top of page

6.2. තිස්ස සාමණේරයන් ගේ උපසම්පදා කිරීම.

තිස්ස සාමණේරයන් යනු ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ගේ සද්ධිවිහාරකයන් වහන්සේ ය. දිනක් ධර්ම සේනාධිපතීන් වහන්සේ විසින් ‘ස්වාමීනි තිස්ස සාමණේරයන් සමීපයට යන්නෙමි’යි භාග්‍යවතුන් වහන්සේට සැල කළා ය. භාග්‍යවතුන් වහන්සේ ද ‘මම ද එන්නෙමි’යි පවසා ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත හැරී ‘ආනන්ද, විසිදහසක් ෂට් අභිඥාලාභීන් වෙත දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් සමීපයට වඩින සේක’ යැයි පැවසී ය.


දෙවැනි දවසෙහි විසිදහසක් රහතුන් ද පිරිවරා අහසට නැගී යොදුන් දෙදහසක් එපිට ඇති ඔහු ගේ ගොදුරු ගම් දොර අභියස බැස සිවුර පෙරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ තිස්ස සාමණේරයන් දකිනු පිණිස වැඩම කළ සෙක් යැයි අසා ගම්වාසී මිනිසුන් ‘අප ගේ තෙරණුවො සුළුපටු කෙනෙක් නො වේ යැ’යි මහත් සොම්නස් ඇත්තෝ වූ හ.


භාග්‍යවතුන් වහන්සේ ගේ බත් කිස අවසන් කොට ඇති අවස්ථාවේ තිස්ස සාමණේරයන් වහන්සේ පැමිණ භාග්‍යවතුන් වහන්සේ වෙත පිණ්ඩපාතය තව පිළිගැන්වීමට සූදානම් විය. මෙත් තෙත් ළයැති අප ගේ මහා කාරුණිකයන් වහන්සේ එවිට ඔහු ගෙන් පාත්‍රය ගෙන ‘අවශ්‍ය නැත තිස්ස, බත් කිස නිමියේ යැ’යි පැවසී ය. අනතුරුව ඔහු ගේ බත් කිස නිම වන තුරු වැඩ හිඳ ‘තිස්ස ඔබ ගේ වසන තැනට යන මග කුමක් දැ?’යි ඇසූ සේක. තිස්ස තෙරුන් වහන්සේ විසින් මග දැක් වූ පසු ‘තිස්ස ඔබ පෙරටුව යන්න’ යැයි කී සේක.


භාග්‍යවතුන් වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයාට ම මග පෙන්වන්නා වූ සේක් ම මේ තුන්ගවු මග පුරාවට ම සාමණේරයන් වහන්සේ දකිමියි සිතා ඔහු මාර්ග දේශකයා කළ සේක. ඔහු තමන් ගේ වසන ස්ථානයට ගොස් ශාස්තෘන් වහන්සේට කළ යුතු වත් සිදු කළ සේක.


අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තිස්ස ඔබ ගේ සක්මන කොහේ දැ?’යි අසා එහි වැඩම කොට ‘තිස්ස ඔබ මෙතන සුව සේ වෙසෙන්නේ දැ?’යි විමසූ සේක. තිස්ස සාමණේරයන් වහන්සේ විසින් ‘එසේ ය භාග්‍යවතුන් වහන්ස, මෙතැන වසන මට සිංහයන් ගේ, ව්‍යාඝ්‍රයන් ගේ, හස්තියන් ගේ, මෘගයන් ගේ හඬ ඇසෙයි. එයින් මට ආරණ්‍යය සංඥාව උපදී. එයින් මම සුව සේ වසන්නෙමි’යි කී කල ‘එසේ නම් තිස්ස, මහා සංඝයා රැස් කරව, බුද්ධ දායාදය ඔවුන්ට පෙන්වමි’යි කියා භික්‍ෂු සංඝයා රැස් වූ කල්හි තිස්ස සාමණේරයන් වහන්සේ ව උපසම්පදා කොට නැවත තමන් වහන්සේ වැඩ වසන තැන වෙත වැඩම කළ සේක.


