top of page

8.4. තාපස පැවිද්ද සහ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාසනය

(01) තවුසන් ගේ පැවිද්ද අට වැදෑරුම් වන්නේ ය. ඒ සපුත්තභරියා, උඤ්ඡාචරිය, අනග්ගිපක්කික, අසාමපාකික, අසමමුට්ඨක, දන්තවක්කලික, පවත්තඵලභොජී, පණඩුපලාසික යනුවෙනි.


එහි යමෙක් කෙනිය ජටිලයා මෙන් පවුලක් තබා ගෙන වසත්ද ඔවුහු සපුත්තභරිය නම් වේ. යමෙක් සකල එසේ දරු පවුල් සමඟ ගෙවන ආත්මභාවය පැවිද්දාට අයුතු යැයි සිතා ගොයම් කපන, මඩින තැන්වල වී, මුං, මෑ, තල ආදිය එකතු කොට ගෙන පිස අනුභව කරත්ද, ඔවුහු උඤ්ජාචරිය නම් වේ. යමෙක් කමතින් කමත හැසිර, වී ගෙනවුත් කොටා අනුභව කිරීම නුසුදුසු යයි සිතා ගම් නියම්ගම් වල සහල් භික්ෂාව ගෙන පිස අනුභව කරන්නේද ඔවුහු අනග්ගිපක්කික නම් වේ. යමෙක් පැවිද්දාට තමා ම පිසූ අහරින් කවර ප්‍රයෝජනයක් දැ යි ගමට පිවිස පිසූ භික්ෂාව ගනින් ද ඔවුහු අසාමපාකික නම් වේ. යමෙක් දින දින භික්ෂාව සොයා යාම පැවිද්දාට දුකක් යැයි සිතා ගල් ගෙඩියකින් අඹ ආදී ගස් වල පොතු කොටා කත් ද, ඔවුහු අසමමුටඨික නම් වේ. යමෙක් එලෙස දත්වලින් ම පොතු ගලවා කෑම පැවිද්දාට දුකක් යැයි සිතා ගල් කැට දඬු කැබලි ආදියෙන් ගසා වැටුණු ගෙඩි අනුභව කරත්ද ඔවුහු පවත්තඵල භෝජී නම් වේ.


යමෙක් ගල් කැට දඬු කැබලි ආදියෙන් හෙළා පරිභෝගය පැවිද්දාට අසාරුප්‍යයයි සිතා ඉබේ වැටුණු මල් පල වියලි කොළ කමින් යැපෙත් ද ඔවුහු පණ්ඩුපලාසික නම් වේ. ඔවුහු තෙවැදෑරුම් වෙති. උසස් (උක්කට්ඨ) මැද (මජ්ක්‍ධිම) මෘදු (මුදුක) යනුවෙනි. එහි යමෙක් හුන් තැනින් නො නැගිට අත පොවන තැන ම වැටුණු දේ ගෙන කත් ද ඔවුහු උක්කට්ඨ නමි. යමෙක් එක් ගසකින් තවත් ගසකට යත් ද ඔවුහු මජ්ක්‍ධිම නම් වේ. යමෙක් ඒ ඒ රුක්මුලට ගොස් සොයාගෙන කත් ද ඔවුහු මෘදුක නම් වේ.


භාග්‍යවතුන් වහන්සේ විසින් විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන පැහැදිලි කරන අවස්ථාවේ දී බුද්ධ ශාසනයේ නියමිත සීලය ද විද්‍යාව ද දක්වනු ලැබී ය. එය 09 වන පරිච්ඡේදයේ දී දක්වා ඇත්තේ ය. ඒ දැක් වූ විද්‍යා සහ චරණ ගුණයන් ලබා ගැනීම පිණිස නො පවතින, විද්‍යා චරණ ගුණයන් ගේ විනාශ මුඛය ලෙස අම්බට්ඨ සූත්‍රයේ දී මේ තාපස පැවිද්ද දක්වනු ලැබී ය.


අම්බට්ඨ සූත්‍රයේ දී තමන් සමඟ වාදයට ආ අම්බට්ඨ මාණවකයා වෙත භාග්‍යවතුන් වහන්සේ මේ විද්‍යා සහ චරණ ගුණයන් විස්තර සහිතව පැහැදිලි කොට අනතුරුව “ඔබ ගේ ආචාර්යවරයා හෝ ඔබ හෝ මේ විද්‍යා සහ චරණ ධර්මයන් ගෙන් යුක්තව වාසය කරත් දැ?”යි විමසී ය. අම්බට්ඨයා විසින් “කිසිසේත් ම නැතැ”යි කී පසු “විනාශ මුඛය ලෙස කී තාපස පැවිද්දේ හෝ නියුක්ත දැ?” යි නැවත විමසී ය. නැවත අම්බට්ඨයා විසින් “නැතැ”යි කීවේ ය. මෙයින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් “නුඹ ගේ ආචාර්යවරයා හෝ නුඹ හෝ මේ විද්‍යා චරණ සම්පත්තියෙන් වියුක්ත ය. විද්‍යා චරණ සම්පත්තිය පසෙකින් තැබේ වා, අවම වශයෙන් විනාශ මුඛය යැයි මා දේශනා කළ ධර්මයක් වත් නො පුරන්නේ ය. නමුත් ඔහුත් ඔබත් මානයෙන් මත් ව ‘ශ්‍රමණයන් සමඟ කවර කථාවක් දැ’යි අසති. ඔහු කොතරම් අපරාධයක් කළ අයෙක් දැ?”යි අම්බට්ඨයා වෙතින් විමසූ සේක.


