top of page

2.2. සෝණදණ්ඩ බමුණා වෙත දැක් වූ කරුණාව

භාග්‍යවතුන් වහන්සේ ගේ මහා කරුණා දෑසට හසු වූ තවත් එක් බමුණෙක් වන්නේ සෝණදණ්ඩ යි. පෙර කතා වස්තුවේ දැක් වූ පරිදි ම භාග්‍යවතුන් වහන්සේ සෝණදණ්ඩ ගේ උපනිශ්‍රය සම්පත් දැක ‘මා චම්පා නුවරට ගිය විට ඔහු ගේ අතවැසියෝ දොළොස් අයුරකින් බමුණා ගේ ගුණ කියා ඔහුට මා සමීපයට එන්නට ඉඩ නො දෙන්නේ ය. නමුත් ඒ බමුණා විසිනව ආකාරයකින් මාගේ ගුණ කියා ඔවුන් ගේ වාද බිඳ මා සමීපයට එළැඹ ප්‍රශ්නයක් අසන්නේ ය. එය විසඳීමෙන් අනතුරුව ඔහු සරණ යන්නේ යැ’යි දැක අතුරිත වූ නිබද්ධ චාරිකාවෙන් චම්පා නුවරට භික්‍ෂුන් වහන්සේලා පන්සිය නමක් පිරිවරා ගෙන වැඩි සේක. මෙයින් අනතුරුව සිදු වූ කතා ප්‍රවෘත්තිය 8.5 වන පරිච්ඡේදයේ දී දක්වා ඇත්තේ ය. ඒ සියලු සිදුවීම් වලින් පසු ව සෝණදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ව දැකීමේ අභිලාෂයෙන් බොහෝ බ්‍රාහ්මණයන් පිරිවරා ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන වන ලැහැබ වෙත පිවිසියේ ය.


එසේ පිවිසි බ්‍රාහ්මණයා විසින් මෙසේ කල්පනා කළේ ය. “මම භවත් ශ්‍රමණ ගෞතමයන් වෙතින් පැනයක් විමසුව හොත්, එවිට ඒ භවත් ගෞතමයන් විසින් ‘බමුණ ඔබ ගේ ප්‍රශ්නය වැරදි ය. එය ඇසිය යුත්තේ මෙසේ යැ’යි පැවසුව හොත් මා නින්දාවට පත් වන්නේ ය. මේ ගෞතමයන් ගේ පිරිස විසින් යමෙක් නින්දාවට පත් වුව හොත් ඒ නින්දාවට පත් වන තැනැත්තා ගේ යශස පිරිහෙන්නේ ය. අපි යශස් නිසා ම ලැබූ භෝග සම්පත් ඇත්තෝ ය. යශස පිරිහුණු විට අප ගේ භෝග සම්පත් ද පිරිහෙන්නේ ය.


ඉදින් මම නො විමසා ශ්‍රමණ ගෞතමයන් මාගෙන් පැනයක් විමසුව හොත් එයට මා වැරදි පිළිතුරක් ලබා දෙත හොත් ශ්‍රමණ ගෞතමයා ඒ අසා ‘බමුණ, නුඹ ගේ පිළිතුර වැරදි ය. එහි නිවැරදි පිළිතුර මෙය යැ’යි පැවසුව හොත් එයින් ද රැස්ව සිටි පිරිස විසින් ‘මේ සෝණදණ්ඩයා අනුවණ ය. නො වියත් ය’ වශයෙන් සිතන්නේ මා පෙර සේ ම නින්දාවට පත් වන අතර යශස නිසා ලැබූ මාගේ භෝග සම්පත්තිය එයින් ද විනාශ වී යන්නේ ය.


දැන් මට ආපසු හැරී යාමටත් නො හැකි ය. ඉදින් එසේ කළ හොත් මේ රැස් ව සිටි පිරිස විසින් ‘සෝණදණ්ඩයා බිය වූයේ ය. අනුවණ බැවින් ද, නො වියත් බැවින් ද ගෞතමයා දකින්නට වත් නො හැකි ව ආපසු හැරී ගියේ යැ’යි පරිභව කරන්නේ එයින් ද මා නින්දාවට ම පත් වන්නේ ය.


