Sujatha Puthra Meditation Center
Your Membership ID
4.2. අම්බට්ඨ මාණවකයා ගේ මානය භාග්‍යවතුන් වහන්සේ බිඳ හෙලූ හැටි.
අම්බට්ඨ මාණවකයා තද මානයෙන් යුක්ත අයෙක් විය. හෙතෙම තමන් ගේ ආචාර්යවරයා වූ පොක්ඛරසාති බමුණා ගේ ඉල්ලීමට අනුව භාග්‍යවතුන් වහන්සේව පිරික්සීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාරය වෙත ගියෝ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ කුටියේ දොර විවර වීමෙන් අනතුරුව ඇතුලට පිවිසියේ ය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ සුව දුක් විමසුවේ ය. නමුත් ඒ ගෞරව පූර්වක ව නො වේ. හෙතෙම තද මාන ඇත්තෙක් බැවින් භාග්‍යවතුන් වහන්සේට අවමන් කරන්නෙමි යි සිතා මහා කාරුණිකයන් වහන්සේ ගේ සඳ මෙන් බබළන රූ සපුවෙහි වත් පැහැදීමක් නො කොට තමන්ගේ බඩ බැඳි සළුව භාග්‍යවතුන් වහන්සේ ගේ ඉදිරියෙහි ලිහා බෙල්ලෙන් එල්ලා ගත්තේ ය. එසේ එල්ලාගෙන එක් අතකින් සළුව අල්ලා ගෙන ඔබ මොබ ඇවිදිමින් භාග්‍යවතුන් වහන්සේ සමග මේ සුව දුක් කථාව කළේ ය. වරෙක පිටු පෑවේ ය. වරෙක පැත්තකට හැරුණේ ය. වරෙක හස්ත විකාර කළේ ය. වරෙක ඇහි බැමි විකාර කළේ ය. ‘ඔබ ගේ අඟ පසඟ මහත් වී ඇති බවක් පෙනේ ය. ඔබ බෙහෙවින් වෙහෙසට පත් ව ඇති බවක් පෙනෙයි. කිම සුව සේ වෙසේ දැ’යි ආදී වශයෙන් අවමන් බස් දොඩන්නට විය.
එයින් ද නො නැවතුණු ඔහු ‘ඔබට රජ කුලයෙන් නික්මී පැවිදි වූ බැවින් ගිය ගිය තැන් වල දී ජනයා මහත් සත්කාර කරයි. ප්‍රණීත ආහාරයන් දෙයි. මේ විහාරය දෙස බලන්න. මෙය ඉතා සුව පහසු දිව්‍ය ප්‍රසාදයක් වැනි ය. මේ ඇඳ ද, මෙට්ටය ද බොහෝ සුව පහසුවක් ගෙන දෙන බවක් පෙනෙයි. මේ වගේ තැන මහණ දම් පිරිය හැකි දැ?යි විහිළුවට ලක් කෙරෙන ආකාරයේ අනාචාර භාවයෙන් කථා කළේ ය.
මේ අසා භාග්‍යවතුන් වහන්සේ කුමක් කරන්නට ඇත්දැයි ඔබ සිතා බලන්න. භාග්‍යවතුන් වහන්සේ නො දැක්කා සේ නිහඬ ව නො සිටියේ ය. ‘අම්බට්ඨයා ගේ මානය බිඳිමි’ යි සිතා “කිම මාණවය, ඔබ මා සමඟ ඇවිදිමින්, හිඳිමින්, විකාර දක්වමින් කථා කළේ ය. ඔබ ගේ ගුරුවරුන් සමීපයේ දී ත් එසේ ම දැ?”යි විමසුවේ ය.
මේවා ලියන විට අපට ද සිනහවක් පහළ වේ. මේ මහා කාරුණිකයන් වහන්සේ ගේ පෞරුෂය නම් සුළු පටු එකක් නො වේ. එකල සෑම ආචාර්යවරයෙක් සමඟ ම කථා කරන විට සිටගෙන සිටින ආචාර්යවරයාට සිටගෙන ම කථා කිරීම සිරිතක් විය. ඉදින් ආචාර්යවරයා හිඳගෙන සිටී නම් අතවැසියා ද හිඳගෙන ම කථා කරති. විරුද්ධ ඉරියව් වල සිට කථා කිරීමක් දක්නට නැත. භාග්‍යවතුන් වහන්සේ වක්‍රාකාරයෙන් ‘ගොනා මේ දේවල් නූගත් ඔබ ද? මේ දේවල් උගන්වා නැති ඔබ ගේ ගුරුවරයා දැ’ යි ඇසී ය. ඒ බව අටුවාවේ ‘කිං තෙ ආචරියො ගොරූපං, උදාහු ත්‍ව’න්ති ආහ යි දක්වනු ලැබී ය.
එය අසා අම්බට්ඨයා කිපුණේ ය. කිපී “එසේ නොමැත ගෞතමයනි. අපි ඒ සිරිත මනා ව දන්නෝ වෙමු. නමුත් මහා බ්‍රහ්මයා ගේ පිටි පතුලෙන් උපන් මුඬු මහණුන් සමඟ කථා කිරීමේ දී මාගේ කථා සල්ලාපය මේ ආකාරයේ වේ” යැයි කීවේ ය.
මෙහි අම්බට්ඨයා ගේ කේන්තිය ම සැලකිය යුතු ය. හිස මුඬු කළ අයෙක්ට මුඬු කියන්නට වටී. ශ්‍රමණයෙක්ට ශ්‍රමණයෙක් කියා කියන්නට වටී. මෙහි දී දෙක ම කියා ආමන්ත්‍රණය කළේ සිතේ ඇති වූ කේන්තිය නිසා ම බව දත යුතු ය. ස්වරූපය නිසියාකාර ව සලකා නොවේ. සමාජයේ ද කේන්තියේ දී මෙවන් දේ අප්‍රමාණ ව දක්නට ලැබේ. උස අයට නිකරුණේ ‘දිගා’ යැයි කියති. එයින් තරමක් හෝ මිටි වූයේ නම් ‘මිට්ටා’ යැයි කියති. මේ ඊර්ෂ්‍යාව ආදී දේවල් වල දී භාවිත වන විලාශය ය. මෙහි දී ද ඒ ආකාරයෙන් ම දැන ගත යුතු ය.
මේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ ‘මේ මාණවකයා පැමිණි කල පටන් ම මා සමඟ මානයෙන් කථා කරන්නේ ය. සර්පයෙක් ගෙලෙන් අල්ලා ගන්නෙක් සේ ද, ගිනි කඳක් වැළඳගන්නා සේ ද, මත් වූ මහා ඇතෙකු ගේ සොඬ පිරිමදින්නාක් මෙන් ද වෙයි. තමා ගේ තරම නො දනී. තමා ගේ තරම දැන් ඔහුට කියා දෙන්නෙමි’යි සිතා “මාණවකය, පැමිණි කාරණයක් ඇත් නම් එය මතක් කරව. ඔබ ගේ ගුරුවරයා ඔබ ව මා සමීපයට එවනු ලැබූවේ අපට පරිභව කිරීමට නො වේ. පැමිණි කාරණය කරව”යි පැවසූ සේක. එමෙන් ම ඔහු ගේ පුහු මානයට නින්දා කරනු වස් “භවත්නි මේ මාණවකයා නො හික්මුණු කෙනෙකි. එසේ නමුත් හික්මී ඇතැයි සිතන්නෙකි. මොහු අල්පශ්‍රැතයෙකි. නමුත් බහුශ්‍රැත යැයි සිතන්නෙකි. එසේ අශික්ෂිත ව, (මෙහි පාලි වචනය අසික්ඛිත යන්නයි. මෙය සිංහලේ දී ද අසික්කිත යන වචනාදේශයෙන් භාවිත කරනු දක්නට ලැබේ.) අල්පශ්‍රැත ව ආචාර්යයන් සමීපයේ ඉගෙන ගත් දෙයක් නැති ව මෙහි පැමිණ ‘අවාහු ගේ වත වත් නො දැන’ හැසිරේ” යනුවෙන් පැවසූ සේක.
මෙයින් අසික්ඛිත වාදයෙන් මාණවකයා නැවත බොහෝ සේ කිපි යේ ය. කිම? භාග්‍යවතුන් වහන්සේ මාණවකයා මෙසේ කිපේ යැ යි නො දැන මෙය කීවේ ද යත්; නැත. ඔහු කිපෙන බව දැන ගෙන ම කීවේ ය. කිපෙන බව දැන ගෙනත් කුමක් හෙයින් ඇසුවේ ද යත්; මානය මර්දනය කරනු පිණිස ය. භාග්‍යවතුන් වහන්සේ ‘මේ වචනයෙන් මොහු කිපී මාගේ නෑයන් ද අළලා ආක්‍රෝශ පරිභව කරන්නේ ය. එසේ දෝෂය ඉස්මතු වූ පසු දොස් කිපීමට බෙහෙත් පළමු ව දී දෙවනු ව එයට පිළියම් කරන දක්ෂ වෛද්‍යවරයෙක් මෙන් මොහුට පිළියම් කරන්නෙමි’ යි සිතා මෙසේ ඔහුට කිපෙන බසක් පැවසූ සේක.
මේ බස් අසා ‘ශ්‍රමණ ගෞතමයන් විසින් මා චණ්ඩ වාදියෙක් යැයි කියූ සේකැ’ යි සිතා එයින් කිපුණු අම්බට්ඨයා විසින් භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමය, ශාක්‍ය ජාතිය ම චණ්ඩ ය. ශාක්‍ය ජාතිය ම පරුෂ ය. ශාක්‍ය ජාතිය ම හෑල්ලු ය (වහා පෙරැළෙන සුලු ය). ශාක්‍ය ජාතිය ම දොඩමලු ය. ඔවුන් බමුණන්ට මෙහෙකරුවන් විය යුතු ව ඇත්තේ නුමුදු බමුණනට සත්කාර නො කරන්නේ ය. බමුණනට ගෞරව නො කරන්නේ ය. බමුණනට බුහුමන් නො කරන්නේ ය. බමුණන් නො කරන්නේ ය. බමුණනට යටත් පැවැතුම් නො දක්වන්නේ ය. මේ කරුණ ඔවුන් නො සුදුසු යැ”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
මේ ශාක්‍ය වංශිකයෝ මහත් අභිමානයක් තිබූ ජාතිකයන් විය. එයින් බමුණු කුලය ම කිපී සිටියේ ය. ඔවුන් සුළු දේටත් කෝප ගන්නා, ඔවුන් කථා කරන විට අනෙක් අයට කථා කරන්නටවත් අවකාශයක් නො දෙන ජාතියක් ලෙස ඔවුන් ශාක්‍ය වංශිකයන් ව හඳුනා ගෙන සිටියේ ය. එබැවින් මේ අම්බට්ඨයා විසින් ‘ඔබ මා චණ්ඩ යැයි කීව ද, සැබවින් ම චණ්ඩ ඔබ ගේ වංශය යැ’යි මෙ බස් කීවේ ය. මෙසේ පළමු ව අම්බට්ඨයා විසින් ශාක්‍යයන් දාසයෝ ය යන මේ උපවාදයෙන් නිග්‍රහ කළේ ය.
අකම්පිත භාග්‍යවතුන් වහන්සේට මෙය අසා නිහඬ ව වැඩ සිටිය හැකි වූව ද එසේ වැඩ නො සිටි සේක. මහා කරුණාවෙන් තෙත් වූ ළයැති භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයා ගේ මානය නිසි තැන බිඳින පුරිස දම්ම සාරථි ගුණය හාත්පස පතුරා “කිම අම්බට්ඨය, ශාක්‍යයෝ විසින් තට යම් කිසි වරදක් කළෝ දැ?”යි අම්බට්ඨ මාණවකයා ගෙන් නැවත විමසූ සේක.
එවිට අම්බට්ඨයා විසින් තමන් ගේ අතීතය සිහි කරන්නේ “එසේ ය, භවත් ගෞතමය, මම එක් කලෙක මා ඇදුරු පොක්ඛරසාති බමුණානන් ගේ වුවමනාවක් සඳහා කිඹුල්වත් නුවරට ගියෙමි. එහි ශාක්‍යයන් ගේ සන්‍ථාගාරය හෙවත් රාජ්‍යය අනුශාසනා කරන ශාලාව කරා එළැඹුණෙමි. එසමයෙහි බොහෝ ශාක්‍යයෝත් අභිෂේක නො කරන ලද ශාක්‍ය කුමාරයෝත් උනුනට ඇඟිලි වලින් කෙවිටි කරමින් මහත් කොට සිනහ සෙමින්, ඇඟිලි ඔවුනොවුන්ට ඇන ගනිමින්, ඒකාන්තයෙන් මට ම සිනාසෙන්නාක් මෙන් කෙරෙමින් සන්‍ථාගාරයෙහි උස් අසුන්හි හුන්නෝ වෙත්.
කිසිවෙක් මට ආසනයක හිඳ ගැනීමට ආරාධනාවක් වත් නො කෙළේ ය. භවත් ගෞතමය, මේ ශාක්‍යයෝ තුමූ බමුණනට දාස වූ ගැහැවියෝ වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජා අපචායන (යටත් පැවැතුම්) නො කරන්නා හ. මෙය නො සුදුසු ය, නො නිසි යැ” යි පැවැසී ය.