මේ කතා වස්තුව පුරා ම භාග්‍යවතුන් වහන්සේ ගේ නොයෙක් ගුණයන් මතු ව එයි. උන්වහන්සේ සතු ව තිබූ අපරිමිත මනුෂ්‍යයත්වය මෙයින් ඉස්මතු වන විශේෂ ගුණයකි. තමන් ගේ ශිෂ්‍යය පුත්‍රයා වූ සැරියුත් තෙරුන්ට ‘ඔබ සමඟ මමත් එන්නෙමි’යි පවසා ඉතා ම සාමාන්‍ය මනුෂ්‍යය ගුණයක් දක්වා, ශිෂ්‍යයා ගේ ශිෂ්‍යයා වූ තිස්ස තෙරුන් වහන්සේ වෙනුවෙන් ගම් දොර බැස, ගම්වැස්සන්ට ද ඔහු ගේ ගුණය දනවා, තිස්ස තෙරුන් පිණ්ඩපාතය පිළිගැන්වීමට ආ කල්හි ඔහුගෙන් පාත්‍රය තමන් වහන්සේ ගේ දෑතට ගෙන, එම සාමණේරයන් වහන්සේ වළඳා අවසන් වන තෙක් ම රැදී සිටි ශාස්තෘ ගුණය වෙනත් කවරෙක් වෙතින් නම් දකින්න ද? දෙවියන් සහිත ලෝකයා ගෙන් වැඳුම් පිදුම් ලබන, නොයෙක් ආශ්චර්ය ගුණවලින් යුක්ත, දසබලයකින් සමන්වාගත මේ මහා ශාස්තෘන් වහන්සේ ඉතා ම සාමාන්‍ය ලෙස මේ සාමණේරයන් වහන්සේ වෙත දැක් වූ ප්‍රතිචාර නම් දකින අසන විට ශරීරය ලොමු දැහැ ගන්වන සුළු ය.


මේ වර්ණනාව එපමණකින් නො නැවතෙයි. යන තුන් ගවු මග පුරා ම තමන් ගේ ශාසනයේ පැවිදි බව ලබා ගත් මේ පිනැති පුතුන් වහන්සේ දකිමි යි සිතා එම සාමණේරයන් වහන්සේ ව ම මාර්ග දේශකයා ලෙස පත් කොට සෙනසුන දක්වා ගිය ගමනේ උන්වහන්සේ ගේ සිතේ මොන තරම් නම් ලෝභය මුසු නො වූ මෙත් සහගත ලෙන්ගතුකමක් මේ බුදු පුතුන් වහන්සේ කෙරෙහි ඇති වන්නට ඇත් දැ යි මොහොතක් සිතා බලව. එය වචන කරන්නට සමතෙක් මේ මහ පොළව මත තවත් නැත. දෙමව්පියන් ගේ වෙහෙස නො දැනෙන දරුවන් මෙන් අප සියල්ලෝ ම මේ තැන දී තුෂ්ණිම්භූත වනවා මිසක් වචන රචන කරන්නට සමර්ථ නො වන්නො බව සලකා ගනු මැනව. දෙමව්පියන් කිසි දාක තමන් ගේ දුකක් දරුවන්ට නො පෙන්වති. දරුවො එය කියවගන්නට දිවිය පුරා ම වෙර දැරූ ව ද සමත් නොවෙති. එතෙකුදු වූවත් එ මවු පිය ගුණය ගැන ගායනාවක් හෝ කළ හැකි ය. රචනාවක් හෝ ලිව හැකි ය. තුති පූජාවක් හෝ කළ හැකි ය. කෝටියක් මවුවරුන් ගේ ද, කෝටියක් පියවරුන් ගේ ද කරුණාව එක් චිත්තයකට පමණක් ගැබ් වන භාග්‍යවතුන් වහන්සේ වෙත අප කිනම් ආකාරයේ නම් තුති පූජාවක් කරන්නෙමු ද? එවැන් කාරණාවක් ගැන සිතීමට වත් නො හැක. මේ තිස්ස තෙරණුවන් ගේ පිටුපසින් යන භාග්‍යවතුන් වහන්සේ ගේ සිත දැන ගැනීම තවත් සර්වඥවරයන් වහන්සේ නමකට ම භාර ය. එය අපට ගෝචර නොවේ.