මෙසේ සිතමින් ගිය සෝණදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළැඹියේ ය. එළැඹ, පිළිසඳර කථා පවත්වා පසෙක හිඳ ගත්තේ ය. චම්පා නගරවාසී සෙසු බමුණෝ ද, ගිහියෝ ද පැමිණ එසේ ම කළේ ය. සමහරුන් වැඳ හිඳ ගත්තේ ය. සමහරුන් නො වැඳ පිළිසඳර කථාව පමණක් කොට හිඳ ගත්තේ ය. සමහරුන් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඟිලි එක් කොට නමා වැඳ පසෙක හිඳ ගත්තේ ය. කෙනක් ‘මම අසවලා ගේ පුත්‍රයා ය, මම මිත්‍ර නම් වෙමි’ ආදී වශයෙන් නම් ගොත් පමණක් කියා හිඳ ගත්තේ ය. සමහරුන් නිහඬ ව ම හිඳ ගත්තේ ය.


කුමක් හෙයින් මෙසේ කළේ ද යත්; නින්දාවෙන් ගැලවීම පිණිස ය. වන්දනා කළ හොත් මිථ්‍යා දෘෂ්ඨිකයෝ “ඔබලා ශ්‍රමණ භවත් ගෞතමයන් වැන්දෝ දැ”යි අසති. එවිට “කිම? ඇඟිලි බැඳීම වන්දනාවක් දැ”යි විමසිය හැකි ය. සම්‍යක් දෘෂ්ඨිකයෝ “නුඹලා කුමන හෙයින් භාග්‍යවතුන් වහන්සේ ට නො වැන්දෝ දැ”යි විමසුව හොත් “කිම? ඇඟිලි බැඳීම වැඳීමක් නොවේ දැ?” විමසිය හැකි ය. එබැවින් මෙසේ කළාහු ය. නිහඬ ව සිටි අය කෛරාටිකකම නිසා එසේ කළාහු ය. බාල බව නිසා ද බව දත යුතු ය.


මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි සෝණදණ්ඩ බමුණා විසින් නැවත ද “මේ ශ්‍රමණ ගෞතමයන් අප ගෙන් අප ගේ ආචාර්යවාදය වූ ත්‍රිවේදය ගැන ම පැනයක් විමසන්නේ නම් මැනවි. එයින් මා නින්දාවට පත් නො වන්නේ යැ”යි සිතමින් බිමට හකුළුවා ගත් මුහුණ ඇති ව කල්පනා කරමින් සිටියේ ය.


මහා කාරුණිකයන් වහන්සේ ද ‘මේ බමුණා පැමිණි වේලාවේ පටන් ම බිම බලාගෙන, අපහසුවෙන් යමක් කල්පනා කරමින් සිටියි. කුමක් කල්පනා කරන්නේ දැ?’යි ආවර්ජනා කර බලන්නේ ඔහු ගේ චිත්ත විතර්කය තමන් වහන්සේ ගේ සිතින් දැන ගත්තේ ය. ‘මොහුව මේ වෙහෙසින් මා මිදවිය යුතු ය. මම මොහු ගෙන් සිය ආචාර්යවාදය ගැන ම පැනයක් විමසන්නෙමි නම් යෙහෙකි’යි සිතා “බමුණ, අංග කීයකින් සමන්වාගත කෙනෙක් බමුණෙක් වේ දැ යි බ්‍රාහ්මණයෝ පණවත් දැ?”යි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ගෙන් විමසා වදාළ සේක.


අහෝ! මහා කාරුණිකයන් වහන්සේ ගේ මහා කරුණාවක තරම නම්? ලොව බොහෝ අය තමන් සමීපයට ආවුන් පවා හෙළා කථා කරති. තුන් ලෝකයක් සර්වඥතා ඥානයෙන් අවබෝධ කර ගෙන සිටි මේ මහා කාරුණිකයන් වහන්සේ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ගැන කරුණා කොට පිරිස ඉදිරියේ ඔහු අපහසුතාවයට පත් වීම වලකා, ඔහු ගේ චිත්ත පරිවිතර්කය තමන් වහන්සේ ගේ සිතින් ම විතර්ක කොට බලා ඔහුට පිළිතුරු දිය හැකි ප්‍රමාණයේ පැනයක් ම ඔහු ගෙන් විමසී ය.


ඔබට මේ අප්‍රමාණ වූ බුදු කරුණාව කුමකින් හෝ මැනිය හැක්කේ ද? අප්‍රමාණ ප්‍රීතියක් පමණක් චිත්ත සන්තානය අභ්‍යන්තරයේ ඇතිවනවා මිසක, තවත් බුදුවරයෙක්ට පමණක් ම ගෝචර මේ අප්‍රමාණ බුදු කරුණාව මා වැන්නෙක් කෙසේ නම් වචන වලට පෙරලන්න ද?


