top of page

8.2. ත්‍රිවේදයට පවා ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේ ගේ මහා පුරුෂ ලක්ෂණ

භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන විට සුද්ධාවස බඹ ලොව වසන දෙවිවරු විසින් කල් තියා ම ‘මේ මහා පුරුෂයා ගේ පහළ වීම සියල්ලෝ ම දැන ගත යුතු යැ’යි සිතා භාග්‍යවතුන් වහන්සේ ව වෙන් කොට හඳුනාගත හැකි මහා පුරුෂ ලක්ෂණ තිස්දෙකක් වේද විෂයන්හි බහා තබන්නේ ය. ඔවුහු බ්‍රාහ්මණ වේෂයක් මවා ගෙන බුද්ධ මන්ත්‍රය යැයි මේ පුරුෂ ලක්ෂණයෝ වේදයේ කියවති. උගන්වති. ඒ අනුසාරයෙන් නුවණ ඇති මහේශාක්‍යය සත්ත්වයෝ තථාගතයාණන් වහන්සේ ව දැන ගනිතියි සිතති. මින් පෙර ද වේදයන්හි මේ මහා පුරුෂ ලක්ෂණයෝ මේ න්‍යායයෙන් ම දක්වා ඇතත් තථාගතයාණන් වහන්සේ පිරිනිවී ගිය කල්හි ක්‍රමයෙන් අතුරුදහන් වෙයි.


මෙසේ සෘග්වේද, යජුර්වේද, සාමවේද යන ත්‍රිවේද විෂය තුළ මහා පුරුෂ ලක්ණයෝ පවා සඳහන් වී එන්නේ ය. ඒ තථාගතවරු විශේෂයෙන් ලෝකයේ හඳුනා ගැනීමට හැකි වීමේ පහසු ව පිණිස ය. වෙනත් කිසිදු ශාස්තෘවරයෙක් ගැන එලෙස ඉතිහාස ග්‍රන්ථ වල පූර්ව සටහනක් නො එයි. එයින් ද තථාගතයාණන් වහන්සේ ගේ මහත් වූ ආශ්චර්යය දත යුතු ය.


මෙසේ මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙත්, ලෝකායත නම් වූ ශාස්ත්‍රයෙත් පරතෙර පැමිණි අයෙක් විසින් මහා පුරුෂ ලක්ෂණ විෂය දක්වා ඇති ග්‍රන්ථ දොළොස් දහසක ප්‍රමාණයක ගාථා පද සොළොස් දහසකින් පරිමාණ කරන ලද බුද්ධ මන්ත්‍ර ද නො අඩුව දනියි. ඒ ගාථා පද තුළ මෙසේ වන්නෝ බුදු වරු ද, මෙසේ වන්නෝ පසේ බුදු වරු ද, අග්‍රශාවක වරු ද, අසූ මහා ශ්‍රාවකයෝ ද, බුදු මව සහ පියා ගැන ද, අග්‍ර උපස්ථායකයා, උපස්ථායිකාව ගැන ද, චක්‍රවර්තී රජු ගැන ද ලිය වී ඇත.


නම් තැබීමේ උළෙල වැනි අවස්ථා වල මේ මහා පුරුෂ ලක්ෂණ දැක ම එකසිය අටක් වූ බමුණන් ‘මොහු ඒකාන්තයෙන් ම ලොවට අර්ථයක් කරන්නේ ය. එබැවින් මොහු ගේ නම සිද්ධාර්ථ (අර්ථයක් සිදු කරන්නා) යනුවෙන් තබන්නේ ය. ගිහි ගෙය වැසූවොත් සතර මහා සාගරය අන්ත කොට ඇති සිවු වැදෑරුම් දීපයන් යට කොට මහ පොළොවේ ම අධිපති භාවය වන චක්‍රවර්තී රාජ්‍යය සම්පත්තිය ද, ගිහි ගෙය කළකිරී තපසට ගිය හොත්, පස් මරුන් පරදවා ලබන ලොව්තුරා බුදු බව ද ලබන බව ඒකාන්තයෙන් සත්‍යයක් ය’ යනුවෙන් පූර්ව නිමිති වශයෙන් ප්‍රකාශ කරන ලදී.


එහි දී කොණ්ඩඤ්ඤ නැමැති සොළොස් හැවිරිදි ත්‍රිවේද පරප්ප්‍රාත්ත බමුණු දරුවා විසින් පමණක් එක් ඇඟිල්ලක් ඉහළට ඔසවා ‘මොහු ගේ ගිහි ගෙය වැසීමක් නම් නැත්තේ ය. ඒකාන්තයෙන් සතර පෙර නිමිති දැක අභිනිෂ්ක්‍රමණය කොට දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ ලොව්තුරු බුදු බවට පත්වන්නේ ය’ යනුවෙන් ඒකාන්ත නිමිත්තක් දැක සභාවෙහි ප්‍රකාශ කරන ලදී.


මේ වේද කථාවෙහි තවත් කිව යුත්තක් තිබේ. බොහෝ කාලයකට පෙර සිටි අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගි, අංගීරස, භාරද්වාජ, වාසෙට්ට, කස්සප, භගු යන නම් වලින් ප්‍රසිද්ධ ව සිටි සෘෂිවරු විසින් පෙර කල්හි වැඩ සිටි කාශ්‍යප ආදී සම්බුදුරජාණන් වහන්සේලා ගේ ධර්මය දිවැසින් බලා ඒ සමඟ සසඳා ම මේ වේදය සඳහා වූ මන්ත්‍ර රචනා කර ඇත්තේ ය. කලින් කල පහළ වන බමුණන් විසින් ඒ විෂයට සත්ත්ව ඝාතන ආදිය සාධාරණීකරණය කොට යොදා එය බුද්ධ වචනයට විරුද්ධ කළහ.


එයින් මේ වේද විෂයේ ද ආරම්භය බුද්ධ ශාසනය ම බව දත යුතු ය. බුදුවරයෙක් ගේ වචනයක් නොමැති නම් බමුණන්ට ද පැවත්මක් නැති බව මෙයින් සලකා භාග්‍යවතුන් වහන්සේලා ගේ ගුණය ම මහත් බව මෙයින් සලකා ගත යුතු ය.



(දීඝ නිකාය - අම්බට්ඨ සූත්‍රය)



bottom of page