කුමක් හෙයින් ශාක්‍යයෝ මෙසේ කළේ ද යත්; අම්බට්ඨ එම ශාලාවට පිවිසෙන විට පාදාන්තය දක්වා එල්ලා වැටුණු සාටකයක් හැඳ එක් කොනක් එක් අතකින් අල්ලා ගෙන කොඳු ඇටය නමා ගෙන මාන මදයෙන් මත් වී ම පිවිසියේ ය. ශාක්‍යයෝ ඔහු ගේ කුලවංශය දනිති. ඔවුන් විසින් එසේ පිවිසෙන අම්බට්ඨයා දැක “පින්වත්නි, අප ගේ දාසයා වන කණ්හායන ගෝත්‍රික අම්බට්ඨයා එන ආකාරය බලව”යි එසේ කළ හ.
මෙසේ අම්බට්ඨයා විසින් මේ ශාක්‍යයන් ගේ දෙවැනි උපවාදය සිදු කළේ ය. මෙය අසා භාග්‍යවතුන් වහන්සේට කුමක් සිතෙන්නට ඇත්දැයි විමසා බලනු. අප ගේ මහා කාරුණිකයන් වහන්සේ මොහු ගේ නො දැනුවත් කමට සිනහ නො වී ය. කරුණාබරව ම ‘ඔහුට කරුණ පැහැදිලි කර දෙමි’යි සිතා “අම්බට්ඨය, (ගල් කැට අතර වසන කුඩා කිරිල්ලියක් වූ) කැට කිරිල්ලිය ද තමා ගේ කැදැල්ලේ දී තමන් කැමති ලෙස ශබ්ද කරන සුලු වේ. (හංසයන්, මොනරුන් වැනි කිසිදු පක්ෂියෙක් ඇය කරා පැමිණ ‘තී කුමක් දොඩයි දැ?යි’ නො පවසයි) කිඹුල්වත් පුරය යනු ශාක්‍යයන් ගේ නගරයකි. එය වටහා ගනු මැනවි. එබැවින් මේ වැනි ස්වල්ප මාත්‍රයෙහි වෛර බඳින්නට නො වටී” යැයි ඔහුට වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ ගේ මේ වචන ඇසීමෙන් පසු අම්බට්ඨයා විසින් ‘මේ ශ්‍රමණයා තමන් ගේ ඥාතීන් කැට කිරිල්ලට සම කළේ ය. අප ව කොස්වාලිහිණියන් හා මොනරුන් සමඟ සම කළේ ය. මෙය ඇසීමෙන් ‘මොහු මාන රහිත වී ඇතැ’යි සිතා ‘චතුර්වර්ණ දක්වමින් මොහු ගේ මානය තවත් සිඳිමි’යි සිතා “භවත් ගෞතමය. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යැ යි මේ වර්‍ණ (කුල) සතරකි. මේ සතර වර්‍ණයන් අතුරෙන් ක්‍ෂත්‍රිය ද, වෛශය ද, ශුද්‍ර ද යන තුන් කුලයෝ ම ඒකාන්තයෙන් බ්‍රාහ්මණයන් ගේ මෙහෙකරුවෝ වෙති. එබැවින් භවත් ගෞතමය, මේ ශාක්‍යයෝ බමුණනට මෙහෙකරු වූ ගැහැවියෝ වෙමින් ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජන අපචායන නො කෙරෙත් යන මෙය නො සුදුසු ම යැ”යි කී ය.
අම්බට්ඨයා තමන් ගේ සීමාව ඉක්මවනු දුටු භාග්‍යවතුන් වහන්සේ ‘මොහු ගේ මාන බිඳින්නට සුදුසු කාලය එළැඹියේ යැ’යි සිතා “අම්බට්ඨය, නුඹ කවර ගෝත්‍රයකට අයත් දැ?” විමසී ය.
එයට පිළිතුරු දෙමින් අම්බට්ඨ මාණවකයා “භවත් ගෞතමය. මම කෘෂ්ණායනයෙක් (කෘෂ්ණ නම් සෘෂිහු ගේ පෙළපතට අයත් කෙනෙක්) වෙමි”යි තෙවරක් උස් හඬින් පැවසී ය.
අම්බට්ඨ ශුද්ධ වංශයක කෙනෙක් නො වී ය. ඒ බව ඔහු ද තමන් ගේ ඉතිහාසය ඉගෙනීමෙන් ම දන්නේ ය. එසේ දැන දැනත් ‘මේ කරුණු අතීත භවයට අයිති ඒවා ය. මේ ශ්‍රමණයා කෙසේ නම් ඒවා දැන ගන්න දැ?’යි සිතා මානයෙන් තද බැවින් මෙසේ කී ය.
මෙය අසා භාග්‍යවතුන් වහන්සේ ‘ශාක්‍යයෝ ද තමන් ගේ ඉතිහාසය ඉගෙනීමෙන් මොහු ගේ මේ දාස කුල වංශය දැන ගෙන ම, මොහු ශාක්‍යයන් ගේ දාස පරම්පරාවේ අයෙක් වී නමුත් අප වෙත දාසාකාරයෙන් නො එළඹෙන විත්තිය දැක ම එදා මොහු ව හාස්‍යයට පත් කළේ යැ’යි දැන අම්බට්ඨ ගේ වංශය ද, තමන් ගේ වංශය ද පිළිබඳ ව අතීත කතාව සර්වඥතා ඥානය පතුරවා ගෙන හැර දක්වමින් මෙසේ වදාළ සේක.
“අම්බට්ඨය, ගෙවි ගිය කාලයට අයත් නමුත් තමන් ගේ කුලය මෙසේ මහත් අභිමානයෙන් කියන නුඹ ශාක්‍යයන් ගේ දාස පරම්පරාවකට අයත් අයෙකි. නුඹ ගේ පරම්පරාවේ ස්වාමීවරු ශාක්‍යයෝ ම වන්නේ ය. එබැවින් දාස වූ නුඹ, ඒ බවක් නැති සේ ස්වාමී වූ ශාක්‍යයන් කරා එළඹෙන විලාශය දැක එදා ශාක්‍යයෝ නුඹට සිනාසුණ හ. ශාක්‍යයන් ගේ මුතුන් මිත්තන් අතර පූර්ව ම පුරුෂයා වන්නේ සෑම අතින් ම පිරිසිදු මහා සම්මත ඔක්කාක රජු ය. (මේ රජු කතා කරන කල්හි උල්කාවක් වැනි ප්‍රභාවක් මුඛයෙන් නික්මෙයි. එබැවින් ඔක්කාක නම් විය.) අම්බට්ඨය අප ගේ ද, නුඹ ගේ ඉතිහාස කථාව තත් පරිදි දැන ගනුව.