ඇතැමුන් මේ මහා කරුණාව සත්ත්වයන් එතෙර කරන්නට පමණක් වූවක් යැයි වරදවා සිතා ගෙන සිටිති. එය එසේ නො වේ. භාග්‍යවතුන් වහන්සේ ගේ මහා කරුණාව, මහා කරුණව ම ය. එයට වෙනත් අර්ථකථන නැත. ඒ සන්තානගත කරුණාවට ම මහා කරුණාව යැයි කියත්. මහා කරුණාව භාග්‍යවතුන් වහන්සේට ඇත්තේය යැයි කියන්නෙක් වැරදියට කියන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ සන්තානයේ ඇත්තේ මහා කරුණාව ය වශයෙන් එය නිවැරදි විය යුත්තේ ය.


දස පාරමිතාවන් සලකා බැලූ කල එහි කරුණා පාරමිතාව කියා අමුතු එකක් නැත්තේ එබැවිනි. බුද්ධත්වයේ පදනම ම කරුණාව මිසක්, එයට පිරිය යුතු අමුතු පාරමිතාවක් නැත්තේ ය. එය බුද්ධත්වයේ පදනම ම වේ.


තව ද භාග්‍යවතුන් වහන්සේ 4.2 වන පරිච්ඡේදයේ දී දැක් වූ ආකාරයෙන් සෘජු විය යුතු තැන දී සෘජූ වන සැටි ද මෙම කතා ප්‍රවෘත්තියේ දී මෘදු විය යුතු තැන මෘදු වන සැටි ද කල්පනා කර බැලිය යුතු වේ. වාදයන් වල දී සිංහ පැවැත් ම ද, වුවමනා තැනට වුවමනා පැවැත්ම ද ඇති අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ ජීවිතය ම අපට කොයි තරම් ආදර්ශයක් දැ යි එයින් සිතා ගත යුතු වේ.


මේ පැනය භාග්‍යවතුන් වහන්සේ විසින් සෝණදණ්ඩ බමුණා ගෙන් විමසනු ලදුව දියේ ගිලී මිය යන අයෙක් ව ගොඩ බිමක් වෙත ඔසවා තැබූවාක් මෙන් විය. හෙතෙම මහත් සතුටට පත් ව ‘මේ ශ්‍රමණ ගෞතමයෝ මා සිතූ පරිදි ම මාගේ ආචාර්යවාදයෙන් පැනයක් විමසූ සේකැ’යි සිතා තමන් ගේ කය සෘජු කොට, හාත්පස සිටි බමුණු පිරිස ද දෙස බලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේ ය. එම විස්තරය සැකෙවින් මෙසේ ය.


යම් බමුණෙක් අංග පසකින් සමන්වාගත නම් හෙතෙම බමුණෙක් වන්නේය. ඒ අංග පස මොනවාද යත්;


01. මවුපිය දෙපසින් ම පිරිසිදු බමුණු කුලයට අයත් විය යුතු ය. සත්වන මී මුතු යුවල තෙක් ම අමිශ්‍ර විය යුතු ය.

02. ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේද විෂයෙහි පරතෙරට පැමිණියෙක් විය යුතු ය. පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේ ද නිපුණයෙක් විය යුතු ය.

03. රූප ශෝභාවෙන් යුත් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත විය යුතු ය.

04. සීලයෙන් සමන්වාගත විය යුතු ය.

05. නුවණ ඇති පණ්ඩිතයෙක් විය යුතු ය.


සෝණදණ්ඩ බමුණා විසින් මේ කරුණු පස දැක් වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් නැවත සෝණදණ්ඩ බ්‍රාහ්මණයා ගෙන් “බමුණ, මේ අංග පස අතරින් එක් අංගයක් හැර සෙසු අංග සතර යමෙක් වෙත ඇත්තේ නම්, ඒ අත් හළ හැකි අංගය කුමක් දැ?”යි විමසා වදාළ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ “යම් අංග තුනක් අත් හරින ලදුව ද ඔහුට බ්‍රාහ්මණයෙක් යැයි කියන්නේ නම් කුමන අංග තුන අත් හැරිය හැකි දැ?” යි දක්වා ම මේ පැනය දිගට ම විමසූ සේක.


