top of page

4.1. බ්‍රහ්මජාල සූත්‍රයේ එන මනෝපදෝෂයන් අත හැර සත්‍යය හෙළිදරව් කිරීමට අනු දැන වදාළ සිද්ධිය.

මෙහි ඉතා වැදගත් කරුණක් ලෙස බ්‍රහ්මජාල සූත්‍රයේ එන මේ මනෝපදෝෂයන් අත හැර සත්‍යය හෙළිදරව් කිරීමට අනු දැන වදාළ සිද්ධිය දැක්විය හැකි ය. එය සැකෙවින් මෙසේ ය.


සුප්පිය නම් වූ පිරිවැජියෙක් තමන් ගේ අතවැසි වූ බඹදත් නම් තරුණයා සමඟ රජගහ නුවරටත් නාලන්දා නුවරටත් අතර ඇති දීර්ඝ මාර්ගය ඔස්සේ ගමනක නිරත වූවේ ය. එදින ම භාග්‍යවතුන් වහන්සේ ද එම මාර්ගයේ ම තමන් වහන්සේ ගේ ධර්ම චාරිකාව පිණිස ගමනකට සුප්පිය පිරිවැජියාට පළමුවෙන් ම එම මාර්ගයට ම පිළිපන්නේ විය.


යන අතරමග පුරා ම සුප්පිය පරිබ්‍රාජකයා ප්‍රමාණ රහිත ගුණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ හට දොස් තබමින්, නින්දා කරමින් ගියෝ ය.


“ශ්‍රමණ ගෞතමයෝ වයසින් වැඩි අයට වැඳුම් පිදුම් නො කරයි. එනු දැක හුනස්නෙන් නො නැගිටියි. ඔහු ඒ සාමග්ගි රසය නැත්තෙකි. ප්‍රයෝජන නැත්තෙකි. අක්‍රිය වාදියෙකි. උච්ඡේද වාදියෙකි. තවුසෙකි. ඒ ශ්‍රමණ ගෞතමයන්ට ඇති උත්තරී මනුෂ්‍යය ධර්මයක් නැත. තර්ක ක්‍රමයෙන් ධර්මය දේශනා කරයි. ප්‍රතිභාන ශක්තියෙන් ප්‍රයෝජන ගනියි. ලෝකය නො දන්නෙකි. අනුත්තර නො වූවෙකි. අග්‍ර පුද්ගලයා නොවේ යැ”යි ආදී වශයෙන් නො කරුණට කරුණ යැයි කියමින් දොස් පවරති.


ධර්මයට ද දොස් නගයි. සංඝයාට ද දොස් නගයි. “ඒ ධර්මය මැනවින් නො දෙසන ලද්දකි. අවබෝධ වූවක් නො වේ. සංඝයා ද මිථ්‍යා ප්‍රතිපත්තියට පිළිපන්නෝ වෙති. නුසුදුසු අධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නෝ වෙති” ආදී වශයෙන් දිගින් දිගට ම දොස් නගමින් මාර්ගය දිගේ ආවේ ය.


කුමන හෙයින් මෙසේ දොස් නගමින් ආවේ ද යත් ;


භාග්‍යවතුන් වහන්සේ මේ මාර්ගයට පිළිපන්නේ නාලන්දාවට වැඩම කිරීම පිණිස ය. භාග්‍යවතුන් වහන්සේ මේ මාර්ගයට පිළිපන් බව නො දන්නා සුප්පිය පිරිවැජියා ද තමන් ගේ ගමනක් උදෙසා මේ මාර්ගයට පිළිපන් සේක. ඉදින් ඔහු යම් හෙයකින් අද දින මේ මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ ද ගමනක් යන්නේ යැ යි දන්නේ නම් කිසි ලෙසකින් මේ ගමන අද දින නො කරන්නේ ය. පසුවට කල් තබා ගන්නේ ය. ඔහු ඒ බව නො දැන ම අද දින ම මේ ගමන පිටත් වන ලදී.


