Sujatha Puthra Meditation Center
Your Membership ID
3.1 අජාසත්ත රජු වෙත සිදු කළ අපූරු දේශනාව
භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා කෞෂල්‍යයෙන් අමන්දානන්දයට පත් වූ රජ, මැති, සිටුවරයන් සහ සාමාන්‍ය මිනිසුන් ගේ ප්‍රමාණය දැක්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් ත්‍රිපිටකය සංගායනා වී ආකාරයෙන් ම දක්වන විට එම අමන්දානන්දයට පත් වූ පළමුවැනියා ලෙස මගධාධිපති අජාසත්ත රජුන් ව පෙන්වා දිය හැකි ය.
සාමඤ්ඤ ඵල සූත්‍රයේ දී ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, සාන්දෘෂ්ඨික ශ්‍රමණ ඵල කවරේ ද?’ යන්නෙන් විමසූ ගැටලුව අනුසාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කළ සාමඤ්ඤ ඵල සූත්‍ර දේශනාව පුරා ම මගධාධිපති අජාසත්තයන් විසින් ඒ ඒ සියලු තැන් වල දී සාධුකාර දෙමින් මහත් ඕනෑකමකින් යුක්ත ව දේශනාව අසා ගෙන සිටියේ ය. අනතුරුව ‘මම මේ ප්‍රශ්නය (වෙනත් පරිච්ඡේදයක දැක් වූ ෂට් ශාස්තෘවරු යැයි ප්‍රසිද්ධ) සියලු මහණ බමුණන් ගෙන් විමසූවත් දහයියා කොටන්නාක් මෙන් කිසිදු හරයක් සහිත පිළිතුරක් නො ලැබුණේ වෙමි. භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ සමුදාය නම් පුදුම සහගත ය. පහන් දහසක් දල්වන්නාක් මෙන් මහත් ආලෝකයක් කොට උන්වහන්සේ මේ ගැටලු සියල්ල නිරාකරණය කරන ලදී.
මේ දසබලධාරීන් වහන්සේ ගේ ගුණ සමුදාය නො දැන මා බොහෝ කලක් වෙනත් අය ගේ වංචාවන් වලට හසු වී ඇත්තේ යැ’යි බුදු ගුණ අනුස්මරණයෙන් හට ගත් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස්, ප්‍රසාදය සහිත වූ ශරීරයක් ඇත්තේ තමන් ගේ ඒ ප්‍රසාදය දක්වනු පිණිස ‘අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ’ ආදී වශයෙන් “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ධර්‍ම දේශනාව ගැඹුරු අර්ථ ඇති බැවින් අති මනෝඥ ය. ප්‍රඥාව ද, ශ්‍රද්ධාව ද, අර්ථය ද ඇති කරන හෙයින් අති මනෝඥ ය. යම් සේ තමන් උසස් නො කර කථා කළ බැවින් ද, අනුන්ට අවමන් නො කළ බැවින් ද, කරුණාවෙන් සිසිල් වූ බැවින් ද, රමණීය බැවින් ද, සුව ඇති බැවින් ද, විමර්ශනය කිරීමට සුදුසු බැවින් ද, අතිශයින් ම සුන්දර බැවින් ද, මනාප බැවින් ද, පැහැදිලි පද ඇති බැවින් ද අතිශයින් ම අභික්කාන්ත ය.
යම් සේ යටිකුරු කොට තැබූ බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දෙයක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිනු ඇතැ යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් ධර්‍මය දේශනා කරන ලදී.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්‍මය ද, භික්‍ෂු සංඝයා ද සරණ යමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දන්නා සේක් වා.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, යම් බඳු මම සිය පිය වූ දැහැමි දැමිටු රජහු රාජ්‍යය බලාපොරොත්තුවෙන් දිවියෙන් තොර කෙළෙම් වෙම් ද, ස්වාමීනි, ඒ අපරාධය බාල බවට ගැළපෙන සේ, මූඪ බවට අනුරූප සේ, අදක්‍ෂ බවට නිසි සේ මා මැඩගෙන ගියේ ය. ස්වාමීනි, මත්තෙහි මා මෙබඳු වරද නො කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මා ගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි භාග්‍යවතුන් වහන්සේ අභියස පවසන ලදී.
