top of page

1.1. භාග්‍යවතුන් වහන්සේ ගේ දිනය ගත වන ආකාරය.

භාග්‍යවතුන් වහන්සේ ගේ දිනය ප්‍රධාන කොටස් පසකි. ඒ පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පසුයම් කිස යනුවෙනි.


පෙරබත් කිස


භාග්‍යවතුන් වහන්සේ උදෑසන ම නැගිට උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස ද, ශරීර පහසුව පිණිස ද මුව දෙවීම් ආදී සිරුරු පිරියම් කොට පිඬු පිණිස හැසිරෙන වේලාව තෙක් හුදෙකලා අසුනෙක කල් යවයි.


අනතුරුව පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි හැඳ පෙරෙව කාය බන්ධනය බැඳ සිවුර පොරවා පාත්‍රය ගෙන ඇතැම් විට තනිවම ද, ඇතැම් විට භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන ද ගමට හෝ නියම් ගමට හෝ පිවිසෙන සේක. එසේ පිවිසෙන කල ඇතැම් විට කිසිදු පෙළහරක් නො දක්වා ප්‍රකෘතියෙන් ද, ඇතැම් විට නොයෙක් පෙළහර දක්වමින් ද පිවිසෙන සේක. කෙසේද යත් ;


පිඬු පිණිස පිවිසෙන ලෝකනාථයන් වහන්සේ ගේ පෙරටු ව ගොස් මෘදු වූ වාතයෝ මහ පොළව පිරිසිදු කරති. වලාකුළු ජල බිඳු විසුරුවමින් මහ මග දූවිලි සමනය කොට, ඉහළින් වියනක් වී සිටී. අනිකුත් වාතයෝ මල් ගෙනවුත් මහ මග විසුරුවති. ගොඩැලි බිම් පෙදෙස් පොළවට සමතලා වෙයි. වළවල් සහිත බිම් පෙදෙස් පොළව තෙක් එසවෙයි. පා තබන කල භූමිය සුව පහසු ඇති ව සම වෙයි. නෙළුම් මල් හෝ පා පිළිගනී. සිරුරින් සවණක් රැස් නික්ම රන් රස පිල් මෙන් ද, විසිතුරු පටින් වට කළාක් මෙන් ද ඔබ මොබ දුවයි.


ඇත් අස් සියොත් ආදීහු තම තම තැන් වල සිටියෝ ම මිහිරි සරින් නද කරත්. බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ ද එසේය. මිනිසුන් ගේ ද ආභරණ සිරුරට පැමිණියේ ම වෙයි. ඒ සලකුණින් මිනිස්සු ‘අද භාග්‍යවතුන් වහන්සේ මෙහි පිඬු පිණිස පිවිසි සේක් යැ’යි දැන ගනිති.


ඔවුහු මැනවින් හැඳ පෙරව සුවඳ මල් ආදිය ගෙන ගෙදරින් නික්ම අතුරු වීදියට පිවිස භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් ආදියෙන් සකසා පුදා වැඳ ‘ස්වාමීනි, අපට භික්‍ෂූන් දහනමක්, අපට විසිනමක්, අපට සියක් නමක් දෙනු මැනවැ’යි අයැද භාග්‍යවතුන් වහන්සේ ගේ ද පාත්‍රය ගෙන අසුන් පනවා සකසා පිණ්ඩපාතය පිරිනමත්.


භාග්‍යවතුන් වහන්සේ බත් කිස නිමවා ඔවුන් ගේ සිත් සතන් බලා සමහරු සරණාගමනයෙහි පිහිටත් ද, සමහරු පන්සිල්හි පිහිටත් ද, සමහරු සෝවාන් පෙළෙහි පිහිටත් ද, සමහරු සකෘදාගාමි අනාගාමි ඵලයන් ගෙන් එකක පිහිටත් ද, සමහරු පැවිදි ව අග්‍ර ඵලය වූ රහත් ඵලයෙහි පිහිටත් ද එසේ දහම් දෙසන සේක. මෙසේ මහජනයාට අනුග්‍රහ කොට, හුනස්නෙන් නැගී වෙහෙරට වඩනා සේක. එහි වැඩම කොට මණ්ඩල මාලයෙහි පනවන ලද උතුම් බුදු අසුනෙහි භික්‍ෂූන් බත් කිස අවසන් කොට නැවත පැමිණෙන තෙක් වැඩ හිඳිනා සේක. ඉන්පසු භික්‍ෂූන් බත් කිස නිම වූ කල්හි උපස්ථායකයා ඒ බව නිවේදනය කරයි. ඉක්බිති ව භාග්‍යවතුන් වහන්සේ ගඳ කිළියට පිවිසෙන සේක.