සෝණදණ්ඩ බමුණා ද පළමු ව වර්ණ සෞන්දර්ය කුමක් කරත් ද? එය නැති ව සෙසු අංග ඇත්තේ ඔහු බ්‍රාහ්මණයෙක් යැයි කිව හැක්කේ ය යැයි පැවසූ සේක. අනතුරුව වේද දැනුම නැත ද ඔහු ජාතියෙන්, සීලයෙන් හා පණ්ඩිත බවින් යුක්ත නම් බ්‍රාහ්මණයෙක් ලෙස කිව හැක්කේ ය යැයි පවසන ලදී. තෙවනුව ඔහු ජාතිය ද ප්‍රතික්ෂේප කරන්නේ යම් කෙනෙක් සතු ව සීලය හා ප්‍රඥාව ඇත්තේ ද ඔහු ගේ ජාතියෙන් හෝ වර්ණයෙන් හෝ වේද දැනුමෙන් ඵලක් නැත. ඔහු බ්‍රාහ්මණයෙක් යැයි කිව හැකි ය යනුවෙන් පවසන ලද්දේ ය.


පළවෙනි කරුණේ ද, දෙවැනි කරුණේ ද නිහඬ ව සිටි එතැන රැස් වූ අනිත් බමුණෝ මේ සෝණදණ්ඩ ගේ කතාව අසා කිපුණේ ය. ‘මේ සෝණදණ්ඩයා අපගේ බ්‍රාහ්මණ සමය බිඳින්නට යන්නේ ය. ඔහු ගේ වාදය ප්‍රතික්ෂේප කළ යුතු යැ’යි සිතා “භවත් සෝණදණ්ඩ එසේ නො කියව. එසේ නො කියව. භවත් සෝණදණ්ඩ විසින් වර්ණ සෞන්දර්යය ද, ත්‍රිවේදය ද, ජාතිය ද බැහැර කළේ ය. ඔබට ශ්‍රමණ ගෞතමයන් සරණ යා යුතු නම් යව, අප ගේ සමය නො බිඳවැ”යි ශබ්ද නගා කීවේ ය.


මේ ශබ්දය අසා භාග්‍යවතුන් වහන්සේ ‘මේ බමුණන් මෙසේ කෑ ගසන කල්හි මේ කථාව කෙළවරකට නො යයි. ඔවුන් ව පළමු ව නිහඬ කරවා සෝණදණ්ඩ සමඟ ම කථා කරමි’යි සිතා “බමුණනි, ඉදින් යමෙක් සෝණදණ්ඩ අල්පශ්‍රැත ව නො මනා බසක් දෙඩුවේ යැයි යමෙක් සිතන්නේ නම්, ඔහු මා සමඟ මේ කථාවට නුසුදුසු යැයි යමෙක් සිතන්නේ නම්, සෝණදණ්ඩ තෙමේ සිටීවා. තොපි මා සමඟ සාකච්ඡා කරව. එසේ නොමැති නම් නුඹලා නිහඬ ව සිටිවු. මා සෝණදණ්ඩ බමුණා සමඟ ම මේ සාකච්ඡාව කරමි”යි වදාළ සේක.


භාග්‍යවතුන් වහන්සේ නම් පුදුම සහගත නොවේ ද? මෘදු විය යුතු තැන මෘදු විය යුතු තරමට ම විය. නැවත සිංහනාද කොට පිරිස නිහඬ කළ යුතු තැන නැවත ශබ්ද මාත්‍රයක් තබන්නට අවකාශයක් නො තබා සම්පූර්ණයෙන් නිහඬ කළේ ය. උන්වහන්සේ සතු වූ අපරිමිත බුද්ධ පෞරුෂය ම මෙයින් පිළිබිඹු කොට ගත යුතු ය.


මේ බස් අසා සෝණදණ්ඩ බ්‍රාහ්මණයා විසින් “භවත් ගෞතම තෙමේ සිටීවා. මම ම මොවුන්ට කරුණු දක්වා උත්තර දෙන්නෙමි”යි ඉදිරිපත් ව එතැන සිටි අඞ්ගක නම් වූ සෝණදණ්ඩ ගේ බෑණා ව පිරිසට පෙන්වා මේ අවස්ථාවේ මෙතන සිටින පිරිස අතරින් මේ අඞ්ගක රූපයෙන් දෙවැනි වන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණක් බවත්, ඔහු වේදය දන්නා බවත්, ජාතියෙන් ද පිරිසිදු බමුණු කුලයට ම අයත් කෙනෙක් බවත් සිහිපත් කොට “ඉදිහින් ඔහු සිල්වත් නො වේ නම්, පංච සීලය නො රකින්නේ නම් ඔහු බමුණෙක් වන්නේ දැ?”යි විමසී ය.


මෙය අස ඒ බමුණෝ “අප ගේ ගුරුතුමා ඇත්තක් ම කීවේ ය. අපි නිකරුණේ ඝෝෂා කළෙමු”යි සිතා නිහඬ වූයේ ය.


