැකීමෙන් පිද්මය පිපෙන්නේ යම් සේ ද, එලෙසින් මුව පියුම පිපෙයි. පැමිණි අය වෙත තමන් ම පළමුව කතා කරයි. කිසිවෙක් දැක කථා නො කර නිහඬව නො සිටියි. ගෞතමයන්ගෙන් වචන ගැනීම දුලභ නොවේ. සුලභ ය. එය ද අර්ථ නැත්තක් නො කියයි. අර්ථ සහිත දෙයක් ම කියයි.


ශ්‍රමණ ගෞතමයෝ සමීපයට පැමිණි කිසිවෙකුට ‘අප මෙහි කුමට ආවෝ දැ?’යි නො සිතෙයි. පැමිණි සියල්ලෝ ම දහම් අසා සතුටට පත් වූවෝම වී යති. සියල්ලන් ගේ ම විමති වෙරළට පැමිණි මහා සමුද්‍රයේ රළ මෙන් ශ්‍රමණ ගෞතමයෝ වෙත පැමිණ බිඳී යති.


ඔබලා රජෙකු ගේ සත්කාර ගැන, බුහුමන් ගැන කථා කරයි. ශ්‍රමණ ගෞතමයෝ භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස ගෙන්ම සත්කාර ලබයි. ගරුකාර ලබයි. බුහුමන් ලබයි. පිදුමන් ලබයි. ඔවුන් විසින් යටත් පැවතුම් පැවතීම දක්නට ලැබෙයි. ඔබලා ඔය කී මගධාධිපති බිම්බිසාර රජු විසින් ද, ඇමතිවරු විසින් ද, තමන් ගේ භාර්යා දූ දරුවන් සමඟ ම ශ්‍රමණ ගෞතමයන් ගේ ම සරණ ගියෝ වෙති. එපමණක් නොවේ, කෝසලාධිපති කොසොල් රජු ද, ඔබ ඔය කී පොක්ඛරසාති බමුණු තෙම ද කී ආකාරයෙන් ම ස්වකීය දරු භාර්යාවන් සමඟ ම ගෞතමයන් ගේ සරණ ගියෝ ම වෙති. ඔවුන් සියල්ලෝ ම විසින් ගෞතමයෝ පූජිත ය. මානිත ය. අපචිත ය. සත්කෘත ය. ගරුකෘත ය.


ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බොහෝ දෙවියෝ ද, මිනිස්සු ද ඉතා ම තද පැහැදීමකින් සිටිති. යම් තැන භවත් ගෞතමයන් වැඩ වෙසේ ද ඒ ගම් හෝ නියම්ගම් හි සිටින මිනිසුනට යක්ෂයෝ විසින් පීඩා නො කරති. (මන්ද යත්; භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන තැන් වල මහේශාක්‍ය දෙවිවරු අරක් ගනිති. පාංශු පිසාචයන් සියල්ලෝ ම දෙවියන් ගේ ආනුභාවයෙන් දුරට පසු බැස යති. එයින් ද ඔවුන් මිනිසුන්ට පීඩා නො කරති. භාග්‍යවතුන් වහන්සේ ගේ මෛත්‍රී බලයෙන් ද පීඩා නො කරති. එහෙයින් බ්‍රාහ්මණයා මෙය කීවේ ය.)


බොහෝ තීර්ථකයන් අතර අග්‍ර ම වෙයි. බොහෝ සඟ පිරිසක් ඇත්තේ ය. ගණ නායකයෙක් වෙයි. ගණාචාර්ය කෙනෙක් වෙයි.


බොහෝ මහණ බමුණන් ගේ යශස පිටට පෙන්වන අචේලක ආදී වෘත මාත්‍රයෙන් ම ඇත්තේ ය. ශ්‍රමණ ගෞතමයන් ගේ යශස එසේ වැඩුණ එකක් නොවේ. තමන් තුළ ම අභ්‍යන්තරයේ ඇති. විද්‍යා සහ චරණ සම්පත්තියන් නිසා වැඩුණේ වෙයි.


මේ සියලු ගුණයන් ගෙන් සමන්වාගත ඒ භවත් ශ්‍රමණ ගෞතමයෝ දැන් අප ගේ චම්පාවට පැමිණ ඇත්තේ ය. නො දුරු තැනක වූ ගග්ගරා පොකුණු තීරයේ වැඩ සිටින්නේ වෙයි. අපට අමුත්තෝ වූහ. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කල යුත්තේ ය. බුහුමන් කළ යුත්තේ ය. පිදිය යුත්තේ ය. යටත් පැවතුම් දැක්විය යුත්තේ ය. මේ සියලු කරුණු සලකා බැලූ කළ ශ්‍රමණ ගෞතමයෝ අපව බලන්නට ඒම නුසුදුසු ය. අපට එහි දක්නට යෑම ම වටනේ ය. තවද භවත්නි, මා මේ මා දන්නා ගුණ පමණක් කීවෙමි. ඒ ශ්‍රමණ ගෞතමයෝ ගුණ මෙපමණක් පමණක් ඇත්තෙක් නොවේ. ඒ ගුණ සියල්ල එබඳු ම වූ බුදුවරයෙකුට වත් ප්‍රමාණ කළ නො හැකි ය. මා ගැන කියනු ම කවරේ දැ”යි කීවේ ය.


මේ බස් අසා එතැන රැස් ව සිටි සියලු බමුණෝ ‘භවත් ගෞතමයෝ උසස් ගුණ ඇත්තෙක් ය. මේ තරම් උන්වහන්සේ ගේ ගුණ දන්නා ආචර්යයන් වහන්සේ විසින් බොහෝ කාලයක් ඉවසන ලදී. දැන් ඔහුට අනුවර්තනය විය යුතු යැ’යි සිතා “භවත් සෝණදණ්ඩ ය. ඔබ ඒ ගෞතමයන් ගේ ගුණ කියන සැටියෙන් ඒ භවත් ගෞතමයන් මෙතැන් සිට යොදුන් සියයක් දුරින් වැඩ වාසය කළත්, සැදැහැති කුල පුත්‍රයෙක් විසින් ඔහු සමීපයට කොතරම් දුර ගෙවා මුත් එළැඹෙන්නට වටින්නේ ය. අපි සියල්ලෝ ම ඔබ සමඟ ඒ ගෞතමයන් දකින්නට එන්නෙමු”යි කීහ.


ඉන් පසු සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ඒ සියලු බ්‍රාහ්මණයන් සමඟ ගග්ගරා පොකුණු තීරය අභිසයට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන වන ලැහැබ තුළට පිවිසියේ ය.


මේ සියලු ම තැන් වල දී භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ කඳ ප්‍රකට ය. ඒවා ඒ ලෙසින් ම දැන ගත යුත්තේ ය. වෙනත් ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෝ අතර පවා පැවති භාග්‍යවතුන් වහන්සේ ගේ අපමණ ගුණ කඳ මේ කතා වස්තු වලදී ඉතාමත් ම ප්‍රකටව පෙනෙන්නේ ය. මේ සියල්ලන් ගෙන් ම කරුණු පිරික්සා භාගයවතුන් වහන්සේ ව දැන ගත යුත්තේ ය.


(දීඝ නිකාය - සෝණදණ්ඩ සූත්‍රය)


Designed by Ven.Kirulapana Dhammawijaya Thero

bottom of page