එපමණකින් ද නො නැවතුණු භාග්‍යවතුන් වහන්සේ “අම්බට්ඨය. පොක්ඛරසාති බමුණා කොසොල් රජතුමා විසින් දුන් දෙය භුක්ති විඳිමින් සිටියි. එය ද දැහැමින් ලද්දේ නොවෙයි” යැයි දේශනා කරන ලද්දේ ය.


මේ පොක්ඛරසාති නම් වූ බමුණා විසින් සම්මුඛා ආවජ්ජතී නම් වූ විද්‍යාවක් දනියි. රජතුමා විසින් ආභරණ පැළඳ ගෙන ආ කල් හි ඒවා ගේ නම් කියා ඒවා ගනියි. මෙසේ රජතුමා ව රවටා ඔහු ඒ දේවල් ගන්නේ ය. ඒ බව දත් අය විසින් “බමුණාට කුෂ්ඨයක් සැදී ඇත. ඔබ ඔහු ව දුටුව හොත්, ඔහු ව වැළඳ ගන්නට සිතේ ය. එයින් ඔබටත් මෙය බෝ වන්නේ ය” යනුවෙන් රජු ව පසු කාලයක දී බය කළේ ය.


නමුත් මේ බමුණා දේශපාලන විද්‍යාවේ නුවණැත්තෙක් විය. එනිසා රජුට ඔහු සමඟ මන්ත්‍රණය කිරීමටත් අවශ්‍යය ය. ඔහු සමඟ මන්ත්‍රණය කොට සිදු කළ කාර්්‍යය නො වරදී. එ නිසා එසේ කළ යුතු විට රෙද්දක් ගෙන එයින් මුවා වී ඔහු සමඟ මන්ත්‍රණය කරයි. වෙනත් ආකාරයේ හමුවීමක් වත් නො දෙයි. මේ පුවත රජවරුන් සහ බමුණන් පමණක් දනියි. වෙනත් කිසිවෙක් නො දනියි.


මේ සියල්ල දත් භාග්‍යවතුන් වහන්සේ විසින් තව දුරටත් “රජතුමා විසින් ඔබ ගේ ගුරුවරයාට මුහුණ පෑමක් වත් සිදු නො කරයි. ඔහු සමඟ කථා කරන විට සැඟ වී ම කථා කරයි” යනුවෙන් වදාළ සේක. මෙය ඇසූ අම්බට්ඨයා විසින් ‘මේ ශ්‍රමණ ගෞතම තෙමේ රහසේ සැඟවුණු දේවල් ද දනියි’ යැයි සිතුවේ ය.


මේ සියල්ල වදාරා නැවත භාග්‍යවතුන් වහන්සේ විසින් “පුරාණ සෘෂිවරුන් බුද්ධ වචනය සමඟ සසඳා රචනා කළ මන්ත්‍ර ඒවා කටපාඩම් කොට ගෙන ‘මම ද වේදය දනිමියි කියත් ද, ශිෂ්‍යයන් ද ඒවා හදාරා ‘මම ද වේදය හදාරා ඇත්තේ ය’ යනුවෙන් කියත් ද එපමණකින් ම සෘෂිවරයෙක් නො වන්නේ ය” යන්නත් එකල වැඩ සිටි සෘෂිවරුන් අනුගමනය කළ පංච ඉන්ද්‍රීයයන් නො පිණවීම සහ අල්පේච්ඡ බව යන ප්‍රතිපත්තීන් වර්ථමානයේ නුඹ ගේ ඇඳුරන් ලඟ දක්නට නො ලැබෙන බවත් දේශනා කොට වදාරා “එබැවින් නුඹ ගේ ආචාර්යවරයා හෝ නුඹ සෘෂිවරු නො වන්නේ ය. ඒ මාර්ගය වෙත වත් පිවිසී නැත්තේ ය” යනුවෙන් දේශනා කොට වදාළ සේක.


මෙසේ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා සහ චරණ සම්පත්තිය සමඟ සලකා බැලීමේ දී තාපස පැවිද්ද ද විනාශ මුඛ ප්‍රදේශයේ ඇති එකක් සේ වදාළ සේක. ත්‍රිවේදප්‍රාප්ත බමුණන් ද විද්‍යා චරණ සම්පත්තීන් පසෙකින් තැබේවා, විනාශ මුඛ පස ඇති තාපස පැවිද්ද වත් නැතිව තමන් විද්‍යා චරණ සම්පන්න යැ යි සිතා ගෙන සිටින බව පෙන්වා වදාළ සේක. මේ සියල්ලන් ගෙන් ම භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් බව ම දත යුතු වේ. උන්වහන්සේ ගේ ශාසනයේ ඇති මහත් බව ම සලකා ගත යුතු වේ. බුද්ධ ශාසනයේ අති ප්‍රතිපත්තියේ උතුම් බව ම සලකා ගත යුතු වේ. උන්වහන්සේ සතු අපමණ ගුණය ම මැන ගත යුතු වේ.


(දීඝ නිකාය - සිංහනාද සූත්‍රය)


bottom of page