Sujatha Puthra Meditation Center
Your Membership ID
3.2 කූටදන්ත බමුණා වෙත සිදු කළ දේශනාවේ විලාශය
කූටදන්ත බමුණා ගේ කථාව ද රසවත් කථාවකි. ඔහු යාගයක් දෙන්නට සූදානම් වූ කාලයක භාග්‍යවතුන් වහන්සේ ඔහු වසන ඛාණුමත නම් වූ බමුණු ගමට වැඩි සේක. ඔහු දෙන්නට සූදානම් වූ යාගය බොහෝ සත්ත්වයන් ඝාතනය කර දීමට සූදානම් වූ එකකි. එහි ඝාතනය සඳහා වෙන් වූ සත්සියය බැගින් වූ ගොනුන් ද, නාඹර වස්සන් ද, නාඹර වැස්සියෝ ද, බැටළුවෝ ද, එළුවෝ ද, තවත් බොහෝ මෘග පක්‍ෂීන් ද විය.
භාග්‍යවතුන් වහන්සේ ගේ වැඩමවීම සැල වූ පසු 8.5 වන පරිච්ඡේදයේ දී දැක් වූ සෝණදණ්ඩ ගේ කථා ප්‍රවෘත්තිය ම මෙන් වී භාග්‍යවතුන් වහන්සේ අභියසට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ ගෙන් තමා දීමට යන යාගයේ වැඩි විස්තර දැන ගනු කැමති ව “භවත් ගෞතමය, තෙවැදෑරුම් වූ යාග සම්පතත්, සොළොස් ආකාර වූ පිරිකර ත් දැන ගැනීමට කැමැති ය. එය දේශනා කරන සේක්වා”යි ආයාචනා කළේ ය.
ඒ ආයාචනාව අනුව භාග්‍යවතුන් වහන්සේ ඔහුට මේ විස්තර සැල කලේ ය. ඒ දේශනාව අනුව දානය දානපති, දානසහයක, දානදාස යන ආකාරයෙන් කොටස් තුනක් වන බව දක්වන ලදී.
එහි දී පෙර සිදු වූ යාගයක් පිළිබඳ ව දක්වන භාග්‍යවතුන් වහන්සේ විජිතාවී රජු ගේ යාගය ගැන සිහිපත් කළේ ය. එම රජතුමා ශ්‍රේෂ්ඨ ජාතියක ඉපිද, විශිෂ්ට රූ සම්පත්තියෙන් යුක්ත ව, මහත් ධන ඇති ව, අණ පිළිපදිනා සේනාවෙන් යුක්ත ව, දානපති ව, බහුශ්‍රෑත ව, නුවණැති ව, ප්‍රසාද එළවන සුළු අයෙක් ව එම යාගය දුන් බව දේශනා කළ සේක. එහි අංග අටකි. එකල එම රජු ගේ පුරෝහිතයා වූ අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ සතු ව ද ජාතියෙන් පිරිසිදු බව, වේද දන්නා බව, සිල්වත් බව සහ ව්‍යක්ත බව යන අංග සතර වී ය.
මේ අංග දොළසින් එම යාගය පරිවාර වන බව දේශනා කොට, දානයේ තුන් වතාවත් ලෙස පූර්ව, මුඤ්චන, අපර චේතනාවන් පිරිසිදු විය යුතු බව දක්වනු ලැබී ය.
මෙසේ ඒ දානයේ දී සත්ත්ව ඝාතන සිදු නො වූ බවත්, අවම දාන ශාලාවන් නිර්මාණය කරන්නට වත් ගසක් වත් නො කැපූ බවත්, දුප්පතුන් වෙනුවෙන් දුන් ප්‍රණීත යාගයක් ම වූ බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. දානය පුරා ම ප්‍රිය වචනයෙන් ම සංග්‍රහ වූ බවත් ‘වැඩ කරවු, වැඩ කරවු’ ආදී තර්ජනයක් එහි නො වූ බවත්, සිල්වත් වූ ද, දුසිල්වත් ව ූ ද අය ගැන භේදයක් නැති ව එම යාගය සිදු කළ බවත් වැඩි දුරටත් දේශනා කරන ලදී. මෙහි පූජා කරන ලද්ද, පරිත්‍යාග කරන ලද්ද යන අර්ථයෙන් යාගය නම් වචනය යෙදෙන බව දත යුතු ය.
