Sujatha Puthra Meditation Center
Your Membership ID
2.1. පොක්ඛරසාති බමුණා වෙත දැක් වූ කරුණාව
භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විටෙක තමන් වහන්සේ ගේ ඥාන ජාලයට පොක්ඛරසාති බමුණා දිස් විය. හෙතෙම උපනිශ්‍රය සම්පත් සහිත බව සර්වඥතා ඥානයෙන් දැක කුමක් සිදු වේදැ යි විමසා බැලූ සේක. එසේ බලන සර්වඥයන් වහන්සේ හට ‘මා මොහු ගේ ජනපදයට වැඩම කළ පසු මා ගේ ශරීර ලක්ෂණ සොයා බලන්නට ඔහු ගේ අතවැසියාව එවන බවත්, ඔහු මා සමඟ වාද ප්‍රතිවාද කොට නොයෙක් අසභ්‍ය වචන කියන බවත්, ඔහු ව එම අවස්ථාවේ දමනය කොට, හීලෑ කළ පසු හෙතෙම ඒ බව ගුරුවරයා වූ පොක්ඛරසාති වෙත දන්වන බවත්, අනතුරුව ඒ පොක්ඛරසාති තමන් වෙත එළැඹී නැවත ශරීර ලක්ෂණ සොයා බලන බවත්, එයින් අනතුරුව මා ධර්මය දේශනා කළ පසු ඔහු සෝවාන් ඵලයෙහි පිහිටන බවත්’ සර්වඥතා ඥානයෙන් ම දුටු සේක. ඒ දේශනාව මහජනයාට සඵල වන්නක් බව දැන පන්සියයක් භික්‍ෂුන් වහන්සේලා ද පිරිවරා ගෙන ඒ ජනපදය වෙත නිබද්ධ චාරිකාවේ වැඩම කළ සේක.
මේ කතා ප්‍රවෘත්තිය ගුණයන්ට සුදුසු තැන් වල දී අනු මාතෘකා වලට බෙදා දක්වනු ලැබුවේ ය. ඉහත සංක්‍ෂිප්ත කළ විස්තරයේ ආකාරයට පොක්ඛරසාති බමුණා ගේ ශිෂ්‍යයා වන අම්බට්ඨ මාණවකයා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් වාද කොට එයින් පරාජිත ව පැමිණි කාර්යය වත් සිහි කර ගත නො හැකි ව සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ‘මේ අම්බට්ඨයා මේ ආත්මයේ දී නිර්වාණය නො ලබයි. හුදෙක් දවස පමණක් ගෙවා දමයි. මොහු මා ගේ ශරීර ලක්ෂණ සොයා බැලීම පිණිස පැමිණියේ ය. නමුත් ඒ කාර්යය සිහි නො කරයි. ඔහු ගේ සිහිය එළඹවිය යුතු යැ’යි සිතා සක්මන් මළුවට නැඟි සේක.
කුමන හෙයින් සක්මන් මළුවට බැස ගත්තේ ද යත්; යම් තැනක සිටින්නා හෝ සැතපී සිටින්නා හෝ බුදුවරුන් ගේ ලක්ෂණ සොයන්නට කිසිවෙක් සමත් නො වන බැවිනි. තමන් ගේ විෂය අනුව බුදුවරුන් ගේ ලක්ෂණ සෙවීමට පැමිණි අම්බට්ඨයා වෙත දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ එසේ එම වාදයෙන් අනතුරුව සක්මනට නැඟි සේක. අම්බට්ඨ වෙත ගණන් කිරීමට වත් තරම් දෙයක් ඉතිරි නො වුණේ ය. ලක්ෂණ දෙකක් හැර සෙසු ලකුණු සියල්ල අම්බට්ඨයා විසින් දුටුවේ ය. ඔහු නො දුටු ලක්ෂණ දෙක වන්නේ කෝෂාවහිත අඞ්ගජාතය සහ පුළුල් දිව ඇති බව යන ලක්ෂණ දෙක ය. මොහු එහි සැක කළේ ය.