ඒ කී ඔක්කාක පරම්පරාවේ එක් රජ කෙනෙක් හට එක් මෙහෙසියකට හයසීයක් වූ පිරිවර සහිත ව මෙහෙසියන් පස් දෙනෙක් විය. පළවෙනි මෙහෙසියට කුමාරයන් සිවු දෙනෙක් ද, කුමාරියන් පස් දෙනෙක් ද දරුවන් ලෙස විය. ඇය පසු කලෙක කළුරිය කළා ය. එයින් අනතුරුව අග බිසව බවට පත් වූ දේවියට පුතෙක් ලැබුණේ ය. ඒ දැක සතුටු ව රජු ඇය වෙත වරයක් දුන්නේ ය. ඇය තමන් ගේ පුත් කුමරු රජු බවට පත් කරනු මැනව යි ඉල්ලී ය. රජු තමන්ට තවත් වැඩිමහලු පුත් කුමාරයන් ඇති බැවින් එයට නො සතුටු විය. නමුත් මේ දේවිය තමන් ගේ ඒ පුතුන්ට කරදයක් කරනු ඇතැයි සිතා ඔවුන් ව පිරිවර සමඟ ආරක්‍ෂිත ව වනයකට පිටත් කර හරින ලද්දේ ය.
මා ගේ ඇවෑමෙන් පසු ව පැමිණ රජකම ගනුව යි ඔවුන් වෙත දැන්වූයේ ය. කුමාරවරු සිවු දෙනා පිටත් ව යන විට ඔවුන් ගේ නැගණිවරු පස් දෙනා ද ඔවුන් සමඟ පිටත් විය. ඔවුන් කපිල නම් සෘෂිවරයෙක් වසන තැනකට වනාන්තරයේ ගොස් කපිල සෘෂිවරයාට සිදු වූ කතාව සැල කළේ ය. ඒ කපිල සෘෂිවරයා වෙනත් කිසිවෙක් නොව, අප මහා බෝධිසත්වයෝ ම විය.
ඔහු සතු ව භූමිචාල නම් විද්‍යාවක් විය. එයින් භූමියේ ගුණ දොස් දැකීමට හැකි ය. එනිසා එක් භූමියක් දැක එහි ඇති මහත් ගුණය තමන් ගේ විද්‍යාවෙන් දැක තමන් ගේ පන්සල එහි කරවා ඇත්තේ ය. එම භූමියට සිංහයෙක් මුවෙක් පසු පස දිව ආව ද, එම භූමියේ දී ලුහුබැඳ යෑමට අපොහොසත් වෙයි. එතරම් ගුණ සහිත භූමියක් විය. කපිල සෘෂිවරයා මේ කුමාරයන් ගේ කථාව අසා, ඔවුන්ට අනුකම්පා කර තමන් ගේ විහාරය සහිත ඒ විහාර භූමිය දක්වනු ලැබී ය. මෙහි රාජ්‍යයක් ගොඩනගා ගන්නා ලෙසත්, දිනක මේ භූමිය දඹදිව අගනුවර වන බවත් ඔවුන්ට පවසා, පන්සල ගොඩනගා ඇති තැන රජ මාළිගය තනනු මැනව යි කීය.
ඒ කුමාරවරු එහි ජීවත් වන්නේ විවාහ වීමට සුදුසු කාලය එළැඹෙන විට විවාහ වීමට සුදුසු වංශයක් නො දැක, වංශය අපිරිසිදු කරනු නො හැකැ යි සිතා තමන් ගේ දෙටු සොහොයුරිය ව මවු තැන තබා සෙසු සොහොයුරියන් විවාහ කර ගත්තේ ය. එයින් ඔවුන් ගේ වංශය නො නැසුණේ ය. දෙටු සොහොයුරිය හට පසු කලෙක සමේ රෝගයක් වැළඳුණු අතර ඇය වෙන ම ගුහාවක වාසය කළා ය.
මේ කාලය වන විට බරණැස් රජු වූ රාම නම් රජුට ද සමේ රෝගයක් වැළඳී තිබූ බැවින් ඔහු ද තමන් ගේ පුතු හට රාජ්‍යය පවරා දී වන ගත වී සිටියේ ය. කෑලෑවේ දී ලැබූ කොළ ගඩා ගෙඩි ආදිය කමින් ගත කළ ඔහුට එයින් ම එම රෝගය සුව වී ගියෝ ය. එයින් රන්වන් සිරුරක් ලැබ වනයේ හැසිරෙමින් සිටියේ ය.
දිනක් ඔක්කාක වංශයේ දෙටු කුමරි සිටි ගුහාවකට ව්‍යාඝ්‍රයෙක් පැමිණි අතර ඇය එය දැක බියෙන් කෑ ගැසුවා ය. එය ඇසුණු මේ රාම රජු ඇය වෙත පැමිණ ඇය දැක ඇයට ඔහු සමඟ වසන්නට ආරාධනා කළේ ය. ක්ෂත්‍රිය මානය නිසා එය ප්‍රතික්ෂේප කළ ඇයට තමන් ද ක්ෂත්‍රියයෙක් ම වෙමි යි රාම රජු කී පසු ඇය ඔහු සමග වාසයට ගියා ය. තමන් පරිභෝග කළ බෙහෙත් ම ඇයට ලබා දී ඇය ගේ ද රන්වන් සිරුරු ප්‍රතිලාභය ලැබ ඔවුන් දෙදෙනා එකට ම වාසය කළ හ. පසු කලෙක එහි ඇති කෝල ගසක් ඉවත් කර ඔවුන් නගරයක් කර වූ අතර එයින් කෝලියන් ගේ උපත සිදු වී ය. ඔවුන් ශාක්‍යයන් ගේ නෑයන් ම විය. බුද්ධ කාලය දක්වා ම ඔවුන් ගේ ආවාහ විවාහ කටයුතු සිදු විය.
ඔක්කාක පරම්පරාවෙන් නික්ම ආ කුමාරවරු තමන් ගේ වංශය නො බිඳ ම කුල වංශය රැක ගත් නිසා ඔවුන් සමර්ථයෝ ය යන අරුතින් ශාක්‍යයෝ විය. අප ගේ වංශයේ අතීතය මෙසේ විය.
නුඹ ගේ වංශය ද දැන ගනුව. ඒ ඔක්කාක නම් රජුට දිශා නම් වූ දාසියක් විය. ඇය කෘෂ්ණ නැමැති පුතෙක් වැදුවා ය. ඔහු යක්‍ෂයෙක් මෙන් විය. වෙනෙකක් තබා ඔහු ගේ මව ද ඔහු දැක බිය විය. ගෙදර මිනිසුන් සහ ඇය සිය පුතු ගේ උපත දැක යක්ෂයෙක් ඉපදුණේ යැ යි බියෙන් දුව ගොස් දොර වසා ගත්තා ය.
