Sujatha Puthra Meditation Center
Your Membership ID
5.1. බ්‍රහ්මජාල පරියායට අනුව වර්ණාවක දී හැසිරිය යුතු ආකාරය.
පෙර පරිච්ඡේදයේ දී බ්‍රහ්මජාල සූත්‍රයෙන් උපුටා ගත් සුප්පිය පරිබ්‍රාජකයා ගේ කථාවේ දී චෝදනාවක් එන විට කෙසේ හැසිරිය යුතු ද? යන්නට භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්ධාවවාදය කෙබඳු වේ දැ යි දක්වනු ලැබී ය.
එම සූත්‍ර පාඨයේ ම ඊළඟ කොටසේ දී වර්ණාවක් එන විට කෙසේ හැසිරිය යුතු දැ යි දක්වන භාග්‍යවතුන් වහන්සේ විසින් “මමං වා භික්‍ඛවෙ, පරෙ වණ‍්ණං භාසෙය්‍යුං, ධම්මස‍්ස වා වණ‍්ණං භාසෙය්‍යුං, සඞ්ඝස‍්ස වා වණ‍්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්‍දො න සොමනස‍්සං න චෙතසො උබ්බිලාවිතත‍්තං කරණීයං.
මමං වා භික්‍ඛවෙ, පරෙ වණ‍්ණං භාසෙය්‍යුං, ධම්මස‍්ස වා වණ‍්ණං භාසෙය්‍යුං, සඞ්ඝස‍්ස වා වණ‍්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස‍්සථ ආනන්‍දිනො සුමනා උබ්බිලාවිනො, තුම්හං යෙවස‍්ස තෙන අන්තරායො. මමං වා භික්‍ඛවෙ, පරෙ වණ‍්ණං භාසෙය්‍යුං, ධම්මස‍්ස වා වණ‍්ණං භාසෙය්‍යුං, සඞ්ඝස‍්ස වා වණ‍්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි භූතං භූතතො පටිජානිතබ්බං. ඉතිපෙතං භූතං, ඉතිපෙතං තච්ඡං. අත්‍ථි චෙතං අම්හෙසු. සංවිජ්ජති ච පනෙතං අම්හෙසූ”ති යනුවෙන් දේශනා කොට වදාළ සේක.
එහි අර්ථය සැකෙවින් “මහණෙනි යම් කිසි කෙනෙක් මා ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ ගුණයක් වර්ණනා කරයි ද, එහි දී නුඹලා විසින් ප්‍රීතිය නො ඉපද විය යුතු ය. සොම්නස නො ඉපද විය යුතු ය. සිතෙහි ප්‍රීතියෙන් ඉල්පුණු බවට නො යා යුතු ය. ඉදින් එසේ යන්නේ නම් එය ද නුඹලා ගේ ධ්‍යානාදියට අන්තරාය වන්නේ ය. මෙය අපි සතුව ඇත ය. මෙය සත්‍යයක් ය” යන්න යි.
මෙසේ යම් කිසි කෙනෙක් වර්ණනා කරන විට පවා එයට මධ්‍යස්ථ ව ඇති ගුණය ඇති ගුණය ලෙස සලකා එය සත්‍යයක් ය යන්න සිතා මධ්‍යස්ථ විය යුතු බව පෙන්වා දුන් සේක. ඉදින් යමෙක් ඔබ සිල්වතෙක් දැ? යි ඇසූ කළ සිල්වතෙක් නම් ‘එසේ ය’ යන්න කිව යුතු ය. උපසපන් භික්ෂුන් වහන්සේ නමක් විසින් ඔබ සමාධි ලාභී ද? මාර්ග ඵල විශේෂයක් උපදවා ඇත් ද? යන්න විමසූ කළ එසේ ඇත්නම් ‘එසේ ය’ යන්න කිව යුතු ය. සීලය විමසූ කළ ඕනෑ ම අයෙක් වෙත කිව යුතු ය. සමාධිය සහ ප්‍රඥාව සභාග භික්ෂුවට ම කිව යුතු ය යන්න මෙයින් දක්වන ලදී. එසේ කියන්නා ශාසනයේ නො සිස් බව දක්වන සේක. සැමට කීමට නො යාමෙන් පාපිච්ඡතාවය අත් හරින ලදී. චෝදනා මුඛයේ දී ද්වේෂය ද, වර්ණනා මුඛයේ දී ලෝභය අත් හැර ජීවත් වන සැටි මෙයින් කියා දුන් සේක.
ත්‍රිපිටකය පුරා ම සහ ඉතිහාසය පුරා ම ඇති වෙනත් ශාස්තෘවරුන් ගේ කථාවන් විමසා බලන විට තමන් ගේ ශ්‍රාවකයන්ට කියා ගුණ කියවා ගන්නා ශාස්තෘවරු දක්නට ඇත. මුදල් දී තමන් ගේ ආගම් වලට බඳවා ගෙන ගුණ කියා ගන්නා ශාස්තෘවරු දක්නට ඇත. ප්‍රාණඝාතය හෝ කර ආගමට ගෙන මිනිසුන් ලවා ගුණ කියවා ගන්නා ශාස්තෘවරු ලොව ඕනෑ තරම් දක්නට ඇත. අහෝෟ අප ගේ ශාස්තෘන් වහන්සේ තමන් වහන්සේ ගේ ඇති ගුණය කියන විට පවා මධ්‍යස්ථ වීමට උගන්වා වදාළ සේක. ඔබ, අප කොතරම් වාසනාවක් ඇති මිනිසුන් වන්නේ දැ යි මෙයින් ම සිතා බැලිය යුතු ය.
(දීඝ නිකාය - බ්‍රහ්මජාල සූත්‍රය)