මෙසේ සෙනසුන වෙත තමන් ගේ ශිෂ්‍යය පුතු දැක්මෙන් ම ගිය භාග්‍යවතුන් වහන්සේ එම සාමණේරයන් ගේ සක්මන විමසී ය. සුව සේ මෙහි වාසය කරන්නේ දැ යි විමසී ය. බුද්ධ දායාදය ලබා දෙමි යි සිතා උතුම් උපසම්පදාව ද ලබා දෙනු ලැබූ සේක. ඒ සියලු වචන තුළ ඇති, චර්යාව තුළ ඇති මානව ගුණ ධර්ම සාමාන්‍ය මිනිසෙක් ලඟ ඇති වන කලෙක නම් ඉවසිය හැකි ය. තුන් ලෝකයක් නිවා සැනසීම වෙනුවෙන් කල්ප බොහෝ ගණනක් ඇස් ඉස් මස් ලේ දන් දී, රම්‍ය සුරම්‍ය සුභ වැනි මාළිගාවන් අත් හැර, උදෑසන අවදි වන කාලයේ පටන් රාත්‍රී මොහෙතක් පමණක් විවේක ගැනීම හැර අනිත් සෑම අවස්ථාවක ම සත්ත්වයා ගේ නිවීම වෙනුවෙන් කැප කළ, අවීචී මහා නරකයේ පටන් භවාග්‍රය දක්වා වූ තියුණු දැක්මක් ඇති, තුන් ලෝකයක් නුවණින් අවබෝධ කළ මහ උතුමෙක් ගේ ඒ නිහතමානී වචන විලාශය ඉවසීම කෙසේවත් කළ නො හැකි ය. එය ද කල්පනා කොට විවර කිරීම තවත් බුදුවරයෙකුට ම භාර ය.


බුදු ගුණ වර්ණනා කිරීම පහසු කටයුත්තක් නොවේ. දිගක්, පළලක්, ගැඹුරක් නො දන්නා සාගර ජලයක අතරමං වූවෙක් ලෙස මට ම දැනෙයි. මෙතෙක් කරුණු ලියූව ද අවසන් කරන්නට තබා, පටන් ගන්නට තැනක් වත් නො ලදිමි. මේ එක ම කතා වස්තුව වූවත් කල්පනා කරන්නට අපට ලැබී තිබෙන දිවිය මදි බවක් දැනෙයි. මේ කතා වස්තුව මෙපමණ විස්තර කොට ලියූවත් එයට සාධාරණයක් කළා සේ නො දැනෙයි. ලියන්නට බැරි වූ, කියන්නට බැරි වූ තවත් බොහෝ බුද්ධ ගුණයන් එහි ඇත්තේ ම ය. කතා වස්තුව අලලා වූවත් තවත් මෙවැනි ම ප්‍රමාණ ග්‍රන්ථක් කළ හැකි ය. අසීමිත වූ අචින්තෙය්‍ය වූ අපරිමිත බුදු ගුණ නැමැති සාගරයේ පරක් තෙරක් නැති බව මා හුදෙක් ම දන්නා බැවින් මෙයින් සෑහීමකට පත් වී අනිත් කොටසට බැස ගනිමි.



(දීඝ නිකාය - අම්බට්ඨ සූත්‍රය)


bottom of page