top of page

6.1. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සෑම ශ්‍රාවකයෙක් වැඩ හිඳින තැනකම කලින් පනවා ඇති ආසනය.

බුද්ධ කාලයේ දී යම් තැනක භික්‍ෂුන් වහන්සේ නමක් වාසය කරයි ද, ඒ සෑම තැනක ම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් බුද්ධාසනයක් පනවා තිබුණි. කුමක් හෙයින් ද යත්;


භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේ හමුවෙහි කර්මස්ථානයක් ලබා ගෙන පහසු තැනෙක එය වඩන්නට පිටව ගිය භික්‍ෂුන් වහන්සේලා ගැන පවා වෙන වෙන ම සිතන සේක. ‘අසවල් භික්‍ෂුව මා වෙතින් කමටහන් ගෙන ගියෝ ය. යම් කිසි මාර්ග ඵලයක් උපදවා ගැනීමට හැකි වී ද? නැත් ද? ඔහු විසින් කර්මස්ථානය අත් හැර අකුසල විතර්කයක් විතරක් කරමින් ඇත් ද?’ ආදී වශයෙන් විමසන සේක. එසේ යම් කිසි භික්‍ෂුවක් ප්‍රමාද වන්නේ යැයි දැන ගන්නා සේක් නම්, ‘මා වැනි ශාස්තෘවරයෙකු හමුවෙහි කර්මස්ථාන ගෙන වසන මේ කුල පුත්‍රයා අකුසල විතර්ක අභිබවා අනවරාග්‍ර සංසාර දුකෙන් අතමිදෙන්නේ ය’ යැයි සිතා ඔහුට අනුග්‍රහ පිණිස එහි වැඩම කොට සුදුසු අවවාද අනුශාසනාවන් සිදු කොට නැවත තමන් වහන්සේ වැඩ වසන තැනට ම පැමිණෙන සේක.


මෙසේ අවවාද ලබන භික්‍ෂුන් වහන්සේලා විසින් ‘භාග්‍යවතුන් වහන්සේ අප ගේ සිත් දැන මෙහි පැමිණෙනු ඇතැ’යි සිතා ශාස්තෘන් වහන්සේ වැඩම කළ පසු ආසන සෙවීම කරදරයක් සහ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමක් යැයි සිතා තමන් වහන්සේලා වැඩ සිටින තැන් වල ම කලින් ම ආසනයක් පනවා ගෙන ම යෝග කර්මයේ යෙදෙති.


එහි යමෙක් සතුව පුටුවක් ඇත්තේ නම් එම භික්‍ෂුව එය පනවා තබයි. යමෙකුට එසේ නැත්නම්, ඇඳක් හෝ පැදුරක් හෝ ගලක් හෝ වැලි ගොඩක් හෝ පනවා තබයි. එබන්ඳක් ද නො ලබන්නෝ වෙත් නම්, පරඬැල් හෝ කඩා එහි පාංශකූල රෙද්ද අතුරා හෝ තබති.


මේ සියල්ලන් ගෙන් ම භාග්‍යවතුන් වහන්සේ ගේ මහා කරුණා ගුණය ම ප්‍රකට ය. උන්වහන්සේ විසින් කර්මස්ථාන ලබා දුන් ශ්‍රාවකයන් ගැන, ඔවුන් පිටත් ව ගිය කල්හි ද කල්පනා කොට බලයි. සුව සේ විවේකීව වාසය කිරීමේ හැකියාව ඇතත්, ශ්‍රාවකයන්ට පිහිට වීමේ කැමැත්තෙන් ඒ ඒ තැන් වලට වැඩම කොට නැවත අවවාද අනුශාසනා කරයි. ඒ වැඩම කරන්නේ ද සුව පහසු අසුනක් නො සොයයි. ශ්‍රාවකයන්ට ඒ ගැන බරක් වත් තබා නැත්තේ ය. ඇති හැකි අයුරින් සකස් කළ ආසනයක ම කිසිදු අමුත්තක් නො දක්වා වැඩ හිඳ ශ්‍රාවකයා වෙනුවෙන් කළ යුත්ත සිදු කොට නැවත වඩිති. නැවත වැඩම කොට අනිත් ශ්‍රාවකයන් ගැන ද සොයා බලයි. විවේකයක් ගැන තැකීමක් ලොවී ලොව්තුරා බුදුවරයන්ට නම් නැත්තේ ය. මහා කරුණාවක තරම නම් අප වැන්නන්ට ප්‍රමාණයක් කළ හැකි ද? නො හැක්කේ ම ය.


වෙනත් ශාසතෘවරු නම් ශ්‍රාවකයාව තමන් වෙත ගෙන්වා හෝ උපදෙස් දෙනු ඇත. තුන් ලෝකයක් ගරු සැලකිලි දැක් වූ භාග්‍යවතුන් වහන්සේට නම් වැදගත් වී ඇත්තේ ම ශ්‍රාවකයන් ගේ සාංසාරික නික්මීම ම මිසක් වෙනත් ගරු සැලකිල්ලක් හෝ ලෝකයා ගේ පුද සත්කාරයක් නො වන බව නම් මෙයින් පැහැදිලි ය.


(දීඝ නිකාය - බ්‍රහ්මජාල සූත්‍රය)


bottom of page