භාග්‍යවතුන් වහන්සේ ද “නුඹ ගේ ඒ අපරාධය අපි කමා කරන්නෙමු. ආයති සංවරයට පැමිණීම තථාගත ශාසනයෙහි අභිවෘද්ධියක් ම ය. නුඹ වරද වරද වශයෙන් දැන ගත්තේ ය.” යනුවෙන් මතුවට එවැන් යමක් නො කරන්නට සංවරයෙහි පිහිටුවා නැවත ආපසු යන්නට අවසර ගත් මගධාධිපති අජාසත්ත රජු හට යන්නට අවසර ලබා දුන් සේක.
අජාසත්ත ද භාග්‍යවතුන් වහන්සේ ව තෙවරක් පැදකුණු කොට දෑඟිලි බැඳ වන්දනා කරමින්, භාග්‍යවතුන් වහන්සේට පිටු නො පා ආපස්සට බොහෝ දුරක් ගොස් දර්ශනය අත්හැරෙන තැන දී නැවත බිම පසඟ පිහිටුවා වැද නික්ම ගියේ ය.
එසේ නික්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, මේ අජාසත්තයන් පීතෘ ඝාතක කර්මයෙන් ආවරණය වී සිටියේ නැති නම්, මේ අසුනේ දී ම සෝවාන් ඵලයට පත් වනු නියත යැ”යි දේශනා කරන ලදී.
තව ද භාග්‍යවතුන් වහන්සේ විසින් “මේ අජාසත්තයන් අද මා වෙත එළැඹ තෙරුවන් සරණ ගිය බැවින් මාගේ ශාසනයේ මහත් බව නිසා ම මොහු පිතෘ ඝාතක කර්මය සිදු කළ ද, අවිචීයෙහි නො වැටී ලෝකුඹු නිරයක ඉපදී වසර තිස්දහසක් පුරාවට ම යටට ම වැටෙන්නේ ය. නැවත වසර තිස්දහසක් පුරාවට ම මුදුනට පැමිණෙන්නේ ය.” යනුවෙන් ඒ ස්ථානයේ දී ම දේශනා කොට වදාළ සේක.
අහෝ! සම්බුද්ධ ශාසනයක මහත් බව නම් කෙසේ සිතිය හැකි වේ ද? පිතෘ ඝාතක කර්මයේ ද උණුසුම භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළැඹ තෙරුවන් සරණ ගිය පමණින් ම අඩු වී ගියෝ ය.
තව ද මේ සූත්‍රය ඇසීමෙන් පසු පිතෘ ඝාතක කර්මයේ පටන් ආත්ම චෝදනාවෙන් නින්දක් නො ලැබූ අජාසත්තයන් සුව පහසු නින්දක් ලැබී ය. තෙරුවනට මහා සත්කාර කළේ ය. පළමු සංගායනාවට ද අනුග්‍රහ කරමින් ශාසනය බොහෝ කල් පවත්වන්නට අනුග්‍රහ කරන ලද්දේ ය. ලොව වසන සියලූ ම පෘතග්ජනයන් අතර මේ අජාසත්ත රජු ගේ ශ්‍රද්ධාවට සම කළ හැකි වෙනත් අයෙක් නො ලැබෙන්නේ ය. එයින් විපාක ලබන්නේ මතු විජිතාවී නමින් පසේ බුදු බවට පැමිණ සංසාර ඕඝය තරණය කරන්නෙක් වන්නට සුදුසු කම් ලැබී ය.
මෙසේ අප ගේ භාග්‍යවතුන් වහන්සේ අපමණ ගුණයන් ගෙන් යුක්ත බව දැන ගත යුතු ය. මේ සූත්‍රයට අදාළ කතා වස්තුව ම දැක්වූයේ එබැවිනි. වෙනත් ශාස්තෘ සමීපයේ නො ලබන පිහිටක් ද, සරණක් ද, ආශ්චර්යයක් ද, විමුක්තියක් ද අප ගේ ශාස්තෘන් වහන්සේ සමීපයෙහි වූහ.
වචනයෙන් පමණ කළ නො හැකි, උපමාවෙන් දක්වන්නට නො හැකි, සිතින් සිතිය නො හැකි තරම් වූ අප්‍රමාණ ගුණ කඳකින් ම සර්වඥයන් වහන්සේ යුක්ත විය.
(දීඝ නිකාය - සාමඤ්ඤඵල සූත්‍රය)