මෙසේ මේ රජු හා පුරෝහිතයා සතු අංග දොළොසක් බව ද, බෝසත් ප්‍රඥාව නිසා ලත් අවවාදයෙන් දානයට පෙර ක්‍ෂත්‍රියයන් ගේ ද, රාජ සභාවේ ද, තමන් ට ධනය රැස් කර දෙන බමුණන් ගේ ද, වෙනත් මහා සාල කුලයන් ගේ ද යන සතර අනුමැතිය ද, සොළොස් වැදෑරුම් වූ යාග පිරිකර වන බවත්, තුන් කාලයේ ම චිත්තය නො කෙලසා ගත යුතු බවට ලැබුණු අවවාදය තෙවැදෑරුම් වූ යාග සම්පත බව ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
මෙය අසා බමුණා මෙවැන් විශාල යාගයක් නම් කිරීමට තමන්ට නො හැකි බව සිතා එයින් අල්ප කටයුතු ඇති, නමුත් එයටත් වඩා මහත් ඵල ඇති වෙනත් යාග ඇත්දැයි විචාළේ ය.
භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින්,
(01) සිල්වත් පැවිද්දන් උදෙසා දෙන සලාක ක්‍රමයට දිනපතා දෙන දානය,
(02) එවැනි කලබල ඇති තැන් වලට නො වඩින රහත් හෝ රහත් මඟට පිළිපන් සිල්වත් පැවිද්දන් උදෙසා දෙනු ලබන දානය,
(03) භික්‍ෂු සංඝයා උදෙසා වෙහෙරක් සිදු කොට පූජා කිරීම,
(04) තෙරුවන් සරණ යෑම,
(05) තෙරුවන් සරණ ද ගොස් පංච ශීලයේ ද පිහිටා එම ශීලයන් රැකීම,
(06) බුද්ධ ශාසනයක පැවිදි ව සීල සම්පන්න ව, ඉන්ද්‍රීය සංවරය ද ඇති ව, සති සම්පජඤ්ඤයෙන් වාසය කරමින්, ලද දෙයින් සතුටු වෙමින්, කර්මස්ථානයක් ලබා ගෙන නීවරණයන් ගෙන් සිත පිරිසිදු කරමින්, ණයකාරයෙක්, ණයෙන් මිදුණු කල මෙන්, රෝගියෙක්, රෝගයෙන් මිදුණු කල මෙන්, සිරකාරයෙක්, සිරෙන් නිදහස් වූ කලක මෙන්, දාසයෙක්, දාස භාවයෙන් නිදහස් වූ කලක මෙන්, කාන්තාරයක අතරමං වූවෙක්, කාන්තාරය ඉක්මවීමක් මෙන් ද මේ නීවරණ ධර්මයන් ගෙන් නික්මීම නිසා සතර ධ්‍යානයන් ලබන්නේ වේ ද, එයින් අනතුරුව විදර්ශනා කරන්නේ වේ ද, සෘද්ධි ලබන්නේ වේ ද, මේ සියල්ලෙන් අනතුරුව චිත්තානුපස්සනා වැනි සතිපට්ඨාන භාවනාවක් වඩන්නේ වේ ද, පුබ්බේනිවාසානුස්සති, චුතූපපාත සහ ආසවක්ඛය ආදී ඥාන ලබන්නේ වේ ද, සංසාර ඕඝය තරණය කරමින් අරිහත් බවට පත්වන්නේ වේ ද, මේ පිළිවෙලින් මේ යාග සම්පත මහත් වන බව සැලකිය යුතු බවට කරුණු සහිත ව දේශනා කොට වදාළ සේක.
රහත් බවට වඩා ශ්‍රේෂ්ඨතර වෙනත් යාගයක් නැති බව දේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ කුළු ගැන්වී ය.
මෙය ඇසීමෙන් ඒ කූටදන්ත බමුණා සෝවාන් මාර්ග ඵලයට පත් වී ය. යාගය සඳහා සූදානම් කර තිබූ සියලු සතුන් මුදා හැරියේ ය.
භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දේශනා විලාශයත් පුදුම සහගත බවක් ගනියි. බමුණා ගේ යාගය සඳහා නින්දා නො කර, ඔහුව එතැනින් ගැලවීම පිණිස පෙර වූ කථාවක් කරුණු සහිත ව දක්වා, එම යාගයෙන් විජිතාවී රජු ගේ රාජ්‍යයේ සොර සතුරන් පවා නැති ව, මිනිසුන් පවා නො වැසූ දොරවල් ඇති ව සතුටින් වාසය කළ බවත් දක්වා යාගයේ සත්‍යය විපාකය එසේ ය යන බවත් පෙන්වා දී, එයින් ඔහු ගේ සිත සතුටු කරවා, ඔහු ඇසු පැණයටත් දේශනාව අතරතුර ම පිළිතුරු ලබා දී, රහත් බව දක්වා ම දේශනාව කුළු ගැන් වූ අයුරු විචාරකයෙක් වී පිරිසිඳ බලන කල භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා කෞෂල්‍යයට මේ සූත්‍ර දේශනාව මනා උපමාවක් බවට සැලකිය හැකි ය.
(දීඝ නිකාය - කූටදන්ත සූත්‍රය)