top of page

1.4. භාග්‍යවතුන් වහන්සේ ගේ චාරිකාව පිළිබඳ ව විස්තරය.

භාග්‍යවතුන් වහන්සේ ගේ චාරිකාව දෙවැදෑරුම් වේ. ඒ තුරිත චාරිකා, අතුරිත චාරිකා වශයෙනි. එහි අවබෝධ කළ හැකි පුද්ගලයෙකු දැක ඔහුට අවබෝධය පිණිස වහා වඩින ගමන තුරිත චාරිකා නම් වෙයි. එය මහා කාශ්‍යපාදී තෙරවරුන් ගේ කතා වස්තු වලින් දත යුතු ය.


භාග්‍යවතුන් වහන්සේ මහා කාශ්‍යප තෙරුන් වෙත පෙර ගමන් කරන්නේ මොහොතක් ඇතුළත ගවු තුනක මගක් වැඩම කළේ ය. ආලවක යක්‍ෂයා වෙත යොදුන් තිහක් ගමන් කළ සේක. අංගුලිමාල තෙරුන් සඳහා ද යොදුන් තිහකි. පුක්කුසාති රජු සඳහා යොදුන් හතලිස්පහක් වැඩම කළ සේක. මහා කප්පින තෙරුන් සඳහා යොදුන් දෙදහසක් වැඩම කළ සේක. ධනිය තෙරුන් සඳහා යොදුන් හත්සියයක් වැඩම කළ සේක. සාරිපුත්‍ර මහ තෙරුන් ගේ සද්ධිවිහාරික වූ වනවාසී තිස්ස සාමණේරයන් සඳහා ගවු තුනකුත් යොදුනත් දෙදහසක් වැඩම කළ සේක. මේ තුරිත චාරිකාවයි.


ගම් නියම් ගම් පිළිවෙලින් දිනපතා යොදුනක් හෝ අඩ යොදුනක් වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකයාට අනුග්‍රහ කිරීම පිණිස යන ගමන අතුරිත චාරිකා නම් වෙයි.


මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ අන්තෝ මණ්ඩලය යන මණ්ඩල තුනෙන් එකක, පිළිවෙලින් යොදුන් නවසියයක්, හයසියයක් හා තුන්සියයක් නව මාසයක් පුරාවට හෝ, අට මාසයක් පුරාවට හෝ, සත් මාසයක් පුරාවට භාග්‍යවතුන් වහන්සේ අතුරිත චාරිකාවේ වඩින සේක.


ඒ චීවරාදී ප්‍රත්‍යයන් ලැබීමට නො වේ. හුදු දුප්පත්, බාල, දිරූ හෝ රෝගී වූවෝ හෝ කවදා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බලන්නට හැකි වේ ද? ඔවුන්ට එසේ නො හැකි ම ය. ඉදින් මා චාරිකාවෙහි හැසිරෙන විට ඒ මහජනයා ද තථාගත දර්ශනය ලබන්නේ ය. එහි දී කිසිවෙක් සිත් පහන් කර ගනී. කෙනෙක් මල් දම් ආදියෙන් පුදන්නෝ ය. සමහරු භික්ෂාව දෙති. ඇතැමෙක් මිථ්‍යා දර්ශනය අත් හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නෝ ය. එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සුඛ පිණිස පවතී යැයි මෙසේ ලෝකයාට අනුකම්පාවෙන් ම චාරිකාවේ යෙදෙන සේක.


තව ද කරුණු හතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ජංඝා විහාර වශයෙන් ශරීර පහසුව පිණිස, අර්ථ උත්පත්ති කාලයක් කැමති බැවින්, භික්ෂූන්ට සික පද පනවනු පිණිස හා ඒ ඒ තැන මුහුකුරා ගිය ඉන්ද්‍රිය ඇති අවබෝධ කළ යුතු සත්ත්වයන්ට අවබෝධය ලබා දෙනු පිණිස යනුවෙනි.


තවත් කරුණු සතරකින් භාග්‍යවත් බුදුවරු චාරිකාවෙහි හැසිරෙති. ඒ ‘බුදුන් සරණ යන්නාහු ය කියා හෝ දහම් සරණ යන්නාහු ය කියා හෝ සඟ සරණ යන්නාහු ය කියා හෝ මහත් වූ දහම් වැස්සෙන් පිරිස සන්තර්පණය කරන්නෙමු’ යනුවෙන් සිතා ය.


මෙසේ ම පංච දුෂ්චරිතයෙන් වෙන් වන්නාහු ය, ධ්‍යාන හෝ විමෝක්ෂ හෝ ලබන්නාහු ය, මාර්ග ඵල හෝ අවබෝධ කරගන්නාහු ය යනුවෙන් සිතා ය.


මේ කියූ අතුරිත චාරිකාව ද අනිබද්ධ චාරිකා සහ නිබද්ධ චාරිකා යනුවෙන් කොටස් දෙකකි. එහි යම් තැනක ගම් නියම් ගම් නගර පිළිවෙළ වශයෙන් ම හැසිරේ නම් එය අනිබද්ධ චාරිකා නම් වේ. එක ම අවබෝධ කළ යුතු සත්ත්වයකු පිණිස පමණක් හැසිරේ නම් මෙය නිබද්ධ චාරිකා නම් වේ.

(දීඝ නිකාය අටුවාව - අම්බට්ඨ සූත්‍රය)


bottom of page