එසේ යන අතරමග ඔහු විසින් තමන් ගේ ගෙල ඔසවා භාග්‍යවතුන් වහන්සේ දෙස බැලී ය. ඒ බලන ඔහු හට රත් පලසකින් වැසූ ගමන් කරන රන්ගිරි මුදුනක් සේ භාග්‍යවතුන් වහන්සේ දිස් වන්නට විය. ඒ වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ සිරුර බුදුසිරින් බබලන්නේ, ශ්‍රී ශරීරයෙන් නික්මෙන සවණක් රැස් හාත්පස රියන් අසූවක් පමණ තැන එහෙ මෙහෙ දුවන්නේ ය. රුවන් වැලක ඇති රුවන් දම් විසිරුණාක් සේ විය. රත්තරන් දිය ඉසින්නාක් මෙන් විය. විසිතුරු රන් පටක් එලූ කලෙක මෙන් විය. අන්ධකාර වනාන්තරය තරු වල පාටින් දිලිසෙන්නට පටන් ගත් කලෙක මෙන් විය. සියලු ම තැන් වල මල් පිපිණු පරසතු වෘක්ෂය මෙන් විය.


අසූවක් අනුව්‍යඤ්ජනයෙන් ප්‍රකාශිත භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තරු පිරිවරා ගත් ගගන තලයට සිරියාවෙන් උපහාස කරන්නාක් මෙන් විය. බ්‍යාම ප්‍රභාවෙන් වට වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබී භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය සඳවල් තිස්දෙකකින් නිර්මාණය වූ යමක් මෙන් විය. සක්විති ශ්‍රීය, දෙව් බඹ ශ්‍රීය අභිබවා හිරු මණ්ඩල තිස්දෙකකින් නිර්මාණය වූ යමක් මෙන් විය.


භාග්‍යවතුන් වහන්සේ පිරිවරා ගෙන සිටි සියලු භික්ෂුන් වහන්සේලා අල්පේච්ඡ වූයේ ය. එයින් සන්තෘෂ්ඨියට පත් වූ සිත් ඇත්තන් විය. සීල, සමාධි, විමුක්ති ඥාන දර්ශනයන් ගෙන් යුක්ත වූවෝ විය. අල්ප වූ වචන ඇත්තෝ විය. ඔවුන් මැද භාග්‍යවතුන් වහන්සේ රත් පලසකින් වට කළ රන් ටැඹක් මෙන් විය. රන් නැවක් නෙළුම් මල් රැසක් මැදට පැමිණියාක් මෙන් විය. ගිනි කඳක් පබළු වේදිකාවකින් වට කළාක් මෙන් විය. තරු ගණයා පිරිවරා ගත් පුන් සඳ මෙනි. දකින බලන සිවුපාවුන් ගේ ද, පක්‍ෂීන් ගේ ද දෑස පිනා යයි. දෙව් මිනිසුන් ගැන කියනු ම කවරේ ද?


සුන් බැඳුම් ඇති, තුන් සිවුරෙන් සැරසී ගත්, අවුල් නිරවුල් කළ, දොස් ඉවත් කළ අසූ මහා ශ්‍රාවක තෙරවරුන් භාග්‍යවතුන් වහන්සේ ව පිරිවරා ගත්තේ විය. භාග්‍යවතුන් වහන්සේ තමනුත් වීතරාගී ව, වීතදෝෂී ව, වීතමෝහී ව, වීතරාගීන් සමඟ, වීතදෝෂීන් සමඟ, වීතමෝහීන් සමඟ අටදහසක් ඇතුන් පිරිවරා ගත් ඡද්දන්ත හස්ති රාජයෙකු සේ, දේව ගණයා පිරිවරා ගත් ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් අප්‍රමාණ කාලයක් රැස් කළ පිනෙන් උපත ලදු ව සිතීමෙන් හෝ උපමාවෙන් පමණ කළ නො හැකි වූ බුදු සිරියෙන් යුක්ත ව ගගන තලයට පැමිණි පුන් සඳ මෙන් ඒ මාර්ගයේ වැඩම කරමින් සිටියේ ය.