අම්බට්ඨය නුඹ පිශාචයන් ගැන නිසැකව ම අසා ඇත්තේ ය. මෙකල මිනිස්සු කළු පැහැති අවලස්සන අය වෙත පිශාචයෝ යැයි කියති. මේ කෘෂ්ණයා උපදින්නේ නිකම් නූපදුණේ ය. මව් කුස තුළ දී ම දත් කෙස් රැවුල් වැඩී කාළ වර්ණ ඇතිව ම ඉපදුණේ ය. එයින් ඔහුට කළුවෙක් ඉපදුණේ ය යන අර්ථයෙන් කෘෂ්ණ නම් ව්‍යවහාර විය.
අම්බට්ඨය නුඹ තුන් වරක් ශබ්ද නඟා කී කෘෂ්ණගේ පෙළපතේ ආරම්භය එයින් විය. ගෙවී ගිය අතීතයේ පරම්පරාවේ නාම ගෝත්‍ර සිහි කිරීමට කැමති වූ නුඹේ පෙළපතේ මුල් ම කෘෂ්ණයා ශාක්‍යයන් ගේ දාසී පුත්‍රයෙකි”යි තමන් වහන්සේ පැවත එන ශාක්‍යයන් ගේ ද, අම්බට්ඨයා පැවත එන කෘෂ්ණයන් ගේ ද අතීත පරම්පරා කතාව දේශනා කොට වදාළ සේක.
මෙය අසා අම්බට්ඨ මාණවකයා මහත් ලැජ්ජාවට පත් විය. ඔහු සමඟ ආ අනෙක් මාණවකයෝ ද එය දැක‘මොහු අප ගේ ගුරුවරයා ගේ ජ්‍යෙෂ්ඨ අතවැසියා ය. ඉදින් අප මෙබඳු තැනක එක් වචනයක් වත් නො කියන්නේ නම්, මොහු ගුරුවරයා හමුවෙහි අප ව බිඳවන්නේ ය. සැබැවින් ම ඒ මාණවකයෝ ද මේ අම්බට්ඨව අප්‍රිය කරන්නෝ ය. මන්ද යත්, මොහු අධික මානයෙන් යුත් අයෙක් බැවිනි. නමුත් පෙර කී චෝදනාවෙන් මිදෙනු වස් “භවත් ගෞතමය, මෙලෙස ඉතා දැඩි ලෙස දාසී වාදයෙන් අම්බට්ඨකයා වෙත නො පවරනු මැනව. අම්බට්ඨ මාණවකයා (මනා වූ උපතක් ඇති බැවින්) සුජාත ය. (මනා වූ කුලයක උපත ලද බැවින්) කුලපුත්‍රයෙක් ද වේ. බහුශ්‍රැත ද වේ. මිහිරි වචන ඇත්තේ ද වේ. පණ්ඩිත ද වේ. ඔබ විසින් අසන ලද ප්‍රශ්නයක් විසඳන්නට සමර්ථයෙක් ද වේ යැ”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
මෙසේ මාණවකයන් ගේ උස් හඬ අසා භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූයේ නො වේ. තව දුරටත් “මාණවකයිනි, අම්බට්ඨ මාණවකයා දුර්ජාත වේ. අකුල පුත්‍රයෙක් ද වේ. අල්පශ්‍රැත ද වේ. නො මිහිරි වචන ඇත්තේ වේ. අපණ්ඩිත ද වේ. අප සමඟ සාකච්ඡා කරන්නට ද සුදුස්සෙක් නො වේ යැ”යි ඔවුන් ගේ උස් හඬ සර්වඥතා ඥානයෙන් හකුළුවා තව දුරටත් ඔහු ගේ මානය බිදීමට කැමැත්තේ “ඉදින් ඔහු තොප කියනාකාරයේ සමර්ථයෙක් නම්, තොපි නිහඬ ව සිටිවු. ඔහු මා සමඟ සාකච්ඡා කරනු ඇතැ යැ”යි ද වදාළ සේක.
මාණවකයෝ මේ බස අසා ‘අම්බට්ඨයා තමන් විසින් ම බැඳගන්නා ලද පොදිය, ඔහු විසින් ම ලිහා ගනු ඇත. අප කුමට එයට කරගහන්නේ දැ’යි සිතා ‘එසේ ය. එසේ කර ගනු මැනව’යි ප්‍රතිවදන් දුන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ නැවත අම්බට්ඨයා දෙසට හැරී “අම්බට්ඨය නුඹ විසින් මේ කතාව ඇදගන්නා ලදී. දැන් නො කැමැත්තෙන් වූවත් මා මේ අසන පැනයට පිළිතුරු දිය යුතු ව ඇත. ඉදින් මා විමසූ විට නුඹ නො විසඳන්නේ නම් හෝ වෙනත් වචන යොදා විමසන දෙය මග හැර යන්නේ නම් හෝ පිළිතුරු නො තබා තුෂ්නිම්භූත වන්නේ නම් හෝ නැගිට පලායන්නේ නම් හෝ මෙහි දී ම තගේ හිස සත්කඩකට පැලෙනු ඇතැ”යි වදාළ සේක.
තමන් වහන්සේ වෙත නිග්‍රහ කරමින් සිටි අම්බට්ඨගේ පරම්පරා වත ගොත ඉතිහාසයෙන් ගෙන හෙළි කළ භාග්‍යවතුන් වහන්සේ තවමත් අම්බට්ඨයා ගේ මානය බිදීමේ කර්තව්‍යය අවසන් කොට නැත. ඔහු විසින් ම විවර කළ මාර්ගයේ තවමත් භාග්‍යවතුන් වහන්සේ ඔහු ව ගෙන යමින් සිටී. මේ සෑම තැනක දී ම අවකාශ ගෙන ඇති කරුණු වර්ණනා කළ යුතු ව ඇතත්, කාරණා රසය සලකා බලා අවසානයේ දී මේ ගුණයන් එකට ඉස්මතු කිරීමට බලාපොරොත්තු වන්නෙමි.
භාග්‍යවතුන් වහන්සේ ගෙන් ගැලවීමක් දැන් අම්බට්ඨ මාණවකයාට නැත. ඔහුට වෙනත් පිළිතුරක් දීමටත් නො හැක. නිහඬ ව සිටීමටත් නො හැකි ය. නැගිට පලා යෑමටත් නො හැකි ය. පිරිස තුෂ්ණිම්භූත ව බලා ගෙන සිටින අතර භාග්‍යවතුන් වහන්සේ නැවත අම්බට්ඨයාගෙන් “කිම නුඹ ගේ පරම්පරාවේ වැඩිහිටියන් විසින් කෘෂ්ණ ගැන කවරාකාරයේ තොරතුරු කියා ඇත් ද? ඔබ ගේ පරම්පරාවේ මුල් පුරුෂයා කවරෙක් ද? කෘෂ්ණායනයන් කුමක් මූලස්ථාන කොට ඇත්තෝ දැ?”යි විමසී ය.