මෙයින් භාග්‍යවතුන් වහන්සේ ගේ අල්පේච්ඡ බව ද, ගුණ සරි බව ද, තමන් ගේ ශ්‍රාවකයන් කෙරෙහි ඇති සෙනෙහස ද උගත යුතු ය. උන්වහන්සේ තමන් ගේ ශ්‍රාවකයන් බත් කිස නිම කරවා එන තුරු වැඩ හිඳිනා සේක. එසේ වැඩම කළ පසු ම ගඳ කිළියට පිවිසෙන සේක. ශ්‍රාවකයන් කෙරෙහි ඇති සෙනෙහස එයින් දත යුතු ය. තමන්ට දානය පූජා කළ මිනිසුන් වෙත කරුණාවෙන් ධර්මය දේශනා කොට මිසක් ආපසු නො එන්නේ ය. නොයෙක් පෙළහර පාමින් සැමදා යා හැකි වූවත් ඇතැම් දින වල කිසිදු පෙළහරක් නො දක්වා ප්‍රකෘතියෙන් ම වැඩම කරන්නේ ය. සෙස්ස ප්‍රකට ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ පෙරබත් කිස ය.


පසුබත් කිස


ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කරන ලද පෙරබත් කිස ඇති සේක් ගඳ කිළියෙහි උපස්ථායක විසින් පනවන ලද අසුනෙහි වැඩ හිඳ පා දොවා ගඳ කිළියෙහි මිණි හිණ පුවරුවෙහි වැඩ සිට භික්‍ෂූන්ට අවවාද දෙන සේක.


“භික්‍ඛවෙ, අප‍්පමාදෙන සම්පාදෙථ, දුල‍්ලභො බුද‍්ධුප‍්පාදො ලොකස‍්මිං, දුල‍්ලභො මනුස‍්සත‍්තපටිලාභො, දුල‍්ලභා ඛනසම්පත‍්ති, දුල‍්ලභා පබ්බජ්ජා, දුල‍්ලභං සද‍්ධම්මස‍්සවනන්ති" යනුවෙනි.


එහි අර්ථය ‘මහණෙනි, අප්‍රමාදී වවු. ලොව බුදු උපත දුලබ ය. මිනිස් බව ලැබීම දුලබ ය. ක්‍ෂණ සම්පත්තිය දුලබ ය. පැවිද්ද දුලබ ය. සදහම් ඇසීම දුලබ ය'' යන්න ය.


එහි දී කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් කමටහන් විමසති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට චරියානුරූප කමටහන් දෙන සේක. ඉන් පසු සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ තම තමන් ගේ රාත්‍රී වසන තැන් වලට හා දහවල් වසන තැන් වලට යති. කිසිවෙක් අරණට යති. කිසිවෙක් රුක් මුලට යති. කිසිවෙක් පර්වත ආදියෙන් එකකට යති. කිසිවෙක් චාතුර්මහාරාජික භවනට යති. කිසිවෙක් අනිත් දිව්‍ය තලවලට යති. කිසිවෙක් වසවර්ති භවනට යති.


ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ගඳ කිළියට පිවිස කැමති වන සේක් නම් දකුණැලයෙන් සිහි නුවණින් මොහොතක් සිංහ සෙය්‍යාව කරන සේක. එයින් අස්වැසූ සිරුර ඇති සේක් නැගිට දෙවැනි කොටසෙහි දී ලොව බලන සේක. තෙවැනි කොටසෙහි දී, යම් ගමක හෝ නියම් ගමක හෝ වැඩ වසන සේක් ද එහි පෙර බත් කල්හි දන් දුන් මහජනයා පසු බත් කල්හි මැනවින් හැඳ පොරවා සුවඳ මල් ආදිය ගෙන වෙහෙරෙහි රැස් වෙත් නම්, පැමිණි පිරිසට, අනුරූප වූ පෙළහරින් වැඩම කොට දම් සභාවෙහි පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩ හිඳ වේලාවට සුදුසු, කාලයට සුදුසු දහම් දෙසන සේක. ඉක්බිති නියමිත කාලය දැන පිරිස විසුරුවා හරින සේක. මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වැඳ ආපසු යති. මේ පසුබත් කිස යි.