මෙසේ අනූපම වූ බුදු සිරියෙන් ගමන් ගන්නා වූ භාග්‍යවතුන් වහන්සේට ශාන්ත ඉඳුරන් සහ මනස් ඇති ශ්‍රාවක සංඝයා විසින් අහසේ සිටි චන්ද්‍රයාට මෙන් නමස්කාරය කරනු දැක සුප්පිය පිරිවැජියා තමන් ගේ පිරිස දෙස බැලී ය.


කත් ලීයෙහි එල්ලා ගත් කැඩුණු බිඳුණු පුටුවෙහි පටන් මොනරපිල්, මැටි පසුම්බි ආදී නොයෙක් පිරිකර බරින් බර ව ‘අසවලා ගේ අත් ලස්සන ය, අසවලා ගේ පා ලස්සන ය’ ආදී අරුත්සුන් වදන් කීමෙන් මුඛරි වූ විසිරුණු වචන ඇති ව, දර්ශනීය නො වූ, ප්‍රසාදය ඇති නො කරන සුළු තමන් ගේ පිරිස දුටුවේ ය. එය දැක සුප්පිය විපිළිසර විය. භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණය ම දුටුවේ ය.


නමුත් භාග්‍යවතුන් වහන්සේ ගේ පහළ වීමේ පටන් ලාභ සත්කාර නැති වීමෙන් භාග්‍යවතුන් වහන්සේට මේ තීර්ථකයන් සියල්ලෝ ම ඊර්ෂියා කරති. එය සැබෑව ය. යම් තාක් බුදුවරු ලෝකයේ පහළ නො වෙත් ද, ඒ තාක් මේ අන්‍ය තීර්ථකයන්ට ලාභ සත්කාර උපදිති. බුද්ධෝත්පාදයෙහි පටන් පිරිහිණු ලාභ සත්කාර ඇත්තෝ වෙති. හිරු උදාවේ දී කණාමැදිරියන් මෙන් බැබලීමක් නැති බවට යති.


සැරියුත් මුගලන් මහ රහත් දෙනම වහන්සේ ලා බුද්ධ ශාසනයෙහි පැවිදි වීමට පළමු ව සංජය පරිබ්‍රාජකයා ගේ සමීපයේ පැවිදි ව සිටින කාලයේ ද මොවුන්ට විශාල පිරිසක ගේ අනුග්‍රහය ලැබුණි. නමුත් ඔවුන් එයින් ඉවත් ව බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලැබූ විට ඒ මහත් ශ්‍රාවක පිරිස ද ඔවුන් ගෙන් ඉවත් ව ගිය හ. මේ සියල්ල නිසා ඊර්ෂ්‍යයාවෙන් තෙරුවන් කෙරෙහි ඇති වූ ප්‍රසාද සිතින් වන වචන ගිල ගෙන අගුණ ම කියමින් ආවේ ය.


නමුත් සුප්පිය පරිබ්‍රාජකයා ගේ අතවැසියා තරමක් නුවණ ඇති අයෙක් විය. ඔහු අප ගේ ගුරුවරයා අත නො ගෑ යුතු තැනක් අතගායි යැයි සිතා තමන් ගේ ආචාර්යවරයා ගේ වාදය මඩිමින් තමන් ගේ ශක්තියෙන් ඇසුවා වූ තෙරුවනේ ගුණ දක්වමින් ආවේ ය. මේ සංවාදය මුළු ගමන අතරතුර ම සිදු විය.


මෙසේ සූර්‍යයා අස්තයට යන තුරු ම ගමනේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසින් අම්බලට්ඨිකාවෙහි ඇති රාජගාරකයෙහි රාත්‍රිය ගත කිරීමට තීරණය කළ සේක. එහි දොරටුව සමීපයෙහි අඹ ගසක් ඇති බැවින් එම උයන අම්බලට්ඨිකා නම් විය. රජුට ක්‍රීඩා කිරීම පිණිස සෑදූ දීප්තිමත් චිත්‍ර ආදිය කොට තිබූ ගෘහය රාජගාරකය නම් විය.