මේ පැනය අසා අම්බට්ඨයා තුෂ්ණිම්භූත විය. පිළිතුරු නො දී සිටියේ ය. හෙතෙම ‘මේ ශ්‍රමණ ගෞතමයා විසින් මා ලවා ම මා දාසීපුත්‍ර පරම්පරාවෙන් පැවත එන්නේ යැයි කියවීමට කැමැත්තෙන් මේ පැනය මගෙන් විමසයි. මා පිළිතුරු නො දී සිටිය යුතු ය. මෙය දෙතුන් වරක් ඇසීමෙන් පසු ව චෝදනාවක් කොට නිහඬ වනු ඇත. එයින් පසු මා ආපසු හැරී යන්නේ යැ’යි සිතා මෙලෙස නිහඬ ව සිටියේ ය.
භාග්‍යවතුන් වහන්සේ දෙවැනි වර ද මේ පැනය ම විමසූ අතර අම්බට්ඨයා තුෂ්ණිම්භුත ව ම සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නැවත අම්බට්ඨයා වෙත “අම්බට්ඨය දැන් නුඹ පිළිතුරු දිය යුතු ම වේ. තථාගතයාණන් වහන්සේ තෙවැනි වර තෙක් යමෙකුගෙන් පැනයක් විමසන විට ඔහු පිළිතුරු නො දෙයි නම්, එහි දී ඔහු ගේ සිත සත්කඩකට පැළෙන්නේ යැ”යි වදාළ සේක.
මේ වෙලාවේ දී ශක්‍ර දේවේන්ද්‍රයා විසින් හාත්පස ගිනි ජාලාවක් දැල්වෙන, ඉතා විශාල දළ ඇති භයානක ඇස්, කන්, නාසා ඇති විරූපී රූපයක් මවාගෙන අම්බට්ඨයා ගේ දෘෂ්ඨිය හැරවීම පිණිස ගිනි ගත් මහ යහුලක් අතින් ගෙන අම්බට්ඨයාට සහ භාග්‍යවතුන් වහන්සේට පමණක් පෙනෙන සේ පෙනී සිටියේ ය.
කුමන හෙයින් පෙනී සිටියේ ද යත්, දුන් ප්‍රතිඥාව රකිනු පිණිස ය. කුමන ප්‍රතිඥාව ද? යත්; භාග්‍යවතුන් වහන්සේ බුදු ව සත්ත්වයා වෙත ධර්ම දේශනා කිරීමේ අල්ප උත්සාහය ඇති ව කල්පනා කළ මොහොතේ ශක්‍රයා මහා බ්‍රහ්මයා සමඟ පැමිණ ‘ඔබ වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා, ඔබ වහන්සේ ගේ අණ නො පවත්නා කල්හි අපි අණ පවත්වන්නේමු’යි දුන් ප්‍රතිඥාව නිසා ය.
මෙසේ අන් අයට නො පෙනී අම්බට්ඨයාට සහ භාග්‍යවතුන් වහන්සේට පමණක් පෙනී සිටියේ මන්ද යත්; අන් අයට දර්ශනය වූයේ නම් ‘ශ්‍රමණ ගෞතමයෝ අම්බට්ඨයා තමන් ගේ වාදයේ බැස නො ගන්නා බව දුටු බැවින් ශ්‍රමණ ගෞතමයා විසින් යක්ෂයෙක් ගෙන්වා අම්බට්ඨයා බය කර ඔහුගෙන් වචන ගත්තෝ ය’ යැයි නිග්‍රහ කරනු ඇති බැවින් එසේ භාග්‍යවතුන් වහන්සේටත්, අම්බට්ඨයාටත් පමණක් පෙනෙන සේ පෙනී සිටියේ ය.
අම්බට්ඨයා විසින් මේ යක්ෂයාව දැක වට පිට බලන්නේ අනෙක් කිසිවෙකු ගේ වත් රෝම කූපයක් වත් කෙලින් නො වී තිබූ ආකාරය දැක ‘මේ යක්ෂයා මට ම පෙනෙන්නේ ය. වෙනත් කිසිවෙක් නො දකින්නේ යැ’යි සිතා ඉදින් දැන් මම යක්ෂයෙක් ඇතැයි කිව හොත් මොවුන් විසින් “කිම පෙර නො සිටි යක්ෂයෙක් දැන් කොහින් ආවේ ද? ශ්‍රමණ ගෞතම විසින් පැනයක් ඇසූ කල එහි වාදයට බයෙන් යක්ෂ කථාවක් අදින්නේ දැ”යි අසනු ඇති අතර එයින් මා හට වී ඇති නින්දාවටත් වඩා මහත් නින්දාවක් ම වන්නේ ය යැයි සිතී ය. දැන් මට මේ ශ්‍රමණ භවත් ගෞතමයන් හැර වෙනත් සරණක් නැතැයි සිතා භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයට ගොස් හිඳ ගෙන “ගෞතමය ඔබ විසින් ඇසූ ප්‍රශ්ණය කුමක් ද? එය මාගෙන් නැවත විමසනු මැනව”යි ආයාචනා කරන ලදුව භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වෙනි වරටත් එම පැනය ම අම්බට්ඨයා ගෙන් විමසනු ලැබී ය.
අනතුරුව අම්බට්ඨයා විසින් “එසේ ය. ශ්‍රමණ ගෞතමය. මම ද ඔබ සිහිපත් කළ ආකාරයෙන් ම අසා ඇත්තෙමි. අප ගේ පරම්පරාවේ මූල පුරුෂයා වන්නේ කෘෂ්ණ බව අප ගේ ආචාර්යයන් වෙතින් ඉගෙන ඇත්තෙමි”යි පිළිතුරු දුන්නේ ය.
මෙතෙක් අම්බට්ඨ මාණවකයා ගේ පැත්තට කථා කළ එතැන රැස් ව සිටි සියලු මාණවකයෝ “භවත්නි, අම්බට්ඨ මාණවකයා කුල පුත්‍රයෙක් නොවේ. ශාක්‍යයන් ගේ දාසී පුත්‍රයෙකි. ශාක්‍යයෝ ම අම්බට්ඨ මාණවකයා ගේ ස්වාමීවරු වෙති. අපි ධර්මවාදී වූ ශ්‍රමණ ගෞතමයන් ගැන වැරදි සිත් ඇත්තෝ වූයෙමු”යි මහත් උස් හඬකින් ඝෝෂා කළෝ ය.
