top of page

7.1. ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව තිබූ අප්‍රමාණ අවබෝධය

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ දී සෑම කර්මස්ථාන ලබා ගන්නා ශ්‍රාවකයෙක් ම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කලින් සකස් කළ බුද්ධාසනයක් තමන් වහන්සේ වැඩ වසන තැන සූදානම් කොට තබා ඇත. එය 6.1 වන අනු මාතෘකාවේ දී විස්තර කරන ලදී. ඔවුන් සතු ව භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ අප්‍රමාණ භක්තිය සහ ගෞරවය එයින් පිළිබිඹු වේ.


තව ද බ්‍රහ්මජාලයේ දී භාග්‍යවතුන් වහන්සේ සමග යන ශ්‍රාවකයන් ගේ හික්මීම දැක් වූ 4.1 වන අනු මාතෘකාවේ දී ද උන්වහන්සේලා ව හික්මවා තිබූ භාග්‍යවතුන් වහන්සේ ගේ ශාස්තෘ ගුණය ම ප්‍රකට වෙයි.


උන්වහන්සේලා තමන් ගේ නවතැන් ස්ථාන සකස් කිරීමට පෙරාතුව භාග්‍යවතුන් වහන්සෙ වෙත වත් පිළිවෙත් නිම කිරීමෙන් උන්වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ අප්‍රමාණ ගෞරවය ම පිළිබිඹු වේ.


රහත් ඵලය අවබෝධ කොට තිබුණ ද, භාග්‍යවතුන් වහන්සේ ගේ සර්වඥාතා ඥානය පිළිබඳ ව උන්වහන්සේ ලා විසින් කරන “භාග්‍යවතුන් වහන්සේ ගේ සර්වඥතා ඥානය නම් ආශ්චර්ය ය” යන සාකච්ඡාවෙන් තමන් ගේ ශාස්තෘන් වහන්සේ ගැන ඇති පැහැදීම දිනෙන් දින වැඩි වූ අයුරුත්, ඒ අපරිමිත බුද්ධ ඥානය කල්පනා කිරීමෙන් උන්වහන්සේලා ප්‍රීතියෙන් ඔද වැඩී ගොස් ඇති අයුරුත් පිළිබිඹු වේ.


එම සූත්‍ර දේශනාව අවසානයේ දී ද එතෙක් ඉන්දියාවේ පැවති සියලු මිථයා මත පැහැදිලි කොට තථාගතයාණන් වහන්සේ ඒ සියලු දෘෂ්ඨි බිඳ නිර්වාණය සාක්ෂාත් කර ගත් අයුරු ද පැහැදිලි කරන තැන භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශනය කෙතරම් ශ්‍රේෂ්ඨ ද යන්නත් ඉස්මතු වේ පෙනෙයි. එතනදී “මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ ගේ ශරීරය මුලින් සිඳිනා ලද භව තෘෂ්ණා ඇත්තේ ව සිටී. යම් තාක් කල් තථාගතයාණන් වහන්සේ ගේ කය සිටින්නේ ද, ඒ තාක් දෙවි මිනිස්සු තථාගතයාණන් වහන්සේ ව දක්නාහ. කය බිඳීමෙන් ජීවිතයා ගේ පරික්‍ෂීණ වීමෙන් මත්තෙහි දෙවි මිනිස්සු ඒ බුදුහු නො දක්නාහ.” යන්නෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සාක්ෂාත් කරගත් නිර්වාණය ප්‍රකට කර වී ය.


එම සූත්‍රය පුරා ම පෘතග්ජනයෝ තථාගතයාණන් වහන්සේ ගේ ගුණ දැකීමට උත්සහ කළ ද, ඔවුන් සීලා දී අල්ප ගුණයක් පමණක් දකින බවත්, තථාගත විෂයට ගෝචර වූ විෂය පද්ධතිය පිළිබඳ ව ඔවුන්ට ඇති අනබෝධය නිසා තවත් තථාගතවරයෙක් ම මේ බුදු ගුණ වර්ණනාවට සුදුසු බවත්, එය ශ්‍රාවක ගෝචර නැති විෂයක් බවත් පෙන්වා වදාළ සේක. සත්‍යයක් ම ය. එහෙයින්,


බුද්ධො පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං - කප්පං පි චෙ අඤ්ඤ මභාසමානො

ඛියෙථ කපෙපා චිර දිඝමන්තරේ - වණෙනා න ඛීයෙථ තථාගතස්ස


යනුවෙන් බුදු කෙනෙකුන් වුව ද කල්පයක් තිස්සේ බුදු ගුණ වර්ණනා කළ ද කල්පය ගෙවී යනු මිස බුදු ගුණ වර්ණනා කර අවසන් නොවේ ය යන්න දේශනා කොට වදාළ ලදි.


තව ද මේ සූත්‍රයේ බඹදත් මානවයා ගේ බුදු ගුණ වර්ණනාවෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් පමණක් නොව, වෙනත් තීර්ථකයන් ද, ඒ තීර්ථකයන් සමීපයේ සිටි ශ්‍රාවයකයන් ද භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණයන් දැකීම ම සිදු කොට ඇති බවත්, ඒවා ගැන අවබෝධයක් තිබී ඇති බවත් පැහැදිලි වේ. එය සුප්පිය නවතැන් ගන්නා විට “ශ්‍රමණ ගෞතමයන් වැඩ සිටින තැන දෙවියන් පවා රැකවල් ලති” යන්නෙන් ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ අවබෝධය ද, තමන් ගේ ආචාර්යවරයා මග දිගට ම ත්, රාත්‍රිය පුරාවට ම ත් භාග්‍යවතුන් වහන්සේ ගේ, ධර්මයේ සහ සංඝයා ගේ අගුණ කියන විට අතවැසි වූ බඹදත් මානවයා විසින් දිගින් දිගට ම විරුද්ධ වාද ඇති ව තමන් ගේ ආචාර්යවරයා ගේ වචනය පවා අභිබවා ගිය ආකාරයෙනුත් ඔහුටත් භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ පෘථුල දැක්ම පිළිබඳ ව ද අපට තේරුම් ගත හැකි ය.



(දීඝ නිකාය - බ්‍රහ්මජාල සූත්‍රය)

bottom of page