සුප්පිය ද ‘දැන් සූර්යයා අස්තයට ගොස් ඇත. කුඩා මහළු පරිබ්‍රාජකයෝ ද බොහෝ ය. මේ මාර්ගය ද සොරුන් ගෙන් සහ අමනුෂ්‍යයන් ගෙන් අරක් ගෙන ඇත. ශ්‍රමණ ගෞතමයෝ ද උයනට පිවිසියේ ය. ශ්‍රමණ ගෞතමයන් වැඩ සිටින තැන දෙවියන් විසින් ද රැකවල් යොදති. මම ද මෙහි ම මේ රැය ගත කොට හෙට ම යන්නේ නම් මැනවැ’යි සිතා ඒ උයනට ම නවාතැන් පිණිස පිවිසියේ ය.

එහි දී භික්‍ෂු සංඝයා භාග්‍යවතුන් වහන්සේට කළ යුතු වතාවත් කොට, තම තමා වසන තැන වෙන් කර ගත් හ. පරිබ්‍රාජකයා ද උයනෙහි තමන් ගේ පිරිස සමඟ වාසයට ගියෝ ය. මෙසේ වාසයට ගිය පරිබ්‍රාජකයා රාත්‍රී භාගයේ ද භාග්‍යවතුන් වහන්සේ දෙස හිස ඔසවා බැලී ය.


උයන පුරා ම හාත්පස විසිරී ගිය තාරකා මෙන් පහන් දැල්වෙයි. මධ්‍යයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරා වැඩ හිඳින සේක. එහි එක් භික්ෂුවක ගේ වත් අතක පයක හෝ සෙලවීමක් නැත්තේ ය. කාරා කෙල ගසන ශබ්දයක් වත් නැත්තේ ය. ඒ සඟ පිරිස තමා හික්මවනු ලැබූ ශික්‍ෂා ඇති බැවින් ද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ද යන කරුණු දෙකින් සුළං නො වදින තැන දැල් වූ පහන් සිළු මෙන් නිසල ව ම හුන්නාහු වූහ.


පරිබ්‍රාජකයා ඒ විභූතිය දැක තමා ගේ පිරිස දෙස බැලී ය. එහි සමහරු පා දිගු කරති. සමහරු අත් දිගු කරති. සමහරු නින්දෙන් දොඩවති. සමහරු දිව සොලවති. කෙල වගුරුවති. දත්කූරු කමින් ගොරවති. ශබ්ද නගමින් හුස්ම හෙළමින් නිදා ගනිති. මේ අවස්ථාවේ දී ද තෙරුවනේ ගුණ ම කිව යුතු වූවත්, ඊර්ෂ්‍යයාවෙන් පෙළෙන්නේ නැවත අගුණ ම කීමට පටන් ගත්තේ ය. බඹදත් නැමැති තරුණයා නැවත සුපුරුදි පරිදි ගුණ ම වර්ණනා කරන්නට පටන් ගත්තේ ය.


අනතුරුව අලුයම් කාලයේ නැගී සිටි භික්‍ෂුන් වහන්සේලා අතර “භාග්‍යවතුන් වහන්සේ නම් පුදුම ය. සත්ත්වයන් ගේ ස්වභාවය මැනවින් දන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන් ගේ ධාතු විවිධත්වය මනා සේ දේශනා කළ සේක. සත්ත්වයන් වෙනස් අදහස් ඇති බව භාග්‍යවතුන් වහන්සේ විසින් මනා ව දැන දේශනා කළ සේක. මේ ආචාර්ය අතවැසි දෙදෙනා තමන්ට විරුද්ධ අදහස් ඇති ව දවස ම ගත කළාහු ය” වශයෙන් සර්වඥතා ඥානය ඇරඹයා මේ කථාව පහළ විය.


මෙතැන දී භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යය ම දැක්විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන් ගේ නානාධිමුක්තික බව, නානාධ්‍යාශයන් සහිත බව, නානා දෘෂ්ඨි ඇති බව, නානා ක්‍ෂාන්ති ඇති බව, නානා රුචි ඇති බව සත්ත්වයා ගේ චිත්ත චෛතසික ධර්මයන් ගේ ක්‍රියාකාරීත්වය නැළියෙන් මනින්නාක් මෙන් මැන දේශනා කොට වදාළ සේක. භික්‍ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ගේ එම දේශනාව කෙරෙහි මේ කථාව පහළ කළ සේක. මේ ධර්ම කරුණු වල සියලු විස්තර මෙතැන දී දැක්විය යුතු නමුත් ග්‍රන්ථයේ ආධ්‍යාශය පිරිසිඳ බලා ඒ බව මෙතැන නො දක්වා අදාළ කාරණාවට පමණක් බැස ගන්නෙමි.