මහා කාරුණිකයන් වහන්සේ ගේ කරුණාව නම් මහත් ය. මෙතෙක් තමන්ට අපහාස කරන්නට උත්සහ කළ අම්බට්ඨ මාණවකයා ගැන කරුණා කොට “මේ කථාව අසා සිටි මේ මාණවකයෝ විසින් මේ අම්බට්ඨ මාණවකයාට ඉතා දැඩි ලෙස දාසී පුත්‍ර භාවයෙන් ගර්හා කරන්නේ ය. මම ඔහු ව එයින් මුදාලිය යුතු ව ඇතැ”යි සිතා “මාණවකයිනි, නුඹලා දැඩි ව දාසීපුත්‍ර වාදයෙන් ගර්හා නො කරවු. ඒ ඔහු ගේ ආදී පුරුෂ වූ කෘෂ්ණ සෘෂිවරයා මහත් ආනුභාව ඇත්තෙක් වී යැ”යි පවසා කෘෂ්ණ සෘෂිවරයා ගැන අතීත කථාවක් දේශනා කොට වදාළ සේක.
මේ කෘෂ්ණයා විසින් එකල වැඩ සිටි තවුසෙක් වෙතින් ආයුධ නො වදින මන්ත්‍රයක් උගත්තේ ය. එයින් ඔහු වෙත කිසිවෙක් ගේ දුන්නෙන් විදින ඊතලයක් නො වදී. මොහු ඒ මන්ත්‍රය ඉගෙන, සෘෂි වෙස් ගෙන ඔක්කාක රජු වෙත පිවිස ඔහු ගේ මට්ඨරූපී නම් දියණිය ඉල්ලුවේ ය. රජු එයින් කිපී ඔහු වෙත ඊතලයකින් විදින්නට දුනු දිය ඇද්දත්, කෘෂ්ණ ගේ මන්ත්‍රයේ ආනුභාවයෙන් ඊතලය මුදාලන්නට නො හැකි ව ගල් වී සිටියේ ය. එයින් බිය වූ රජතුමා ව දැක මැති ඇමති වරු විසින් රජු ව මුදන්නට ආයාචනා කළ පසු කෘෂ්ණයා විසින් එසේ නො කළ හැකි බවත්, “ඉදින් ඊය මහ පොළව වෙත මුදාහැරිය හොත්, රජුට අයත් සියලු පොළව විනාශ වී යන්නේ ය. අහස දෙසට මුදා හළ හොත් සත් හවුරුද්දක් වැසි නො වසින්නේ ය” යැයි පැවසී ය. නැවත එම මැතිවරුන් විසින් ආයාචනා කරන ලදුව එය මුදාහරින්නට කටයුතු කළේ ය. කෘෂ්ණයා මේ පැවසුවේ මුසාවක් ය. ඔහුට ඇත්තේ ආයුධ නවතන මන්ත්‍රය පමණි. සෙසු සියල්ල මුසා බස් ය. කෙසේ නමුත් මෙයින් ඔහු රජු ව බිය කරවා දියණියන් ගත්තේ ය.
මේ කථාව ඒ රැස් ව සිටි මාණවකයන් වෙත පවසා භාග්‍යවතුන් වහන්සේ “එබැවින් මාණවකයිනි, තොපි අම්බට්ඨයාට දැඩි දාසි පුත්‍ර භාවයෙන් කථා නො කරවු. ඒ කෘෂ්ණ තෙම මහත් ආනුභාව ඇත්තෙක් විය. ඔවුන් එක් පසෙකින් අප ගේ ඥාතීන් ද වන්නේ ය” යැයි වදාළ සේක.
මෙය ඇසීමෙන් අම්බට්ඨ මාණවකයා දිය කළ සියයකින් නැහැව්වාක් මෙන් විය. මේ ශ්‍රමණ ගෞතම තෙමේ මා නො නැසුවේ ය. එක් පසකින් ඥාතියෙක් ද වන්නේ ය යැයි වදාළ සේක යි සිතී ය.
මේ අම්බට්ඨයා ගේ සිත භාග්‍යවතුන් වහන්සේ දැන ගත් සේක. දැන “මොහු දැන් තමන් ද ක්‍ෂත්‍රිය වෙමි යි සිතන්නේ ය. ඔහුට ක්‍ෂත්‍රිය වංශය ගැන කියා දිය යුතු යැ”යි සිතා ක්‍ෂත්‍රියන් ගේ තරම දන්වනු කැමැත්තේ ඔහු වෙත ප්‍රශ්න ක්‍රමයෙන් “අම්බට්ඨය යම් කිසි ක්‍ෂත්‍රියයෙක් සමඟ බමුණු වූ දැරියක සමඟ හෝ බමුණෙක් ක්‍ෂත්‍රිය වූ කුමාරිකාවක් සමඟ හෝ වාසය කිරීමෙන් පුතෙක් උපදින්නේ නම් ඒ ක්‍ෂත්‍රිය ඥාති බව නිසා ඒ උපන් පුත්‍රයා බමුණන් අතර ද අග්‍ර ආසයන හෝ අග්‍රෝදය හෝ ලබන්නේ ය. වේදයන් පවා කියවන්නේ ය. බමුණු දැරියක් හෝ විවාහ කර ගත හැකි වන්නේ ය.
නමුත් ඔහුට ඇති බමුණු මිශ්‍රණය නිසා ඔහු ක්‍ෂත්‍රියනන් අතර අභිෂේක නො ලබන්නේ ය. කුමන හෙයින් ද යත්; මවු පසින් හෝ පිය පසින් සම්පූර්ණ නො වී අපිරිසිදු වූ නිසා ය. එයින් ක්‍ෂත්‍රියයන් වඩාත් උසස් බවත්, බමුණන් පහත් බවත් දැන ගනුවැ”යි තහවුරු කොට දේශනා කොට වදාළ සේක.
තව ද මේ වැනි පරියායක් භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨයා වෙත සිහිපත් කරන්නේ යම් කිසි බමුණෙක් බමුණන් අතර පහත් ක්‍රියාවක් කොට බමුණන් වෙතින් නෙරපා හරින ලදුව ඔහු වෙත බමුණන් අතර පිළිගැනීමක් නැති බවත්, නමුත් යම් අවස්ථාවක ක්‍ෂත්‍රියයෙක් ක්‍ෂත්‍රියයන් අතර යම් අකටයුත්තක් සිදු කොට නෙරපා හරිනු ලැබුවේ නම්, ඔහු ඒ අවස්ථාවේ දී ද බමුණන් අතර අග්‍රාසනය හෝ අග්‍රෝදකය හෝ ලබන බවත් සිහිපත් කරන ලදී.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ බමුණන්ට වඩා ක්‍ෂත්‍රියයන් ම උසස් බව ජාති ගෝත්‍ර මානයෙන් මත් ව සිටි අම්ට්ඨයා වෙත පිරිස ඉදිරියේ ම දේශනා කොට, අම්බට්ඨයා ලවා ම එය සත්‍යයක් යැයි පිළිගන්නා තැනට පත් කළ සේක. මේ කථා බහ සාවධාන ව අසා සිටි සනන්කුමාර නම් වන බ්‍රහ්ම රාජයා විසින් “සිය පරපුර අනුව විමසා බලන කළ ක්‍ෂත්‍රියයන් ම ශ්‍රේෂ්ඨ වන්නේ ය. යමෙක් විජ්ජාචරණ සම්පන්න වේ නම්, ඔහු දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ම වේ” යනුවෙන් ගාථාවක් ගැයූවේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ද එය සනන්කුමාර බ්‍රහ්මයා විසින් මනා ව ගයන ලද්දේ ය. එය අර්ථ සහිත ම ය යනුවෙන් එය පිළිගන්නා ලද්දේ ය.