මෙහි දී කාරණාව වශයෙන් සෝණදණ්ඩ බමුණා විසින් සීලයත් ප්‍රඥාවත් යන දෙකින් ම යුත් තැනත්තා ම බමුණෙක් වන බව සිහිපත් කරන ලදී. මේවා වචන වශයෙන් පමණක් දන්නා බවත් මේ ගැන භාග්‍යවතුන් වහන්සේ ගෙන් ම විස්තර දැන ගැනීමට කැමති බවත් සෝණදණ්ඩ බමුණා විසින් පවසන ලදුව භාග්‍යවතුන් වහන්සේ විසින් එය විස්තර කර ධර්ම දේශනාව සිදු කරනු ලැබූ සේක. එම දේශනාව අසා බමුණා සරණාගමනයෙහි පිහිටියේ ය. මාර්ගඵලයක් අවබෝධ නොවී ය. කුමන හෙයින් ද යත්; ඔහු ගේ කුහකකම නිසා ය. එය මෙසේ දත යුතු ය


මේ දේශනාව අසා සරණාගමනයෙහි පිහිටි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා විසින් භාග්‍යවතුන් වහන්සේට පසු දින දානයට ආරාධනා කරනු ලැබුවේ ය. භාග්‍යවතුන් වහන්සේ ද එය ඉවසා, පසු දා එහි වැඩම කොට දානය වළඳා අවසන් කළේ ය. දානය වළඳා අවසන් කළ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ හිඳ ගෙන හෙතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේ ය.


“භවත් ගෞතමයනි, පිරිස ඉදිරියේ මට ඔබට වැඳීමට නො හැකි ය. ඉදින් වැන්දේ නම් මේ පිරිස මට ‘මේ වයස්ගත සෝණදණ්ඩ විසින් තමන් ගේ මුණුබුරා ගේ වයසැති ගෞතමයන්ට වැන්දේ යැ’යි පරිභව කරති. එසේ හෙයින් එය කළ නො හැකි ය. එනිසා මම පිරිස අතර ඉන්නා කලෙක දොහොත් මුදුන් තැබුවේ නම් එය මාගේ හුනස්නෙන් නැගී සිටීම සේ භවත් ගෞතමයන් සලකනු මැනවි. හිස්වෙළුම මුදා හැරියේ නම් එය මාගේ වැඳීම බව ගෞතමයන් විසින් සලකනු මැනවි. මම යානයක සිටින විටක දී කෙවිට ඉදිරියට නැමුවේ නම් එය මාගේ යානයෙන් බැසීම කොට ගෞතමයන් විසින් සලකනු මැනවි. ඡත්‍රය ඉවතට දැමුවේ නම් එය මාගේ වැඳීම කොට සලකනු මැනවි”


මෙයින් මේ බමුණා ගේ කුහක බව සැලකිය යුතු ය. හෙතෙම ලාභ සත්කාර වලින් පිරිහෙනු අකමැත්තේ සරණ ගිය ද, මේ කුහකකම කළේ මැ යි.


මෙයින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ එතැනින් නික්ම වැඩම කළ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ දම්රුවන් වැසි වස්වන කාලයේ ද විශේෂයක් උපදවා ගන්නට අසමත් වූ ඒ බමුණා මතු දිනක නිර්වාණය ලබා ගැනීම පිණිස වාසනාභාගී කරවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල සිදු කළ සේක.


මෙයින් ද අප භාග්‍යවතුන් වහන්සේ ගේ අපමණ ගුණය ම දැන ගත යුතු වෙයි. වැඳීම් මාත්‍රයක් වත් බලාපොරොත්තු නොවී මේ බමුණාට පිහිට වූ ආකාරය අතිශයින් ම පැසසුම් සහගත වෙයි. බුද්ධ කරුණාවක තරම ම නොවේ ද? මේ කතා ප්‍රවෘත්තියෙන් පිළිබිඹු වන සියලු ගුණයන් වල ප්‍රකට අර්ථයක් ම ඇත්තේ ය. අමුතුවෙන් ලිව යුතු නොවේ. බුද්ධ කරුණාව ද, බුද්ධ පෞරුෂය ද, සුදුසු තැනට අනුවර්තනය වීම ද, නැවත කිසිවක් බලාපොරොත්තු නො වීම ද මේ කතා වස්තුව තුලින් ඉස්මතු වන භාග්‍යවතුන් වහන්සේ ගේ චර්යා ගුණයන් වේ.

(දීඝ නිකාය - සෝණදණ්ඩ සූත්‍රය)

bottom of page