භාග්‍යවතුන් වහන්සේ එදින පෙරයම් කිසේ දී භික්‍ෂුන් වහන්සේලා හට කර්මස්ථාන විසඳා දී, මැදියම් කාලයේ දී දෙවිවරුන් ගේ ද පැනයන් විසඳා, පසුයම් පළමු කොටසේ දී සක්මනට බැස ගත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේලා අතර පහළ වූ සර්වඥතා ඥානය පිළිබඳ ව වූ මේ කථාව සර්වඥතා ඥානයෙන් ම දැන විවේකයක් නො ගෙන ම සර්වඥයන් වහන්සේ ගේ අධිමුක්ති ඥානය පිළිබඳ ව ස්තූති ගුණ කියමින් හුන් භික්‍ෂුන් වහන්සේලා රැස් ව සිටි ශාලාව වෙත වැඩම කළ සේක. වැඩම කොට පනවන ලද රජු ගේ අසුනේ ම වැඩ හිඳි සේක.


එසේ වැඩ හිඳි භාග්‍යවතුන් වහන්සේ විසින් කථාවක් ඇති කිරීම පිණිස දැන දැන ම භික්ෂුන් වහන්සේලා ගෙන් “මහණෙනි නුඹලා කවර කථාවක් කරමින් සිටියාහු ද? මා වැඩම කරනු දැක කුමන කථාවක් අඩාල කරනු ලැබුවේ ද? යන්න විමසන ලදී. මෙසේ විමසුවේ ම මහා කරුණාවෙනි. ඔවුන් ගේ කථාව අඩාල කිරීමට නොවේ. සම්පූර්ණ කිරීමට ය.


එහි දී භික්‍ෂුන් වහන්සේලා විසින් සිදු කළ කථාව ගැන භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරන ලදී. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කවුරුන් හෝ ත්‍රිවිධ රත්නය වෙත අභූතයෙන් චෝදනාවක් කරන විට හෝ, අසත්‍යයක් පවසන විට හෝ නින්දාවක් කරන විට හෝ කෙසේ කටයුතු කළ යුතු ද යන්න දේශනා කරන ලදී.


එහි පළමු ව භාග්‍යවතුන් වහන්සේ විසින් “මමං වා භික්‍ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස‍්ස වා අවණ‍්ණං භාසෙය්‍යුං, සඞ්ඝස‍්ස වා අවණ‍්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප‍්පච්චයො න චෙතසො අනභිරද‍්ධි කරණීයා.


මමං වා භික්‍ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස‍්ස වා අවණ‍්ණං භාසෙය්‍යුං, සඞ්ඝස‍්ස වා අවණ‍්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස‍්සථ කුපිතා වා අනත‍්තමනා වා, තුම්හං යෙවස‍්ස තෙන අන්තරායො” යනුවෙන් “මහණෙනි, යම් කිසිවෙක් මගේ හෝ ධර්මයේ හෝ සංඝයා ගේ හෝ පිළිබඳ ව මෙසේ චෝදනාවක්, නින්දාවක්, අසත්‍යයක්, අභූතයක් කියන්නේ වේ ද, එහි ඔබලා විසින් ක්‍රෝධ නො කළ යුතු ය. දොම්නසට පත් නො විය යුතු ය. කෝප නො කළ යුතු ය. ඉදින් නුඹලා එහි කෝප හෝ වන්නේ නම්, දොම්නසට හෝ පත් වන්නේ නම්. ක්‍රෝධ හෝ කරන්නේ නම් එයින් නුඹලාට ම අන්තරාය වන්නේ ය” යනුවෙන් දේශනා කොට වදාළ සේක.


වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් විසින් මේ කොටස පමණක් කියවා ‘අනේ අපට හෝ බුදුන්ට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ කවුරුන් හෝ බැන්නේ නම්, අප අන්ධයන් සේ, බිහිරන් සේ සිටිය යුතු ය. බුද්ධාවවාදය එය ම වන්නේ යැ’යි සිතා නිවටයන් සේ සිටින්නේ ය. එසේ කළ යුතු නො වේ. භාග්‍යවතුන් වහන්සේ මේ බව දැක්වූයේ මෙවන් අවස්ථාවක අකුසල කර්ම සිදු විය හැකි මනෝපදෝෂය වැළක්වීම පිණිස ය. මේ වැනි අවස්ථාවන් වල කුපිත වන්නාට ධ්‍යානාදිය නො ලැබී යන බැවින් එවැන් අන්තරායන් වැළැක්වීම පිණිස ය. එසේ නොමැති ව මෙයින් කිසි ම විටක නිහඬ ව අන්ධයන් සේ, බිහිරන් සේ, ගොළුවන් සේ සිටිය යුතු යැ’යි නියමයක් මෙහි නැත. මෙයින් සර්වප්‍රකාරයෙන් ම සංස්කාර ස්කන්ධයෙන් ඇති විය හැකි චෛතසික ව්‍යාකූලත්වයත්, වේදනා ස්කන්ධයෙන් ඇති විය හැකි වේදනා ස්කන්ධයේ දුක්ඛ වේදනාවත් මහා කාරුණිකයන් වහන්සේ විසින් සම්පූර්ණයෙන් ම වළක්වන ලදී. මෙසේ චෝදනා මුඛයේ දී ද්වේෂය හෙවත් මනෝපදෝෂය පළමු ව වළක්වා දෙවනුව එහි ආදීනව දක්වනු ලැබී ය.


නැවත ද භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ කුපිත වන්නා හට, කියන්නේ කුමක් දැ යි වටහා ගැනීමට වත් හැකියාවක් නො ලැබෙන බව “තත්‍ර තුම්හෙ අස‍්සථ කුපිතා වා අනත‍්තමනා වා, අපි නු පරෙසං සුභාසිතං දුබ්භාසිතං තුම්හෙ ආජානෙය්‍යාථා?”ති යන්නෙන් දක්වා ක්‍රෝධ වීමේ ආදීනවය තවත් උපුටා දක්වන ලද්දේ ය.


අනතුරුව එවන් අවස්ථාවක දී පිළිපැදිය යුත්තේ කෙසේ දැ?යි දක්වන භාග්‍යවතුන් වහන්සේ විසින් “තත්‍ර තුම්හෙහි අභූතං අභූතතො නබ්බෙඨෙතබ්බං. ඉතිපෙතං අභූතං. ඉතිපෙතං අතච්ඡං. නත්‍ථි චෙතං අම්හෙසු. න ච පනෙතං අම්හෙසු සංවිජ‍්ජතී”ති යැයි “මහණෙනි යමෙක් එසේ අභූතයකින් හෝ අසත්‍යයකින් හෝ නින්දා හෝ කරත් නම්, දොස් හෝ පවරත් නම් ඔබ විසින් ඒවාට කෝප නො ගෙන ‘මෙය අසත්‍යයක් ය. අභූතයක් ය. මෙය අප කෙරෙහි නැත්තේ ය’ යනුවෙන් නිවැරදි ව ලිහා ඉවත් කළ යුතු ය” යන්න දේශනා කොට වදාළ සේක.


මෙයින් මෙවැනි අවස්ථාවල නිහඬ ව පැත්තකට වී නො සිටිය යුතු ය, ස්ථානෝචිතව නිසි පිළිතුරු සැපයිය යුතු ය යන්න භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්ධාවවාදය බව දත යුතු ය. ඒ බව “තුම්හාකං සත්‍ථා න සබ්බඤ‍්ඤු ධම්මො දුරක්‍ඛාතො, සඞ්ඝො දුප‍්පටිපන්නො”ති ආදීනි සුත්‍වා න තුණ‍්හී භවිතබ්බං.” යන්නෙන් විවර කොට තබන ලදී.


(දීඝ නිකාය - බ්‍රහ්මජාල සූත්‍රය)

bottom of page