මේ සියල්ලෙන් පසු ව අම්බට්ඨයා විසින් “මේ ශ්‍රමණ ගෞතම තෙමේ අප ව මහා සුළඟක උඩ දැමූ දහයියා ගොඩක් මෙන් අප ම බැස ගත් වාදයෙන් වීසි කර දැමුවේ ය. එබැවින් දැන් ගොඩ නැගුණු විජ්ජාචරණ සම්පන්න ගුණය ගැන කථාවක් ඇදිය යුතු යුතු යැ”යි සිතුවේ ය. මෙයින් අනතුරුව අම්බට්ඨයා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ විජ්ජාචරණ සම්පන්න ගුණය පිළිබඳ ව සාකච්ඡාවක් ගොඩ නැගු අතර එය 09 වන පරිච්ඡේදයේ දී නව අරහා දී බුදු ගුණ යන මාතෘකාව ඔස්සේ වැඩි දුරටත් සාකච්ඡා කර ඇත්තේ ය.
මේ සම්පූර්ණ සිදු වීමෙන් අපට භාග්‍යවතුන් වහන්සේ ගැන උගත හැකි දේ බොහෝ ය. උන්වහන්සේ පිළිබඳ ව එකල ඉන්දියාවේ පැතිර ගිය මහත් කීර්ති ශබ්දයක් විය. සෙසු ශාස්තෘවරු යැයි කියා ගත්තෝ එකල ඉන්දියාවේ ප්‍රතික්ෂේප වෙමින් පැවත ඇත. ඒ බව 8.1 සහ 3.1 වන කොටස් වල දී මනා ව ඉස්මතු කර ඇත්තේ ය. අජාසත්ත වැනි රජවරුන් ගෙන් පවා ඒ ශාස්තෘවරු එකල ප්‍රතික්ෂේප වී සිටියේ ය. මෙහි පොක්ඛරසාති වැනි දැන උගත් මෙන් ම රජවරුන්, මිනිසුන් අතර පවා කීර්තියට පත් ව සිටි බමුණන් වෙතින් ද ඔවුන් ප්‍රතික්ෂේප වී සිටි ආකාරය දක්නට ලැබේ. එබැවින් බුද්ධ යැයි ඇසූ පමණින් ඔහු එහි නො ගොස් ශිෂ්‍යයා වූ අම්බට්ඨයාව යොමු කරන ලද්දේ ය. නමුත් භාග්‍යවතුන් වහන්සෙ ගේ ගුණ සොයා ගිය අම්බට්ඨයාට ද පොක්ඛරසාතිට ද භාග්‍යවතුන් වහන්සේ ගේ නොයෙක් ගුණයන් ම ප්‍රකට විය. ඒ බව මේ දැක් වූ කතා වස්තුවේ ම දක්නට ඇත. 8.3 වන කොටසේ දී ද දක්වනු ලැබී ය.
එසේ ම තද මානයෙන් යුක්ත ව තමන් වෙත පැමිණි අම්බට්ඨයාට සෙලවෙන්නට නො දී වාදයෙන් ම ඔහු ගේ මානය බිඳ හෙලූ හැටි ද, ඔහු අපහසුතාවට පත් වන අවස්ථාවේ දී ඔහු ව ඒ අපහසුතාවයෙන් ගලවා ගත් අයරු ද, එයින් පසු ඔහු සිතූ වැරදි සිතිවිල්ල නැවත කතාවට හරවා එකෙණෙහි ම නැවත පිරිසිදු කළ හැටි ද මෙම කතා වස්තුවෙන් ඉස්මතු වී ඇත. භාග්‍යවතුන් වහන්සේ ජාතිවාදියෙක් නොවී ය. එය ඉන්පසු සාකච්ඡා කළ විජ්ජාචරණ සම්පන්න කතාවේ දී දක්වනු ලැබී ය. එය 09 වන කොටසේ දී විස්තර කොට ඇත්තේ ය. නමුත් ජාතිය ඇද ගෙන අම්බට්ඨ විසින් ගොඩ නැගූ සංවාදය දැක එය අතීත කථාවක් නමුත් ඔබ විසින් ඇද ගනු කැමැත්තේ නම් ඇද ගෙන බලව යි සිතා ඔහු ගේ මානය වාදයෙන් ම බිඳ හැර දැමුවේ ය.
එමෙන් ම ඔහු ගේ හැසිරීමට නින්දා කිරීමට අවශ්‍ය වූ තැන දී භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහු ගේ හැසිරීමට නින්දා කරනු ලැබුවේ ය. මේ සියල්ල බුද්ධ නම් වූ සර්වඥයන් වහන්සේ ගේ පෞරුෂය ගැන තැබිය හැකි අපූරු උපමා සහිත තැන් ය.
තව ද භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියේ දී සියුමැලි කුමාරයෙක් වන්නට ඇතැයි සමහරු උපකල්පනය කරන බවක් දකින්නට ඇත. උන්වහන්සේ ගේ බෝසත් අවධියේ ම උන්වහන්සේ සතු ව ඇති ක්‍ෂත්‍රිය සම්ප්‍රදායත්, බ්‍රාහ්මණ ආදී සම්ප්‍රදායන් ගැනත් ඇති අවබෝධ පරාසය මේ කතා වස්තුවේ දී බමුණන් ගේ සම්ප්‍රදාය ඉස්මතු කරන අවස්ථාවේ දී දැක ගත හැකි ය.
ඇතැම් අවස්ථාවන් වල දී ඔහු කිපෙන බව දැන දැනත්, අපහසුතාවයට පත් වන බව දැන දැනත්, දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියා ගේ තුවාල ය පළමු ව ශුද්ධ කිරීමට පාරා, දෙවනු ව බෙහෙත් ආලේප කරන්නාක් මෙන් අම්බට්ඨයා ගේ මානය, වාදයෙන් ම ශුද්ධ කරවා අනතුරුව ඔහුට පැමිණි කාරණය සිහිපත් වූ පසු ඒ අනුව සාකච්ඡාව ඉදිරියට ගෙන යන ලද්දේ ය.
තව ද මේ කතා වස්තුවෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් ගේ ජාති, ඥාතී පරම්පරාව ගැන කොතරම් අභිමානවත් ලෙස සම්මුතියේ ලා වූවත් සැලකුවේ ද යන්නත් ඉස්මතු ව පෙනේ.
(දීඝ නිකාය - අම්බට්ඨ සූත්‍රය)