මෙයින් ද භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ දැන ගත යුතු ම ය. උන්වහන්සේ පෙරබත් කිස නිම කර තමන් ගේ ශ්‍රාවකයන් කෙරෙහි කරුණාවෙන් සුදුසු කර්මස්ථාන වෙන වෙන ම ලබා දෙති. එයින් ද ලැබිය යුතු කායික චෛතසික විවේකයක් නො ගෙන ලෝකයේ පිහිට විය යුතු සත්ත්වයෝ වෙත් නම්, මහා කරුණාවෙන් ලොව බලා පිහිට වන සේක. එයින් ද නො නැවතී වෙහෙරට රැස් වන පිරිස ගේ ආධ්‍යාශය විමසා බලා ඔවුන්ට සුදුසු පෙළහරකින් වැඩම කොට ඔවුන්ට සුදුසු සේ දහම් දේශනා කරන සේක.


පෙරයම් කිස


මෙසේ අවසන් කළ පසුබත් කිස ඇති සේක් ඉදින් සිරුර දිය ඉස ගැනීමට කැමති සේක් නම්, බුදු අසුනින් නැගී නහන කොටුවට පිවිස උපස්ථායක විසින් පිළියෙල කරන ලද දියෙන් සිරුර සතපවා ගන්නා සේක. උපස්ථායක ද බුදු අසුන ගෙනවුත් ගඳ කිළියෙහි ආලින්දයෙහි පනවයි. භාග්‍යවතුන් වහන්සේ රත් පැහැති වූ දෙපට සිවුර හැඳ කාය බන්ධනය බැඳ උත්තරාසංගය ඒකාංශ කොට එහි පැමිණ හුදෙකලා ව මොහොතක් තනි වී හිඳිනා සේක.


ඉන් පසු පෙර කර්මස්ථාන ලැබූ භික්‍ෂූහු ඒ ඒ තැන් වලින් භාග්‍යවතුන් වහන්සේ වෙතට නැවත පැමිණෙති. එහි දී ඇතැමෙක් ප්‍රශ්න අසති. ඇතැමෙක් කමටහන් අසති. ඇතැමෙක් දහම් ඇසුමක් අයැද සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ සිතැඟි සපුරමින් පෙරයම ගත කරන සේක. මේ පෙරයම් කිස යි.


මෙයින් ද භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණය ම කියවා ගත යුතු ය. උන්වහන්සේ ගේ ශරීර කෘත්‍යයන් සිදු කොට මොහොතක් පමණක් විවේක ගෙන නැවත භික්‍ෂුන් වහන්සේලා වෙත එළැඹ ඔවුන් ගේ කර්මස්ථාන විසඳයි. අසන දහම් ගැටලු වලට පිළිතුරු ලබා දෙයි. ධර්ම දේශනයක් හෝ සිදු කරයි. අහෝ මහා කරුණාවක තරම. ශ්‍රාවකයන් කෙරෙහි ම උපන් ශාස්තෘන් වහන්සේ නමක් නොවේ ද?


මැදියම් කිස


පෙරයම් කිස අවසානයේ දී භික්‍ෂූන් වහන්සේලා වන්දනා කොට නැවත පිටත් ව ගිය කල්හි දස දහසක් ලෝක ධාතූන්හි වැඩ වසන සියලු දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණෙන්නට අවසර ලබන්නේ ය. එම දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, තමන් කලින් පිළියෙල කර ගත් අයුරින් ප්‍රශ්න අසති. යටත් පිරිසෙයින් අකුරු හතරක තරම් වත් ප්‍රශ්නයක් දෙවිවරු විසින් අසති. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියන් ගේ සියලු පැන විසඳමින් මැදියම ගත කරන සේක. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ මැදියම් කිස යි.


නැවත මෙහි කිව යුත්තේ භාග්‍යවතුන් වහන්සේ ගේ අප්‍රමාණ ගුණ කඳ ම ගැන ය. එය පසුයම් කිස අවසානයේ එකට ම දක්වා ඇත්තේ ය.


