Sujatha Puthra Meditation Center
Your Membership ID
2.3. මහාලි සූත්‍රයෙන් හෙළිවන භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණා ගුණය
එදා භාග්‍යවතුන් වහන්සේ විවේකී ව සිටි මොහොතක් විය. භාග්‍යවතුන් වහන්සේ විවේකී ව සිටි මොහොතක් කී පසු කුමක් වත් නො කර නිකම් සිටියා යැයි නො සිතිය යුතු ය. නොයෙක් ආරම්මණයන් ගේ හැසිරීමෙන් පමණක් වෙන් විය. හුදකලාවේ ධ්‍යාන සුවය විඳිමින් සිටියේ ය.
කොසොල් රට වැසි බොහෝ අය ද, මගධ රට වැසි බොහෝ අය ද එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විශාලා මහ නුවරට පැමිණ සිටියේ ය. අනේක ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේ එම විශාලාවේ වැඩ සිටී යැයි දැන ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ව දැකීමට කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි මහා වනයේ විහාරයට පිවිසියේ ය. තොලින් අඩක් පමණක් ඇති නිසා ඔට්ඨදධ නම් වූ ලිච්ඡවියා ද තව්තිසා පිරිසක් වැනි වූ අලංකාර ලිච්ඡවීන් පිරිසක් ම සමඟ එම විහාරයට භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණියේ ය. එම ඔට්ඨදධ ගේ මුල් නම මහාලි නම් විය.
එකල භාග්‍යවතුන් වහන්සේ ගේ උපස්ථායකයා වූ නාගිත තෙරුන් විහාරයේ දී දැක පැමිණි කාරණය දැන්වූවේ ය. එවිට නාගිත තෙරුන් “දැන් භාග්‍යවතුන් වහන්සේ විවේකී ව සිටින බැවින් මෙය භාග්‍යවතුන් වහන්සේ දැකීමට නො කල් ය” යන්න ඔවුන් වෙත පැවසී ය. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ නැවත පැමිණෙන තුරු බලා සිටිමි යි සිතා පසෙකින් හිඳ ගෙන සිටියේ ය.
මෙය දුටු සීහ නම් වූ සාමණේර තෙරුන් තමන් ගේ ආචරිය වූ නාගිත තෙරුන් වෙත එළැඹ “මෙහි බොහෝ ජන මුළුවක් වෙයි. භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබෙතොත් යහපතක් ම වෙනු ඇතැ”යි පැවසූ බැවින් “ඔබ ද කලින් කලට භාග්‍යවතුන් වහනසේ ට වත් සපයන අයෙක් බැවින්, භාග්‍යවතුන් වහන්සේට විශ්වාසවන්තයෙක් බැවින්, මේ කාරණාව එසේ නම් ඔබ ම දන්වුව මැනවි”යි නාගිත තෙරුන් ගෙන් ලැබූ අවසරය නිසා සීහ සාමණේරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹී ය.
එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ මේ පුවත දැන්වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ද තමන් වහන්සේ ගේ විවේක කාලයවත් නො සලකා ඔවුන් හමුවීමට කැමැත්තේ “එසේ නම් සීහ ය, වෙහෙර ඉදිරිපස සෙවණක අස්නක් පණවව”යි වදාළ සේක.
මේ කරුණෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණාවේ තරම ම ප්‍රකට වෙයි. දිනය පුරා ම ධර්මය දේශනා කරමින් වෙහෙස වී සිටිය ද ධර්මාවබෝධය ලබන පිරිසක ගේ හමු වීම, තමන් වහන්සේ ගේ විවේකයට වඩා උතුම් බව උන්වහන්සේ සැලකී ය. තමන් වහන්සේ ගේ විවේකය, බොහෝ වූ කායික වෙහෙස ද සමඟින් ම පසෙක දමා උන්වහන්සේ මේ ජන මුළුව ගැන කරුණා සිතින් ඔවුන් හමුවට වැඩම කළ සේක. අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ කරුණාව කොපමණ ද යන්න එයින් දත යුතු ය. ධර්ම මාත්‍රයක් හෝ අසනු කැමැත්තන් වෙනුවෙන් අනුපමේය වූ බුද්ධ ජීවිතය ලද උන්වහන්සේ සෑම මොහොතක් ම විවේක නො තකා ඔවුන් වෙනුවෙන් කළ කැපකිරීම් වලින් පුරවා තැබුවේ ය.
(දීඝ නිකාය - මහාලි සූත්‍රය)