කුමන හෙයින් එම ලක්ෂණ දෙක නුදුටු සේක් ද යත්; කෝෂාවහිත අඞ්ගජාතය වස්ත්‍රයෙන් වැසී ඇති නිසා ය. පුළුල් දිව මුඛය තුළ ඇති බැවිනි. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ ව 10 වන පරිච්ඡේදයේ දී දක්වා ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ මේ අම්බට්ඨයා ගේ සැකය පිළිබඳ චිත්ත විතර්කය දැන ඔහුට කෝෂාවහිත අඞ්ගජාතය යම් සේ පෙනෙන්නේ ද ඒ ආකාරයේ පරිදි සෘද්ධියක් සිදු කළ සේක. දිව ද නිකුත් කොට දෙ කන් සිදුරු ද, දෙ නාසි පුඬු ද පිරිමැද්ද සේක. නළල් මඬල දිවෙන් වැසූ සේක.
එයින් මාණවකයා මේ මහා පුරුෂ ලකුණු දෙ තිස ගැන ම පැහැදීම ඇත්තේ, පිටත් වීමට කාලය එළැඹ ඇතැයි භාග්‍යවතුන් වහන්සේට දන්වා වෙළඹුන් යෙදූ රියක නැඟ පිටත් ව ගියේ ය.
යම් කෙනෙකුට මිළිඳු රජුට මෙන් මේ කාරණාවේ සැකයක් ඇති වන්නට අවකාශ ඇත්තේ ය. මේ කතා ප්‍රවෘත්ති පසු කාලයක ලැබ මිළිඳු රජතුමා ද නාගසේන මහ රහතන් වහන්සේ ගෙන් “භාග්‍යවතුන් වහන්සේ විසින් මහජනයා ලජ්ජා ඇති කරන අවස්ථාවක් නොයෙක් තැන්වල දී සිදු කරන ලද්දේය’ යැයි විමසී ය. එයට පිළිතුරු දුන් නාගසේනයන් වහන්සේ “භාග්‍යවතුන් වහන්සේ ප්‍රකෘතියක් නො දක්වන ලද්දේ ය. ඡායාවක් ම දක්වන ලද්දේ ය. සිවුර පොරවා සිටින්නේ ම සෘද්ධියක් සිදු කළ සේක” යැයි දේශනා කළේ ය.
නැවත ද රජු විසින් “ස්වාමීනි, ඡායාව දුටු කල්හි දක්නා ලද්දේ ම නොවේ දැ”යි විමසී ය. මෙය ඇසු නාගසේන මහ රහතන් වහන්සේ “රජ නවතින්න. යමෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ හෘදය මාංශය දැක අවබෝධ කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ හෘද මාංශය ඉදිරිපත් කොට දක්වන සේක” යැයි දේශනා කළේ ය. එයින් රජු කාරණාව තතු සේ වටහා ගෙන සතුටු සිතින් අනුමෝදන් වූයේ ය.
මේ කාරණාව ගැන මාගේ වචනයෙන් විස්තර ලිවීම අපහසු ය. නමුත් නාගසේන මහ රහතන් වහන්සේ ගේ උපමාව අනුව භාග්‍යවතුන් වහන්සේ ගේ අපමණ මෙත් සිත ම පිළිබිඹු වන්නේ ය. එය ඒ කරුණින්, ඒ ආකාරයෙන් ම දැන භාග්‍යවතුන් වහන්සේ ගේ අප්‍රමාණ කරුණාව ම කල්පනා කර ගත යුත්තේ ය. ‘යමෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ හෘදය මාංශය දැක අවබෝධ කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ හෘද මාංශය ඉදිරිපත් කොට දක්වන සේක’ අහෝ! මහා කරුණාවක නම් තරම.
මේ අම්බට්ඨයා ගේ ගුරුවරයා වූ පොක්ඛරසාති බමුණා මේ සියලු සිදුවීම් අවසානයේ 8.3 වන අනු මාතෘකාවේ දැක්වෙන පරිදි සෝවාන් ඵලයට පත් වූ සේක. තමන් වහන්සේට, ක්‍ෂත්‍රියයන්ට නොයෙක් අපවාද උපවාද කරන බව දැන දැනත් මහා කරුණා දෑසට හේතු සම්පත් ඇති අයෙක් ව ලැබ භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් කටයුතු කරන ආකාරය ද මේ කතා වස්තුවෙන් අපට ගත හැකි අපූර්වත ම බුද්ධ ගුණයක් වේ.
(දීඝ නිකාය - අම්බට්ඨ සූත්‍රය)