පසුයම් කිස


මේ පසුයම් කිස භාග්‍යවතුන් වහන්සේ විසින් නැවත කොටස් තුනකට බෙදා ගෙන ඇත. එයින් පළමු කොටසෙහි දී පෙරබතෙහි පටන් හිඳීමෙන් පීඩාවට පත් සිරුරෙහි විඩාපත් බව නැති කරනු පිණිස සක්මන් කරමින් කල් ගත කරන සේක.


දෙවැනි කොටසෙහි ගඳ කිළියට පිවිස දකුණැලයෙන් සිහි නුවණින් සිංහ සෙය්‍යාව සිදු කරන සේක. තෙවැනි කොටසෙහි නැවත නැග සිට පෙර බුදුවරුන් හමුවෙහි දන් සිල් ආදී වශයෙන් කරන ලද උත්සාහ ඇති පුද්ගලයන් දකිනු පිණිස මහා කරුණා ඇසින් ලොව බලා වදාරන සේක. මෙය භාග්‍යවතුන් වහන්සේ ගේ පසුයම් කිස ය.


භාග්‍යවතුන් වහන්සේ ගේ දින චරියාව දෙස බලන කල පරාර්ථකාමී මිනිසුන් අතර උසස් ම පරාර්ථ චරියාවක් ඇති එක ම ශාස්තෘන් වහන්සේ අප ගේ මහා කාරුණිකයන් වහන්සේ බව දැකි ය හැකි ය. මුළු දිනය ම කොටස් පහකට බෙදා, එහි උදෑසන සහ සවස් කාලය ම තමන් ගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් ගේ සුභ සිද්ධිය, අභිවෘද්ධිය උදෙසා ම යොදවා ඇත. රාත්‍රී කාලය නැවත කොටස් තුනකට බෙදා, එයින් පළමු කොටස පුරා ම නැවත භික්‍ෂුන් වහන්සේලා ගේ කර්මස්ථානාදිය විසඳමින් දහම් කරුණු පැහැදිලි කර දෙමින් ද, දෙවන කොටස පුරාවට ම දෙවිවරුන් ගේ දහම් පැනයන් විසඳා දෙමින් ද, තුන්වැනි කොටස නැවත කොටස් තුනකට බෙදා එයින් එක් කොටසක සක්මනේ සිට, අනිත් කොටසේ දී පමණක් දිනය පුරා වෙහෙස වූ ස්කන්ධයන් ගේ විඩාව සංසිඳවා, තුන්වැනි කොටසේ දී නැවත අවදි ව නිවා දැමිය හැකි ලෝක වාසී සත්ත්වයන් දෙස මහා කරුණාවෙන් බලන සේක.


මානව සංහතිය පුරාවට ම කරුණු විමසා බැලූව ද පරාර්ථය වෙනුවෙන් මෙවන් කැප කිරීමක් කළ ශාස්තෘන් වහන්සේ නමක් දැක ගැනීමට වෙනත් කිසිදු තැනක නොමැත. ස්වකීය ලාභ සත්කාර පමණක් අපේක්‍ෂාවෙන් පිරිස් මෙහෙයවන නොයෙක් ශාස්තෘන් වහන්සේලා අතර ස්වකීය සන්තානය නිවා දමා තිබිය දී පවා, එම නිකෙලෙස් සමාපත්තීන් වලට සමවැද - සමවැද කාලය සුව පහසුවෙන් ගත කිරීමට පවා උසස් ම ලෙස හැකියාව තිබිය දී පවා, අවශ්‍ය තරම් ලාභ සත්කාර මැද පහසුවෙන් දිවි ගෙවීමට හැකියාව තිබිය දී පවා, රජ, මැති, සිටුවරුන් ගෙන් ලත් පූජාවන් අප්‍රමාණ තිබිය දී පවා මේ සා පරාර්ථකාමී චිත්තයකින් කාලය ගෙවූ අප ගේ මහා කාරුණිකයාණන් වහන්සේ ආශ්චර්යයක් ම නොවේ ද? සිතීම් මාත්‍රය පවා, දැකීම් මාත්‍රය පවා දෙව් මිනිස් සැප ලබා දුන් අප ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වන්නට ලැබීම ම කොතරම් භාග්‍යයක් ද? යන්න මෙයින් දත යුතු ය.


(දීඝ නිකාය අටුවාව - බ්‍රහ්මජාල සූත්‍රය)


bottom of page